Friday, December 28, 2012

පාසල් නිල ඇඳුම් රෙදි ආනයන පාඩුව කෝටි 6 පනී

රාජ්‍ය ආයතනයක්‌ වන ලංකා සළුසල ඉදිරිපත් කළ අඩු මිල ගණන් නොසලකා වැඩි මිල ගණන් ඉදිරිපත් කළ පෞද්ගලික ආයතනයක්‌ මගින් පාසල් නිල ඇඳුම් ආනයනය කිරීමෙන් රජයට රුපියල් හයකෝටි අසූ හතර ලක්‍ෂයකට අධික මුදලක්‌ පාඩු වී ඇත.

පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් රෙදි ලබා දීමේ අවශ්‍යතාවෙන් සියයට පනහක්‌ දේශීයව සපයා ගනිමින් ඉතිරි සියයට පනහ චීනයෙන් ආනයනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබිණි. ඒ අනුව සුදු කමිස හා ගවුම් රෙදි මීටර් පනස්‌ එක්‌ ලක්‍ෂ පන්දහසක්‌ ද සුදු කලිසම් රෙදි මීටර් දෙලක්‍ෂ පනස්‌ දහසක්‌ ද නිල් කලිසම් රෙදි මීටර් ලක්‍ෂ දෙකක්‌ද චීනයෙන් ආනයනය කිරීමට නියමිත විය. ඒ සඳහා අමාත්‍යාංශය මිල ගණන් කැඳ වූ අතර එහිදී අඩුම මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය ආයතනයක්‌ වන ලංකා සළුසල ආයතනය ය.

සුදු කමිස හා ගවුම් රෙදි මීටරයක්‌ රුපියල් 109.20 කට ද සුදු කලිසම් රෙදි මීටරයක්‌ රුපියල් 169 කට ද නිල් කලිසම් රෙදි මීටරයක්‌ රුපියල් 188.50 කට ද ආනයනය කර දීමට සළුසල ආයතනය මිල ගණන් ඉදිරිපත් කර තිබිණි. එහෙත් එම ටෙන්ඩරය පිරිනමා ඇත්තේ සුදු කමිස හා ගවුම් රෙදි මීටරයක්‌ රුපියල් 120.90 කට ද සුදු කලිසම් රෙදි මීටරයක්‌ රුපියල් 189.80 කට ද නිල් කලිසම් රෙදි මීටරයක්‌ රුපියල් 202.80 කට ද ආනයනය කර දීමට ඉදිරිපත් වූ පෞද්ගලික ආයතනයකට ය.

පෞද්ගලික ආයතනය ඉදිරිපත් කළ මිල ගණන් අනුව නිල ඇඳුම් ආනයනය කිරීම සඳහා රුපියල් හැට හතර කෝටි තිස්‌ එක්‌ ලක්‍ෂයකට අධික මුදලක්‌ වැය වී ඇති අතර සළුසල ආයතනය ඉදිරිපත් කළ මිල ගණන් අනුව ආනයනය කළේ නම් වැය වන්නේ රුපියල් පනස්‌ හත් කෝටි හතලිස්‌ හත් ලක්‍ෂයකට මඳක්‌ වැඩි මුදලකි.

පසුගිය වසර තුන ඇතුළත ඩොලර් මිලියන තුනකට වැඩි වටිනාකමින් යුත් භාණ්‌ඩ ආනයනය කර තිබීම අනිවාර්ය සුදුසුකමක්‌ ලෙස ටෙන්ඩර් පත්‍රිකාවට ඇතුළත් කර තිබූ අනිවාර්ය රෙගුලාසිය නිසා සළුසල ආයතනයට ටෙන්ඩරය අහිමි වී තිබේ. එම අනිවාර්ය රෙගුලාසිය ඉවත් කරන ලෙස සළුසල ආයතනය රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවෙන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ද කළ ලිත ඉල්ලීම්වලට කිසිදු ප්‍රතිචාරයක්‌ ලැබී නැත.

එම අනිවාර්ය රෙගුලාසිය ටෙන්ඩර් පත්‍රිකාවට ඇතුළත් කර ඇත්තේ නිල ඇඳුම් ආනයනය කළ පෞද්ගලික ආයතනයටම ටෙන්ඩරය ලබා දීමේ අරමුණින් විය හැකි යෑයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.


නිලන්ත මදුරාවල

Thursday, December 27, 2012

වදක පුහුණව අද සිට

නවක සරසවි සිසුන්ට ලබාදෙන බලහත්කාරී හමුදා පුහුණුව අද සිට ආරම්භ වේ. මෙම පුහුණුව දිවයින පුරා හමුදා කඳවුරු 24 කදී පැවැත්වීමට නියමිතව ඇති අතර සිසුන් 10000 ක් මුල් වටය සඳහා සහභාගී වෙති. ඒ සඳහා රජය විසින් දරනු ලබන මුළුවියදම රු. මි. 350 ලෙස ඇස්තමේන්තු ගතකර ඇති අතර අවශ්‍ය නිර්දේශිත ද්‍රව්‍ය මිලදී ගැනීමට හා ප‍්‍රවාහන වියදම් සඳහා එක් එක් ශිෂ්‍යාට දරන්නට සිදුවන වියදම රු. 20000 ද ඉක්මවයි.

උසස් අධ්‍යාපනයේ ප‍්‍රතිමාණයන්ට හා අරමුණුවලට පටහැනිව පවත්වනු ලබන මෙම පුහුණුවවට එරෙහිව උසස් අධ්‍යාපනයට සම්බන්ධ සියළුම පාර්ශව සිය විරෝධය පලකර ඇති අතර සරසවි ආචාර්යයවරුන්, පාසල් ගුරුවරුන්, අධ්‍යාපන වෘත්තීය වේදීන්, සිසුන් ආදී බලවේගයන්ද, සිසුන් හා දෙමවුපියන්ද ඒ අතර වෙති.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අත්‍යාවශ්‍ය මූලික දැනුමක්වන ඉංග‍්‍රීසි හා පරිගණක දැනුම ලබාදීමට මෙතෙක් නොමිලේ සිසුන්ට ලබාදුන් පාඨමාලා පවා අහෝසිකරමින්, එදිනෙදා නඩත්තුව පවා කරගැනීමට නොහැකි තරම් බරපතල මූල්‍ය අර්බුධයකින් සරසවි පෙළෙන තත්ත්වයක් තුළ මිලියන ගණනක මුදල් විනාශ කරමින් ජනතා විරෝධය මධ්‍යයේ බලහත්කාරායෙන්, මෙම පුහුණුව ලබාදීම තුළ එය කොතරම් දේශපාලනිකව ආණ්ඩුවට වැදගත්ද යන්න පෙන්නුම් කරන බව අපගේ විශවාසයයි. මේ පිළිබඳව අදහස් දක්වමින් සංජීව සහෝදරයා පැවසුයේ මෙම පුහුණුව සිසුන්ට විශාල කායික හා මානසික වදයක්වන අතර ආණ්ඩුවේ අරමුණ වී ඇත්තේ හමුදාකඳවුරු තුළ යොදන කායික හා මානසික බලහත්කාරය තුළ සිය දේශපාලන මතය සිසුන් තුළ කා වැද්දීමත්, හමුදා පන්නයේ විනයක් සිසුන් තුළ ඇති කිරීමත් බවයි.

ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ආදී කතෲවරයකුවන වැලිවිටියේ ශී‍්‍ර සෝරත හිමි සරසවි ශිෂ්‍යා නිර්මාණශීලී, විචාරශීලී, විචක්ෂණශීලී හා විප්ලවවාදී වියයුතුයැයි පැවසූ අතර ඉන් දශක කිහිපයකට පසු සරසවි ශිෂ්‍යා හමුදා පන්නයේ ආකෘතියකට අනුව හැඩගැස්සවීමට බලධාරීන් තීරණය කිරීම තුළ උසස් අධ්‍යාපනයේ බිඳවැටීම කොතරම් බරපතලද යන්න විද්‍යාමාන වේ. වෙලාවට නැගිටින, දත්්මදින, මුහුණ සෝදන, වෙලාවට කන, කාලරාමුවකට අනුව වැඩකරන, ඉහළින් එන නියෝග අකුරටම පිළිපදින හුමුදා විනයක් සහිත ශිෂ්‍යයකු නිර්මාණය කිරීම හමුදා පුහුණුවේ ප‍්‍රකාශිත අරමුණ වන අතර එයින් සිදුවන්නේ නිර්මාණශීලීත්වයක්, විචාරබුද්ධියක් සහිත විප්ලවවාදී එනම් ලෝකය හා එහි පැවැත්ව කොරෙහි වෙනස් විදියට හිතන හා එය වෙනස්කීරීමට උස්සාහ කරන ශිෂ්‍යයකු වෙනුවට මුළුමනින්ම සම්මුතිකාමී නිවටයකු වන් උපාධිධාරියකු බිහිවීමයි.

එක් පැත්තකින් මෙම පුහුණුව රටේ අධ්‍යාපනයේ ඉදිරිගමනට බරපතල බාධාවක් වන අතර අනෙක් පසින් රට ක‍්‍රමිකව ගමන්කරමින් සිටින මිලිටරි රාජ්‍යයක් සඳහාවන භයානක ගමනෙහි එක් පැතිකඩක් නියෝජනය කරයි. මෙම රෝගය ලෝකයේ ඕනෑම මිලිටරිනායකයකුට වැලදෙන ජාතියේ රෝගයක් වන අතර මින් නොනැවතී මුළුරටම මිලිටරියට දනගැස්සවීම දක්වාම ගමන් කරනු ඇත. එමෙන්ම අර්බුධකාරී මෙම ක‍්‍රමය තුළ බංකොලොත් ආණ්ඩුවට සිය පැවැත්ම වෙනුවෙන් මිලිටරියෙහි සරන පැතීම හැර අන් විකල්පයක් ද නැත.

උපුටා ගැනීම: iusfsl.org

Tuesday, December 25, 2012

යාපනයේ සරසවි ශිෂ්‍ය මර්ධනය උග්‍රවෙයි; තවත් සිසුවියන් තිදෙනෙක් ‘ ත්‍රස්ත විමර්ෂණයට ‘

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් හට කෙලවරක් නොවන ‘ ඊනියා ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ ‘ ප්‍රශ්ණ කිරීම්වලට මුහුණ දීමට සිදුවී තිබේ. දැන් ඔවුන්ගේ අලුත්ම ඉලක්කය වී ඇත්තේ ශිෂ්‍යාවන් වන අතර ප්‍රශ්ණ කිරීම් වලට භාජනය වන සිසුවියන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින්පවතී. අද (24) දිනයේදීද සිසුවියන් ත්‍රිදෙනෙකු ප්‍රශ්ණ කිරීම සඳහායැයි කියමින් වව්නියාව ත්‍රස්ත විමර්ෂණ ඒකකයට කැඳවා ඇත.

නොවැම්බර් 29 වැනිදා රාත්‍රියේදී මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා ඇතුළ තවත් සිසුන් රැසක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ත්‍රස්ත විමර්ෂණ ඒකක විසින් ප්‍රශ්ණ කිරීම් වලට යැයි කියමින් වව්නියාව කාර්යාලයට කැදවූ සිසුන් සංඛ්‍යාව අති විශාල බව යාපනය සරසවියේ ආචාර්යවරයෙකු පැවසීය.
පසුගිය සතියේදී සිසුවියන් සිව්දෙනෙකුට වව්නියාව ත්‍රස්ථ විමර්ෂණ ඒකකයට පැමිණෙන ලෙස දැනුම්දුන් අතර පසුව දැනුම් ත්‍රස්ත විමර්ෂණ ඒකකය මගින් දැනුම් දුන්නේ ඉන් දෙදෙනකුට පමණ ප්‍රකාශ ලබාගැනීමට පැමිණෙන ලෙසයි.

මීට දින කීපයකට පෙරදී තවත් සිසුවියන් 5 දෙනෙක්ද ,ඉන් පසු දිනයකදී තවත් දෙදෙනෙකුට සහ ඊළඟ දිනයේදී තවත් තිදෙනෙක් වව්නියා ත්‍රස්ථ විමර්ෂණ ඒකකයට කැඳවා ප්‍රශ්ණ කිරීම් සිදුකර තිබේ.
හිටිහැටියේ දෙන දුරකථක ඇමතුම්වලින් මෙම සිසුන්ට ප්‍රශ්ණ කිරීම සඳහා වව්නියාව කාර්යාලයට පැමිණෙන ලෙස දැනම් දෙයි. එපමණක් නොව තවමත් දිනපතාම පිරිමි සිසුන්ගෙන්ද ත්‍රස්ථ විමර්ෂණ ඒකකය ප්‍රශ්ණ කරමින් සිටිති.

මේ අතර යාපනය සරසවිය අවට විශාල වශයෙන් බුද්ධි අංශ සාමාජිකයන් ගැවසෙනු දැකගත හැකි අතර යාපනය ශිෂ්‍ය මර්ධන මේවන විට ඉතා උග්‍රතත්ත්වයකට පත්ව ඇත. බොහෝ සිසුන් දැඩි භීතියට පත්ව සිටින අතර සමහරුන් රට ඇතැර යෑමට පවා කල්පනා කර ඇතැයි වාර්තා වෙයි.

ඊනියා ත්‍රස්ත විමර්ෂණ පනත 1979 දී සිට ක්‍රියාත්මක වන ත්‍රස්ත මර්ධන පනතට අනුව අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු දින 99 ක් දක්වා රඳවා තබාගැනීමේ නියෝගයක් නිකුත් කිරීමේ බලය ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හට බලය තිබේ.

යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති බී.බවානන්දන්, එම සංගමයේ ලේකම් පී. දර්ශනාන්ත් ,ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. ජෙනමෙයි ජයන්ත් සහ විද්‍යා පීඨ ශිෂ්‍ය එස්. සොලමන් යන සිසුන් වෙත ආරක්ෂක අමාතංශ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද මාස තුනක රැඳවුම් නියෝග යටතේ වැළිකන්ද හමුදා රැඳවුම් කඳවුරේ රඳවාගෙන සිටින ලබයි.