Monday, May 26, 2014

පාසල් විදුලි බිලත් දෙමාපියන් මතට

පරීක්ෂණාගාර, යන්ත්‍රසූත්‍ර, පරිගණක ආදී සම්පත් බහුල සියලු පාසල්වල විදුලි බිල්පත් ගෙවීමේ හැකියාවක් රජයට නොමැති බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.
ඒ විපක්ෂ මන්ත්‍රීවරුයෙකුගේ පැනයකට පිළිතුරක් ලබාදෙමිනී.
එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ 2012 වසරේ විදුලි බිල රුපියල් හතලිස් තුන් ලක්ෂ අසූ දෙදහස් හත්සිය දහඅටක් (රු. 43,82,718) වූ අතර කොළඹ රාජකීය විදුහලේ විදුලි බිල රුපියල් හතලිස් එක් ලක්ෂ හැට හතරදහස් හයසිය හතරක් (රු. 41,64,604) වූ බවයි.
මලියදේව විදුහලේ විදුලි බිල ගෙවීමට රජය රුපියල් දොලොස් ලක්ෂ එක්සදහස් පන්සියයක් (රු. 12,01,500) ලබාදුන් බවත්, රාජකීය විදුහලට දුන්නේ රුපියල් එක්ලක්ෂ හතලිස් හතර දාහක් (රු. 1,44,000) පමණක් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් ඇත.
සමහර පාසල්හි තිබෙන භෞතික සම්පත් හා ශිෂ්‍ය සංඛ්‍යාව අනුව ඉතා විශාල විදුලි බිලක් ගෙවීමට සිදුවී ඇතැයිද එවැනි පාසල්වල රජයෙන් යම් ප්‍රමාණයක මුදලක් ලබා දුන්නද ඉතිරි මුදල පරිත්‍යාගශීලීන්ගෙන් හා දානපතියන්ගෙන් ලැබෙන්නේ යැයිද ඇමැතිවරයා පවසා තිබේ. පසාලක විදුලි බිල හෝ ගෙවාදැමීමට පවා නොහැකිවීමේ තත්වයකට වත්මන් ආණ්ඩුව මේ වනවිට මුහුණදී ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.
අධ්‍යාපනය වෙනුවෙන් අයවැයෙන් 6%ක් වෙන්කරන්‍නැයි රට තුළ උද්ඝෝෂණයක්ද මතුව ඇති අතර සාමාන්‍යයෙන් ඇමතිවරයෙකුගේ ලක්ෂයකට වැඩි විදුලි බිලක් ගෙවන්නේ රජය මගිනි.

Monday, May 19, 2014

කොටුව උසාවියෙන් පොලිසියට දොස්

උසාවි නියෝග කඩ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී පොලිසියේ රාජකාරියට බාධා කළැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ විශ්ව විද්‍යාල සිසුහු නව දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් රුපියල් ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබූහ.

තවත් සිසුන් හතර දෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය අධිකරණයට දැන්වීය.

විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා දැන්වූයේ පොලිසිය සිසුන්ට පහර දී ඇති බවයි. ඉතිරි සිසුන් සිව් දෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද නීතීඥවරයා කීවේය.

තමන් අවම බලය භාවිත කළ බව පොලිසිය මහේස්ත්‍රාත්ට කීවේය.

මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පැවසුවේ අවම බලය යනු ඇස් එළියට පනින තුරු පහර දීම නොවන බවයි. විශ්ව විද්‍යාල සිසුන් වැනි තරුණ පිරිසක් සමග කටයුතු කිරීමේ දී පොලිසිය ඔවුන්ගේ හැඟීම් තේරුම් ගෙන කටයුතු කළ යුතු බව ද මහේස්ත්‍රාත් කීවේය.

මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් හතර දෙනා බැලීමට යෑමට නියමිතය.

රිමාන්ඩ් කළ සරසවි සිසුන් කොහිද? සරසවි ඇදුරන් ප‍්‍රශ්න කරයි

උද්ඝෝෂණයකදී ඉකුත්දා අත්අඩංගුවට ගැනුනු සරසවි සිසුන් 17 දෙනා දැන් රඳවා සිටින්නේ කොහේදැයි සැබෑ තොරතුරු හෙළිකරන ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා. දැනට ප‍්‍රකාශ වී තිබෙන්නේ ඔවුන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බවයි. එහෙත් සිය නියෝජිත පිරිසක් සිසුන් බැලීම සඳහා ඊයේ එම බන්ධනාගාරයට ගිය අවස්ථාවේ ඔවුන්ට එ් සඳහා අවසර හිමි නොවූ බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය වැඩිදුරටත් කියා සිටියා එහි සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසුවේ සිසුන් රඳවා සිටින ස්ථානය සම්බන්ධයෙන්ද එහිදී පරස්පර අදහස් ඉදිරිපත් වූ බවයි. 

එසේම ඊයේ ඉරිදා දිනයක් හේතුවෙන් විශේෂ අවසරයක් ලබා ගැනීමට නොහැකි වූ බවත් රැගෙන ගිය ආහාර ද්‍රව්‍යද රැගෙන යළි ඒමට සිදු වූ බවත් චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසනවා. බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී එහිදී පැවසූ කරුණු හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු සිසුන් බන්ධනාගාරය තුළ සිටිනවාද යන්න පිළිබඳ ගැටලූ සහිත තත්ත්වයක් පැනනැගුණු බවයි. ඒ පිළිබඳ සොයා බැලීමේදී ඇතමෙකු පැවසුවේ ශිෂ්‍යන් කිහිප දෙනෙක් රෝහල් කර ප‍්‍රතිකාර ලබන බවත් අනෙක් පිරිස බන්ධනාගාරයේ රඳවා ඇති බවත්ය. එහෙත් ඒ පිළිබඳ අදාළ පාර්ශ්වයන්ගෙන් විමසා බැලීමේදී අනාවරණ වී තිබෙන්නේ ඔවුන් සියල්ල බන්ධනාගාර රෝහලේ බවයි.

නීතිමය අවශ්‍යතාවක් සඳහා නීත්‍යානුකූලව අත්අඩංගුවට ගත් බව කියන සිසුන් පිරිසක් මෙලෙස රෝහල් ගත කර සිටීමට විමතියට කරුණක් බවද ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා මෙහිදී කියා සිටියා.

ශිෂ්‍යයෙක් යම් කිසි නීති කැඞීමක් සම්බන්ධයෙන්, නීතිමය අවශ්‍යතාවයකට අත්අඩංගුවට පත් වුණා නම් කෙසේද ඔවුන් බන්ධනාගාර රෝහලේ සිටින්නේ? ඒ කියන්නේ රෝහල් ගත වීම සඳහා අත්අඩංගුවට ගන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳ අපි විමසිල්ලෙන් ඉන්නවා. සැබෑ ප‍්‍රශ්න තියෙනවා. ඒවා විසඳීමට කටයුතු කිරීම මිස මෙවැනි දේවල් නෙවෙයි සිදු විය යුත්තේ. 

මේ අතර අදාළ සිසුන්ට තුවාල සිදු වූයේ ඔවුන් අත්අඩංගුවට ගැනීමේදී පොලීසිය අවම බලය භාවිත කිරීම නිසා බව පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියා. පොලීසියේ රාජකාරීවලට බාධා කරමින් සිසුන් කලහකාරී ලෙස හැසිරීම නිසා එලෙස අවම බලය භාවිත කිරීමට සිදු වූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පොලීසියට සාපරාධී බලහත්කාරය පාලා ස්ථානාධිපතිවරයාට පහරදෙන්නට එන කොට, අත්අඩංගුවට ගැනීමට ඉන්න පුද්ගලයා අත්අඩංගුවට ගන්න දෙන්නේ නැතිව, අපි ඔක්කොම අත්අඩංගුවට ගන්න නැත්නම් අපි දෙන්නේ නෑ කියලා පොලීසියට බලහත්කාරය පාන කොට ඒ අවස්ථාවේදී යම් ආකාරයකට බලය පාවිච්චි කිරීමක් පොලීසිය සිදු කළා. ඒක අපි පිළිගන්නවා. මේ අතර එක පුද්ගලයකු පස්සේ අඳුනගෙන බස් රථයක ගොඩවෙලා එන කොට කොම්පඤ්ඤවීදියේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී කොම්පඤ්ඤවීදිය පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ නිල ඇඳුමෙන් ඇදලා පහරදීලා විවිධ ප‍්‍රශ්න ඇති කළා. ඉතින් එහෙමනම් පොලීසියට සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පහර දෙනවා නම් පොලීසියට ආපසු හැරලා එන්නද කියන්නේ. එහෙම නම් ඉතින් මේ රටේ නීතියක් කි‍්‍රයාත්මක වෙන්නේ නැහැනේ. 

කෙසේ වෙතත් අදාළ අවස්ථාවේ පොලීසිය කි‍්‍රයා කළ ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේදී මානව හිමිකම් චෝදනා ගොනු කරන බව අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය පවසනවා.