Monday, September 9, 2013

එක්ව මිනී මරා තනි තනිව බේරීම...

කාගේ හෝ උවමනාවකට මිනියක් මැරීමට plan කරන සමුහයක් හිතන ආකාරය හිතන්න. ඔවුහු තමන් කිරීමට සැරසෙන්නේ අපරාධයක් බව දනිති. එම අපරාධය එළිවුවහොත් තමනට දැඩි අවාසි සිදුවිය හැකි බව දනිති. සමාජයෙන් කොන් වීමට සිදුවන බව දනිති. හිරේ විලංගුවේ වැටීමට සිදුවන බව දනිති. නමුත් කෙසේ හෝ මිනිය මරා ඒ පිළිබඳව රහසක් සේ තබා ගැනීමට හැකිවුවහොත් එම අවාසීන්ට වඩා ලැබෙන දැඩි වාසි පිලිබඳ සිහින මවමින් ඔවුන් තම ගොදුර කරා ඇදෙති. ඇතිවිය හැකි අවාසි සහගත තත්වයන් පිළිබඳවත් එම තත්වයන්හිදී කටයුතු කලයුතු ආකාරය පිළිබඳවත් ඔවුන් එක්ව සාකච්චා කරති. එසේ සාකච්චා කර ඇතිවිය හැකි සෑම ගැටළුවකටම පිළිතුරු සුදානම් කර ගනිති. ඔවුන් සියළු දෙනාගේ ගැලවීම තීරණය වන්නේ සියලුම දෙනාගේම ක්‍රියාකාරිත්වය මත බව දන්නා ඔවුන් සියල්ල රහසක් සේ තබා ගැනීමට එකඟ වෙමින් මිනිය මැරීමට තීරණය කරති. ඒ එම මිනීමරුවන් විසින් පොදුවේ මිනී මැරීමේ තීරණයට එළඹෙන ආකාරයි.

මෙම කණ්ඩායමේ එක් අපරාධකරුවකු මිනී මැරීමේ කාර්යට තමා සම්බන්ද වන්නේද නැද්ද යන තීරණයට එළඹෙන ආකාරය සිතන්න. තමා එක් වන්නට යන්නේ භයානක අපරාධයකට බව ඔහු දනී. එම අපරාධයට තමා සම්බන්ද බව එළිවුවහොත් ඉන් තමාට බරපතල අවාසි සිදුවිය හැකි බව ඔහු දනී. තම පවුල, නෑදෑයන්, මිතුරන් අතර තමා අප්‍රසාදයට පත්වේ, සමාජයට මුහුණ දිය නොහැක, තමාට ජිවිතේ වැඩි කාලයක් හිරබත් කමින් ජිවත් වීමට සිදුවේ. එබැවින් ඔහු තමා මෙයට සම්බන්ධ වන්නේද නැද්ද යන්න පිළිබඳව නැවත නැවත සිතා බලයි. එහිදී කණ්ඩායමේ එක් අයෙකු හෝ අසුවුවහොත් තමාටද අවදානමක් ඇති බව ඔහු දනී. තමා අසුවුවහොත් අනිත් අයටද අවදානමක් ඇති බව ඔවුන් දන්නා බවද දනී. නමුත් සියළු අවාසි සහගත තත්වයනට වඩා මෙයට හවුල් වීමෙන් තමාට පුද්ගලිකව අත් වන වාසි සලකා සියළු රහස් පුද්ගකලිකවද කණ්ඩායම අතර පොදුවේද ආරක්ෂා කර ගැනීමට තනිව එකඟ වෙමින් ඔහු මිනී මැරීමේ කාර්යයට දායක වීමට තීරණය කරයි.

මෙසේ තීරණයට එළඹෙන ඔවුහු සියළු දෙනා දායක වෙමින්, විවිධ වැඩ කොටස් බෙදාගනිමින් මිනිය මරති.

අපරාධය සිදු කල පසු ඔවුන්ගේ හැසිරීම සිතන්න. එකෙකු හෝ අසුවුනොතින් තමාටද අනිසි පල ඇතිවන බව දන්නා ඔවුන් සියළු දෙනා ආරක්ෂා කරගැනීමට කැපවෙති. පසුව ඇති වන තත්වයන්ගේදී පොදුවේ සියළු දෙනාගේ බේරීම වෙනුවෙන් එකිනෙකාගේ කාර්යභාරයන් සාකච්චා කරන ඔවුහු ඒ අනුව තනි තනි පුද්ගලයන් හැසිරෙති. අපරාධය හෙළි නොවන තාක් තමා මෙන්ම අන් සගයන්වද ආරක්ෂා වන ආකාරයට ඔවුහු වැඩ කරති. කලින් සාකච්චා කරගත් පරිදි වචන හා ක්‍රියාවන් හසුරවති. ඔවුනට තමන් යනු පුද්ගලික තමන් නොවන අතර අපරාධයට දායක වූ සියල්ලන්ය. එසේම ඔවුනට අනුන් යනු පුද්ගලික තමන්ගෙන් බාහිර සියළු දෙනා නොවන අතර තම කණ්ඩායමෙන් බාහිර සමාජයයි. එම අනුන් රවටමින් ඔවුහු කල් ගෙවති.

අපරාධය හෙළි වේගන එන අවධියේ ඔවුන් සිතන ආකාරය සිතන්න. “තමන්” හා “අනුන්” මේ මොහොතේදී පෙරකී ආකාරයට වඩා වෙනස් වේ. දැන් තමන් යනු පුද්ගලිකව තමන් වන අතර අනුන් යනු තමාට පරිබාහිර සියළු දෙනා බවට පත්වේ. එනම් මේ මොහොතේදී තම සගයන්ද “අනුන්” බවට පත්වේ. එක් පුද්ගලයෙකු සැලකුවහොත් ඔහුට දැන් අනුන්ගෙන් වැඩක් නැත. අවශ්‍ය වන්නේ කෙසේ හෝ තමන් ගැලවීමයි. තමාට නැතිවිය හැකි දේ නැති නොවී ආරක්ෂා කර ගැනීමයි. එබැවින් තම ගැලවීම සඳහා අවශ්‍ය ලෙස සිතීමට හා ක්‍රියාකිරීමට ඔහු පෙළඹේ.

අපරාධය අඩක් හෙළි වූ පසු සිතන්න. අනිත් උන් තවදුරටත් ආරක්ෂා කිරීමට තමාට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ තම ගැලවීමයි. සැඟවී හෝ අනිත් උන් පාවා දී හෝ තමා ගැලවීමට ඔවුහු කටයුතු කරති.

අපරාධයක් කිරීමට සැලසුම් කිරීමේ සිට හෙළි වන අවස්ථාව දක්වා එක් එක් පුද්ගලයන්ගේ ක්‍රියාකාරීත්වය සිදුවන්නේ දල වශයෙන් මේ ආකාරයටය. මිනී මැරුමකට මෙන්ම වෙනයම් නින්දිත අපරාදයක් සඳහාද මෙය මේ ආකාරයෙන්ම අදාළ වේ.

රජරට සිසුන් බොරු චෝදනා මත පන්ති තහනම් කිරීමේ අපරාධය පිළිබඳව හා ඊට සම්බන්ද පිරිස් පිළිබඳව දැන් සිතන්න. යම් යම් දත්ත ප්‍රමාණයක් පමණක් අප ඔබට ඉදිරිපත් කරන්නෙමු. සියළු සිදුවීම් සිදුවන ආකාරය ගලපා ගැනීම ඔබේ බුද්ධි මට්ටමට අනුව සිදුවිය යුත්තකි.

* පන්ති තහනම් ලබා දෙන්නේ තනි පුද්ගලයෙකු නොවන අතර කණ්ඩායමක එකඟත්වය මතය.

* එම කණ්ඩායමේ ආණ්ඩුව, උසස් අධ්‍යාපන ඇමති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සමහරුන්, උපකුලපති, සියළු පීඨාධිපතිවරුන්, විනය පාලකවරයා, ඇතැම් ආචාර්යවරුන් හා ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුලත්ය.

* සිදු කරන්නේ වැරද්දක්, අසාධාරණයක් බව සියළු දෙනා දනිති. නමුත් එය සිදු කරති.

* මෙය උපකුලපතිවරයාගේ තීරණයක් බවත් තම කමිටුව දුන් තීරණයක් නොවන බවත් විනය පාලකවරයා 8/9 දින පවසයි. 

* මෙය විනය කමිටු තීරණයක් බව උපකුලපතිවරයා 8/10 දින පවසයි.

* ව්‍යවහාරික විද්‍යා පීඨාධිපතිවරයා හැසිරෙන්නේ තමන් කිසි දෙයක් නොදන්නා (බබා) ආකාරයටය.

* කළමනාකරණ පීඨාධිපතිවරයා 9/06 දින පන්ති තහනම් වූවන්ට සෙත් පැතීම සඳහා වූ අධිෂ්ඨාන පහන් පූජාවකටද එක්වේ.

* සියළු පීඨාධිපතිවරුන් සිසුන් හමුවන එක් නිශ්චිත දිනයකදී පන්ති තහනම් වූ සිසු නායකයන්ගේ පුද්ගලිකව චරිත ඝාතනය කිරීමට උත්සාහ කරන්නේ කලින් සැලසුම් කල ආකාරයක් පෙන්වමිනි.

* සිසුන්ගේ පානිය ජය ගැටලු, නේවාසිකාගාර ගැටලු හා අනෙක් සියළු අධ්‍යන හා සුබසාධන ගැටලු ආදී කිසිඳු ගැටළුවක් ඉදිරියේ කිසි දිනෙක සිසුන් වෙත අනුකම්පාව නොදැක්වූ ඇතැම් ආචාර්යවරුන් මෙම සිදු වීම හමුවේ ඉතා අනුකම්පාවෙන් යුතුව ගැලවුම්කාරයන් සේ පෙනී සිටීමට උත්සහ කරමින් සිටිති.

* ආරක්ෂක අංශ වල ඇතැම් සාමාජිකයින් අමුතු හැසිරීම් රටා පෙන්නුම් කරයි.

* සිසුන් ඉදිරියේ ඉහත සියළු දෙනා තමන් මෙයට අදාළ නැති බව හෝ වරද ඇත්තේ සිසුන්ගේම බව පෙන්වීමට හෝ වරද වෙන කොහේ හෝ ඇති බව පෙන්වීමට විවිධ උත්සාහයන් ගනු පෙනේ.

මෙහි අප සඳහන් කල සියළු දේත් තවත් බොහෝ දේත් අපට ඔප්පු කර පෙන්වීමට සාක්ෂි ඇත. කාලය ඉදිරියට ඇදෙන්නේ මෙවැනි සිදුවීම් රාශියක් සිදුවෙමිනි. සිදු වන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට මතුපිටින් දකින ඇසෙන දේ පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. විශ්ලේෂනාත්මකව සියළු සිදුවීම් එකට ගලපා ගත යුතුය. එසේ සෑම දෙයක්ම සොයා බලා, විශ්වාස කලයුත්තේ කවුරුන්ද යන්නත්, සිදු කලයුත්තේ කුමක්ද යන්නත් තීරණය කිරීම ඔබට බාර වේ..


source

Thursday, September 5, 2013

සබරගමු සිසුන් 16ක් මානව හිමිකම් කොමිසමට - රජරට සිසුන් 12කගේ පන්ති තහනම්

රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් 12 දෙනකුගේ පන්ති තහනම් කර තිබේ.විශ්වවිද්‍යාල බලධාරීන් පවසන්නේ සති පහක කාලයක් සඳහා මෙම තහනම බල පැවැත්වෙන බවයි. මෙලෙස සිසුන්ගේ පන්ති තහනම් කර ඇත්තේ රැස්වීමක් පැවැත්වීම නිසාය.

මේ අතර කිසිදු විනය පරීක්ෂණයකින් තොරව අත්තනෝමතික ලෙස සිය ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට විරුද්ධව සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 16 දෙනකු ඊයේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබේ.

Thursday, August 29, 2013

අකුරු වැරදුනු ගුරුවරු!

ගුරු පදවිය සූර්යයා යටතේ ඇති අන් සියල්ලටම වඩා අති උත්තම වූවක්‌ බව"චෙක්‌ ජාතික ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයකු වූ ජෝන් ආමෝස්‌ කොමෙන්කි පැවසුවේ ක්‍රි:පූ 1600 තරම් ඈත යුගයකදීය. ඈත අතීතයේ පටන්ම ප්‍රගතිශීලි මානව වර්ගයා විසින් වටහාගත් ගුරු වෘත්තියේ ශ්‍රේෂ්ඨ මානවවාදී කාර්යය අප රට තුළදී හෑල්ලුවට හා අවමානයට පත්වූවේ පුත්තලමේ ගුරුවරිය හාල්පාරු දේශපාලනඥයෙක්‌ ඉදීරියේ දණගැසු දා හෝ කොළඹ ගුරුතුමිය පාසලේ වහල මතට නැග විරෝධතාවයක්‌ දැක්‌වූ දා යෑයි සිතිම විහිළුවකි. ඒ සිද්ධින් දෙකම මේ ශ්‍රේෂ්ඨ වූ වෘත්තිය කෙලෙසී යැමේ පිරිහීයාමේ ප්‍රමාණය ගැඹුර දක්‌වන නිර්ණායකයන් දෙකක්‌ පමණි. එබැවින් ඔවුන් දෙදෙනා සම්බන්ධ සිද්ධීන් විවේචනය කිරීම පසෙක තබා ගුරු වෘත්තිය මෙබදු පිරිහුණු තත්වයකට පත් කළේ කවුරුන්ද, කුමක්‌ සඳහාද, එය වළක්‌වා ගැනීමට කළ යුතු, කළ හැකි යමක්‌ තව ඉතිරිව තිබේද යන්න පිළිබඳව සාමාජීය කතිකාවක්‌, සංවාදයක්‌ ඇති කිරීම තවත් ' කල්‍යානි ලා ' සිය ගණනක්‌ ඉදිරියේදී නිර්මාණය විම වළක්‌වා ගැනීමට ගතහැකි හොඳම ක්‍රියාමාර්ගයයි.

1945 ඔක්‌තෝබර් පළවෙනිදා නිදහස්‌ අධ්‍යාපනයෙන් පිදුම් ලද මෙරට ගුරුවරයා දේශපාලනයේ සෘජු ආවතේවකරුවෙක්‌ බවට පත්වූවේ 1956 බණ්‌ඩාරනායක දේශපාලනයත් සමඟය. එකල පංච මහා බලවේගය තුළ වූ ' ගුරු' බලවේගය සක්‍රිය ලෙස බණ්‌ඩාරනායක දේශපාලනයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප විය. එදා සිට අද දක්‌වාම ගුරුවරයා පක්‌ෂ බලයට පත්කිරීමට යොදාගන්නා ආකාරය ඉතා පැහැදිලිව පෙනෙන දෙයකි. එහි අවසන් හා අනිවාර්ය ප්‍රතිඵලය වූයේ අධ්‍යාපන පරිපාලනය දේශපාලනීකරණයට ලක්‌වීමයි. ගුරුවරු පත්කිරීම, මාරුකිරීම, උසස්‌ කිරීම මෙන්ම දඬුවම් කිරීමේ බලයද දේශපාලනඥයා අතට පත්විය. ඊට එරෙහිව වෘත්තිය ගරුත්වය ආරක්‌ෂා කර ගැනීමට මෙරට රාජ්‍ය සේවකයින්ගෙන් තුනෙන් දෙකක්‌ වන ගුරු පරපුර අපොහොසත් විම, ක්‍රමානුකූලව මේ තත්ත්වයට ඔවුන් අනුගත වීම, ගුරු පරපුරේ අභිමානය, පෞරුෂය බිඳවැටීමට පමණක්‌ නොව සමස්‌ත අධ්‍යාපන පද්ධතියම බිඳවැටීමටද ප්‍රබලම සාධකයක්‌ විය.