Sunday, March 31, 2013

මහාචාර්ය සුචරිත ගම්ලත් පඬිවරයාණන් සමුගෙන යයි...!

පඬිතුමෙකු යැයි කට පුරා කිවහැකි ශ්‍රී ලංකාවේ පඬිවරුන්ගේ යුගයේ අවසන් පඬිතුමකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා අද උදෑසන කොළඹ ජාතික රෝහලේදී ජනතාවගෙන් සමුගත් බව දැඩි ශෝකයෙන් දන්වා සිටිමු.

සමුගන්නා විට ඒ මහතාගේ වයස අවුරුදු 79 ක් විය. අවසාන කාලයේ පිලිකා රෝගයට ගොදුරු වූ ගම්ලත් මහතා මහරගම පිලිකා රෝහලින් ප්‍රතිකාර ලබමින් සිටියදී අසනීප තත්ත්වය වැඩි වීමෙන් මීට දින හතර පහකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළද ඔහු අද උදෑසන ජනතාවගෙන් සමුගෙන ගියේය.

සිංහල, ඉංග්‍රීසි, දෙමළ, සංස්කෘත, පාළි සහ ලතින් භාෂාවන්හි විශිෂ්ඨ ප්‍රවීනයෙකු වූ ගම්ලත් පඬිතුමා අචල භෞතිකවාදී මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදියෙකු විය. සිය නිරවුල් ඓතිහාසික භෞතිකවාදී ස්ථාවරයේ සිටිමින් කලාව දේශපාලනය සම්බන්ධයෙන් සිදුකළ නිර්දය විචාරයන් 80-90 දශකයන්හි තරුණ ජනතාවට මහත් ආලෝකයක් ගෙන දුන්නේ ය.

තම ආචාර්ය උපාධිය ලන්ඩන් සරසවියෙන් ලබා සියරට පැමිණීමෙන් පසු යාපනය විශ්වවිද්‍යාලයේ භාෂා සහ සාහිත්‍ය අංශයේ ආරම්භක මහාචාර්යවරයා ලෙස කටයුතු කළේය. රුහුණ විශ්වවිද්‍යාලය ආරම්භ කළ පසු එහි ද කලා පීඨයේ ප්‍රධානත්වය දැරූ ඔහුගේ දේශපාලන මත ගැන උරණ වූ එවක කොළපාට ආණ්ඩුව ඔහු විශ්ව විද්‍යාලයෙන් නෙරපා දැමීය. ඉන්පසු ඔහු යළි සේවයේ පිහිටුවීමට නිල්-රතු ආණ්ඩුව හෝ ක්‍රියා නොකළේය. තව තවත් පර්යේෂණ කිරීමට ඉඩ සලසා දෙනවා වෙනුවට මේ තරම් වටිනා පඬිවරයෙකු විශ්ව විද්‍යාල සමාජයෙන් නෙරපා දැමූ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව විය යුතුය. විදේශ විශ්ව විද්‍යාල රැසකින් ගම්ලත් පඬිතුමාණන්ට ආරාධනා ලැබුනද ඔහු ඒ ගැන උනන්දුවක් නොදැක්වූ අතර ශ්‍රී ලංකාවේ මහජනතාව වෙත තම හැකි පමණින් සේවය කිරීමට කටයුතු කෙළේය.

ඔහු ශ්‍රී ලාංකිකයන්ට දායාද කළ මහඟ= දායාදය නම් ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ අනර්ඝතම ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂය නිම කිරීම විය යුතුය. ඒ සඳහා ඔහු වසර 15 ක පමණ කාලයක් කැප කෙළේය. අහුමුළුබුදු ලා විසින් සිංහල වචන සඳහා සිදුකළ වර්ගවාදී විකෘති නිරුක්තීන් වෙනුවට ගම්ලත් පඬිතුමා විසින් නිවැරදි ඓතිහාසික භෞතිකවාදී නිරුක්තීන් ඉදිරිපත් කෙළේය.

සරසවියෙන් එළවා දැමුවද නිර්මාණ සංවාද කුලකය, කොළඹ කවය ආදී 80-90 දශකයන්හි තිබූ බුද්ධි පිපාසයෙන් පෙළුනු තරුණයන්ගේ සංවිධානයන් ට මග පෙන්වූ ගම්ලත් පඬිතුමා එම සංවිධාන වල සිටි තරුණයන්ගේ අසහාය ගුරුවරයෙකු විය. සරසවියෙන් එළවා දමා සිටියදී වුව තම දේශන සඳහා නුවර සිට කොළඹ පැමිණි ඔහු තම ගමන් වියදම් හැර කිසිදු මුදලක් ඒ වෙනුවෙන් අය නොකළ බව කිවහොත් අද සිටින බොහෝ දෙනෙකු විශ්වාස නොකරනු ඇත.

මේ අසහාය සිංහල මහාචාර්ය වරයාට කලක් තම දිවි ගැට ගසා ගැනීම සඳහා ඉංග්‍රීසි ටියුෂන් දීමට සිදුවූයේද ශ්‍රී ලංකාවේ ආණ්ඩුවල බල මහිමය නිසාය.

ජාතිවාදයට ආගම්වාදයට දැඩි සේ විරුද්ධ වූ ඔහු තම දැනුම ඛෙදාහළේ ඒ වෙනුවෙනි. පුහු සමාජවාදී ප්‍රචාරක කලාවද පොළොවේ පය නොගැසූ හුදු සෞන්දර්යවාදී කලාවද ප්‍රතික්ෂේප කළ ඔහු ශ්‍රමයේ නිර්මාණයක් වූ සම්භාව්‍ය කලාව සම්බන්ධයෙන් සිංහල විචාර කලාවට නව මානයන් ගෙන ආවේය.

දර්ශනය, දේශපාලනය, විචාරය සම්බන්ධයෙන් වටිනා පොත් පත් දේශන රැසක් සිදුකර ඇති සුචරිත ගම්ලත් පඬිතුමා ගැන මෙය අසම්පූර්ණ සටහනකි. ඔහු පිළිබඳ පරිපූර්ණ සටහනක් සිදුකළ හැකි වියතෙක් ශ්‍රී ලංකාවේ සිටීදැයි යන්න පවා සැක සහිත ය.

මිනිසුන් සදාකාලිකව ජීවත් නොවේ. මහාචාර්ය සුචරිත ගම්ලත් පඬිතුමන්ගේ දැනුමින් ශ්‍රී ලංකාවේ ජනතාව නිසි ප්‍රයෝජනයක් නොගත් බවත් සකලාකාරයේ පාලකයන් විසින් ඒ සඳහා බාධා කළ බවත් අප දනිමු.


ලංකා ඊ නිව්ස්

Monday, March 25, 2013

අධ්‍යාපන මුදලින් කැලැන්ඩර් ඩයරි ගසයි

උතුරු මැද පළාතේ අධ්‍යාපනය නැංවීමට එම පළාත් සභාව මගින් මේ වසරට වෙන් කළ රුපියල් ලක්‍ෂ එක්‌දහස්‌ පන්සියයෙන් රුපියල් ලක්‍ෂ හාරසියයකට ආසන්න මුදලක්‌ වැයකොට දින දර්ශන, දිනපොත් ක්‌ෂේත්‍ර සටහන් පොත් මුද්‍රණය කර උතුරු මැද අධ්‍යාපන ඇමැතිවරයා විසින් පළාතේ පාසල්වලට බෙදා හැරලා. ඔහු මේවා කළේ ජනාධිපතිවරයාගේ සහ රජයේ අධ්‍යාපන ඇමැතිවයරාගේ අවසරය මතදැයි වහා රටට හෙළි කළ යුතු බව අනුරාධපුර දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා පැවැසීය.

පෙරේදා (23 දා) අනුරාධපුරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

උතුරු මැද පළාත් අධ්‍යාපන සංස්‌කෘතික හා තොරතුරු තාක්‌ෂණ අමාත්‍ය පේෂල ජයරත්න බණ්‌ඩාර මහතා එම ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහුගේ න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කිරීමට යැමෙන් මේ වනවිට පළාතේ අධ්‍යාපනයට ෙ€දජනක තත්ත්වයක්‌ උදාවී ඇති බව පී. හැරිසන් මහතා පැවැසීය.

හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීය.

සතියේ දිනවල පැවැත්විය යුතු මේ වසරේ පළමුවන වාර විභාගය ඇමැතිවරයා විසින් සති අන්ත දිනවලත් පවත්වන ලෙසට අනිවාර්ය කළා. ඊට විරෝධය පළ කොට ගුරුවරුන් සේවයට වාර්තා නොකිරීම නිසා පෙරේදා (23 දා) සිසු දරුවන්ට තමන්ගෙ විභාග තමන්ටම පවත්වා ගැනීමට සිදුවුණා. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක්‌ උදාවී තිබුණේ පළාත් අධ්‍යාපන ඇමැතිවරයාගේ පෞද්ගලික න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියාකිරීමට යැම නිසයි.

ඔහු හිතුවක්‌කාරි ලෙස ඔහුට හිතවත් නිලධාරීන් සහ දේශපාලන කණ්‌ඩායම් යොදාගෙන උතුරු මැද පළාතේ අධ්‍යාපනය නඟා සිටුවීමට යැම නිසා මේ වනවිට පළාතේ දූ දරුවන් අසරණ වෙලා. මේ අධ්‍යාපන ඇමැතිවරයා පළාතේ මහ ඇමැතිවරයා සමඟ වැඩ කිරීමට කැමැති නෑ. පළාතේ ආණ්‌ඩුකාරවරයා හා රජයේ අධ්‍යාපන ඇමැතිවරයා කියන දේ අහන්නෙත් නෑ. මේ සියලු දෙනාටම ඇහුම්කන් නොදී පළාතේ සිසු දරුවන්ට සිදුකරන හානිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන ඇමැතිවරයා වග කියන්න ඕනෑ.

උතුරුමැද පළාත් අධ්‍යාපන ඇමැතිවරයා ඉගෙනුමට මුල්තැන කියලා විශාල මුදලක්‌ වැය කර ලොකු කැලැන්ඩරයක්‌ මුද්‍රණය කර පාසල්වලට බෙදාදී තිබෙනවා. ඒ විතරක්‌ නොවෙයි දින පොත්, ගුරු අත්පොත්, ක්‌ෂේත්‍ර සටහන් පොත් මුද්‍රණය කර සහ ජනාධිපතිතුමාගේ, මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයාගේ හා පළාත් අධ්‍යාපන ඇමැතිවරයාගේ රුව සහිත ඡායාරූප අනුරාධපුර හා පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ක දෙකෙහි පාසල්වලට බෙදා දී තිබෙනවා. මේ එක ඡායාරූපයකට වියදම රුපියල් එක්‌දහස්‌ පන්සියයක්‌.
අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

Thursday, March 21, 2013

උපාධිධාරී අභ්‍යාසලාභීන් සඳහා හමුදා පුහුණුව

ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන් සඳහා නිපුණතා සංවර්ධන වැඩසටහනකට මුවාවී හමුදා පුහුණුව ලබාදීමට ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙම වැඩසටහන මාර්තු 25 දින සිට අප්‍රේල් 09 දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මේ සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන කාර්යාල මගින් මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යවා ඇති ලිපියක දැක්වෙන්නේ ඒ අනුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සහාය ඇතිව ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය මගින් සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි උපාධිධාරී අභ්‍යාසලාභීන් පුහුණු කිරීමට කටයුතු සූදානම් කර ඇත යනුවෙනි.

මාතර ප්‍රදේශීය මහ ලේකම් කාර්යාලය මගින් උපාධිධාරීන් වෙත යවා ඇති ලිපියේ දෙවන ඡේදයේ සඳහන් වන්නේ හෘදයාබාද, වකුගඩු රෝග සහ වෙනත් බරපතල රෝග,‍ බෝවන රෝග, වෙනත් ආබාධ සහිත, ගර්භනී සමයේ පසුවන්නන්, ප්‍රසූත නිවාඩු ලබා සිටින්නන් සහභාගී නොවන ලෙසත් ඉහත රෝගී තත්වයන් සහිත නිලධාරීන් වෛද්‍ය වාර්තා මගින් ඒ බව සනාථ කළ යුතු බවත් දන්වා සිටිමි යනුවෙනි.

නිපුණතා සංවර්ධන වැඩමුළුවක් සඳහා නම් ඉහත නිලධාරීන් නුසුදුසු වන්නේ කිනම් පදනමකින්ද යන්න උපාධිධාරීන්ට ගැටලුවක් වී තිබේ.

මේ අතර මෙම වැඩසටහනට සහභාගී වන්නන් සඳහා විශාල බඩු කට්ටලයක්ද රැගෙන පැමිණෙන ලෙස දන්වා තිබේ. මේ අතර අත් දිග කමිස දෙකක්, අත්කොට කමිස 2ක්, දිග කලිසම් 2ක්, කොට කලිසම් 2ක්, කලිසමේ පාටට ගැලපෙන සපත්තු කුට්ටම් 1ක් මේස් යුගල 2ක්, කරපටි 2ක්, කැන්වස් සපත්තු යුගල 2ක්, රබර් සෙරෙප්පු යුගලක්, ඩෙනිම්, ටී ෂර්ට්, සාරි, නිදන ඇඳුම්, යට ඇඳුම්, කොට්ට උර, තුවා, ඇඳ ඇතිරිලි, රෙදි තොප්පි, සබන් දත් බුරුසු, ෆයිල් කවර, අභ්‍යාස පොත්, පෑන් පැන්සල්, පිඟන් කෝප්ප, සූට් කේස්, සපත්තු පොලිෂ් ආදිය අඩංගු වේ.

මෙම අභ්‍යාසලාභීන් සඳහා මසක දීමනාව රු. 10,000ක් පමණක් වේ.