Monday, April 29, 2013

විදෙස් සිසුන් ගෙන්වා ගැනීමට පෙර අපේ රටේ සිසුන්ට සරසවි වරම් ලබා දෙනු - SSU

අප රටේ ශිෂ්‍යයන්ට අවස්ථාව අහිමි කර විදෙස් සිසුන්ට රටේ අධ්‍යාපනය විකිණීමේ ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ගයට සමාජවාදී ශිෂ්‍ය සංගමය සිය දැඩි විරෝධය පලකර සිටින බවත් සිය පුරාජේරුව වෙනුවෙන් එස්.බී. දිසානායක ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව සිදුකරන මෙම නින්දිත කටයුත්ත වහාම නතරකර එම මුදල් රාජ්‍ය විශ්වවිද්‍යාල සංවර්ධනයට යොදවා, අපේ රටේ සිසුන් වැඩි ප‍්‍රමාණයක් බඳවා ගැනීමට කටයුතු කරන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටින බවත් සඳහන් කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම ශිෂ්‍ය සංමයේ ජාතික සංවවිධා‍යක නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන්වේ.

"මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා පැමිණෙන විදෙස් සිසුන්ට නොමිලේ ගුවන් ටිකට් පත් හා ශිෂ්‍යත්ව ඇතුළු වරප‍්‍රසාද රැසක් ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ සඳහා හඳුනාගත් රටවල් 48ක ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව 100ක් ලබාදීමට 2011 වසරේ කටයුතු කල ද පැමිණ ඇත්තේ පකිස්ථානය, පලස්තීනය හා කෙන්යාව යන රටවලින් සිසුන් 05 දෙනෙකු පමණි.

අපේ රටේ විශ්වවිද්‍යාල සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් සිසුන් විසින් තෝරා ගනු ලබයි නම් එය ඉදිරිගාමී පියවරකි. එමගින් පෙන්නුම් කරන්නේ අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය එවැනි තෝරා ගැනීමක් සඳහා ගුණාත්මකව සංවර්ධනය වී ඇති බවයි. එය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලදී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඉහළ ලකුණු හිමිවීමට හේතු වනු ඇත.

එහෙත් ආණ්ඩුව මේ කරමින් සිටින්නේ එවැනි කටයුත්තක් නොවේ. මහින්ද චින්තනයට අනුව ආණ්ඩුව පාරම් බෑවේ ලංකාව ආසියාවේ පංච බල කේන්ද්‍රය කරනා බවය. එනම් නාවික, ගුවන්, බලශක්ති, දැනුම, තොරතුරු තාක්‍ෂණය යන ක්ෂේත‍්‍රවල මහා පෙරලියක් සිදුකරනා බවයි. ලංකාව දැනුමේ කේන්‍ද්‍රස්ථානය බවට පත් කර චීනය, ඉන්දියාව වැනි රටවල සිසුන්ගෙන් මෙරට විශ්ව විද්‍යාල පුරවන බවය. එහෙත් නාවික කේන්‍ද්‍රයට ඉදිකල වරායට නැව් නොඑනා සේ, ගුවන් කේන්ද්‍රයට ඉදිකල ගුවන් තොටුපලට ගුවන් යානා නොඑනා සේ , බලශක්ති කේන්ද්‍රයට ඉදිකල විදුලි බලාගාර හැමදාම අක‍්‍රීය වී ඇතිවා සේ, දැනුමේ කේන්ද්‍රයටද විදෙස් සිසුන් පැමිණියේ නැත. දැන් ආණ්ඩුව සිදු කිරීමට උත්සාහ කරන්නේ ගුවන් ටිකට්පත්, වීසා,ශිෂ්‍යත්ව වැනි අල්ලස් ලබාදී කවර හෝ විදෙස් සිසුවකුගෙන් විශ්වවිද්‍යාල පිරවීමටය. ලංකාවේ විශ්වවිද්‍යාල වලට විදෙස් සිසුන් ගෙන්වා ගැනීම යනු හික්කඩුව හෝ ගල්කිස්ස මුහුදු වෙරළෙන් අහුලා ගන්න සුද්දන් විශ්වවිද්‍යාලවල වාඩි කරවීම නොවන බව ආණ්ඩුව තේරුම් ගත යුතුය.

අනෙක ආණ්ඩුව ශිෂ්‍යත්ව ලබාදීම හරහා සුදුසුකම් නැති විදෙස් සිසුන්ගෙන් අපේ රටේ විශ්වවිද්‍යාල පිරවීමට උත්සාහ දරන විට අ.පො.ස. උසස් පෙල "A" සමාර්ථ 3ක් ලබාගත් දහස් ගණනක් අපේ රටේ සිසුන්ට විශ්වවිද්‍යාලයක පස් පෑගීමට පවා වරම් අහිමි කර ඇත. වාණිජ විෂය ධාරාවෙන් "A" 3 ලබාගත් 3500ක් පමණද ගණිත විෂය ධාරාවෙන් පැරණි විෂය නිර්දේශයට පෙනී සිට "A" 3 ලබාගත් සිසුන් සිය ගණනකටද කළමනාකරණ හො ඉංජිනේරු පීඨ නොව විශ්වවිද්‍යාල ප‍්‍රවේශය පවා අහිමි වී ඇත. මෙවැනි අවස්ථාවක ජනතාවාදී, දේශපේ‍්‍රමී යයි කියාගන්නා ආණ්ඩුවක වගකීම එම දේශීය සිසුන් සියළු දෙනාට සරසවි වරම් හිමි කර දීමද? නැත්නම් ශිෂ්‍යත්ව ඇතුළු අල්ලස් ලබා දී කෙන්යාවෙන්,නයිජීරියාවෙන් ගෙන්වා ගන්නා විදෙස් සිසුන්ගෙන් අපේ රටේ විශ්වවිද්‍යාල පිරවීමද?.

අප රටේ ශිෂ්‍යයන්ට අවස්ථාව අහිමි කර විදෙස් සිසුන්ට රටේ අධ්‍යාපනය විකිණීමේ ආණ්ඩුවේ මෙම ක‍්‍රියාමාර්ගයට සමාජවාදී ශිෂ්‍ය සංගමය සිය දැඩි විරෝධය පලකර සිටී. සිය පුරාජේරුව වෙනුවෙන් එස්.බී. දිසානායක ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව සිදුකරන මෙම නින්දිත කටයුත්ත වහාම නතරකර එම මුදල් රාජ්‍ය විශ්වවිද්‍යාල සංවර්ධනයට යොදවා, අපේ රටේ සිසුන් වැඩි ප‍්‍රමාණයක් බඳවා ගැනීමට කටයුතු කරන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු."

Saturday, April 27, 2013

හොරකම් කරපු මුදලින්, හොර තිප්පලකට දාන දෙනවා වගේ වැඩක් - වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව

‘‘ආණ්ඩුව මාලඹේ උපාධි කඩය පවත්වගෙන යන්න පුළුවන් උපරිම මැදිහත්වීම කරමින් ඉන්නවා. ඒ පිළිබඳව ජනතාව තුළ යහපත් චිත‍්‍රයක් හදන්න නිරුවතින් රඟන තත්වයකට දැන් පත්වෙලා. ජනාධිපතිවරයාගේ සිට එක පෙළට පහළට සියළු දෙනා දැන් මේ රංගනයට සහභාගී වෙලා. අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තව දුරටත් පැවතිය යුතුයි කියලා හිතන සියළු දෙනා මේ තත්වය පරාජය කරන්න පෙරට ආ යුතුයි කියලා අපි ඉල්ලා සිටිනවා.’’

වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා මෙම අදහස් ප‍්‍රකාශ කළේ පසුගිය 25 වන බ‍්‍රහස්පතින්දා මරදාන CSR ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ සහෝදරයා...

වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව විදිහට මෙහෙම මාධ්‍ය හමුවක් සූදානම් කරන්න ආසන්න හේතූන් දෙකක් තියනවා. පළමුවැන්න තමයි පසුගියදා ජනාධිපතිවරයා අතින්, ජනාධිපති අරමුදලෙන් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශිෂ්‍යයන් දස දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දීම. අනෙක් කාරණාව තමයි අගමැතිවරයා ඇතුළු පිරිස විසින් එම ආයතනයට අනුබද්ධ ශික්ෂණ රෝහලක් විවෘත කිරීම. පසුගිය අපේ‍්‍රල් මාසයේ මුල් සතියේ මේ සිද්ධීන් දෙකම සිද්ධවුනේ දැවැන්ත මාධ්‍ය සංදර්ශන සහිතව. බලා හිටපු ජනතාවට ‘‘මේක නම් මාරයි’’ කියලා හිතෙන තරමට ආණ්ඩුව මේ සඳහා මැදිහත් වෙලා තිබුණා. අපි අද මාධ්‍ය හමුව පවත්වන්නේ ඒ කියන විදිහට මේක මාර නෑ, මේක සමස්ත සමාජයක අනාගතයට මරු කැඳවනවා කියන යථාර්තය පැහැදිලි කරන්න.

2008 වසරේ ඉදිකරපු මාලඹේ SAITM ආයතනයට ආණ්ඩුවේ සෘජු අනුග‍්‍රහය ලැබෙන්න පටන් ගත්තේ 2010 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වත්මන් ආණ්ඩුව පත්වුනායින් පස්සේ. උසස් අධ්‍යාපන ඇමති කමට එස්.බී. මහත්තයා පත්වීමෙන්ම ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය පැහැදිලි වෙනවා. ඔවුන් තමන්ගේ උසස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය අධ්‍යාපන පෞද්ගලීකරණයයි, පෞද්ගලික විශ්ව විද්‍යාල ඉදිකිරීමයි කියන එක ඉතිහාසයේ පළමු වතාවට නිළ වශයෙන් පිළිගත්තා, ඒ අනුව කටයුතු කිරීම ඇරඹුවා. ඒ අනුව තමයි 2011 සැප්තැම්බර් මාසයේ ඉදිරිපත් කළ විශේෂ ගැසට් පත‍්‍රයක් මඟින් මාලඹේ ඒ උපාධි විකුණන ආයතනයට රෝහලක් ඉදිකරගන්නය කියලා රුපියල් මිලියන 600 ක මුදලක් ලබා දෙන්නේ. එහෙම කරන්නේ අවසන් වසර නිමකරන්න අවශ්‍ය පහසුකම් නැතිව, ඒවාට අවශ්‍ය ප‍්‍රතිපාදන වෙන් කරන්නේ නැතිව රජරට වෛද්‍ය පීඨයේ ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ ජීවිත අවුරුද්දකට අධික කාලයකින් පසුපසට ගියපු යථාර්තයක් ඇතුළේ. අනෙක් විශ්ව විද්‍යාලවල තත්වයත් මේකම තමයි.

ශිෂ්‍යයන්ගේ උසස් අධ්‍යාපනය ගැන ඒ ආකාරයේ දැක්මකින් ඉන්න ආණ්ඩුව තමයි ශිෂ්‍යයන් 10 දෙනෙකුට සරසවි වරම් දෙන්න මේ තරම් දඟලන්නේ. ඒකත් දැවැන්ත මාධ්‍ය සංදර්ශනයක් එක්ක. මුලින්ම කැබිනට් ප‍්‍රකාශක මාධ්‍යයට කියනවා උසස්පෙළ ඉහළින් සමත්වෙලා සරසවි අවස්තා නොලැබුණු සිසුන් ගැන ජනාධිපතිවරයට හුඟක් දුක හිතිලය වගේ කතාවක්. ඊට පස්සේ ජනාධිපතිවරයම රැස්වීම කිහිපයක කියනවා මොනවා හරි කරන්න ඕන මේකට, මාර ප‍්‍රශ්නයක්, ශිෂ්‍යයෝ ගොඩක් ඉහළින් උසස්පෙළ සමත් වෙලා සරසවි අවස්තා නොලැබී ඉන්නවා කියලා. ඊට පස්සේ තමයි විසඳුම විදියට මාලඹේ උපාධි විකුණන ආයතනයට ශිෂ්‍යත්ව 10 ක් ලබා දෙන්නේ මාධ්‍ය එහෙම කැඳවලා. අපි අහනවා දැන් හරිද කියලා. දැන් මේ හදන්නේ ජනතාවගේ අධ්‍යාපනය විනාශ කරන මෙවැනි උපාධිකඩ වලට ඒවායේ යථාර්තය වහලා, පුණ්‍යායතන වගේ ප‍්‍රතිරූපයක් හදන්න.

අනෙක තමයි ශික්ෂණ රෝහලක් විවෘත කිරීම. ඔවුන් කියනවා මෙය ඇඳන් 1001ක් සහිතව ලංකාවේ මෙතුවක් කාලයකට ඉදිකරපු විශාලතම ශික්ෂණ රෝහලයි කියලා. අගමැතිවරයා තමයි ඒක විවෘත කරන්න සහභාගී වෙන්නේ. අපිට ඒ සම්බන්දව පැහැදිලි කිරීමක් තියනවා. අනෙක් කාරණා සියල්ලම නොසලකා හැරියත් අපි දන්නවා ලංකාව ඇතුළේ පෞද්ගලික රෝහලකින් අධ්‍යාපනය දීලා වෛද්‍යවරයෙක් බිහිකරනවා කියන එක යථාර්තයක් නෙමෙයි. මොකද ඇඳන් තිබුණට ඇඳන් වලට බෑ වෛද්‍යවරු හදන්න.

අපි තේරුම් ගත යුතුයි ඇයි මෙහෙම වෙන්නේ කියන කාරණාව. උසස් අධ්‍යාපනය මුළුමනින්ම අඩපණ කරලා ඒ නිසා අර්බුදයක් මතුවෙනකොට, ඒ අර්බුදය විකුණන් කෑමක් තමයි මේ සිදුකරන්නේ. ජනාධිපතිවරයා ජනතාවගේ මුදල්වලින් ගෙවලා මාලඹේට ශිෂ්‍යයන් 10 දෙනෙක් යවනවා. මේක නිකන් හොරකම් කරලා දාන දෙනවා වගේ වැඩක්.

ජනතාවගෙන් අපි ඉල්ලන්නේ මේ දේවල්වල සැබෑව තේරුම් ගන්න කියලා. එහෙම නැතුව ජනාධිපති ඇතුළු නඩය කරන මේ මාධ්‍ය සංදර්ශන වලින් ඇස් නිලංකාර කරගත්තොත් අනිවාර්යෙන්ම ඒ අතරේ පිටිපස්සෙන් ඇවිත් පොල්ලකින් ගහනවා ජනතාවගේ ඔලූවටම. ඒක තමයි ඇත්ත.

අපි තව උදාහරණයක් කියන්නම්. අපි දිගටම අරගල කළා වෛද්‍ය අධ්‍යාපනය නංවන්න නම්, පෞද්ගලික විශ්ව විද්‍යාල හකුළා ගන්නා ලෙසත්, ඒ වගේම රජයේ වෛද්‍ය පීඨ පුළුල් කරන්න සහ වෛද්‍ය පීඨ නැති විශ්ව විද්‍යාලවල අලූතෙන් වෛද්‍ය පීඨ ඇති කරන්න කියලා. සබරගමුව විශ්ව විද්‍යාලයේ ප‍්‍රධාන සැලැස්මේ සඳහන් වෙනවා 2010 වසර වෙද්දි වෛද්‍ය පීඨයක් ඉදිකරලා පළමු කණ්ඩායම බඳවාගන්න. ඒ සඳහා රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් වශයෙන් නම් කරලා තියෙන්නේ. වෛද්‍ය පීඨය ඉදිකිරීමට ඒ ආසන්නයේ ඉඩම් පවා වෙන්කරලා තියෙන්නේ. නමුත් එවැන්නක් සිදුකරන්නේ නෑ. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට පොඩි හරි අවශ්‍යතාවයක් තියනවනම් උසස්පෙළ ඉහළින් සමත් වුණු කාටත් සරසවි අවස්තා ලබා දෙන්න කළ හැකි, කළ යුතු දේවල් ඕන තරම් තියනවා. සබරගමුව වෛද්‍ය පීඨය ගොඩනැඟුවා නම් 10 දෙනෙකුට නෙමෙයි, තවත් සිසුන් 200කට ඉගෙනගන්න අවස්තාව ලැබෙනවා. අපි මේ රටේ සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මේ කරන බොරුව තේරුම් ගන්න කියලා.

මේ කරන්න හදන්නේ මේ රටේ පවතින අධ්‍යාපන ක‍්‍රමය අංශක 180 කින් හරවන්න. ඒකට මුදල් දෙනවා, සහතික දෙනවා, මාධ්‍ය අනුග‍්‍රහය දක්වනවා විතරක් නෙමෙයි මේ ජාතියේ නාට්‍ය පෙන්වන්න පවා ජනාධිපතිගේ සිට පහළට ආණ්ඩුව එක පෙළට සූදානම් වෙලා ඉන්නේ. අපිට මේක තවත් එක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නෙමෙයි. ආණ්ඩුව අධ්‍යාපන ක‍්‍රමයම පෞද්ගලීකරණය කරන්න, අධ්‍යාපනයත් තවත් එක වෙළඳ භාණ්ඩයක් බවට පත් කරන්න යන ගමනේ, යන පෙරහැරේ ඉදිරියෙන්ම ගෙනියන කරඩුව තමයි මාලඹේ උපාධි කඩය. මේ කරඩුව බිම දාලා මේ පෙරහැර නැවැත්තුවේ නැත්නම් මේක හෙට දවසේ විකසිත වෙන්න බලාගෙන ඉන්න උපන් නූපන් දරු පරම්පරාවක හිස් මතින් ගමන් කරනවා. කුමන අසීරු තත්වයක් යටතේ වුනත් අපි ඒක යථාර්තය කියලා බාරගන්නේ නෑ. මේ සමාජය තුළ, මේ සමාජ ක‍්‍රමය තුළ අපේ ජීවිත වල හැම අස්සක් මුල්ලක්ම තීරණය කරන්නේ මුදල්, ආර්ථික සාධක මත. අපි කන්නේ බොන්නේ මොනවද, එහෙමත් නැත්නම් බඩගින්නේ ඉන්නවද, අපි අඳින්නේ මොන වගේ ඇඳුමක්ද, අපි ගමනක් බිමනක් යන්නේ පයින්ද පාරේ බස් එකේද එහෙමත් නැත්නම් කාර් එකකද කියන තැන ඉඳන් උපත, විවාහය, මරණය මේ හැම දෙයක්ම තීරණය කරන්නේ අතේ තියන මුදල, ආර්ථික සාධක මත. නමුත් කවුරු හරි දරුවෙක්ට ඉගෙනගන්න ආසාව, උනන්දුව, කැපවීම තියනවා නම් ආර්ථික සාධක නොසලකා පළමු වසරේ සිට උපාධිය දක්වා අධ්‍යාපනය ලබන්න හැකියාවක් මෙතෙක් තිබුණා නිදහස් අධ්‍යාපන ක‍්‍රමය පැවති නිසා. මේ නැති කරන්නේ අන්න ඒ අවසන් දේ.

අපි ජනතාවට ආරාධනා කරනවා මේ අරගලයත් එක්ක ඒකාබද්ධ වෙන්න කියලා. මේක අද දවසේ කුමන අසීරුතා මධ්‍යයේ හරි ජයග‍්‍රහණය කරා අරන් නොගියොත් විනාශ වෙන්නේ සමස්ත සමාජයක අනාගතය. අපි ඉදිරි සති 02 තුළ වෛද්‍ය පීඨ තුළ වැඩමුළු පවත්වමින් ආණ්ඩුවේ මෙම ප‍්‍රවේශය ගැන පුළුල් සාකච්ඡාවක් ගන්නවා. ඊට ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ තීරණයකට එනවා. ඉන් පස්සේ දැවැන්ත උද්ඝෝෂණ ආරම්භ කරන්න අපි සූදානම්. අපි ජනතාවගෙන් ඉල්ලනවා අපිට සහයෝගය දක්වන්න, මේ අරගලයත් එක්ක එකතු වෙන්න කියලා.

Monday, April 22, 2013

නිදහස්‌ අධ්‍යාපනය සුරකින රාජ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාව

නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තිය යනු පළල් වූත්, දුර දැක්‌මකින් යුක්‌ත වූත්, අධ්‍යාපන, ආර්ථික, සමාජයීය ආදී සමස්‌ත ක්‍ෂේත්‍රයන් ආවරණය වූ දැවැන්ත ප්‍රතිපත්තිමය ඓතිහාසික හැරවුම් ලක්‍ෂයකි. එවකට පැවැති අධ්‍යාපන, සමාජ, ආර්ථික පසුබිම අනුවත්, රටේ අනාගත ගමන් මඟ පිළිබඳවත් අධ්‍යයනයකින් අනතුරුව ඉදිරිපත් කරන ලද නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තිය අධ්‍යාපනයේ බොහෝ ගැටලුවලට, ප්‍රශ්නවලට විසඳුම් සහිත ප්‍රායෝගික යෝජනා මාලාවක්‌ විය. අතීතයේ පැවැති තත්ත්වය එසේ වුවද, නිදහස්‌ අධ්‍යාපනයේ වර්තමාන තත්ත්වය හා අනාගත අභියෝග සම්බන්ධයෙන් ශාස්‌ත්‍රීය වූත්, කාලීන වූත්, සංගායනාවක්‌, කතිකාවතක්‌ වර්තමානයේ පවත්වනු දැකීම උගටය.

Wednesday, April 10, 2013

ආණ්ඩුව බුරන්නේ වැ‍රැදි ගහට

උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක, මොන දෙයක් වෙතත්, ආණ්ඩුවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට සපථ කොට තිබේ. උසස් අධ්‍යාපනය සඳහා රට තුළ පවතින වැඩි වන ඉල්ලූම සැළකිල්ලට ගැනීමේ දී, පෞද්ගලික විශ්ව විද්‍යාලවල අවශ්‍යතාව වෙනදාටත් වඩා අද දැනෙන බව, පසුගිය සිකුරාදා ‘දකුණු ආසියානු තාක්ෂණ සහ වෛද්‍ය විද්‍යායතනයේ’ සමාරම්භක උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් කතා කරමින් ඔහු කියා සිටියේය.

Govt. barking up the wrong tree

Govt. barking up the wrong tree

Higher Education Minister S. B. Dissanayake has vowed to go ahead with the government’s private university project come what may. Speaking at the opening of the South Asian Institute of Technology and Medicine (SAITM) teaching hospital, as a guest of honour, on Friday, he said the need for private universities had been felt more than ever, given the increasing demand for higher education in the country.