Saturday, November 3, 2012

නිදහස්‌ අධ්‍යාපන අරගලය, වල්පොළ රාහුල හාමුදුරුවෝ සහ අපි

Walpola Rahula Thero
සරසවි ඇදුරු අරගලයට පසුවදනක්‌

පසුගිය මාස කීපය මුළුල්ලේ ම නිදහස්‌ අධ්‍යාපනය, ඒ සම්බන්ධ රජයේ වගකීම ආදිය පිළිබඳ සැලකිය යුතු සාකච්ඡාවක්‌ ඇති වීම විශේෂයෙන් කැපී පෙනුණු තත්ත්වයකි. එවැනි සාකච්ඡාවක්‌ ඇති වූයේ වෙන කිසිවක්‌ නිසා නොව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් මාස තුනකට වැඩි කාලයක්‌ තිස්‌සේ මෙහෙය වූ වැඩවර්ජනය තුළ තම වෘත්තීය ඉල්ලීම්වලට අමතරව ඉතා බැරෑරුම් ලෙස අධ්‍යාපනය සඳහා දල ජාතික නිෂ්පාදනයෙන් සැලකියයුතු ප්‍රමාණයක්‌ (6% ක්‌) වෙන්කළ යුතු බවට මතුකරන ලද ඉල්ලීම නිසාය. විවිධ හේතූන් මත කලින් කලට මතුවන ප්‍රමුඛතා සඳහා වැඩි අවධානය යොමුවෙද්දී රටක ඉදිරිගමනට තීරණාත්මක ලෙස බලපාන "අධ්‍යාපනය" සඳහා යොමුවිය යුතු අවධානය ශීඝ්‍රයෙන් පහල ගොස්‌ ඇති බව අප හැමට බරපතල ලෙස මතක්‌ කරදුන්නේත් එකී පිරිහීම වැළැක්‌වීමට වහ වහා මැදිහත්විය යුතු බව පෙන්වා දුන්නේත් මෙම විශ්වවිද්‍යාල ආචාර්ය අරගලයයි. මෙම ලිපියේ අරමුණ නිදහස්‌ අධ්‍යාපන අරගලය ගැන සාකච්ඡාවන්හි දී එතරම් මතු නොවන එහෙත් වැඩි අවධානයකින් සාකච්ඡා කළ යුතු අංශ කිහිපයක්‌ වෙත අවධානය යොමු කිරීම සහ එකී අංශයන් කෙරෙහි අවධානය යොමු කිරීම පෙර කී සරසවි ඇදුරන් මතු කරන ලද ප්‍රශ්නය සම්බන්ධයෙන් අදාළ වන ආකාරය සාකච්ඡා කිරීමයි.

1947 නිදහස්‌ අධ්‍යාපන පනත සම්මතවීමට පෙර ලංකාවේ තිබූ තත්ත්වය වූයේ අධ්‍යාපන අවස්‌ථාව සම්පූර්ණයෙන්ම පාහේ ධනවත් පංතියට පමණක්‌ සීමා වී පැවතීමයි. සාමාන්‍ය පංතියේ ජනයාට තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට තිබූ එකම අවස්‌ථාව වූයේ ගමේ පංසලේ භික්‌ෂූන් වහන්සේ යටතේ ලබන අධ්‍යාපනයයි. (මීට අමතරව මිෂනාරී පාසල් තුළ අධ්‍යාපනය ලැබීමේ අවස්‌ථාව සාමාන්‍ය පවුල්වල දරුවන්ට විවරව පැවතුනත් එය ජාතික වශයෙන් සැලකීමට තරම් රට පුරා ව්‍යාප්තව පැවැති තත්ත්වයක්‌ නොවේ.) පංසල තුළ ලැබූ අධ්‍යාපනය අකුරු කියවීම, ලිවීම වැනි අධ්‍යාපනයේ මූලික දැනුම් ලැබීමට පමණක්‌ සීමා විය. මේ අනුව උසස්‌ රැකියා ලැබීමේ අවස්‌ථාව සමාජයේ විශේෂ පංතියක දරුවන්ට පමණක්‌ කලින්ම වෙන් කොට තිබුණු අතර සාමාන්‍ය පංතියේ ජනයාට උරුමව පැවතියේ ගොවිතැන හා ප්‍රදේශයේ ඇති හැකි අයට ශ්‍රමයෙන් සේවය සැපයීමේ අවස්‌ථාවයි. මේ තත්ත්වය වෙනස්‌ කරමින් දැවැන්ත සමාජ විප්ලවයක්‌ කරනු ලැබූයේ නිදහස්‌ අධ්‍යාපන පනත මගිනි. එය අනුමත වීමත් සමග උපත හෝ ධනවත්කම නොව හැකියාව හා කැපවීම ඔස්‌සේ ඉදිරියට පැමිණීමේ අවස්‌ථාව ලංකාවාසීන්ගේ දරුවන්ට උදාවිය. එහෙයින් උපතින් ධනවත් පංතියට අයත් නොවන එහෙත් අද වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, අධිකරණ නිලධාරීන්, පරිපාලන නිලධාරීන්, විදේශ සේවා නිලධාරීන් ඈ තනතුරු හොබවන හැම අයෙකුම ඒ තත්ත්වයට ළඟාවී ඇත්තේ නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙනි.

ඊට අමතරව පංසලෙන් පමණක්‌ යම් අධ්‍යාපනයක්‌ ලැබීමේ අවස්‌ථාව පැවැති කාලයේ ප්‍රායෝගික කාරණා මත ඒ අවස්‌ථාව හිමි වූයේ ද පිරිමි දරුවන්ට පමණි. ගජමන් නෝනාට පිරිමි දරුවෙකු සේ වෙස්‌වලාගෙන කරතොට තෙරුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට සිදු වුණා යෑයි කියන තත්ත්වය විසි වැනි සියවස ඇරඹෙන විටත් ඒ ආකාරයෙන්ම පැවතින. අධ්‍යාපනය ලැබීමේ දී පොදුවේ කාන්තාවන් මුහුණ දුන් මේ මහා බාධකය බිඳ දමමින් සමාජයේ ප්‍රමුඛ සාමාජික පිරිසක්‌ ලෙස ඉදිරියට පැමිණීමට ඔවුනට අවස්‌ථාව ලබාදෙන්නේ ද නිදහස්‌ අධ්‍යාපනයයි. පසුගියදා ලංකාවෙන්ම පළමු වැනියා වෙමින් ශිෂ්‍යත්ව විභාගය සමත් වූ තලාතුඔය දැරිය වැනි උපතින් ධනවත් පංතියට අයත් නොවූ දරුවන්ට ඉදිරියට ඒමට දොර විවර කළේ මේ නිදහස්‌ අධ්‍යාපනයයි. ඒ අනුව නිදහස්‌ අධ්‍යාපන පනත සම්මත වීම යනු ලංකා සමාජයේ සිදුවූ දැවැන්තම විප්ලවීය අවස්‌ථාව ලෙස සැලකිය හැකිය.

මේ මහා විප්ලවය නිසි දින ගණන පිරුණු දරුවෙකු මව් කුසයෙන් ලොවට බිහිවන්නා සේ කිසිත් බාධාවකින් තොරව පනත ඉදිරිපත් කළ සැනින් සැමගේ ආශිර්වාද මැද අනුමත වී ක්‍රියාත්මක තලයට පැමිණියේද? පිළිතුරු නැත යන්නයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන ආ අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු මුදල ඉහල නැංවිය යුතුය යන ඉල්ලීම මාස තුනක්‌ ගතවීත් ජයග්‍රහණය නොකිsරීම ගැන මහත් කලබල වී ඇති සෑම දෙන මතක තබාගතයුතු කරුණක්‌ වන්නේ නිදහස්‌ අධ්‍යාපන අරගලය ජය ගෙන පනතක්‌ ලෙස සම්මත වී ක්‍රියාත්මක තලයට පැමිණීමට ගත වූ කාලය වසර හතරක්‌ තරම් දීර්ඝ වූ එකක්‌ බවයි. කන්නන්ගර මහතා නිදහස්‌ අධ්‍යාපන පනත යෝජනාවක්‌ හැටියට ගෙන ආවේ 1943 වසරේ දීය. එහෙත් 1947 වනතුරුම එය සාකච්ඡාවට ගැනීම සඳහා න්‍යාය පුස්‌ථකයට ඇතුළත් කිරීම පවා වළකන ලදී. නිදහස්‌ අධ්‍යාපන පනත සම්මත වුවහොත් අපගේ වතුවල පොල්කඩන්නට වත් කොල්ලෙකු හොයාගන්නට නැතිව යනවා ඇතැයි පවසමින් ප්‍රභූ දේශපාලකයන් විසින් එකී පනත සම්මත වීම වළකා ස්‌වභාවික මරණයකට යොමුකොට තිබිය දී එය ඉදිරියට ගෙන සාකච්ඡාවට යොමු කොට අනුමත කෙරෙන තත්ත්වයක්‌ රට තුළ නිර්මාණය කළෝ කවරහුද? අපවත් වී වදාළ මහාචාර්ය වල්පොළ රාහුල හිමියන්ගේ ඓතිහාසික මැදහත් වීම අදාළ වන්නේ මෙතැනදීය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ පළමු ලාංකීය බෞද්ධ භික්‌ෂුව වල්පොළ රාහුල හිමියෝ යි. නමුත් ඒ මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය යුතු වූ යුගයේ දී එනම් 1930 දශකයේ දීයි. ඒ. පී. ද සොයිසා, ඒ. එµa. සී. ලුඩොවයික්‌ හා එස්‌. තංගරාජා යන මහතුන්ගේ ද මගපෙන්වීම යටතේ ලන්ඩන් යුනිවර්සිටි කොලීජියට ඇතුළත්වීමේ විභාගයට පෙනී සිට සුදුසුකම් ලබන රාහුල හිමියන්ට පෙරදිග භාෂා සම්බන්ධ උපාධිය පංති සාමාර්ථයක්‌ ද සහිතව සම්පූර්ණ කිරීමට හැකිවන්නේ එවක සාන්ත තෝමස්‌ විද්‍යාලයේ විද්‍යා හා ගණිත ගුරුවරයෙකු වූ සරවනමුත්තු තංගරාජා මහතා විසින් සියලුÊපංති ගාස්‌තු ගෙවීම නිසා පමණක්‌ නොව අධ්‍යාපනය ලැබූ කාලය පුරාම උඩහමුල්ලේ තිබූ තම කුළී නිවසේ නැවතී සිටීමට ද උන්වහන්සේට අවකාශය ලබා දුන් බැවිණි. මෙම විශ්වවිද්‍යාල අධ්‍යාපන කාලය තුළ තම උපාධිය සඳහා හදාල විෂයයනට අමතරව දේශපාලන දර්ශන, සමකාලීන ලෝක ප්‍රවනතා ගැන ද හදාල රාහුල හිමියෝ 1936 දී පමණ පැතිරිනු මැලේරියා වංසගතයෙන් පීඩිත ජනයා සුවපත් කිරීම සඳහා ද අන් සිසුන් සමග එක්‌ව මහත් වෙහෙසක්‌ ගෙන කටයුතු කළහ. ධර්මදූත සභාවට සම්බන්ධව කටයුතු කරමින් රටපුරා යමින් කුළහීන ලෙස සලකා සමාජයෙන් කොන්කර තිබූ ජනසමාජ නගා සිටුවීමටද කාලයක්‌ වැඩකර අත්දැකීම් සහිතව සිsටි රාහුල හිමියන්ගේ පොදු ජනයා සම්බන්ධ ආකල්ප මෙන්ම දේශපාලනික අදහස්‌ ද වඩාත් පෝෂණය වූයේ මෙකී විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් සමගය.

කන්නන්ගර මහතාට යථාර්ථයක්‌ බවට පත්කරගන්නට නොහැකිව තිබුණු නිදහස්‌ අධ්‍යාපන පනත සම්බන්ධ අරගලය හුදෙක්‌ රාජ්‍ය සභාවට සීමා වූ අරගලයකින් සමාජ අරගලයක්‌ දක්‌වා පුළුල් කිරීම සිදුවන්නේ මෙකී රාහුල හිමියන්ගේ බරපතල මැදිහත් වීමෙනි. මුදල් ගෙවා තමන් ද ලද අධ්‍යාපනය සාමාන්‍ය පංතියේ හැකියාවන් සහිත දරුවන් වෙත ද ලබාදීමේ ඇති වැදගත්කම වෙනුවෙන් පෙනී සිටි රාහුල හිමියෝ ගම් නියම් ගම් හි ඇවිදිමින් රැස්‌වීම් පවත්වමින් නිදහස්‌ අධ්‍යාපන පනත සම්මත කරගැනීම සඳහා ජනයා පෙළගස්‌සන්නට විය. මේ මැදිහත්වීම ප්‍රභූන්ගේ ආධිපත්‍යයට එරෙහිවීමක්‌ සේ වටහා ගත් බැවින් ඇතැම් තැනක දී ප්‍රභූන්ගේ මෙහෙයවීම මත සිදුකෙරුණු තර්ජනයන්ට ද උන්වහන්සේ මුහුණ දුන්හ. කළල්ඇල්ලේ ආනන්දසාගර තෙරුන් ද එදා විද්‍යාලංකාර පිරිවෙනේ වැඩහුන් යක්‌කඩුවේ හිමි ඇතුළු ධෛර්ය සම්පන්න භික්‌ෂූන් වහන්සේ කිහිප නම ද ඩී. බී. ධනපාල වැනි මාධ්‍ය දැවැන්තයින්ද වාමවාදී දේශපාලන නායකයින් ද හරිහරියට මේ මහජන අරගලයට සහයෝගය ලබා දුන්හ. එතෙක්‌ ඉතිහාසයේ අත්සන් කෙරුණු දිගම මහජන පෙත්සම නිදහස්‌ අධ්‍යාපනයට පක්‌ෂව අත්සන් කිරීම ඇරඹිණ. එහි මුල්පිටපත ලියන ලද්දේ ද රාහුල හිමියන් විසිනි.

"නිදහස්‌ අධ්‍යාපනය" යන්න ජන තුඩග රැව්දෙන මාතෘකාව බවට ක්‍රමයෙන් පත්විය. වසර හතරක්‌ තිස්‌සේ ඉදිරියට පැමිණීම වළකා දමා තිබුණු නිදහස්‌ අධ්‍යාපන පනත සාකච්ඡා නොකර සිටිය නොහැකි තත්ත්වයට පැමිණ ඇති බව දුටු එදා සිටි ප්‍රභු දේශපාලකයෝ පළමු වතාවට පනත සාකච්ඡාවට ගැනීමට දිනයක්‌ නියම කිරීමට එකඟ වූහ. බලාපොරොත්තු වූ දිනය එළැඹිණ. පෙත්සම රැගත් රටේ විවිධ පෙදෙස්‌වලින් පැමිණි භික්‍ෂූන්, සාමාන්‍ය ජනයා විද්‍යාලංකාර පිssssssssssssරිවෙනේ සිට දැවැන්ත පාගමනකින් ගාලුමුවදොර පිහිටි රාජ්‍ය සභා ගොඩනැගිල්ල වෙත ගමන් කළහ. ගාලුමුවදොර පිටිය සාමාන්‍ය ජනයාගෙන් පිරී තිබිණ. ඩබ්. දහනායක මහතා මහජන පෙත්සම සභාවට ඉදිරිපත් කළේය. රාහුල හිමි අමුත්තන්ගේ ගැලරියේ සිට සභාගැබෙහි සිදුවන දැ නිරීක්‍ෂණය කරමින් සිටි අතර ආනන්ද සාගර තෙරුන් වරින් වර පිටත සිටි මහජනයා අතරට පැමිණෙමින් සභාගැබෙහි සිදුවන දැ ගැන ජනතාව දැනුවත් කිරීම සිදු කළහ. පනතට එරෙහි වුවහොත් තමනට පැවැත්මක්‌ නැති බව ප්‍රභූ දේශපාලකයන්ට ප්‍රකට වන ආකාරයට සියල්ල සිදුවෙමින් පැවතිණි. අවසානයේ පනතට එරෙහිව සිටි අයගේද සහාය ඇතිව ඓතිහාසික නිදහස්‌ අධ්‍යාපන පනත සම්මත වීම සිදුවිය.

මේ සමස්‌ත සිදුවීම අධ්‍යයනය කරන විට වඩාත් කැපී පෙනෙන කාරණයක්‌ වන්නේ නිදහස්‌ අධ්‍යාපන අවස්‌ථාව පොදු ජනයාට හිමිවන්නේ එකී ඉල්ලීම මහජන අරගලයක්‌ දක්‌වා වර්ධනය කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මිස හුදෙක්‌ තනි පුද්ගල උත්සාහයකින් පමණක්‌ නොවේ ය යන්නයි. කන්නන්ගර මහතාට නිදහස්‌ අධ්‍යාපන පනත ගෙන ඒමේ ගෞරවය කිසිත් අඩුවක්‌ නැතිව හිමිවිය යුතු නමුත් එය සමාජ ව්‍යාපාරයක්‌ බවට පත් කොට කන්නන්ගර මහතාගේ උත්සාහය පළ දරන තත්ත්වයක්‌ නිර්මානය කරන ලද්දේ වෙනත් පිරිසකි. මේ ආකාරයට ම පසු ගිය රජයන් ගණනාවක්‌ තුළ පිරිහීමට ඉඩ හැර තිබෙන මුල සිට අග දක්‌වා දේශපාලනීකරණයට නතුකොට ඇති ලංකාවේ අධ්‍යාපන ක්‌ෂේත්‍රය උසස්‌ තැනකට ගෙන ඒමේ අරගලය ජයග්‍රාහී එකක්‌ බවට පත් කළ හැකි වනු ඇත්තේ ද එය ජනතා අරගලයක්‌ දක්‌වා හැකි තරම් පුළුල් කළහොත් පමණි. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මාස තුනක්‌ තිස්‌සේ මහත් වෙහෙසක්‌ ගෙන කරන ලද කාර්යභාරය බෙහෙවින් ප්‍රශංසනීය වන්නේ ඒ අර්ථයෙනි. එය ඉතාම ප්‍රශංසනීය ඇරඹුමකි. මෙතැනින් ඉදිරියට එය රැගෙන යාමේ වගකීම සමාජයේ අනෙකුත් වගකිවයුතු සෑම අංශයකටම පැවරේ.

දෙවැනි වැදගත් කරුණ ලෙස පෙනෙන්නේ නිදහස්‌ අධ්‍යාපන අරගලය මහජන අරගලයක්‌ දක්‌වා ගෙනයාමට රාහුල හිමියන් ඇතුළු පිරිසෙන් ලැබුණු විදග්ධ නායකත්වයයි. රාහුල හිමි හුදෙක්‌ පංසලකට සීමාවූ මානසිකත්වයකින් යුතු සිංහල ජාතිය සහ බුද්ධාගමේ ආරක්‍ෂාව ගැන පමණක්‌ කතා කරන සුළු චරිතයක්‌ නොවී වඩා පුළුල් ලෝක දැක්‌මක්‌ සහිත පුද්ගලයකු වීම මෙහි දී කැපී පෙනෙන කරුණකි. සත්‍යවශයෙන්ම උන්වහන්සේ භික්‌ෂුවක්‌ ලෙස පාලි සංස්‌කෘත ආදී භාෂා ද, තදනුබද්ධ සාහිත්‍යය ද පිළිබඳ ගැඹුරු දැනුමක්‌ ලබාගෙන තිබුණු අතර ඉංග්‍රීසි මාධ්‍යයෙන් තම උපාධි හැදෑරීම කරන අතර ඉංග්‍රීසි සම්භාව්‍ය සාහිත්‍ය හා නාට්‍ය සම්බන්ධව උසස්‌ හැදෑරීමක්‌ කළ බව පවසන්නේ උන්වන්සේගේ ආචාර්යවරයෙකු වූ ඒ. එµa. සී. ලුඩොවයික්‌ මහතාය. පෙර සඳහන් කරන ලද මැලේරියාවෙන් පීඩිත ජනයාට සහාය වෙමින් ද තවත් විටෙක කුළ පීඩිත ජනයා නගා සිටුවීම වශයෙන් ද උන්වහන්සේ ගේ සමාජ අත්දැකීම් සහ දැනුම ද ප්‍රශස්‌ථ මට්‌ටමක විය. මහත්මා ගාන්ධි, රබීන්ද්‍රනාත් තාගෝර්, ජවහර් ලාල් නේරු, සර්වේපල්ලි රාධාක්‍රිෂ්ණන් හා රාඡේන්ද්‍ර ප්‍රසාද් වැනි සමකාලීන විශිෂ්ට ඉන්දීය නායකයන් සමග ද උන්වහන්සේ සම්බන්ධතා ගොඩනගාගෙන තිබුණි. එහෙයින් නිදහස්‌ අධ්‍යාපන සටනෙහි දී රාහුල හිමියන් තු ළින් මතුව ආ නායකත්වය අතිශය විශිෂ්ට හා පුළුල් මට්‌ටමක පැවතිනි. උන්වහන්සේ හා එක්‌ව කටයුතු කළ වාමවාදී නායකයෝ ද ඩී. බී. ධනපාල වැනි අය ද මෙබඳුම ඉහළ, පුළුල් දැක්‌මක්‌ ප්‍රකට කළ නායකයෝම වූහ. නූතන අරගලයෙහි දී ද මෙබඳුම පුළුල් දැක්‌මක්‌ ඇති විදග්ධ නායකත්වයක මගපෙන්වීම අත්‍යාවශ්‍යය. විශේෂයෙන්ම භාෂාව මත ද ආගම මත ඉතා දරුණු ලෙස සමාජය බෙදී ඇති තත්ත්වයක්‌ තුළ හා එකී බෙදීම තව තවත් තීව්‍ර කෙරෙමින් පවත්නා තත්ත්වයක්‌ තුළ එබඳු නායකත්වයක්‌ අත්‍යවශ්‍ය වේ. මෙම කටයුත්තේ දී නම් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට බරපතල වගකීමක්‌ පැවරේ. තමන්ගේම වූ පුළුල් දේශපාලන දැක්‌මක්‌ ද වැඩපිළිවෙලක්‌ ද නැති බංකොළොත් වූ දේශපාලන නායක ප්‍රතිරූපකයන්ට මෙන්ම වාර්ගික හා ආගමික අතින් අන්ධ වූ බලවේග ද මෙකී අරගලය තම අභිමතාර්ථ සඳහා භාවිතා කිරීම වැළැක්‌වීමට නම් එය අත්‍යවශ්‍යය. එමෙන්ම මෙකී අරගලය ළඟාවිය යුතු උසස්‌ තලය දක්‌වා ගෙන යාමටත් එය අත්‍යාවශ්‍යය.

දළ ජාතික නිෂ්පාදනයෙන් 6% ඉල්ලා සිටීම යනු හුදෙක්‌ මුදල් ප්‍රමාණයක්‌ සම්බන්ධ ඉල්ලීමක්‌ නොවේ. ඒ තුළ ඇත්තේ ජාතික අධ්‍යාපනය සඳහා රජය දැක්‌විය යුතු බරපතල හා වගකීම් සහගත අවධානය ඉල්ලා සිටීමකි. එය පසුගිය රජයන් හැම එකක්‌ අතින්ම පාහේ ගිලිහී ගිය අවධානයකි. ඒ අවධානය ඉල්ලා සිටීම රාජෙද්‍රdaහී හෝ දේශෙද්‍රdaහී ඉල්ලීමක්‌ නොවේය. 1940 දශකයේ රාහුල තෙරුන් ඇතුළු විද්‍යාලංකාර භික්‌ෂූන් ඉල්ලා සිටි ඉල්ලීමය. උපතින් ධනවත් නොවූ එහෙත් හැකියාවෙන් ඉතා ධනවත් වූ 5 වසර ශිෂ්‍යත්වයෙන් පළමුවැනියා වූ තලාතුඔය දැරිය වැනි දරුවන් කුස්‌සි මුල්ලට තල්ලු කර දැමීමට එරෙහි ඉල්ලීමය. ඒ සඳහා වන සටන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පමණක්‌ වූ සටනක්‌ නොවේ. එය අප සැමගේ ද සටනයි.

ගල්කන්දේ ධම්මානන්ද හිමි
සභාපති - වල්පොළ රාහුල පදනම් භාරය
(From Divaina newspaper)

Sunday, October 28, 2012

සාහිත්‍ය ඇතහැරලා තාක්‍ෂණයෙන් පමණක්‌ දුර ගමනක්‌ යන්න බැහැ

Sunil R. Gamage
- සුනිල් ආර්. ගමගේ

සුනිල් ආර්. ගමගේ ගී රචනා ක්‍ෂේත්‍රයට පිවිසියේ 1970 දශකය ආරම්භයේදීය. තිස්‌ පස්‌ වසරකට එහා දිවෙන ඔහුගේ ගී රචනා කලාවේ අභිෂේක වන මේ මොහොත වන විට ඔහු ලියා ඇති ගී සංඛ්‍යාව 200 ක්‌ පමණ වේ.

පණ්‌ඩිත් අමරදේව, නන්දා මාලනී, දීපිකා ප්‍රියදර්ශනී, ගුණදාස කපුගේ, මාලනී බුලත්සිංහල සුනිල් එදිරිසිංහ, කරුණාරත්න දිවුල්ගනේ, නිරෝෂා විරාජිණී, අමරසිරි පීරිස්‌, සුජාතා අත්තනායක, සනත් නන්දසිරි ආදී ගායක ගායිකාවන් රැසක්‌ ඔහුගේ ගී රචනා ගායනා කොට ඇති අතර බොහෝ ගී ජනප්‍රිය ඒවාය.
සාහිත්‍ය අමතක කළොත් ගීත රචකයෙක්‌ වෙන්න බෑ...
ඔබ පෙම් කරනා ගී නමින් සුනිල් ආර්. ගමගේ සිය ගී රචනා 116 ක්‌ අඩංගු සී. ඩී. පට සංග්‍රහයක්‌ නිකුත් කොට තිබේ.

 මේ ඔහු සමග කළ කතා බහක්‌.

ගීත ලිවීමට පරිසර බලපෑම කොහොමද?

මම ඔරුවල. එදා ගමක්‌. අපේ අම්මා තාත්තා කවියට, පිරිතට ඇලුම් කළ අය. අපගේ වට පිටාවේ පන්සල, වෙල් යාය, ඇළ දොළ තිබුණා. අපි රාත්‍රියේදී හඳ එළියත් එක්‌ක, තරු එළියත් එක්‌ක ජීවත් වුණ කතා බස්‌ කරපු අය. මාංදම් හිඹුටු පුහුලං කාලා ඇළේ දොළේ නාලා හොඳ ළමා කාලයක්‌ ගත කළ අය.

අද පරපුර ඉන්නේ විදුලි එළියත් එක්‌ක. ඇළට, දොළක, කුඹුරක යන්න වෙලාවක්‌ නෑ. පන්ති... පන්ති... මාදං හිඹුටු අඳුරන්නේ නෑ. සොසේජස්‌ අඳුරනවා. මේක කණගාටුවට කාරණාවක්‌. එදා රබර් වැටි පිට්‌ටනිවල අපි හැන්දැ වෙනකම් සෙල්ලම් කරපු ඉඩම් අද කට්‌ටි කැඩිලා. ජීවිතත් කට්‌ටි කැඩිලා. කට්‌ටිවලට කැඩිලා ගිහින්. අපේ ගමේ සරල ජීවිතය තමයි මේ ගීත ලිවීමට පරිසරය වුණේ.

පරපුරක වෙනස දකින්නේ කොහොමද?

අපේ පරපුරට වඩා හැම දෙයක්‌ම වෙනස්‌ පරපුරක්‌ දැන් ඉන්නේ. නව පරපුරේ ගායන ශිල්පින්, තනු රචකයින් තාක්‍ෂණයෙන් දුරගිය අය. නමුත් සාහිත්‍ය ඇතහැරලා තාක්‍ෂණයෙන් පමණක්‌ දුර ගමනක්‌ යන්න බැහැ. අපේ පරපුරට සාහිත්‍ය පරිශීලනය කළේ චිරත්ත සාහිත්‍ය සමගයි. සාහිත්‍ය පිළිබඳව ගායක ශිල්පියකට හෝ ශිලිපිනියකට යම් අවබෝධයක්‌ තිබිය යුතුයි. පද රචකයන්ට රිද්මය පිළිබඳ අවබෝධයක්‌ තිබිය යුතුයි. ගීතයක උසස්‌ මට්‌ටම රැඳෙන්නේ මේ තුන් ඈඳීම නිසයි. අද පරපුරට සිංහල, සාහිත්‍ය අවබෝධය නැතිවීම තුළ වචන උච්චාරණය, සංගීතයේ භාවයම ස්‌වරූපය, පදරචනයේ නිසරු බව නිසා වර්තමානයේ ගීතය මොකක්‌දොa තැනකට හිරවෙලා...

ගීත ලියන්න පටන් ගත්තේ කොයි වකවානුවේද?

මම හැත්තෑ දශකයේ ගීත ලියන්න පටන් ගත්තා. ඒ අවදියේ රටේ සමාජයීය වශයෙන්, දේශපාලන වශයෙන් ප්‍රබෝධයක්‌ තිබුණ අවදියක්‌. මේ නිසා හැත්තෑව දශකයේ තමයි හොඳ නිර්මාණ බිහිවන්නේ. හැත්තෑහතේ විවෘත ආර්ථිකයත් සමග අසූව දශකයේ බිහිවුණ නිර්මාණකරුවන් විවෘත ආර්ථිකයට, බහුජන සමාගම්වලට, ඇමරිකානු ධනේෂ්වරයට අසුවෙනවා. සාහිත්‍ය දුර්වල කරනවා, ඉතිහාසය නැති කරන්න හදනවා. මේ බලපෑම නිසා අවරඝනයේ ගීත බොහොමයක්‌ බිහිවෙනවා.

අද ගීතවල සාහිත්‍ය වටිනාකමක්‌ තියෙනවද?

හැත්තෑව දශකයේ බිහිවුණු රෝහණ වීරසිංහ, ගුණදාස කපුගේ, එච්. එම්. ජයවර්ධන වැනි තනු රචකයින්ට සාහිත්‍ය පිළිබඳ හොඳ දැනුමක්‌ තිබුණා. අපි ගත කළ පරිසරවලම ජීවත් වුණ අය. මේ අය පදරචනා තේරුම් අරගෙන තනු රචනා කළ ශිල්පීන්. වර්තමාන තනු රචකයින් පදරචනා තේරුම් නොගෙන සංගීතය යෙදීමෙන් ගීත භාවයමය ගුණය විනාශ කරනවා. මතක තියා ගන්න ඕන ගීතයේ සාහිත්‍ය තේරුම් ගන්න බැරිව ගී තනු නිර්මාණ කරන්න බැහැ.

ඔබේ ගීත රචනා අතර කිවිය ඔබ ගීතය විශේෂයි නේද?

ඔව්. ආකෘතිමය වෙනස්‌කම් කළ ගීතයක්‌. මාත්‍රා පහකින්, වචන දෙකකින් මෙම ගීතය පටන් ගන්නේ. එම වචන දෙකෙන් එහාට ගීතයේ ශක්‌තිය තිබෙන්නේ තනු නිර්මාණ ශිල්පියාගේ අතේ. රෝහණ වීරසිංහ ගීතය ඉතා ඉහළින් කරනවා. මගේ බොහෝම ගීත ආකෘති වෙනස්‌කම්වලින් යුක්‌තයි. මම නිතරම ස්‌ථායි කොටසේ ආකෘතික වෙනස්‌කම් කරලා තියෙනවමයි. අන්තරා කොටස තමයි සාම්ප්‍රදායික විරිත් ලක්‍ෂණ රැකගෙන තියෙන්නේ. මගේ හැම ගීතයකම මෙම ලක්‍ෂණ තියෙනවා. මේකත් ප්‍රශ්නයක්‌. මොක ආකෘතික ලක්‍ෂණ වෙනස්‌ කරපු ගීතවලට තනු නිර්මාණ කරන ශිල්පීන් හරිම අඩුයි. රෝහණ වීරසිංහ කියනවා එක අවස්‌ථාවකදී මම තියන තිත් පේළියත්, දිග ඇර, කෙටි ඉරත් තේරුම් ගන්නවාලු. එතන විරාමයක්‌ තියන්න අවශ්‍ය බව.

"නිල් කටරොලු මල් ගොමුවේ" ගීතයේ සඳහන් කළොත්

මෙම ගීතය මගේ අත්දැකීමක්‌. මම රැකියාව නිමවී ගෙදර එන දවසක මගේ පුතා නිල් කටරොලු මලක වහල ඉන්න සමනලෙයක්‌ පස්‌සේ දුවනවා දැක්‌කා. ඊට සංවේදී වූ මම ඒ මොහොතේම එක දිගට විනාඩි කිහිපයක්‌ තුළ කිසිදු වචනයක්‌වත් කපන්නේ කොටන්නේ නැතිව ලියපු ගීතයක්‌.

එහෙම පෞද්ගලික අත්දැකීම්වලට ලියවුණු තවත් ගීත තියෙනවද?

ඔව්. මගේ මිත්‍රයෙකුට වුණ සිදුවීමක්‌ තමයි ගුණදාස කපුගේ ගායනා කරන ඔබ පෙම්කරනා ඔබේ කුමාරි ගීතය. මගේ මිත්‍රයට ඒ වෙච්ච සිදුවීමෙන් කම්පනයට පත්වුණු මම නිල් කටරොලු ගීතය වගේම එක දිගට එක හුස්‌මට ලියපු ගීතයක්‌.

ඔබේ පදරචනාවලින් ගායක ගායිකාවන් ජනප්‍රිය වුණු අවස්‌ථා තිබෙනවාද?

ඔව්. අපේ පරපුරට පසුව පැමිණි දිවුල්ගනේ, ජානක, දීපිකා වැනි අයගේ ස්‌වර්ණමය ගීතයත් මම ලියලා තියෙනවා. කපුගේට ඔබ පෙම්කරනා ඔබේ කුමාරි, ප්‍රියාසූරියසේනට සුදු පරෙව් රෑන සේ වගේම, දීපිකාට කවිය ඔබ ස්‌වර්ණමය ගීතයක්‌ වුණා.

ගීතයකින් ජීවිතයට බලපෑමක්‌ ඇති කළ හැකිද?

ඔව්. මේ අලුත් පරම්පරාවට හොඳ ගීත රචකයන් නොමැතිකම නිසා හරසුත් බොළඳ පද රචනා බිහිවෙනවා. රටේ ව්‍යසනවලට මේවා නොදැනිමව බලපානවා. මනුෂ්‍යයා සාහිත්‍ය තුලින් මනුස්‌සකම හදන්න පුළුවන්. අපට හික්‌මීම ඇතිකළේ සාහිත්‍යය. මේ සාහිත්‍ය නොලැබීම තමයි ව්‍යසනවලට ආරම්භය. මුලින් කිව්ව වගේ ඉතිහාසය, සාහිත්‍ය නොමැතිකම තමයි මේ. සියලු දේ විකුණන සමාජයක්‌ දැන් තියෙන්නේ. මිනිසා... මිනිසා නොදැනීම අලෙවි වෙනවා. අලෙවි කරනවා. මේවා වැඩිපුරම කරන්නේ රූපවාහිනි නාලිකා සහ එෆ්. එම්. නාලිකා. අද ටෙලි නාට්‍ය ගරා වැටිලා. තියෙන්නේ පවුල් ආරාවුල්. යහපත් නිර්මාණ කරන ඒවාට වැටකඩොලු බඳිනවා. මොකද ලාබ හරසුන් දේවල් විකුණ ගන්න පුළුවන් පහසුවෙන්. මේ විකිණීමට තුළ වෙන්නේ ජාතියක්‌ නැතිවීමයි.

ඔබ තරුණ සේවා සභාව තුළ තුරුණු ශක්‌තිවලට සම්බන්ධ වෙනවා නේද?

සුනිල් ජයන්ත නවරත්න මහතා මට ලොකු වගකීමක්‌ පවරනවා තරුණ සේවා සභාවේ. ඒ අනුව අලුත් ගේය පදරචකයින්ගේ, ගී රචනාවලට අලුත් ගායක ගායිකාවන් ගී ගයනවා. වාදක ශිල්පී කණ්‌ඩායමත් නවකයින්. අපි සී. ඩී. තැටි දෙකක්‌ එළිදැක්‌වූවා. ඒ ගීත බොහොම ජනප්‍රිය වුණා. ඒ හරහා තමයි රවී සිරිවර්ධන වැනි ගේය පදරචකයින් බිහිවන්නේ. ශිසිකා නිශංසලා, සුභානි, සුරංගි ශ්‍යාමලි, වැනි ගායිකාවන් බිහිවන්නේ. තනු රචකයින් හැටියට දර්ශන බෝධිකොටුව, දර්ශන වික්‍රමතුංග බිහිවෙනවා. මේවා තරුණ සේවා සභාව ලබපු ප්‍රතිලාභ.

අද අලුත් පරචකයින් බිහිවෙනවා අඩුයි නේද?

නැහැ. එහෙම හිතන්න බැහැ. අපේ පරපුරේ යෂ්ටිය අතට ගත් අය ඉන්නවා. ඒ අයට ගීත ලියන්න අවස්‌ථාව අඩුයි. අපි බිහිවෙන කොට ගුවන් විදුලියේ තිබුණ නව පදමාලා, මියුරුසර වින්දන, ප්‍රබුධ ගීත හැම මාසයකම සරල ගී වැඩසටහනුත් තිබ්බා. අද එවැනි වැඩසටහන් නෑ. මම උත්සාහ කරනවා අලුත් කැසට්‌ සහ සී.ඩී තැටිවලට අලුත් ගේය පදරචකයින්ට වැඩි ඉඩකඩ ලබාදෙන්න.

ගීයක්‌ ජනප්‍රිය වීමට රූප රචනය බලපානවද?

ඔව් බලපානවා. ලාබ දේවල් ජනප්‍රිය කර ගන්න.

ගීත සාහිත්‍ය පාසල් තුලින් ආරම්භ කළොත්

අපේ කාලයේ සිංහල ගුරුතුමිය අපිට කොච්චර දේවල් ඉගැන්නුවද? දැන් ඉන්න සමහර ගුරු උපදේශකවරු ගීතය, ගීත සාහිත්‍ය හා ගීත රසවින්දන හඳුනන්නේ නැහැ.

මේ කාර්ය බහුල, තරගකාරී ජීවිතය ෙද වාචකයක්‌. ළමයි උදේ පාසල් ගියාම ගෙදර එන්නේ රෑ 9 ට. මේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු වැරදීමක්‌ තියෙනවා. මේ ක්‍රමය වෙනස්‌ විය යුතුයි. අපි කොම්පියුටර් තාක්‍ෂණයෙන් ඉදිරියට යන්න ඕනෑ. ඒත් සාහිත්‍ය අමතක කරලා යන්න බැහැ.

ඔබපෙම් කරනා ගී අරමුණ මොකක්‌ද

මම ඔබ පෙම් කරණා ගී නමින් සංගත තැටි හයක්‌ සහ ළමා ගීත 16ක්‌ සමඟ ගීත 116ක්‌ එළිදක්‌වනවා. මෙහි ප්‍රධාන අරමුණ තමයි ගීත සංරක්‍ෂණය කිරීම, මගේ ගේද කාව්‍ය අයිතිය තහවුරු කිරීම සහ නෑසෙන ගීත රසිකයිනට තිළිණ කිරීම . 2012 සැප්තැම්බර් 25 වෙනිදා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා එළිමහන් පරිෂ්‍රයේදී රාත්‍රී 7 පැවැත්වෙනවා. මම රචනා කරපු ගීත සුජාතා අත්තනායක, නන්දා මාලනී,අමරසිරි පීරිස්‌,සුනිල් එදිරිසිංහ, දීපිකා ප්‍රියදර්ශනි, ප්‍රදීපා ධර්මදාස , දිවුල්ගනේ, නිරෝෂා ,ජානක, මිත්‍ර කපුගේ, සහේළි , සුරංජි ශ්‍යාමලි යන ගායික ගායිකාවන් රෝහණ වීරසිංහයන්ගේ සංගීතය ගීත ගායනා කරනවා.. සැමට විවෘත ආරාධනා කරනවා.

හර්ෂණ ජයතිලක

උපුටා ගැනීම - දිවයින 

Saturday, October 27, 2012

ෆූටාවෙන් පසු නිදහස් අධ්‍යාපන සටන නිමි ද?

මේදින වල අන්තර්ජාල සංවාදයන්ගේද, මග තොටදී හමුවන දේශපාලන මිතුරන්ගේද, සන්ධ්‍යාවේ මධුපාන මිත්‍රසමාගම්හීද මාතෘකාව බවට පත්ව ඇත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය සහ එය නිමාවූ ආකාරයයි.අයෙක් පවසා සිටින්නේ "නිර්මල් වැඩේ පාවාදුන්නා"

තවත් අයෙක් කියන්නේ "වෘත්තීය සමිතියකට යන්න පුළුවන් උපරිම දුරතමයි ඒ පෙන්නුවේ. "තවත් අපගේ දේශපාලන මිත්‍රයන් කියන්නේ "80 වර්ජනේට වඩා දරුණු වෙනවා මේ පරාජය."
අපගේ I Hate politics මිත්‍රයන් පවසන්නේ "අපි කිව්වනේ ඕක වෙනවා කියලා. උඹලට පිස්සු."

තවක් වටින්ගොඩින් ඉදින් සංවාදයන්ට ලුණු ඇඹුල් දමන අය කියන්නේ ෆූටා එක ඇතුලේ වළි ලු. කීපදෙනක් අයින්වෙන්න යනවලු. ධම්ම නිර්මල් එක්ක ඩීල් එකක් දාලලු. බැසිල් නිර්මාල් එක්ක ඩීල් දාගෙනලු.
 
ඇත්තටම සටන අවසන්ද?

මේ සියලු සංවාදයන්ගේ කථා නොකරන එකම කරුණ අධ්‍යාපන සටන ෆුටාවෙන් පසු ගොඩනගන්නේ කෙසේද යන්නයි. ආචාර්යවරුන්ගේ සටන් වැටුප් සටනින් උත්කර්ෂයට පැමිණ ආරාබි වසන්තයක් දක්වා දිගුකරන දේශපාලාන බලවේග නිර්මාණය කරන්නට පෙළගැසුනු බොහෝ කණ්ඩායම් ෆූටාව අවසන්වීමෙන් පසු උකඨලී වී ඇත. නැතිනම් සියල්ල අවසන් වූවාක් මෙන් හැඟීම් බරවී ඇත.

"සමහර ආචාර්යවරු පවා ""සිරකරුවෝද මනුෂ්‍යයෝය" , ඒමෙන්ම ""කථිකාචාර්‍යයෝද මනුෂ්‍යයෝය". ජීවිත යථාර්ථය ඔවුනටද මඟ හැර යා නොහැක්කකි " යනුවෙන් අන්තර්ජාල සමාජ වෙබ් අඩවිතුළ සටහන් තබන තත්ත්වයටම මානසික පරාජයන්ට පත්ව සිටිති.

ලිපියට ප්‍රවේශය එතැනින්ම සපයා ගත හැකිය. සැමට සමාන අධ්‍යාපනය නැතිනම් අධ්‍යාපනයේ සම අයිතිය එහෙමත් නැතිනම් නිදහස් අධ්‍යාපනය සුරකීමේ වගකීම තිබෙන්නේ ෆූටාවට හෝ වෙනත් කණ්ඩායමකටද ?

ආසියාතික පසුගාමීත්වයෙන් අගතැන්පත්ව සිටින ලංකා සමාජය සැමවිටම තමන්ගේ වගකීමෙන් මිදී එම වගකීම අනෙකෙකු මත පටවයි.

එමනිසාම විවිධ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීමට සෑමවිටම අනෙකෙකු යෝජනා කරති. නිදහස් අධ්‍යාපන සුරකීමේ වෙනුවෙන් අතීතයේ සිට මේ දක්වා ඉතා අඩුපාඩු සහිතවද නොනවත්වා අරගලයේ යෙදෙන්නේ විශ්වවිද්‍යාප ශිෂ්‍ය ප්‍රජාව පමණි.
ඒ ලෙසම මානව හිමිකම් කඩවූ විට ඒ වෙනුවෙන් පෙනීසිටය යුත්තේ මානව හිමිකම් සංවිධාන සහ මානව හිමිකම් ආරක්ෂකයෝය. මාධ්‍ය මර්ධනයට එරෙහිව පෙනීසිටින්නේ මාධ්‍යවේදීන් පමණි. ගොවීන්ගේ ප්‍රශ්ණවලට ගොවීන් පමනී.

මේ ලෙස දකුණේ සමාජය ඉතා ගැඹුරුලෙස වෙන්වී තිබේ. නැතිනම් සමාජයේ පැවැත්ම සඳහා එකිනෙකා අතර වන මහා සම්මුතිය අවසන් වී ඇත. එය අවසන් වී ඇති නිසාම එය පාලකයන් මැනවින් විග්‍රහකරගෙන සිටිති. ඔවුන් විවිධ කණ්ඩායම් වෙනවෙනම ගෙන විසදුම් ලබාදෙන්නේ ඒ නිසාවෙනි.

අවසන්වූ ෆුටා අරගලයටද පාලකයන් ඒ ලෙසම තම උපක්‍රමය ක්‍රියාවට නැංවීය.ඔවුන් අවසානයේ එම අරගලය වැටුප් අරගලයක් දක්වා විතැන් කිරීමට ක්‍රියාත්මක වූයේ මන්ද 6% වැනි සටන් පාඨයකට සමස්ථ සමාජයටම ආමන්ත්‍රණය කළ හැකි නිසාවෙනි. ආචාර්යවරුන්ගේ සංගමය සුපුරුදු ආසියාතික ලක්ෂණ පෙන්නුම් කරමින් අවසානයේ දී සිය සීමාවේදී පමණක් කටයුතු කළහ.

නමුත් මෙහි ධනාත්මක කාරණය වන්නේ අධ්‍යාපනයේ සම අයිතිය සඳහා වන අරගලය නැවත වටයකින් ආරම්භකිරීමට ඉතා හොඳ කථාකාවක් මේවන විට ආරම්භ වී තිබීමයි. එම සංවාදය තවදුටත් පුළුල් කිරීමේ අවශ්‍යතාවය පැණනැගී ඇත.ෆූටා නිසා නොව ජනයා තමන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් වීදියට කැඳවන්නේ කෙසේද යන්න අප හමුවට මේ නිශ්චිත මොහොතේදී අභිමුඛ වී ඇති ප්‍රධාන අභියෝගයයි.
 
what's next ? ඉතිං, ඊට පස්සේ?

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂ මෙතැනින් පසු අධ්‍යාපනය වෙනුවෙන් කරන මැදිහත් වීම මත ඔවුන් ඉහත අරගලය දැක්වූ සහය සහ කළ මැදිහත් වීම කෙතරම් අවංකද යන්න නිර්ණය කළ හැක්කේ පශ්චාත් ෆුටා කාලසීමාවේදීය.

ආචාර්ය දේවසිරි හයිඩ් පාක් පිටියේදී පැවති අවසන් රැළියේදී ප්‍රකාශ කළ අධ්‍යාපනයේ අයිතිය සුරක්ෂිත කරන බවට ප්‍රතිඥාවක් එක්සත් ජාතික පක්ෂයෙන් තවමත් ලැබී නැත. (ලැබෙන්නේද නැත - අවධාරණය මගෙනි) මන්ද පසුගිය සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේද 6% දෙන්නට ඇත්ත වශයෙන්ම අපහසු බවයි. එමණක් නොව ඔහු පවසා සිටින්නේ කිසියම් ආදායම් මට්ටමෙන් පහළ පිරිසකට පමණක් නිදහස් අධ්‍යාපන ලබාදුන්නාම ඇති යනුවෙනි.

එම ප්‍රකාශය අප විටහා ගත යුත්තේ ආචාර්ය හර්ෂගේ පුද්ගලික මතයක් ලෙස නොව එක්සත් ජාතික පක්ෂය නිදහස් අධ්‍යාපන සම්බන්ධව දරණ ස්ථාවරය ලෙසය.

ජනාතා විමුක්ති පෙරමුණ තමන්ගේ නිදහස් අධ්‍යාපනය සුරකිමු යන සටන් පාඨය අවස්ථාවට උචිත පරිදි වෙනස් කරගෙන ඇති බව නීර්ක්ෂණය වෙයි. දඹර අමිල හිමි පවසා සිටියේ නිදහස් අධ්‍යපනය සුරකීමට නිදහස් අධ්‍යාපනය රාජ්‍ය අධ්‍යාපනයෙන් තෙම්පරාදු කරගත යුත් බවයි. එය එක් අතකින් ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ පටන්ම සිදුකරන සිය අවස්ථාවාදී දේශපාලනයේ කඩපතක් වැනිය.

රෝසමල මෙතැන. එන්න මැතන නටන්නට කියා මෙතැනට ජනතාවට හඩගසනා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අභිමුඛ වී ඇති අභියෝගය සුළුපටු නොවේ.බොහෝවිට මෙම අභියෝගය ඔවුන්ගේ භූමිය තුළ කටයුතු කිරීමේ ශක්තිය මැනබැලීමේ පරීක්ෂණයක් වෙනවා නොඅනුමානය. එක් පැත්තකින් ශිෂ්‍ය ව්‍යාපාරය මෙතැන් පසු මෙහෙයන්නේ කොතැනට අනෙක් පැත්තෙක් දේශපාලන පක්ෂයන් ලෙස නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටනට ජනයා ඒකරාශී කරන්නේ කෙසෙද යන්නයි.

ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂයන් දෙපළකගේ ජීවිත ෆුටාව වෙනුවෙන් පරිත්‍යාග කෙරුනි. එම නිසාම ශිෂ්‍යයන්ගේ නිදහස් අධ්‍යාපන සටන ෆුටාවේ අවසානයෙන් දියාරු කරනොගෙන මෙහෙයවීමේ වගකීම ඔවුන්ගේ කරමතට වැටී ඇත.
 
ජනයා අරගලය කැඳවීම

නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටන එක් පක්ෂයටකට හෝ කණ්ඩායමකට අයත් කාර්යක් පමණක් නොවන බව ලියමනේ මුලින්ම සඳහන් කලෙමි. එම නිසාම අධ්‍යාපනයේ සම අයිතිය රැකගැනීමේ සටනේ ප්‍රමුඛ කාරණාව බවට ජනයා පත්වෙති.

විශේෂයෙන්ම ලංකා සමාජයේ සියලු වෘත්තිකයන් තමන් උපයන මුදලින් වැඩිම ප්‍රතිශතයක් වියදම් කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි. ඉතා පහළ මට්ටමේ ආදායම් ලබන්නන් පවා තම ජීවිත කාලයම කැපකරන්නේ බොහෝවිට තම දුවාදරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි. ඒ ඔවුන්ගේ ජීවිත සුවපත් කිරීමට ඇති එකම මාර්ගය දරුවන්ට හොදින් ඉගැන්වීම බව ලංකා සමාජයම විශ්වාස කරයි. ලංකාව වැනිරටවල ආර්ථික සාමාජීය සහ දේශපාලනික තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී ඔවුන්ගේ විශ්වාසයෙහි සත්‍යතාවයක්ද පවතී.

මේ නිසාම නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටනේ පෙරමුණු සටන්කරුවන් බවට දෙමාපියන් පත්කරගත යුතුය. ලංකාවේ නිදහස් අධ්‍යාපනය සුරකීමේ සටන තවමත් ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස් ආකර්ෂණය කරනවා විනා සමස්ථ ජනයට ආමන්ත්‍රණය කර නැත. ශිෂ්‍ය ව්‍යාපාරය වේවා අවසන් වූ ෆූටා අරගලය වේවා ඔවුන් දෙපිරිසම කටයුතු කලේ ප්‍රධාන බලවේගයට අමන්ත්‍රණය නොකරය. අප නිදහස් අධ්‍යාපනයේ ප්‍රධාන බලවේගය කරගත යුත්තේ ලංකාවේ සමස්ථ ශිෂ්‍ය පරපුරේ දෙමාපියන් වේ. මන්ද යම් හෙයකින් නිදහස් අධ්‍යාපනය අවසන් වී මුදල් ගෙවා ඉගෙනගැනීමට සිදුවුවහොත් එහි බර පැටවෙන පිරිස ඔවුන් බැවිනි. ඔවුන් මේ සටනේ ගාමක බලවේගය වන්නේ සරලව එම ආර්තික කාරණය ඔස්සේය. දේශපාලන කණ්ඩායම අනෙතුත් වෘත්තීය සමිති,සිවිල් සංවිධාන මේ සියල්ලම ද්විතීක බලවේගවන්ය වේ.

නමුත් මේ දක්වා සිදුව ඇති සියලු අරගල දෙස වඩාත් පුළුල්ව නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ නිදහස් අධ්‍යාපනය සුරකීමේ සටන ගොනූ වී ඇත්තේ පාලකයන්ගේ ඉල්ලීම් ඉල්ලනවා හෝ පාලකයන් වෙනස් කරනවා මිස අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් ජනතාව වෙනස් කිරීමට නොවේ. එම නිසා පශ්චාත් ෆුටාවෙන් පසු නිදහස් අධ්‍යාපනය සටන් ජනතාව ඒ වෙනුවෙන් පෙළගස්සවන,ජනතාව සමග එක්ව කරන සටනක් බවට පරිවර්තනය කර ගැනීමේ අභියෝගය අපහමුවේ පවතී.

එවිට අප විසින් විග්‍රහකරගත යුත්තේ ෆූටාවෙන් පසු නිදහස් අධ්‍යාපනයේ සටන කිසිලෙසකින්වත් අවසන් නොවන බවයි. එය තවත් එක් අත්දැකීමක් පමණ් වන අතර එය අවසන් වූ ආකාරය සම්බන්ධයෙන් තැවීමට හෝ උකඨලී වීමේ අවශ්‍යතාවයක් නැත.

අවශ්‍යවන්නේ නිදහස් අධ්‍යාපන සුරකීමේ වැදගත් කර සමාජය ඒත්තු ගන්වා ජනතාව අරගලය වෙත කැඳවීමයි. නිදහස් අධ්‍යාපන වළපල්ලට යවන්නට සුබ සිහින දකින පාලකයන් එම සිහිනෙන් අවධිකළ යුත්තේ එම ජනතාවගේ හඩනි.

ජනතාව අරගලය වෙත කැදවන්නේ නොමැතිව පාලකයන්ට ගෙදරට යන්නට කීවට පළක් නැත. ඒ සියලු සටන් නිමාවීමට ඇත්තේ ෆූටාව අවසන් වූවා වැනි අනාගත පෙරොන්දුවලින් පමණි.

අප ඒ ශ්‍රද්ධවූ පෙරොන්දුව අත්සන් කළයුත්තේ ජනතාව සමගය. ඒ නිදහස් අධ්‍යාපන අනාගත පරපුරට ලබාදීමට සුරකිනවා කියන පොරොන්දුවයි.

එම නිසාම " ෆූටාවෙන් පසු නිදහස් අධ්‍යාපන සටන නිමද?" නැත, අලුත් සටන අරම්භකළ යුතුව ඇත.
පසන් ජයතිලක \[Pasan Jayathilake]
(කැළණිය විශ්වවිද්‍යාලය )