Friday, October 4, 2013

ඉතින් කොහොම හදමුද අපි රටට හෙටක්‌
































දිවයිනේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු ඉදිරිපිට රසායන ඉංජිනේරු විද්‍යා විෂයයන් හදාරන අවසන් වසරේ සිසුන් තිදෙනෙකි. සිසුන් සහ ආචාර්යවරයා අතර සිදුවූ සංවාදයෙන් අනතුරුව ආචාර්යවරයා රසායන ද්‍රව්‍ය ගෙන්වා බෙදාහරින පෞද්ගලික ආයතන කිහිපයක දුරකථන අංක කරකවා ඇමතුම් ලබා ගත්තේය. මේසය මතුවූ කඩදාසි කොළයක රිසිවරයේ අනෙක්‌ පසින් කියෑවෙන දේ සටහන් කර ගත්තේය. ඉන්පසු කඩදාසි කොළය මත සටහන්වී ඇති මිල ගණන් සස¹ බැලුවේය. අවසන දිග සුසුමක්‌ හෙලූ ආචාර්යවරයා සිය කුඩා කාමරයේ දුර්වර්ණ වූ සිවිලිම දෙස බලාගෙන කල්පනා කරන්නට වූයේය.

රු. 38,000, රු. 18,000, රු. 9500, රු. 5200 ආදී වශයෙන් කඩදාසි කොළය මත සටහන්වී තිබුණේ අදාළ සිසුන් තිදෙනාගේ පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන රසායන ද්‍රව්‍යයක ග්‍රැම් 100 ක්‌ මිලට ගැනීම සඳහා ඒ ඒ සැපයුම්කරුවන් විසින් දුන් මිල ගණන්ය. ගැටලුව වන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා එම ශිෂ්‍ය කණ්‌ඩායමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදනයක්‌ ලෙස ලැබෙන මුදලය. එය රුපියල් 5000 කින් වීමය. (මෙවැනි විශ්වවිද්‍යාල පර්යේෂණ ව්‍යාපෘතියකදී එක්‌ කණ්‌ඩායමකට වියදම වශයෙන් ලැබෙන උපරිම මුදල රුපියල් 5000 කි.)

Monday, September 9, 2013

එක්ව මිනී මරා තනි තනිව බේරීම...

කාගේ හෝ උවමනාවකට මිනියක් මැරීමට plan කරන සමුහයක් හිතන ආකාරය හිතන්න. ඔවුහු තමන් කිරීමට සැරසෙන්නේ අපරාධයක් බව දනිති. එම අපරාධය එළිවුවහොත් තමනට දැඩි අවාසි සිදුවිය හැකි බව දනිති. සමාජයෙන් කොන් වීමට සිදුවන බව දනිති. හිරේ විලංගුවේ වැටීමට සිදුවන බව දනිති. නමුත් කෙසේ හෝ මිනිය මරා ඒ පිළිබඳව රහසක් සේ තබා ගැනීමට හැකිවුවහොත් එම අවාසීන්ට වඩා ලැබෙන දැඩි වාසි පිලිබඳ සිහින මවමින් ඔවුන් තම ගොදුර කරා ඇදෙති. ඇතිවිය හැකි අවාසි සහගත තත්වයන් පිළිබඳවත් එම තත්වයන්හිදී කටයුතු කලයුතු ආකාරය පිළිබඳවත් ඔවුන් එක්ව සාකච්චා කරති. එසේ සාකච්චා කර ඇතිවිය හැකි සෑම ගැටළුවකටම පිළිතුරු සුදානම් කර ගනිති. ඔවුන් සියළු දෙනාගේ ගැලවීම තීරණය වන්නේ සියලුම දෙනාගේම ක්‍රියාකාරිත්වය මත බව දන්නා ඔවුන් සියල්ල රහසක් සේ තබා ගැනීමට එකඟ වෙමින් මිනිය මැරීමට තීරණය කරති. ඒ එම මිනීමරුවන් විසින් පොදුවේ මිනී මැරීමේ තීරණයට එළඹෙන ආකාරයි.

මෙම කණ්ඩායමේ එක් අපරාධකරුවකු මිනී මැරීමේ කාර්යට තමා සම්බන්ද වන්නේද නැද්ද යන තීරණයට එළඹෙන ආකාරය සිතන්න. තමා එක් වන්නට යන්නේ භයානක අපරාධයකට බව ඔහු දනී. එම අපරාධයට තමා සම්බන්ද බව එළිවුවහොත් ඉන් තමාට බරපතල අවාසි සිදුවිය හැකි බව ඔහු දනී. තම පවුල, නෑදෑයන්, මිතුරන් අතර තමා අප්‍රසාදයට පත්වේ, සමාජයට මුහුණ දිය නොහැක, තමාට ජිවිතේ වැඩි කාලයක් හිරබත් කමින් ජිවත් වීමට සිදුවේ. එබැවින් ඔහු තමා මෙයට සම්බන්ධ වන්නේද නැද්ද යන්න පිළිබඳව නැවත නැවත සිතා බලයි. එහිදී කණ්ඩායමේ එක් අයෙකු හෝ අසුවුවහොත් තමාටද අවදානමක් ඇති බව ඔහු දනී. තමා අසුවුවහොත් අනිත් අයටද අවදානමක් ඇති බව ඔවුන් දන්නා බවද දනී. නමුත් සියළු අවාසි සහගත තත්වයනට වඩා මෙයට හවුල් වීමෙන් තමාට පුද්ගලිකව අත් වන වාසි සලකා සියළු රහස් පුද්ගකලිකවද කණ්ඩායම අතර පොදුවේද ආරක්ෂා කර ගැනීමට තනිව එකඟ වෙමින් ඔහු මිනී මැරීමේ කාර්යයට දායක වීමට තීරණය කරයි.

මෙසේ තීරණයට එළඹෙන ඔවුහු සියළු දෙනා දායක වෙමින්, විවිධ වැඩ කොටස් බෙදාගනිමින් මිනිය මරති.

අපරාධය සිදු කල පසු ඔවුන්ගේ හැසිරීම සිතන්න. එකෙකු හෝ අසුවුනොතින් තමාටද අනිසි පල ඇතිවන බව දන්නා ඔවුන් සියළු දෙනා ආරක්ෂා කරගැනීමට කැපවෙති. පසුව ඇති වන තත්වයන්ගේදී පොදුවේ සියළු දෙනාගේ බේරීම වෙනුවෙන් එකිනෙකාගේ කාර්යභාරයන් සාකච්චා කරන ඔවුහු ඒ අනුව තනි තනි පුද්ගලයන් හැසිරෙති. අපරාධය හෙළි නොවන තාක් තමා මෙන්ම අන් සගයන්වද ආරක්ෂා වන ආකාරයට ඔවුහු වැඩ කරති. කලින් සාකච්චා කරගත් පරිදි වචන හා ක්‍රියාවන් හසුරවති. ඔවුනට තමන් යනු පුද්ගලික තමන් නොවන අතර අපරාධයට දායක වූ සියල්ලන්ය. එසේම ඔවුනට අනුන් යනු පුද්ගලික තමන්ගෙන් බාහිර සියළු දෙනා නොවන අතර තම කණ්ඩායමෙන් බාහිර සමාජයයි. එම අනුන් රවටමින් ඔවුහු කල් ගෙවති.

අපරාධය හෙළි වේගන එන අවධියේ ඔවුන් සිතන ආකාරය සිතන්න. “තමන්” හා “අනුන්” මේ මොහොතේදී පෙරකී ආකාරයට වඩා වෙනස් වේ. දැන් තමන් යනු පුද්ගලිකව තමන් වන අතර අනුන් යනු තමාට පරිබාහිර සියළු දෙනා බවට පත්වේ. එනම් මේ මොහොතේදී තම සගයන්ද “අනුන්” බවට පත්වේ. එක් පුද්ගලයෙකු සැලකුවහොත් ඔහුට දැන් අනුන්ගෙන් වැඩක් නැත. අවශ්‍ය වන්නේ කෙසේ හෝ තමන් ගැලවීමයි. තමාට නැතිවිය හැකි දේ නැති නොවී ආරක්ෂා කර ගැනීමයි. එබැවින් තම ගැලවීම සඳහා අවශ්‍ය ලෙස සිතීමට හා ක්‍රියාකිරීමට ඔහු පෙළඹේ.

අපරාධය අඩක් හෙළි වූ පසු සිතන්න. අනිත් උන් තවදුරටත් ආරක්ෂා කිරීමට තමාට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ තම ගැලවීමයි. සැඟවී හෝ අනිත් උන් පාවා දී හෝ තමා ගැලවීමට ඔවුහු කටයුතු කරති.

අපරාධයක් කිරීමට සැලසුම් කිරීමේ සිට හෙළි වන අවස්ථාව දක්වා එක් එක් පුද්ගලයන්ගේ ක්‍රියාකාරීත්වය සිදුවන්නේ දල වශයෙන් මේ ආකාරයටය. මිනී මැරුමකට මෙන්ම වෙනයම් නින්දිත අපරාදයක් සඳහාද මෙය මේ ආකාරයෙන්ම අදාළ වේ.

රජරට සිසුන් බොරු චෝදනා මත පන්ති තහනම් කිරීමේ අපරාධය පිළිබඳව හා ඊට සම්බන්ද පිරිස් පිළිබඳව දැන් සිතන්න. යම් යම් දත්ත ප්‍රමාණයක් පමණක් අප ඔබට ඉදිරිපත් කරන්නෙමු. සියළු සිදුවීම් සිදුවන ආකාරය ගලපා ගැනීම ඔබේ බුද්ධි මට්ටමට අනුව සිදුවිය යුත්තකි.

* පන්ති තහනම් ලබා දෙන්නේ තනි පුද්ගලයෙකු නොවන අතර කණ්ඩායමක එකඟත්වය මතය.

* එම කණ්ඩායමේ ආණ්ඩුව, උසස් අධ්‍යාපන ඇමති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සමහරුන්, උපකුලපති, සියළු පීඨාධිපතිවරුන්, විනය පාලකවරයා, ඇතැම් ආචාර්යවරුන් හා ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුලත්ය.

* සිදු කරන්නේ වැරද්දක්, අසාධාරණයක් බව සියළු දෙනා දනිති. නමුත් එය සිදු කරති.

* මෙය උපකුලපතිවරයාගේ තීරණයක් බවත් තම කමිටුව දුන් තීරණයක් නොවන බවත් විනය පාලකවරයා 8/9 දින පවසයි. 

* මෙය විනය කමිටු තීරණයක් බව උපකුලපතිවරයා 8/10 දින පවසයි.

* ව්‍යවහාරික විද්‍යා පීඨාධිපතිවරයා හැසිරෙන්නේ තමන් කිසි දෙයක් නොදන්නා (බබා) ආකාරයටය.

* කළමනාකරණ පීඨාධිපතිවරයා 9/06 දින පන්ති තහනම් වූවන්ට සෙත් පැතීම සඳහා වූ අධිෂ්ඨාන පහන් පූජාවකටද එක්වේ.

* සියළු පීඨාධිපතිවරුන් සිසුන් හමුවන එක් නිශ්චිත දිනයකදී පන්ති තහනම් වූ සිසු නායකයන්ගේ පුද්ගලිකව චරිත ඝාතනය කිරීමට උත්සාහ කරන්නේ කලින් සැලසුම් කල ආකාරයක් පෙන්වමිනි.

* සිසුන්ගේ පානිය ජය ගැටලු, නේවාසිකාගාර ගැටලු හා අනෙක් සියළු අධ්‍යන හා සුබසාධන ගැටලු ආදී කිසිඳු ගැටළුවක් ඉදිරියේ කිසි දිනෙක සිසුන් වෙත අනුකම්පාව නොදැක්වූ ඇතැම් ආචාර්යවරුන් මෙම සිදු වීම හමුවේ ඉතා අනුකම්පාවෙන් යුතුව ගැලවුම්කාරයන් සේ පෙනී සිටීමට උත්සහ කරමින් සිටිති.

* ආරක්ෂක අංශ වල ඇතැම් සාමාජිකයින් අමුතු හැසිරීම් රටා පෙන්නුම් කරයි.

* සිසුන් ඉදිරියේ ඉහත සියළු දෙනා තමන් මෙයට අදාළ නැති බව හෝ වරද ඇත්තේ සිසුන්ගේම බව පෙන්වීමට හෝ වරද වෙන කොහේ හෝ ඇති බව පෙන්වීමට විවිධ උත්සාහයන් ගනු පෙනේ.

මෙහි අප සඳහන් කල සියළු දේත් තවත් බොහෝ දේත් අපට ඔප්පු කර පෙන්වීමට සාක්ෂි ඇත. කාලය ඉදිරියට ඇදෙන්නේ මෙවැනි සිදුවීම් රාශියක් සිදුවෙමිනි. සිදු වන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට මතුපිටින් දකින ඇසෙන දේ පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. විශ්ලේෂනාත්මකව සියළු සිදුවීම් එකට ගලපා ගත යුතුය. එසේ සෑම දෙයක්ම සොයා බලා, විශ්වාස කලයුත්තේ කවුරුන්ද යන්නත්, සිදු කලයුත්තේ කුමක්ද යන්නත් තීරණය කිරීම ඔබට බාර වේ..


source

Thursday, September 5, 2013

සබරගමු සිසුන් 16ක් මානව හිමිකම් කොමිසමට - රජරට සිසුන් 12කගේ පන්ති තහනම්

රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් 12 දෙනකුගේ පන්ති තහනම් කර තිබේ.විශ්වවිද්‍යාල බලධාරීන් පවසන්නේ සති පහක කාලයක් සඳහා මෙම තහනම බල පැවැත්වෙන බවයි. මෙලෙස සිසුන්ගේ පන්ති තහනම් කර ඇත්තේ රැස්වීමක් පැවැත්වීම නිසාය.

මේ අතර කිසිදු විනය පරීක්ෂණයකින් තොරව අත්තනෝමතික ලෙස සිය ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට විරුද්ධව සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 16 දෙනකු ඊයේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබේ.

Thursday, August 29, 2013

අකුරු වැරදුනු ගුරුවරු!

ගුරු පදවිය සූර්යයා යටතේ ඇති අන් සියල්ලටම වඩා අති උත්තම වූවක්‌ බව"චෙක්‌ ජාතික ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයකු වූ ජෝන් ආමෝස්‌ කොමෙන්කි පැවසුවේ ක්‍රි:පූ 1600 තරම් ඈත යුගයකදීය. ඈත අතීතයේ පටන්ම ප්‍රගතිශීලි මානව වර්ගයා විසින් වටහාගත් ගුරු වෘත්තියේ ශ්‍රේෂ්ඨ මානවවාදී කාර්යය අප රට තුළදී හෑල්ලුවට හා අවමානයට පත්වූවේ පුත්තලමේ ගුරුවරිය හාල්පාරු දේශපාලනඥයෙක්‌ ඉදීරියේ දණගැසු දා හෝ කොළඹ ගුරුතුමිය පාසලේ වහල මතට නැග විරෝධතාවයක්‌ දැක්‌වූ දා යෑයි සිතිම විහිළුවකි. ඒ සිද්ධින් දෙකම මේ ශ්‍රේෂ්ඨ වූ වෘත්තිය කෙලෙසී යැමේ පිරිහීයාමේ ප්‍රමාණය ගැඹුර දක්‌වන නිර්ණායකයන් දෙකක්‌ පමණි. එබැවින් ඔවුන් දෙදෙනා සම්බන්ධ සිද්ධීන් විවේචනය කිරීම පසෙක තබා ගුරු වෘත්තිය මෙබදු පිරිහුණු තත්වයකට පත් කළේ කවුරුන්ද, කුමක්‌ සඳහාද, එය වළක්‌වා ගැනීමට කළ යුතු, කළ හැකි යමක්‌ තව ඉතිරිව තිබේද යන්න පිළිබඳව සාමාජීය කතිකාවක්‌, සංවාදයක්‌ ඇති කිරීම තවත් ' කල්‍යානි ලා ' සිය ගණනක්‌ ඉදිරියේදී නිර්මාණය විම වළක්‌වා ගැනීමට ගතහැකි හොඳම ක්‍රියාමාර්ගයයි.

1945 ඔක්‌තෝබර් පළවෙනිදා නිදහස්‌ අධ්‍යාපනයෙන් පිදුම් ලද මෙරට ගුරුවරයා දේශපාලනයේ සෘජු ආවතේවකරුවෙක්‌ බවට පත්වූවේ 1956 බණ්‌ඩාරනායක දේශපාලනයත් සමඟය. එකල පංච මහා බලවේගය තුළ වූ ' ගුරු' බලවේගය සක්‍රිය ලෙස බණ්‌ඩාරනායක දේශපාලනයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප විය. එදා සිට අද දක්‌වාම ගුරුවරයා පක්‌ෂ බලයට පත්කිරීමට යොදාගන්නා ආකාරය ඉතා පැහැදිලිව පෙනෙන දෙයකි. එහි අවසන් හා අනිවාර්ය ප්‍රතිඵලය වූයේ අධ්‍යාපන පරිපාලනය දේශපාලනීකරණයට ලක්‌වීමයි. ගුරුවරු පත්කිරීම, මාරුකිරීම, උසස්‌ කිරීම මෙන්ම දඬුවම් කිරීමේ බලයද දේශපාලනඥයා අතට පත්විය. ඊට එරෙහිව වෘත්තිය ගරුත්වය ආරක්‌ෂා කර ගැනීමට මෙරට රාජ්‍ය සේවකයින්ගෙන් තුනෙන් දෙකක්‌ වන ගුරු පරපුර අපොහොසත් විම, ක්‍රමානුකූලව මේ තත්ත්වයට ඔවුන් අනුගත වීම, ගුරු පරපුරේ අභිමානය, පෞරුෂය බිඳවැටීමට පමණක්‌ නොව සමස්‌ත අධ්‍යාපන පද්ධතියම බිඳවැටීමටද ප්‍රබලම සාධකයක්‌ විය.

අධ්‍යාපන වෙළඳ කලාප බිහිවේ. දැනටමත් 6ක් වෙන් කරලා

විදේශිය විශ්වවිද්‍යාල පිහිටුවීම ඇතුලු අධ්‍යාපනය සදහා අවශ්‍ය පහසුකම් සපයාදී එමගින් මුදල් ඉපයීම සදහා දිවයින පුරා නිදහස් අධ්‍යාපන කලාප බිහිකර ඒවා පුද්ගලික අංශයට ලබාදිමේ සැලසුමක් පිළිබද වාර්තාවේ.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න සදහන් කර සිටියේ රටපුරා මෙවැනි නිදහස් අධ්‍යාපන කලාප 06 පිහිටුවිමට සැලසුම් කර අවසන් බවත් ඒ අනුව ගම්පහ, පුත්තලම, කිලිනොච්චිය, හම්බන්තොට, ත්‍රීකුණාමණය හා මහනුවර යන දිස්ත්‍රික්කයන්හි මෙම කලාප බිහිකිරිමට අක්කර 100ක් ලබාදිමට නියමිත බවද පැවසීය.

එසේම මෙම කලාපවල අන්තර්ගතය පිළිබද අදහස් දැක්වූ ලේකම්වරයා සදහන් කර සිටියේ විදේශ විශ්වවිද්‍යාලයක්. ක්‍රිඩාංගණ පිහිනුම් තටාක හා නේවාසිකාගාර වැනි දේ අඩංගු අතර මේ වන විටත් මේ සදහා පුද්ගලික ආයෝජකයන්ට ආරාධනා කොට ඇති බවද වැඩිදුරටත් පැවසීය.

Tuesday, August 27, 2013

ජනතාව වෙනුවෙන් "තරු" වෙන්නට දඟලන දේශපාලුවන්ට














අපේ සංචාරයේදී අපට හමු වූ දැරියක සිය අනාගතය ගැන අප විමසූවිට පිළිවදන් දුන්නේ මෙසේය. "යාන්තම් ඕලෙවල් පාස්‌ උනත් ඉස්‌සරහට ඉගෙන ගන්න මට හිතෙන්නේ නැහැ. තව අවුරුදු දෙකක්‌ ඉගෙන ගන්නවා කියලා කියන්නේ අම්මලාට මාව හිරිහැරයක්‌ කරදරයක්‌ වෙන එකයි. ඉතින් ඊළඟ මාසේ ඉඳලා කැලේ වැව ගාමන්ට්‌ එකට යන්න හිතාගෙන ඉන්නවා.


දුකින් සපිරි - අම්මට සිරි ජන ජීවිතයේ තවත් දේශපාලන අඩව්වක්‌ දැන් කරළියට පැමිණ තිබේ. වයඹ ද මේ දේශපාලන අඩව්වත් සමගින් දිනෙන් දින උණුසුම් වෙයි. තමන්ට මේ දේශපාලන පෙරළියෙන් ලැබෙන වාසි ගැන හූදී ජනතාව නොයෙක්‌ හීන දකිමින් සටිති.

නොයෙක්‌ තාලයේ විපරිත මුහුණු සොමිබර කලාබර යන වංක නාසික මුහුණු වයඹ පළාතේ සිනාසීs තාප්පවල ඇලවී හුදී ජනයින් දෙස බලා සිටිති. ඔවුන් සියළු දෙනාට නේක වර්ණ පැහැගත් පෝස්‌ටර් වලින් කියා සිටින්නේ වයඹට පායන තරු තමන් බවය. සංවර්ධනයේ අරුණළුත් සමෘද්ධියේ සළුපිළිත් ඔවුන් තමන්ගේ ඡන්ද දායකයන්ට ගෙන එන්නට පෙරුම්පුරති.

Saturday, August 24, 2013

මාලඹේ නීත්‍යානුකූල කිරීමට දෙවන ගැසට් පත‍්‍රයත් ළඟදීම ! ආණ්ඩුව හොරු සමග හෙළුවෙන් !

MFSAC
‘‘මේ වන විට ඉතාමත් රහසිගත අයුරින් මාලඹේ SAITM ආයතනයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්ය කියා ගන්නා ආයතනයකට නීත්‍යානුකූලභාවයක් ලබා දීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් යනවා. දෙනෝදාහක් ඉස්සරහා, සමාජයක්ම රවට්ටමින්, මිනිසුන් නොමඟ යවපු ආයතනයක් නීත්‍යානුකූල කරන්නයි ඔවුන් කටයුතු කරමින් යන්නෙ. මේ වෑයම සාර්ථක වුවහොත් හෙට අනිද්දට මුදලට මිනී මරන්න, මංකොල්ල කන්න එහෙමත් ආණ්ඩුවෙන් නිළ වශයෙන් ලයිසන් ලබා ගන්න පුළුවන් වේවි. නිදහස් අධ්‍යාපනය අහෝසි කරලා, අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කරන්න පාලකයන් ඕනෑම ජඩ වැඩක් කරන්න පැකිලෙන්නේ නැති බවට මේක හොඳම උදාහරණයක්.’’

මේ අදහස් පල කළේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා විසින්. ඒ අද දින (අගෝස්තු 24) සවස මරදානේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ (CSR) හිදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව මඟින් සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමින්. එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ඔහු,

මාලඹේ SAITM ආයතනයේ වෛද්‍ය පීඨය ලෙස හඳුන්වමින් මෙය ආරම්භ වූයේ 2009 සැප්තැම්බර් 01 වැනිදා. මෙය ආරම්භ වන්නේම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න උත්සාහ කරලා හත්වරක් ඒ උත්සාහය ශිෂ්‍ය ව්‍යාපාරය අතුළු ප‍්‍රගතිශීලි බලවේගවල අරගල හමුවේ අකුලගන්න සිදු වුණු සමාජයක. ආරම්භයේදීම විශාල වශයෙන් පුවත්පත් දැන්වීම් පල කරමින් එහි පරිපාලකයන් එහෙමත් නැත්නම් උපාධි කඩයේ මුදලාලිලා ප‍්‍රකාශ කරපු ප‍්‍රධාන කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි මෙම ආයතනය රුසියාවේ නිෂ්නි නොව්ගොරොද් වෛද්‍ය ඇකඩමියට අනුබද්ධ ආයතනයක් බවත් එම ආයතනය මඟින් පිරිනමන උපාධිය ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව මඟින් පිළිගන්නා බවත් කියන එක.

මෙය ආරම්භ කරපු දවසේ ඉඳන් මේ හරහා සිදුවන සමාජ අසාධාරණය හේතුවෙන් ඊට එරෙහි අරගලයක අපි නිරත වෙලා ඉන්නවා. මේ වෙද්දී අපිත් එක්ක තවත් බලවේග ගණනාවක් මේ අරගලයට එකතු වෙලා ඉන්නවා. 2010 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවැනි වර පත් වීමෙන් පසු එස්.බී. දිසානායක උසස් අධ්‍යාපන ඇමැතිවරයා විසින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට දැවැන්ත රාජ්‍ය අනුග‍්‍රහයක් ලබා දෙන්න පටන් ගත්තා. ඒ මේ ආයතනය මඟින් සියලූ රාජ්‍ය ආයතන නොමඟ යවලා තිබුණු තත්වයක් ඇතුලේ.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව(ීඛඵක්‍* දිගටම පුවත්පත් දැන්වීම් පල කරමින් එම ආයතනය තමන් පිළිගන්නා බවට කරන ප‍්‍රකාශ අසත්‍ය බව සඳහන් කළා. ඒ වගේම රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති හා නිෂ්නි නොව්ගොරෝද් වෛද්‍ය ඇකඩමියේ අධ්‍යක්ෂවරයා විසින් වෙන වෙනම ලිපි පළ කර තිබෙනවා රුසියාවේ තිබෙන අදාළ විශ්වවිද්‍යාල සමඟ කිසිදු සම්බන්ධයක් නෑ කියලා. ඒ වගේම වෛද්‍ය උපාධියක් ලබා දීමට අවශ්‍ය මූලික සායනික පුහුණුවක් වත් ලබා දීමට ක‍්‍රමවේදයක් මොවුන් සතුව නොමැති තත්වයක් තුළ තමයි දිගින් දිගටම සිසුන් බඳවා ගන්නේ.

මේ වගේ අසත්‍ය ප‍්‍රචාර ගෙනියමින් වසරකට කණ්ඩායම් දෙකක් බැගින් ශිෂ්‍යයන් බඳවා ගෙන තිබෙනවා. එහෙම කරන ලෝකයේ එකම විශ්වවද්‍යාලය මොවුන්. පසුගිය කාලයේ අපි හෙළිදරවු කළා මෙහි උසස් පෙළ අසමත් ශිෂ්‍යයන් පවා වෛද්‍යවරු වෙන්න මුදලට උපාධිය හදාරණ බව. එය සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පත් කළ විශේෂ කමිටුවක් මඟින් සිදුකළ පරීක්ෂණයේ දී පිළිගත්තා. මෙහෙම තත්වයක් ඇතුළේ පවා 2011 සැප්තැම්බර් 29 වැනිදා උසස් අධ්‍යාපන ඇමැතිවරයාගේ අත්සනින් නිකුත් කළ අපූරු ගැසට් පත‍්‍රයක්. එයට අනුව මෙම ආයකනයට මාස 18ක් ඇතුලත සපුරා ගන්න කොන්දේසි 08 ක් දීලා, ඒ පදනම මත මෙය උපාධි ප‍්‍රධාන ආයතනයක් ලෙස නිළ වශයෙන් පිළිගන්නා බවට නිවේදනය කළා. ඒ වගේම රාජ්‍ය  බැංකුවකින් රුපියල් මිලියන 600ක මුදලකුත් ඒ හරහාම ලබා දුන්නා. පුදුම උනන්දුවක්. මෙය තමයි ලංකා ඉතිහාසයේ ‘‘දෙන්නම් කාසි’’ වලට නිකුත් කරපු එකම ගැසට් පත‍්‍රය. නමුත් අදාළ කාලය අවසානයේ මූලිකම දෙයක් වුණු ශික්ෂණ රෝහලක්වත් නොමැති නිසා අදාළ ගැසට් පත‍්‍රය අවලංගුයි. ඒ අනුව මේ වන විට මාලඹේ පෞද්ගලික වෛද්‍ය උපාධි කඩය තවදුරටත් උපාධි ප‍්‍රධාන ආයතනයක් නෙවෙයි.

නමුත් තවමත් මෙය ජනතාව නොමඟ යවමින් පුවත්පත් දැන්වීම් පළ කරමින් ශිෂ්‍යයන් බඳවා ගන්නවා. හංදියේ ඩිස්පෙන්සරියකට තරම්වත් රෝගීන් එන්නෙ නැති, ඔවුන් විසින් පමණක් පෞද්ගලික ශික්ෂණ රෝහලක් කියලා හඳුන්වා ගන්නා ගොඩනැඟිල්ලක් පෙන්වමින් ජනතාව මුලා කරනවා. මේ වන විට මෙම වංචාව තේරුම් ගත් ශිෂ්‍යයන් විශාල ප‍්‍රමාණයක් ඉන් ඉවත් වෙලා කඩුවෙල අධිකරණයේ ඊට එරෙහිව නඩුවක් ගොනු කරලා තියෙන්නෙ. ප‍්‍රශ්නය තමයි මුකුත්ම නැති, රටම රවට්ටපු මේ ආයතනයට ආණ්ඩුව ලබා දෙන සහයෝගය. මේ රටේ අධ්‍යාපන පද්ධතිය මුලූමනින්ම දවස ගාණේ කඩා වැටෙන්න සලස්වන ආණ්ඩුව ‘‘ මාලඹේ’’ වෙනුවෙන් මාරාන්තිකව පෙනී ඉන්නවා. මෙම ආයතනය නීති විරෝධි තත්වයක් ඇතුළේ පසුගිය අප්‍රේල් මාසයේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් ප‍්‍රසිද්ධියේ මෙයට ශිෂ්‍යයන් නම දෙනෙක් ඇතුල් කළා. කවුරු වෙනුවෙන්ද ඔවුන් එහෙම කරන්නෙ? හරිම පැහැදිලියි. අධ්‍යාපනය මුළුමනින්ම වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කරන්න යන ගමනේදී කොච්චර ‘අප්සට්’ වුණත් මෙම ආයතනය රැුක ගන්නවායැයි කියන අධිෂ්ඨානයක මේ රටේ පාලකයෝ ඉන්නවා.

නවතම තත්වය තමයි මේ වන විට ඉතාමත් රහසිගතව අදාළ ආයතනය උපාධි ප‍්‍රධාන ආයතනයක් ලෙස පිළිගැනීම සඳහා ආණ්ඩුව දෙවැනි ගැසට් පත‍්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරමින් සිටීම. මේ වන විට එය එය රහසිගතව මුද්‍රණය කිරීමත් සිදු කරලා. ‘‘අතිවිශේෂ ගැසට් පත‍්‍රයක්’’ ලෙස හඳුන්වමින් ගැසට් අංක 1824/21 යටතේ තමයි මෙය පිටවීමට නියමිත. මේ සිදු කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මුදලට උපාධි විකුණ ගන්න  ඕනෑම තක්කඩියෙකුට ඉඩ හදලා දෙන්න ඊනියා දේශප්‍රේමි ආණ්ඩුවේ තියෙන උවමනාව තමයි මේ පෙන්වන්නේ. හරිනම් මේ සිදු කරලා තිබෙන වංචා අක‍්‍රමිකතාවලට අදාළ ආයතනය සීල් තියලා එහි අධ්‍යක්ෂක මණ්ඩලය අපරාධකරුවන් කියලා නම් කළ යුතුයි. මේ තරම් වංචා, නොම`ග යැවීම් මෙමගින් සිදු කරලා තියෙන්නෙ. අපි මෙයට එරෙහිව අරගල කරනවා. මෙම ආයතනය අහෝසි කරන තුරු අරගල කරනවා. අපි මේ රටේ නිදහස් අධ්‍යාපනයක් තිබිය යුතුයි කියලා හිතන සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ අසාධාරණය තේරුම් ගන්න කියලා. මේ යන්නේ අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ කි‍්‍රයාවලියේ වැදගත්ම පියවරක්. ඊට එරෙහිව අරගලයකට එන්න කියලා, රුපියල් ලක්ෂ හැට හැත්තෑවක් වියදම් කරලා දරුවන්ට උගනවන්න සිදු වෙන ක‍්‍රමයක් එළඹෙනවා දකින්න අකමැති සියලූම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් අපි දිවයින් පුරා සිටින වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා තමන් ලබපු නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් මීට එරෙහිව ක‍්‍රියාමාර්ගවලට පැමිණෙන්න කියලා.

Friday, August 23, 2013

ඇමති ඇතුළු බලධාරීන්ගේ වැරදි වහන්න අධ්‍යාපන අයිතිය උදුරාගන්න බෑ

Joseph stalin
Joseph stalin
විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම වළක්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග දරුවන්ගේ අධ්‍යාපන අයිතිය පැහැරගැනීමක් සඳහා නොවිය යුතු බව ලංකා ගුරු සංගමය පවසයි. 

රජය විසින් නිකුත් කරනු ලැබූ 2013.06.21 දිනැති 1816 දරණ ගැසට් පත‍්‍රයෙන් ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට සිදුවන අසාධාරණය පිළිබඳ ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා කියා සිටියි. 

ඔහුගේ අත්සනින් යුතුව නිකුත් කළ එම ප්‍රසිද්ධ ලිපියේ මෙසේද සඳහන්ය. 

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 1965 අංක 25 දරණ ප‍්‍රසිද්ධ විභාග පනතේ 22 වෙනි වගන්තියට අනුව නියෝග පැනවීමට ඔහු සතු බලය උපයෝගී කරගෙන විභාග දිනට පූර්වයෙන් දින 5 කට පෙර විභාගය අවසන් වන දින දක්වා උපකාරක පන්ති සංවිධානය කිරීම, පන්ති මෙහෙයවීම ඇතුළු දරුවන් විභාගයට සුදානම් කිරීමේ සියලූම කටයුතු තහනම් කොට ඇත. 

මෙම තහනම 2013.08.25 දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට අදාළව මෙන්ම අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට ද අදාළ වන පරිදි 2013.06.21 දිනැති 1816 දරණ ගැසට් පත‍්‍රය මගින් පනවා ඇත. මෙය සම්පූර්ණයෙන්ම විභාගයට පෙනී සිටින දරුවන්ට සිදු කරන අසාධාරණ කි‍්‍රයාවක් වන අතර 5 ශ්‍රේණියේ ශිෂ්‍යයත්ව විභාගයට පෙනී සිටින කුඩා දරුවන්ට එය බරපතළ අසාධාරණයකි. 

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ගුරුවරු විභාගය ආසන්න දිනය දක්වාම පාසල්වල දරුවන් සූදානම් කිරීමට අදාළව ඉගැන්වීම් කටයුතුවල නිරත වේ. මෙය ගුරුවරුන් තම රාජකාරි සීමාව ඉක්මවා දරුවන් වෙනුවෙන් සිදු කරන සත්කි‍්‍රයාවකි. 

ඉහත ආකාරයේ නියෝග පැනවීම තුළ කුඩා දරුවන්ගේ මතක ශක්තිය රඳවා ගැනීමේ හැකියාව මත සතියකට පෙර සිටම ඉගැන්වීම් කටයුතු නරත කිරීම හරහා ඔවුන් බරපතළ පීඩනයකට පත්වෙති. මේ නිසා නොමිලේ සිදු කරන ඉගැන්වීම් කටයුතු නතර වන අතර ඇති හැකි දරුවන්ට පුද්ගලිකව ඉගැන්වීම් කර ගැනීමට අවකාශය පමණක් තහවුරු වී පවතී. 

එසේම 2012/41 චක‍්‍රලේඛයේ සඳහන් පාසල් වාර සටහනට අනුව මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරය 2013 අගෝස්තු 12 වන දින ඇරඹෙන අතර එම දරුවන්ට බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමට පරිසරයක් තිබියදී අනෙක් පාසල්වල දරුවන්ට පාසල් නිවාඩුව ලබාදී ඇති බැවින් ඉහත ගැසට් නිවේදනය අනුව ඔවුන්ට සිදුවන අගතිය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය සැලකිල්ලට නොගැනීම තුළ අධ්‍යාපන ඇමතිවරයාගේ තීරණවල ඇති අමනෝඥභාවය මනාව දිස්වේ. 

විභාග ප‍්‍රශ්න පත‍්‍ර පිටවීම වැළැක්වීම සඳහා මෙවැනි නියෝග පැනවීම තුළ දරුවන්ට ඉගෙන ගැනීමට ඇති අයිතියට සීමා පැනවෙන අතර මෙසේ අධ්‍යාපන අයිතියට සීමා පැනවීම ඔස්සේ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් තමන්ගෙන් සිදුවිය හැකි වැරදි වසා ගැනීමට තැත් කරන ආකාරය ලැජ්ජා සහගතය. 

මෙම සියලූ තත්ත්වයන් සැලකිල්ලට ගෙන අදාළ ගැසට් නිවේදනයේ සඳහන් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ විභාගය, අපොස උසස් පෙළ විභාගයට පනවා ඇති අවශ්‍ය නොවන මෙම කොන්දේසි ඉවත් කිරීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී. 

මෙයට,
ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්

Thursday, August 22, 2013

උපාධිධාරීන්ට දුන් පත්වීම් ලිපි බලහත්කාරයෙන් එකතු කරලා

Logo
පසුගිය බදාදා (14) උපාධිධාරීන්ට දුන් පත්වීම් ලිපි ඊයේ නැවත බලහත්කාරයෙන් ලබා ගෙන ඇතැයි උපාධිධාරී මධ්‍යස්ථානය චෝදනා කරයි. මාතර, දෙවුන්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කරන ලද උපාධිධාරීන්ට දුන් පත්වීම් ලිපි මෙසේ නැවත ලබා ගෙන තිබේ.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් උපාධිධාරී මධ්‍යස්ථානය මෙසේ පවසයි.

"වසර 7ක් තිස්සේ උපාධිධාරීන්ට රැකියා නොදුන් ආණ්ඩුව 2012 පෙබරවාරී මස කිසිදු විධිමත් වැඩපිළිවෙළකින් තොරව රැකියා ලබාදුනි. මේ පිළිබද අප දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළද ඇතැම් අය පැවසුසේ කෙසේ හෝ රැකියා දුන්නා වැනි අදහසකි. නමුත් රැකියා ලද උපාධිධාරීන්ට සිදු වූයේ කබලෙන් ලිපට වැටීමකි. මාස 6න් ස්ථිර කරන බවට පොරොන්දු වී බදවාගත් අතර අදට මාස 18ක් ගතවී ඇතත් ඔවුන්ගේ ගැටලුවලට විසදුම් ලැබී නැත. තවමත් බහුතරයකගේ මාසික චේතනය රැපියල් 10000ක් වැනි සොච්චමකි.

මේ අතර මෙම වසර මුල සියලු උපාධිධාරීන් කොළඹට කැදවා ජනාධිපතිවරයාම පොරොන්දු වූයේ වසරක් ගතවන පළමු මොහොතේම උපාධිධාරියා අතට ස්ථිර පත්වීම් ලිපිය ලබාදෙන බවයි. නමුත් අදට අවුරැද්දක් ගතවී මාස 6ක්ද ඉක්මවා ඇතත් 50823න් 22000කට අධික පිරිසක් ස්ථිර පත්වීම් නොලැබ දුෂ්කරතා රැසකට මුහුණ පා ඇත. මේ අතර බදවාගත් වයස 35ට වැඩි උපාධිධාරීන්ද අසාධාරණයට ලක්ව ඇත.

මේ අතර පසුගිය 14 වැනි බදාදා මාතර දෙව්න්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් ලිපි ලබාදී ඇති අතර කිසිදු හේතු දැනුම්දීමකින් තොරව 21 වන දින නැවත එම පත්වීම් ලිපි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ලද නියෝගයක් මත එකතු කරගෙන ඇත. මෙසේ පත්වීම් ලිපි නැවත ලබාගැනීම පිළිබද උපාධිධාරීන්ට කරුණු දැක්වීමක් හෝ කර නැත. බලහත්කාරයෙන් මෙන් ලිපි ලබාගෙන ඇත.

මේ ආකාරයට රටපුරා බඳවා ගෙන ඇති සියලු උපාධිධාරීන් ස්ථිර කරන බවට පවසමින් රැවටීමට ලක් කරමින් සිටින අතර ආණ්ඩුවට අවධාරණය කරන්නේ මේ බඳවා ගත් සියලු උපාධිධාරීන් සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් කර ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කරන ලෙසයි.

උතුරු මැද අධ්‍යාපනයත් මකර කටේ

Mahinda Jayasinghe
Mahinda Jayasinghe
උතුරු මැද පළාතේ අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු 196 න්124 ක්ම පුරප්පාඩුව පවතින බව වාර්තා වේ. ඒ හේතුවෙන් උතුරු මැද පළාත් අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය බරපතල අර්බුදයකට ගොස් ඇති අතර සියළුම පත්වීම් දේශපාලන හිතවත්කම් මත ප‍්‍රදානය කිරීමට යාමෙන් තත්වය තවත් අවුල් වී ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා පෙන්වා දේ. මෙම තත්වය උතුරු මැදට පමණක් නොව මුළු ලංකාවේම අධ්‍යාපනයට උදා වී ඇති බවත් මෙය එක තැනකින් අල්ලාගෙන වෙනස් කළ නොහැකි බව්ත මෙය සමාජ අර්බුදයේම කොටසක් බවත් මහින්ද ජයසිංහ සහෝදරයා තව දුරටත් පෙන්වා දෙයි.

Wednesday, August 21, 2013

ආණ්ඩුව සිසු නායකයින් දඩයමේ - විරෝධතා දැක්වීමට සිසූහු පෙරට

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති,ලේකම් සහ කළමනාකරණ අධ්‍යයන,සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර හා ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගම් සභාපති, ලේකම් ඇතුළු සිසු නායකයින් 08 දෙනෙකුට මාස 06ක පන්ති තහනමක් පැනවීමට එරෙහිව රජරට සරසවි සිසු සිසුවියෝ විරෝධතා පෙත්සමකට අත්සන් තබති.

පෙත්සම අත්සන් කිරීම විශ්වවිද්‍යාලයීය පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිටදී පැවැත්වීමට සංවිධානය කටයුතු සුදානම් කර තිබු නමුත් එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට විශ්වවිද්‍යාල භූමියට ඇතුල් වීමට විශ්වවිද්‍යාල පරිපාලනය අවස්ථාව ලබා දී නැත.

ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල නාම පුවරුව අසලට රැස් වූ සිසුන් එම ස්ථානයේදී පෙත්සම අත්සන් කිරීම ආරම්භ කළහ.



Monday, August 19, 2013

මාළඹේ ගැන අාණ්ඩුව ෙමෙතක් කියන ලද සියලු කතා ෙබාරු

saitm
SAITM
මාළඹේ SAITM ආයතනයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම ජනාධිපතිවරයා විසින් ද පිළිගනු ලැබීය. පසුගිය අපේ‍්‍රල් මස ශිෂ්‍ය ශිෂ්‍යාවන් 9 දෙනෙකුට ඊට ඇතුළත් වීම සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රධානය කිරීමක් ද සිදුකරන ලදී. ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු බලවේගයන්ගේ සටන් හමුවේ දැවැන්ත ජනතා විරෝධයක් පවතින, රාජ්‍ය අනුග‍්‍රහය ලැබූ මෙම ආයතනය සිදුකළ සියල්ල දැවැන්ත වංචාවන් බවට මේ වන විට තොරතුරු හෙළිදරව් වී ඇති බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා පෙන්වාදෙයි. 

2009 මැයි මස 10 වන දා සන්ඬේ ටයිම්ස් (Sunday Times) පුවත්පත පළ කළ දැන්වීමක් මගින් ඔවුන් සඳහන් කළ පරිදි මෙම ආයතනය රුසියාවේ නිෂ්නි නොවිගොරොද් වෛද්‍ය ඇකඩමියට අනුබද්ධ බවත්, මෙහි පිරිනමන උපාධිය සඳහා ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ (SLMC) අනුමැතිය ඇති බවත් නිවේදනය විය. තවත සිසුන් මුදලට බඳවා ගැනීම සඳහා මෙම ආයතනයට අනුබද්ධ ශික්ෂණ රෝහලක් ඇති බවද ප‍්‍රකාශ කරන ලදී. ඊට අමතරව 2011 අගෝස්තු 30 උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අත්සනින් යුතුව නිකුත් කළ අංක 1721/19 ගැසට් පත‍්‍රය මගින් මෙම උපාධි කඩයට වලංගු භාවයක් ලබාදුණි. එම ගැසට් පත‍්‍රයට අනුව මාස 18 ක් තුළ ප‍්‍රධාන කරුණු 8 ක් අදාළ ආයතනය මගින් සපුරාලිය යුතුය. නමුත් මේ වන විට අදාළ කාලය පසුවී ඇතත් කොන්දේසි සපුරා නොමැති බැවින් මාළඹේ SAITM ආයතනයට අමාත්‍යවරයා අසීරුවෙන් ලබාදුන් නිළ වලංගු භාවය ද නැත. 

තවද ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව පුවත්පත් නිවේදන මගින් දිගින් දිගටම මෙම ආයතනය වෛද්‍ය විදුහලක් ලෙස පිළිනොගන්නා බවට පැහැදිලි නිවේදන නිකුත් කළ බවත්, රුසියාවේ අදාළ විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂක ඇලෙක්සි පොස්ටිනිකොව්ගේ අත්සනින් නිකුත් කළ ලිපියක් මගින් සහ රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ අත්සනින් 2012 නොවැම්බර් 07 වැනිදා නිකුත් කළ ලිපියක් මගින් මාළඹේ ී්ෂඔඵ ආයතනය සහ එම ආයතනයේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව සඳහන් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. 

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මාළඹේ උපාධි කඩයට අනුබද්ධ ශික්ෂණ රෝහලක් නොමැති බව නිළ වශයෙන් පිළිගෙන ඇත.
  
මෙම හෙළිදරව් වීම් හරහා, අධ්‍යාපනය වැනසීමට මග හෙළිකරන මාළඹේ උපාධි කඩයේ යථාර්ථය තවදුරටත් හෙළිදරව් වන බවත්, ඉදිරියේදී ඊට එරෙහිව ගෙනගිය අරගලය ත‍්‍රීව‍්‍ර කරමින් නව මුහුණුවරකින් මාළඹේ උපාධිකඩය අහෝසිකරන තුරු අඛණ්ඩ අරගලයක් අරඹන බවත් නජිත් ඉන්දික සහෝදරයා පැවසීය. 


(විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ මධ්‍යම පුවත්පත "ගිනිසිළුව" ඇසුරිනි)
http://ginisiluwa.blogspot.com

Sunday, August 18, 2013

අපේ ප‍්‍රශ්ණ විසඳන තෙක් අපි සටන් කරන්න ලෑස්තියි - චන්දන සූරියආරච්චි

ප‍්‍රශ්ණය: රාජ්‍ය සේවයේ ඉන්න උපාධිධරීන් නිරන්තරයෙන්ම ආණ්ඩුවට චෝදනා කරනවා අපි දකිනවා. රැකියාත් ලබාදීත් තිබෙනවා. ඇයි එහෙම චෝදනාවන් මතුවෙන්නෙ?
උත්තරය: රාජ්‍ය සේවාව තුළ රාජකාරී ඉටුකරන උපාධිධාරීන් විවිධ වූ සේවා අතෘප්තියකින් තමයි සිය වගකීම් ඉටුකරන්නෙ. ඒකට හේතුව රාජ්‍ය සේවය තුළත් පළාත් රාජ්‍ය සේවය තුළත් ඉන්න උපාධිධාරීන් වෘත්තීය අයිතීන් කප්පාදුවකට මුහුණ දීල. උපාධිධාරීන්ට රාජ්‍ය සේවය තුළ වෘත්තීය මට්ටමක් හිමිවෙලා නැහැ. පවතින අධ්‍යාපනයේ ඉහළම සුදුසුකම ලබාගත්තත් උපාධිධාරියකු ලෙස රාජ්‍ය සේවයට එක් වුණාට ඒ සඳහා වූ කිසිදු වෘත්තීය තත්වයක් සහිත පරිසරයක් රාජ්‍ය සේවය තුළ නිර්මාණය වෙලා නැහැ. එවැන්නක් නිර්මාණය කරන්න ආණ්ඩුවටවත් රාජ්‍ය බලධාරීන්ටවත් අවශ්‍යතාවයක් තියෙන බවක් පෙන්නත් නැහැ. උපාධිධාරීන් උපාධියට සුදුසු වෘත්තීය තත්වයක් ඉල්ලා හඬ නගනවා. බලධාරීන් මෙන්ම ආණ්ඩුවේ වගකිවයුත්තන් ඒ සාධාරණ ඉල්ලීම් නොසලකමින් තියෙනවා. ඒ ප‍්‍රතිවිරෝධය තමයි සමාජයට පේන්න ගන්නෙ.
ප‍්‍රශ්ණය: රාජ්‍ය සේවයේ විවිධ මට්ටමේ උපාධිධාරීන් ඉන්නවා. ඔබ ඔය කියන විදිහට රාජ්‍ය සේවයේ ඉන්න සෑම උපාධිධාරියකුටම ඔය කියන සේවා අතෘප්තිය තියෙනවද?
පිළිතුර: අපි උපාධිධාරී සංගමය වශයෙන් පෙනී සිටින්නේ 06/2006 වැටුප් චක‍්‍රලේඛයට අනුව MN 04 2006 A වැටුප් ඛාණ්ඩයට අයත් උපාධිධාරීන් සම්බන්ධයෙන්. මේ වැටුප් තලයට අදාලව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා දෙකේම උපාධිධාරීන් ඉන්නවා.මේ වන විට මෙම වැටුප් ඛාණ්ඩයට අදාලව සමස්ත රාජ්‍ය සේවය තුළම උපාධිධාරීන් 110,000 කට ආසන්න පිරිසක් ඉන්නවා. 06 /2006 ට අනුව MN 04 වැටුප් ඛාණ්ඩය තුල 1993199920052008 බඳවාගත් හා 2013 ස්ථිර කිරීමට නියමිත සියළුම උපාධිධාරීන් මීට අදාල වෙනවා. ඉහත උපාධිධාරීන්ට තමයි රාජ්‍ය සේවය තුල පිළිගත හැකි හා සාධාරණ වෘත්තීය තත්වයක් නිර්මාණය නොවී තියෙන්නෙ.

සරසවි ඇදුරන් පිලිබඳ ප්‍රකාශ නිකුත් කිරීමට හමුදාවට අයිතියක් නෑ

Nirmal ranjith dewasiri
Nirmal ranjith dewasiri
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිහිප දෙනෙකු ලන්ඩනයේ සමුළුවකට සහභාගිවෙමින් බෙදුම්වාදයටත් ආණ්ඩු විරෝධයටත් දිරි දීමට කටයුතු කළාය යන පදනමින් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට ඉඩ ඇතැයි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරියල විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනි ක්ශානිකා හිරිඹුරේගම මහත්මිය මෙන්ම නියෝජ්‍ය ඇමති නන්දිමිත්‍ර දිසානායක මහතා ප්‍රකාශ කොට තිබීම විශ්ව විද්‍යාල මිලිටරිකරණය කිරීමට ගන්නා උත්සාහයේ තවත් පියවරක් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා ප්‍රකාශ කරයි.

මෙය ඉතාම භයානක ක්‍රියාදාමයක් ලෙස ඔහු එය හඳුන්වා දුන්නේය.

යුද හමුදාව එක පැත්තකින් ඊට සම්බන්ධව අදහස් දක්වද්දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ශාස්ත්‍රීය නිදහස පිළිබඳව කිසිදූ අවබෝධයකින් තොරව ප්‍රකාශයන් කරන බව ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා කියා සිටියේය.

විශ්ව විද්‍යාල ආචාර්යවරයකුට විවේචනාත්මක හා විචාරාත්මක අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරියයේදී ඉඩ ලබා නොදෙන බව මෙයින් පෙනී යන බව ඔහු පැවසිය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට හමුදාවට අයිතියක් නැති බව පවසන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විදේශ ගත වන අවස්ථාවලදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් ඇති බවත් එය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ කාර්යයක් බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මාලඹේ හොර උපාධි කඩයට එරෙහිව සිසුන්ගේ දෙමාපියන් නඩුමගට

මාලඹේ ප්‍රෙද්ශයේ පවත්වාගෙන යනු ලබන නීති විරෝධීව වෛද්‍ය උපාධි ලබාදෙන ආයතනයට එරෙහිව එහි සිසුන්ගේ දෙමාපියන් විසින් කඩුවෙල දිසා අධිකණයේ අංක 525 MR/12, 526 MR/12, 527 MR/12} යටතේ නඩුවක් ගොනුකර තිබේ. එම දෙමාපියන් විසිත් තම දරුවන්ට සිදුව ඇති අසාධාරණය පිලිබදව දැනුවත් කරමින් එම ආයතනය වෙත යොමුකර ඇති ලිපිය පහත දැක්වේ.

Wednesday, August 14, 2013

වකුගඩු රෝගයට මුල්වන "බැරලෝහ" ඉවත් කිරීමට "දිය පෙරනයක්‌" නිපදවයි

පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඡේ. එම්. ආර්. එස්‌. බණ්‌ඩාර මහතාගේ සහ විද්‍යාපති එච්. එම්. එන්. එම්. සෙනෙවිරත්න මහතාගේ හපන්කමක්‌..

රජරට පුරාවට පැතිරෙමින් පවත්නා වකුගඩු රෝගයට මුල්වී ඇත්තේ ආහාරපාන සමඟ ශරීරගත වන "කැඩ්මියම්" ඇතුළු වෙනත් බැරලෝහයන් කොටසක්‌ නොදිරා වකුගඩුවල තැන්පත් වී, කල්යැමේ දී ඒවා මගින් වකුගඩු අකර්මණ්‍යයට පත් කිරීමයි. ඒ අනුව වකුගඩු අකරණයට පත්වීම වළක්‌වා ගැනීමට නම් විශේෂයෙන් පානීය ජලයේ අඩංගු 15% ක්‌ තරම් වූ කැඩ්මියම් බැර ලෝහය ඇතුළු වෙනත් බැරලෝහ වර්ග ජලයෙන් බැහැර කළ යුතුයි. ඒ සඳහා පර්යේෂණාගාර මට්‌ටමින්ද ක්‍ෂේත්‍ර මට්‌ටමින්ද දිගු කලක්‌ පර්යේෂණ පවත්වා කැඩ්මියම් බැරලෝහය ඇතුළු බැරලෝහ වර්ග ජලයෙන් ඉවත් කරන සාර්ථක දිය පෙරණයක්‌ නිපදවා ඇතැයි පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඡේ. එම්. ආර්. එස්‌. බණ්‌ඩාර මහතා සහ විද්‍යාපති එච්. එම්. එන්. එම්. සෙනෙවිරත්න මහතා ප්‍රථම වරට අනාවරණය කරයි.

ජලයෙන් කැඩ්මියම් ඇතුළු බැරලෝහ පෙරා ඉවත්කොට ජලය පිරිසිදු කර දෙන මෙම කුඩා "දිය පෙරණය" දේශීය අමු ද්‍රව්‍ය යොදා ගෘහස්‌ථ භාවිතයට සුදුසු සේ නිර්මාණය කර තිබේ. ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමෙන් පසු රුපියල් දෙදහසකට වඩා අඩු වියදමකින්, මෙම දිය පෙරණය ජනතාවටම සකස්‌ කරගත හැකි බව විද්‍යාපති සෙනෙවිරත්න මහතා පැහැදිලි කළේය.

මෙම ක්‍ෂේත්‍ර පර්යේෂණය කරන ලද්දේ කටියාව වැව ආශ්‍රිතව කටියාව යාය එක ගම්මානයේ පවුල් 60 ක්‌ පදනම් කරගෙනය. නියමු ව්‍යාපෘතියක්‌ ලෙස මෙම ක්‍ෂේත්‍ර පර්යේෂණය කරන ලද බවත්, තෝරාගත් පවුල් හැටෙන් පවුල් තිහක එක්‌ පිරිමියෙකුට බැගින් නිෂ්පාදිත දිය පෙරනයෙන් පෙරූ ජලය පානයට ලබාදුන් බවත් ඉතිරි පවුල් තිහේ එක්‌ පිරිමියෙකුට බැගින් නොපෙරූ සාමාන්‍ය ජලය පානයට ලබාදුන් බවත්, ඉන්පසු ඔවුන්ගෙන් මුත්‍රාවල අඩංගු බැරලෝහ තත්ත්වය වෙන වෙනම විශ්ලේෂණය කරන ලද අතර දිය පෙරණයෙන් ලබාගත් ජලය පානය කළ පිරිමි තිස්‌දෙනාගේ මුත්‍රාවල බැරලෝහ අල්පමාත්‍රයක්‌ තරම්වත් නොතිබූ බවත් සෙසු තිස්‌දෙනාගේ මුත්‍රවල බැරලෝහ අඩංගු වී පැවැති බවත් සෙනෙවිරත්න මහතා පැවැසීය.

බොරදියේ මාළු බාගැනීමෙක්‌ කරමින් රුපියල් 36,000, 48,000, 60,000, 80,000 ආදී අධික මිල ගණන් වලට ආනයනික ජල පෙරණ දැනට උතුරු මැද පළාතේ ශීඝ්‍රයෙන් අලෙවි වෙමින් පවත්නා බවත්, වාහනවල ඉන්ධන µsල්ටර් වරින් වර ඉවත් කරන්නාක්‌ මෙන් මෙම ආනයනික ජල පෙරණවල µsල්ටර්ද නිතර මාරු කළයුතු බවත්, ඒවා අධික මිල ගණන් වලින් යුක්‌ත බවත් සෙනෙවිරත්න මහතා අවධාරණය කළේය.

තම පෙරණයේ µsල්ටර් වරින් වර ඉවත් කළයුතු නමුත් ඒවා ඉතා සුළු මුදලකට එනම් රුපියල් දෙසීයකට පමණ ලබාගත හැකි බව සඳහන් කරන විද්‍යාපති සෙනෙවිරත්න මහතා මුදල් සූරා කන්නන්ගෙන් දේශයේ ජනතාව බේරාගැනීම සඳහා ප්‍රජා සත්කාරයක්‌ වශයෙන් මෙම දිය පෙරණය කලක්‌ පර්යේෂණ පවත්වා ජනතාවට හඳුන්වා දෙන බව පැවැසීය.

බැරලෝහ ශරීර ගතවන්නේ ආහාර ජාලය තුළින්. සහල්වල අන්තර්ගත ඉතා සුළු බැරලෝහ ප්‍රමාණය ඉවත් කිරීමට තවදුරටත් කාලයක්‌ පර්යේෂණ කළ යුතුයි. එය ඉතාම සුළු ප්‍රමාණයක්‌ නිසා ගණන්ගත යුතු තත්ත්වයක නැහැ. නමුත් පානීය ජලය තුළ 15% ක්‌ තරමට බැරලෝහ පවත්නා නිසා ඒවා පහසුවෙන් ඉවත් කිරීමට මෙම සරල දිය පෙරණය පර්යේෂණ ආශ්‍රිතව නිපදවූ බවත්, ඒවා නිපදවා ගැනීමට ජනතාවට මාධ්‍ය හා වැඩමුළු මාර්ගයෙන් ඉදිරියේදී පැහැදිලි කරන බවත් විද්‍යාපති සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

ජනතාව වෙනුවෙන් මෙම පර්යේෂණය දිගු කලක්‌ කරගෙන යැම සඳහා මූල්‍ය ආධාර හා අවශ්‍ය සම්පත් සපයාදුන් පේරාදෙණිය කෘෂිකර්ම පශ්චාත් උපාධි විද්‍යායතනයට කෘතවේදී වන බව විද්‍යාපති සෙනෙවිරත්න මහතා සඳහන් කළේය. තවදුරටත් මේ පිළිබඳව උනන්දුවන අයට අංක 0718-378485 දුරකථනය ඇමැතීමෙන් විස්‌තර දැනගත හැකිය.

එප්පාවල - රත්න බී. ඒකනායක

Monday, August 5, 2013

රතුපස්වල ජනතා උද්ඝෝශණයට එල්ල කල ම්ලේච්ච හමුදා ප්‍රහාරයට එරෙහිව පේරාදෙණිය සිසුන් උද්ඝෝශණයක

රතුපස් වල ජනතා උද්ඝෝෂණයට රජයේ හමුදාව විසින් එල්ල කල මිලේච්ච ප්‍රහාරයට එරෙහිව විරෝධතාවක් අද දින ගලහ හන්දියේදී පේරාදෙණිය සරසවි සිසුන් සන්විධානය කර තිබුනි. 

පිරිසිදු පානීය ජලයේ හිම්කම වෙනුවෙන් සටන් කල ජනතාවට එම අයිතිය ලබා දෙනවා වෙනුවට වෙඩි තබා මිනිස් ජීවිත බිලි ගනුමින්, පීඩිත ජනයාගේ සියළු අයිතිවසිකම් වලට පයින් ගසා  මහා පරිමාණ සමාගමක ලාබය අරක්ෂා කරමින් ගෙනගිය ආණ්ඩුවේ කෘර ප්‍රතිපත්තිය   තරයේ   හෙලා දකිමින් සිසුන් විරොධතාවයේ නිරත විය.


Thursday, July 25, 2013

සත්‍යය වළ දමා සැගවිය නොහැකි බව




මාතලේ උකුවෙල ප‍්‍රදේශයේ විසූ නිශාන්ත රෝහණ සහ සුසන්ත ජානක සොයුරන් මාතලේ විජය විද්‍යාලයත්,විද්‍යා විද්‍යාලයත් බැබළවූ කීර්තිමත් ශිෂ්‍යයින් දෙදෙනකි. දෙදෙනාම උසස් පෙළ හදාළේ ගණිත විෂය ධාරාවෙනි. පාසැල් විවාද කණ්ඩායමෙන් උරුම කර ගත් චතුර කථිකත්‍වයෙන් හා ශිෂ්‍ය භට කණ්ඩායමෙන් ලබා ගත් පෞරුෂත්වයෙන් ඔවුහු පොහොසත් වූහ.

හුදෙක් පාසලේ ඉගෙනුමට පමණක් සීමා නොවී මව්බිමේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් උදෙසා ඔවුහු තම කාලය, ශ‍්‍රමය යෙදවූහ. එවකට ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් පෞද්ගලික දේපලක් කර ගැනීමට උත්සාහ කල අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් සුසන්ත සහ ජානක සහෝදරවරු අසීමිත කැප කිරීමක් සිදු කලහ. විශේෂයෙන්ම නිදහසේ ගලා ආ කවි සිතුවිලි මෙන්ම තෙළිතුඩ පහරින්ද ඔවුන් පෙන්වූයේ ස්වකීය විප්ලවීය චින්තනයේ ප‍්‍රබලකමයි. රාජ්‍ය ත‍්‍රස්තවාදය හමුවේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ද්විතියීක අංශයේ පෙරමුණට පණ පෙවූ ඔවුහු අනාගත ශිෂ්‍ය ප‍්‍රජාවට පමණක් නොව සමස්ත ලාංකේය ශිෂ්‍ය ප‍්‍රජාවටම තමන් හමුවේ ඇති අභියෝගයේ සංකීර්ණත්වය පෙන්නූම් කලහ.

Thursday, June 13, 2013

අධ්‍යාපනය ගණිකා වෘත්තියේ යෙදවීම.



ධනවාදී ආර්ථික ක්‍රමය තුල දයලෙක්තිකව පැන නගින උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රාග්ධනය රිංගවීමේ ක්‍රියාවලිය, සම්බන්ධයෙන් අප විසින් දැක්වූ විවේචනාත්මක ප්‍රතිචාරයකට අපගේ මිතුරෙකු දැක්වූ ප්‍රතිචාරයේ සරල අදහස වන්නේ අධ්‍යාපනය මුදලට විකිණීමේ ක්‍රියාවලිය තුල උපාධි සහතිකය මුදල් දුන් පමණින් ලබා නොදෙන බැවින්, තවත් සරලව කිවහොත් මුදල් ගෙවුවද උපාධිය ලබාගැනීම සඳහා අධ්‍යාපනය මුදලට විකිණීමෙහි ක්‍රියාවලියෙහි යෙදෙන ආයතන වල ඊනියා ප්‍රමිතිගත(standard) විභාග සමත් විය යුතු බැවින්, අධ්‍යාපනය මුදලට විකිණීමේ වරදක් නැති බවය. තත්වය එසේ යැයි උපකල්පනය කලද අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය උදෙසා තවදුරටත් අත එසවීමෙන් වැලකී සිටීමට සිදුවන කරුණු ගණනාවක් විවෘත මනසක් සහ කුඩා හෝ බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට සංවේදනය වේ. ඒ අතර අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිවීමේ එකම නිර්ණායකය මුදල බවට ලඝු වීම ප්‍රමුඛත්වයෙහිලා සැලකිය හැකිය.

මෙම තත්වයෙහි ඇති ප්‍රතිගාමීත්වය සම්බන්ධ නිවරදි තක්සේරුකරණය අපට සුලභ වාස්තවික ආකෘතියක් ආධාරයෙන් සිදු කල හැක. ශ්‍රී ලාංකීය ජන සමාජයට අදාලව සැලකුවහොත් පුරුෂයෙකු ගැහැනියක සමග රමණයේ යෙදීමට අවස්ථාව ලබා ගැනීම සහ ගැහැණිය එම අවස්තාව ලබාදීම, ඊට අදාළ වාස්තවික තත්වයන් සැලකිල්ලකට ගනිමින් සදාචාරාත්මක ස්ථානගත කිරීමකට ලක් වේ. උදාහරණයකට මුදලට තමන් සමග රමණයේ යෙදීමට අවස්ථාව ලබාදෙන ගැහැනියක සමග රමණයේ යෙදීමට පිරිමියෙකු මුදල් ගෙවා අවස්ථාව හිමි කර ගැනීමට සමාජීයව හිමිවන සදචාරත්මක ස්ථාන ගත කිරීම සදාචාරාත්මකව ඉතා පහත තැනක් ගන්නා අතර, ප්‍රේමය වැනි ලිංගික ක්‍රියාවලියට අදාළ නිර්ණායයක් මත පදනම්ව තමන් සමග ලිංගිකව එක්වීමේ අවස්ථාව ලබාදෙන ගැහැනියක සමග ලිංගිකව එක්වීමට පිරිමියෙකු එම නිර්ණායකය තෘප්ත කරමින් අවස්ථාව හිමි කර ගැනීම (උදා:-ප්‍රේමය මත පදනම්ව විවාහ වන යුවලකගේ ප්‍රථම ලිංගික එක්වීම) මංගල කාරණයක් ලෙස සදාචාරාත්මකව ස්ථානගත වී ඇත.

පූර්වොක්තිය සහ අපරෝක්තිය අතර මෙම ස්ථානගත වීමෙහි වෙනස නිර්මාණය කෙරෙන්නේ පූර්වොක්තිය ලිංගික එක්වීමකට අදාල වන නිර්ණායක වන මානුෂීය නිර්ණායක(ප්‍රේමය, ලිංගික ආකර්ෂණය වැනි ) මත පදනම්ව ලැබිය යුතු සහ ලබාගත යුතු අවස්ථාවක් ඊට කොහෙත්ම අදාල නැති මුදල නැමැති වෙනත් අනනුකූල නිර්ණායකයක් මත පදනම්ව ලබා දීම හේතුවෙන් සහ එසේ ලබාදීම සමාජ ආරක්ෂණ යාන්ත්‍රණයට බාධා පැමිණවීම හේතු කොටගෙනය. අධ්‍යාපනය මුදලට විකිණීමේ ක්‍රියාවලිය තුල නැතිනම් අධ්‍යාපනික අවස්ථාව මුදලට ලබාදීම හා ලබා ගැනීම තුලද සිදුවන්නේ අධ්‍යාපනය ලබා දීම සහ ගැනීම සඳහා අනනුකුල නිර්ණායකයක් මත පදනම් වීම සහ ඒ හරහා දැවැන්ත ලෙස සමාජ ආරක්ෂණ යාන්ත්‍රනය බාධා පැමිණීම බැවින් එයට හිමි විය යුත්තේද මුදලට ලිංගිකව එක්වීමේ අවස්ථාව ලබාදෙන සහ ලබාගැනෙන ක්‍රියාවලිය නැතිනම් ගණිකා වෘත්තියට සමාජීයව හිමි වියයුතු තැනමය.

එබැවින් උසස් අධ්‍යාපනය ලැබීම සඳහා, ඊට අදාල ඉහල සුදුසු කම් සහිත අය, අධ්‍යාපනික අනාථභාවයකට පත් වන පසුබිමක ඊට අදාල සුදුසුකම් නැති අයට පවා, අදාල ඉහල සුදුසුකම් ඇති අය අභිබවා අධ්‍යාපනය ලැබීමේ “අවස්ථාව” ලබා දෙන මෙම අධ්‍යාපනය මුදලට විකිණීමේ ක්‍රියාවලිය “අධ්‍යාපනය ගණිකා වෘත්තියේ යෙදවීම” (අධ්‍යාපනය ස්වයංව විකුනා ගැනීම සිදු කර නොගන්නා නිසා) ලෙස සාරාංශගතව හැදින්වීම වඩා උචිත බව අපගේ හැගීමයි.

ප.ලි.

මෙම ආකෘතියෙන් පැන නගින වැදගත් ව්‍යුත්පන්නයක් වන්නේ, අධ්‍යාපනය මුදලට විකුණන නැතිනම් “අධ්‍යාපනය ගණිකා වෘත්තියේ යොදවන” ක්‍රියාවලියෙහි ගාමක බලවේග වන දේශපාලකයන් සහ ඔවුන්ගේ පාදඩ එහෙයියන් සමාජීයව ස්ථාන ගත කල යුත්තේ ස්වාර්ථය උදෙසා අසරණ ගැහැණු දරුවන්ගේ රීරි මාංශයට ලේබල් අලවන ගනිකා මඩම් හිමිකරුවන් සහ මෙහෙයවන්නන්ගේ ගේ මට්ටමින්ය යන්නයි.

පංකජ මිනුෂ ජයවික්‍රම

Sunday, June 9, 2013

ශිෂ්‍ය මර්දනයට එරෙහිව පෙළ ගැසෙන්න - දුමින්ද නාගමුව

Duminda Nagamura - FLSF
Duminda Nagamura - FLSF
අධ්‍යාපනය වෙළඳභාණ්ඩයක් බවට පත් කිරීමට විරුද්ධව ශිෂ්‍යයින් ගෙන යන අරගලය මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයන් පැරදවීමට සියලු දෙනා එක් විය යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

කැලනිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහර දීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්බන්ධ බවට උසස් අධ්‍යාපන ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා මෙසේ පැවසීය.

‘‘ශිෂ්‍යයින්ගේ අරගලයේ ප‍්‍රධාන තේමාවක් වෙලා තිබෙන්නේ, ආණ්ඩුව නව ලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණ යටතේ ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කරන අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ, එහෙමත් නැත්නම් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළට විරෝධය පළ කිරීමයි. එම විරෝධය වළක්වන්නයි ආණ්ඩුව ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්නේ.

මේ වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 11දෙනකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර තිබෙනවා. වෛද්‍ය පීඨ සිසුන් 23දෙනකුගේ පන්ති තහනම් කර තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 23දෙනකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කර තිබෙනවා. මේ ආකාරයට සෑම විශ්වවිද්‍යාලයකම ශිෂ්‍ය ක‍්‍රියාකාරීන්ගේ එක්කෝ ශිෂ්‍යභාවය අහෝසි කර තිබෙනවා, එහෙමත් නැත්නම් පන්ති තහනම් කර තිබෙනවා. මේ මර්දනය දියත් වන්නේ ශිෂ්‍ය ක‍්‍රියාකාරකම් මර්දනය කිරීම ඉලක්ක කර ගෙන.

පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහර දීමත් මෙම මර්දනයේම කොටසක් විදියටයි අපි දකින්නේ. මේ පහර දීමට ආයුධ සන්නද්ධ පිරිසක් සහභාගි වුණා කියලා දැන් තොරතුරු ලැබිලා තිබෙනවා. මේ පහර දීම කළේ ආණ්ඩුවේ අනුදැනුම මත නොවේ නම්, මේ වන විටත් පරීක්ෂණ කරලා, වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්න පොලිසිය කටයුතු කර හමාරයි. කැලණිය සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් එවැනි පරීක්ෂණයක් සිදු නොවීමෙන් පෙනෙන්නේ ඊට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට හෝ ඔවුන් නීතිය හමුවට කැඳවීමට ආණ්ඩුවට වුවමනාවක් නැති බවයි. එහෙමත් නැත්නම් ආණ්ඩුවට අවශ්‍ය ඒ මැරයින් ආරක්ෂා කිරීම බවයි.

ශිෂ්‍යයින්ගේ හා ආචාර්යවරුන්ගේ විරෝධතා නිසා ලංකාවේ අධ්‍යාපනයේ තිබෙන අර්බුදය පිළිබඳව සමාජ සංවාදයක් ගොඩනැඟෙමින් තිබෙනවා. ආණ්ඩුවට දැන් අවශ්‍ය වී තිබෙන්නේ ඒ සංවාදය කෙරෙහි වන සමාජ අවධානය වෙනතකට යොමු කරන්න. ඒ සඳහා තමයි ආණ්ඩුව මෙවැනි සිදුවීම්වල වගකීම විවිධ දේශපාලන පක්ෂ පිට පටවන්න උත්සාහ කරන්නේ.

අධ්‍යාපන පෞද්ගලීකරණය ඇතුළු අධ්‍යාපනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප‍්‍රතිප්තියට එරෙහිව ශිෂ්‍යයින් ගෙන යන අරගලයේ අරමුණ යුක්තිසහගතයි, සාධාරණයි කියා අපි පිළිගන්නවා. ඒ වගේම ශිෂ්‍ය මර්දනයට එරෙහිවත් අපි පෙනී ඉන්නවා. ශිෂ්‍ය ව්‍යාපාරය මේ අරගලය කරන්නේ ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නිසා මේ අරගලය ආරක්ෂා කරන්න කියා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම අපි ශිෂ්‍ය ව්‍යාපාරයෙනුත් ඉල්ලා සිටින්නේ, අධ්‍යාපන අර්බුදය කියන්නේ නව ලිබරල් ධනවාදයේ එක් ප‍්‍රකශනයක්, අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ගෙන යන අරගලය නව ලිබරල් ධනවාදයට එරෙහි අරගලයක් දක්වා පුළුල් කරන්න. වැඩ කරන ජනතාවට ශිෂ්‍ය අරගලය වෙනුවෙනුත්, ශිෂ්‍යයින්ට වැඩ කරන ජනතාවගේ අරගලය වෙනුවෙනුත් පෙනී ඉන්න පුළුවන් එවිටයි.

වියුක්ත සටන් පාඨ සමගින් කරන සටන් රාජ්‍ය මර්දනය ඉදිරියේ අර්බුදයට යන්න පුළුවන්. පවතින දේශපාලන තත්වය විග‍්‍රහ කර ගෙන සටන් පාඨ පුළුල් කර ගනිමින් පුළුල් සමාජ බලවේගයක් සමග අරගලය පෙරට ගන්න කියා අපි ශිෂ්‍ය ව්‍යාපාරයෙනුත් ඉල්ලා සිටිනවා.’’