Thursday, July 25, 2013

සත්‍යය වළ දමා සැගවිය නොහැකි බව




මාතලේ උකුවෙල ප‍්‍රදේශයේ විසූ නිශාන්ත රෝහණ සහ සුසන්ත ජානක සොයුරන් මාතලේ විජය විද්‍යාලයත්,විද්‍යා විද්‍යාලයත් බැබළවූ කීර්තිමත් ශිෂ්‍යයින් දෙදෙනකි. දෙදෙනාම උසස් පෙළ හදාළේ ගණිත විෂය ධාරාවෙනි. පාසැල් විවාද කණ්ඩායමෙන් උරුම කර ගත් චතුර කථිකත්‍වයෙන් හා ශිෂ්‍ය භට කණ්ඩායමෙන් ලබා ගත් පෞරුෂත්වයෙන් ඔවුහු පොහොසත් වූහ.

හුදෙක් පාසලේ ඉගෙනුමට පමණක් සීමා නොවී මව්බිමේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් උදෙසා ඔවුහු තම කාලය, ශ‍්‍රමය යෙදවූහ. එවකට ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් පෞද්ගලික දේපලක් කර ගැනීමට උත්සාහ කල අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් සුසන්ත සහ ජානක සහෝදරවරු අසීමිත කැප කිරීමක් සිදු කලහ. විශේෂයෙන්ම නිදහසේ ගලා ආ කවි සිතුවිලි මෙන්ම තෙළිතුඩ පහරින්ද ඔවුන් පෙන්වූයේ ස්වකීය විප්ලවීය චින්තනයේ ප‍්‍රබලකමයි. රාජ්‍ය ත‍්‍රස්තවාදය හමුවේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ද්විතියීක අංශයේ පෙරමුණට පණ පෙවූ ඔවුහු අනාගත ශිෂ්‍ය ප‍්‍රජාවට පමණක් නොව සමස්ත ලාංකේය ශිෂ්‍ය ප‍්‍රජාවටම තමන් හමුවේ ඇති අභියෝගයේ සංකීර්ණත්වය පෙන්නූම් කලහ.

Thursday, June 13, 2013

අධ්‍යාපනය ගණිකා වෘත්තියේ යෙදවීම.



ධනවාදී ආර්ථික ක්‍රමය තුල දයලෙක්තිකව පැන නගින උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රාග්ධනය රිංගවීමේ ක්‍රියාවලිය, සම්බන්ධයෙන් අප විසින් දැක්වූ විවේචනාත්මක ප්‍රතිචාරයකට අපගේ මිතුරෙකු දැක්වූ ප්‍රතිචාරයේ සරල අදහස වන්නේ අධ්‍යාපනය මුදලට විකිණීමේ ක්‍රියාවලිය තුල උපාධි සහතිකය මුදල් දුන් පමණින් ලබා නොදෙන බැවින්, තවත් සරලව කිවහොත් මුදල් ගෙවුවද උපාධිය ලබාගැනීම සඳහා අධ්‍යාපනය මුදලට විකිණීමෙහි ක්‍රියාවලියෙහි යෙදෙන ආයතන වල ඊනියා ප්‍රමිතිගත(standard) විභාග සමත් විය යුතු බැවින්, අධ්‍යාපනය මුදලට විකිණීමේ වරදක් නැති බවය. තත්වය එසේ යැයි උපකල්පනය කලද අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය උදෙසා තවදුරටත් අත එසවීමෙන් වැලකී සිටීමට සිදුවන කරුණු ගණනාවක් විවෘත මනසක් සහ කුඩා හෝ බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට සංවේදනය වේ. ඒ අතර අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිවීමේ එකම නිර්ණායකය මුදල බවට ලඝු වීම ප්‍රමුඛත්වයෙහිලා සැලකිය හැකිය.

මෙම තත්වයෙහි ඇති ප්‍රතිගාමීත්වය සම්බන්ධ නිවරදි තක්සේරුකරණය අපට සුලභ වාස්තවික ආකෘතියක් ආධාරයෙන් සිදු කල හැක. ශ්‍රී ලාංකීය ජන සමාජයට අදාලව සැලකුවහොත් පුරුෂයෙකු ගැහැනියක සමග රමණයේ යෙදීමට අවස්ථාව ලබා ගැනීම සහ ගැහැණිය එම අවස්තාව ලබාදීම, ඊට අදාළ වාස්තවික තත්වයන් සැලකිල්ලකට ගනිමින් සදාචාරාත්මක ස්ථානගත කිරීමකට ලක් වේ. උදාහරණයකට මුදලට තමන් සමග රමණයේ යෙදීමට අවස්ථාව ලබාදෙන ගැහැනියක සමග රමණයේ යෙදීමට පිරිමියෙකු මුදල් ගෙවා අවස්ථාව හිමි කර ගැනීමට සමාජීයව හිමිවන සදචාරත්මක ස්ථාන ගත කිරීම සදාචාරාත්මකව ඉතා පහත තැනක් ගන්නා අතර, ප්‍රේමය වැනි ලිංගික ක්‍රියාවලියට අදාළ නිර්ණායයක් මත පදනම්ව තමන් සමග ලිංගිකව එක්වීමේ අවස්ථාව ලබාදෙන ගැහැනියක සමග ලිංගිකව එක්වීමට පිරිමියෙකු එම නිර්ණායකය තෘප්ත කරමින් අවස්ථාව හිමි කර ගැනීම (උදා:-ප්‍රේමය මත පදනම්ව විවාහ වන යුවලකගේ ප්‍රථම ලිංගික එක්වීම) මංගල කාරණයක් ලෙස සදාචාරාත්මකව ස්ථානගත වී ඇත.

පූර්වොක්තිය සහ අපරෝක්තිය අතර මෙම ස්ථානගත වීමෙහි වෙනස නිර්මාණය කෙරෙන්නේ පූර්වොක්තිය ලිංගික එක්වීමකට අදාල වන නිර්ණායක වන මානුෂීය නිර්ණායක(ප්‍රේමය, ලිංගික ආකර්ෂණය වැනි ) මත පදනම්ව ලැබිය යුතු සහ ලබාගත යුතු අවස්ථාවක් ඊට කොහෙත්ම අදාල නැති මුදල නැමැති වෙනත් අනනුකූල නිර්ණායකයක් මත පදනම්ව ලබා දීම හේතුවෙන් සහ එසේ ලබාදීම සමාජ ආරක්ෂණ යාන්ත්‍රණයට බාධා පැමිණවීම හේතු කොටගෙනය. අධ්‍යාපනය මුදලට විකිණීමේ ක්‍රියාවලිය තුල නැතිනම් අධ්‍යාපනික අවස්ථාව මුදලට ලබාදීම හා ලබා ගැනීම තුලද සිදුවන්නේ අධ්‍යාපනය ලබා දීම සහ ගැනීම සඳහා අනනුකුල නිර්ණායකයක් මත පදනම් වීම සහ ඒ හරහා දැවැන්ත ලෙස සමාජ ආරක්ෂණ යාන්ත්‍රනය බාධා පැමිණීම බැවින් එයට හිමි විය යුත්තේද මුදලට ලිංගිකව එක්වීමේ අවස්ථාව ලබාදෙන සහ ලබාගැනෙන ක්‍රියාවලිය නැතිනම් ගණිකා වෘත්තියට සමාජීයව හිමි වියයුතු තැනමය.

එබැවින් උසස් අධ්‍යාපනය ලැබීම සඳහා, ඊට අදාල ඉහල සුදුසු කම් සහිත අය, අධ්‍යාපනික අනාථභාවයකට පත් වන පසුබිමක ඊට අදාල සුදුසුකම් නැති අයට පවා, අදාල ඉහල සුදුසුකම් ඇති අය අභිබවා අධ්‍යාපනය ලැබීමේ “අවස්ථාව” ලබා දෙන මෙම අධ්‍යාපනය මුදලට විකිණීමේ ක්‍රියාවලිය “අධ්‍යාපනය ගණිකා වෘත්තියේ යෙදවීම” (අධ්‍යාපනය ස්වයංව විකුනා ගැනීම සිදු කර නොගන්නා නිසා) ලෙස සාරාංශගතව හැදින්වීම වඩා උචිත බව අපගේ හැගීමයි.

ප.ලි.

මෙම ආකෘතියෙන් පැන නගින වැදගත් ව්‍යුත්පන්නයක් වන්නේ, අධ්‍යාපනය මුදලට විකුණන නැතිනම් “අධ්‍යාපනය ගණිකා වෘත්තියේ යොදවන” ක්‍රියාවලියෙහි ගාමක බලවේග වන දේශපාලකයන් සහ ඔවුන්ගේ පාදඩ එහෙයියන් සමාජීයව ස්ථාන ගත කල යුත්තේ ස්වාර්ථය උදෙසා අසරණ ගැහැණු දරුවන්ගේ රීරි මාංශයට ලේබල් අලවන ගනිකා මඩම් හිමිකරුවන් සහ මෙහෙයවන්නන්ගේ ගේ මට්ටමින්ය යන්නයි.

පංකජ මිනුෂ ජයවික්‍රම

Sunday, June 9, 2013

ශිෂ්‍ය මර්දනයට එරෙහිව පෙළ ගැසෙන්න - දුමින්ද නාගමුව

Duminda Nagamura - FLSF
Duminda Nagamura - FLSF
අධ්‍යාපනය වෙළඳභාණ්ඩයක් බවට පත් කිරීමට විරුද්ධව ශිෂ්‍යයින් ගෙන යන අරගලය මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයන් පැරදවීමට සියලු දෙනා එක් විය යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

කැලනිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහර දීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්බන්ධ බවට උසස් අධ්‍යාපන ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා මෙසේ පැවසීය.

‘‘ශිෂ්‍යයින්ගේ අරගලයේ ප‍්‍රධාන තේමාවක් වෙලා තිබෙන්නේ, ආණ්ඩුව නව ලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණ යටතේ ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කරන අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ, එහෙමත් නැත්නම් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළට විරෝධය පළ කිරීමයි. එම විරෝධය වළක්වන්නයි ආණ්ඩුව ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්නේ.

මේ වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 11දෙනකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර තිබෙනවා. වෛද්‍ය පීඨ සිසුන් 23දෙනකුගේ පන්ති තහනම් කර තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 23දෙනකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කර තිබෙනවා. මේ ආකාරයට සෑම විශ්වවිද්‍යාලයකම ශිෂ්‍ය ක‍්‍රියාකාරීන්ගේ එක්කෝ ශිෂ්‍යභාවය අහෝසි කර තිබෙනවා, එහෙමත් නැත්නම් පන්ති තහනම් කර තිබෙනවා. මේ මර්දනය දියත් වන්නේ ශිෂ්‍ය ක‍්‍රියාකාරකම් මර්දනය කිරීම ඉලක්ක කර ගෙන.

පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහර දීමත් මෙම මර්දනයේම කොටසක් විදියටයි අපි දකින්නේ. මේ පහර දීමට ආයුධ සන්නද්ධ පිරිසක් සහභාගි වුණා කියලා දැන් තොරතුරු ලැබිලා තිබෙනවා. මේ පහර දීම කළේ ආණ්ඩුවේ අනුදැනුම මත නොවේ නම්, මේ වන විටත් පරීක්ෂණ කරලා, වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්න පොලිසිය කටයුතු කර හමාරයි. කැලණිය සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් එවැනි පරීක්ෂණයක් සිදු නොවීමෙන් පෙනෙන්නේ ඊට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට හෝ ඔවුන් නීතිය හමුවට කැඳවීමට ආණ්ඩුවට වුවමනාවක් නැති බවයි. එහෙමත් නැත්නම් ආණ්ඩුවට අවශ්‍ය ඒ මැරයින් ආරක්ෂා කිරීම බවයි.

ශිෂ්‍යයින්ගේ හා ආචාර්යවරුන්ගේ විරෝධතා නිසා ලංකාවේ අධ්‍යාපනයේ තිබෙන අර්බුදය පිළිබඳව සමාජ සංවාදයක් ගොඩනැඟෙමින් තිබෙනවා. ආණ්ඩුවට දැන් අවශ්‍ය වී තිබෙන්නේ ඒ සංවාදය කෙරෙහි වන සමාජ අවධානය වෙනතකට යොමු කරන්න. ඒ සඳහා තමයි ආණ්ඩුව මෙවැනි සිදුවීම්වල වගකීම විවිධ දේශපාලන පක්ෂ පිට පටවන්න උත්සාහ කරන්නේ.

අධ්‍යාපන පෞද්ගලීකරණය ඇතුළු අධ්‍යාපනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප‍්‍රතිප්තියට එරෙහිව ශිෂ්‍යයින් ගෙන යන අරගලයේ අරමුණ යුක්තිසහගතයි, සාධාරණයි කියා අපි පිළිගන්නවා. ඒ වගේම ශිෂ්‍ය මර්දනයට එරෙහිවත් අපි පෙනී ඉන්නවා. ශිෂ්‍ය ව්‍යාපාරය මේ අරගලය කරන්නේ ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නිසා මේ අරගලය ආරක්ෂා කරන්න කියා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම අපි ශිෂ්‍ය ව්‍යාපාරයෙනුත් ඉල්ලා සිටින්නේ, අධ්‍යාපන අර්බුදය කියන්නේ නව ලිබරල් ධනවාදයේ එක් ප‍්‍රකශනයක්, අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ගෙන යන අරගලය නව ලිබරල් ධනවාදයට එරෙහි අරගලයක් දක්වා පුළුල් කරන්න. වැඩ කරන ජනතාවට ශිෂ්‍ය අරගලය වෙනුවෙනුත්, ශිෂ්‍යයින්ට වැඩ කරන ජනතාවගේ අරගලය වෙනුවෙනුත් පෙනී ඉන්න පුළුවන් එවිටයි.

වියුක්ත සටන් පාඨ සමගින් කරන සටන් රාජ්‍ය මර්දනය ඉදිරියේ අර්බුදයට යන්න පුළුවන්. පවතින දේශපාලන තත්වය විග‍්‍රහ කර ගෙන සටන් පාඨ පුළුල් කර ගනිමින් පුළුල් සමාජ බලවේගයක් සමග අරගලය පෙරට ගන්න කියා අපි ශිෂ්‍ය ව්‍යාපාරයෙනුත් ඉල්ලා සිටිනවා.’’