Tuesday, March 5, 2013

නිදහස් අධ්‍යාපනය රැකගැනීමට ඒකාබද්ධ ප්‍රකාශයක්

ගෙන ඒමට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත අහෝසිකිරීම, අධ්‍යාපනයට දළ ජාතික ආදායමෙන් 6%ක් වෙන්කර ගැනීම, ප්‍රෝඩාකාරී සපිරි පාසල් ව්‍යාපෘතිය අහෝසි කර පැසල්වලට අවශ්‍ය පරිදි මුදල් ප්‍රතිපාදන වෙන්කිරීම, අධ්‍යාපනය මිලිටරිකරණය නැවතීම වැනි කරුණු කිහිපයක් මුල්කරගනිමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට කටයුතු කරන බව නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දේවක පුංචිහේවා මහතා පවසයි.

ඊයේ (03) කොළඹදී බහුජන සංවිධාන රැසකගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡා සභාවේදී මෙම එකඟතාවයට පැමිණි බව ඔහු පවසයි. මේ අනුව ඉදිරියේදී ඒකාබද්ධ ප්‍රකාශය ජනතාව හමුවේ තැබීමටත් තව තවත් වෘත්තීය සමිති ඇතුළු බහුජන සංවිධාන නිදහස් අධ්‍යාපනය දිනාගැනීමේ අරගලයට සම්බන්ධ කර ගැනීමටත් තම සංවිධානය බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

පාසලට මුදල් දෙන්න දිවි ගැටගසාගත් ඔරුව විකුණලා

හුංගම විජයබා ජාතික පාසලේ උසස්‌ පෙළ පන්තිය සඳහා තම දියණිය ඇතුළත් කිරීමට විදුහල්පතිවරයාට දීමට මුදල් නොමැතිකමින් දරු පවුලක්‌ ජීවත් කළ එකම චංචල දේපළ වන ඔරුව විකිණීමට සිදුවීමේ අනුවේදනීය පුවතක්‌ හුංගම දකුණු බටඅත ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

සාමාන්‍ය පෙළ සමත් තම දියණිය විජයබා ජාතික පාසලට ඇතුලත් කිරීම එකම විකල්පය වූ බවත් ඒ සඳහා විදුහල්පතිවරයා ඉල්ලූ රැ.4000 ලබාදීමට තමා ධීවර රැකියාව සඳහා යොදාගත් ඔරුව රැපියල් 10000කට විකුණා එම මුදල සොයාගැනීමට සිදුවූ බවත් එම පියා ප්‍රකාශ කරනවා. ඒ 9ක් නෙවෙයි ඒ 25ක් ලබාගෙන සිටියත් පාසලට ඇතුල්කර ගැනීමට රු.4000ක් අවශ්‍ය බව විදුහල්පතිවරයා තමාට ප්‍රකාශ කළ බවද එම පිය පවසනවා. මේ අතර එම දියණිය සාමාන්‍ය පෙළ විෂයන් 9ක් සඳමා සාමාර්ථයන් ලබා තිබෙනව බවද වාර්තා වේ.

හුංගම ජාතික පාසලේ විදුහල්පතිවරයා 2013 වර්ෂයට උසස්‌ පෙළ සිසු සිසුවියන් ඇතුළත් කර ගැනීම සඳහා දුප්පත් පොහොසත් බේදයක්‌ නොතකා සිසු සිසුවියන්130කට ආසන්න ප්‍රමාණයකගෙන් රු. 4000 බැගින් අයකරගෙන ඇති බවද දෙමාපියෝ කියති. ඒ වෙනුවෙන් රිසිට්‌පත් නිකුත් කර ඇත්තේ රු. 1460 කට පමණි. විදුහල්පතිවරයාගේ මෙවැනි අකටයුතුකම් පිළිබඳව දෙමවුපියන් විසින් හම්බන්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාට පැමිණිලි කර ඇතත් මෙතෙක්‌ ඒ සම්බන්ධයෙන් විධිමත් පියවරක්‌ ගෙන නොමැත.

Monday, March 4, 2013

පුහුණු ගුරුවරුන් නැති අධ්‍යාපනය කොයිබටද?

ගොවියා රටටම බත සපයයි. එහෙයින් හෙතෙම දේශයේ පියෙකි. වෛද්‍යවරයා හැමටම නිරෝගි බව ලබා දෙයි. එහෙයින් හෙතෙම අපට ජීවකයෙකි. ගුරුවරයා අපට නැණ නුවණ දැනුම සමග උගත්කම ලබා දෙයි. එහෙයින් හෙතෙම අපට ඉටු දෙවියෙකි.

ගුරු යන වදනේ අරුත බර යන්නයි. එම බර ශාරීරික බර නොවේ. උගත්කම පිළිබඳ බරයි. එහෙයින් වචනාර්ථයෙන්ම ගුරුවරයාට ගුණවත්කමේ, අර්ථවත්කමේ, සාධාරණත්වයේ මනුෂ්‍යත්වයේ හා දැනුමේ සියලු බර අන්තර්ගත විය යුතුය.

අප ගුරු ක්‍ෂේත්‍රයට පිවිසුණු යුගයේදී ඒ පදවිය ලැබීම සඳහා කඩුලු දෙක තුනක්‌ම පනින්නට සිදු විය. ගුරු සහතික පත්‍ර විභාගය සමත් වීම සඳහා අධ්‍යාපන මූලධර්ම, අධ්‍යාපන ක්‍රම, ළමා මනෝවිද්‍යාව වැනි දැනුමත් නිවැරැදි භාෂා දැනුම ඇතුළු විෂයයන් කීපයක්‌ පිළිබඳ පෘථුල දැනුමකුත් විය යුතුය. ලිත විභාගයෙන් සමත් වූ පසු නැවත වාචික සම්මුඛ පරීක්‍ෂණයකටද පෙනී සිට ඒ කඩුල්ලෙන් පැන දක්‍ෂතා පෙන්විය යුතු විය.

ගුරු සහතික පත්‍ර විභාගයට වඩා ගුරු අභ්‍යාස විද්‍යාල විභාගයෙන් සමත් වීම වඩාත් අසීරු විය. විවිධ විෂයයන් යටතේ අතිදක්‍ෂතා ඇති අයට පමණක්‌ එම විභාගයෙන් සමත් විය හැකි විය. ඒ විභාගයෙන් සමත්ව ගුරු අභ්‍යාස විද්‍යාලයකට ඇතුළුව අවුරුදු දෙකක්‌ හෝ තුනක්‌ දක්‍ෂ ගුරු පියවරුන් යටතේ පුහුණුව ලැබිය යුතු විය. ඒ වසර දෙක තුනදී පන්තියේ ළමයින්ගේ අවධානය දිනා ගන්නා හැටි, පාඩම ඉදිරිපත් කරන හැටි, ගුරුවරයා විසින් කළු ලෑල්ල පාවිච්චි කරන හැටි, ගුරුවරයා ගේ ඇඳුම, කථාව ආදී සියලු දේ පිළිබඳ එම අවුරුදු දෙක තුන තුළදී පුහුණුවක්‌ ලැබිය යුතුය. එහෙයින් එදා ගුරු තනතුරකට පත්වීම අති දුෂ්කර කටයුත්තක්‌ විය. අති දක්‍ෂ පිරිසක්‌ පමණක්‌ ගුරුවරුන් වශයෙන් තේරී පත් වූහ.

ඒ යුගයේ නිට්‌ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලය, කටුකුරුන්දේ ගුරු අභ්‍යාස විද්‍යාලය, පොල්ගොල්ල, උයන්වත්ත ගුරු අභ්‍යාස විද්‍යාල, පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලය යන මේ ශාස්‌ත්‍ර පීඨවලින් පඬිවරුන් වැනි ගුරුවරු සමාජයට පිවිසුහ. මුනිදාස කුමාරතුංග පඬිවරයා කෙරෙන් නිට්‌ටඹුව ගුරු විදුහලෙන් පුහුණුව ලැබ සමාජයට පිවිසුණ හැම කෙනෙක්‌ම අතිදක්‍ෂ ගුරුවරු වූහ. රැපියෙල් තෙන්නකෝන්, අරිසෙන් අහුබුදු, ආ. දොa චන්ද්‍රසේකර, දා. දු. න වීරකෝන් වැනි ගුරුවරුන් ගැන සිතෙන විට එදා ගුරුවරයකු සතුව පැවතුණු දැනුම ගැන අදත් අපට ආඩම්බර විය හැකිය.

අද ගුරුවරයකු වශයෙන් පත්වීමක්‌ ලබන්නට විභාගවලට පෙනී සිටිය යුතු නැත. දක්‍ෂතා ප්‍රදර්ශනය කළ යුතු නැත. දේශපාලනඥයකුගේ තුණ්‌ඩු කෑල්ලක්‌ ලබා ගත් පමණින් ගුරුවරයෙකි. මේ ගුරුවරයා විෂය දැනුම ඉගැන්වීමේ මූලධර්ම, මනෝ විද්‍යාව ආදි කිසිවක්‌ පිළිබඳව සොයා බැලීමක්‌ නැත. එහෙයින් ඒ අයගෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයාගේ ආදරයට එබඳු ගුරුවරුන් පත් වන්නේ නැත. ශිෂ්‍යයාගේ ස්‌වභාවය පිරුණු දැනුමක්‌ ඇති ගුරුවරයා ඇදහීමයි. ගුරුවරුන් තෝරා ගැනීමේදී අනුගමනය කරන ක්‍රමයේ වරද නිසා ළමයින්ට සුවිශේෂ දැනුමක්‌ ලැබිය නොහැකිය. ගුරුවරුන්ට පහර දෙන ශිෂ්‍යයන් ගැන, ශිෂ්‍යයන්ට අමානුෂික දඬුවම් දෙන ගුරුවරුන් ගැන නිතර නිතර පුවත්පත්වල වාර්තා පළවන්නේ මේ වරද නිසාය. නොමේරු මනසක්‌ ඇති දරුවකුට වැරැදි දඬුවමක්‌ දීම නිසා ආත්මාභිමානයෙන් පැරැදුණු ශිෂ්‍යාවක සිය දිවි නසාගත් පුවතක්‌ මේ නොබෝදා අසන්නට ලැබුණි.

වත්මන් ගුරුවරුන්ගෙන් වැඩි දෙනෙකු මත් පැනට පුරුදු වී ඇති බවක්‌ දක්‌නට ලැබේ. ඒ ගුරුවරුන්ගේ ඉගෙනීම හෝ ඇසුර ලබන ශිෂ්‍යයා එම ගුරුවරයා අනුකරණය කළොත් අත්වන ඉරණම කුමක්‌ද? ශිෂයාගේ ස්‌වභාවය තමා ප්‍රිය කරන ගුරුවරයාගේ පැවැත්ම අනුගමනය කිරීමය.

ඉහළ පන්තියක අප ඉගෙනීම ලබද්දී එම පන්තියේ ළමයින් 20 ක්‌ පමණ වූ බව මට මතකය. ඒ කිසිම ශිෂ්‍යයෙක්‌ මේ දක්‌වා දුම් වැටියක්‌ දෙතොලේ රඳවාගෙන නැත. මත් පැනට ගොදුරුවී නැත. එහෙම වුණේ අපට ඉගැන්වු ගුරුවරයාද යහපත් පැවැතුම් ඇති කෙනෙකු වීම නිසාය.

අධ්‍යාපනයේ කඩාවැටීම සිදු වූයේ ගුරු අභ්‍යාස විද්‍යාල වසා දැමූදා සිට යෑයි විශ්‍රාම ලැබ සිටින පරණ ගුරුවරු කියති. පුහුණු ගුරුවරයකුට තිබුණු විෂය දැනුම හා ඉගැන්වීමේ හුරු බුහුටි කම සරසවියෙන් පමණක්‌ දැනුම ලබාගත් උපාධිධරයකුට නැතැයි බොහෝ දෙනෙක්‌ කියති. ඒ කථාවේ සත්‍යයක්‌ නැත්තේ ද නොවේ.

ගුරුවරයා දේශපාලනඥයාගේ අනුගාමිකයකු වූ දා සිට අධ්‍යාපනය දුර්වල වූ බවටද මතයක්‌ වේ. දැනුමේ ශක්‌තියට වඩා දේශපාලන ඇයි හොඳයි කමේ ශක්‌තිය ප්‍රබල වූ විට එහි අවාසිය ශිෂ්‍යයාටය. මධ්‍යස්‌ථ ගුරුවරයාටද එය බාධාවකි. පැරැණි ගුරුවරයා සමාජය කෙරෙහි, ශිෂ්‍ය පරපුර කෙරෙහි උසස්‌ම ගෞරවය ලැබුවේය. වත්මන් ගුරු පරපුරට එම ගෞරවය අහිමි වෙමින් පවත්නා බව සඳහන් කරන්නේ වත්මන් ගුරුවරයා අව තක්‌සේරුවකට ලක්‌ කිරීමේ අදහසින් නොවේ.

ගුරුවරයාද සිය රාජකාරිය වෙනුවෙන් කිසියම් වැටුපක්‌ ලබන නිසා ඒ අයට සුවිශේෂ ගෞරවයක්‌ දැක්‌විය යුතු නැත යන විෂබීජය සිසුන්ගේ පපුවට ඇතුළු කළේ එක්‌තරා දේශපාලන පක්‍ෂයක්‌ විසින් නොවෙයි නම් නරුමවාදී පිරිසක්‌ විසිනි. ඒ ආකල්පයම මා පියන් කෙරෙහිත් බලපාන තරමටම ඒ දුෂ්ට හැඟීම ව්‍යාප්තව ඇත. අදත් සිය ගුරුවරයාට භක්‌ති පුරස්‌සරව දුටු තැන නමස්‌කාර කරන්නේ ජ්‍යෝතිෂ ශිෂ්‍යාත් වෛද්‍ය ශිෂ්‍යාත් විසින් පමණය.

අධ්‍යාපන ගමනේ අතීතය දෙස බලන විට බුදු බව අත්වීමට තරම් සුවිශේෂ මෙහෙවරක්‌ කළ අධ්‍යාපන ඇමැතිවරයා සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා බව මෙහිලා සඳහන් කළ යුතුය. නුගවෙල ඇමැති තුමාගේ පටන් කළුගල්ල, දහනායක, රිචඩ් පතිරණ හා අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල යන අධ්‍යාපන ඇමැතිවරුද ජ්‍යෙෂ්ඨ ගුරුවරුන්ගේ පැසසුමට ලක්‌වෙයි මුදල් අයකිරීමක්‌ නොමැතිව ඇති හැකි හැමටම නොමිලයේ ඉගෙනීම ලැබිය හැකි නිදහස්‌ අධ්‍යාපනය ඇති කිරීම නිසා කන්නන්ගර ඇමැතිතුමා අදත් පැසසුම් ලබයි. ගුරු විදුහලට ඇතුළු වූ දා සිට පුහුණුව ලබන කාලයේදීම වැටුප ලබාදීම ගැන දහනායක ඇමැතිතුමා ගෞරවයට පාත්‍රවෙයි. ගුරු විභාග පවත්වා සුදුසු ගුරුවරුන් තෝරාගැනීම අතින් කළුගල්ල ඇමැතිතුමා සුවිශේෂ වෙයි. ගුරුවරයාට ඉහළ වැටුපක්‌ ලබා දීමට පුරෝගාමි වූ රිචඩ් පතිරණ මහතාට වත්මන් ගුරුවරයා ණයගැති වෙයි. භාෂා ව්‍යවහාරයේ දී හෙවත් ලිත ක්‍රමයේ විවිධ වෙනස්‌කම් නැතිකර සම්මත සිංහලයක්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ඉදිරිපත් කළේ ඊරියගොල්ල ඇමැතිතුමාය. එහෙත් සිංහල භාෂාවට කුඩම්මාගේ සැලකීමක්‌ දැක්‌වූ එසේම කොහොම ලිව්වත් හරි යන නිගමනයක සිටි පේරාදෙණි සරසවි ගුරුවරුන් පිරිසක්‌ විසින් එවකට අධ්‍යාපන ඇමැතිව සිටි බද්යුද්දීන් ඇමැති තුමාට කරුණු පෙන්වා එම සම්මත සිංහලය කුණු බක්‌කියට දැම්මේය. සිංහල භාෂාව පිළිබඳ හය හතර නොදන්නා බද්යුද්දීන් ඇමැතිතුමා ලෙහෙසියෙන් මුළා කිරීමට එම සරසවි ඇදුරන්ට හැකි විය. එය එසේ වුවද පැරැණි සිංහල ගුරුවරයා ලේඛන කටයුතුවලදී ඊරියගොල්ල මහතාගේ සම්මත සිංහල ක්‍රමය අනුගමනය කරයි.

සමාජය නිරවුල් කිරීමේ වගකීමත් හැකිකමත් ඇත්තේ ගුරුවරයාටය. ළමා වියේදීම දවසේ වැඩි කාලසීමාවක්‌ දරුවා හැසිරෙන්නේ ගුරු ඇසුරේය. එහෙයින් ගුරුවරයා දැනුමෙන් පැවතුමෙන්, කාරුණිකත්වයෙන්, පරිත්‍යාගශීලී බවින් හා ආකල්පවලින් පවිත්‍රව සිටිය යුතුය. අප ගුරුවරුන් වශයෙන් ගුරු ක්‍ෂේත්‍රයට ඇතුළු වීම සඳහා ලිත පරීක්‍ෂණයකට අමතරව වාචික පරීක්‍ෂණයකටද යොමු විය යුතු විය.

එවන් සම්මුඛ පරීක්‍ෂණයක දී මා මුහුණ පෑ අත්දැකීමක්‌ තවමත් මට මතකය.

ඔබ කියවා ඇති පත පොත මොනවා දැයි පරීක්‍ෂණ මඬුල්ල මගෙන් ප්‍රශ්න කළේය. සියලුම සිංහල පත පොත කියවා ඇතැයි මම පිළිතුරු දුනිමි. සංදේශ කාව්‍ය තුන හතරක නම් කියා එහි සඳහන් කවියක්‌ කියන්නැයි මට අණ කළේය. මම ඒ ප්‍රශ්නයට සාර්ථකව පිළිතුරු දුනිමි. වැඩියෙන්ම කියෑවූ පොත කුමක්‌දැයි නැඟු ප්‍රශ්නයට වැඩියෙන්ම සතිපතා කියවන පොත හාල් පොත බව මා කී විට පරික්‍ෂණ මඬුල්ලේ සිටි තිදෙනා ගෙන් දෙදෙනෙක්‌ම උදහස්‌ වූහ. එහෙයින් පරීක්‍ෂණයෙන් මා අසමත් කිරිමේ අදහසින් එක්‌ අයෙක්‌ ඔබ කාටවත් ප්‍රේම කරනවාදැයි ප්‍රශ්න කළේය. ඔව් මම මගේ මෑණියන්ට ප්‍රේම කරමියි දුන් පිළිතුරෙන් මම අනූනවයෙන් ගැලවුණෙමි. ඒ නිදසුන ඉදිරිපත් කළේ අද මෙන් නොව එවකට ගුරු ක්‍ෂේත්‍රයට ඇතුළු වීම සඳහා එක්‌තරා විශාරද බවක්‌ ඇතිව සිsටි යුතු බව පසක්‌ කිරීමටය. ඒ අතින් වත්මන් තත්ත්වය ෙ€දනීය වේ. දැනුම පිළිබඳව හා ආකල්ප පෙරදැරිව කිසිදු විමැසීමක්‌ නොකර, දේශපාලනමය තෝරා ගැනීම නිසා නොවේ නම් රස්‌සාවක්‌ සපයා දීමේ ක්‍රමයක්‌ වශයෙන් ගුරුවරුන් බඳවා ගැනීම අසාර්ථක බව වත්මන් සිදුවීම්වලින් සනාථ වී ඇත. එහෙයින් යළිදු ගුරුවරයා පුහුණු කර සමාජගත කිරීම සඳහා පෙර පැවති ගුරු අභ්‍යාස විභාගය වැනි ක්‍රමයක්‌ ගැන කල්පනා කිරීමට කාලය එළඹ තිබේ.

එදා පුහුණුව ලබන ආධුනික ගුරුවරයා සමුහයක්‌ ඉදිරියේ ප්‍රායෝගික ඉගැන්වීමක්‌ කර ලකුණු ලබා ගත යුතු විය. එහෙත් ඇතැම් පාසලක ජ්‍යෙෂ්ඨ පන්තියකට එසේ ඉගැන්වීමට අසීරු අවස්‌ථා විය. පාසලේ ගුරුවරුන්ගේ මෙහෙයවීම මත පුහුණුව සඳහා උගන්වන්නට පැමිණෙන ගුරුවරයා අසීරුවට පත් කිරීමේ හැසිරීම් රටාවක්‌ වූ බැවිනි.

දිනක්‌ ගුරු විදුහල්පතිතුමා අභ්‍යාස විද්‍යාලයේ සිටි ගුරුවරුන් දිරිගන්වමින් එම පන්තියට උගන්වන්නට තරම් ආත්ම ශක්‌තියක්‌ හා නිර්භය කමත් ඇති කෙනෙකු මේ තැන නැද්දැයි ප්‍රශ්න කළේය. දෙවියන් වහන්සේ පය තබන්නට බිය උපදවන තැන පිනුම් ගසන්නට නොබිය එක්‌ ගුරුවරයෙක්‌ එම අභියෝගය පිළිගත්තේය.

එම ගුරුවරයා අමාරුවේ වැටෙන හැටි දැක බලා ගැනීමට ගුරු විදුහලේ සිටි වැඩි පිරිසක්‌ පන්තිය ඉදිරියේ වූහ. ගුරු මඬුල්ලේ කීප දෙනෙක්‌ද වූහ.

පන්තිය ඉදිරියට ගොස්‌ ආයුබෝවන් යෑයි කී ගුරුවරයා ශිෂ්‍යයන් නොකඩවා හෙළන ආයුබෝවන් වැස්‌සෙන් තෙමුණේය. එය නොතකා අප අද භූගෝල පාඩමක්‌ ඉගෙනීමට යමුයි කියමින් ලෝක සිතියම ගෙනෙන්නැයි සිසුවකුට කී විට සිතියමක්‌ නෑ සර් නෑ සර් නෑ සර් යන පිළිතුරම එක හඬින් ගලා එන්නට විය එයින්ද අපරාජිත ගුරුවරයා මෙසේ කීය.

ළමයිනේ රැවුල නැතුව දෙන හාදුවයි, අබ නැතිව උයන මස්‌ හොද්දයි, සිතියමක්‌ නැතිව උගන්වන භූගෝල පාඩමයි යන තුනම අසාර්ථක බව පවසා ඇයි සිතියමක්‌ නැතිව උගන්වන භූගෝල පාඩම් අසාර්ථක? ඇයි අබ නැතිව උයන මස්‌ හොද්ද නීරස? ඇයි රැවුල නැතිව දෙන හාද්ද අසාර්ථක යන ප්‍රශ්න තුනම මහත් අභිමානයෙන් ඉදිරිපත් කරත්ම පන්තිය නිහඬ විය. කුමක්‌ දොa අලුත් යමක්‌ දැන ගන්නට ලැබෙන බවක්‌ ඉඟියෙන් වටහාගත් පන්තියේ සිටි සියල්ලෝම සැණින් නිහඬව එය දැනගැනීමේ රිසියෙන් ගුරුවරයාට අවධානය යොමු කළෝය.

ගුරුවරයාගේ පාඩම් කාලය විනාඩි 30 කි. හෙතෙම විනාඩි 28 ක්‌ම අබ නැතිව උයන මස්‌ හොද්ද ගැනත්, සිතියමක්‌ නැතිව උගන්වන භූගෝල පාඩම ගැනත් කරුණු පහදා දී කාලය ඉතිරිව ඇත්තේ විනාඩි 2 ක්‌ පමණක්‌ බැවින් අපි ඊළඟ දවසකදී ඒ පාඩම ඉගෙන ගනිමුයි කියා සිය කාර්යයෙන් සමු ගත්තේය.

හැම පාඩමකම ඉගැන්වීම විවේචනයට ලක්‌වීම එදා සිරිත විය. භූගෝලය ගැන යමක්‌ ඉගැන්වූයේ නැති නිසා පාඩම අසාර්ථකයෑයි කෙනෙක්‌ කීහ. දඩබ්බර පන්තියක අවධානය විනාඩි 28 ක්‌ තුළ තබා ගැනීමට පොහොසත් වූ හෙයින් පාඩම සාර්ථකයෑයි තවත් පිරිසකගේ මතය විය.

ගුරුවරයාගේ පළමු කාර්යය විෂය ඉගැන්වීමට පළමු ළමයින්ගේ දැඩි අවධානය තමා වෙත රඳවා ගැනීම බව කී විදුහල්පතිතුමා ගුරුවරයාගේ ඉගැන්වීම සර්වප්‍රකාරයෙන් සාර්ථක බවත් කීවේය.

ඒ නිදසුන ඉදිරිපත් කළේ ඉගැන්වීම යනු පහසු කාර්යයක්‌ නොවන බවත් දැනුම පමණක්‌ නොව උපායශීලී බව හා ස්‌ථානෝචිත ප්‍රඥව විය යුතු බවත් පසක්‌ කිරීමටය.

ඇතැම් ළමයකු අසන ප්‍රශ්නයකට පිළිතුරු දීමට බැරි අවස්‌ථාද උගන්වන ගුරුවරයාට වෙයි. පන්ති භාර ගුරුවරයා නොපැමිණි දිනෙක බලාංශ පන්තියකට ඉගැන්වීමට ගොස්‌ සිල්පද පහ ගැන උගන්වමින් සතුන් මැරීම, හොරකම් කිරීම ආදී පස්‌ පව් වලින් වළකින්නැයි බුදුන් වහන්සේ කියා ඇති බවත් කී විට එක්‌ දරුවෙක්‌ අත උස්‌සා ප්‍රශ්නයක්‌ නඟමින් ළමයින්ට ගහන්න එපා යි බුදුහාමුදුරුවෝ කියා නැද්දැයි ප්‍රශ්න කළේය. එම ප්‍රශ්නය මානසික අසහනය නිසා නඟන ලද්දක්‌ නොව දැනගත යුතුව හෙයින් අසන ලද්දක්‌ බව දරුවාගේ ඉරියව්වලින් පැහැදිලි විය. ඒ ප්‍රශ්නයට ඕව් නෑ යන පිළිතුරු දෙකම දිය නොහැකිය. එහෙයින්, තියෙනවා ඒ ගැන ඊළඟ පන්තියේදී ඉගෙනගත හැකි බව කියා ගැලවුණේය.

නැවේ ඉතිහාසය ගැන උගන්වන පස්‌ වැනි පන්තියට ගිය විටෙක වනගතව ජීවත්වූ මිනිසා බියකරු සතුන්ගෙන් ගැලැවීම සඳහා උපායක්‌ සොයද්දී ජලාශයකට පිවිසීම නැණවත් බවත් කල්පනා කළේය. දියේ පාවන ඇතැම් ලී කොටයක්‌ මත කුරුල්ලකු වසා ඇති බවත් දැක ගහක්‌ කපා දියට දැමුවේය. ගස දියයට ගියේය. ඒ සඳහා වේලුණු ගසක්‌ අවශ්‍ය බව පසක්‌ විය. එය ජලයේ යට ගියේ නැත. එම දැව කඳ හාරා පාරුවක්‌ මෙන් හදාගත්තොත් මැනවැයි කල්පනා විය. එසේ කළේය. එවිට ඔරුව පෙරැළෙන්නට බලයි. ඒ නිසා කොල්ලෑවක්‌ අවශ්‍ය බව වැටහී එසේ කළේය. දැන් හබලක ආධාරයෙන් ඔරුව පැදවිය හැකි බව වැටහිණි. තවත් පහසුව සඳහා හුළං පෙත්තක්‌ ඔරුවට සවි කර ගැනීමට කල්පනා කළේය. එසේ කළ විට ඔරුව තුළට වතුර වැටෙන බව කී සැණින් එක්‌ ළමයෙක්‌ නැගී සිට ඇයි එයට මඩ පෝරුවක්‌ සවි කරගන්නට හැකිනේදැයි ප්‍රශ්න කළේය.

ඇතැම් බුද්ධිමත් ළමයින් ගුරුවරයාට වඩා ඉදිරියට සිතන අවස්‌ථාවේ ඒ නිදසුන ඉදිරිපත් කළේත් ඉගැන්වීම කරන්නේ පණ ඇති බුද්ධිය ඇති විචාරය ඇති පිරිසකට හෙයින් ඒ සඳහා පූර්ව පුහුණුවක්‌ හා සුවිශේෂ දක්‍ෂකමක්‌ විය යුතු බව පසක්‌ කිරීමය.

සමාජයේ හොරුන්, අපරාධකරුවන්, වැඩිවෙමින් පවතින්නේ පාසලේ උගන්වන විෂය ධාරාව අසම්පූර්ණ නිසා බව පැහැදිලි වේ.

යුද්ධයෙන් පසුව රට සංවර්ධනය වෙමින් පවතී. දරුවා සමාජගත කරන්නේ ගුරුවරයා විසින් නිසා ඒ කටයුත්තට පොහෝනා පිරිසක්‌ම ගුරු ක්‍ෂේත්‍රයට ඇතුළත් කර ගත යුතු බවත් ඒ සඳහා යළිදු ලිත වාචික පරික්‍ෂණ මගින්ම ගුරුවරුන් බඳවා ගත යුතු බවත් ඒ සඳහා යළි ගුරු අභ්‍යාස විද්‍යාල පැරැණි අයුරින් ඇති කළ යුතු බවත් කල්පනා කරන්නේ නම් වඩාත් වැදගත් වේ. දැනට ජීවතුන් අතර සිටින පැරැණි පුහුණු ගුරුවරුන් ටික දෙනාගෙන් මේ සඳහා මහත් ප්‍රයෝජනයක්‌ ගත හැකි බවද මතක්‌ කරමි.

ආචාර්ය
පියසේන රතුවිතාන

Thursday, February 28, 2013

සුදු රෙදි හොරු


පසුගිය වසරේ පාසල් සිසුන්ගේ නිල ඇඳුම් රෙදි ආනයනයකිරීමේදී රජයට රුපියල් දහතුන්කෝටි පනස් ලක්ෂයකට (135,000,000) අධික පාඩුවක්‌ සිදු වී තිබෙන බව එම වසරට අදාළව නිල ඇඳුම් රෙදි ආනයනය කිරීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ නිරීක්‍ෂණයන්ගෙන් තහවුරුවී තිබේ. චීනයෙන් රෙදි ආනයනය කිරීම නිසා එවැනි පාඩුවක් සිදු වී ඇති බව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවද පසුගිය වසරේ ඔක්‌තෝබර් මාසයේදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇත.


අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් මෙම රෙදි චීනයෙන් ආනයනය කිරීමේ සේවා ගාස්‌තු ලෙස පමණක්‌ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්‌ථාවට ගෙවා ඇති මුදල් රුපියල් දෙකෝටි හැත්තෑඅටලක්‍ෂ අසූදහස (රු. 27,880,000) ඉක්‌මවා ඇත.


නිල ඇඳුම් රෙදිවල තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා තාක්‍ෂණික ඇගයීම් කමිටු නිලධාරින් රුපියල් විසිඅටලක්‍ෂ විසිහයදහසක්‌ (රු. 2,820,000) වැය කරමින් තෙවරක්‌ම චීනයේ සංචාරය කිරීම ද විශේෂත්වයකි.


කැබිනට්‌ මණ්‌ඩල තීරණයට පටහැනිව රෙදි මිටර් 15,580ක්‌ මිලදී ගැනීම නිසා රුපියල් විසිඑක්‌ලක්‍ෂ තිස්‌හයදහසකට (රු. 2,130,000) අධික වටිනාකමක්‌ සහිත රෙදි තොගයක්‌ අනවශ්‍ය රෙදි තොග වශයෙන් ගොඩගසා ඇතැයි ද එම ලිපියේ සඳහන්ව තිබේ.


එපමණක්‌ නොව රෙදි ආනයනය සඳහා දීර්ඝ කාලයක්‌ ගත වීම නිසා රජයට රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක්‌ අහිමි වී ඇතැයිද සුදු කලිසම් රෙදි මීටර් නවලක්ෂ අසූදාහක් (9,80,000)‌ මිලදී ගැනීමේදී අවම මිල ගණන් ඉදිරිපත් කර තිබූ ආයතනයට ටෙන්ඩරය ලබා නොදී වෙනත් ආයතනයකට ටෙන්ඩරය පිරිනැමීම නිසා රුපියල් එක්‌කෝටි තිස්‌ලක්‍ෂයකට (13,000,000) අධික පාඩුවක්‌ සිදු වී ඇතැයිද රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව ලේකම්වරයාට යවා තිබෙන ලිපියේ සඳහන් කර තිබේ.


කැබිනට්‌ මණ්‌ඩල තීරණයට අනුව රෙදි මීටර් හැත්තෑපන්ලක්ෂ පනස් නවදහස් නවසිය විසිහයක (7,559,926) මිලට ගැනීමට නියමිත වුවද, මිලට ගෙන ඇති ප්‍රමාණය මීටර් හැත්තෑ පන්ලක්ෂ හැත්තෑපන්සහස් පන්සිය හය (7,575,506)කි. මෙම ප්‍රමාණයෙන් ද මීටර් එකොලොස් ලක්ෂ දහදහස් අනූහයක් (1,110,096) එනම් රුපියල් පහළොස්‌කෝටි අසූහත්දහසකට (150,084,000) අධික වටිනාකමින් යුත් රෙදි තොග පසුගිය වසරේ සැප්තැම්බර් මාසය අවසානය වනවිටත් ගබඩාවට ලැබී නොතිබූ බවද විගණන නිරීක්‍ෂණයෙන් හෙළිවී ඇත. එහි විශේෂත්වය නම් මෙම රෙදි තොග කුමන ස්‌ථානයක ගබඩා කර තිබුණේද යන්න විගණනයට අනාවරණය කර ගැනීමට නොහැකි වීමය.


කැබිනට්‌ තීරණයට අනුව නිල ඇඳුම් රෙදි ආනයනය කිරීමට අදාළ සියලු කාර්යයන් එනම් ටෙන්ඩර් කැඳවීම,ලිපි ලේඛන සැකසීම ආදිය රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්‌ථාව කළ යුතු වූ අතර එම සංස්‌ථාවේ වගකීම වූයේ අදාළ සියලු ක්‍රියාමාර්ග ගෙන අමාත්‍යාංශයට රෙදි සැපයීමය. ඒ අනුව තාක්‍ෂණ නිලධාරීන්ගේ චීන සංචාරය සඳහා වැය වූ රුපියල් විසිඅටලක්‍ෂයකට (2,800,000) අධික මුදල සංස්‌ථාව දැරිය යුතු නමුත්, එම මුදල අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංස්‌ථාවට ගෙවීම ද සැලකිය යුත්තකි.


පසුගිය වසරට අදාළ නිල ඇඳුම් රෙදි ගෙන්වීමේදී මෙතරම් අක්‍රමිකතා හා පාඩු සිදු වී තිබියදීත්, මෙම වසරට (2013) අදාළවද නිල ඇඳුම් රෙදි චීනයෙන් ආනයනය කිරීම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්‌ථාව විසින්ම කරන ලද අතර එහිදී ද රජයට සිදු වූ පාඩුව රුපියල් කෝටි හයහමාරකි (රු. 65,000,000).

අධ්‍යාපනය නංවනවා වෙනුවට පාසල් මිලිටරීකරණය කිරීම වහාම නවතනු - SSU

අධ්‍යාපනය නංවනවා වෙනුවට පාසල් මිලිටරීකරණය කිරීම වහාම නවත්වන්නයැයි ආණ්ඩුවට බලකරනබව සඳහන් කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය පහතින් පළ වේ.
"මාර්තු මාසයේදී පාසල් විදුහල්පතිවරුන් 4,000කට හමුදා තනතුරු පිරිනැමීමට ආණ්ඩුව විසින් කටයුතු සූදානම් කර ඇත. පාසල් පද්ධතිය මිලිටරීකරණය කිරීම සඳහා මෙවැනි ක‍්‍රියාවක් ආණ්ඩුව විසින් සිදුකළ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර අවස්ථාවකදීද ප‍්‍රධාන පාසල් ඉලක්ක කරගනිමින් පළමු පංතියේ සේවයේ නියුතු තෝරාගත් විදුහල්පතිවරුන් 23කට කර්නල් තනතුරු පිරිනමා තිබිණි. එයට පෙර හමුදා සේවයේ නියුතු වූ නිළධාරීන් යම් යම් අවස්ථාවලදී පාසල් විදුහල්පතිවරුන් ලෙස යොදා තිබුණද, සෘජුවම පාසල් පද්ධතිය මිලිටරීකරණය කිරීමේ අරමුණින් ආණ්ඩුව සිදුකල පළමු මැදිහත්වීම එය විය.
අප මෙය හඳුනාගත යුත්තේ ආණ්ඩුව මුළු රටම මිලිටරීකරණය 

කරගනිමින් යන ගමනේ තවත් එක් පියවරක් ලෙසටය. අද වන විට ජනතා ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් හඬනඟන උද්ඝෝෂණ මර්දනය කිරීමේ සිට රාජ්‍ය පරිපාලන සේවය දක්වාම සිදුකරන මෙවැනි හමුදා මැදිහත්වීම් සිදුවන්නේ ඒ වැඩපිලිවෙල අනුවය. ජනතාව බියගන්වා තබාගැනීමේ වුවමනාව අනුවය. අද වන විට එය රටේ අධ්‍යාපනයද ඉලක්ක කරගනිමින් ක‍්‍රියාත්මකව ඇත.සරසවි ප‍්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ට හමුදා පුහුණුව ලබාදීම ඇරඹියේද ඒ අනුවමය. කෝටි ගණනක මුදල් වියදම් කරමින් සිදුකරන එම ක‍්‍රියාවලින් මෙතෙක් ලැබි ඇති කිසිඳු වටිනාකමක් ඇත්ද? එම කාලසීමාව තුල එම වියදමින්ම සිසුන් පරිගණක හෝ ඉංග‍්‍රීසි වැනි පාඨමාලා වෙනුවෙන් යෙදවූවානම් එය සරසවියේදී වඩා ප‍්‍රයෝජනවත් විය හැකිව තිබිණි. නැතහොත් උසස්පෙළ සමත්වන සිසුන්ගෙන් සරසවි සඳහා බඳවාගන්නා සිසුන් ප‍්‍රමාණය ඉහළ නැංවිය හැකිව තිබිණි. එසේත් නැතහොත් එස්.බී. දිසානායක ඇමතිවරයා නොමිලේ ලබාදෙනවා යැයි සඳහන් කළ, එහෙත් ලබා නොදුන් ලැප් ටොප් යන්ත‍්‍ර හෝ සිසුන්ට ලබාදිය හැකිව තිබිණි. එහෙත් එසේ නොකර සිසුන් හමුදා කඳවුරු තුළට යැවීමටම සැළසුම් කලේ ඉහත අප සඳහන් කළ ආණ්ඩුවේ පහත් වුවමනාව සපුරාගැනීමටය. සිසුන් මිලිටරීකරණය කිරීමට එසේ ඇරඹි අතර අද එය හය හතර නොදත් 1 වසරේ පාසල් දරුවා පවා ඉලක්ක කරගනිමින් ක‍්‍රියාත්මක කිරීම මුළු මහත් ජනතාවක් ලෙස අප හෙළාදැකිය යුතුය.
අධ්‍යාපනය නගා සිටුවනවානම් ආණ්ඩුව මේ මොහොතේදී අනිවාර්යයෙන් කලයුතු වැඩසටහන් රාශියක්ම පවතී. ඇතුලත්වීමට පාසලක් නොමැතිව සිටින එක වසරේ දරුවාට පාසලක් ලබාදීමේ පටන් වඩා ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා වූ භෞතික හා මානව සම්පත් පාසල් වෙත ලබාදීම ඉන් පළමු වැන්නයි. එවැනි ක‍්‍රියාවලියක් හරහා සිසුන් අධ්‍යාපනයෙන් පිටමං කිරීම වලක්වනු වෙනුවට අද මේ කරමින් සිටින්නේ කුඩා ළමයාගේ පටන් බයගැන්වීමේ ක‍්‍රියාවලියකි.
ආණ්ඩුව විසින් සිදුකරන මෙම මිලිටරීකරණ ක‍්‍රියාවලිය සිසුන් දෙමාපියන් ඇතුළු රටේ ජනතාව තේරුම්ගත යුතුය. එසේම ඊට එරෙහි විය යුතුය. එමෙන්ම පාසල් අධ්‍යාපනය විනාශ කිරීමේ නොයෙක් අණපණත් සමගින්ම ගෙන එන සිසුන් මිලිටරීකරණය කිරීමේ මෙම වැඩපිළිවෙලත් වහා හකුළා ගන්නා ලෙස අප ආණ්ඩුවට බලකර සිටිමු."

පේරාදෙණිය කෘෂි පීඨයේ පාඨමාලා දෙකක් වැහෙන ලකුණු


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨට අනුබද්ධව 2009 වසරේ ආරම්භ කරන ලද සත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යාව පාඨමාලාව සහ කෘෂිතාක්ෂණය හා කළමනාකරණය යන උපාධි පාඨමාලාවන් සඳහා 2013 වසරේ සිට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත්කර ගැනීමෙන් වැලකී සිටීමට විශ්වවිද්‍යාල පරිපාලනය විසින් පියවර ගිනිම්න් සිටින බැවින් ඊට විරෝධය දක්වමින් එම පීඨවල දැනට අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඊයේ (26) ගලහ මන්දන්දියේ උද්ඝෝෂණයක නිරතවී තිබේ.

මේ සම්බන්දයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ කෘෂිකර්ම පීඨ ශීෂ්‍ය සංගමයේ සභාපති බී. ආර්. එම්. එන්. කේ. අබේසිංහ මහතා පැවසූවේ " 2009 වසරේ ආරම්භ කරන ලද සත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යාව පාඨමාලාව සඳහා මෙම වසරට ශිෂ්‍යාවන් 78දෙනෙකුත් කෘෂිතාක්ෂණය හා කළමනාකරණය පාඨමාලාව සඳහා මෙම වසරට 53දෙනෙකුත් ලෙස ළමුන් 131 ගැනීමට නියමිතව තිබෙනවා.

නමුත් එම ළමුන් බඳවා ගතහොත් ඔවුන්ට පහසුකම් සැපයීමට පරිපාලනයට නොහැකියැයි පවසමින් ඔවුන් බඳවා ගැනීම නතරකීමේ සූදානමක් පවතිනවා. එම පාඨමාලා සම්පූර්ණයෙන්ම නවතා දමන තත්වයකට පත්ව තිබෙනවා.

මේකට ප්‍රධාන හේතුව භෞතික සම්පත් හිගකම. 2009 මෙම පාඨමාලා ආරම්භ කරද්දි සිසුන් සඳහා අවශ්‍ය භෞතික සම්පත් ලබාදෙන බවට පොරොන්දුවුවත් මේ දක්වා එහි පහසුකම් සපයා නැහැ. වැඩිවන ශිෂ්‍ය සංඛ්‍යාව අනුව පවතින භෞතික පහසුකම් ප්‍රමාණය මදි.

දේශන ශාලා පහසුකම්, යටිතල පහසුකම්, ආපන ශාලා පහසුකම් සියල්ල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දරාගත නොහැකි තරමම මදි.

2011 වසරේ සිටම මෙම පහසුකම් ප්‍රශ්නය සම්බන්ධයෙන් කරුනු මතුකර අදාල පහසුකම් සපයන්නැයි ඉල්ලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පාලක සභාව සමග, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග විටින් විට සාකච්ඡා පවත්වලා තියෙනවා, ලිඛිතව දන්වලා තියෙනවා. ඒත් ප්‍රථිපලයක්වුනේ නැහැ.

ඒ නිසා අපි අධාපන බලධාරීන්ට කියනවා මෙවෙනකොට මෙහේ විශ්වවිද්‍යාලයෙනුත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමසමෙනුත් අනුමතවෙලා තියෙවන මෙම පාඨමාලාවලට අදාල ව්‍යාපෘථි සැලසුම කැබිනට් මණ්ඩලයට දාලා අනුමතකරවාගෙන වහාම අපේ පාඨමාලා සක්‍රීය කරන්න. නවක සිසුන් වහාම බඳවා ගන්න කියලා." යනුවෙනි.

රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීමේ සටන අලුත් වටයකින් - FUTA

රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීම පිළිබඳ පණිවුඩය සමාජගත කිරීම වෙනුවෙන් අලුත් වටයකින් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි. ඔහු මේ බව පැවසූවේ ඊයේ (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

6% අරගලයට අමතරව පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතිය පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ කි‍්‍රයා පිළිවෙතට එරෙහිවද තම සංවිධානයේ ඉදිරි අරගලය දියත්වන බවත් අධ්‍යාපනය රැකගැනීමට උනන්දුවක් දක්වන පිරිස් එකතු කරමින් අපේ‍්‍රල් 02 වැනිදා දැවැන්ත රැළියක් සූදානම් කර ඇති බවත් එහිදී සභාපතිවරයා පැවසීය.

අධ්‍යාපනය සම්බන්ධ කරුණු මත බහුවිධ සංවිධාන සිවිල් ක‍්‍රියාකාරිකයන් මේ සඳහා එක්වන බව ද ඔහු සඳහන් කරයි. ලෝක බැංකු උපදෙස් මත විශ්වවිද්‍යාල තුළින්ම අරමුදල් සම්පාදනය කර ගනිමින් පෞද්ගලීකරණ වැඩපිළිවෙළ දියත්වන බවත් එයට ආසන්නතම උදාහරණය විවෘත විශ්වවිද්‍යාලයෙන් පෙන්නුම් කළ බවත් ඔහු ප්‍රකාශකර සිටියේය.

පෞද්ගලික ප‍්‍රාග්ධනය අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදීමෙන් මුදල් අභ්‍යන්තර වශයෙන් සොයාගන්නා ලෙස විශ්වවිද්‍යාලවලට බලකර ඇතැයි ද මෙහිදී නිර්මාල් දේවසිරි වහතා සඳහන් කළේය.

මෙහිදී සිදුවන්නේ මුදල් ගෙවීමට හැකියාවක් ඇති පිරිසට පමණක් අධ්‍යාපනයේ අවසථාව විවර වීමක් බවත් එය ආණ්ඩුවේ වැඩපිළිවෙල වී ඇති බවත් ඒ මහතා ප‍්‍රකාශ කළේය.

මාස තුනක් තිස්සේ තමන් ගෙනගිය අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස අධ්‍යාපනය සම්බන්ධයෙන් පුළුල් සමාජ කතිකාවතක් ඇති මුණා සේම අධ්‍යාපනයේ පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා තම අරගලය තවදුරටත් ඉදිරියට ගෙනයන බව ද නිර්මාල් දේවසිරි මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

රුපියල් 20 ක් පාසලට දීමට නොහැකිවූ 3 වසරේ සිසුවියට දඬුවම්!

වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අවස්ථාවේදී බීමට දීමට සූදානම් කළ පැණි බීම (කෝඩියල් ) වීදුරුවට රුපියල් 20ක් ලබා දීමට නොහැකිවූ කන්ද උඩරට ගම්පොළ කලාපයට අයත් ජනප්‍රිය පාසලක තුන්වැනි ශ්‍රේ ණියේ සිසු දැරියකට පන්ති භාර ගුරුතුමිය විසින් දඬුවම් කර තිබේ. එම පාසලේ සිසු සිසුවියන්ට විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය විසින් මෙම පැණි බිම සඳහා මුදල් රැගෙන එන ලෙස නියම කර ඇත.

තම කුඩා දියණියට දඬුවම් කිරීම ගැන දැඩි සිත් වේදනාවට පත් පියා විසින් එම පාසලේ ඉගෙනුම ලබන දරුවන් හතර දෙනා වෙනුවෙන් මේ වසරේ ජනවාරි 02 වැනි දා සිට පෙබරවාරි 15 වැනි දින දක්වා කාලය තුළ රුපියල් 2,463ක මුදලක් ගෙවා ඇති බව සඳහන් කරමින්, එසේ කර තිබියදී පවා දියණියට දඬුවම් කිරීම පිළිබඳව ලිඛිතව විමසා ඇත. එම ලිපිය ඔහු විසින් 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම වැඩිමහල් පුතු අතේ විදුහල්පතිවරයාට යොමුකර ඇත.

විදුහල්පතිවරයා මේ ලිපියට අදාලව පිළිතුරක් ලබා දෙනු වෙනුවට එම දැරියගේ පියා විසින් පාසල් භූමියෙහි වගුරු බිමක ගවයන් දෙදෙනකු දිනපතා ගැට ගසනවායයි චෝදනා කරමින් නාවලපිටිය පොලිස් ස්ථානයෙහි පැමිණිල්ලක් ගොනු කර ඇත.

Wednesday, February 27, 2013

ආසියාවේ ආශ්චර්යය ' සත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යා ' උපාධිය ගිල ගනීවිද?

පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ පවතින වත්මන් අර්බුදකාරි තත්වය හමුවේ, හෙට දිනයේදි සත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යා පාඨමාලාව සදහා සිසුන් ලියපදින්චි කර නොගැනීමට පීඨ මණ්ඩලය තිරණය කොට ඇත. මේ සදහා මුලික හේතුව 2009 වර්ෂයේදි මෙම පාඨමාලව ආරම්භ කරන විට රජය විසින් ලබාදිමට පොරොන්දු වු භෞතික සම්පත් මේවන තුරුත් පීඨයට නොලැබීමයි. 
වැඩිවන සිසු පිරිස හා සීමිත වු යටිතල පහසුකම් හේතුවෙන් දේශන හා ප්‍රයෝගික ක්‍රියකාරකම් ඵලදායි අන්දමින් පවත්විමේ අපහසුතාවයට සිසු සිසුවියන් මෙන්ම ආචර්ය මණ්ඩලයද මුහුණපා සිටිති. පීඨයට සිසුන් 270 ප්‍රමාණවත් පරිදි දේශන ශාලා 4ක අවශ්‍යතවය පැවතුනද සිසුන් 200කට වඩා සිටිය හැකි එකදු දේශන ශාලාවක් හෝ පීඨය සතුව නැත. 
2009 වර්ෂයේ සිට සත්ත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යා පාඨමාලාවට වරකට සිසුන් 50 බැගින් බදවාගත් කණ්ඩයම් 3ක් මේ වන විට අධ්‍යාපන කටයුතුවල නිරතවී සිටින අතර පීඨ මණ්ඩලයේ තීරණයත් සමග තව දුරටත් එම පාඨමාලාවට සිසුන් බදවා නොගනු ඇත. වැඩි සිසුන් ප්‍රමාණයක් මේ වසරේදි විශ්වවිද්‍යාල වලට ඇතුලත් කර ගැනිමට අධ්‍යාපන බලධාරින් තීරණය කිරීමත් සමග උක්ත පාඨමාලාවට වැඩිපුර සිසුන් 29 දෙනෙකුගෙන් යුත් මුළු සිසූන් 79ක් බදවා ගත යුතුව ඇත. 
එහෙත් හෙට දිනයේදි (පෙබරවරි 27 )කෘෂිකර්ම පීඨයේ අනෙකුත් උපාධි පාඨමාලා දිත්වය සදහා ශිෂ්‍යයන් ලියපදින්චි කලද මෙම සත්ත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යා පාඨමාලාවට අදාල බදවා ගැනීම් සිදු නොකරනු ඇත. 
නායකත්ව පුහුනුව අවසන් වී, නායකයන් වීමට බලාපොරත්තු ගොන්නක් සිතෙහි දරාගෙන හෙට දිනයේදි මේ සොදුරු හන්තාන බිමට පිවිසෙන ඔවුන්ගේ සොදුරු සිහින බොන්දවී යනු ඇත. උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙ නායකත්ව සංකල්පයට වැයකල මුදල් මෙම පීඨය සදහා වැයකලේනම් නිසැකවම ඔවුන් හෙට දිනයේදි නායකයන් වනු ඇත.
මෙම අර්බුදකාරි තත්වය හමුවේ, නැවතත් සත්ත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යා පාඨමාලාව ආරම්භ කිරිමට අවශ්‍ය භෞතික සම්පත් ලබාදෙන ලෙස රජයට බලකරමින් මේ පිලිබද ජනතව දැනුවත් කිරිමේ දැවැන්ත උත්ඝෝශනයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ගලහ හන්දියේදි පවත්වන ලදී.


                                                                                                                                 -Malinda Jeewan


Tuesday, February 26, 2013

ආදරණීය ගුරුතුමනි














ආදරණීය ගුරුතුමනි,

මම නාසි සිරකඳවුරකින් මිදී පළා ආවෙක්මි.
බොහෝ මිනිසුන් විසින් නොදුටු, නොදැකිය යුතු බොහෝ දෑ මම දුටුවෙමි.

උගත් ඉංජිනේරුවන් විසින් ගෑස් කුටි තනන අයුරු...
දක්ෂ වෛද්‍යවරුන් විසින් මිනිසුනට විෂ එන්නත් කරන අයුරු...
පුහුණුව ලත් හෙදියන් විසින් ළදරුවන් මරාදමන අයුරු...
උපාධිධරයන් විසින් ගැහැණුන් සහ ළමයින් මරා පුළුස්සන අයුරු...
මට අධ්‍යාපනය ගැන ඇත්තේ සැකයකි.
මගේ ඉල්ලීම, ගුරුවරුන් කියාදිය යුත්තේ සිසුන්ට මානව දයාවෙන් යුතු මිනිසුන් වන අයුරු යන්නයි.
ඔබේ උත්සාහය අවසානයේ ලොවට උගත් අමනුෂ්‍යයන්, දක්ෂ යක්ෂයන් දායාද කළ යුතු නැත.

කියවීම, ලිවීම, ගණිතය, ඉතිහාසය වැදගත් වන්නේ ඉන් අපේ අනාගත පරපුර වඩා මානව හිතවාදී වීමට කියාදෙන්නේ නම් පමණි...


හිට්ලර්ගේ ග්‍රහණයෙන් පළා ආ යුදෙව් ළමයෙකුගේ සටහන් පොතක පිටුවකිනි....

අධ්‍යාපන බලධාරීන්ටත් හමුදා මේනියාව


පාසල් ප‍්‍රධානීන්ට හා අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ ඉහළ තනතුරු දරන්නන්ට හමුදා නිල තනතුරු ප‍්‍රදානය කිරීම මීට පෙර වටයක් සිදුකළ අතර යලි එහි දෙවන වටය ලෙස අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ නිලධාරීන් 4,000කට ආසන්න ප‍්‍රමාණයකට හමුදා නිල තනතුරු ප‍්‍රදානය කිරීමට ආණ්ඩුව සැරසෙමින් සිටින බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.
මේ සඳහා අධ්‍යාපන පරිපාලන සේවයේ i, ii, iii, පංතිවල සිටින සියලුම නිලධාරින්ද විදුහල්පති සේවයේ හා iiපංතිවල සිටින සියලුම දෙනා ද මාර්තු මස 040506 යන දිනවලදී සම්මුඛ පරීක්‍ෂණ සඳහා ජාතික ශිෂ්‍ය භට බලකා මූලස්ථානයට කැඳවා තිබෙන අතර මෙහිදී අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට කර්නල් තරනතුරද,විදුහල්පති සේවයේ පංතියේ අයට මේජර් තනතුරුද,විදුහල්පති සේවයේ ii පංතියේ අයට කපිතාන් තනතුරුද ප‍්‍රදානය කිරීමට නියමිතය.
පාසල් ප‍්‍රධානීන් ඇතුලු අධ්‍යාපන ප‍්‍රධානීන්ට හමුදා නිල තනතුරු බලහත්කාරයෙන් ප‍්‍රදානය කිරීම හරහා පාසල් මිලිටරිකරණයට ලක් කරමින් ඉදිරියේදී අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය වෙතට මර්ධනීය හස්තය එල්ල කිරීම ආණ්ඩුවේ යටි අරමුණ බවත්  විදුහල්පති සේවයේ හා අධ්‍යාපන පරිපාලන සේවයේ අයට මෙසේ හමුදා තනතුරු දැරීමට සිදුවීම තුළ තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය ද අහිමිවන අතර ඉදිරියේදී සම්පූර්ණයෙන් හමුදා නීතියට යටත්ව එහි නියෝගයන්ට අනුව කටයුතු කරන්නට සිදුවීම අනිවාර්ය බවද ලංකා ගුරු සේවා සංගමය පවසයි.
පාසල් මිලිටරිකරණය නවතන ලෙසත්පාසල් ප‍්‍රධානීන් ඇතුලු නිලධාරීන්ට බලහත්කාරයෙන් හමුදා තනතුරු ප‍්‍රදානය නොකරන ලෙසටත් ලංකා ගුරුසේවා සංගමය ආණ්ඩුවේ බලධාරීන්ට අවධාරණය කරයි.

Sunday, February 17, 2013

මාලබේ උපාධි කඩය සහතික කඩයක් වෙලා - වෛද්‍ය අසංග වික‍්‍රමසිංහ


මේ වන විට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සඳහා සිසුන් බඳවාගෙන වසර 5 සම්පූර්ණ වෙමින් තිබෙන නමුත් ඔවුන්ට තවම සායනික පුහුණුව ලබා ගැනීමට නොහැකිවී තිබෙන බවත් එය අද වෛද්‍ය උපාධි කඩයක් නොව වෛද්‍ය සහතික කඩයක් බවට පත්වී ඇති බවත් වෛද්‍ය අසංග වික‍්‍රමසිංහ මහතා පවසයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී වෛද්‍යවරු සංවිධානය මගින් අද (18) පුංචි බොරැල්ලේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් පහත පළවේ.
"අපි දන්නවා 2008 වසරේ අග තමයි මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන කතිකාවතක් ආරම්භ වෙන්නෙ. 2009 මුල ඉඳල ශිෂ්‍යයො බඳවා ගන්න ආරම්භ කරනවා. දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු මහත්තය තමයි ඒකෙ ශිෂ්‍යයො බඳවා ගැනීම ආරම්භ කරන්නෙ. නමුත් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවෙ අනුමැතියක් නොමැතිව ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් විදියට ආරම්භ කළාට BOIඑකෙන් අවසර අරගෙන තිබුනෙත් නැහැ. මෙහි මැනේජ්මන්ට් කියන නම වෙනුවට මෙඩිසින් කියන නම දාගෙන තමයි BOI ව්‍යාපෘතියක් විදියට ආරම්භ කරන්නෙ. රුසියාවෙ පෞද්ගලික  ආයතනයක් විදියට තමයි මෙය ආරම්භ කරන්නෙ. මේ වනවිට ශිෂ්‍යයන් බඳවා ගෙන වසර 05ක් ගතවෙලා තියෙනවා. නමුත් වසර 05ක් ගතවුණත් සායනික දැනුම ලබා දෙන්න ශීක්ෂණ රෝහලක් ඔවුන් සතුව නැහැ. ඔවුන් බොරු ප‍්‍රචාර මුල සිටම මේ සම්බන්ධව අරගෙන ගියා. මුලින්ම කිව්ව පෞද්ගලික රෝහලක් හරහා සායනික පුහුණුව ලබා දෙනවා කියලා. ඒක ඔවුන්ට කරගන්න ලැබුනෙ නැහැ. ඊට පස්සෙ තලංගම,අවිස්සාවේල්ල සහ හෝමාගම මූලික රෝහල්වල ශික්‍ෂණ කටයුතු කරනව කිව්වත් ඒක සාර්ථක වෙලා නැහැ.
වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය වන අධ්‍යාපනය විකිණීම පදනම් ව ඔහු 2011 අගෝස්තු 31 දින ගැසට් නිවේදනයක් නිකුත් කළා මාලබේ පෞද්ගලික විද්‍යාලය උපාධි පිරිනමන විශ්ව විද්‍යාලයක් ලෙස පිළිගනු ලබන බවට. නමුත් එයට වෛද්‍ය සභාව මගින් අනුමැතියක් නොලැබුණු හෙයින් එම ශිෂ්‍යයන්ට ලංකාව තුළ වෛද්‍ය සේවය ලබා දෙන්නට හැකියාවක් නැහැ. ඒක නිසා දිගින් දිගටම වෛද්‍ය සභාවට තර්ජනය කරමින් එස්.බී. දිසානායක ඇමතිවරයා   එහි අනුමැතිය ගැනීමට බලපැම් කළා. ඔබ දන්නවා වෛද්‍ය සභාවේ හිටපු සභාපති වෛද්‍ය ලලිතා මෙන්ඩිස් මහතාව බලහත්කාරයෙන් අයින් කරල ආණ්ඩුවේ හෙන්චයියෙක් වුණු කාලෝ ෆොන්සේකාව දාගෙන උත්සාහයක් ගත්තා. ඊලඟට පෞද්ගලික විශ්ව විද්‍යාලයට විරෝධය දක්වපු වෛද්‍ය සභාවේ හිටපු ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහත්මයාට පහර දීලාඔහුගේ වාහනයට ගහල ඔවුන්ට මර්ධනය දියත් කරා. නමුත් අද වෙනතුරු වෛද්‍ය සභාවෙ අනුමැතිය මාලබේ ආයතනට ලබා ගන්නට හැකියාවක් නැහැ.
අපි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි වෛද්‍යවරු සංවිධානය විදියට අපි මේ සිදුවන වංචාව හා සෞඛ්‍ය සේවයට සිදුවෙමින් යන හානිය රටට පැහැදිලි කළ දේ සත්‍ය වෙමින් තියෙනවා. 2011 අගෝ. 31 දින ගැසට් නිවේදනට අනුව 2013 මාර්තු වෙද්දී ශිෂ්‍ය රෝහල ආරම්භ කළ යුතුයි. නමුත් ශිෂ්‍ය රෝහලක් ආරම්භ කරමින් තිබෙනවා. නමුත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී නැහැ කියල ඇමතිවරයා පවසා තිබෙනවා. මේ හේතුවෙන් පසුගිය ජනවාරියේදී ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව නිවේදනයක් මගින් ජනතාව දැනුවත් කරා මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හරහා බොරුවක් කරමින් ඉන්නෙ. ආණ්ඩුව මේ සම්බන්ධයෙන්වත් පියර කිසිවක් ගත්තෙ නැහැ. දැන් මේ වෙන කොට විශාල ලෙස සිසුන් එම පාඨමාලාවලින් ඉවත් වෙමින් තියෙන්නෙ. ඒකෙන් පැහැදිලි වෙන්නෙ ආණ්ඩුව බලාපොරෝතුවුනු මේ අධ්‍යාපනය විකිණීමේ ක‍්‍රියාවලිය අද ජනතාව අතරමං කරන ක‍්‍රියාවලියක් බවට පත්වෙලා තියෙනවා බව. වෛද්‍යවරයෙක් බිහි කරන තැන ඉඳල හොරට ලබා දෙන උපාධි සහතියක් බවට මේ පෞද්ගලික විද්‍යාලය පත්වෙලා තියෙනවා.
මේ සම්බන්ධයෙන් අපි රටේ ජනතාව දැනුවත් කරන්න කටයුතු කරනවා ඉදිරියේදී. මේ තුළින් ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වුණු අධ්‍යාපනය විකිණීමේ වැඩපිළිවෙල පරාජය කරන්න අපි අපේ මැදිහත්වීම සිදු කරනවා."
මෙම අවස්ථාවට පෞද්ගලික විද්‍යාලවලට එරෙහි වෛද්‍යවරු සංවිධානයේ කැඳවුම්කරු එම්.අයි. විජේනායකලසන්ත අබේවර්ධන යන වෛද්‍යරු සහභාගී විය.

Saturday, February 16, 2013

මීරිගම ප්‍රදේශයේ තවත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමටයයි.


The University of Central Lancashire (UCLan) යන විදේශ විශ්වවිද්‍යාලයේ ශාකාවක් ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයේ ආරම්බ කිරීමට නියමිතව පවතී.මේ සදහා ආයෝජන මන්ඩලය සමග  අවම වශයෙන් වසර 99ක ගිවිසුමකට පැමින ඇති අතර ඒ සදහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියද ලබාගෙන ඇත.Uclan Sri Lanka නමින් හදුන්වන මෙම විශ්වවිද්‍යාලයට දැනටමත් මිරිගම ප්‍රදේශයේ අක්කර 120ක භූමි ප්‍රදේශයක් වෙන්කරගෙන ඇතිබව ආරන්චිමාර්ග සදහන් කරයි.මේ සදහා මුලු ආයෝජනය රුපියල් බිලියන 12 ක් වන අතර ගිවිසුමට අනුව ආයෝජන සංවර්ධන මන්ඩලයට වසර  15ක් යනතුරු එම ආයතනයෙන් ආදායම් බදු අයකල නොහැක.තවද එම වසර 15ක කාලයෙන් පසුව 25% ක සහනදායී බදු ක්‍රමයක් තවත් වසර 10ක කාලයක් ක්‍රියාවට නැන්වෙන අයුරින් මෙම ප්‍රෝඩාකාරී ගිවිසුම අත්සන්කොට ඇත.

               අධ්‍යාපනය පෞද්ගලීකරනය හා අධ්‍යාපනය ආදායම් මාර්ගයක් කීරීමට සැලසුම් කරමින් සිටින රජයකින් අපට මීටවඩා යමක් බලාපොරොත්තුවිය නොහැක.දිනෙන් දින රාජයේ පාසල් වැසීයන්නේ පෞද්ගලික පාසල්වලට අතවනමිනි.දිනෙන්දින ඇරෙන ටියුශන් කඩද අපට කියන්නේ රාජයේ පාසල්වල ගරාවැටීම නොවේද.පාසල් වලින් ශිෂ්‍යයන්ගෙන් මුදල් එකතුකතුකිරීම දිනෙන් දිනම වැඩිවෙමින් පවතී,ඒම මුදල් ගෙවීමට නොහැකිව සිසුන් හොරකමේ යයි.තම දරුවන් පාසල් යැවීමට ඉන්දියාවේ මව් වරු වකුගඩු ද විකුනයි.එම තත්වය ලන්කාවේද සිදුවීමට යන්නේදැයි අපි නොදනිමු.අධ්‍යාපන පෞද්ගලීකරනයට විරුද්ධව ශිෂ්‍ය ප්‍රජාව කොතෙකුත් හඩ නැගුවත් ඒ සම්බන්දව මහජනතාවගේ පිබිදීමක් නොමැත.ඔවුන් තවමත් රූපවාහිනිය ඉදිරිපිටට ගොස් කකුල්දෙක උඩතබාගෙන "සුජාත දියනී" බලමින් සිටී.ඔවුන්ගේ දියනියට පුතාට අනාගතයේදී සිදුවන බරපතල අවිනිශ්චිතතාවය ඔවුන්ට නොපෙනීම දුකට කරුනකි.ආදරනීය අම්මේ තාත්තේ බොහෝදුරට මේ ගෙවී යන්නේ නිදහස් අධ්‍යාපනයේ අවසන් හුස්ම පොද වියහැකියි.එය ‍රැකගැනීම හෝ නිහඩව බලාසිටීම ඔබ සතු කාර්යකි.

Wednesday, February 13, 2013

1981 වර්ෂයේ කැළණි සරසවියේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී වල්පොල රාහුල හිමියන් කළ කථාව


දේශපේ‍්‍රමයේ ජාතිපේ‍්‍රමයේ ආගමේ හා මතවාදයන්ගේ පෙනෙන්නට තිබෙන යහපත් දේ මොනවාද? ඒවා ප‍්‍රශ්න කිරීමකට භාජනය වනු ඇත්තේ කවදාද?  අපගේ ජීවිත රැදී පවත්නා සදාකාලික සත්‍යයන් ඒවා බව පෙනේ.  එසේ වුවද වරදවා තේරුම් ගත් විට වාර්ගික අරගල, ආගමික ගැටුම්, ප‍්‍රාදේශ්‍රීය හා ජාතිවාදී සටන් හා ජාත්‍යන්තර යුද්ධ ඇති කරන ප‍්‍රධාන මූලයන් බවට ඒවා පත්වේ.

ඔබ හොදින් නැවත සිතා බැලුවහොත් පුද්ගලයෙකු ලෝකයේ එක් තැනක හො වෙනත් තැනක උත්්පත්තිය ලැබිය යුතු බව ඔබට පෙනෙනු ඇත.  මිනිසෙකු හෝ ගැහැණියක එසේ ඉපදුණු විට ඒ සමඟ ඔවුන්ට කිසියම් රටක්, ජාතියක්, ආගමක්, දේශපාලන දර්ශනයක් හෝ මතවාදයක්, භාෂාවක්, සමාජ කණ්ඩායමක් හෝ කුලයක් උරුම වේ.  අනෙක් ඒවාට වඩා ඒවා හොඳ නිසා ඔවුන් ඒවා තෝරා ගත්තා නොවේ.  ඒ සියල්ල අහම්බෙන් ලැබෙන දේය.

එසේ වුවද, පුද්ගලයෙකු සිය ආත්මය පිළිබඳ හැඟීම සිය ආත්මාර්ථකාමී මමත්වය – හේතුකොට ගෙන  හුදු අහම්බයක් නිසා තමාට උරුම වූ මේවා පිළිබඳව ඇලෙන අතර ඒවා තමාට ඉතාම සුදුසු යයි හැඟුන නිසා තෝරාගත් බවක් අන්‍යන්ට පෙන්වන්නට කටයුතු කරයි.  ඔහු ඒවා සමඟ වෙන් කළ නෙැහැකි ලෙස සම්බන්ධ වන අතර ඒවා තුළ සිය සතුට, විමුක්තිය හා සරණ සොයයි.  ඒවා ඉවත් කළ විට කිසිම වටිනාකමක් නැති හිස් බවක්, අසරණ බවක්, ඔහුට දැනේ.  ඒ නිසාම ආරක්ෂා වනු පිණිස, ආවරණය වනු පිණිස, වෙනකක් තබා තමා වැදගත් බව හඟවනු පිණිස, ඒවා උත්කෘෂ්ඨත්වයට නංවන්නට ඉහලට ඔසවා තබන්නට, වන්දනා මාන කිරීමට, ඔහු උනන්දු වෙයි.

කිසියම් කෙනෙකු සභාවක නැගිට ” මා ශෙ‍්‍ර්ෂ්ඨයි විශිෂ්ඨයි උතුම්යයි” කියමින් තමන් වර්ණනා කෙරෙයි නම් ඒ පුද්ගලයා නිරනුමානයෙන්ම සභාවේ සාධාරණ උපහාසයට ලක්වනු ඇත.  එභෙත් ඔහු තමාගේ ජාතිය, වර්ගය හෝ ආගම උසස් යයි ( එයද තමන් උත්කෘෂ්ඨත්වයට පත් කර ගැනීමේ අනියම් මගකි) කියා සිටින්නේ නම් ජාතිපේ‍්‍රමියෙකු ලෙස හෝදේශපේ‍්‍රමියෙකු ලෙස හෝ වෙනත් පූජනීය කෙනෙකු ලෙස එම සභාවේ සිටින සිය ජාතියට, ආගමට හෝ වර්ගයට අයත් ජනතාව ගෙන් බුහුමන් ලබනවා ඇත.  මෙවැනි දේශකයින්ගේ පටු බව හා ලඝු බව දේශපේ‍්‍රමයේ හෝ ජාතිපේ‍්‍රමයේ සළු පිළියෙන් කදිමට වසා ගත හැක.


ශ‍්‍රී ලංකාවේ නීති ශිෂ්‍යයන් විසින් තවමත් මහත් උනන්දුවෙන් හදාරනු ලබන රෝමානු නීතියේ මෙවැනි කියමනක් වෙයි.

“සිය දේශය වෙනුවෙන් මිය යාම ප‍්‍රසන්න හා වැදගත් දෙයකි”  රට වෙනුවෙන් ජීවත් වීම, ඒ වෙනුවෙන් මිය යාමට වඩා වැදගත්  බව පෙන්වන්නට. සාධක කොතෙකුත් තිබියදීත් මෙවැනි ආකර්ෂණීය හා උද්වේගජනක සටන් පාඨ මිනිසුන් අරගලයට යුද්ධයට මෙභෙයවා ඇත.

කිසියම් පුද්ගලයෙකු තම රට ජාතිය හෝ ආගම නොසළකා අමතක කොට ජීවත්විය යුතු යයි කිසිවෙකු යෝජනා නොකරනු ඇත.  දේශපේ‍්‍රමය ජාතිපේ‍්‍රමය හා ඒ සමාන වෙනත් දේ තුළ ඇති නොවැටභෙන දේ නම් ඒවායින් ඇතිවන යහපත හෝ අයහපත වෙන්කර ගන්නට නොහැකි වීමය.

දේශපේ‍්‍රමය යනු රට වෙනුවෙන් පෙනී සිටීමය.  ජාතිපේ‍්‍රමය යනු ජාතිය වෙනුවෙන් පෙනී සිටීමය.  එහි දොස් පැවරිය යුතු කිසිවක් නැත.  ඒ දෙකම යහපත්ය.  එභෙත් තම ජාතිය වෙනුවෙන් පෙනී සිටීම ඉක්මනින්ම අනෙක් ජාතියට එරෙහි වීමට පෙරලෙයි.  තමන්ගේ රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම අනෙකාගේ රට ජාතියට එරෙහි වීම ලෙස තේරුම් නොගත යුතුය.  ඇත්තටම නම් තමන්ගේ රට ජාතියට හිතවත් වන ප‍්‍රමාණයට අප අනෙකාගේ රට ජාතිය ගැනද හිතවත් විය යුතුය.  අනෙකාගේ රට ජාතියට ගෞරව නොකරන, ආදරය නොකරන, කෙනෙකු තමන්ගේ රට ජාතියට සැබෑ ලෙස ගෞරව කරන්නේද ආදරය කරන්නේද නැත.

බෞද්ධ ආචාර ධර්ම තුළින් මේ සම්බන්ධව වැඩිදුර ගුරුහරුකම් ගැනීමට අපට පුළුවන.  ලෝක සත්වයාට මෛත‍්‍රීය කිරීම අරඹන්නේ පහසුවෙන් හා මුලින්ම කළ හැකි තමාට මෛත‍්‍රිය පැතිරවීමෙනි.  තමාට මෛත‍්‍රිය කිරීම සඳහා අනුන්ට වෛර කිරීම අවශ්‍ය නොවේ.  තමාට නිවැරදිව හා බුද්ධිමත්ව මෛත‍්‍රිය කරන කෙනෙකු සියළු ආකාරයේ නරක ක‍්‍රියාවලින් වැළකෙන අතර නිවැරදි මාවතේ ගමන් කරයි.  එවිට අපට අප සමඟ හෝ සමාජය සමඟ ගැටුමක් ඇති නොවේ.  අප අවට ලෝකය සමඟ සාමයෙන් හා සංහිඳියාවෙන් ජීවත්වීමට එයින් අපි වරම් ලබමු.  ඊළඟ පියවර වන්නේ තමන්ට ඉතාම ළඟින් නුදුරින් සිටින අයට මෙත් සිත් පැතිරවීමය.  තෙවැනි පියවර වන්නේ තමා සමඟ සබඳකම් පවත්වන අයට මෛත‍්‍රිය කිරීමයි.  සිව්වෙනි හා අවසාන පියවර වන්නේ තමන්ගේ සතුරන්ටද මෛත‍්‍රිය පැතිරවීමය.  මෙය දුෂ්කර වුවද මෛත‍්‍රිය වැඩීම තුළ තමන්ගේ අධ්‍යාත්මික වර්ධනය හා අත්දැකීම් ලබන නිසා එය කළ හැකි දෙයක් වෙයි.  මෙසේ මෛත‍්‍රිය හුරු කළ විට තමන් හා තමන්ගේ කිට්ටුවන්තයන් අතරද තමන් හා තමන් සබඳකම් පවත්වන්නන් අතරද තමන් හා හතුරන්  අතරද වෙනස තුනීව යයි.  නැතිව යයි.  මෙය ඉන්ද්‍රජාලික සුරංගනා ලෝකයේ සිදුවන අභව්‍ය සිදුවීමක් නොවේ.  මෙය මිනිසුන් තුළ ගොඩ නඟා ගත හැකි අපූර්ව තත්වයකි.දේශපේ‍්‍රමයට  හා ජාතිපේ‍්‍රමයට මෙසේ සියළු ජාතීන් හා දේශයන් එක්ව පෙමකින් වෙලන්නට හැකිවේද?  සමහර විට මහත්මා ගාන්ධි එසේත් නැත්නම් ශ‍්‍රී ලාංකිකයෙකු වූ ආනන්ද කුමාරස්වාමි වැනි දේශපේ‍්‍රමීහු හා ජාතිපේ‍්‍රමීහු  ජාතියට සංස්කෘතියට හා දේශයට ආදරය කරමින් සෙසු ජාතීන්ට සංස්කෘතීන්ට දේශයන්ටද පේ‍්‍රම කළහ.


මේ සඳහා කෙනෙකුට පැහැදිලිව දැකිය හැකි මනසක් තිබිය යුතුය.  මේ හැම විටකම කල්පනාකාරී වීමත් මිනිසුන් වර්ග කර ලේබල් ඇලවීමට ඉක්මන් නොවීමත් අවශ්‍යය. වර්ගීකරණය යනු බෙදා නිෂ්චිත කණ්ඩායම්වලට වෙන් කිරීමය.  එසේ කළ විට අනවරතව ගලා යන සමස්ථ ජීවිතය අපගේ සිත තුළ චිත‍්‍රණය නොවෙයි. වර්ගීකරණය යනු කෑලිවලට වෙන් කර තනි තනිවම ඒවා විමසීමය.  ඒ තුළ සමස්ථය දැකිය නොහැකිවේ.  වර්ගීකරණය තුල කැබලි වීම නිසා සිදුවන මේ අභාග්‍යය මිනිසා ගැන පමණක් නොව ස්වභාවධර්මය සම්බන්ධයෙන්ද රමණීයත්වය සම්බන්ධයෙන්ද වෙනත් බොහෝ දෑ සම්බන්ධයෙන්ද එකසේ අදාළය.


සියළුම ආගම් පිළිබඳ ප‍්‍රවේසමෙන් කරන ලද අධ්‍යයනයකින් පසු කිසියම් ආගමක් අනෙක් ඒවාට වඩා ශෙ‍්‍ර්ෂ්ඨ යයි තේරුම් ගෙන ඒ ආගම වැළඳගත් අය ලෝකය තුළ සිටී නම් ඒ අල්ප වශයෙනි.  එභෙත්  බහුතරයක් අපි උපතින් උරුම වූ ආගමතුළම රැදී සිටිමු.  මා කිසියම් ආගමක් උපතින් උරුම කර ගත් නිසාම ඒ ආගම පමණක්ම සත්‍ය බවත් අනෙක් ආගම් සියල්ල අල්පේච්ඡ බවත් කීම කොතෙක් දුරට සාධාරණ වන්නේද?  මීටත් වඩා පටු වූද බාලවූද සිතිවිල්ලක් තවත් තිබිය හැකිද?  මම බෞද්ධයෙක්ව උත්පත්තිය ලැබූ නිසාම බෞද්ධාගම සත්‍ය දෙසන එකම ආගම බවත් අනෙක් ආගම් තුළ ඇත්තේ බොරුව බවත් මට කිව හැකිද?  මා ක‍්‍රිස්තියානි කාරයෙක්ව උත්පත්තිය ලැබුවේ නම් ක‍්‍රිස්තියානි එකම සත්‍ය ආගම බවත් සෙසු සියළු ආගම් වැරදි බවත් මා කීම සාධාරණ වන්නේද?  තමන්ගේ ආගම පිළිබඳ භක්තියක් ඇතිකර ගැනීම එකකි.  එය යහපත් එකක් වන්නටද පුළුවන.  එභෙත් මගේ ආගමට ඇති භක්තියෙන් අන්ධවී මා විසින් සෙසු ආගම් ගර්හාවට ලක් නොකල යුතුය.

මේ සම්බන්ධයෙන් කිව යුතු තවද කරුණක් ඇත.  අවිචාර බුද්ධියෙන් යුතුව  ඡාතික හා ආගමික මතයක එල්බගෙන සිටීම තරමටම දේශපාලනික ආර්ථික හෝ සමාජයීය  මතයක් විචාරයෙන් තොරව දැරීමද (එකම ආකාරයේ) වැරදිය. මේ සියළු මතවාදයන් (දිට්ඨි) කෙරෙහි අන්ධව බැදී ඇලී සිටින තැනැත්තේ මෙසේ කියයි. මෙය පමණක් සත්‍යයකි. මෙයින් බාහිර හැම දෙයක්ම බොරුවකි.

එවැනි අන්ධ මතවාදයන් දැරීම පිළිබඳ බුදුන්ගේ වචනය ඉතා පැැදිලිය. කිසියම් මතවාදයකට ඇලි ගැලී සිටිමත් අනෙකුත් මතවාදයන් පහත් යැයි ගර්හා කිරීමත් පහත් ක‍්‍රියාවන්ය. බුද්ධිමත් මිනිස්සු එවැනි දැ සලකන්නේ විලංගු ලෙසය. (සූත්ත නිපාත – 798 පැදිය) ඒ අර්ථයෙන් ගත් කළ මිනිස් වර්ගයා විලංගු දා බැඳ දමා තිබේ.

මෙයින් අදහස් කරන්නේ අරාජිකත්වය හෝ ව්‍යාකූලත්වය අනුයන බව නොවේ. අපම සාදාගත් පටු දෘෂ්ඨියෙන් මිදී, අපේම සිතින් මවාගත් මන:කල්පිතයන්ට නොබැඳි, නිදහසේ යමක් එහි සැබෑ ස්වරූපයෙන් දකින්නට ඒ උපදෙස් අපට ආරාධනා කරනවා පමණකි. යමක් එහි සැබෑ ස්වරූපයෙන් දැකීමෙන් ව්‍යාකූලත්වයක් හෝ අරාජිකත්වයක් ඇති නොවේ. එයින් පිළිවෙලද, විනයද -  සහජීවනය හා සාමයද – ඇති වේ. අපි යථාර්ථයට මුහුණදීමට ඇති බිය නිසාම අපේ ඇස් වසා ගනිමු.  අප කැමත, යමක් අපට ඔනෑ අකාරයට දකින්නට මිස, එය තිබෙන සැබෑ ස්වරූපයෙන් දක්නට නොවේ.

ඒ නිසාම වසර ගණනාවක පුහුණුවකින් පසු සරසවිය  හැර යන තරුණ ඔබ සියල්ල පරීක්ෂා කළ යුතුය.  ඔබේ දැනුම සියල්ල  එහි සැබෑ ස්වරූපයෙන් දකින්නට භාවිතා කළ යුතුය.  මා කියන දෙය හෝ වෙනත් කිසිවෙකු කියන දෙය හෝ ඔබ පිළිගත යුතු නැත.  එය අධිකාරිත්වය දරණ අයගේ හඬ නිසාම ඔබ පිළිගත යුතු වන්නේ නැත.  යම් කෙනෙකු තමන්ගේ හැකියාවේ උපරිම මට්ටමෙන් හා තම දැනුමේ උපරිම මට්ටමෙන් යම් කිසිවක් විමසා බලා පිරිසිඳ දකින්නේ නැතිව පිළිගැනීම සම්බන්ධයෙන් කිසිදා සාධාරණ හේතුවක් දිය නොහැකිය.

ඔබේ වෘත්තීය ජීවිතය තරුණ ඔබටද එපමණක් නොව සමාජයේ යහපත පතන ඒ වෙනුවෙන් කැප වී ඇති සියල්ලන්ටමද ප‍්‍රයෝජනවත් හා තෘප්තිකර එකක් වනු ඇතැයි මේ උපාධි ප‍්‍රදානෝත්සවයට සහභාගි වන සියල්ලන් පතන බවට මට උදක්ම  විශ්වාසය.

Sunday, February 10, 2013

නිදහස්‌ අධ්‍යාපනයේ මල් නෙලන්න පොල් හොරකමේ යවන දැරියෝ!

ඒ හැඟුම සිත පාරවයි. ඊයක්‌ මෙන් පත්ලට කිදා බැස සිත කීරි ගන්වයි. සිත් කම්පා කරවන අවස්‌ථාවන්ට සංවේදී වන්නට තරම් හැඟීමක්‌ මනසක්‌ ඇති එකෙක්‌ නැති වග යළිත් පසක්‌ කර තිබේ. මේ පළමු වැනි හෝ අවසාන වර ද නොවේ.

පාසලේ තීන්ත ගෑම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් පොල්ගෙඩි අටක්‌ අනවසරයෙන් ගත් දැරියක අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා දීමේ හද රිදවන සිදුවීම දෙස නොබැලු අයෙක්‌ නැත. එම සිදුවීම මේ සමාජ යථාර්ථයේ කදිම නිර්දශනයක්‌ ලෙස අර්ථදැක්‌වීම අතිශයෝක්‌තියක්‌ නොවේ. බොහෝ පිරිස්‌ ඒ දැරියගේ අන්ත අසරණ භාවය පිළිබඳව ඉමහත් ශෝකයෙන් කතා කරන විට තවත් පිරිස්‌ දෙමවුපියන්ට, පාසලට එසේ නැතහොත් පොල් ගසේ හිමිකරුට දෝෂාරෝපණය කරති. දැරිය අධිකරණයට ඉදිරිපත් කළ පොලිසියට ද මෙ වන විට චෝදනා එල්ල වී තිබේ. එනම් එතරම් සුළු සිද්ධියක්‌ සමථ මණඩලය ඉදිරියට ගෙන යැමෙන් තොරව අධිකරණය ඉදිරියටම ගෙන යැම පිළිබඳවය. රටේ ඉහළම පුද්ගලයන්ට හොටු පෙරාගෙන වැළපෙන්නට මෙය කදිම අවස්‌ථාවකි. දුටු දුටු තැන දරුවන් සිඹින මුත් එය ළෙන්ගතුකමක්‌ හෝ සැබෑ ස්‌නේහයක්‌ නොවන බව මේ දැරියගේ සිද්ධියෙන් කදිමට උද්දීපනය වෙයි. හද කම්පා කරවන මෙවැනි සිද්ධීන් තොරොම්බල් කරනු විනා එවැනි සිදුවීම් ඇති නොවන්නට පාලකයන් කර තිබෙන හෝ කරන දෙයක්‌ නැත. මේ මොහොතේද සිදු වෙමින් පවතින්නේ එවැනි තොරොම්බල් කිරීමකි. ඉතාම මෑතකදී කොස්‌ගෙඩිය දෙකක්‌ කඩා ගත් පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධියද වාර්තා වුයේ මෙම ප්‍රදේශයෙන්මය. එවර කොස්‌ගසේ හිමිකරුවා වූයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙකි. තමන්ට අයත් කොස්‌ගසෙන් කොස්‌ ගෙඩි දෙකක්‌ කැඩූ පුද්ගලයා කුදලාගෙන ගොස්‌ පොලිසියට භාරදී අධිකරණ ක්‍රියාමර්ග ගැනීSමේ සිදුවීම කතා කළේ මාධ්‍ය පමණි. රුපියල් 25000 කට අඩු වැරැදි අධිකරණයට ඉදිරිපත් නොකර සමථ මණ්‌ඩල හරහා විසඳුම් ලබා ගැනීමේ චක්‍රලේඛ පිළිබඳ එම සිද්ධියේදී කතා බහට ලක්‌ නොවිණි. පොල්ගෙඩි අටක්‌ අනවසරයෙන් ගත් දැරිය අධිකරණයට ගෙන යැමේ සිද්ධියෙන් පසු සමථ මණ්‌ඩල වලට යොමු කිරීමේ චක්‍රලේඛවල දූවිලි පිසදා බැලීමට තරම් වුවමනාවක්‌ නිර්මාණය වූයේ ඇයිද යන්න විමසිය යුතුය. කොස්‌ගෙඩි දෙකේ වටිනාකම පොල්ගෙඩි අටේ වටිනාකමට වඩා අඩුය. ඒ අතින් ගත්තද අඩු වැරදි සමථ මණ්‌ඩලයට යොමු කිරීමේ චක්‍රලේඛ ගැන කතා කරන්නට තිබුණේ මුල් සිදු වීමේදී බව කාටත් තේරෙන සත්‍යයකි. එහෙත් ඒ චක්‍රලේඛ බහා ඇති µයිsල් කවර අවුස්‌සන්නට කොස්‌ගෙඩි සිද්ධියේදී අවධානය යොමු නොකළ පාලකයන් පොල්ගෙඩි අටේ සිද්ධියේදී ඒ සඳහා උත්සුක වීම හරහා පිළිඹිබු වන්නේ දරුවන් තොරොම්බල් කර පහසුවෙන් සමාජ අවධානය දිනා ගැනීමේ පටු අරමුණ පමණක්‌ යෑයි කීමෙහි වරදක්‌ නැත. කොස්‌ගෙඩි දෙකේ සිද්ධියේදී අධිකරණ ඇමැතිවරයා චක්‍රලේඛ එළියට ඇද්දේ නම් හොරණ අධ්‍යාපන කලාපයේ අසරණ දැරියගේ සිද්ධියට සමථ මණ්‌ඩලය ඔස්‌සේ විසඳුමක්‌ ලැබෙන්නෙට ඉඩ තිබිණි. එය එසේ නොවීම හරහා දරුවන් එවැනි වැරැදි සඳහා පෙළඹෙන හේතු සාධක පිළිබඳ කතිකාවතක්‌ ගොඩනැගීමට හැකි වී ඇත. ඒ වෙනුවෙන් ඇයට ද ප්‍රශංසාව හිමි විය යුතු යෑයි අපි විශ්වාස කරමු.

නව දහස්‌ හයසිය හැට දෙකක්‌ පමණ වන පාසල්වල වැසිකිළි පවිත්‍ර කිරීමේ සිට තාප්ප, බිත්තිවල තීන්ත ආලේප කිරීම දක්‌වාත් විද්‍යාගාර, හා පුස්‌තකාල පරිහරණය කිරීමේ සිට යටිතල පහසුකම් සඳහා වන වැය බරත් දරන්නේ දෙමවුපියන් බව පාලකයන් දැනගෙන ඇත්තේ ඉහත දැරියගේ සිද්ධියෙන් පසුවය යන්න අපගේ "අහිංසක හැඟීමය". ඒ හැඟීම අප තුළ උපදවන්නේ සැකයකි. වසරින් වසර අධ්‍යාපනයට වෙන් කෙරෙන මුදල් ප්‍රතිපාදන කපා හරින කල අධ්‍යාපනයේ වැයවර දෙමවුපියන් හැර ශක්‍රදේවේන්ද්‍රයා විසින් නොදරනු ලබන බව අවබෝධ කර ගැනීමට තරම් හැකියාවක්‌ නොමැති වීම එක්‌ අතකින් කනගාටුවකි.

කෙසේ වූවද විදුහල්පතිවරුන් දෙමවුපියන් හා දරුවන් හැර සෙසු සියලුම දෙනාගේ දැන ගැනීම වෙනුවෙන් මේ සටහන තැබීමට සිදුවී තිබේ. මන්ද ඉහත තුන් පිරිස හැර මේ දීපයේ වෙනත් කිසිවකු පාසල්වල මුදල් එකතු කිරීම පිළිබඳ හාන්කවිසියක්‌ නොදන්නා සෙයක්‌ දක්‌නට ඇති හෙයිනි. 

දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීම නිති විරෝධී බව රටේ ඉහළම මණ්‌ඩලය වන කැබිනට්‌ මණ්‌ඩලයේද සාකච්ඡා වී තිබේ. කැබිනට්‌ මණ්‌ඩලයේ මේ සාකච්ඡාව සිදු වන්නේ දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීම නීති විරෝධී බවට වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ චිරාත් කාලයක්‌ ගත වීමෙන් අනතුරුව වීම විශේෂත්වයකි. මේ වනවිට සිදු වන කතාබහෙන් ගම්‍ය වන්නේ එම චක්‍රලේඛය නිකුත් කළ දා පටන් -පොල්ගෙඩි අටක්‌ අනවසරයෙන් ගත් දැරියගේ සිද්ධිය දක්‌වා වූ කාලය පුරාවට දෙමවුපියන්ගෙන් සතයක මුදලක්‌ පාසල් වලින් අයකර නොමැති යන හැඟීමකින් පාලකයන් පෙළෙන බවය. සෑම වසරක ම මුල සෑම පාසලක ම සෑම පන්ති කාමරයකදී ම සෑම ගුරුවරයකු විසින් ම පන්ති කව නමින් "පුංචි" රැස්‌වීමක්‌ පවත්වන බව මේ අය නොදන්නවා විය යුතය. එහෙයින් ඒ පුංචි රැස්‌වීමේදී දෙමවුපියන්ගෙන් එකතු කරන මුදල් පිළිබඳව සඳහන් කළ යුතුමය. ඒ රටේ ඉහළ මණ්‌ඩලයේ දැනුවත් වීම සඳහාය.

පසුගිය වසරේ කොළඹ ප්‍රධාන පළේ පාසලක පන්ති කව රැස්‌වීමේදී ගත් තීරණයකට අනුව පහසුකම් හා සේවා ගාස්‌තු සාමාජික ගාස්‌තු, ආරක්‌ෂක ගාස්‌තු ක්‍රීඩා අරමුදල, පුස්‌තකාල අරමුදල, විෂය සමගාමී අරමුදල, ගොඩනැගිලි හා උපකරණ නාඩත්තු වියදම්, වාහන නඩත්තු වියදම්, ශිෂ්‍ය සුබසාධන ගාස්‌තු, ආපනශාලා දෙවැනි අදියර යන කරුණු සඳහා රුපියල් 2000 බැගින් එකතු කරන ලදී. එම පාසලේ ළමයි සංඛ්‍යාව පන්දහසකට අධිකය. එකතු වූ මුදල රුපියල් කෝටිය ඉක්‌මවීය. ඇතැම් පාසල්වල රුපියල් පන්දහස බැගින් එකතු කරනු ලැබිණි. කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක මෙම වසරේ පැවති පන්ති කවයේදී රුපියල් දෙදහස බැගින් එකතු කළ මුදල් පාසල් සංවර්ධන සමිති අරමුදලට බැර කළ යුතු බව විදුහල්පතිනිය කළ නියෝගයක්‌ නිසා උණුසුම් තත්ත්වයත් ඇති විය. (පන්ති කවයේදී එකතු කෙරෙන මුදල් වරින් වර විවිධ අවශ්‍යතා සඳහා වැය කෙරෙන හෙයින් එම මුදල් පාසල් සංවර්ධන සමිති ගිණුමේ තැන්පත් කිරීමේ අවශ්‍යතාවක්‌ හෝ නීතියක්‌ නැත.)

මීට අමතරව පිට පළාත් පාසල්වලද රුපියල් දහස හෝ ඊට ආසන්න මුදලක්‌ බැගින් දෙමවුපියන්ගෙන් අය කිරීම ඉතාම සාමාන්‍ය තත්ත්වයකි. රුපියල් කෝටි ගණනේ සිට රුපියල් දහස්‌ ගණන දක්‌වා මුදලක්‌ දෙමවුපියන්ගෙන් ඒ ඒ පාසල්වලට ලැබෙයි. ප්‍රධාන පළේ ජනප්‍රිය පාසල් හැර සෙසු සාමාන්‍ය පාසල්වල නම් එම මුදල් වැය කළ ආකාරය වසර අවසානයේදී බොහෝ විට දෙමවුපියන්ට දැන ගැනීමට ලැබෙයි. ඉන්පසු නව වසරේදී යළිත් දෙමවුපියන්ට මුදල් වැය කිරීමට සිදු වෙයි. 

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක උසස්‌ පෙළ පන්ති සඳහා ඇතුළත් වූ ශිෂ්‍යාවන්ගෙන් අය කළ මුදල රුපියල් 8736 ක්‌ විය. විද්‍යාගාර ගාස්‌තු, ශිෂ්‍ය වාර්තා පොත, ප්‍රගති වාර්තා පොත, යටිතල පහසුකම් ආදී විවිධ ගාස්‌තු ඊට -ඇතුළත්ව තිබිණි. පොල්ගෙඩි අටේ සිද්ධියට සම්බන්ධ දැරියට අවශ්‍ය වූයේ පන්ති කාමරයට තීන්ත ආලේප කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් පන්ති කවයේදී තීරණය කළ මුදල සොයා ගැනීමය. බස්‌නාහිර පළාතේ පළාත් සභාවට අයත් පාසල්වල තීන්ත ආලේප කිරීමේ කටයුත්තේදී අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි මැදිහත් වීමක්‌ කළේය. එනම් පසුගිය වසරේ ඔක්‌තෝබර් මස 18 වැනිදාතමින් චක්‍රලේඛයක්‌ නිකුත් කරන පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන්ට දන්වා සිටියේ -පාසල්වලට තීන්ත ආලේප කිSරීම සඳහා මුදල් ලබා දෙන බවය. "සුපසන් නිම්තෙර" නම් වැඩසටහන යටතේ සිසුන් 500 ට අඩු පාසල් සඳහා රුපියල් 50000 ක්‌ද 500 - 750 අතර රුපියල් 75000 ක්‌ද, 750 -1000 අතර රුපියල් 100000 ක්‌ද, 1000 ට වැඩි සිසුන් සිටින පාසල් සඳහා රුපියල් 150000 ක්‌ද වශයෙන් මුදල් ගෙවන බවට එහි සඳහන් විය. තීන්ත ආලේප කිරීමට අමතරව පාසල්වල වෙනත් අඩුපාඩුද සපුරා ගැනීමට එම මුදල යොදාගත හැකි යෑයිද චක්‍රලේඛනයේ සටහන් කර තිබිණි. තවද අමාත්‍යාංශය අලෙවි නියෝජිතයකුගේ තත්ත්වයට පත් වෙමින් සියයට 25 ක වට්‌ටමක්‌ යටතේ තීන්ත මිලට ගත හැකි පෞද්ගලික ආයතනයක්‌ ගැනද සඳහන් කළේය.

කාලය ගත වීමෙන් පසු පසුගිය මස 31 වැනිදා ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ අධ්‍යාපන වෘත්තීය සංගම් අතර සාකච්ඡාවක්‌ පැවැත්විණි. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු පිළිබඳ සාකච්ඡා කරන අතරතුර තීන්ත ආලේප කිරීමද සාකච්ඡාවට ඇතුළත් විය. එහිදී ප්‍රධාන ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තීන්ත ආලේප කිරීම සඳහා පාසලකට ලබා දී ඇත්තේ රුපියල් 60000 ක්‌ බවත් එම මුදල ප්‍රමාණවත් නොවන හෙයින් යම් මුදලක්‌ එකතු කිරීමට සිදු වී ඇති බවත්ය. පාසල්වල විදුලි ගාස්‌තු සඳහා විශාල මුදලක්‌ වැය කිරීමට සිදුවී ඇති හෙයින් මාසයකට රුපියල් 250 ක්‌ අය කරන්නේ නම් එය සාධාරණ බවත් රණතුංග මහතා ප්‍රකාශ කර ඇත. 

දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීම නීති විරෝධී යෑයි කැබිනට්‌ මණ්‌ඩලය හදිසියේම සාකච්ඡා කිරීමට සතියකට පෙර බස්‌නාහිර ප්‍රධාන ඇමැතිවරයා දෙමවුපියන්ගෙන් මුදල් අය කිරීම සාධාරණීයකරණය කරයි. රුපියල් 50000 සිට 150000 දක්‌වා පාසල්වලට මුදල් ලබා දෙන බවට චක්‍රලේඛයක්‌ නිකුත් කළ පළාත් අමාත්‍යාංශය පසුව එය රුපියල් 60000 කට සීමා කිරීමට හේතුව කුමක්‌ද යන්නද අපැහැදිලිය.

කවුරු කුමන දේ කීවද පාසලකට වියදම් පෝලිමකි. විදුහලේ ප්‍රධානියාට ඒ වැය බර දරා ගැනීමට නොහැකි වන කල අවසාන සහ හොඳම විකල්පය දෙමවුපියන්ය. දෙමවුපියන්ගෙන් මුදල් එකතු කරන ලෙස විදුහල් ප්‍රධානීන් පොළවන්නේ අහිංසක දැරියක්‌ තොරොම්බල් කරන ආණ්‌ඩුවය. දෙමවුපියන්ගෙන් මුදල් එකතු නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛ පිට ද චක්‍රලේඛ නිකුත් කළත් ප්‍රතිඵලයක්‌ නැත. පාසල් පවත්වාගෙන යම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් ලෙස ලබා නොදෙනතාක්‌ සාප කරමින් හෝ මුදල් වැය කිරීමට දෙමවුපියන්ට සිදු වෙයි. ඒ සිය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි.

කෝටි ප්‍රකෝටි ගණනින් අය කෙරෙන ජනතා බදු මුදලින් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා වැය කෙරෙන්නේ සොච්චමකි. අධ්‍යාපනය සඳහා ඒ සොච්චමෙන්ද කොටසකි. එහෙයින් හොරණ අහිංසක දැරිය මෙන් තවත් අහිංසකයන් ඉදිරියේදීත් එවන් තත්ත්වයකට පත් වූවහොත් අරුමයක්‌ නැත.ආශ්චර්යයේ යථාර්ථය ගඳ ගසමින් රෙද්ද පල්ලෙන් බේරෙනායුරු දැක දැකම හුරේ දමන්නන් නොඅඩු රටක සාධාරණය යුක්‌තිය ගැන කවර කතාද..... ?

නිලන්ත මදුරාවල

Friday, February 8, 2013

රටේ තවත් තරුණ කැරැල්ලක් ඇතිවීම අනිවාර්යයක් - ඩලස්


අනාතගයේදී තවත් තරුණ කැරැල්ලක් ඇතිවීමේ ඉඩකඩ පහළවෙමින් පවතින බවත් තමන්ගේ වගකීම් හරියට ඉටු කිරීමට නොහැකිවූ බැවින් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තමන් සූදානම් බවත් නිපුණතා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා ගාල්ල තාක්‍ෂණ විද්‍යාලයේදී පවසා තිබේ.
එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ "මේ රටේ තියෙන්නේ අමුතුම දේශපාලන සෙල්ලම්. ඡන්ද කාලයට තමන්ගේ ඔළුව විතරක් නෙවෙයි අතයි කකුලුයි දෙක තුනම කරකවලා ඡන්ද ගන්නවා මිසක් ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන්නේම නැහැ. ඒ නිසා දැන්වත් අපේ වැඩිහිටි පිරිස් අරක්කු ටිකටයිහිස් රැකියා පෝරමයටයි ඡන්ද දීලා තමන්ගේ දරුවන්ගේ අනාගතය පාවා නොදෙන්නට දැන්නවත් සූදානම් විය යුතුයි.
තව වසර දහයකින් හෝ විස්සකින් තවත් තරුණ කැරැල්ලක් මේ රටේ ඇතිවීම අනිවාර්යයක්. මට හරියට වගකීම් ඉටුකරන්නට බැරි වුණා. මම දේශපාලනයෙන් විශ්‍රාම යන්නට සූදානම්.
මේ රටේ සිටිය හා සිටින දේශපාලනඥයන්ටගුරුවරුන්ට හා මවුපියන්ට මේ රටේ තාරුණ්‍යයේ විශ්වාසය දිනාගන්න බැරි වුණා. ඔවුන්ගේ හඬට කන්දෙන්න බැරි වුණා. ඔවුන් තේරුම්ගන්න බැරි වුණා. ඒ නිසා ගෙවී ගිය යුගයේ මේ රටේ තරුණ කැරැලි තුනක මහා ඛේදවාචකයකට මුහුණ දෙන්නට අපට සිදුවුණා. මෙයට රටේ දේශපාලනඥයන්,ගුරුවරුන් මෙන්ම මවුපියන්ද වගකිව යුතුයැයි කීය.
අපේ රටේ සිසුන්ගෙන් 5%ක් විශ්වවිද්‍යාලයට යන විට 95%ක් අතරමඟ නතරවන අධ්‍යාපනයක්සමාජ වටපිටාවක් අප රට තුළ තිබෙන්නේ යැයි කී අමාත්‍යවරයා මෙවන් තත්ත්වයක් යටතේ මේ රටේ තරුණයන්ට සයිනයිඩ් කරල් බෙල්ලේ එල්ලා ගැනීම හා දෙපයින් සිට මියයෑම හැර ඔවුන්ට වෙන තිබූ සමීපතම විසඳුම කුමක්ද?
මේ රටේ සිංහලදෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂා නොකිරීමපාසල් අධ්‍යාපනය තුළ ඉංග්‍රීසි භාෂාව ලඝුකොට තැබීමහා වෘත්තීය අධ්‍යාපනයට ඉතිහාසය පුරාම සැලකිල්ලක් නොදැක්වීම යන කරුණු මත අපේ රටේ මහා ඛේදවාචකයන් ඇතිවුනා. මේ රට තුළ අද ඉන්ජිනේරුවන්ගේ විශාල හිඟයක් තිබෙනවා." යයිද පැවසීය.

ජනපතිතුමනි, අපි කම්පා වෙන්නම් ඔබ සතුටු වෙන්න - අන්තරය

තම ආර්ථික ප්‍රතිපත්ති මගින් පාසල් සිසුන්ට අත්කර දී ඇති ඉරණම සම්බන්ධයෙන් කම්පාවීම ජනාධිපතිවරයාගේ තවත් හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවත් පාසල් දරුවන්ට සොරකමේ යෙදෙන්නට සිදුව ඇත්තේ අධ්‍යාපන පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හේතුවෙන් බවත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
පාසලේ තීන්ත ආලේප කිරීමට මුදල් ලබාදීම සදහා පාසල් ශිෂ්‍යයාවකට සොරකමේ යෙදීමට සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මේ බව ප්‍රකාශ කර තිබේ.
එම නිවේදනය මෙසේය.
පාසලේ තීන්ත ආලේප කිරීම සඳහා ගෙනෙන්නට කියූ රු.800ක මුදලක් දෙමව්පියන්ට ගෙවීමේ හැකියාවක් නොමැතිවීම නිසා අසල වත්තකින් රු.320ක් වටිනා පොල් ගෙඩි අටක් ඇහිලූ ශිෂ්‍යාවක් හොරණ මහෙස්ත‍්‍රාත්වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු.50000ක ශරීර ඇපයක් මත මුදාහරිනු ලැබූ පුවතක් ඊයේ පුවත්පත්වල වාර්තා කර තිබුණි. එය අප කාගේත් හදවත් කම්පාවට පත්කරනු ලබන පුවතක් වන අතර ඒ පිළිබඳව මාධ්‍යවේදියකු රජයේ කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ඇසු පැනයකට දෙන ලද පිළිතුරෙන් අපි තවත් කම්පාවට පත්වීමු.
ඔහු ප‍්‍රකාශකර ඇත්තේ මෙම ප‍්‍රවෘත්තිය ඇසීමෙන් ජනාධිපතිවරයා බලවත් කම්පාවට පත් වූ බවයි. මෙය නම් ආශ්චර්යයක් මැයි. ජනාධිපතිතුමා කම්පාවට පත්ව තිබේ. ඝාතකයකු දිනපතා පුද්ගලයන් ඝාතනය කරන ගමන් සියතින් ඝාතනය වන පුද්ගලයන් පිළිබඳව කම්පා වන්නේ යැයි කිව හොත්.....මෙයද එවැනිම කතාවක් නොවන්නේ ද?
දෙමව්පියන්ගෙන් පාසල්වල නඩත්තුට මුදල් අය කරන්නේ ඇයි? එය විදුහල්පතිවරයාගේ වරදකින් සිදුවූවක්ද? නැත. ආණ්ඩුව පාසල්වලට වෙන්කරන ප‍්‍රතිපාදන කපා එහි නඩත්තුවට පාසල් සංවර්ධන මණ්ඩල නම් ව්‍යුහයක් හඳුන්වා දෙන ලදි. ඒ හරහා පාසල් නඩත්තු කිරීම දෙමව්පියන්ගෙන් මුදල් අයකර සිදු කරනු ලැබේ. මේ සිදුවීම එම වැඩපිළිවෙලේ එක් ප‍්‍රතිවිපාකයක් පමණි. තවත් වාර්තා නොවන සිදුවීම්නම් කොතෙක් ඇත්ද?
නඩත්තුවට අයකරන මුදල් දීගත නොහී පාසල් ගමන නැවතුනු දරුවන් කී දෙනෙක් ඇත්ද? දරුවන් පාසල් නොයන විට වැලපෙන දෙමව්පියන් කොතෙක් ඇත්ද? ඒ මුදල් සොයනන්ට ගොස් සොරුන් ලෙස හංවඩු ගසන ලද දරුවන් කීදෙනෙක් සිටීද? මේ අශ්චර්යමත් දේශයේ හැටිය. මේ ආඩම්බරකාර තාත්තා අපට දායාද කළ ඉරණමයි. අද ඔහු කිඹුල් කදුළු හෙළයි. ප‍්‍රතිපාදන වැඩිකර පාසල් නඩත්තුවේ වගකීමෙන් දෙමව්පියන් නිදහස් කරන්නැයි අරගල කරන විට සිසුන්ට, අචාර්යවරුන්ට දේශද්‍රෝහියෝ යැයි කීවේත්, මහ උජාරුවට වාර්ෂිකව ඉදිරිපත් කරන අයවැයෙන් අධ්‍යාපන ප‍්‍රතිපාදන කැපුවේත් ඔහුය. එසේනම් දරුවන්ට තමන්ම අත්කළ ඉරණම දැක කම්පාවීමට ඔහුට අයිතියක් තිබේද? ඇත්තටම ඔහුට කම්පනයක් තිබේ ද? නැත. මෙය තවත් රඟපෑමක් පමණි. ඒ නිසා අපි එතුමාට කියමු. අපි කම්පා වෙන්නෙමු. ඔබ සතුටු වෙන්න.
එසේම අපි මෙහිදී ජනතාවට කියා සිටිමු. මේ කිඹුල් කඳුළුවලට නොරැුවටෙන්න. දැන් වත් අවදිවිය යුතුය. හෙට මේ ඛේදවාචකයේ ගොදුර ඔබගේ දරුවා විය හැකිය

Monday, February 4, 2013

උසස් පෙළ සමත් සියලූ දෙනා සරසවි වරම් වෙනුවෙන් අරගල කළ යුතුයි - දුමින්ද නාගමුව


උසස් පෙළ විභාගයෙන් සමත් වූ සියලූ දෙනාටම සරසවි වරම් හිමි විය යුතු බවත් එය ඔවුන්ගේ අයිතියක් බවත පෙන්වා දුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩ සභික දුමින්ද නාගමුව මහතා, එම අයිතිය දිනා ගැනීම වෙනුවෙන් අරගල කළ යුතු යැයි අවධාරණය කළේය. දෙමාපියන් තම දරුවන්ට ඉගැන්වීම සඳහා විශාල වෙහෙසක් ගන්නා බවත් එහෙත් ඉන් නතර නොවී එම වෙහෙසෙහි ප‍්‍රතිඵල ලැබීමට නම් තවත් අරගලයක් ඇති බවත් ඔහු පැවසුවේය.
දුමින්ද නාගමුව මහතා මෙම අදහස් පළ කළේ අද එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමිනි. මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා මෙසේ දපැවසීය.
"පසුගිය අවුරුද්දේ උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල වැරදිලා ලොකු අවුලක් වුණා. ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න ශිෂ්‍යයින්ට සිදු වුණා. තවත් එවැනි වරදක් සිදුනොවන බවට ආණ්ඩුව පම්පෝරි ගැහුවා. ඒත් මෙවර විභාගයේත් ඒ වරද ඒ විදියටම සිද්ධ වෙලා තිබෙනවා.
මොනරාගල දිස්ත‍්‍රික්කයේ විභාග අංකය 6004849වුණු ශිෂ්‍යාවකගේ ප‍්‍රතිඵලය සී, එස්, බී ලෙස තිබෙන්නේ. ඇගේ එසෙඞ් අගය ඍණ 0.1068යි. ඇගේ දිස්ත‍්‍රික් රෑන්ක් එක 9. ජාතික මට්ටම 460. ඒ දිස්ත‍්‍රික්කයේම විභාග අංකය 6014780වුණු ශිෂ්‍යයකුගේ විභාගය ප‍්‍රතිඵලය ඒ දෙකයි බී එකක් ලෙස තිබෙනවා. ඔහුගේ දිස්ත‍්‍රික් මට්ටම 278. ජාතික මට්ටම 9734.
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේත් එවැනිම ප‍්‍රතිඵලයක් තිබෙනවා. සී දෙකයි එස් එකක් ගත් සිසුවියකගේ ඉසෙඞ් අගය ඍණ 0.3373. ඇගේ දිස්ත‍්‍රික් මට්ටම 9. ජාතික මට්ටම 534. ඒ දිස්ත‍්‍රික්කයේම තවත් සිසුවියක් ඉන්නවා බී දෙකයි සී එකක් ලබා ගෙන, ඉසෙඞ් අගය ධන 0.7353ලබා ගත්. ඇගේ දිස්ත‍්‍රික් අගය 320. ජාතික මට්ටම 20771. මේක කිසිසේත්ම විය නොහැකි තත්වයක්.
ඒ නිසා මෙවර විභාග ප‍්‍රතිඵලවලත් බරපතළ අවුලක් තිබෙනවා.
ඒ වගේම අනෙක් කරුණ තමයි, පසුගිය විභාග ප‍්‍රතිඵලය ආණ්ඩුව වරද්දලා, අධිකරණයෙන් නියෝගයක් දුන්නා වැඩිපුර සිසුන් බඳවා ගන්න. ඒ අනුව බඳවා ගත යුතු සිසුන් ගණන 28,109ක්. නමුත් දැන් ආණ්ඩුව නැවත අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් කියනවා ඒ ප‍්‍රමාණය බඳවා ගන්න බැහැ, බඳවා ගන්න පුළුවන් 26,000ක් විතරයි කියලා. නඩු තීන්දුව තමන්ට  ඕන විදියට වෙනස් කර ගන්න අධිකරණයට ගිහින් ඉන්නවා. ඒ නඩුව අධිකරණයේ විභාග වෙමින් තිබියදී උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක ඇමතිවරයා කියනවා මේ සැරේ බඳවා ගන්නේ සිසුන් 26,000යි කියලා. ඒ වගේම ලබන අවුරුද්දේ බඳවා ගන්නේ තවත් 1500ක් අඩුවෙන් කියලා ආණ්ඩුව කියනවා.
සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම විශ්වවිද්‍යාලයට බඳවා ගන්නවා කියන ප‍්‍රමාණය බඳවා ගන්නේ නැහැ. හැම බැජ් එකකම පුරප්පාඩු තියෙනවා. ඒවා පුරවන්නේ ශිෂ්‍ය සංගම් පීඨාධිපතිවරුන් එක්ක සාකච්ඡුා කරලා. එහෙම එන අය ගැන තමයි විශ්වවිද්‍යාල භාෂාවෙන් කියන්නේ බෝට්ටුවෙන් එනවා, පීල්ලෙන් එනවා කියලා.
එහෙම තියෙද්දී එස්.බී. දිසානායක ඇමතිවරයා කියනවා බඳවා ගන්නා ප‍්‍රමාණයෙන් සියයට පහක් විදෙස් සිසුන් වෙනුවෙන් වෙන් කරනවා, ලබන අවුරුද්දේ එය සියයට දහයක් කරනවා කියලා. ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල අවස්ථා 2200ක් වෙන් කර තිබෙනවා. ඒ සඳහා මෙරට සිසුන් බඳවා ගන්නේ නැහැ. ඔය එනවා කියන ඉන්දියාවේ, මැඩගස්කරයේ ළමයි මෙච්චර කාලෙකට ආවේත් නැහැ. මෙහේ විභාගවල තියෙන අවුල මුළු ලෝකෙම දන්නවා. ඒ නිසා එන්නේ නැහැ.
ඊළඟ කරුණ තමයි මෙවර වාණිජ්‍ය විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් ඒ තුන සාමාර්ථය ගත් සිසුන් ප‍්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ ගාස් තිබෙනවා. සාමාන්‍යයෙන් ඒ තුනක් සහ ඒ දෙකයි බී එකක් ගත් සිසුන් දස දහසකට ආසන්න පිරිසක් ඉන්නවා. 2010අවුරුද්දේ වාණිජ්‍ය අංශයෙන් විශ්වවිද්‍යාලයට ගත්තේ 4900යි. ඒ නිසා ඒ තුන සාමාර්ථය ගත්තු විශාල පිරිසකට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවා. මේ ගැන සැකයක් තිබෙනවා, මේ විදියට ප‍්‍රතිඵල ඉහළ දැම්මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට පාර කැපීම සඳහාද කියලා. දැන් කියන්න ඉඩ තියෙනවා, විශ්වවිද්‍යාල යන්න බැරි වුණු අය පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන්න ආණ්ඩුවෙන් ශිෂ්‍යත්ව දෙන්නම්, ණය දෙන්නම් කියලා.
ඒ කොහොම වුණත් සාමාන්‍යයෙන් එක් විභාගයකින් සමත් වුණාට පස්සේ ඊළඟ අදියරේ ඉගෙන ගන්න අවස්ථාව තිබිය යුතුයි. ඒ නිසා උසස් පෙළ සමත් වුණු සියලූ දෙනාට සරසවි වරම් හිමි විය යුතුයි. ඒ අයිතිය දිනා ගැනීමේ අරගලයට එක් වෙන්න කියා අපි සියලූ දෙනාට ආරාධනා කරනවා.

Sunday, February 3, 2013

මෙවර ප්‍රතිඵලත් පිළිගන්න බෑ - සංජීව බණ්ඩාර


2011 වසරේ උසස් පෙළ විභාගයේ මෙන් මෙවර නිකුත් කළ ප්‍රතිඵලවලද ගැටලු ගණනාවක් ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

"මෙවර උසස් පෙළ විභාගයත් අවුල්, ආණ්ඩුව උපාධි කඩ අරින්න ප‍්‍රතිඵල වෙනස් කරලා. සියලු උසස් පෙළ සමතුන් සරසවි වලට බඳවා ගත යුතුයි. මේ පාර විභාග ප‍්‍රතිඵලයත් පිළිගන්න පුලුවන් තත්ත්වෙක නෑ.
2011විභාග ප‍්‍රතිඵලය තරම්ම තොමැති වුනත් මේ පාරත් rank වල සහ Z අගයන්වල ගැටළු තියෙනවා. උදාහරණයක් විදියට පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් කලා අංශයෙන් නව විෂය නිර්දේශයෙන් විභාගයට ඉදදිරිපත්වුණු(5577012) c2 s1ක ප‍්‍රතිඵයක් ලබාගෙන තියෙන ශිෂ්‍යයාවක්ගෙ දිස්ත‍්‍රික් rank එක 9ය. Z අගය -0.3373යි. අයිලන්ඞ් rank එක 534යි.

 එම දිස්ත‍්‍රික්කයේම තවත් ශිෂ්‍යයෙක් ඉන්නවා(5551064). එත් කලා විෂය ධාරාවෙන්මයි විභාගයට ඉදිරිපත්වෙලා තියෙන්නේ. ප‍්‍රතිඵලය B2, C1. Z අගය 0.7353යි, දිස්ත‍්‍රික් rank එක 320. අපි අහනවා මේ ප‍්‍රතිඵලය පිළිගන්න පුළුවන්ද? ඒ වගේම තමයි වව්නියා දිස්ති‍්‍රක්කකයෙන් කලා අංශයෙන් නව විෂ්‍ය නිර්දේශය යටතේ විභාගයට ඉදිරිපත්වුණු (6231594) ශිෂ්‍යයගෙ විභාග ප‍්‍රතිඵලය තමයි ABC . දිස්ත‍්‍රික් rank එක 01. අයිලන්ඞ් rank එක 38. Z අගය 1.1988යි. එම දිස්ත‍්‍රික්කයේම තවත් ශිෂ්‍යයෙක්(6237770) ඉන්නවා ඔහුගේ ප‍්‍රතිඵලය A1 B2යි. දිස්ත‍්‍රික් rank එක 27. අයිලන්ඞ් rank එක 2694. මේක මෙහෙම වෙන්නෙ කොහොමද? ඕනෑම කෙනෙක්ට තේරෙනවා මේක විකෘතියි කියලා.

ඒ වගේම තමයි මෙවර කලා අංශයේ විභාග ප‍්‍රතිඵල අඩුයි. වානිජ අංශයේ ප‍්‍රතිඵලවල අසාමාන්‍ය වර්ධනයක් දකිනවා. අනෙක් විෂය ධාරාවන් සම්බන්ධවත් ගැටලු තියෙනවා. හැබැයි වානිජ අංශය විශේෂයි. වානිජ අංශයෙන් A3ලබාගත්ත ශිෂ්‍යයො දහස් ගානක් ඉන්නවා. ඒත් ඔවුන්ට මෙවර සරසවි යන්න බෑ. සෑම දිස්ත‍්‍රික්කයකම වගේ මේ වෙනස දකින්න පුළුවන්. මෙවර උසස් පෙළ ප‍්‍රතිඵල වලට අනුව A3ලබාගත් සිසුන් 8544ක් සිටින අතර වාණිජ විෂය ධාරාව යටතේ සිසුන් 6471ක් වීම විශේෂත්වයකි. එහෙත් වාණිජ විෂය ධාරාව යටතේ සරසවි වලට ඇතුලත් කරගන්නා සිසුන් ප‍්‍රමාණය 5000ටත් වඩා අඩුය.
ප‍්‍රතිඵල ඉහළ ගියපු එක හොදයි. ඒ ගැන අපි සතුටු වෙනවා. නමුත් අපි මේක පිටුපස්සෙ ආණ්ඩවේ Project එකක් තියෙනවා කියලා දකිනවා. මොකද මේක වෙන්න පුලුවන් එක්කො විභාගය වෙනදට වඩා ලේසි කරන්න ඕන. නැත්නම් එකපාරම ශිෂ්‍යයො දක්ෂයො වෙන්න ඕන. මේ මොක වුනත් පාස්වෙච්ච එක හොදයි. ඒ වගේම ප‍්‍රශ්න පත‍්‍ර එක පාරම වානිජ අංශයෙන් විතරක් ලේසි කලේ ඇයි? විභාග අමාරු වියයුතුයි කියලා අපි කියන්නෙ නෑ. හැබැයි ඒක අධ්‍යාපනික නොවන අරමුණ කින් නම් කලේ ඒක අනුමත කරන්න අපට බෑ. මොකද මේක පිටුපස්සෙ තියෙන්නෙ ශිෂ්‍යයින්ට තියෙන ආදරයට වඩා වෙනත් අරමුණු නිසයි.

මේ සමත් වෙච්ච හැමෝම දක්ෂයො ඒකෙ විවාදයක් නෑ. A 3ගත්ත අය විතරක් නෙවෙයි S3ක් තියෙනවනවනම් ඒ අයත් සරසවි යන්න සුදුසුයි. ප‍්‍රශ්නෙ තියෙන්නෙ ආණ්ඩුවට ඔවුන් බදවාගන්න වැඩපිළිවෙලක් හරි උවමනාවක් හරි නැති එකයි. මේ

පාස් වෙච්ච සිසුන් සරසවි වලට බදවා ගත යුතුයි. ඒත් ආණ්ඩුවට එහෙම වැඩපිළිවෙලක් නෑ. මොකද 2011හේ ප‍්‍රතිඵලයට අනුව අමතරව බදවාගන්නවා කියලා අධිකරණයට පොරොන්දුවු සිසුන් 5000වත් බදවා ගන්නෙ නෑ. එහෙම තත්ත්වයක් ඇතුළෙ විභාගෙ ලේසි කරලා, ඇයි වැඩි ප‍්‍රමානයක් සමත් වෙන්න සැලැස්වුයේ කියන එක ලොකු ප‍්‍රශ්නයක්.
ඒ වෙන මොකටවත් නෙවෙයි පෞද්ගලික විශ්වවිද්‍යාල සදහා පාරකපන්න. A 3ගත්ත ශිෂ්‍යයො හැමෝම සරසවි යන්න බලාන ඉන්නවා. ඒත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට හැමෝම බදවා ගන්නෙ නෑ. මොකද ඇහුවොත් ඉඩනෑ කියනවා. පුළුල් කරන්න දෙන්න ආණ්ඩුවට සල්ලි නෑ කියනවා. ඊළගට කියයි පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා. ඒවට යන්න කියලා. කීප දෙනෙක්ට ශිෂ්‍යත්ව දෙන්නම් කියයි. පස්සෙ ගෙවන්න කීපදෙනෙක්ට ණය වුණත් දෙන්නම් කියන්න බැරිනෑ. දෙමවුපියන්ටත් A 3ගත්ත තමන්ගෙ දරුවා ගෙදර ඉන්නව බලන් ඉන්න බෑ. ශිෂ්‍යයින්ටත් ආපහු හිත හදාගෙන විභාගෙ ලියන්න බෑ. ලිව්වත් වැඩකුත් නෑ. ඒ නිසා දෙමවුපියෝ ඉහ ඉග විකුණල හරි තමන්ගෙ දරුවටත් උපාධියක් අරන් දෙන්න උත්සාහ කරනවා. මොකද ඉහළින් සමත් වෙ ච්ච ශිෂ්‍යයින්ට සරසවි යන්න එන හැගීම ප‍්‍රබලයි. A 3ක්ම අරන් ඉහළින්ම සමත් වුණ ශිෂ්‍යයෙක්ගෙ ඒ හැගීම සියදහස් ගුණයකින් වැඩියි. ආණ්ඩුව අන්න ඒ හැගීම විකුණල උපාධිකඩ අරින තමන්ගෙ අරමුණ ඉටුකරගන්න තමයි දැන් හදන්නෙ. ඒත් ඒක කරන්න පුලුවන් යම් ආදායම් මට්ටමකින් ඉහළ අයට විතරයි.
හැමෝටම මේවට යන්න බෑ. ඒක තමයි ආණ්ඩුවේ අද ප්ලෑන් එක වෙලා තියෙන්නෙ. ජනාධිපතිතුමාම NIBM එකේ ශාඛා විවෘත කරන්න යන්නෙ, උපාධි විකුණන්න මේ තරම් වලිකන්නෙ ඒ නිසයි. මේ උපාධි කඩවලට යන්න පුලුවන් ඉතාම අතලොස්සකට විතරයි. අනිත් හැමෝම අන්තිමේ සරසවියන්න බැරිවෙනවා.

මේ යතාර්තය අපි තේරුම් ගත යුතුයි. මේක පිටුපස්සෙ කුමන්ත‍්‍රණයක් තියෙන බව ඇත්ත හැබැයි අපි හිතනවා මේක ඉතිහාසයේ ස්වර්ණමය අවස්තාවක් කියලා. මොකද එකක් විශාල ප‍්‍රමාණයක් ඉහළින් සමත්වීම ඒක හොදයි, හරියට සටන් කළොත් ඒ දැන් ඒක උ/පෙළ ලියලා ප‍්‍රතිඵල එද්දිම තේරෙන්න පටන් ගන්නවා. සරසවි බඳවගන්න ප‍්‍රමාණය වැඩිකරගන්න සටන් නොකර කොච්චර විභාගෙට මහන්සි උනත් වැඩක් නෑ. මොකද විභාගෙට ලියන ඔක්කොම A3බැගින් ගත්තත් සරසවි යන්න පුලුවන් 22000කට විතරයි. නිදි මරාගෙන ළමාකාලය, තාරුණ්‍ය පවා අහිමිකරගෙන දෙමවුපියෝ රටේම ණයකාරයෝ කරල අන්තිමේ විභාගෙන් A 3ක් ගත්තත් යන්න සරසවියක් නෑ. ඒ නිසා කළ යුත්තේ මේක නෙවෙයි. සමාජයක් විදියට අධ්‍යාපන අවස්ථා වැඩි කරගන්න සටන් කරන එකයි.

සමහරු හිතනවා ඕවා කරලා, නිකන් ආණ්ඩුව එක්ක හැප්පිලා මැරෙන්න බෑ කියලා. හැබැයි ඒ අය තනි තනියෙන් ජීවිතේ දිනන්න කියලා යන පාරවල් කෙළවර වෙන්නෙත් අවසානෙ දරුණු අගාධයන්වලම තමයි. එතකොට වෙන්නෙ බලාපොරොත්තුත් එක්කම සිය දිවි හානිකරගන්න විතරයි.

අද උසස් පෙළ ශිෂ්‍යයන්ට අත්වෙලා තියෙන ඉරණමත් ඒකම තමයි. අපි කියනවා දැන්වත් නිවැරදි පාර තෝරාගත යුතුයි. සරසවි යන්න බලාපොරොත්තු වන හැමෝටම දැන් කරන්න තියෙන්නෙ එක දෙයයි. ඒ තමයි හැමෝම එකතුවෙලා සරසවිවලට බඳවාගන්න ප‍්‍රමාණය වැඩිකරන්න කියලා ආණ්ඩුවට බලකරන එක. හැමෝම එකතුවෙලා බල කළොත් ආණ්ඩුවට ඒක කරන්න වෙනවා. පුලුවන් තරම් බඳවානොගෙන ඉන්න උත්සාහ කරයි. බැරිම වුනොත් ජනපති පුතා ඇවිත් සන්දර්ශනයක් දාල හරි අන්තිමේ බඳවා ගනියි.

අපි දෙමවුපියන්ගෙනුත් ශිෂ්‍යයන්ගෙනුත් ඉල්ලනවා ඒ වෙනුවෙන් පෙරට එන්න කියලා. ශිෂ්‍යයෝ තව තවත් තමන්ගේ දෙමවුපියන් රටේ ණයකාරයෝ කරවන්නෙ නැතිව, ඒවා පියවන්න තව තවත් වැඩකරන තැනට පත්කරලා ඔවුන් ලෙඩවෙලා මැරෙන්න අරින්නෙ නැතිව, ආයෙත් බොරුවට විභාග කරන්න ගිහින් ජීවිතේ විඳින්න තියෙන කාළේ නිකරුනේ විඳවන්නෙ නැතිව තමන් ලබාගත්ත ප‍්‍රතිඵලයට අනුව උසස් අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය දිනාගන්න එකාවන්ව හැමෝම එකතු වෙන්න කියලා අපි ඔබට කියනවා. අපි ඒ සටන පටන් ගන්නවා. නමුත් අපි විතරක් සටන් කරා කියලා වැඩක් වෙන් නෑ. ඔබ ඉදිරියට පැමිණිය යුතුයි."