Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts

Thursday, April 24, 2014

සමසෞඛ්‍ය උපාධිය කප්පාදු කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි

සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ උපාධි කාලසීමාව කප්පාදු කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බවත්, සමසෞඛ්‍ය විද්‍යාපීඨ සිසු ප්‍රශ්නය ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණක් බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
මඩකලපුව හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල එම තත්ත්වය නොමැති බවද ඒ මහතා පැවසීය.
උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඒ බව ප්‍රකාශ කර සිටියේ විශ්වවිද්‍යාල සිසුන් හත්සිය එකොළොස් දෙනෙකුට මහපොළ ශිෂ්‍යත්ව ආධාර මුදල් ලබාදීම සඳහා උඩරට කලා සංගම් ශාලාවේදී පැවති උත්සව සභාව අවසානයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමසෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ගේ උපාධි කාලසීමාව වසර තුනකට එහා ගෙන යාමට අවසර නොදෙන බවත්, සමසෞඛ්‍ය සිසුන් වසර හතරක උපාධි කාලසීමාවක් ඉල්ලා සිටින බවත්ය.

Saturday, April 5, 2014

වෛද්‍ය මා‍ෆියාව හා සම සෞඛ්‍ය ප්‍රශ්නය

AHS
පේරාදෙණිය හා රුහුණ සරසවි වල සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන් දැන් මාස 2 කටත් අධික කාලයක් තිස්සේ ගලහ මං සන්ධියේත්, ගාලු නගරයේත් අඛණ්ඩ සත්‍යග්‍රහයක් පවත්වමින් සිටිති.

මෙම සත්‍යග්‍රහය ගැන අදාල කිසිම බලධාරියෙකුගේ අවධානය යොමුව ඇති බවක් නොපෙනේ.කාලයත් සමග සිසුන් උනන්දුව හීන වී සත්‍යග්‍රහය නවතා ආපසු දේශනවලට සහභාගි වනු ඇතැයි බලධාරින් සිතා සිටින බවක් ඔවුන්ගේ කියුම් කෙරුම් වලින් පෙනේ.

මෙම වර්ජක සිසුන් ඉල්ලා සිටින්නේ කුමක්ද?

2006 දී මෙම සම සෞඛ්‍ය විද්‍යා පීඨ ආරම්භ කරන විට වසර 4ක්ව තිබී පසුව වසර 3කට කපාදු කරන ලද පාඨමාලා කාලය නැවත වසර හතර දක්වා දිගු කර දෙන ලෙස ඔව්හු ඉල්ලා සිටිති.

ආරම්භයේදී වසර 4කට සැලසුම් කර සිසු කණ්ඩායම් කිහිපයක්ම උපාධිය ලබාගන්නා තෙක් සිව් වසරක පාඨමාලා පැවත්වීමෙන් පෙනී යන්නේ හෙද ,විකිරණ ශිල්පි, වෛද්‍ය රසායනගාර ශිල්පි,භෞත චිකිත්සක යන මෙම උපාධි පාඨමාලාවල වසර හතරක් උගැන්වීමට තරම් සෛධාන්තික හා ප්‍රායෝගික විෂය කරුණු ඇති බවයි.

එසේම කප්පාදුවෙන් පසුව පවා විශේෂ උපාධියක් ලෙස සිව් අවුරුදු පාඨමාලා පැවත්වීමට යෝජනා කිරීමෙන් (3+1) පෙනී යන්නේද එම සත්‍යයමය.

එසේ නම් පාඨමාලා වසර තුනකට කප්පාදු කිරීම යනු නිසැක ලෙසම අදාල විෂය නිර්දේශයන්ගෙන් 25% එනම් 1/4 ක් කපා දැමීමයි. එය අදාල උපාධි පාඨමාලා වලට ඇති පිලිගැනීම බරපතල ලෙස බිඳ හෙලන්නකි. එසේම එම සිසුන් උපාධි ලබා රෝගී සත්කාර සේවයට ගිය පසු ඔවුන්ගේ සේවය ලබා ගන්නා රෝගීන්ට කරන බලවත් අසාධාරණයකි.

මෙම කප්පාදුව ගැන උසස් අධ්‍යාපන අමාත්‍ය වරයා හා එම අමාත්‍යාංශයේ ලේකම් වරයා ලබා දෙන්නේ අමු මැටි පිලිතුරකි.ඔවුන් කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ විරෝධතාව නිසා උපාධි පාඨමාලවල කාලය කප්පාදු කළ බවයි. ඔවුන් මෙසේ කියන්නේ රෙදි ඇඳගෙනද නැත්නම් ඔවුන්ට සුපුරුදු ලෙස අමු හෙලුවෙන්දැයි අප නොදනිමු.

එහෙත් එම කථාව ඇත්තක් බව නම් අප දනිමු.

ප්‍රශ්නය නම් මෙරට අධ්‍යාපනය ගැන , විශේෂයෙන් සරසවි අධ්‍යාපනය ගැන හා උපාධි පාඨමාලාවල සංයුතිය හා කාල සීමා ගැන තීරණය කිරීමට ර.වෛ. නි සංගමය වැනි හුදු ආත්මාර්ථකාමි,ගෝත්‍රිකවාදි මානසිකත්වයකින් හෙබි වෘත්තීය සමීතියකට බාර වීමයි. එය බරපතල ඛේදවාචකයකි.

ගෝත්‍රික මානසිකත්වයකින් හෙබි පාදෙනියගේ නායකත්වයෙන් යුත් ර.වෛ.නි සංගමය මැදිහත් වන්නේ හුදු පාඨමාලා කාලය කප්පාදු කිරීමට පමණක් නොවේ. සම සෞඛ්‍ය සිසුන්ට අවශ්‍ය නවීන සායනික පුහුණුව ලබා දිය හැකි පහසුකම් මහනුවර හා පේරාදෙණිය රෝහල්වල තිබියදී එම සිසුන්ට එම පහසුකම් භාවිතා කිරීමට ඉඩ නොදෙමින් ඔවුන් කුරුණෑගල රෝහලට හා කොළඹ පෞද්ගලික රෝහල් වෙත පන්නා දැමීමට කටයුතු කර ඇත්තේද මෙම ඊනියා රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ගල් වැදි යුගයට අයත් නිලධාරින්මය.

ර.වෛ. නි.සංගමය මෙලෙස හැසිරෙන්නේ අන් කිසිවක් නිසා නොව හුදු වෘත්තීමය ඊර්ෂ්‍යාව හා මාන්නය නිසාය. ඔවුන් සිතා සිටින්නේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටිය යුත්තේ ඔවුන් බවයි. එයට අභියෝගයක් විය හැකි කිසිවකට ඔවුන් ඉඩ නොදෙයි.කිසිවෙක් ඔවුන්ට වඩා අධ්‍යාපනයක් ලබනවාට ඔවුන් විරුද්ධය.

අනිත් අතට ආණ්ඩුව සමග සන්ධාන ගත වී සිටින පාදෙනිය ප්‍රමුඛ ර.වෛ.නි සං. නායකයන් වෘත්තීය අයිතිවාසිකම් කිසිවක් නො ඉල්ලයි. ඒ වෙනුවට තම සාමාජිකයන් රවටා ගැනීම සඳහා මෙවැනි ගුණ්ඩු භාවිතා කරන අතර බලධාරින්ගේ සහයත් ඔවුන්ට නිතැනින්ම හිමිවේ. මේ පිලිබඳව ඇති තවත් හොඳ උදාහරණයක් නම් රෝහල් වල ඇති අඩු පාඩු ගැන වචනයක්වත් නොකියන පාදෙනිය මෑතක සිට පිටිකිරි බීම ගැනත් , කෘෂි රසායනික ගැනත් මහා දේශප්‍රේමියකු මෙන් කතා කිරීමට ඉදිරිපත් වීමයි.

ඇත්තෙන්ම ර.වෛ. නි. සංගමය වෘත්තීය සමීතියකට වඩා ලං වෙන්නේ හිට්ලර්ගේ එස්.එස්. හමුදාවටය. ඔවුන් කරන්නේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට සටන් කිරීම නොව තම බලය යොදවා අනෙකුන් පොඩි පට්ටම් කර දැමීමය.

මොවුන්ගේ මෙම ඒකාධිකාරය වහාම පරාජය කළ යුතුය.සියලු දෙනා එකතු වී ඊට එරෙහිව හඬ නැගිය යුතුය. නො එසේනම් පාදෙනියට අවශ්‍ය පරිදි ජීවත් වීමට හිත හදා ගත යුතුය. මක් නිසා ද යත් ඉදිරියේදී අප නිදා ගත යුත්තේ කෙසේ දැයි යන්නටත් නීති දැමීමට ර.වෛ. නි. සංගමය කටයුතු කිරීමට ඉඩ ඇති බැවිනි.

Friday, March 21, 2014

වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට විරුද්ධ අජිත් පමණයි

ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට අවශ්‍ය නීති සංශෝධනය කෙරෙන පනත් සංශෝධනය ඊයේ පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ලක් විය. එහිදී ඊට පක්ෂව ඡන්ද 15ක් හා විපක්ෂව එක් ඡන්දයක් ප්‍රකාශ විය. පනතට විරුද්ධව ඡන්දය භාවිත කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා පමණි. ශ්‍රී රංගා මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

මෙම ඡන්ද විමසීමේ අනෙක් විශේෂත්වය වන්නේ පාර්ලිමේන්තුවේ ඝනපූර්ණය 20ක් වුවත් ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ සභාවේ සිට ඇත්තේ 17 දෙනකු පමණක් වීමයි. ඒ අනුව එය ඝනපූර්ණයක් නොමැතිව පනත් සංශෝධනයක් සම්මත කළ අවස්ථාවක් බවත් එය නීත්‍යනුකූල නොවන බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.

Tuesday, March 18, 2014

පොරොන්දු ඉටු නොකළහොත් අප්‍රේල් 10 වැනිදායින් පසු සරසවි ඇදුරන් නැවතත් වර්ජනයේ

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය නවතා දැමීමට අදාළව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර ඇතිකරගත් ගිවිසුම අමාත්‍යාංශය විසින් වසර එකහමාරක කාලයක් තුළදී අවස්ථා ගණනාවකදී කඩකර තිබෙන බවත් දැනට සිදුවන සියලුම ගිවිසුම් උල්ලංඝනය කිරීම් නවතා දමා විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු විසඳීමට ගිවිසුමෙන් ඇතිකරගත් කරුණු ඉෂ්ට කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් අප්‍රේල්10 වැනිදායින් පසු, 2012 වසරේ නොවැම්බර් මාසයේදී තාවකාලිකව නවතා දැමූ වෘත්තීය ක්‍රියාමාර්ගය යළි ආරම්භ කරන බව දැනුවත් කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකර ඇති බව විශ්වවිද්‍යාල ආචාර්වනරු‍න්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි.

ආචාර්යවරුන්හා උසස් අධ්‍යාපන ඇමතිවරයා අතර ඇතිකරගත් එකඟතාවයට අනුව විශ්වවිද්‍යාලවලට ස්ථාපිතව කටයුකු කිරීමට අවස්ථාව ලබාදීම හා විශ්වවිද්‍යාල තුළ ‍යම් වෙනසක් සිදුවෙනවා නම් ඒ පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග සාකච්ඡා කිරීම හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ගැටලු විසඳීමට කමිටුවක් පත්කිරීම, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයකට අනුව අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන් කිරීම ඇතුළුව කරුණු 12ක් මෙම ගිවිසුමට අයත් බවද තේනුවර මහතා සඳහන් කරයි.

වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ වූ පසු විශ්වවිද්‍යාල දරුවන් අපහසුතාවයට පත්වන බව සඳහන් කරමින් අනුකම්පාව ලබාගැනීමට පැමිණියත් මෙවර කුමන හේතුවක් නිසාවත් දෙන්නම් පොරොන්දුවලට ඇහුම්කන් නොදෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටී.

Sunday, March 16, 2014

ඖෂධ පනත ප‍්‍රසිද්ධ නොකරන්නේ ඇයි ? - ජයන්ත බණ්ඩාර

ඉදිරියේදී සම්මත කරගන්නා බවට ප‍්‍රචාරය කර ඇති ඖෂධ පනත ප‍්‍රසිද්ධ නොකිරීම තුළින් බරපතල සැකයක් පවතින බවත් ආණ්ඩුව වහා එය ජනතාවට හෙළිකළ යුතු බවත් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානයේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි.

ඖෂධ ප‍්‍රතිපත්තියකින් අපේක්ෂිත අරමුණු ඉටුවන ආකාරයට පනත සකස්වී ඇතිද? එය ක‍්‍රියාත්මක තලයට ගෙන ඒම සඳහා නිශ්චිත කාල වකවානු සහිත ප‍්‍රායෝගික වැඩපිලිවෙලක් සකස් කර ඇතිද? ඒ සඳහා මූලික වශයෙන් වැය කළ යුතු මූල්‍ය ප‍්‍රතිපාදන වෙන් කර ඇතිද? යන කාරණා ගැන කිසිදු පැහැදිලි කිරීමක් මෙතෙක් සිදුකර නොමැතිවීම තුළින් මෙම පනත සැකයකට ලක්වීම සාධාරණ බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර පෙන්වා දෙයි.

මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය මගින් අද (16) දින පුංචි බොරැල්ලේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා...

"ශ්‍රී ලංකාවට ඖෂධ ප‍්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ ඇයි ?ඉතිහාසයේ කවර කාලයකදී හෝ වාර්තා නොවූ ආකාරයට දියවැඩියාව, අධිරුධිර පීඩනය, පිළිකා, වකූගඩු රෝගය වැනි කල්පවතින රෝග මෙන්ම ඩෙංගු, විෂවීම්, අනතුරු ඇතුලු රෝගාබාධ රැසක් වසංගත මට්ටමින් පැතිර යමින් තිබේ. ඒවා මැඩපැවැත්වීමට විධිමත් රෝග නිවාරණ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක නොවීම හේතුවෙන් මහජනතාව ලක්ෂ ගණනින් රෝගී වන වටපිටාවක ප‍්‍රතිකාර කිරීම සඳහා ඖෂධ මත යැපීමට සිදුව තිබේ.

අද වනවිට ඖෂධ අවශ්‍යතාවෙන් 80%ක් සපුරා ගන්නේ පෞද්ගලික ආනයනයෙනි. දැනට ඖෂධ මිළ තීරණය කරන්නේ ඖෂධ නිපදවීම, බෙදාහැරීම සහ වෙළඳාමේ නිරතවන සමාගම් සහ ව්‍යාපාර විසිනි. ආණ්ඩුවේ බලධාරින් පිලිගන්නා ආකාරයට ඖෂධ සඳහා 200% සිට 800% දක්වා වූ ලාභයක් ඖෂධ ව්‍යාපාරය විසින් උපයා ගනී. 2010 වසරේදී රුපියල් බිලියන 24.5ක් වූ ඖෂධ ආනයන වියදම ඊට දෙවසරකට පසු 2012 දී රුපියල් බිලියන 47.5ක් දක්වා දෙගුණයකින් පමණ ඉහළ යාමෙන් පැහැදිලි වන්නේ ඖෂධ ආනයනය සඳහා අප රටේ මහජනතාව දරන වියදමේ වැඩිවීමයි.

සෞඛ්‍ය සඳහා රජය දරන වියදම දල දේශීය නිශ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස අඩු කිරීමේ ප‍්‍රථිපලයක් ලෙස අවශ්‍යතාවයේ තරමට රජයේ රෝහල්වලින් ඖෂධ නිකුත් නොකෙරෙන බැවින් මහජනතාවට පෞද්ගලිකව ඖෂධ මිළදී ගැනීමට සිදුවේ.

ආනයනික ඖෂධ වලින් 80-90%ක් පමණ ගෙන්වන්නේ ප‍්‍රමිතියෙන් තොර ඖෂධ සඳහා ලෝක ප‍්‍රසිද්ධ අසල්වැසි රටවලිනි. භාවිතා කරන අතරතුර ප‍්‍රමිතියෙන් තොර බවට සොයාගෙන භාවිතයෙන් ඉවත් කර ගන්නා ඖෂධ වර්ග (drugs recall) සංඛ්‍යව ඕස්ටේ‍්‍රලියාව වැනි රටක පසුගිය අවුරුදු තුනටම 6ක් පමණ වනවිට ශ්‍රී ලංකාවේ එක් මාසයකට 6 සිට 18 දක්වා ඉතාමත් ඉහළ අගයක පැවතීමෙන් පෙන්නුම් කරන්නේ ඖෂධ ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ඇතිව තිබෙන බරපතල තත්ත්වයයි. මෙවැනි ඖෂධ අතර හිදිසි අවස්ථාවල භාවිතා කරන ජීවිතාරක්ෂක ඖෂධ, ප‍්‍රබල ප‍්‍රතිජීවක, මානසික ආබාධයන්ට දෙන ඖෂධ සහ නිර්වින්දනය සඳහා භාවිතා කරන ඖෂධද ඇතුලත් වේ.

අධික මිළ, හිඟය, අත්තනෝමතික භාවිතය සහ ප‍්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් ඖෂධවලින් ප‍්‍රජාවට ලැබිය යුතු ප‍්‍රයෝජනය අහිමි වේ. මෙම තත්ත්වය හේතුවෙන් දිනපතා මිනිස් ජීවිතවලට සිදුවන හානිය (human cost) කොපමන විය හැකිද?ඖෂධ සම්බන්ධයෙන් පවතින මෙම අර්බුදයෙන් ආරක්ෂාවීමට රෝගාබාධයකදී මුදල් යහමින් වියදම් කිරීමේ සහ විදෙස් ගත වීමේ හැකියාව ඇති ඉහළ දේශපාලනඥයින්ට සහ ප‍්‍රමුඛ පෙලේ ව්‍යපාරිකයින්ට හැර වෛද්‍යවරුන්, පහළ මට්ටමේ දේශපාලනඥයින් ඇතුළු කිසිදු පුද්ගලයකුට නොහැක. හදිසි අවස්ථාවක භාවිතාවන ඖෂධවල ප‍්‍රමිතිය බාල වීමෙන් හෝ හිඟ වීමෙන් ඇතිවන අනතුරට මෙරට තුල ස්ථිරව හෝ තාවකාලිකව රැඳි සිටින කුඩා දරුවන් ඇතුළු ඕනෑම තරාතිරමක පුද්ගලයකුට මුහුණ දීමට සිදුවේ. ඒ හදිසියකදී හොඳ ඖෂධ සෙවීමට හෝ විදෙස් ගත වීමට හෝ කාලයක් ඉතිරි නොවන බැවිනි.

ඖෂධ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ලෝකයේ පවතින තත්ත්වය ගත්විට මානව ප‍්‍රජාවේ සුභසිද්ධිය වෙනුවෙන් ආරම්භවූ ඖෂධ කර්මාන්තය ගෝලීය ලිබරල් ආර්ථික ක‍්‍රමය තුල බහුජාතික සමාගම් සහ ඒවා ආරක්ෂාකරන රාජ්‍යයන් හි ඒකාධිකාරි ග‍්‍රහණයට නතුවීමෙන් ඇතිවන අනතුරෙන් ජනතාව ආරක්ෂා කිරීම පිණිස රටවල් රාශියක් ඖෂධ ප‍්‍රතිපත්ති සකස් කරගෙන ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට එම සංඛ්‍යව 2007වන විට රටවල් 130ක් පමණ විය. අසල්වැසි ඉන්දියාව සහ බංග්ලාදේශයද මේ අතර වේ මේ ආකාරයට විවිධ රටවල් ජාතික ඖෂධ ප‍්‍රතිපත්්ති ඇතුළු ආරක්ෂක උපක‍්‍රම තරකරද්දී එවැනි ප‍්‍රතිපත්තියක් නොමැති ශ්‍රී ලංකාව වැනි රටවල සිය වෙළඳාම් වැඩි කිරීමට ඖෂධ සමාගම් වඩාත් උත්සුක වන ආකාරය ඉතා පැහැදිලිව නිරීක්ෂණය කල හැක.

ඖෂධ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගත්විට...

1. 1971දී එවක පැවති ආර්ථිකයට දරා ගැනීමට නොහැකි ලෙස බහුජාතික සමාගම් විසින් ඖෂධ මිළ ඉහල දමා තිබූ අතර රටේ ඖෂධ බලාධිකාරිය ඖෂධ සමාගම් විසින් අත්පත්කර ගෙන තිබුනි. ඒ අතර එවක රජයට උග‍්‍ර විදෙස් විනිමය අර්බුධයකට මුහුණ දීමට සිදුවූ අතර මේ ගැටළු සියල්ලට පිළිතුරු අපේක්ෂාවෙන් ප‍්‍රගතිශීලී විද්වතකු වූ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ සහාය ඉල්ලා සිටියේය.

ඖෂධ මිළ පාලනය, දේශීය ඖෂධ නිශ්පාදනය, ඖෂධ ප‍්‍රසම්පාදනය, ප‍්‍රමිති පාලනය යන සියල්ල ආවරණය වනසේ යෝජනාවලියක් සකස් කර ඔහුගේ ප‍්‍රධානත්වයෙන් වහාම ක‍්‍රියාත්මක තලයට ගෙන එන ලදී. අද දක්වා පවතින ඖෂධ සංස්ථාව, ඖෂධ නිශ්පාදන සංස්ථාව සහ ජාතික ඖෂධ තත්ත්ව පර්යේෂණාගාරය ආරම්භ වූයේ එහි ප‍්‍රතිපලයක් ලෙසය.

2. 1977 බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඖෂධ ප‍්‍රතිපත්තිය අත්හැරි අතර පසුව ඖෂධ මිළ පාලනයද ලිබරල් ආර්ථික ප‍්‍රතිප්ති ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් විවෘත වෙළඳපලට භාරදුනි.

3. 2005 වසරේ ප‍්‍රකාශිත මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නඟන බවට සඳහන් කර ඇත.

4. 2006 වසරේදී National Medicinal Drug Policyනමින් ප‍්‍රකාශනයක් එළි දැක්වූනි. මහාචාර්ය සේනක බිබිලේ මහතා පෙන්වා දුන්නේ ඖෂධ පිළිබඳ සියළු වගකීම් රජය මගින් දැරිය යුතු බවට වුවද මෙම ප‍්‍රතිපත්තියේ දක්වා ඇත්තේ එය රජය සහ පෞද්ගලික දෙඅංශයේ් වගකීමක් බවය. එම ලියවිල්ල සමග කිසිදු ප‍්‍රායෝගික වැඩපිලිවෙලක් ඉදිරිපත්වූයේ නැත.

5. 2010 වසරේ ප‍්‍රකාශිත මහින්ද චින්තන ඉදිරි දැක්ම ප‍්‍රකාශනයෙන්ද ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කරන බවත් ඖෂධීය නාමයෙන් පමණක් ඖෂධ නියම කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කර ඇත.

6. 2011 දී ආණ්ඩුව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරින් පවසා සිටියේ ඖෂධ ප‍්‍රතිපත්තියකට අදාල පනත් කෙටුම්පතක් සැකසූ බවත් එය නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ගේ වරදින් අස්ථාන ගතවී ඇති බවත්ය. එහෙත් එම අස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් පැවැත්වූ බවක් දැන ගන්නට නැත.

7. 2012 දෙසැම්බර් 05වන දින පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අංක 1787/22 දරණ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් ඖෂධ ඇසුරුමේ උපරිම සිල්ලර මිළ ලකුණු කිරීමට පියවර ගන්නා බව පැවසීය. ඒ සඳහා අද මෙන් පුළුල් මාධ්‍ය ප‍්‍රචාරයක් ලබා දුනි.

8. ඖෂධ මිළ පාලනය පියවර ගන්නා බවට අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා 2014.03.12 පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප‍්‍රකාශකල අතර එවැනිම ප‍්‍රකාශයක් 2013 ජනවාරි මාසයේදී ඉහත ගැසට් නිවේදනයට අදාලව පැවති මාධ්‍ය සාකච්ඡුාවේදීද ප‍්‍රකාශ කලේය.

පාර්ශව ගණනාවකින් එල්ලවන බලපෑම් හමුවේ ආණ්ඩුවේ බලධාරින් මාධ්‍ය හරහා පොරොන්දු දීම්, සමාවට කාරණා ඉදිරිපත් කිරීම්, ඖෂධ සමාගම්වලට බැනවැදීම් සහ ගැසට් නිවේදන නිකුත් කිරීම කාලයක් පුරා සිදුකලද බිම් මට්ටමේ ඵලදායී කිසිවක් ක‍්‍රියාත්මක වූයේ නැත.

දැනට තිබෙන නීතිරිති සහ ආයතන ව්‍යූහයන් කාර්යක්ෂමව යොදා ගැනීමෙන් වුවද ඖෂධ අත්තනෝමතික භාවිතය නතර කිරීම, ප‍්‍රමිතිය පාලනය, ඖෂධ හිඟය මැඩපැවැත්වීම සහ මිළ පාලනය සඳහා ඵලදායී පියවර රැුසක් ගත හැකි වුවද එවැනි උත්සාහයක් පෙනෙන්නට නැත.

ඒ අනුව ඉදිරියේදී සම්මත කරගන්නා බවට ප‍්‍රචාරයක් දියත් කර ඇති පනත සම්බන්ධයෙන්ද පවතින්නේ සාධාරන සැකයකි. ඖෂධ ප‍්‍රතිපත්තියකින් අපේක්ෂිත අරමුණු ඉටුවන ආකාරයට පනත සකස්වී ඇතිද? එය ක‍්‍රියාත්මක තලයට ගෙන ඒම සඳහා නිශ්චිත කාල වකවානු සහිත ප‍්‍රායෝගික වැඩපිලිවෙලක් සකස් කර ඇතිද? ඒ සඳහා මූලික වශයෙන් වැය කල යුතු මූල්‍ය ප‍්‍රතිපාදන වෙන් කර ඇතිද? යන කාරණා ගැන කිසිදු පැහැදිලි කිරීමක් මෙතෙක් සිදුකර නොමැත. පනත මහජන අදහස් සඳහා ඉදිරිපත්කර නැත.

එබැවින් ජනතාවාදී දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන ඇතුලූ සියලූ පාර්ශව මේ පිළිබඳව දැඩි අවධානයකින් සිටිය යුතු බව අවධාරණය කරමු.

මෙම මාධ්‍ය හමුව සඳහා වෛද්‍ය සුනිල් ආර් ජයකොඩි, සමස්ත ලංකා සුව සේවා සංගමයේ සභාපති ඩී. ජයලාල් සමස්ත ලංකා හෙද සංගමයේ සංවිධායක ලේකම් එස්. පී. මැදිවත්ත යන මහත්වරුන්ද සහභාගී වූහ.

දෙවැනි පුද්ගලික වෛද්‍ය විද්‍යාලය මහනුවර අරඹන්න මල්වතු මහනාහිමිගෙන් ඉඩමක්

මෙරට දෙවන පුද්ලික වෛද්‍ය විද්‍යාලය මහනුවර දී ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

මහනුවර වෛද්‍ය නිලධාරීන්ගේ සමුළුව අමතිමන් ඔහු කියා සිටියේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොපමණ විරුද්ධ වුවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් මහනුවර කේන්ද්‍ර කරගනිමින් අනිවාර්යයෙන්ම ආරම්භ කරන බවයි.

මල්වතු මහනායක හිමියන් විසින් දැනටමත් ඒ සදහා ඉඩමක් පවා ලබා දී ඇතැයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

Tuesday, November 26, 2013

මහාපොළ / ශිෂ්‍යාධාර සටන ජපුරෙන් ඇරබේ

මහපොළ හා ශිෂ්‍යාධාර මුදල රු.5000ක් දක්වා වැඩි කර ගැනීමේ සටන අද දින(26) ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආරම්භ විය. එහිදී මහාපොළ හා ශිෂ්‍යාධාර මුදල රු.5000 දක්වා වැඩි කරනු යන ඉල්ලිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්  උද්ඝෝශණය ක්‍රියාතමක විය. 

2005 වසරේ සිට මේ වන තෙක් මහාපොළ හෝ ශිෂ්‍යාධාර මුදල් කිසිදු මුදලකින් වැඩි කර නොමැති අතර මෙම වසරට උසස් අධ්‍යාපනය සදහා අයවැයෙන් වෙන් කල මුදලද ගිය වසරට සාපේක්ශව රු. මිලියන 2269කින් කප්පාදු කර ඇත.2005 වසට සාපෙක්ශව මහාපොළ හා ශිෂ්‍යාධාර මුදල් මේ වන විට රු.5000ක් පමණ විය යුතු අතර මෙවර අයවැයෙන්ද කිසිදු මුදලක් වැඩි කර නොමැත. 

Monday, November 25, 2013

මෙවර අය වැය සම්බන්ධව විවිධ කතා බහ ඇති වී ඇත. සමස්ථ අයවැයම අර්බුධයක් බව ඒ අතර ඇතමෙක් පවසා ඇත. සෞක්‍ය, අධ්‍යාපනය, ආර්ථිකය මෙවර අයවැයෙන් වැඩි වශයෙන් අර්බුධයට ලක්ව ඇත. උසස් අධ්‍යාපනය නගා සිටුවීමට වෙනුවට මෙවර අය - වැය මගින් රාජ්‍ය විශ්ව විද්‍යාල අධ්‍යාපනය කප්පාදු කිරීම‍ට පියවර ගෙන ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. වර්ෂ 2013දී රුපියල් මිලියන 12413ක් වූ ප්‍රාග්ධන වියදම මෙවර අය-වැය මගින් රුපියල් මිලියන 10144 දක්වා එනම් මිලියන 2269කින් කප්පාදු කර ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවසීය.

ඇත්තටම අධ්‍යාපනය විකුණනවාද? - එස්‌ බී පැහැදිලි කරයි

පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම අරභයා මේ මොහොත වන විට නැවතත් සංවාදයක්‌ ගොඩනැගී ඇත. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මේ පිළිබඳව දැඩි විරෝධතාවක නියෑළෙන අතර, උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීම තුළින් රටට ආයෝජනයන් ගලා එනවා සේම, මෙරට රජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ සංවර්ධනයක්‌ - නවෝදයක්‌ ද ඇතිවිය හැකි බවය. මේ එස්‌. බී. දිසානායක අමාත්‍යවරයා හා ඊට එරෙහිව විරෝධතා සංවිධානය කරන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්‌ඩාර අතර ඇතිවූ සංවාදයයි.

Monday, September 9, 2013

එක්ව මිනී මරා තනි තනිව බේරීම...

කාගේ හෝ උවමනාවකට මිනියක් මැරීමට plan කරන සමුහයක් හිතන ආකාරය හිතන්න. ඔවුහු තමන් කිරීමට සැරසෙන්නේ අපරාධයක් බව දනිති. එම අපරාධය එළිවුවහොත් තමනට දැඩි අවාසි සිදුවිය හැකි බව දනිති. සමාජයෙන් කොන් වීමට සිදුවන බව දනිති. හිරේ විලංගුවේ වැටීමට සිදුවන බව දනිති. නමුත් කෙසේ හෝ මිනිය මරා ඒ පිළිබඳව රහසක් සේ තබා ගැනීමට හැකිවුවහොත් එම අවාසීන්ට වඩා ලැබෙන දැඩි වාසි පිලිබඳ සිහින මවමින් ඔවුන් තම ගොදුර කරා ඇදෙති. ඇතිවිය හැකි අවාසි සහගත තත්වයන් පිළිබඳවත් එම තත්වයන්හිදී කටයුතු කලයුතු ආකාරය පිළිබඳවත් ඔවුන් එක්ව සාකච්චා කරති. එසේ සාකච්චා කර ඇතිවිය හැකි සෑම ගැටළුවකටම පිළිතුරු සුදානම් කර ගනිති. ඔවුන් සියළු දෙනාගේ ගැලවීම තීරණය වන්නේ සියලුම දෙනාගේම ක්‍රියාකාරිත්වය මත බව දන්නා ඔවුන් සියල්ල රහසක් සේ තබා ගැනීමට එකඟ වෙමින් මිනිය මැරීමට තීරණය කරති. ඒ එම මිනීමරුවන් විසින් පොදුවේ මිනී මැරීමේ තීරණයට එළඹෙන ආකාරයි.

මෙම කණ්ඩායමේ එක් අපරාධකරුවකු මිනී මැරීමේ කාර්යට තමා සම්බන්ද වන්නේද නැද්ද යන තීරණයට එළඹෙන ආකාරය සිතන්න. තමා එක් වන්නට යන්නේ භයානක අපරාධයකට බව ඔහු දනී. එම අපරාධයට තමා සම්බන්ද බව එළිවුවහොත් ඉන් තමාට බරපතල අවාසි සිදුවිය හැකි බව ඔහු දනී. තම පවුල, නෑදෑයන්, මිතුරන් අතර තමා අප්‍රසාදයට පත්වේ, සමාජයට මුහුණ දිය නොහැක, තමාට ජිවිතේ වැඩි කාලයක් හිරබත් කමින් ජිවත් වීමට සිදුවේ. එබැවින් ඔහු තමා මෙයට සම්බන්ධ වන්නේද නැද්ද යන්න පිළිබඳව නැවත නැවත සිතා බලයි. එහිදී කණ්ඩායමේ එක් අයෙකු හෝ අසුවුවහොත් තමාටද අවදානමක් ඇති බව ඔහු දනී. තමා අසුවුවහොත් අනිත් අයටද අවදානමක් ඇති බව ඔවුන් දන්නා බවද දනී. නමුත් සියළු අවාසි සහගත තත්වයනට වඩා මෙයට හවුල් වීමෙන් තමාට පුද්ගලිකව අත් වන වාසි සලකා සියළු රහස් පුද්ගකලිකවද කණ්ඩායම අතර පොදුවේද ආරක්ෂා කර ගැනීමට තනිව එකඟ වෙමින් ඔහු මිනී මැරීමේ කාර්යයට දායක වීමට තීරණය කරයි.

මෙසේ තීරණයට එළඹෙන ඔවුහු සියළු දෙනා දායක වෙමින්, විවිධ වැඩ කොටස් බෙදාගනිමින් මිනිය මරති.

අපරාධය සිදු කල පසු ඔවුන්ගේ හැසිරීම සිතන්න. එකෙකු හෝ අසුවුනොතින් තමාටද අනිසි පල ඇතිවන බව දන්නා ඔවුන් සියළු දෙනා ආරක්ෂා කරගැනීමට කැපවෙති. පසුව ඇති වන තත්වයන්ගේදී පොදුවේ සියළු දෙනාගේ බේරීම වෙනුවෙන් එකිනෙකාගේ කාර්යභාරයන් සාකච්චා කරන ඔවුහු ඒ අනුව තනි තනි පුද්ගලයන් හැසිරෙති. අපරාධය හෙළි නොවන තාක් තමා මෙන්ම අන් සගයන්වද ආරක්ෂා වන ආකාරයට ඔවුහු වැඩ කරති. කලින් සාකච්චා කරගත් පරිදි වචන හා ක්‍රියාවන් හසුරවති. ඔවුනට තමන් යනු පුද්ගලික තමන් නොවන අතර අපරාධයට දායක වූ සියල්ලන්ය. එසේම ඔවුනට අනුන් යනු පුද්ගලික තමන්ගෙන් බාහිර සියළු දෙනා නොවන අතර තම කණ්ඩායමෙන් බාහිර සමාජයයි. එම අනුන් රවටමින් ඔවුහු කල් ගෙවති.

අපරාධය හෙළි වේගන එන අවධියේ ඔවුන් සිතන ආකාරය සිතන්න. “තමන්” හා “අනුන්” මේ මොහොතේදී පෙරකී ආකාරයට වඩා වෙනස් වේ. දැන් තමන් යනු පුද්ගලිකව තමන් වන අතර අනුන් යනු තමාට පරිබාහිර සියළු දෙනා බවට පත්වේ. එනම් මේ මොහොතේදී තම සගයන්ද “අනුන්” බවට පත්වේ. එක් පුද්ගලයෙකු සැලකුවහොත් ඔහුට දැන් අනුන්ගෙන් වැඩක් නැත. අවශ්‍ය වන්නේ කෙසේ හෝ තමන් ගැලවීමයි. තමාට නැතිවිය හැකි දේ නැති නොවී ආරක්ෂා කර ගැනීමයි. එබැවින් තම ගැලවීම සඳහා අවශ්‍ය ලෙස සිතීමට හා ක්‍රියාකිරීමට ඔහු පෙළඹේ.

අපරාධය අඩක් හෙළි වූ පසු සිතන්න. අනිත් උන් තවදුරටත් ආරක්ෂා කිරීමට තමාට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ තම ගැලවීමයි. සැඟවී හෝ අනිත් උන් පාවා දී හෝ තමා ගැලවීමට ඔවුහු කටයුතු කරති.

අපරාධයක් කිරීමට සැලසුම් කිරීමේ සිට හෙළි වන අවස්ථාව දක්වා එක් එක් පුද්ගලයන්ගේ ක්‍රියාකාරීත්වය සිදුවන්නේ දල වශයෙන් මේ ආකාරයටය. මිනී මැරුමකට මෙන්ම වෙනයම් නින්දිත අපරාදයක් සඳහාද මෙය මේ ආකාරයෙන්ම අදාළ වේ.

රජරට සිසුන් බොරු චෝදනා මත පන්ති තහනම් කිරීමේ අපරාධය පිළිබඳව හා ඊට සම්බන්ද පිරිස් පිළිබඳව දැන් සිතන්න. යම් යම් දත්ත ප්‍රමාණයක් පමණක් අප ඔබට ඉදිරිපත් කරන්නෙමු. සියළු සිදුවීම් සිදුවන ආකාරය ගලපා ගැනීම ඔබේ බුද්ධි මට්ටමට අනුව සිදුවිය යුත්තකි.

* පන්ති තහනම් ලබා දෙන්නේ තනි පුද්ගලයෙකු නොවන අතර කණ්ඩායමක එකඟත්වය මතය.

* එම කණ්ඩායමේ ආණ්ඩුව, උසස් අධ්‍යාපන ඇමති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සමහරුන්, උපකුලපති, සියළු පීඨාධිපතිවරුන්, විනය පාලකවරයා, ඇතැම් ආචාර්යවරුන් හා ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුලත්ය.

* සිදු කරන්නේ වැරද්දක්, අසාධාරණයක් බව සියළු දෙනා දනිති. නමුත් එය සිදු කරති.

* මෙය උපකුලපතිවරයාගේ තීරණයක් බවත් තම කමිටුව දුන් තීරණයක් නොවන බවත් විනය පාලකවරයා 8/9 දින පවසයි. 

* මෙය විනය කමිටු තීරණයක් බව උපකුලපතිවරයා 8/10 දින පවසයි.

* ව්‍යවහාරික විද්‍යා පීඨාධිපතිවරයා හැසිරෙන්නේ තමන් කිසි දෙයක් නොදන්නා (බබා) ආකාරයටය.

* කළමනාකරණ පීඨාධිපතිවරයා 9/06 දින පන්ති තහනම් වූවන්ට සෙත් පැතීම සඳහා වූ අධිෂ්ඨාන පහන් පූජාවකටද එක්වේ.

* සියළු පීඨාධිපතිවරුන් සිසුන් හමුවන එක් නිශ්චිත දිනයකදී පන්ති තහනම් වූ සිසු නායකයන්ගේ පුද්ගලිකව චරිත ඝාතනය කිරීමට උත්සාහ කරන්නේ කලින් සැලසුම් කල ආකාරයක් පෙන්වමිනි.

* සිසුන්ගේ පානිය ජය ගැටලු, නේවාසිකාගාර ගැටලු හා අනෙක් සියළු අධ්‍යන හා සුබසාධන ගැටලු ආදී කිසිඳු ගැටළුවක් ඉදිරියේ කිසි දිනෙක සිසුන් වෙත අනුකම්පාව නොදැක්වූ ඇතැම් ආචාර්යවරුන් මෙම සිදු වීම හමුවේ ඉතා අනුකම්පාවෙන් යුතුව ගැලවුම්කාරයන් සේ පෙනී සිටීමට උත්සහ කරමින් සිටිති.

* ආරක්ෂක අංශ වල ඇතැම් සාමාජිකයින් අමුතු හැසිරීම් රටා පෙන්නුම් කරයි.

* සිසුන් ඉදිරියේ ඉහත සියළු දෙනා තමන් මෙයට අදාළ නැති බව හෝ වරද ඇත්තේ සිසුන්ගේම බව පෙන්වීමට හෝ වරද වෙන කොහේ හෝ ඇති බව පෙන්වීමට විවිධ උත්සාහයන් ගනු පෙනේ.

මෙහි අප සඳහන් කල සියළු දේත් තවත් බොහෝ දේත් අපට ඔප්පු කර පෙන්වීමට සාක්ෂි ඇත. කාලය ඉදිරියට ඇදෙන්නේ මෙවැනි සිදුවීම් රාශියක් සිදුවෙමිනි. සිදු වන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට මතුපිටින් දකින ඇසෙන දේ පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. විශ්ලේෂනාත්මකව සියළු සිදුවීම් එකට ගලපා ගත යුතුය. එසේ සෑම දෙයක්ම සොයා බලා, විශ්වාස කලයුත්තේ කවුරුන්ද යන්නත්, සිදු කලයුත්තේ කුමක්ද යන්නත් තීරණය කිරීම ඔබට බාර වේ..


source

Thursday, September 5, 2013

සබරගමු සිසුන් 16ක් මානව හිමිකම් කොමිසමට - රජරට සිසුන් 12කගේ පන්ති තහනම්

රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් 12 දෙනකුගේ පන්ති තහනම් කර තිබේ.විශ්වවිද්‍යාල බලධාරීන් පවසන්නේ සති පහක කාලයක් සඳහා මෙම තහනම බල පැවැත්වෙන බවයි. මෙලෙස සිසුන්ගේ පන්ති තහනම් කර ඇත්තේ රැස්වීමක් පැවැත්වීම නිසාය.

මේ අතර කිසිදු විනය පරීක්ෂණයකින් තොරව අත්තනෝමතික ලෙස සිය ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට විරුද්ධව සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 16 දෙනකු ඊයේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබේ.

Thursday, August 29, 2013

අධ්‍යාපන වෙළඳ කලාප බිහිවේ. දැනටමත් 6ක් වෙන් කරලා

විදේශිය විශ්වවිද්‍යාල පිහිටුවීම ඇතුලු අධ්‍යාපනය සදහා අවශ්‍ය පහසුකම් සපයාදී එමගින් මුදල් ඉපයීම සදහා දිවයින පුරා නිදහස් අධ්‍යාපන කලාප බිහිකර ඒවා පුද්ගලික අංශයට ලබාදිමේ සැලසුමක් පිළිබද වාර්තාවේ.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න සදහන් කර සිටියේ රටපුරා මෙවැනි නිදහස් අධ්‍යාපන කලාප 06 පිහිටුවිමට සැලසුම් කර අවසන් බවත් ඒ අනුව ගම්පහ, පුත්තලම, කිලිනොච්චිය, හම්බන්තොට, ත්‍රීකුණාමණය හා මහනුවර යන දිස්ත්‍රික්කයන්හි මෙම කලාප බිහිකිරිමට අක්කර 100ක් ලබාදිමට නියමිත බවද පැවසීය.

එසේම මෙම කලාපවල අන්තර්ගතය පිළිබද අදහස් දැක්වූ ලේකම්වරයා සදහන් කර සිටියේ විදේශ විශ්වවිද්‍යාලයක්. ක්‍රිඩාංගණ පිහිනුම් තටාක හා නේවාසිකාගාර වැනි දේ අඩංගු අතර මේ වන විටත් මේ සදහා පුද්ගලික ආයෝජකයන්ට ආරාධනා කොට ඇති බවද වැඩිදුරටත් පැවසීය.

Friday, August 23, 2013

ඇමති ඇතුළු බලධාරීන්ගේ වැරදි වහන්න අධ්‍යාපන අයිතිය උදුරාගන්න බෑ

Joseph stalin
Joseph stalin
විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම වළක්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග දරුවන්ගේ අධ්‍යාපන අයිතිය පැහැරගැනීමක් සඳහා නොවිය යුතු බව ලංකා ගුරු සංගමය පවසයි. 

රජය විසින් නිකුත් කරනු ලැබූ 2013.06.21 දිනැති 1816 දරණ ගැසට් පත‍්‍රයෙන් ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට සිදුවන අසාධාරණය පිළිබඳ ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා කියා සිටියි. 

ඔහුගේ අත්සනින් යුතුව නිකුත් කළ එම ප්‍රසිද්ධ ලිපියේ මෙසේද සඳහන්ය. 

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 1965 අංක 25 දරණ ප‍්‍රසිද්ධ විභාග පනතේ 22 වෙනි වගන්තියට අනුව නියෝග පැනවීමට ඔහු සතු බලය උපයෝගී කරගෙන විභාග දිනට පූර්වයෙන් දින 5 කට පෙර විභාගය අවසන් වන දින දක්වා උපකාරක පන්ති සංවිධානය කිරීම, පන්ති මෙහෙයවීම ඇතුළු දරුවන් විභාගයට සුදානම් කිරීමේ සියලූම කටයුතු තහනම් කොට ඇත. 

මෙම තහනම 2013.08.25 දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට අදාළව මෙන්ම අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට ද අදාළ වන පරිදි 2013.06.21 දිනැති 1816 දරණ ගැසට් පත‍්‍රය මගින් පනවා ඇත. මෙය සම්පූර්ණයෙන්ම විභාගයට පෙනී සිටින දරුවන්ට සිදු කරන අසාධාරණ කි‍්‍රයාවක් වන අතර 5 ශ්‍රේණියේ ශිෂ්‍යයත්ව විභාගයට පෙනී සිටින කුඩා දරුවන්ට එය බරපතළ අසාධාරණයකි. 

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ගුරුවරු විභාගය ආසන්න දිනය දක්වාම පාසල්වල දරුවන් සූදානම් කිරීමට අදාළව ඉගැන්වීම් කටයුතුවල නිරත වේ. මෙය ගුරුවරුන් තම රාජකාරි සීමාව ඉක්මවා දරුවන් වෙනුවෙන් සිදු කරන සත්කි‍්‍රයාවකි. 

ඉහත ආකාරයේ නියෝග පැනවීම තුළ කුඩා දරුවන්ගේ මතක ශක්තිය රඳවා ගැනීමේ හැකියාව මත සතියකට පෙර සිටම ඉගැන්වීම් කටයුතු නරත කිරීම හරහා ඔවුන් බරපතළ පීඩනයකට පත්වෙති. මේ නිසා නොමිලේ සිදු කරන ඉගැන්වීම් කටයුතු නතර වන අතර ඇති හැකි දරුවන්ට පුද්ගලිකව ඉගැන්වීම් කර ගැනීමට අවකාශය පමණක් තහවුරු වී පවතී. 

එසේම 2012/41 චක‍්‍රලේඛයේ සඳහන් පාසල් වාර සටහනට අනුව මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරය 2013 අගෝස්තු 12 වන දින ඇරඹෙන අතර එම දරුවන්ට බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමට පරිසරයක් තිබියදී අනෙක් පාසල්වල දරුවන්ට පාසල් නිවාඩුව ලබාදී ඇති බැවින් ඉහත ගැසට් නිවේදනය අනුව ඔවුන්ට සිදුවන අගතිය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය සැලකිල්ලට නොගැනීම තුළ අධ්‍යාපන ඇමතිවරයාගේ තීරණවල ඇති අමනෝඥභාවය මනාව දිස්වේ. 

විභාග ප‍්‍රශ්න පත‍්‍ර පිටවීම වැළැක්වීම සඳහා මෙවැනි නියෝග පැනවීම තුළ දරුවන්ට ඉගෙන ගැනීමට ඇති අයිතියට සීමා පැනවෙන අතර මෙසේ අධ්‍යාපන අයිතියට සීමා පැනවීම ඔස්සේ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් තමන්ගෙන් සිදුවිය හැකි වැරදි වසා ගැනීමට තැත් කරන ආකාරය ලැජ්ජා සහගතය. 

මෙම සියලූ තත්ත්වයන් සැලකිල්ලට ගෙන අදාළ ගැසට් නිවේදනයේ සඳහන් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ විභාගය, අපොස උසස් පෙළ විභාගයට පනවා ඇති අවශ්‍ය නොවන මෙම කොන්දේසි ඉවත් කිරීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී. 

මෙයට,
ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්

Thursday, August 22, 2013

උපාධිධාරීන්ට දුන් පත්වීම් ලිපි බලහත්කාරයෙන් එකතු කරලා

Logo
පසුගිය බදාදා (14) උපාධිධාරීන්ට දුන් පත්වීම් ලිපි ඊයේ නැවත බලහත්කාරයෙන් ලබා ගෙන ඇතැයි උපාධිධාරී මධ්‍යස්ථානය චෝදනා කරයි. මාතර, දෙවුන්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කරන ලද උපාධිධාරීන්ට දුන් පත්වීම් ලිපි මෙසේ නැවත ලබා ගෙන තිබේ.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් උපාධිධාරී මධ්‍යස්ථානය මෙසේ පවසයි.

"වසර 7ක් තිස්සේ උපාධිධාරීන්ට රැකියා නොදුන් ආණ්ඩුව 2012 පෙබරවාරී මස කිසිදු විධිමත් වැඩපිළිවෙළකින් තොරව රැකියා ලබාදුනි. මේ පිළිබද අප දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළද ඇතැම් අය පැවසුසේ කෙසේ හෝ රැකියා දුන්නා වැනි අදහසකි. නමුත් රැකියා ලද උපාධිධාරීන්ට සිදු වූයේ කබලෙන් ලිපට වැටීමකි. මාස 6න් ස්ථිර කරන බවට පොරොන්දු වී බදවාගත් අතර අදට මාස 18ක් ගතවී ඇතත් ඔවුන්ගේ ගැටලුවලට විසදුම් ලැබී නැත. තවමත් බහුතරයකගේ මාසික චේතනය රැපියල් 10000ක් වැනි සොච්චමකි.

මේ අතර මෙම වසර මුල සියලු උපාධිධාරීන් කොළඹට කැදවා ජනාධිපතිවරයාම පොරොන්දු වූයේ වසරක් ගතවන පළමු මොහොතේම උපාධිධාරියා අතට ස්ථිර පත්වීම් ලිපිය ලබාදෙන බවයි. නමුත් අදට අවුරැද්දක් ගතවී මාස 6ක්ද ඉක්මවා ඇතත් 50823න් 22000කට අධික පිරිසක් ස්ථිර පත්වීම් නොලැබ දුෂ්කරතා රැසකට මුහුණ පා ඇත. මේ අතර බදවාගත් වයස 35ට වැඩි උපාධිධාරීන්ද අසාධාරණයට ලක්ව ඇත.

මේ අතර පසුගිය 14 වැනි බදාදා මාතර දෙව්න්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් ලිපි ලබාදී ඇති අතර කිසිදු හේතු දැනුම්දීමකින් තොරව 21 වන දින නැවත එම පත්වීම් ලිපි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ලද නියෝගයක් මත එකතු කරගෙන ඇත. මෙසේ පත්වීම් ලිපි නැවත ලබාගැනීම පිළිබද උපාධිධාරීන්ට කරුණු දැක්වීමක් හෝ කර නැත. බලහත්කාරයෙන් මෙන් ලිපි ලබාගෙන ඇත.

මේ ආකාරයට රටපුරා බඳවා ගෙන ඇති සියලු උපාධිධාරීන් ස්ථිර කරන බවට පවසමින් රැවටීමට ලක් කරමින් සිටින අතර ආණ්ඩුවට අවධාරණය කරන්නේ මේ බඳවා ගත් සියලු උපාධිධාරීන් සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් කර ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කරන ලෙසයි.

උතුරු මැද අධ්‍යාපනයත් මකර කටේ

Mahinda Jayasinghe
Mahinda Jayasinghe
උතුරු මැද පළාතේ අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු 196 න්124 ක්ම පුරප්පාඩුව පවතින බව වාර්තා වේ. ඒ හේතුවෙන් උතුරු මැද පළාත් අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය බරපතල අර්බුදයකට ගොස් ඇති අතර සියළුම පත්වීම් දේශපාලන හිතවත්කම් මත ප‍්‍රදානය කිරීමට යාමෙන් තත්වය තවත් අවුල් වී ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා පෙන්වා දේ. මෙම තත්වය උතුරු මැදට පමණක් නොව මුළු ලංකාවේම අධ්‍යාපනයට උදා වී ඇති බවත් මෙය එක තැනකින් අල්ලාගෙන වෙනස් කළ නොහැකි බව්ත මෙය සමාජ අර්බුදයේම කොටසක් බවත් මහින්ද ජයසිංහ සහෝදරයා තව දුරටත් පෙන්වා දෙයි.

Wednesday, August 21, 2013

ආණ්ඩුව සිසු නායකයින් දඩයමේ - විරෝධතා දැක්වීමට සිසූහු පෙරට

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති,ලේකම් සහ කළමනාකරණ අධ්‍යයන,සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර හා ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගම් සභාපති, ලේකම් ඇතුළු සිසු නායකයින් 08 දෙනෙකුට මාස 06ක පන්ති තහනමක් පැනවීමට එරෙහිව රජරට සරසවි සිසු සිසුවියෝ විරෝධතා පෙත්සමකට අත්සන් තබති.

පෙත්සම අත්සන් කිරීම විශ්වවිද්‍යාලයීය පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිටදී පැවැත්වීමට සංවිධානය කටයුතු සුදානම් කර තිබු නමුත් එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට විශ්වවිද්‍යාල භූමියට ඇතුල් වීමට විශ්වවිද්‍යාල පරිපාලනය අවස්ථාව ලබා දී නැත.

ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල නාම පුවරුව අසලට රැස් වූ සිසුන් එම ස්ථානයේදී පෙත්සම අත්සන් කිරීම ආරම්භ කළහ.



Monday, August 19, 2013

මාළඹේ ගැන අාණ්ඩුව ෙමෙතක් කියන ලද සියලු කතා ෙබාරු

saitm
SAITM
මාළඹේ SAITM ආයතනයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම ජනාධිපතිවරයා විසින් ද පිළිගනු ලැබීය. පසුගිය අපේ‍්‍රල් මස ශිෂ්‍ය ශිෂ්‍යාවන් 9 දෙනෙකුට ඊට ඇතුළත් වීම සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රධානය කිරීමක් ද සිදුකරන ලදී. ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු බලවේගයන්ගේ සටන් හමුවේ දැවැන්ත ජනතා විරෝධයක් පවතින, රාජ්‍ය අනුග‍්‍රහය ලැබූ මෙම ආයතනය සිදුකළ සියල්ල දැවැන්ත වංචාවන් බවට මේ වන විට තොරතුරු හෙළිදරව් වී ඇති බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා පෙන්වාදෙයි. 

2009 මැයි මස 10 වන දා සන්ඬේ ටයිම්ස් (Sunday Times) පුවත්පත පළ කළ දැන්වීමක් මගින් ඔවුන් සඳහන් කළ පරිදි මෙම ආයතනය රුසියාවේ නිෂ්නි නොවිගොරොද් වෛද්‍ය ඇකඩමියට අනුබද්ධ බවත්, මෙහි පිරිනමන උපාධිය සඳහා ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ (SLMC) අනුමැතිය ඇති බවත් නිවේදනය විය. තවත සිසුන් මුදලට බඳවා ගැනීම සඳහා මෙම ආයතනයට අනුබද්ධ ශික්ෂණ රෝහලක් ඇති බවද ප‍්‍රකාශ කරන ලදී. ඊට අමතරව 2011 අගෝස්තු 30 උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අත්සනින් යුතුව නිකුත් කළ අංක 1721/19 ගැසට් පත‍්‍රය මගින් මෙම උපාධි කඩයට වලංගු භාවයක් ලබාදුණි. එම ගැසට් පත‍්‍රයට අනුව මාස 18 ක් තුළ ප‍්‍රධාන කරුණු 8 ක් අදාළ ආයතනය මගින් සපුරාලිය යුතුය. නමුත් මේ වන විට අදාළ කාලය පසුවී ඇතත් කොන්දේසි සපුරා නොමැති බැවින් මාළඹේ SAITM ආයතනයට අමාත්‍යවරයා අසීරුවෙන් ලබාදුන් නිළ වලංගු භාවය ද නැත. 

තවද ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව පුවත්පත් නිවේදන මගින් දිගින් දිගටම මෙම ආයතනය වෛද්‍ය විදුහලක් ලෙස පිළිනොගන්නා බවට පැහැදිලි නිවේදන නිකුත් කළ බවත්, රුසියාවේ අදාළ විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂක ඇලෙක්සි පොස්ටිනිකොව්ගේ අත්සනින් නිකුත් කළ ලිපියක් මගින් සහ රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ අත්සනින් 2012 නොවැම්බර් 07 වැනිදා නිකුත් කළ ලිපියක් මගින් මාළඹේ ී්ෂඔඵ ආයතනය සහ එම ආයතනයේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව සඳහන් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. 

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මාළඹේ උපාධි කඩයට අනුබද්ධ ශික්ෂණ රෝහලක් නොමැති බව නිළ වශයෙන් පිළිගෙන ඇත.
  
මෙම හෙළිදරව් වීම් හරහා, අධ්‍යාපනය වැනසීමට මග හෙළිකරන මාළඹේ උපාධි කඩයේ යථාර්ථය තවදුරටත් හෙළිදරව් වන බවත්, ඉදිරියේදී ඊට එරෙහිව ගෙනගිය අරගලය ත‍්‍රීව‍්‍ර කරමින් නව මුහුණුවරකින් මාළඹේ උපාධිකඩය අහෝසිකරන තුරු අඛණ්ඩ අරගලයක් අරඹන බවත් නජිත් ඉන්දික සහෝදරයා පැවසීය. 


(විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ මධ්‍යම පුවත්පත "ගිනිසිළුව" ඇසුරිනි)
http://ginisiluwa.blogspot.com

Sunday, August 18, 2013

සරසවි ඇදුරන් පිලිබඳ ප්‍රකාශ නිකුත් කිරීමට හමුදාවට අයිතියක් නෑ

Nirmal ranjith dewasiri
Nirmal ranjith dewasiri
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිහිප දෙනෙකු ලන්ඩනයේ සමුළුවකට සහභාගිවෙමින් බෙදුම්වාදයටත් ආණ්ඩු විරෝධයටත් දිරි දීමට කටයුතු කළාය යන පදනමින් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට ඉඩ ඇතැයි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරියල විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනි ක්ශානිකා හිරිඹුරේගම මහත්මිය මෙන්ම නියෝජ්‍ය ඇමති නන්දිමිත්‍ර දිසානායක මහතා ප්‍රකාශ කොට තිබීම විශ්ව විද්‍යාල මිලිටරිකරණය කිරීමට ගන්නා උත්සාහයේ තවත් පියවරක් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා ප්‍රකාශ කරයි.

මෙය ඉතාම භයානක ක්‍රියාදාමයක් ලෙස ඔහු එය හඳුන්වා දුන්නේය.

යුද හමුදාව එක පැත්තකින් ඊට සම්බන්ධව අදහස් දක්වද්දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ශාස්ත්‍රීය නිදහස පිළිබඳව කිසිදූ අවබෝධයකින් තොරව ප්‍රකාශයන් කරන බව ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා කියා සිටියේය.

විශ්ව විද්‍යාල ආචාර්යවරයකුට විවේචනාත්මක හා විචාරාත්මක අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරියයේදී ඉඩ ලබා නොදෙන බව මෙයින් පෙනී යන බව ඔහු පැවසිය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට හමුදාවට අයිතියක් නැති බව පවසන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විදේශ ගත වන අවස්ථාවලදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් ඇති බවත් එය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ කාර්යයක් බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මාලඹේ හොර උපාධි කඩයට එරෙහිව සිසුන්ගේ දෙමාපියන් නඩුමගට

මාලඹේ ප්‍රෙද්ශයේ පවත්වාගෙන යනු ලබන නීති විරෝධීව වෛද්‍ය උපාධි ලබාදෙන ආයතනයට එරෙහිව එහි සිසුන්ගේ දෙමාපියන් විසින් කඩුවෙල දිසා අධිකණයේ අංක 525 MR/12, 526 MR/12, 527 MR/12} යටතේ නඩුවක් ගොනුකර තිබේ. එම දෙමාපියන් විසිත් තම දරුවන්ට සිදුව ඇති අසාධාරණය පිලිබදව දැනුවත් කරමින් එම ආයතනය වෙත යොමුකර ඇති ලිපිය පහත දැක්වේ.

Monday, August 5, 2013

රතුපස්වල ජනතා උද්ඝෝශණයට එල්ල කල ම්ලේච්ච හමුදා ප්‍රහාරයට එරෙහිව පේරාදෙණිය සිසුන් උද්ඝෝශණයක

රතුපස් වල ජනතා උද්ඝෝෂණයට රජයේ හමුදාව විසින් එල්ල කල මිලේච්ච ප්‍රහාරයට එරෙහිව විරෝධතාවක් අද දින ගලහ හන්දියේදී පේරාදෙණිය සරසවි සිසුන් සන්විධානය කර තිබුනි. 

පිරිසිදු පානීය ජලයේ හිම්කම වෙනුවෙන් සටන් කල ජනතාවට එම අයිතිය ලබා දෙනවා වෙනුවට වෙඩි තබා මිනිස් ජීවිත බිලි ගනුමින්, පීඩිත ජනයාගේ සියළු අයිතිවසිකම් වලට පයින් ගසා  මහා පරිමාණ සමාගමක ලාබය අරක්ෂා කරමින් ගෙනගිය ආණ්ඩුවේ කෘර ප්‍රතිපත්තිය   තරයේ   හෙලා දකිමින් සිසුන් විරොධතාවයේ නිරත විය.