Sunday, June 2, 2013

ස්වාධීන විශ්ව විද්‍යාලයක් – නිවහල් ශිෂ්‍යයෙක්

ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය වර්තමානය වනවිට ගැටලු රැසකට මුහුණ පා තිබේ. විශ්ව විද්‍යාල වල ස්වාධීනත්වය සම්බන්ධයෙන් විවිධ බලපෑම් පවතින අතර බුද්ධිමය හා සංස්කෘතිකමය වශයෙන් විශ්ව විද්‍යාල අභ්‍යන්තරයේ ගරා වැටීමක් පවතී. මෙම ගැටලු අඩු වැඩි වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය නීති පිඨය තුල ද දැකිය හැක. නීති පීඨයේ අවසන් වසර සිසුන් සමූහයක් ලෙස අප අපගේ වසර හතරක අත්දැකීම් ඇසුරෙන් මෙම ගැටලු අප දකින ආකාරය සහ වඩා යහපත් විශ්ව විද්‍යාල සංස්කෘතියක් වෙනුවෙන් අප ඉදිරිපත් කරන ප්‍රතිපත්තිමය ස්ථාවරයන් ප්‍රකාශනයක් මගින් මෙසේ එලිදක්වමු.

විශ්ව විද්‍යාල ප්‍රජාතන්ත්‍රවාදය

ප්‍රජාතන්ත්‍රවාදය යනු වටිනාකම් පද්ධතියකි.ජීවන භාවිතාවකි. නීතියේ බලය රැදී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මතය.මේ අනුව -

- විශ්ව විද්‍යාල පරිපාලනය සහ ශිෂ්‍යයන් අතර,

- ශිෂ්‍යයන් සහ ශිෂ්‍යයන් අතර,

- ආචාර්යවරුන් සහ ආචාර්යවරුන් අතර පවතින සම්බන්ධතාවය ප්‍රජාතන්ත්‍රවාදී එකක් විය යුතු යැයි අපි විශ්වාස කරමු.

විශ්ව විද්‍යාලය තුල ගන්නා පරිපාලන තීරණ ශිෂ්‍ය අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාවය ලැබෙන පරිදි ශිෂ්‍ය සහභාගීත්වය සහිතව පරිපාලනයේ සහ ශිෂ්‍යයන්ගේ එකගතාවය මත විවෘතව ගත යුතුය. එසේ නොවන්නේ නම් එය පරිපාලන තීරණ ශිෂ්‍ය ප්‍රජාව මත බලහත්කාරයෙන් ආරෝපණය කිරීමක් වනු ඇත. එසේම ශිෂ්‍ය ක්‍රියාකාරකම් වලදී පරිපාලනයේ අදහස් වලට ඇහුම්කන් දීමේ යුතුකම ශිෂ්‍ය ප්‍රජාව වෙත පවතින අතර තීරණ වලට එලැඹිය යුත්තේ දෙපාර්ශවයේ එකගතාවය තුලිනි.

ශිෂ්‍ය ප්‍රජාව තුල තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී පූර්ණ පාරදෘශ්‍යභාවයක් තිබිය යුතු අතර සියලු ශිෂ්‍ය කොටස් එම ක්‍රියාවලියට සම්බන්ධ කරගත යුතුය. තීරණ ගැනීමේදී විවිධ ජනවර්ග, ආගමික කොටස් වල දායකත්වය මෙන්ම ශිෂ්‍යාවන්ගේ දායකත්වය ද ලබා ගත යුතුය. ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් තීරණ ගන්නා ශිෂ්‍ය සංගමය මෙම සියලු විවිධත්වයන් නියෝජනය කරන ආකාරයෙන් සකස් විය යුතුය. මන්ද ශිෂ්‍ය නියෝජිතයින් ගනු ලබන තීරණ සමස්ථ සිසු ප්‍රජාවටම බලපාන බැවිනි.

ශිෂ්‍ය ස්වාධිපත්‍යය

විශ්ව විද්‍යාල සිසුන් වයස අවුරුදු දහ අටට වඩා වැඩි පුරවැසියෝ වෙති. ඒ නිසා ඔවුන්ට ඔවුන් සම්බන්ධ තීරණ ගැනීමට මෙන්ම වැඩිහිටියන් ලෙස සැලකුම් ලැබීමට ද පූර්ණ අයිතිය පවතී. ස්වකීය ක්‍රියාකාරකම් නිර්ණය කිරීමේ අයිතිය හා නිදහස ශිෂ්‍ය ප්‍රජාව සතු අතර පරිපාලනය ඊට අනවශ්‍ය ලෙස මැදිහත් නොවිය යුතුය. අධ්‍යයන කටයුතු වලදී සිසුන් ස්වාධීනව ශාස්ත්‍රඥයන් ලෙස කටයුතු කල යුතු යැයි අපේක්ෂා කිරීමත් සෙසු විෂය බාහිර කටයුතු වලදී පමණක් සිසුන් තනිවම කටයුතු කරගත නොහැකි නොදරුවන් ලෙස සැලකීමත් පරස්පර විරෝධීය.

අධ්‍යයන සංස්කෘතිය

විශ්ව විද්‍යාල තුල තිබිය යුතු අධ්‍යයන සංස්කෘතිය පාසැල් වල හෝ ටියුෂන් පන්ති වල පවතින සංස්කෘතියට වඩා වෙනස් එකකි. විශ්ව විද්‍යාල යනු ආචාර්යවරුන් සහ ශිෂ්‍යයින් එකතුව ශාස්ත්‍ර ගවේෂණයේ යෙදෙන ස්ථානයක් මිස වැඩවසම් ගුරුගෝල සම්බන්ධතා පවතින මධ්‍යකාලීන යුගයේ ආයතන විශේෂයක් නොවේ. ගුරුවරයා දේශන ශාලාවට පැමිණිවිට හුනස්නෙන් නැගී සිටීම, සිසුන් සුලු කොට සලකා බැණ වැදීම වැනි වැඩවසම් පිළිවෙත් නූතන යුගයේ විශ්ව විද්‍යාලයන්ට උචිත නොවේ. ආචාර්යවරුන් වෙත සිසුන් තුල ගෞරවයක් පැවතිය යුතු බව අප විශ්වාස කරන අතර එය මිනිසෙකු විසින් තවත් මිනිසෙකුට දැක්විය යුතු ගෞරවය මිස වැඩවසම් ගුරුගෝල වන්දනාවක් නොවේ . එම මිනිස් ගෞරවය පෙරලා ලැබීමට සිසුහු ද හිමිකම් ලබති.

පුනරුද යුගයට පෙර සිටම ලෝකය වෙනස් කල නව අදහස්, මතවාද බිහිවූයේ විශ්ව විද්‍යාල ආශ්‍රිතවය. නමුත් අද ලංකාවේ විශ්ව විද්‍යාල හුදෙක් රැකියා ලබාගැනීම සදහා සිසුන්ට සටහන් කට පාඩම් කරවන වෘත්තීය පුහුණු ආයතන විශේෂයක් බවට ලඝු වී ඇත. පවතින අධ්‍යාපන රටාව ශිෂ්‍යයාට ස්වාධීන චින්තනයක් ඇතිකරගැනීමට උපකාරී කරන්නක් නොවේ. විභාග භීතිකාවෙන් පෙලෙන යාන්ත්‍රික මනසක් සහිත සිසුවෙක් වෙනුවට විවේචනාත්මක, විග්‍රහශීලී දෘෂ්ටියක් සහිත විද්‍යාර්ථියෙක් බිහිකිරීමට පහසුකම් සලසන ආකාරයේ අධ්‍යයන සංස්කෘතියක් බිහිවිය යුතුය. දැනුම සොයන විද්‍යාර්ථීන් වෙනුවට Attendance සොයන සිසුන් පිරිසක් බවට ශිෂ්‍ය ප්‍රජාව පවතින අධ්‍යයන පරිසරය විසින් පත්කොට තිබීම කණගාටුවට කරුණකි. අවම පහසුකම් සහිත දේශන ශාලා, නේවාසිකාගාර සහිත පරිසරයක් තුලින් සමාජ පෞරුෂයක් සහිත විද්‍යාර්ථයෙකු බිහිවනු ඇතැයි අපේක්ෂා කිරීම නිෂ්ඵලය.

ශිෂ්‍ය දේශපාලනය

දේශපාලනය යන වචනය නීති පීඨය තුල අසභ්‍ය දෙයක් වී තිබේ. ප්‍රසිද්ධියේ එය හෙලා දැක රහසින් එහි යෙදීමට ඇතැම් විද්‍යාර්ථීහු පෙලඹී සිටිති. ලෝකයේ සෑම දෙයක්ම දේශපාලනික වන පසුබිමක විශ්ව විද්‍යාල පමණක් අදේශපාලනික විය යුතු යැයි සැලකීම අඥාන අදහසකි. විශ්ව විද්‍යාල සිසුන් දේශපාලනික විය යුතු අතර එම දේශපාලනය විචාරශීලී එකක් විය යුතුය. එය මැති ඇමතිවරු සමග ප්‍රිය සම්භාෂණ වල යෙදෙන පටු දේශපාලනයෙන් ඔබ්බට ගිය ප්‍රතිපත්ති මූලික දේශපාලනයක් විය යුතුය. විශ්ව විද්‍යාලය තුල මතවාද මර්ධනය නොකළ යුතුය. දේශපාලන සංවාද සදහා නිදහස් අවකාශයක් පැවතිය යුතුය. උසස් දේශපාලන මතවාද බිහිකිරීමට ඉතිහාසය තුල ලෝකයේ විශ්ව විද්‍යාල ලබාදුන් දායකත්වය අතිමහත්ය. විශ්ව විද්‍යාල අදේශපාලනික වීමේ ප්‍රතිඵලය සමාජයේ දේශපාලන කරළිය තුල මතකය අහිමි කරගත් මැරයින් යෝධයින් බවට පත්වීමය.

විද්‍යාර්ථීයාගේ භූමිකාව

විශ්ව විද්‍යාලය තුල ශිෂ්‍යයන්ගේ මෙන්ම ආචාර්යවරුන්ගේ ද භූමිකාව හුදු අධ්‍යයන කටයුතු වලට සීමා නොවිය යුතු යැයි අපි සිතමු. අද වනවිට අප පීඨයේ සිසුන් දේශන ශාලාවට හා පුස්තකාලයට සීමා වී සිටී. අවම වශයෙන් විශ්ව විද්‍යාලයේ වාර්ෂිකව කෙරෙන සංස්කෘතික කටයුත්තකට හෝ සම්බන්ධ වීමට ඔවුන් තුල ඇත්තේ ඇල්මැරුණු හැගීමකි. සමාජ සංස්කෘතික දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් විද්‍යාර්ථීන් අතර සංවාදයක් දක්නට නොමැති අතර අතරින් පතර හෝ පැවැත්වෙන සංවාදයකට වුව සහභාගී වීමේ උනන්දුවක් දැකිය නොහැක. චින්තනයක් නොමැති, අවිචාරවත්, අප්‍රබුද්ධ පිරිසක් විශ්ව විද්‍යාල තුලින් බිහිවීමට මේ තත්වය හේතු වී ඇත. ජාතික තලයේදී පරාවර්තනය වන්නේ විශ්ව විද්‍යාල තුල ඇති මෙම බුද්ධි හීනතාවය නොවේද? මෙම තත්වය වෙනස් වී දේශන ශාලාවේ සිට ආපන ශාලාව දක්වා දහසක් මත ගැටෙන,එහෙත් විද්‍යාර්ථීන් උනුන් පුද්ගලිකව නොගැටෙන බුද්ධිමය පරිසරයක් සරසවිය තුල ඇති විය යුතු යැයි අපි විශ්වාස කරමු.

විශ්ව විද්‍යාලය යනු ඉංජිනේරුවරුන්ගේ සංස්ථා ප්‍රධානීන්ගේ පමණක් නොව ගොවීන්ගේ, කම්කරුවන්ගේ ද බදු මුදලින් නඩත්තු වන ආයතනයකි. මේ නිසා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහ ආචාර්යවරුන්ට සමාජයේ පොදු ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමේ සමාජ වගකීමක් පවතී. එම වගකීම පසෙකලා හුදෙක් තම ආත්ම ලාභය, වෘත්තීය සහ පටු පෞද්ගලිකත්වය අරමුණු කරගෙන ඔවුන් කටයුතු කරන්නේ නම් එය ඛේදවාචකයකි. විශේෂයෙන් මෑතකාලීනව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කඩාවැටීමේ ප්‍රවණතාවයක් අප අත්දකින අතර 18 ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම, අධිකරණ පද්ධතිය දේශපාලනිකකරණය වීම, අපරාධ නඩු විධාන සංග්‍රහයට මර්දනකාරී සංශෝධන එකතු වීම වැනි සිදුවීම් මෙම කඩාවැටීමට උදාහරණ වෙති. මෙවැනි අසාධාරණයන් ඉදිරියේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මුනිවත රැකීම සහ ඒවා අනුමත කිරීම වෙනුවට ඒවාට එරෙහිව සක්‍රීයව පෙනී සිටීම සැබෑ විද්‍යාර්ථියාගේ සමාජ යුතුකමකි.

නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නිදහස

අධ්‍යාපනය වරප්‍රසාදයක් ලෙස නොව අයිතියක් ලෙස අපි සලකමු.අධ්‍යාපනය මානව සංවර්ධනයේ අත්‍යවශ්‍ය කාරකයක් වන අතර ඒ සදහා සමාන අයිතියක් සමාජයේ සෑම පුරවැසියෙක්ටම පවතී. මෙම සම අයිතිය සාක්ෂාත් කරගත හැක්කේ නිදහස් අධ්‍යාපනය තුලිනි. වෙළදපොල බලවේග අධ්‍යාපනයේ එම ශිෂ්ටාචාරමය කාර්යය ඉටු කිරීමෙහිලා අසමත්ය. කෙසේවුවද මෑතකාලීනව අධ්‍යාපනය හුදු වෙළද භාණ්ඩයක් බවට පත්කොට පුද්ගලිකකරණය කිරීම රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත්වී ඇති ආකාරය අපි දකිමු.

ඉහත තත්වය හෙළා දකින අපි නිදහස් අධ්‍යාපනයේ වැදගත්කමත් අධ්‍යාපනයේ නිදහසත් ගැන ගැඹුරු සංවාදයක් විශ්ව විද්‍යාලය තුල ඇති විය යුතු යැයි සලකමු. අප මෙම ප්‍රකාශනයේ ආරම්භයේ සිට සාකච්ඡා කළ විශ්ව විද්‍යාල ප්‍රජාතන්ත්‍රවාදය, ශිෂ්‍ය ස්වාධිපත්‍යය, යහපත් අධ්‍යයන සංස්කෘතිය, ශිෂ්‍යයන්ගේ හා ආචාර්යවරුන්ගේ භූමිකාව යන කරුණු සියල්ල අවසන් වශයෙන් නිර්ණය වනු ඇත්තේ නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නිදහස ශක්තිමත් වී තිබෙන ප්‍රමාණය මතය. බොහෝ අය මෙය අමතක කර දමා ඇති යුගයක නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටීම අපගේ අත්හළ නොහැකි යුතුකමක් ලෙස අපි විශ්වාස කරමු.

මෙලෙස අප ගොනු කරන ලද්දේ යහපත් විශ්ව විද්‍යාල සංස්කෘතියක් බිහිකරගැනීම වෙනුවෙන් ගුරු කොට ගත යුතු යැයි අප සලකන ප්‍රතිපත්තිමය මූලධර්මයන් සමූහයකි. අවිචාරවත් ලෙස එකා පසුපස එකා ගමන් කරන කුහුඹු රෑනක් වැනි යාන්ත්‍රික විශ්ව විද්‍යාල ප්‍රජාවක් වෙනුවට විචාරශීලී බුද්ධියක් සහිතව කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස වැනි වටිනාකම් ගුරු කරගනිමින් ප්‍රතිපත්තිගරුකව ක්‍රියා කරන විශ්ව විද්‍යාල ප්‍රජාවක් බිහිවනු දැකීම අපගේ අපේක්ෂාවයි. මෙම අපේක්ෂාව මනෝරාජික යැයි ඇතැම් විට යමෙක් කීමට ඉඩ තිබේ. අප‍ට ඊට පිළිතුරු වශයෙන් කීමට ඇත්තේ වැඩවසම් ක්‍රමය මත පදනම් වූ රාජාණ්ඩු වෙනුවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ගැන යෝජනා කළ අයට මධ්‍යතන යුගයේ දී දමා ගසන ලද්දේද “මනෝරාජිකවාදී විම” පිළිබද චෝදනාවෙන් බවයි. ලෝකය සෑම විටම ප්‍රගතිය කරා ගමන් කළේ මනෝරාජික යැයි අද පෙනෙන දෙය අත්පත් කරගැනීමට මිනිසා කරන ලද අනවරත අරගලයෙහි ප්‍රතිඵලයක් ලෙසය. අප ඉදිරිපත් කළ මෙම අදහස් සංවාදයට ලක්කරන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු. වඩා යහපත් විශ්ව විද්‍යාල සංස්කෘතියක් බිහි කිරීමෙහිලා උපකාරී වනු ඇත්තේ එලෙස සිදු කෙරෙන සංවාදයක් තුලින් ඇතිවන ක්‍රියාකාරීත්වයයි.

*ජයන්ත දෙහිඅත්තගේ / ලක්මාලි හේමචන්ද්‍ර / රමිදු පෙරේරා / රවී තිසේරා ( අවසන් වසර – නීති පීඨය කොළඹ විශ්ව විද්‍යාලය )

අධ්‍යාපනය දීල තියෙන්නෙ ගහලයෙක්ට

ආණ්ඩුව අධ්‍යාපනය බාරදී තිබෙන්නේ පෞද්ගලීකරණය හිසේ තබාගත් ගහලයෙකුට යැයි ජනතා විමුක්ති පෙරමුනේ මධ්‍යමකාරක සභික, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි. බත්තරමුල්ල, පැලවත්ත පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද (02) පෙරවරුවේ පැවති විශේෂ ජනමාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසූ අතර එම මාධ්‍ය හමුව සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාද සහභාගීවී සිටියහ.


මාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා...

"රාජපක්‍ෂ පාලනයට සම්බන්ධ දේශපාලන පොලීසිය සබරගමු විශ්වවිද්‍යාලයේ සාධාරණ ශිෂ්‍ය අරගලයට පහර දීම අප හෙලා දකිනවා.

පසුගිය වසර තිස් හතලිස් අවුරුද්දක කාල සීමාව තුල අතීතයේ නොවූ විරූ තරම් අධ්‍යාපනයේ විනාශයක් සිදු වෙමින් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ උවමනාවන් මත අධ්‍යාපනය විනාශ කිරීමට පත් කළ එස් බී ඇමතිවරයාත් විශ්වවිද්‍යාල විනාශ කිරීම ශිෂ්‍යයන් මර්දනය කිරීම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මර්දනය කිරීම අධ්‍යාපනය විකිණීම පෙර නොවූ පරිදි සිදු කරමින් ඉන්නවා. මේ ආණ්ඩුව පසුගිය අවුරුදු තුනක පමණ කාලය තුල විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් 1000 කට වැඩි ප‍්‍රමාණයකගේ පංති තහනම් තොට තිබෙනවා. සරසවි අධ්‍යාපනය විනාශ කොට තිබෙනවා. මෙම අධ්‍යාපන කප්පාදුව පිළිබඳව අපේ රටේ මෙන්ම ජාත්‍යන්තරයේත් දැඩි අවධානයට ලක් වුනා. මෙහි උච්ඡතම අවස්ථාවක් අප ඊයේ (01) සබරගමුවේදී දුටුවා. සබරගමු විශ්වවිද්‍යාලයේ පරිපාලනයේත් ශුභසාධනයේත් අති විශාල ගැටලු ගණනාවක් තිබෙනවා. එම විශ්වවිද්‍යාලය අව්වට වැස්සට පවා වසා දමන තැනට පත්ව තිබෙනවා. එම සරසවියේ සිසුන් ඉතාමත්ම දුෂ්කර කොන්දේසි යටතේ තමයි අධ්‍යාපනය ලබන්නේ.

සබරගමු විශ්ව විද්‍යාලයේ පීඨ 5ක් තිබෙනවා. එයට සිසුන් බඳවා ගැනීමේදී 2013 වසරේදී සිසුන් 500කින් පමණ කප්පාදු කර තිබෙනවා. සරසවියට ඇතුලත්වීමේ ගාස්තු තුන් ගුණයකින් වැඩි කළා. මේවට අදාලව ශිෂ්‍ය සංගම්, ආචාර්යවරු මේ සම්බන්ධයෙන් විවේචනයන්, විරෝධතාවන් ඉදිරිපත් කළා. මෙම තත්වය යටතේ රාජපක්‍ෂ පාලනය බොහෝ සෝභන ව්‍යාපෘති තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් යොදාගන්නා ආකාරයෙන්ම සබරගමුවේදීත් එවැනි සෝභන ව්‍යාපෘති විවෘත කිරීම් කරන්න උත්සාහ කළා. ගොඩනැගිලි ඉදිකිරීම් සම්පූර්ණ කර නැතිව තිබියදී ඇමතිවරුන් එම ගොඩනැගිලි විවෘත කිරීම් කරන්න උත්සාහ කළා. මෙම කප්පාදුවට සෝභන ව්‍යාපෘතිවලට ජනවාරි මාසයේ සිට සිසුන් සාමකාමී විරෝධතා ආරම්භ කළා. ශිෂ්‍ය කප්පාදුව වහාම නතර කරන්න කියලා සිසුන් ඉල්ලා සිටියා. ශ‍්‍රී ලංකාව සිසුන් බඳවා ගැනීම අඩුම මට්ටමක පවතින රටවල් 10න් එකක්. එමෙන්ම අධ්‍යාපනයට අඩුවෙන්ම මුදල් වෙනකරන රටක්.

සිසුන් උද්ඝෝෂණය කරන අතරේ පෙබරවාරි මාසයේ එස්. බී. ඇමතිවරයාත් විශ්වවිද්‍යාල පරිපාලනයත් ශිෂ්‍ය නායකයින් 5දෙනෙකුගේ ශිෂ්‍ය භාවය තහනම් කළා. ශිෂ්‍ය සංගමය තහනම් කළා. පරිපාළනය විසින් සරසවිය වසා දැම්මා. අනතුරුව සිසුන් සමග පරිපාලනය කළ සාකච්ඡාවේදී ශිෂ්‍යභාවය අහෝසි කළ සිසුන්ගේ ශිෂ්‍ය භාවය ලබා දීමට පරිපාලනය එකඟ වූ අතර සිසුන් තම අරගලය නැවැත්වීමටත් එකඟ වුනා. නමුත් පරිපාලනය පොරොන්දු වූ ඉල්ලීම් ඉටු කළේ නැහැ. ඒ වෙනුවට කළේ තව තවත් විනය කමිටු මගින් තවත් සිසුන් ප‍්‍රමාණයකගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමයි. ඒ හේතුවෙන් සිසුන් උද්ඝෝෂණ ආරම්භ කළා. සබරගමු සරසවියේ තිබෙන්නේ රජයේ සහාය ලබන අත්තනෝමතික පරිපාළනයක්. එම අරගලයට ආණ්ඩුව තමන්ගේ දේශපාලන පොලීසියත් ගුවන් හමුදාවේ වාහනවලින් ගෙනා පිරිසත් යොදා සිසුන්ට පහර දුන්නා. සිසුන් 09ක් අත්අඩංගුවට ගන්නවා. ඉන් පස්දෙනෙක් පොලිස් ප‍්‍රහාරවලින් තුවාල ලබා රෝහල් ගත කරපු අයයි. ඒත් සිසු දඩයම තාම ඉවර නැහැ.

අධ්‍යාපනය පෞද්ගලීකරණය කරමින් පාඨමාලා විකුණමින් අධ්‍යාපනයට වෙන්කරන මුදල් කප්පාදුව සිදු කරමින් සිටින වතාවරණයකදී තමයි මෙවැනි මර්දනයක් දියත් වන්නේ. රාජපක්ෂ පාලනය උසස් අධ්‍යාපනය බාර දී තිබෙන්නේ මදාවි ඇමතිවරයෙක්ට. ඔහු සිසුන් දිහා බලන්නේ හිරකාරයන් දෙස බලන ජේලර් කෙනෙක් විදියටයි. ඔහු පෞද්ගලීකරණය ඔලුවේ තබාගෙන ඉන්න ඇමතිවරයෙක්. සබරගමුව සරසවිය වධකාගාරයක් බවට පත් කරගෙනයි තිබෙන්නේ. දේශපාලන පීඩාකාරී පරිපාලනයක් ගෙන යමින් ඉන්නවා. මෙයටම තමයි දේශපාලන පොලිසියත් යොදාගෙන තිබෙන්නේ. මේ පොලීසිය පහර දෙන්නේ ලී ඇඳ පොලු වලින්. ඉතාම ම්ලේච්ඡ ප‍්‍රහාරයක්. මේ පහර දෙන්නේ තමන්ගේ ශිෂ්‍ය නායකයන්ට විභාග ලිවීමේ අයිතිය ඉල්ලුවාට. විහිලුව වන්නේ මේ රත්නපුරය ප‍්‍රදේශයේදීම ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති වන අමිල නැමැත්තා පොලිසි නිළධාරීන් දෙදෙනෙකුට පහර දෙනවා. දැනට දින පහක් ගත වී තිබෙනවා. ඔහු අත්අඩගුවට ගන්නේ නැහැ. සභාපති වරයා මාධ්‍යවලට වොයිස් කට් දෙනවා. පත්කර තිබෙන විශේෂ පොලිස් කණ්ඩායමට අත්අඩංගුවට ගන්න බැහැ. මේ රාජපක්‍ෂ පොලීසිය ඔහු අත්අඩංගුවට ගන්නේ නැහැ. රාජපක්ෂ පාලනය බෙලහීන දුර්වල කළ හැලි වලං හෝදන පොලීසිය තමන්ගේ නිළධාරීන්ට පහර දුන් පුද්ගලයින් අත් අඩංගුවට ගන්නේ නැහැ. පොලිසියේ ඉහළ නිලධාරීන් තමන්ගේ නිලධාරීන්ට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පසෙක තබා විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම ඉතාම භයානක තත්වයක්. පහර කෑමට ලක් වූ පොලිස් නිළධාරියා ජනමාධ්‍යට ප‍්‍රකාශ නිකුත් කළා කියලා ඔහුට චෝදනා පත‍්‍රයක් ලබා දෙනවා. නමුත් පහර දුන් පුද්ගලයා ආණ්ඩුවේ රැකවරණය යටතේ ඉන්නවා.

රාජපක්‍ෂ පාළනය පවත්වාගෙන යන්නේ නීතිමය පාලනයක් නොවේ. දේශපාලන තග් සංස්තාවක්. පසුගිය දා සබරගමු ශිෂ්‍ය එකමුතුව විසින් පොලිස්පතිවරයාට ලිපියක් යොමුකොට තිබෙනවා. එයට අනුව නීති විරෝධී කල්ලි කණ්ඩායම් අළුයම කාළයේදී අංක තහඩු රහිත වාහනවලින් පැමිණ සරසවිය තුළ වෙඩි තැබීම් සිදු කරන බව සඳහන් කරනවා. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්‍ෂණයක් නැහැ. පොලීසියට අනුව ඒවා රතිඤ්ඤා බවට පත් වී තිබෙනවා. මෙවැනි මැර සංස්ථා තමයි ආණ්ඩුව පවත්වාගෙන යන්නේ. එම මැර සංස්ථා පත්තර කන්තෝරු ගිනි තියනවා. විලච්චියේ නිධන් හාරනවා. කටුගේ බිඳිනවා. නමුත් සැකකරුවන් අත් අඩංගුවට ගන්නේ නැහැ. ආණ්ඩුවට සම්බන්ධ මැර කල්ලි නිසා සැක කරුවෝ අල්ලන්න බැරි බව ඉතාම පැහැදිළියි.

මෙම සිද්ධියේ විශේෂ කාරණයක් හෙලි කළ යුතුව තිබෙනවා. සබරගමු සරසවියේ ශිෂ්‍ය සංගමය තහනම් කළ බව ප‍්‍රකාශයට පත් කරන්නේ කීර්ති මහවැල්ලගේ විසින්. ඔහු ශ‍්‍රීලනිපයේ ගාල්ල දිස්ත‍්‍රික් හිටපු මන්ත‍්‍රීවරයෙක්. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ පරිපාළනයේ නැති ශිෂ්‍ය කටයුතු අධ්‍යක්‍ෂ නැමැති තනතුරක් අටවා පත්වීමක් ලබා දී තිබෙනවා. ඔහු මගින් ආණ්ඩුව ශිෂ්‍ය සංගම් තහනම් කිරීමේ වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කොට තිබෙනවා. ආණ්ඩුවේ වන්දි භට්ටයින් දාගෙන ශිෂ්‍යයින් කප්පාදුව මැර කණ්ඩායම් ලවා ශිෂ්‍යයන්ට පහර දීමත් සිදු කරණ ආණ්ඩුව විශ්වවිද්‍යාල ආරක්‍ෂක අංශ ආණ්ඩු හිතවාදී ආරක්ෂක නිළධාරීන්ගෙන් පුරවමින් තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ ලෙස අප මෙම සිදුවීම හෙලා දකිනවා. සබරගමු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කප්පාදුව වහා නවත්වන ලෙසත් ශිෂ්‍ය නායකයින්ට විභාගවලට පෙනී සිටිමේ අයිතියත් වහා ලබා දිය යුතු බව ආණ්ඩුවට අවධාරණය කරනවා. එමෙන්ම ශිෂ්‍ය සංගම් තහනම වහා ඉවත් කළ යුතුයි. සිසුන්ට එරෙහිව තිබෙන නඩු කටයුතු වලින් ඔවුන් වහා නිදහස් කළ යුතුයි. මේ ආණ්ඩුව හොරුන්, මිණීමරුවන් මංකොල්ලකාරයින්, ගුදම් ගිනි තියන්නන්, එතනෝල් ජාවාරම්කාරයින් රකින ආණ්ඩුවක්. මේ පාලනය අධිකරණය විනාශ කරන, පත්තර ගිනි තියන පාලනයක් ගෙන ගෙනයමින් තිබෙන නීති විරෝධී පාළනයක්. ව්‍යවස්ථාව පවා උල්ලංගනය කරමින් සිටින ආණ්ඩුවක්. අධ්‍යානය විනාශ කිරීමට අත තබා තිබෙන ආණ්ඩුවක්. මෙය දුර්දාන්ත, ඒකාධිපති පාලනය අධ්‍යාපනය විනාශ කිරීමට ගිවිසගෙන සිටින පාළනයක්. ඒ නිසා අපි ජනතාවට කියා සිටින්නේ මෙ සිදුවීම් හරහා තමන්ගේ අයිතීන් කප්පාදු කරන පාලනය තේරුම් ගන්නා ලෙසයි. ඒ වගේම සබරගමුවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආරම්භ කර තිබෙන සාධාරණ සටනට සහාය ලබාදෙන ලෙසත් සාධාරණ සටන් වෙනුවෙන් ඉදිරියට එන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා."

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා...

"විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෞද්ගලීකරණයට මුල් වූයේ එක්සත් ජාතික පක්‍ෂ පාලනයයි. 78-88 කාලයේදී ජේ. ආර්. ජයවර්ධන මහතා අධ්‍යාපනය පෞද්ගලීකරණය සිදු කරගෙන ගියා. අධ්‍යාපනය පෞද්ගලීකරණයේත් ශිෂ්‍ය මර්දනයේත් පියා ජේ. ආර්. ජයවර්ධනයි. මේ ආණ්ඩුව ජේ. ආර්. ජයවර්ධනත් අභිබවා තිබෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල පමණක් නොව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලත් ආරම්භ කර තිබෙනවා. උපාධිය විකුණමින් යනවා. ශිෂ්‍ය සංගම් 06ක් තහනම් කර තිබෙනවා. සිසුන් දහසකට වැඩි ගණනකගේ පංති තහනම් කොට තිබෙනවා. සිසුන් දෙදෙනෙකුගේ ජීවිත බිලිගෙන තිබෙනවා. යාපනයේ සිසු උද්ඝෝෂණයට පහර දුන්නා. එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයා මාස ගණනාවක් රඳවාගෙන සිටියා. රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සභාපතිවරයාට මැර කණ්ඩායම් පහර දුන්නා. පොලීසිය පැමිණිළි භාර ගත්තේ නැහැ. එම මර්දනයේ එක අවස්ථාවක් තමයි සබරගමු විශ්වවිද්‍යාල සිසුන්ට පහර දීම. පොලීසිය හා විශේෂ කාර්ය බලකායේ සෙබලුන් පහර දුන්නේ එම ස්ථානයේ සිටි සිසුන්ට පමණක් නොවෙයි. පඹහින්න ප‍්‍රදේශයේ නිවෙස්වල සිටි සිසුන්ට පවා පහර දුන්නා. සිසුන් 50ක් රෝහල් ගත කළා.

මෙම සිද්ධි සම්බන්ධයෙන් අදහස් දක්වන එස්. බී. දිසානායක ඇමතිවරයා කියන්නේ පංති තහනම් කළ සිසුන්ට කිසිම සමාවක් දෙන්නේ නැහැ කියලා. ඒ විතරක් නොවෙයි. ඔවුන්ගේ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි මාරාන්තික උපවාසයේ නිරත වූ සිසුන්ටත් සමාවක් නොදෙන බව ඔහු කියා සිටිනවා. එස්. බී. ඇමතිවරයා අධ්‍යාපනය විනාශ කිරීමට පත්කළ ගහලයෙක් බවට පත් වෙලා. ඔහු දැන් පොල්පොට් දිසානායක වෙලා. ඔහු සිසුන්ගේ මාරයෙක් බවට පත් වෙලා. විශ්වවිද්‍යාල තුළ මර්දනකාරී වැඩපිළිවෙලක් ගෙන යෑම සඳහා අවශ්‍ය පරිපාලනයක් ගොඩනගමින් සිටිනවා. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිනියගේ ස්වාමියා කොළඹ විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයා ලෙස පත් කරලා පවුල් පාළනයක් ගෙන යමින් තිබෙනවා. පේරාදෙනියටද නියෝජ්‍ය උපකුලපතිවරයා ලෙස එස්. බී. හෙන්චයියෙක් පත් කරලා. එම නිසා ආණ්ඩුවට අපි බලකරනවා ශිෂ්‍ය මර්දනය වහාම නතර කරන්න කියලා. ඒ වගේම අධ්‍යාපනය පෞද්ගලීකරණය වහාම නතර කරන්න කියලා. එසේ නැතිනම් නිදහස් අධ්‍යාපන අයිතීන් ලබා ගැනීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාරත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ රටේ කම්කරු ජනතාව නිදහස් අධ්‍යාපනයට ඇල්මක් දක්වන සියලු ජන කොටස් සම්බන්ධ කර ගනිමින් දැවැන්ත අරගලයක් දියත් කිරීම නතර කරන්න ආණ්ඩුවට බැරි වෙයි. ඒ වගේම විශ්වවිද්‍යාල තුළ සිදුකරන දේශපාලනීකරණය නතර කරලා සිසුන්ට ඉගෙන ගැනීමට ඇති අයිතිය තහවුරු කරන්න කියලා අපි ආණ්ඩුවට බලකරනවා."

Saturday, June 1, 2013

සබරගමුවේ සිසුන්ට කදුළුගෑස් බැටන් පොලු ප්‍රහාර


සබරගමුව සරසවියේ සිසුන් අද දින කොලඹ- බදුල්ල   ප්‍රධාන මාර්ගයේ පඹහින්න මන්සන්දියේ අරාම්භ කල උපවාසයට පොලීසිය හා ගුවන් හමුදා සෙබළු එක්ව බැටන් පොලු හා කදුළුගෑස් ප්‍රහාරක් එල්ල කර තිබේ.

සබරගමුව සරසවියේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු පීට ශිෂ්‍ය සංගම් 5 තහනම් කිරීමත් සිසු නායකයින් 4 දෙනෙකුට පැන වූ අසාධාරණ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිසුන් අඛණ්ඩව සටන් කල අතර අද උදෑසන සිසුන් 1000ක පමණ පිරිසක් පඹහින්න මන්සන්දියේ මාරාන්තික උපවාසයක් ආරම්භ කලේය. මෙම උපවසයට පොලිසිය හා ගුවන් හමුදා බටයන් එක්ව කදුළු ගෑස් හා බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කර සිසුන් 5දෙනෙක් අතඩන්ගුවට ගෙන තිබේ.