Saturday, October 13, 2012

කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණවල පසුකාලීන බලපෑම

C.W.W. Kannangara
43 වැනි  සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ගුණානුස්‌මරණය නිමිත්තෙනි

කන්නන්ගර මැතිතුමා අධ්‍යාපන ඇමැති වූයේ පූර්ණ නිදහස ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන සමාජයකය. එබඳු සමාජයක අනාගතය සාර්ථක වනුයේ එම ජනතාව තුළ ජාතිකාභිමානය, දේශීය සංස්‌කෘතිය, සාරධර්ම හා සිරිත් විරිත් පිළිබඳ ඇල්ම, සාක්‍ෂරතාව, පාලනය බාර ගැනීමේ පුහුණුව සහ ආත්ම විශ්වාසය වර්ධනය වුවහොත් පමණක්‌ බව කන්නන්ගර ඇමැතිතුමා විශ්වාස කළේය. නූගතුන් පිරි සමාජයක්‌ උගත් සමාජයක්‌ බවට පත් කිරීමටත්, ආත්ම විශ්වාසයෙන් හීන ජනතාවක්‌, ආත්ම විශ්වාසයෙන් යුතු ජනතාවක්‌ බවට පත් කිරීමටත් එතුමා උනන්දු විය. ගම්බද දුප්පත් නූගත් ගැමි ජනතාවට දැනුම ලබා දී ඔවුන් අතින් ගිලිහී ගිය අභිමානය, පිරිහී ගිය ජීවය නැවත ඇති කරලීමට හා දරුවන් සමඟ වැඩිහිටියන් එක්‌වර පාසලට කැඳවා ගැනීමට එතුමා උත්සාහ දැරීය. අධ්‍යාපනය ගමේ ජනතාවගේ සහාය හා උපදේශකත්වය යටතේ කිරීමටත්, පාසල ගමට ගෙන යමින් ගැමියන්ගේ කෘෂිකර්මාන්තය, සෞඛ්‍යය හා ජන ජීවිතය නඟාසිටුවීමට ද එතුමා ක්‍රියා කළේය. ගුවන් විදුලිය, ජංගම චිත්‍රපට ආදී සන්නිවේදන මාධ්‍යයන් පාසලේ සහ වැඩිහිටි පන්තිවල අධ්‍යාපනයට සහාය සේවාවක්‌ ලෙස යොදා ගත්තේය. සෑම දරුවකුම ජාතියේ දරුවෙක්‌ බවත්, සැමට සමාන අධ්‍යාපනයක්‌ ලැබීමේ අයිතියක්‌ ඇති බවත් එය රජයේ වගකීමක්‌ බවත් දැක්‌වීය. එතුමාගේ අභිලාෂය වූයේ හිස, හිත, අත සෞඛ්‍ය (H 4) දියුණු කළ ශිෂ්‍ය පිරිසක්‌ නිර්මාණය කිරීමය. මේ සඳහා පාසල් විෂය මාලාව බොහෝ දුරට ප්‍රායෝගික කිරීමටත්, අර්ථවත් කිරීමටත් නිසි පියවර ගත් අතර ඉගැන්වීම් ක්‍රම ද ඒ අනුව සකස්‌ කරන ලදී. ජාතියේ අනාගතය වන දරුවන් මන්දපෝෂණයෙන් මුදා ගැනීම ස
ඳහා දුප්පත් දරුවන්ට දිවා ආහාරය පාසල මගින් සපයා දීමටත්, ඒ සඳහා ගුරු දෙගුරු සහාය ලබා ගැනීමෙන් දරුවන් රැකබලා ගැන්ම හා ඔවුන් පෝෂණය කිරීමෙහි නිවැරැදි ක්‍රම පිළිබඳ පණිවුඩය දෙමාපියන්ට කාවැද්දීමටත් ක්‍රියා කළේය.

එතුමාගේ මෙම පියවරයන් නුදුරු අනාගතයේදී ලංකාව ලබා ගන්නා නිදහස අර්ථවත් කර ගැනීමට උපයෝගී විය. එකල ලංකාවේ පරිපාලනය හා අධ්‍යාපනය බාරව සිටි එහෙත් චින්තනයෙන් හා මතවාදයෙන් බ්‍රිතාන්‍යයන් වූ ස්‌වදේශික ඉහළ පෙළැන්තියෙන් මෙන්ම මිෂනාරි ආගමික බලවේගවලින් ද කන්නන්ගර ඇමැතිතුමාට නිරතුරුවම බාධක ඇති විය. කන්නන්ගර ඇමැතිතුමාට එම සියලු බාධකවලදී නොසැලී අභීතව සිටිමින්, බහුතර දේශීය ලාංකීය ජනතාවට අධ්‍යාපන දොරටුව විවෘත කිරීමට හැකි විය.

1931 - 1947 කාලය තුළ එතුමාගේ ක්‍රියාකලාපයන් සහ අධ්‍යාපනලාභීන් තුළ සිදුවන ගුණාත්මක වර්ධනය සංඛ්‍යා ලේඛනවලින් දැක්‌වීම අපහසුය. බාධක බලවේග හමුවේ නොසැලී ජාතියට නව ජීවයක්‌ ලබාදීමට දුන් දායකත්වය මත අධ්‍යාපන ක්‍රියාවලියේ ඵලදායකත්වය වටහා ගත හැකිය.

1931 දී පාසල් යා යුතු වයසේ ළමයින් 88.9% ක්‌ පමණ පාසල් නොගිය අතර, 1947 වන විට එම සංඛ්‍යාව 37% ක්‌ විය. කන්නන්ගර මැතිතුමා වසර 16 ක සේවා කාලය තුළ නූගත් බව තුරන් කිරීමට දරන ලද උත්සාහයෙහි ප්‍රතිඵල පැහැදිලි වනුයේ 1945 සිට නිදහස්‌ අධ්‍යාපනය හා මවුබසින් අධ්‍යාපනය ලබා දීම ක්‍රියාත්මක කළ පසු ඇති වූ වෙනස හා බැලීමෙනි.

1931 දී මුළු ජනගහනයෙන් පාසල් ගිය ශිෂ්‍ය සංඛ්‍යාව 11.2% කි. 1947 දී එය 15% ක්‌ විය.1931 දී 553701 ක්‌ වූ ශිෂ්‍ය ජනගහනය 1947 දී 1025530 ක්‌ විය. ඉහළ ගිය ශිෂ්‍ය ජනගහනය සඳහා පාසල් ද බිහි කිරීමට සිදුවිය. 20 වැනි ශත වර්ෂයේ මුල් භාගයේදී රජය අධ්‍යාපනය පිළිබඳ වගකීම ආගමික නිකායවලට මාරු කළ ද කන්නන්ගර ඇමැතිතුමා පෙන්වා දුන්නේ දරුවන්ගේ අධ්‍යාපනය රජයේ වගකීමක්‌ බවත්, රජය විසින් එම වගකීම දැරිය යුතු බවත් ය. මෙම අදහස අනුව රජයේ මැදිහත්වීම මගින් වැඩි වැඩියෙන් පාසල් ඉදිකරන ලදී. 1931 දී 2621 ක්‌ වූ ආධාර ලබන පාසල් 1947 දී 2992 දක්‌වා 371 කින් වර්ධනය විය. රජයේ පාසල් සංඛ්‍යාව මෙම කාලය තුළ 1498 සිට 2906 දක්‌වා පාසල් 1508 කින් හෙවත් දෙගුණයකටත් වැඩි සංඛ්‍යාවකින් වර්ධනය විය.

1931 දී අප රටේ සාක්‍ෂරතාව 47.9% කි. 1947 වන විට එය 58.4% දක්‌වා වර්ධනය විය. සංඛ්‍යාත්මකව බලන විට රාජ්‍ය මන්ත්‍රණ සභා කාලය තුළ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ කැපීපෙනෙන දියුණුවක්‌ ඇති විය. අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය දෙවැනි ලෝක යුද්ධය නිසා අඩු කිරීමට සීමා කළ ද හැම විටම භාණ්‌ඩාගාරයෙන් හා රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් වැඩි මුදලක්‌ ඉල්ලුම් කළේය. මාසික ගුරු වැටුප් ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම සාර්ථක කර ගැන්ම සඳහා වැඩි මුදලක්‌ රජයෙන් වෙන් කර ගැනීමට කන්නන්ගර මැතිතුමා දැඩි උත්සාහයක්‌ දරන ලදී. 1931 දී රුපියල් 16104215.00 ක්‌ වූ අධ්‍යාපන පිරිවැය 1947 - 48 වසරේදී රුපියල් 60813615.12 දක්‌වා ඉහළ නැංවීය. ගුරු සංඛ්‍යාව ද 18242 සිට 28210 දක්‌වා වැඩි විය.

ගුරුවරුන් සඳහා මාසික වැටුප් ක්‍රමයක්‌ ඇති කර විශ්‍රාම වැටුපක්‌ හා වරප්‍රසාද ලබා දීම දූරදර්ශී ක්‍රියාවකි. ගුරුවරයා ආත්ම තෘප්තියෙන්, ආත්ම අභිමානයෙන් හා ආර්ථික වශයෙන් ස්‌ථාවර තත්ත්වයක සිටීම අධ්‍යාපන ක්‍රමයේ සාර්ථකත්වයට ඉතා අවශ්‍ය බව එතුමා කල්පනා කළේය. ගුරුවරයා කළමනාකරුවන්ගේ ග්‍රහණයෙන් මුදා ඔවුන්ට ස්‌වාධීනව ආත්ම තෘප්තියෙන් සේවයේ යෙදීමට ඉඩ සලසා දීම ඉතා අගය කළ යුතුය.

සෑම පාසලකම මවු බසින් අධ්‍යාපනය ලබා දීම අනිවාර්ය කිරීමත්, නිදහස්‌ අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමත් නිසා ලංකාවේ සංස්‌කෘතික හා සමාජ විප්ලවයක්‌ අති විය. අනගි මුතු ඇටයක්‌ ලෙස එතුමා දැක්‌වූ නිදහස්‌ අධ්‍යාපනය මේ වන තෙක්‌ම රැක ගැන්මටත්, ඊට එරෙහිව බාධකවලට විරුද්ධව පොදු ජනතාව ඉදිරියට පැමිණ තිබේ. 1945 සිට ක්‍රියාත්මක වූ නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය අදියර කීපයක දී දියුණු විය. 1960 දී ආධාර ලබන පාසල් රජයට ගැනීමටත් පොත්පත්, ලිපි ද්‍රව්‍ය ආදිය ද නොමිලයේ ලබා දීමත්, ඇඳුම්, ආහාර හා මහපොළ ශිෂ්‍යත්ව දීමත් නිදහස්‌ අධ්‍යාපනයේ ඉදිරි පියවර විය.

පළමු ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්‌වා නොමිලයේ අධ්‍යාපන ලැබීමේ වරප්‍රසාදය දුප්පත් දක්‍ෂ දරුවන්ට අනගි මුතු ඇටයක්‌ම විය. 20 වැනි ශත වර්ෂයේ මුල සිට ඉගැන්වීමේ මාධ්‍යය මවුබස විය යුතු යෑයි අධ්‍යාපනඥයන් යෝජනා කර ඇත. 1946 වසරේ මුල සිටම එය ක්‍රියාවට නංවන ලදී.

මවුබසින් ඉගැන්වීමේ වටිනාකම දැන සිටි එතුමා, ඉහළ අධ්‍යාපනය, වරප්‍රසාද ලත් කණ්‌ඩායමක්‌ පමණක්‌ ඉංග්‍රීසි බසින් ලබා ගන්නා විට ජාතියක්‌ වශයෙන් ලංකාව දියුණු නොවන බව ප්‍රකාශ කළේය. අධ්‍යාපන දාර්ශනිකයන් හා අධ්‍යාපන මනෝ විද්‍යාඥයන් අවධාරණය කරනුයේ සෑම පුද්ගලයකුටම අධ්‍යාපනය මවුබසින් ලබා දිය යුතු බවයි. නව නිර්මාණාත්මක දක්‍ෂතා බිහි කරමින් මානව උන්නතියට අත දීමට ජනතාවට හැකියාව ලැබෙනුයේ මවුබසින් අධ්‍යාපනය ලබා දීමෙන් පමණක්‌ බවත් කන්නන්ගර ඇමැතිතුමා අවධාරණය කළේය.

නිදහස්‌ අධ්‍යාපනය හා මවුබසින් අධ්‍යාපනය ලබා දීමත් නිසා පාසල් ශිෂ්‍ය ජනගහනය සීග්‍රයෙන් වැඩි විය. මේ නිසා ගම්බද දුප්පත් ජනතාවට උසස්‌ අධ්‍යාපනයක්‌ ලබා ගැනීමට පැවැති බාධක හා වැටකඩොලු එකින් එක කඩා වැටිණි. මේ නිසා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වූ අතර, උසස්‌ අධ්‍යාපනය ලැබීමට දක්‍ෂයන්ට අවස්‌ථාව ලැබිණි. 1956 සිට ලංකාවේ සෑම පාසලකම ද්විතීයික අධ්‍යාපනය මවුබසින් දීම ආරම්භ විය. 1955 දී ස්‌වභාෂාවෙන් අධ්‍යාපනය ලබා ගත් ශිෂ්‍යයෝ මුල් වරට පොදු විභාගවලට සහභාගි වූහ. මවුබසින් ඉහළ අධ්‍යාපනය ලබා ගැනීමේ පිපාසාවෙන් පෙළුණු වැඩි වූ ශිෂ්‍ය ජනගහනයට උසස්‌ අධ්‍යාපන පහසුකම් ලබාදීමට නව පියවර ගැනීමට (1959 - 1960) වසරවල සිට අවශ්‍ය විය.

ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර (සාමාන්‍ය) විභාගයට 1947 දී පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 25108 ක්‌ විය. 1952 වන විට එය (දෙගුණයට ද වඩා වැඩි විය) 52902 ක්‌ විය. 1957 වන විට 101337 ක්‌ දක්‌වා ඉහළ ගිය අතර 1961 දී 154813 දක්‌වා ඉහළ නැංගේය. උසස්‌ පාඨශාලා සහතික පත්‍ර විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව ද 1957 දී 2289 ක්‌ වූ අතර 1961 වන විට තෙගුණයක්‌ ඉහළ යමින් 6547 ක්‌ විය. 1956 සිට හයවන ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණිවල හැම පාසලකම මවුබසින් ඉගැන්වීම නිසා ඉන් පහසුකම් ලැබූ ශිෂ්‍ය කණ්‌ඩායම විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටියේ 1963, 1964 වසරවලදී ය. 1965 උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 31199 දක්‌වා වර්ධනය විය.

මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කිරීම සහ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පහසුකම් ලබා දීම ගම්බද සිසුන්ට වරප්‍රසාදයක්‌ විය. කැලේ පිපි මල් කැලයේම පරවී යැමට නොදෙන බව දැක්‌වූ කන්නන්ගර මැතිතුමා ශිෂ්‍යත්ව ක්‍රමය සහ මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය ඒ සඳහා යොදා ගන්නා ලදී. මධ්‍ය මහා විද්‍යාල සංකල්පය ලංකාවේ නවෝදයක්‌ ඇති කිරීමට සමත් විය. නිදහස්‌ ලංකාවේ පාලනය භාර ගැන්මට චින්තනයෙන් සහ මතවාදයෙන් දේශීය වූ ස්‌ව සංස්‌කෘතියට ගරුකරන පිරිසක්‌ බිහි කිරීමෙන් අපගේ අතීත සෞභාග්‍යයට නැවත ගමන් කිරීමට අපේක්‍ෂා කරන ලදී. අතීතයෙන් ජීවය ලද හැම අතින්ම ලාංකිකක වූ පාලකයන් කණ්‌ඩායමක්‌ බිහි කර ගැන්ම කන්නන්ගර මැතිතුමාගේ අභිප්‍රාය විය. අවුරුදු දෙතුන් සියයකින් පැරැණි යුරෝපීයයන් බිහි කළ ලංකාවේ පාසල් අභිබවා අලුතින් පිහිටු වූ මධ්‍ය මහා විද්‍යාල ඉදිරියට පැමිණි බව එතුමාම සඳහන් කර තිබේ. 1960 දශකය වන විට මධ්‍ය මහා විද්‍යාල සංකල්පය ලංකාවේ හොඳින් මුල්බැස ගත් අතර ලංකාවේ පාලනය භාර ගන්නා ලද්දේ මධ්‍ය මහා විද්‍යාල සිසුන් විසිනි.

1959 විෙද්‍යාaදය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය හා 1963 දී නැවත කොළඹ විශ්වවිද්‍යාලයත් බිහි කිරීමටත් 1962 දී ලංකා විශ්වවිද්‍යාලය නේවාසික නොවන ශිෂ්‍ය පිරිසක්‌ බඳවා ගැනීමටත් සිදු වූයේ ද්විතීයික අධ්‍යාපනය නිම කරමින් උසස්‌ අධ්‍යාපනයට සුදුසුකම් ලත් ශිෂ්‍ය සංඛ්‍යාව සීග්‍ර ලෙස වර්ධනය වීම නිසා ය. 1947 දී 15% ක්‌ පාසල් ගිය ශිෂ්‍යයන් වූ අතර, 1953 වන විට එය 19.3% දක්‌වා ඉහළ ගියේය. 1963 වන විට එය 23.3% දක්‌වා වර්ධනය විය. අධ්‍යාපනයේ ආලෝකය ගම් දනව් පුරා පැතිරීම නිසා ගම්බද දූ දරුවන්ට ද අධ්‍යාපනයේ රසය දැනෙන්නට වූ අතර ඔවුහු පාසල් කරා වැඩි වැඩියෙන් ඇදී ආහ. මවුබසින් අධ්‍යාපනය ලබා ගැනීමට ලැබුණු අවස්‌ථාව නිසා දරුවන් මගින් අධ්‍යාපනය ගෙදරට කාන්දු විය. ගමත් පාසලත්, පාසලත් ගමත් එකතු කිරීමට ආරම්භ කරන ලද ග්‍රාමීය අධ්‍යාපන වැඩසටහන් පාසල් ගුරු දෙගුරු සමිති ක්‍රමය, දිවා ආහාර ලබා දීමේදී දෙමාපිය සහාය ලබා ගැනීම ආදී වැඩසටහන් උපකාරී විය. නූගත් ජනතාවක්‌ උගතුන් බවට පත් කර ගැනීමට නම් වහල්ව සිටි ජනතාවක්‌ නිවහල් ජනතාවක්‌ බවට පත් කර ගැනීමට නම් සෑම දෙනා අධ්‍යාපනය කරා කැඳවාගෙන යා යුතු බව එතුමා අවබෝධ කර ගෙන සිටියේය.

කන්නන්ගර මැතිතුමා දූරදර්ශී අධ්‍යාපන චින්තකයකු නිසා අනාගත ලොවකට හා අනාගත ශ්‍රී ලංකාවට උචිත අධ්‍යාපනයක්‌ ක්‍රියාත්මක කළේය. එතුමාගේ දූරදර්ශී යෝජනා එවකට සිටි බ්‍රිතාන්‍ය ගැති මනසකින් යුතු බොහෝ උගතුන්ට ද තේරුම් ගත නොහැකි විය. ජාතික පුවත්පත් එතුමාගේ දූරදර්ශී යෝජනා විහිළුවට, විවේචනයට හා උපහාසයට ලක්‌ කළ ද එම දූරදර්ශී යෝජනාවල ප්‍රතිඵල කල් ඇතිව නිවැරදිව වටහා ගැන්මට හැකි වූයේ ලංකාවේ සිටි එවැනිම වූ දාර්ශනිකයන් කීපදෙනෙකුට පමණි. නිදහස්‌ අධ්‍යාපන පනත සම්බන්ධයෙන් පමණක්‌ සලකා එතුමන් 1947 න් පසුව ද අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පත්කර ගැන්මට ජී. පී. මලලසේකර, ඊ. ඩබ්ලිව්. අදිකාරම් වැනි දූරදර්ශී විශිෂ්ට බුද්ධිමතුන් ක්‍රියාත්මක වූයේ එබැවිනි. හැම විටම දාර්ශනිකයන් සිටිනුයේ සාමාන්‍ය ජනතාවට වඩා වසර ගණනාවක්‌ ඉදිරියෙනි. ඔවුන්ගේ අදහස්‌ හා ක්‍රියා කලාප සමාන උගතුන්ට හා පොදු ජනතාවට තේරුම් ගැනීම ඉතා අපහසුය. ඔවුනට තේරුම්ගත නුහුණු කල්හි දූරදර්ශී චින්තකයා උපහාසයට හා හාස්‍යයට ලක්‌ කිරීම සාමාන්‍ය සිරිතය. එය කන්නන්ගර මැතිතුමාට ද සිදුවිය.

මෙම අධ්‍යාපන වෙනස්‌කම් නිසා වරප්‍රසාද ලත් සුළු පිරිස අභිබවා මෙතෙක්‌ පෑගී සිටි බහු ජනතාවට ඉදිරියට ඇදී ඒමත් ආගමික හා ජාතික නිදහස්‌ අරගලයකින් ජනතාවගේ මානසික පිබිදීමත් අනාගත ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ මුහුණුවර වෙනස්‌වීමත් දුටු ප්‍රතිගාමී බලවේග එතුමාගේ යෝජනා අඩපණ කර ක්‍රියාත්මක වීම වළක්‌වාලීමට මහත් උත්සාහයක්‌ දරන ලදී. එම බලවේග නිසා එතුමා පරාජය වුවද, අධ්‍යාපන ඇමැති තනතුරින් ඉවත් වුවද, එතුමා මුලදී ආරම්භ කළ සියලු වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක නොකර සිටීමට නොහැකි වූ නිසා එම වරප්‍රසාද එකින් එක ලැබීමෙන් ගැමි ජනතාව වඩාත් ඉදිරියට ආහ.

මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කිරීමෙන් ද, කාන්තාවන්ට උසස්‌ අධ්‍යාපනය ලබා දීමෙන් ද සමාජය පෙරට වඩා උනන්දු විය. කාන්තාවන්ට ද පිරිමින්ට සමානවම සියලු පහසුකම් ලබා දිය යුතු බව එතුමා ප්‍රකාශ කර තිබේ. අධ්‍යාපන ඇමැතිතුමාගේ එම උත්සාහයෙහි ප්‍රතිඵලය වූයේ ගැහැනු, පිරිමි දෙපාර්ශ්වයම අධ්‍යාපනය ලැබීමයි. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ලංකාවේ සාක්‍ෂරතාව යළි වර්ධනය විය. 1931 දී කාන්තා සාක්‍ෂරතාව 21.2% වූ අතර, 1946 වන විට එය දෙගුණයකින් වැඩි වී 43.8% ක්‌ දක්‌වා ද, 1963 වන විට 67.3% දක්‌වා ද, 1990 දශකය තුළ එය 85% දක්‌වා ද වර්ධනය විය.

ලංකාවේ ළදරු මරණ හා මාතෘ මරණ සංඛ්‍යාව ඉතාම පහළ බැසීමත්, ජනගහන වර්ධනයෙහි වේගය අඩු වීමත් ජනතාවගේ දැනුම වැඩි වීමේ අතුරු ඵල විය. ශ්‍රී ලංකාවේ ඉහළ සමාජ ආර්ථික දර්ශක විද්‍යමාන වීමටත්, ශ්‍රී ලංකාව නිදහස ලබා ගත් වසරවලට ආසන්න සමයේ නිදහස ලබා ගත් අනිකුත් ආසියාතික රටවල් සමඟ සස¹ බලන විට සාක්‍ෂරතාව, ළදරු මරණ අනුපාතය, මාතෘ මරණ, ආයු අපේක්‍ෂණය ආදී සංඛ්‍යාවලිනුත් භෞතික ජීවන තත්ත්ව දර්ශකය අතිනුත් ශ්‍රී ලංකාව ඉහළ මට්‌ටමකට පැමිණීමට කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණය හේතු විය. එතුමා ඇති කළ වැඩසටහන් වන ළමයින්ගේ මන්ද පෝෂණය තුරන් කරලීමට ආරම්භ කළ දිවා ආහාර ලබාදීම, පාසල් බිම්වල වගා කටයුතු කිරීම, විද්‍යාත්මක කෘෂිකර්මය ගමට හඳුන්වාදීම, ගැමි ජනතාවට පාසලින් දැනුම ගලා යැමට සැලැස්‌වීම, ගුවන් විදුලි සේවා වැනි අවිධිමත් අධ්‍යාපන වැඩසටහන් සැලසුම් කිරීම, වැඩිහිටි පන්ති සහ ඉංග්‍රීසි පන්ති තවදුරටත් පසු කාලයේදී දියුණු කිරීමට කටයුතු යෙදුවේ නම්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ශත වර්ෂ හතරක්‌ තුළ හැරී තිබුණු බටහිර ආකෘතියෙන් නිදහස්‌ වී ශත වර්ෂ 20 කට ද වඩා කාලයක්‌ තිස්‌සේ පෝෂණය වූ දේශීය ආකෘතිය තුළට පිවිසීමට ඉඩ තිබිණි.

කන්නන්ගර මැතිතුමාගේ යෝජනා සමස්‌තයක්‌ ලෙස බලන විට පැහැදිලි වන ප්‍රධාන කරුණක්‌ නම් එතුමා තම අධ්‍යාපන ක්‍රමය සැලසුම් කළේත්, ප්‍රතිපත්ති තීරණය කර ක්‍රියාවට නැංවූයේත් බටහිර ආකෘතියකට අනුව ලංකාව දියුණු කළ නොහැකිය යන අදහස මතය. එතුමාගේ අදහස වූයේ ශ්‍රී ලංකාවේ අතීතයේ පැවැති දියුණු සෞභාග්‍යය, සදාචාරය හා සංවර්ධනය නැවත ස්‌ථාපිත කළ හැකි දේශීය භාවයට, දේශීය චින්තනයට ගරුකරන අතීත සෞභාග්‍යයෙන් හා ආවේණික සිරිත් විරිත් ගුණ ධර්මවලින් පොහොසත් වූ චින්තනයකින් යුතු ජනතාවක්‌ බිහි කළ හැකි දේශීය අධ්‍යාපන ආකෘතියක්‌ ගොඩනැංවීමයි. ලංකාවට උචිත වනුයේ මෙරටම නිපදවා ගත් ආකෘතියක්‌ මිස පිටතින්, බටහිරින් ආනයනය කරන්නක්‌ නොවන බව එතුමාගේ අදහස්‌වලින් පෙනේ.

එතුමා අධ්‍යාපන ක්‍රමය තුළින් ශාරීරික, මානසික, සදාචාරාත්මක හා සෞඛ්‍ය වර්ධනයක්‌ අපේක්‍ෂා කළ අතර, එම සෑම අංශයක්‌ම සමතුලිතව වර්ධනය කර ගනිමින් පූර්ණ පෞරුෂයක්‌ සංවර්ධනය කිරීම අපේක්‍ෂා කරන ලදී. මේ පූර්ණ පෞරුෂ සංවර්ධනය ඇති වන්නේ යුක්‌තිය, ජාතික චින්තනය, මතවාද හා දේශීය සංවර්ධන පිළිබඳව වර්ධනය වන ආකල්පයකින් බව එතුමා අදහස්‌ කළේය.

එතුමා නිදහස්‌ අධ්‍යාපනය ලබා දීම මගින් නොදියුණු සමාජය පිබිදවීම සමාජ, සංස්‌කෘතිකව මෙරට සිදු කරන ලද නිහඬ විප්ලවයකි.

ආචාර්ය ආනන්ද ජයවර්ධන
අංශ ප්‍රධාන, අධ්‍යාපන සමාජ විද්‍යා අධ්‍යයනාංශය,
කොළඹ විශ්වවිද්‍යාලය
උපුටා ගැනීම - දිවයින 2012 ඔක්තෝම්බර් 13 සෙනසුරාදා 

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...