Tuesday, November 20, 2012

යලි සරසවි වැසෙන ලකුණු?

දින 100 ක් මුලුල්ලේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආචාර්යවරු අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වුවද මෙවර අයවැයෙන් ඒ සඳහා සැලකිල්ලක් දක්වා නොමැති බවත් අදාළ ඉල්ලිම් දිනාගැනීම සඳහා සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව අරගලයක් දියත් කළ යුතු බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වෙත ඇරයුමක් කර ඇතැයි වාර්තා වේ.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ අත්සනින් යුතු එම ඇරයුම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා වෙත යවා ඇත.

එම ඇරයුම සහිත ලිපියේ සඳහන්ව ඇත්තේ, අයවැයෙන් ලබානොදුන් වැටුප් වැඩිකර ගැනීමේ අරගලය සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද සම්බන්ධ කරගැනීමට තීරණය කර ඇති බවත් ඒ සඳහා සකච්ඡා කිරීමට දිනයක් හා වේලාවක් ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් යලි සරසවි අධ්‍යාපන අඩාලවීමට ඉඩනොදී ගැටලු වලට අදාල විසදුම් ලබාදීමට පාලකයන් යුහුසුලු විය යුතුය.

විභාග දෙපාර්තමේන්තුව අදත් ළමුන් අතරමං කරයි

මෙවර (2012) උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන අතර අද (20) නාට්‍ය හා රංගකරණය සඳහාත් නැටුම් සඳහාත් එම පරීක්ෂණ පැවැත්වේ.

කෙසේ නමුත් කුරුණෑගල මාවතගම ජාතික පාසලේ එම විෂයන් හදාරණ සිසු සිසුවියන්ට එම විෂයන් දෙක සඳහාම එකම වෙලාවක පාසල් දෙකක ප්‍රායෝගීක පරීක්ෂණ සඳහා කැඳවා තිබේ.

ඒ අනුව නැටුම් විෂය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ අද (20) පෙරවරු 09.00ට ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේදී පැවැත්වෙන අතර නාට්‍ය හා රංගකරණය විෂය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ අද එම වේලාවටම ගැට්ටුවාන ප්‍රාථමික පාසලේදී පැවැත්වේ.

මෙම විෂයන් සඳහා ළමුන් විශාල පිරිසක් පෙනී සිටින අතර ඔවුන් මහත් උභතෝකෝටියකට ලක්ව සිටී.

විභාගය ආරම්භවීමට තවත් ඇත්තේ විනාඩි 30ක පමණ කාලයකි. මේ වන තුරුත් මොවුන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසිඳු නිලධාරියේකු හෝ බලධාරියෙකු පෙනී සිට නැති අතර මාවතගම ජාතික පාසලේ එම විෂයන් භාර ආචාර්යවරු ඇතුළු සිසු සිසුවියන් මහත් අසරණතාවයකට පත්ව සිටී.

Monday, November 19, 2012

පාසල් සිසුන් හදිසියේ රෝගාතුරවීම මානසික රෝගයක් ?

පසුගිය දින කිහිපය තුල ප්‍රදේශ කිහිපයක පාසල් සිසුන් විශාල ප්‍රමානයක් හදිසියේ එකවර රෝගාතුර වීම හේතුවෙන් රෝහල් ගත කෙරිණි. මෙහිදී කැසීම, පළු දැමීම ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් එම සිසුන් අතර තිබී ඇත.

අද (19) දිනයේදීද ඇතිමලේ මුස්ලිම් ප්‍රාථමික විද්‍යාල‍යේ සිසුන් 20 දෙනෙකු ගම්පොල රෝහලට ඇතුලත් කර ඇති අතර  පසුගිය දින කිහිපය තුල ගම්පොළ මහනුවර සහ වැලිගෙපොල පාසල් හතරක ළමුන් සිය ගණනක් හිටි හැටියේ ලෙඩ වීමට හේතුවෙන් රෝහල්ගතකර තිබේ. මෙය සමූහ මායා රෝගය නමැති හිස්ටීරියා තත්ත්වයක් (Mass hysteria) විය හැකියැයි මනෝ වෛද්‍යවරු පවසති. 

මේ සම්බන්ධයෙන් පසුගිය දිනක ලංකාදීප එසැණ පුවත් සමග අදහස් දැක්වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා කියා සිටියේ සිසුවියන් කිහිප දෙනකුට ඇතිවූ ආසාත්මිකතාවක් ඔවුන් ඇසුරු කරන හා එය දකින සිසුවියන් විසින් තමන්ට ද ඇතැයි සිතීම සාමාන්‍ය දෙයක් බවයි. එලෙස වෙනත් අයකුට ඇතිවන රෝගී තත්ත්වයක් සමූහ වශයෙන් විශාල පිරිසක් විසින් තමන්ට ද ආදේශ කැර ගැනීම සමූහ මායා රෝගය ලෙස හැඳින්වේ.

වෛද්‍ය රූමි මහතා පවසන්නේ මේ තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ නව යොවුන් වියේ සහ යොවුන් වියේ පසුවන ගැහැණු ළමුන් බවයි. එවැනි අවස්ථා විදේශ රටවල විශාල වශයෙන් වාර්තා වී ඇති බවත් මෙවැනි තත්ත්වයන් පිළිබඳ පුවත් වාර්තා කියවන හා ඒවා අසන්නට ලැබෙන අය ද එයට සමාන පරිසර තත්ත්වයන්හිදී තමන් ද එවැනි රෝගයකට ගොදුරු වූ බව සිතන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදෙයි.

සමූහ මායා රෝගයේදී පරිසරයේ වෙනස්වීම් පවා තමන්ට ඇතැයි සිතන රෝගී තත්ත්වයට ආදේශකැර ගැනීමට ඔවුන් පෙළඹෙන බව ද දෙමාපියන් විසින් මෙවැනි අවස්ථාවලදී කරන පෙළඹවීම් ද සමූහ මායා රෝගයට ගොදුරුවීමට හේතුවක් වන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සමූහ මායා රෝගයේ ප්‍රධානතම ලක්ෂණයක් වන ගැහැණු ළමුන් වැඩිපුර ගොදුරුවීම මෙම අවස්ථාවේදී දක්නට ලැබෙන බව ද වෛද්‍යවරයා පෙන්වාදෙයි. පාසල් දරුවන් මෙලෙස හදිසියේ රෝගාතුර වීමට කෘමියකු හෝ විෂ වායුවක් හේතුවන්නේනම් පාසල් ළමුන් පමණක් නොව වැඩිහිටියන් සහ පාසල් ගුරුවරු පවා රෝගාතුර විය යුතු බව ද ඔහු පවසයි. කෙසේ වෙතත් මේ තත්ත්වය ගැන වැඩිදුර පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවක් තිබෙන බව ද එය කල්පවතින රෝගී තත්ත්වයක් නොවන බව ද පවසන වෛද්‍යවරයා කියා සිටින්නේ සමූහ මායා රෝගය පිළිබඳ පාසල් සිසු සිසුවියන් දැනුම්වත් කිරීමෙන් එය මගහරවා ගතයුතු බවයි.

කෙසේ වෙතත් පාසල් දරුවන්ගෙන් 20% ක් කිසියම් හෝ මානසික රෝගයකින් පෙළෙන බවත් එය සමස්ත ළමා ජනගහනයෙන් 9% ක් තරම් විශාල ප්‍රමාණයක් බවද ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය පසුගිය දිනක හෙලිකර තිබින. ලංකාවේ ක්‍රියාත්මක වන අධ්‍යාපනය රටාව දරුවන්ගේ ජීවිතයට විශාල ලෙස අහිතකර බලපෑමක් හා දැඩි පීඩනයක් එල්ල කරන බව අධ්‍යාපන වේදීන්ගේද මතයයි.