Thursday, May 30, 2013

සබරගමුව සිසුන් අඛන්ඩ අරගලයේ

අසාධාරණ ලෙස තහනම් කල ශිෂ්‍ය සංගම් හා සිසු නායකයින්ගේ පන්ති තහනම ඉවත් කරන ලෙස බලකරමින් 29 දින උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමෙන් පසු සිසුන් උපවාසයක් ආරම්භ කරන ලදී.

සිසුන් එහිදී වැඩි දුරටත් කියා සිටියේ පරිපාලනයේ මුග්ධ තීන්දුව හකුලා ගන්නා තුරු සිසු අරගල කිසි විටකත් නතර නොකරන බවත්,සිසුන් බයවද්දා සිසුන්ට මරණ තරජන එල්ල කර නම් මෙම ප්‍රශ්නයට විසදුම් ලබා දීමට පරිපාලනය කටයුතු කරන්නේ නම් ඒ සදහා මුහුන දීමට තමන් සුදාන් බව සිසුන් දැඩි ලෙස කියා සිටියේය.

Tuesday, May 28, 2013

සබරගමුව සිසුන්ට එල්ල කල වෙඩි ප්‍රහාරයට එරෙහිව උද්ඝෝශණයක්

24 වන දින අළුයම සබරගමුව සරසවි සිසුන්ට එල්ල කල වෙඩි ප්‍රහරයට එරෙහිව අද දින දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කෙරිනි. සබරගමුව සරසවියේ පාලනාධිකාරිය විසින් සිදු කර තිබෙන ශිෂ්‍ය සංගම් තහනම හා සිසුන්ට පනවා ඇති අසාධාරණ තීන්දු හකුලා ගන්නැයි බල කරමින් සබරගමුව සරසවි සිසුන් උපකුලපති කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහායක් ආරම්බ කල අතර පසුගිය 24 දින අළුයම 1.45 පමන ආණ්ඩුවේ මැරයන් පිරිසක් පැමින සරසවිය ඉදිරිපිට අහසට වෙඩිතබා පලාගොස් තිබේ. තවද සිසු නායකයන්ට දිගින් දිගටම මරන තර්ජන එල්ල කරන අතර සිසුන්ගේ ගැටළු විසදීමට ආණ්ඩුව කිසිදු ක්‍රියාමර්ගයක් ගෙන නැත. මෙම ගැටළු වලට වහා විසදුම් ලබාදෙන ලෙස බල කරමින් අද දහවල් සරසවිය ඉදිරිපිට උද්ඝෝශනයක් ක්‍රියත්මක කෙරිනි

Thursday, May 9, 2013

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අදුරුතම කාල පරිච්ඡෙදය!

සමකාලීන විශ්වවිද්‍යාලයෙහි මූලික කාර්යභාරය වන්නේ අගතියෙන් තොරව සත්‍යය ගවේශණය පෙරදැරි කරගත් ඉගැන්වීම හා පර්යේෂණයයි. මෙම කාර්යභාරය ඉටුකර ගත හැක්කේ ඉගැන්වීම හා පර්යේෂණය කරගෙන යාම සඳහා බුද්ධිමය නිදහස හා විශ්වවිද්‍යාල ස්වාධීනත්වය පවත්වා ගැනීම, ආවේනික හා ස්වාධීන ප‍්‍රමිතීන් / ප‍්‍රමුඛතා සහ දේශාන්තරත්වයට අදාළ අයුරින් විවිධ විෂයධාරා විකාශනය මගිනි. තවදුරටත්, ලීමා සහ බොලොඥ ප‍්‍රකාශන මගින් අවධාරණය කෙරෙනුයේ විශ්වවිද්‍යාල ස්වාධීන සංවිධාන ලෙස පවත්වා ගැනීම මගින් ඒවා විවිධ සංස්කෘතීන් වලට අයත් ශිෂ්‍යයන් හා පර්යේෂකයන් ආකර්ෂණය කරගැනීමේ වැදගත් කමයි.

කෙසේ වෙතත්, ස්වාධීනත්වය පිරිහීයාම දේශපාලනීකරණය වර්ධනය වීම හේතුවෙන් ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාල (ගෝලීය සන්දර්හය අනුව බලන කල්හි), විශ්වවිද්‍යාල තත්වය නැතිව යාමේ අවදානමට ලක් වෙමින් පවතී. ගුණාත්මක අධ්‍යාපනයට ආයෝජනය කරන රජයක් ඒ සඳහා ප‍්‍රමාණවත් සම්පත් දායකත්වය සහතික කිරීමට අමතරව අධ්‍යාපන නිදහස හා ස්වාධීනත්වය ද සහතික කළ යුතුය. දැනට ශී‍්‍ර ලංකා රජය පැහැදිලි වශයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය, වෙළඳ භාණ්ඩයක් මෙන් සලකන අතර, විශ්වවිද්‍යාල සමායාත වස්තු වශයෙන් ද, විශ්වවිද්‍යාල අධ්‍යයන පරිපාලකයන් (උපකුලපතීන්, සහාය උපකුලපතීන්, පීඨාධිපතිවරුන් වැනි අය) ව්‍යාපාර කළමණාකරුවන් සේ සලකයි. රජය අපේක්‍ෂා කරනුයේ විශ්වවිද්‍යාල පරිපාලකයන් සිය වැඩසටහනට අනුගත වීම කෙරෙහි පමණකි.

මේ අනුව රජය විශ්වවිද්‍යාල පරිපාලකයන්ගෙන් පහත දෑ අපේක්‍ෂා කරයි.

1. සිය අභිමතයට අනුකූල ලෙසින් පීඨයන් පවත්වා ගැනීම.

2. අවම සම්පත් ප‍්‍රමාණයක් ලබාදීම හා වියදම් කපා හැරීම මගින් ලාභය ‘උපරිම’කරගැනීම.

3. ගුණාත්මක තෘතීයික අධ්‍යාපනයේ පරම නිර්ණායකය වෙළඳපොල අවශ්‍යතා සපුරා ගැනීම මගින් අධ්‍යාපනයේ අරමුණ මූලික වශයෙන් වෙනසකට භාජනය කිරීම.

4. මුදල් අයකෙරෙන පාඨමාලා ක‍්‍රමයෙන් හඳුන්වා දීම මගින් විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම සඳහා ගුණාත්මක අධ්‍යාපනයට වඩා මුදල් ගෙවීමේ හැකියාව නිර්ණායකයක් සේ සැලකීමයි.

මේ මගින් විශ්වවිද්‍යාල උපාධි කඩ බවට නියතයෙන්ම පත්වන අතර මුලින් සඳහන් කළ පරිදි කීර්තිමත් විශ්වවිද්‍යාලයන් හා බැඳුනු ස්වාධීනත්වය හා අධ්‍යාපන නිදහස සක‍්‍රීයව මැඩපවත්වනු ඇත. මෙය අපේක්‍ෂිත පෞද්ගලික විශ්වවිද්‍යාල මෙන්ම පවතින විශ්වවිද්‍යාල සඳහා ද වූ ක‍්‍රියා පිළිවෙත වනු ඇත. වගකීමෙන් තොර දේශපාලන ගැත්තන් පරිපාලනයේ ප‍්‍රධාන තනතුරුවලට පත්කර ගැනීමේ ශාපනයට අද ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට වන්දි ගෙවීමට සිදුවී ඇත.

පෙර නොවූ විරූ දේශපාලනීකරණය හා ස්වාධීනත්වය බිඳවැටීම හේතුවෙන් මෙම ආයතන ජනතාවගේ නෙතට ලක්වන්නේ රිණාත්මක ආකාරයෙනි.මෙසේ වී ඇත්තේ විශ්වවිද්‍යාල ස්වාධීනත්වය හා අධ්‍යාපන නිදහස අවබෝධ කර ගැනීම හා ගෞරවාන්විතව සැලකීමේ වැදගත්කම පරිපාලකයන්ට හා රජයට ඒතතු ගැන්වීම සඳහා මහජනතාව උනන්දුකොට රජයට දැඩි පීඩනයක් ඇති කරනුවස් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය එහ ශාඛා මගින් ගනු ලැබූ උත්සාහයන් ද පවතිත්දීම ය.

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ අප විසින් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය අවසන් වූ විට විශ්වවිද්‍යාල ස්වාධීනත්වය අධ්‍යාපන නිදහස සහ දේශපාලනීකරණය සම්බන්ධයෙන් ඒ ඒ විශ්වවිද්‍යාල සනාතන සභාවාර පැවැත්වීමට තීරණයක් ගනු ලැබීය. එසේ වුවත්, රජය දේශපාලන මැදිහත්වීම පෙර නොවූ මට්ටමට ගෙන එයින් අපේ විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය උල්ලංඝනය කිරීම සඳහා වෙර ගනී. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුපතිවරයා පත් කිරීම දිගින් දිගටම පවත්නා මතභේදයක් බවට පත්ව තිබීම මී මනා නිදසුනකි. ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාලයන් අතර පැරණිතම වුවක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය (සිලෝන් යුනිවර්සිටියද ඇතුළත්ව) ද මින් ගැලවිය නොහැකි විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය අවම සිදුසුකම් සහිත අපේක්‍ෂකයා රජය විසින් තෝරා ගන්නා ලද්දේ සාවද්‍ය පාලනය හා පෞද්ගලික වාසි ඉස්මතු වන ආකාරයෙනි. පවත්වනා කි‍්‍රයා පිළිවත්වලට අනුකූලව කි‍්‍රයාකරවීම ඒත්තු ගැන්වීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය (FPUTA)නව උපකුපලපති වරයා නිල වශයෙන් හමුවී තමා නායකත්වය ලබාදෙන ආචාර්ය සංගමයේ විශ්වාසය දිනාගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී.

එහෙත් ඒ එසේ නොවීම නියෝජ්‍ය උපකුපති පත්කිරීමද ඉන් පසු සිදුවූයේ ආචාර්ය සංගමය නොව රජයට පක්‍ෂපාතී පරිපාලකවරුන්ගේ අභිලාෂයනට අනුකූල අන්දමිනි. පත්කරනු ලැබූ පුද්ගලයා සිය හිතුවක්කාර හා අධම චරියාවන් නිසා ශිෂ්‍යයන් මෙන්ම ආචාර්ය මණ්ඩලය මෙන්ම දෙපාර්ෂවය කෙරෙහි මෙන්ම විරෝධාකල්පයන් ඇත්තෙකු වූ හෙයින් වැදගත් වගකීම් දරණ නිලයකට මනා සිහියෙන් යුත් පරිපාලනයක් විසින් පත් කල යුතුව නොතිබුණි. එයට විරෝධය පෑමක් වශයෙන් සියළුම පීඨවල ආචාර්යවරුන් විසින් අත්සන් කරණු ලැබූ පෙත්සකම් සිය සංගමය විසින් නියෝජ්‍ය උපකුපති තනතුරට වෙනත් කෙනෙකු පත්කිරීම සඳහා ඉල්ලමින් ඉදිරිපත් කරන ලදී.

එහෙත් එය නොසලකා හරින ලදී. මේ අන්දමින් ස්වාධීනත්වය එරෙහිව පෙර නොවූ විරූ සම්භාදක නවත්වාලනු සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය විසින් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය හරහා 2013 දෙසැම්බර් 17 වන දින සංකේත වැඩවර්ජනයක් පවත්වන ලදී. එයට පරිපාලනයෙන් ධනාත්මක ප‍්‍රතිචාරයක් නොලැබුන හෙයින් නියෝජ්‍ය උපකුපති හා ඝෘජුව සම්බන්ධ සියළු ස්වචේඡා තනතුරුවලින් ඉවත්වීමට ආචාර්ය සංමගය තීරණය කරන ලදී.

එසේම විශ්වවිද්‍යාල ස්වාධීනත්වය අධ්‍යයන නිදහස පරිහානියට යාමට එරෙහිව තීරණාත්මක අවස්ථා සංසිද්ධි ආදියෙහි අධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි විරෝධතා දක්වනු ඇත. මේ වසරේ උපාධිප‍්‍රධානෝත්සවය හා රාතී‍්‍ර භෝජනයට වැලකී සිටීමට ද අධ්‍යයන කාර්ය මණ්ඩලය සලකා බලමින් සිටී. මෙම අවස්ථාව ශිෂ්‍යයනට කෙතරම් වැදගත්ද යන අවබෝධයෙන් හා සංවේදීතාවයෙන් යුත් හෙයින් මෙය අවසාන උපාය මාර්ගයක් වනු ඇත. මෙබඳු පියවරක් ගැන අකමැත්තෙන් හෝ සලකා බලමින් සිටිනුයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලනීයකරණය වූ පරිපාලකයන් විසින් සමස්ත අධ්‍යයන කාර්ය මණ්ඩලයේ අභිලාෂය කෙරෙහි දක්වන අධම මෙන්ම අසංවේදී බවට සිය විරෝධය දැක්වීම වශයෙනි. නියේජ්‍ය උපකුලපති සහභාගි වන සියළු රැස්වීම්ද සාමජිකයන් විසින් වර්ජනය කරනු ලැබ ඇත. මැතදී පීඨමණ්ඩලයක් නියෝජ්‍ය උපකුලපති විසින් එම මණ්ඩලය ඇමතීමට උත්සාහ ගැනීමේදී විසිර ගොස් ඇත. දැන් නියෝජ්‍ය උපකුපතිවරයා විසින් පීඨ මණ්ඩල ඇමතීමට උත්සාහ නොකරයි. මෙකී කි‍්‍රයා මගින් විශ්වවිද්‍යාලවල සිදුවන පෙර නොවූ විරූ කි‍්‍රයාවලට විරෝධතා මගින් අභියෝග කිරීම ද සාමජිකයත්වයට හැකි වී තිබේ.

නිසි දේ කිරීම සඳහා පාලකයන්ට බලපැම් කිරීමට ගත් මෙබදු උත්සහයන් පැවතියද මෑත සිදුවීම් පෙනී යන්නේ පාලකයන් හා ඔවූනට දිරි දෙන්නන් තුල ඇති දරඳඬූ ස්වභාවයයි.මෑතදී(අධ්‍යන කාර්යමණ්ඩලය පමනක් නොව)පීඨ සභාව ගත් තීරනඳ පසෙකලා වෛද්‍ය පීඨයේ පීඨාධිපති වරයා අනියම් ක‍්‍රම මගින් සැක සහගත අධ්‍යාපන වාර්තා සහිත සිසුන් දස දෙනකු එම්.බී.බී.ඇස් පාඨමාලාව සඳහා මග සලසා ඇත. ලැබී ඇති ඇති ආරංචිවලට අනුව මෙම ශිෂ්‍යයන් විසින් සිය අධ්‍යාපන සිදුසුකම්වලට අඩුපාඩු සඳහා හිලව් වන පරිදි විශාල ධන සම්භාරයක් ගෙවනු ඇත.

මෙයින් නොනැවතී එම තීරණවලට එරෙහි වී විරෝධතා දැක්වූ අධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයන්ට තර්ජන ගර්ජන කිරීමට අදාල දේශපාලන හාම්පුතුන් හා ඔවුන්ගේ ගැත්තන් කි‍්‍රයාත්මක වූ බව ද සැලයි. අදාල අධිකාරීන්ගේ පැහැදිලි අවශ්‍යතාවය වී ඇත්තේ පේරාදෙණිය වෛද්‍ය පීඨය උපාධි කඩයක් බවට පත්කිරීම වන අතර කනගාටුවට කරුණ වන්නේ විශ්වවිද්‍යාල පාලකයන් විසින් ඊට ඉඩ සලසා දීමයි. එසේ වුවත් මෙම මනා සැලසුමකින් කි‍්‍රයාත්මක කල මෙම උත්සාහය සිය මූල ධර්මය කෙරෙහි දැඩිව බැඳී සිටින වෛද්‍ය පීඨ සභාව විසින් ව්‍යර්ථ කරනු ලැබ ඇත.පෙර නොඇසූ විරූ මෙබදු අකටයුතු කම් පිළිබඳ පුවත් සමස්ත විශ්වවිද්‍යා පද්ධතිය තුලින් මතුවන පුවත් අතර වේ.

මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අදුරුතම කාල පරිච්ෙඡ්ද ලෙස හැඳින්විය හැකි මෙම අවස්ථාවේ සිය අයිතිවාසිකම් රැකගැනීම සඳහා සිය අරගලය තීවුර කිරීමට ශී‍්‍ර ලාංකීය අධ්‍යයන කාර්ය මණ්ඩලයට කාලය එළඹ ඇත යනු අපි විශ්වාස කරමු. අපගේ ආයතන පමනක් නොව අභිමානයට ද වින කරන අදුරදර්ශී නරුමයන්ට එරෙහිවීමට එකසත්ව නැගී සිටීමට අවස්ථාව පැමිණ ඇත. අප නිවැරදි යැයි විශ්වාස කරන දේ වෙනුවෙන් නිර්භයව ඉදිරිපත් වීමේ අවස්ථාව එළඹ ඇත.

Sunday, May 5, 2013

විශ්වවිද්‍යාල පෞද්ගලීකරනයේ රජයේ රහස් වැඩපිලිවෙල.

                                                බාගතකිරීමට මෙතනින්

Friday, May 3, 2013

මාලඹේ උපාධි කඩය

ජනාධිපති අරමුදලෙන් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශිෂ්‍යයන් දස දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දීම. අගමැතිවරයා ඇතුළු පිරිස විසින් එම ආයතනයට අනුබද්ධ ශික්ෂණ රෝහලක් විවෘත කිරීම.....
හොරකම් කරපු මුදලින්, හොර තිප්පලකට දාන දෙනවා වගේ වැඩක්.... -වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව-

‘‘ආණ්ඩුව මාලඹේ උපාධි කඩය පවත්වගෙන යන්න පුළුවන් උපරිම මැදිහත්වීම කරමින් ඉන්නවා. ඒ පිළිබඳව ජනතාව තුළ යහපත් චිත‍්‍රයක් හදන්න නිරුවතින් රඟන තත්වයකට දැන් පත්වෙලා. ජනාධිපතිවරයාගේ සිට එක පෙළට පහළට සියළු දෙනා දැන් මේ රංගනයට සහභාගී වෙලා. අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තව දුරටත් පැවතිය යුතුයි කියලා හිතන සියළු දෙනා මේ තත්වය පරාජය කරන්න පෙරට ආ යුතුයි කියලා අපි ඉල්ලා සිටිනවා.’’

වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා මෙම අදහස් ප‍්‍රකාශ කළේ පසුගිය 25 වන බ‍්‍රහස්පතින්දා මරදාන CSR ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ සහෝදරයා...

වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව විදිහට මෙහෙම මාධ්‍ය හමුවක් සූදානම් කරන්න ආසන්න හේතූන් දෙකක් තියනවා. පළමුවැන්න තමයි පසුගියදා ජනාධිපතිවරයා අතින්, ජනාධිපති අරමුදලෙන් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශිෂ්‍යයන් දස දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දීම. අනෙක් කාරණාව තමයි අගමැතිවරයා ඇතුළු පිරිස විසින් එම ආයතනයට අනුබද්ධ ශික්ෂණ රෝහලක් විවෘත කිරීම. පසුගිය අපේ‍්‍රල් මාසයේ මුල් සතියේ මේ සිද්ධීන් දෙකම සිද්ධවුනේ දැවැන්ත මාධ්‍ය සංදර්ශන සහිතව. බලා හිටපු ජනතාවට ‘‘මේක නම් මාරයි’’ කියලා හිතෙන තරමට ආණ්ඩුව මේ සඳහා මැදිහත් වෙලා තිබුණා. අපි අද මාධ්‍ය හමුව පවත්වන්නේ ඒ කියන විදිහට මේක මාර නෑ, මේක සමස්ත සමාජයක අනාගතයට මරු කැඳවනවා කියන යථාර්තය පැහැදිලි කරන්න.

2008 වසරේ ඉදිකරපු මාලඹේ SAITM ආයතනයට ආණ්ඩුවේ සෘජු අනුග‍්‍රහය ලැබෙන්න පටන් ගත්තේ 2010 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වත්මන් ආණ්ඩුව පත්වුනායින් පස්සේ. උසස් අධ්‍යාපන ඇමති කමට එස්.බී. මහත්තයා පත්වීමෙන්ම ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය පැහැදිලි වෙනවා. ඔවුන් තමන්ගේ උසස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය අධ්‍යාපන පෞද්ගලීකරණයයි, පෞද්ගලික විශ්ව විද්‍යාල ඉදිකිරීමයි කියන එක ඉතිහාසයේ පළමු වතාවට නිළ වශයෙන් පිළිගත්තා, ඒ අනුව කටයුතු කිරීම ඇරඹුවා. ඒ අනුව තමයි 2011 සැප්තැම්බර් මාසයේ ඉදිරිපත් කළ විශේෂ ගැසට් පත‍්‍රයක් මඟින් මාලඹේ ඒ උපාධි විකුණන ආයතනයට රෝහලක් ඉදිකරගන්නය කියලා රුපියල් මිලියන 600 ක මුදලක් ලබා දෙන්නේ. එහෙම කරන්නේ අවසන් වසර නිමකරන්න අවශ්‍ය පහසුකම් නැතිව, ඒවාට අවශ්‍ය ප‍්‍රතිපාදන වෙන් කරන්නේ නැතිව රජරට වෛද්‍ය පීඨයේ ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ ජීවිත අවුරුද්දකට අධික කාලයකින් පසුපසට ගියපු යථාර්තයක් ඇතුළේ. අනෙක් විශ්ව විද්‍යාලවල තත්වයත් මේකම තමයි.

ශිෂ්‍යයන්ගේ උසස් අධ්‍යාපනය ගැන ඒ ආකාරයේ දැක්මකින් ඉන්න ආණ්ඩුව තමයි ශිෂ්‍යයන් 10 දෙනෙකුට සරසවි වරම් දෙන්න මේ තරම් දඟලන්නේ. ඒකත් දැවැන්ත මාධ්‍ය සංදර්ශනයක් එක්ක. මුලින්ම කැබිනට් ප‍්‍රකාශක මාධ්‍යයට කියනවා උසස්පෙළ ඉහළින් සමත්වෙලා සරසවි අවස්තා නොලැබුණු සිසුන් ගැන ජනාධිපතිවරයට හුඟක් දුක හිතිලය වගේ කතාවක්. ඊට පස්සේ ජනාධිපතිවරයම රැස්වීම කිහිපයක කියනවා මොනවා හරි කරන්න ඕන මේකට, මාර ප‍්‍රශ්නයක්, ශිෂ්‍යයෝ ගොඩක් ඉහළින් උසස්පෙළ සමත් වෙලා සරසවි අවස්තා නොලැබී ඉන්නවා කියලා. ඊට පස්සේ තමයි විසඳුම විදියට මාලඹේ උපාධි විකුණන ආයතනයට ශිෂ්‍යත්ව 10 ක් ලබා දෙන්නේ මාධ්‍ය එහෙම කැඳවලා. අපි අහනවා දැන් හරිද කියලා. දැන් මේ හදන්නේ ජනතාවගේ අධ්‍යාපනය විනාශ කරන මෙවැනි උපාධිකඩ වලට ඒවායේ යථාර්තය වහලා, පුණ්‍යායතන වගේ ප‍්‍රතිරූපයක් හදන්න.
අනෙක තමයි ශික්ෂණ රෝහලක් විවෘත කිරීම. ඔවුන් කියනවා මෙය ඇඳන් 1001ක් සහිතව ලංකාවේ මෙතුවක් කාලයකට ඉදිකරපු විශාලතම ශික්ෂණ රෝහලයි කියලා. අගමැතිවරයා තමයි ඒක විවෘත කරන්න සහභාගී වෙන්නේ. අපිට ඒ සම්බන්දව පැහැදිලි කිරීමක් තියනවා. අනෙක් කාරණා සියල්ලම නොසලකා හැරියත් අපි දන්නවා ලංකාව ඇතුළේ පෞද්ගලික රෝහලකින් අධ්‍යාපනය දීලා වෛද්‍යවරයෙක් බිහිකරනවා කියන එක යථාර්තයක් නෙමෙයි. මොකද ඇඳන් තිබුණට ඇඳන් වලට බෑ වෛද්‍යවරු හදන්න.

අපි තේරුම් ගත යුතුයි ඇයි මෙහෙම වෙන්නේ කියන කාරණාව. උසස් අධ්‍යාපනය මුළුමනින්ම අඩපණ කරලා ඒ නිසා අර්බුදයක් මතුවෙනකොට, ඒ අර්බුදය විකුණන් කෑමක් තමයි මේ සිදුකරන්නේ. ජනාධිපතිවරයා ජනතාවගේ මුදල්වලින් ගෙවලා මාලඹේට ශිෂ්‍යයන් 10 දෙනෙක් යවනවා. මේක නිකන් හොරකම් කරලා දාන දෙනවා වගේ වැඩක්.

ජනතාවගෙන් අපි ඉල්ලන්නේ මේ දේවල්වල සැබෑව තේරුම් ගන්න කියලා. එහෙම නැතුව ජනාධිපති ඇතුළු නඩය කරන මේ මාධ්‍ය සංදර්ශන වලින් ඇස් නිලංකාර කරගත්තොත් අනිවාර්යෙන්ම ඒ අතරේ පිටිපස්සෙන් ඇවිත් පොල්ලකින් ගහනවා ජනතාවගේ ඔලූවටම. ඒක තමයි ඇත්ත.

අපි තව උදාහරණයක් කියන්නම්. අපි දිගටම අරගල කළා වෛද්‍ය අධ්‍යාපනය නංවන්න නම්, පෞද්ගලික විශ්ව විද්‍යාල හකුළා ගන්නා ලෙසත්, ඒ වගේම රජයේ වෛද්‍ය පීඨ පුළුල් කරන්න සහ වෛද්‍ය පීඨ නැති විශ්ව විද්‍යාලවල අලූතෙන් වෛද්‍ය පීඨ ඇති කරන්න කියලා. සබරගමුව විශ්ව විද්‍යාලයේ ප‍්‍රධාන සැලැස්මේ සඳහන් වෙනවා 2010 වසර වෙද්දි වෛද්‍ය පීඨයක් ඉදිකරලා පළමු කණ්ඩායම බඳවාගන්න. ඒ සඳහා රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් වශයෙන් නම් කරලා තියෙන්නේ. වෛද්‍ය පීඨය ඉදිකිරීමට ඒ ආසන්නයේ ඉඩම් පවා වෙන්කරලා තියෙන්නේ. නමුත් එවැන්නක් සිදුකරන්නේ නෑ. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට පොඩි හරි අවශ්‍යතාවයක් තියනවනම් උසස්පෙළ ඉහළින් සමත් වුණු කාටත් සරසවි අවස්තා ලබා දෙන්න කළ හැකි, කළ යුතු දේවල් ඕන තරම් තියනවා. සබරගමුව වෛද්‍ය පීඨය ගොඩනැඟුවා නම් 10 දෙනෙකුට නෙමෙයි, තවත් සිසුන් 200කට ඉගෙනගන්න අවස්තාව ලැබෙනවා. අපි මේ රටේ සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මේ කරන බොරුව තේරුම් ගන්න කියලා.

මේ කරන්න හදන්නේ මේ රටේ පවතින අධ්‍යාපන ක‍්‍රමය අංශක 180 කින් හරවන්න. ඒකට මුදල් දෙනවා, සහතික දෙනවා, මාධ්‍ය අනුග‍්‍රහය දක්වනවා විතරක් නෙමෙයි මේ ජාතියේ නාට්‍ය පෙන්වන්න පවා ජනාධිපතිගේ සිට පහළට ආණ්ඩුව එක පෙළට සූදානම් වෙලා ඉන්නේ. අපිට මේක තවත් එක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නෙමෙයි. ආණ්ඩුව අධ්‍යාපන ක‍්‍රමයම පෞද්ගලීකරණය කරන්න, අධ්‍යාපනයත් තවත් එක වෙළඳ භාණ්ඩයක් බවට පත් කරන්න යන ගමනේ, යන පෙරහැරේ ඉදිරියෙන්ම ගෙනියන කරඩුව තමයි මාලඹේ උපාධි කඩය. මේ කරඩුව බිම දාලා මේ පෙරහැර නැවැත්තුවේ නැත්නම් මේක හෙට දවසේ විකසිත වෙන්න බලාගෙන ඉන්න උපන් නූපන් දරු පරම්පරාවක හිස් මතින් ගමන් කරනවා. කුමන අසීරු තත්වයක් යටතේ වුනත් අපි ඒක යථාර්තය කියලා බාරගන්නේ නෑ. මේ සමාජය තුළ, මේ සමාජ ක‍්‍රමය තුළ අපේ ජීවිත වල හැම අස්සක් මුල්ලක්ම තීරණය කරන්නේ මුදල්, ආර්ථික සාධක මත. අපි කන්නේ බොන්නේ මොනවද, එහෙමත් නැත්නම් බඩගින්නේ ඉන්නවද, අපි අඳින්නේ මොන වගේ ඇඳුමක්ද, අපි ගමනක් බිමනක් යන්නේ පයින්ද පාරේ බස් එකේද එහෙමත් නැත්නම් කාර් එකකද කියන තැන ඉඳන් උපත, විවාහය, මරණය මේ හැම දෙයක්ම තීරණය කරන්නේ අතේ තියන මුදල, ආර්ථික සාධක මත. නමුත් කවුරු හරි දරුවෙක්ට ඉගෙනගන්න ආසාව, උනන්දුව, කැපවීම තියනවා නම් ආර්ථික සාධක නොසලකා පළමු වසරේ සිට උපාධිය දක්වා අධ්‍යාපනය ලබන්න හැකියාවක් මෙතෙක් තිබුණා නිදහස් අධ්‍යාපන ක‍්‍රමය පැවති නිසා. මේ නැති කරන්නේ අන්න ඒ අවසන් දේ.

අපි ජනතාවට ආරාධනා කරනවා මේ අරගලයත් එක්ක ඒකාබද්ධ වෙන්න කියලා. මේක අද දවසේ කුමන අසීරුතා මධ්‍යයේ හරි ජයග‍්‍රහණය කරා අරන් නොගියොත් විනාශ වෙන්නේ සමස්ත සමාජයක අනාගතය. අපි ඉදිරි සති 02 තුළ වෛද්‍ය පීඨ තුළ වැඩමුළු පවත්වමින් ආණ්ඩුවේ මෙම ප‍්‍රවේශය ගැන පුළුල් සාකච්ඡාවක් ගන්නවා. ඊට ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ තීරණයකට එනවා. ඉන් පස්සේ දැවැන්ත උද්ඝෝෂණ ආරම්භ කරන්න අපි සූදානම්. අපි ජනතාවගෙන් ඉල්ලනවා අපිට සහයෝගය දක්වන්න, මේ අරගලයත් එක්ක එකතු වෙන්න කියලා..

Thursday, May 2, 2013

ලාබයි ලාබයි වෛදය උපාධි ලාබයි...!

මීට කලකට පෙර අපේ සමාජයේ පෞද්ගලික වෛද්යය විද්යාල කියන ප්‍රශ්නය දැඩිව කතා වුනා. එහෙත් මේ වන විට ඊටත් වඩා ඉතා බරපතල ප්‍රශ්නයක් මතු වීගෙන එනවා. කොහොමද ඔයාලට කැමති උපාධියක් කැමති ගානකට ගන්න තිබ්බොත්. ඔන්න එහෙනම් එස් බ් ඇමතිතුමාගෙන් අලුත් වැඩසටහනක් ඇරබිලා තියනවා. ඒ තමයි මෙතෙක් කල් පෞද්ගලික විශ්ව විද්යාල හරහා ගෙනෙන ලද පුද්ගලික උපාදි වලට අමතරව තවත් කටයුත්තක් ඇරබීම. ඒ තමයි රජයේ විශ්ව විද්යල තුලම ශ්‍රි ලන්කවේ උපාදි විකිනීම්.

සමහර විට ඔයගොල්ලන්ටත් හිතෙන්න පුලුවන් කොච්චර හොදද අපටත් මහන්සි වෙන්නේ නැතිව උපාධි ගන්න පුලුවන්නේ කියලා. ඒකත් ඇත්ත කොච්චර හොදද දොස්තර කෙනෙක් වෙන්න තියනවනම් නේද..? ඔන්න එහෙනම් ඔය ගොල්ල හැමෝටම අවස්ථාව තියන්වා දොස්තර කෙනෙක් විතරක් නෙවෙයි, ඉංජිනේරුවෙක්, නීතිවේදියෙක් එහෙමත් නැත්නම් ලංකාවේ තියන ඕනැම උපාදියක් සල්ලි වලට ගන්න.

උපධි විකිනීමේ අලුත්ම ක්‍රමය හා මිල

ඔන්න එහෙනම් කතාවට එන්නම්, මෙතෙක් කල් අපේ විවිධ රජයන් උත්සහ කලා කෙසේ හෝ අධයාපනය පෞද්ගලිකකරනය කිරීමෙන් මුදල් උපයා ගන්න. ඔන්න එහෙනම් පසුගිය සතිය අවසානය වන විට එහි සම්පූර්ණ වැඩ කටයුතු අවසාන වීමෙන් අනතුරුව ගැසට් පත්‍රය නිකුත් වුනා. එහි සදහන් විදියට කොටියෙන්ම ලොකේ ඕනැම කෙනෙක්ට හෝ ලංකාවේ ඕනැම කෙනෙකුට අවශය මුදල තමා සතු බව පෙන්වීමෙන් මේ සදහා ඇතුල් විය හැකිය. එහි විවිධ කරුණු ගැන කතා කරලා තිබුනත් අවසන් වශයෙන් සාරංශය එයයි. ඒ සදහා $12,000 ක මුදලක් වාර්ෂිකව ගෙවිය යුතු වෙනවා. එය ආසන්න වශයෙන් වසරකට රුපියල් 1,560,000.00 මුදලක් වෙනවා. ඒ කියන්නේ වසර 5 අවසානයේ රුපියල් 7,800,000.00 එහෙමත් නැත්නම් රුපියල් ලක්ෂ 78ක් වැයවෙනවා. මෙය වෛද්යය සහ දන්ත වෛද්යය සිසුන් සදහා යන වියදමයි. ඊට අමතරව විව්ධ පාඨමාල සදහා විවිධ මුදල් නියම කර ඇත.
පරිපූරක වෛදය (හෙද, ඖෂධ, රසායනාගාර, භෞතචිකිත්සක)
 $ 10,000 >>> රුපියල් 5,200,000.00 (ලක්ෂ 52)
ඉන්ජිනේරු, ආයුරුවේද වෛදය 
 $ 8,000 >>> රුපියල් 4,160,000.00
අනෙකුත් විද්යා හා ගණිත පඨමාලා
 $ 6,000 >>> රුපියල් 3,120,000.00
නීතිය $ 5,000 >>> රුපියල් 2,600,000.00
කලමනාකරනය $ 4,000 >>> රුපියල් 2,080,000.00
කලා උපාධි පාඨමාලා $ 3000 >>> රුපියල් 1,170,000.00

ඇත්තෙන්ම අපි මේ සම්බ්න්ධව සිතා බැලුවොත් අධයාපනය අමු අමුවේ විකිනීමක් ආරම්භ කර ඇති ආකාරය පැහැදිලි වෙනවා. මෙතෙක් විවිද ආකාරයෙන් නිදහස් අධයාපනයට එරෙහිව ක්‍රියාත්මක වු ත්‍රස්ත වාදය අද වන විට එලි පිට ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇත. මේ හමුවේ නිදහස් අධයාපනය අනතුරෙහි වැටෙන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීම වටී.

නිදහස් අධයාපනයට වන හානිය
සි ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා නිදහස් අධයාපන ප්‍රතිපත්තිය ගෙන ඒමෙන් බලාපොරොත්තු වුයේ එතෙක් රදල පැලැන්තිය අතර පමනක් පැවති අධයාපනය රටේ සියලුම ජනතාව අතරට ගෙන යාමයි. ඒ තුලින් ශ්‍රි ලංකීය නම් ලෝකය තුල ‍රැන්දු වෛදවරු, ඉංන්ජීනේරුවන් පරික්ෂකයන් හා විවිධ පුද්ගලයන් බිහි විය. ඒ තුලින් රටේ අනාගතයට හා සංවර්ධනයට විශාල දයකත්වයක් ලැබුනේ සුදුස්සාට හා දක්ෂයාට සුදුසු තැන ලැබීම නිසාය. එතුමා මධය විද්යාල සන්කල්පය වැනි සන්කල්ප තුලින් එය තවත් තීව්‍ර කලේය. ඉන් පසුව ක්‍රියත්මක වූ මහපොල ප්‍රතිපත්තියද එය තවදුරටත් ඉදිරියට ගෙන ගියේය.

නමුත් අද වන විට ඒ වෙනුවට අධයාපනය ක්‍රමයෙන් නැවතත් මුදල් වලට විකිනෙන තත්වයට පත් කරමින් පවතී. ඒ තුල අවසානයේ රටේ සියලුම විශ්ව විද්යාල පෞද්ගලික කරනය දක්වා කටයුතු සැලසෙනු ඇත. මෙහි ආරම්භය ලෙස 4.5% සිසුන් ප්‍රමනයකට මුදලට උපාදි විකිනීම ඇරබී ඇත. එය ඉතා සුලු සන්ඛයවක් ලෙස හැගුනද ඉතා විශල සංඛයාවකි මන්ද සම්පූර්ණ වෛද්යය සිසුන් ගනන 1000කට ආසන්න වෙයි. එයින් 4.5% යනු 45කි. දැනට විශ්ව විද්යල වලට එම සිසුන් ගැනීමටනම් පවතින සිසුන් සන්ඛයාවෙන් යම් ප්‍රතිශතයක් අඩු විය යුතුය. එය ආරම්බයේදි 17,000 පමන වන මුලු සිසු සන්ඛයාවට අනුව ආසන්න වශයෙන් සිසුන් 850ක අඩුවීමක් සිදු කල යුතුය. මෙය කොතරම් විශාල සංඛයවක්දැයි ඔබට එවිට වැටහෙනු ඇත. මෙය තව දුරටත් ඉහලට නොයනු ඇතැයි කිසිවෙකුට නිශ්චිතව කිව නොහැක.

ඔබටත් මෙයට ඇතුලත් විය හැකිද..?

මෙහි විහිලුවනම් මෙතරම් 0.0001Z පමන අගයක් අඩු වීමෙන් විශ්ව විද්යාල යාමට නොහැකි වූ සිසුන් කොතෙකුත් සිටියඩී S 3 සාමර්තය යටතේ සිදුකරන සම්මුඛ පරික්ෂනයකින් සිසුන තොර ගනු ලැබීමයි. ඒ තුල මෙම ගැටලුව කොතරම් හොදින් විසදෙනවාදැයි ඕනැම ළදරුවෙකුට වටහා ගත හැකිය. ඒ තුල ගමේ ගොවිතැන් කරන ගොවියගේ දරුවාටවත්, පාසලේ අනෙකුත් සිසුන්ගේ සිප් සතර කියා දෙන්නට වෙර දරන ගුරුවරයගේ දරුවාටවත් අවස්තාවක් නැත. එකම අවස්තාව ඇත්තේ මුදලට පමනි.

පෞද්ගලික විශ්ව විදයාල සන්කල්පයට අප විරුද්ධ විය, ඒ වෙන කිසිවක් නිසා නොව රටේ නිදහස් අධයාපනයට හා නිදහස් සෞඛ්යට වන හානිය දැකීමෙනි. එතැනින් පහලට අපට කිසිදු දේශපාලන අරමුනක් නොවීය. මෙම ප්‍රශ්නය තුල ඊට එහා ගිය ගැටලුවක් ඔබට අනාගතයේ මුහුන දෙන්නට සිදුවනු ඇත. ඒ තුල ඔබේ දරුවාද අයාලේ යන තවත් එකකු වනු ඇත. ඒ තුල සිදුවන් මානව හිමිකම් කඩවීම් කිසිවෙක් කතා නොකරනු ඇත. ඔබ නිහඩව සිටියහොත් අනාගතය ඔබට සාපකරනු ඇත. මෙය ලියන්නේ ඉතා කර්ය බහුල හෝර කිහිපයක් කැප කිරීමෙන් අනතුරුවය. මෙය බුද්ධිමත් මිනිසුන් සදහා මිස තමාගේ ප්‍රතිපත්ති මුදලට විකුනන හෝ මාධ්ය සදාචාරය නොදන්න ජනමාද්යය, දෙස ඔහේ බලා සිටින්නන් වෙනුවෙන් නොවේ. මා නිදහස් අධයපනයේ ප්‍රතිපල ලබා හමාරය. තව ටික කලකින් වෛදය වරයෙකි. එමනිසා මෙය කතාකිරීමෙන් මට ලැබෙන කිසිවක් නැත. එසේ වුවද මෙය සාකච්චාව සදහා විවර කරමි.

උපුටාගැනීම- Medical Clinic (වෙද මැදුර)

Wednesday, May 1, 2013

මැයි දින උපත හා අරුත!

May day
අප සතු සෑම වරප්‍රසාදයක්‌ම කිසියම් කාලයක, කිසියම් වකවානුවක කවර හෝ ජන කොටසක්‌ විසින් කරන ලද වෘත්තීය සටන්වල ප්‍රතිඵලයක්‌ ලෙස අප අමතක කළ යුතු නොවේ.

වරප්‍රසාද දිනා ගැනීමට සිදුකළ වෘත්තීය සටන් කෝටි සංඛ්‍යාත වැඩකරන ලෝක ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් ගෙනගිය සටන්වල ප්‍රතිඵලයක්‌ වන අතර කම්කරුවන්ගේ දිනය වන මැයි දිනය බිහිවන්නේද එලෙසය. වැඩකරන ජනතාවගේ උරුමයක්‌ වන මැයි දිනය මේ වන විට අවස්‌ථාවාදී දේශපාලනඥයින් විසින් සින්නක්‌කර අයිතියට පවරාගෙන භුක්‌ති විඳින බව අප සැමට ඇස්‌ පනාපිට පෙනෙන්නට ඇත.

ඒ කෙසේ වෙතත් කම්කරුවන්ගේ උත්කෘෂ්ඨ සැමරුම් දිනයක්‌ වන මැයි දිනය දේශපාලන පක්‍ෂවල නාඩගම් උළෙලක්‌ විය යුතු නැති අතර එම දිනය බිහිවුණේ කෙසේද යන්න අප විමසා බලමු.

කාර්මික යුගයේ මුල් අවධියේදී (1760-1830) කම්කරුවන් ගත කළ ජීවිතය අතිශය ශෝචනීය එකක්‌ විය. කර්මාන්ත හිමියන්ගේ අධික ලාභ ඉපැයීමේ අරමුණ නිසා කම්කරුවෝ දිනකට පැය පහළොවක පමණ කාලයක්‌ වැඩකළ යුතුවූ අතර ඉන්න හිටින්න තැනක්‌ හෝ නිසි ආහාරයක්‌ ඔවුනට නොවීය.

මෙම තත්ත්වයෙන් මිදීමට බුද්ධිමත් කම්කරු නායකයන්ගේ මෙහෙවීම යටතේ වෘත්තීය සමිති මගින් සංවිධානය වූ කම්කරු ජනතාව උද්ඝෝෂණ කරන්නට වූහ. ඒ අනුව එංගලන්තය, ඇමරිකාව, ජර්මනිය,

ප්‍රංශය වැනි සෑම රටකම වෘත්තීය සමිති බිහිවන්නට විය.

වැඩ කිරීමට යහපත් තත්ත්වයක්‌, සරිලන වැටුපක්‌ පැය අටක වැඩ දිනයක්‌, මිනිස්‌ අයිතිවාසිකම් යන ප්‍රධාන ඉල්ලීම් මුල්කර ගනිමින් උද්ඝෝෂණ ඇති වන්නට විය.

වෘත්තීය සටන් තීව්‍රර වුවද පාලකයින් හා කර්මාන්ත හිමියන් එම සටන් අඩපණ කිරීමට නොයෙකුත් ක්‍රියාමාර්ග ගත් අතර මේ හේතුවෙන් 1884 දී රැස්‌වූ සංවිධානය වූ කම්කරුවන්ගේ සමිති සම්මේලනය 1886 මැයි පළමු වැනිදා සිට නිත්‍යානුකූලව වැඩකරන කාලය පැය අටක්‌ බවට කම්කරුවන් විසින්ම සම්මත කර ගත යුතු බවට තීරණය කෙරිණි. ඒ සඳහා 1886 මැයි 01 වැනිදා මහා වැඩවර්ජනයක්‌ කිරීමටද තීරණය විය.

ඒ අනුව 1886 මැයි 01 වැනි දින ඇමරිකා එක්‌සත් ජනපදයේද ප්‍රධාන කාර්මික නගරවල පැය අටක වැඩ කරන දවසක්‌ ඉල්ලා උද්ඝෝෂණ දියත් විය.

මරණය සඳහා රට පුරා විසිරුණු කර්මාන්ත ශාල එකොළොස්‌ දහසකට අධික සංඛ්‍යාවක කම්කරුවෝ ලක්‍ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක්‌ එක්‌ වූහ.

වැඩ වර්ජනය ආරම්භයත් සමගම ඇමරිකා එක්‌සත් ජනපදයේ කම්කරුවන්ගේ උද්ඝෝෂණ ඒ පිළිබඳව වැඩි වන්නට විය. චිකාගෝ නුවර කර්මාන්ත ශාලා වැඩපළවල සේවා ඇන හිටිනි.

ඇමරිකානු ධනපති පන්තිය මෙම අරගලය පිළිබඳව දැඩි තැති ගැන්මට හා කණස්‌සල්ලට පත්වූ අතර එරට පුවත්පත් භයානක කොමියුනිස්‌ට්‌ තර්ජනයක්‌ පිළිබඳව අනතුරු ඇඟවීම් කරන්නට විය.

කම්කරු සටන්වල තිබූ උද්ෙHdගයක්‌ තීව්‍රර බවත් නිසා චිකාගෝ නගර ප්‍රධානීන් සහ ධනපති පන්තිය කම්කරු සටන් ව්‍යාපාරය තහනම් කිරීමට සහ කඩාකප්පල් කිරීමට අර අඳිමින් සිටියහ. විශාල පොලිස්‌ හා හමුදා නගරයට කැඳවීමට ඔවුන් කටයුතු කළ අතර කුලී හේවායින්ද ඒ අතර විය.

එහි කම්කරු සටන මෙහෙය වූ කම්කරු නායක ඇල්බට්‌ පාර්සන්ස්‌ සහ ඔහුගේ සහායක ඔගස්‌ටස්‌ ස්‌පයස්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් විය.

කම්කරු සටනට සහාය නොදුන් චිකාගෝ නුවර ප්‍රධාන සමාගමක්‌ මැයි 03 වැනිදා සටනට සහාය දැක්‌වීමත් සමගම කම්කරු සටන වඩාත් තීව්‍රර වන්නට විය. මේ අතර වැඩ වර්ජනය කඩාකප්පල් කිරීමට පොලිස්‌ රැකවරණ යටතේ යෙදූ කුලී හේවායන්ට විරුද්ධත්වය පළ කිරීම සඳහා කම්කරුවෝ රැස්‌වීමක්‌ සංවිධානය කරන්නට වූහ. මෙම රැස්‌වීමේදී නිරායුද කම්කරුවන්ට පොලිසිය විසින් ජීව උණ්‌ඩ යොදා ගනිමින් වෙඩි ප්‍රහාර එල්ල කළ අතර එහිදී කම්කරුවන් සිවු දෙනෙකු මියගොස්‌ තවත් විශාල පිරිසක්‌ තුවාල වූහ.

ඊළඟ දිනයේදී එනම් මැයි 04 වැනිදා පොලිසිය එම දුෂ්ඨ ක්‍රියා මාර්ගයට එරෙහිව විරුද්ධත්වය ප්‍රකාශ කිරීමේ රැස්‌වීමක්‌ "හේ මාර්කට්‌" චතුරශ්‍රයේ පැවැත්වීමට කම්කරුවෝ තීරණය කළහ.

ඒ සඳහා පුරපතිවරයාගේ අනුමැතියද අවසරයද හිමිවිය. රැස්‌වීම පස්‌වරු 8.00 ට පමණ ආරම්භ කරමින් කම්කරු නායක ඇල්බට්‌ පාර්සන්ඩ් අදහස්‌ දැක්‌වීය. ඉන් අනතුරුව කම්කරු නායකයින් දෙදෙනකු වන ස්‌පයස්‌ සහ µsල්ඩන් අදහස්‌ දැක්‌වූ අතර ඒ වන විට වෙලාව රාත්‍රි 10.00 ට ආසන්න වෙමින් තිබිණි. දැඩි වර්ෂාව හේතුවෙන් රැස්‌වීම අවසන් කෙරුණු අතර රැස්‌වීමට එක්‌ව සිටි පුරපතිවරයා සහ පර්සන්ස්‌ ඇතුළු කම්කරුවන් කොටසක්‌ ඉන් ඉවත්ව ගොස්‌ සිටියේය.

මේ අතරතුර කැප්ටන් බොන්µsල්ඩ් යටතේ පොලිස්‌ නිලධාරීන් 2000 ට අධික පිරිසක්‌ චතුරශ්‍රය තුළට ඇතුළු වන්නට විය. කැප්ටන් බොන්µSල්ඩ් ඉතිරිව සිටි කම්කරුවන්ට වහාම ඉන් ඉවත්වන ලෙස දන්වන ලදී. මෙහිදී කම්කරු නායකයකු වන ටී. µsල්ඩන් මෙම රැස්‌වීම සාමකාමී රැස්‌වීමක්‌ බව කැප්ටන්වරයා වෙත දන්වන ලදී.

එම සාකච්ඡාව එසේ සිදුවද්දී යම් අයකු විසින් අත්බෝම්බ ප්‍රහාරයක්‌ එයට එල්ල කළ අතර එය සටනක්‌ ඇරඹුමට සංඥවක්‌ බඳු විය. එම බෝම්බය එල්ල කළේ කවුරුන්ද යන්න අනාවරණය නොවුණු අතර ඔහු පොලිසිය විසින් කුලියට ගත් මැරවරයකු ලෙස සැලකේ.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් එක්‌ අයකු මරු තුරුළට ගිය අතර පස්‌ දෙනෙකුට තුවාල සිදුවිය. අනතුරුව සිදුවූ උණුසුම්කාරී තත්ත්වයේදී පොලිසිය විසින් කිසිදු ඉවක්‌ බවක්‌ නොමැතිව කම්කරුවන්ට බැටන් ප්‍රහාර හා වෙඩි ප්‍රහාර එල්ල කරන්නට විය. එහිදී කම්කරුවන් හය දෙනෙකු මරණයට පත්වූ අතර තුන්සියයකට අධික පිරිසක්‌ බරපතළ තුවාල ලැබූහ. පෙළපාලිකරුවන් අත තිබූ සුදු කොඩි ලෙයින් තෙමී රතු පැහැ ගැන්විය. මැයි දිනය ලෙසින් රත්වූයේ එලෙසය.

පසුව පොලිසිය විසින් නගරය දැඩි සෝදිසියට ලක්‌ කළ අතර කම්කරු සංවිධාන මූලස්‌ථාන, මුද්‍රණාල, සැකකටයුතු ස්‌ථාන දැඩි පරීක්‍ෂාවට ලක්‌ කෙරිණි. කම්කරුවන් දැඩි හිංසාවට ලක්‌ කළ අතර සිය ගණනක්‌ කම්කරුවන් සිර භාරයට ගන්නා ලදි.

කම්කරුවන්ගේ රුධිරයෙන් පළමු මැයි දිනය තෙත් කිරීමට පොලිසිය කටයුතු කළ අතර ලෝක වැඩ කරන ජනතාවගේ සටන්කාමී සංකේතය "රතු" වූයේ එලෙසය. එදා සිට කම්කරු කොඩිය රත්පැහැ ගැන්විය.

කම්කරුවන්ගේ ලෙයින් රත්වූ මැයි දිනයේදී වෘත්තීය අයිතීන් ගැන සටන්කාමී ස්‌මරණය කරනු විනා නාඩගම් නටා විකාරරූපී සංදර්ශන පවත්වා දේශපාලන විළි වසා ගැනීමට කටයුතු කළයුතු නොවේ.

සිරිමන්ත රත්නසේකර(Divaina)