Thursday, November 22, 2012

"අසාත්මිකතාවක්‌ නොවේ" සෞඛ්‍ය අමාත්‍යාංශය

එක්‌ පාසලක එක්‌ දරුවකු හෝ දෙදෙනකුට සිරුර කැසීම, ක්‌ලාන්තය වැනි තත්ත්වයක්‌ මතු වූ විට සම වයස්‌ කාණ්‌ඩයේ අනෙකුත් අය ඊට ප්‍රතිචාර දැක්‌වීම මිස දැනට කර තිබෙන පර්යේෂණ අනුව අසාත්මිකතාව පවතින්නේ එක්‌ පාසලක දරුවන් කිහිප දෙනකුට පමණකැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

මෙම අසාත්මිකතාව විෂබීජයක්‌ හෝ ක්‍ෂද්‍ර ජීවීන් නිසා හෝ රසායනික ද්‍රව්‍යයක්‌ වෙනත් පරිසර සාධකයක්‌ මත ඇති වූ රෝගී තත්ත්වයක්‌ නොවන බවද ඊයේ (21 වැනිදා) කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයට රැස්‌ වූ චර්ම රෝග, කායික, ළමා රෝග හා වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසා ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනය මෙසේය.

පසුගිය දිනවල පාසල් කිහිපයක දරුවන් ඇඟ කැසීම, ක්‌ලාන්තය වැනි රෝග ලක්‍ෂණ සහිතව රෝහල් ගත කිරීමේ සිද්ධීන් පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයේ මූලිකත්වයෙන් අදාළ ස්‌ථානවලදී පරීක්‍ෂණ කටයුතු මෙහෙයවනු ලැබීය. ඒ අනුව ගම්පොළ, මහනුවර, වැලිගෙපොල, අම්පාර, රත්නපුර, කොළඹ ඇතුළු එම ස්‌ථානවලට වසංගත රෝග විද්‍යා අංශයේ පරීක්‍ෂණ කණ්‌ඩායම් යොදවා මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු සිදු කරන ලදී.

මෙම පරීක්‍ෂණ කටයුතුවලට චර්ම රෝග, කායික රෝග, ළමා රෝග සහ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ඇතුළත් කණ්‌ඩායම් මේ සඳහා සහභාගි වූහ. එම පිරිස්‌ විසින් සිදු කරන ලද පරීක්‍ෂණ කටයුතු සම්බන්ධයෙන් ඊයේ (21දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සමාලෝචන රැස්‌වීමක්‌ පවත්වනු ලැබීය. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ උපදෙස්‌ මත අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඊට වසංගත රෝග විද්‍යා අංශය, බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය, කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් පරපෝෂිතවේදය, මානසික රෝග විශේෂඥ වෛද්‍යවරු සහ අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ද සහභාගි වූහ.

දැනට කරන ලද පර්යේෂණ අනුව මෙම සිසු දරුවන් පීඩනයට පත් කළ මෙම රෝගය විෂබීජයක්‌ හෝ ක්‌ෂුද්‍ර ජීවීන් නිසා හෝ රසායනික ද්‍රව්‍යයක්‌ හෝ වෙනත් පරිසර සාධකයක්‌ මත ඇතිවිය හැකි අසාත්මිකතාවක්‌ නොවන බව අවධාරණය විය. බොහෝ දරුවන්ට අසාත්මිකතාවට අදාළ රෝග ලක්‍ෂණ නොතිබූ අතර, කිහිපදෙනකුට පමණක්‌ අසාත්මිකතා ලක්‍ෂණ යෑයි සැක සහිත රෝග ලක්‍ෂණ පැවැති බවට තහවුරු විය. එසේ තහවුරු වී තිබෙන්නේ එක්‌ පාසලක දරුවන් කිහිපදෙනකුගේ පමණි.

කෙසේ වෙතත් අසාත්මික ලක්‍ෂණ පෙන්නුම් කළ සිසුන් කිහිපදෙනා සම්බන්ධව තවදුරටත් වෛද්‍ය පරීක්‍ෂණ පැවැත්වීමට තීරණය විය. මෙම සිද්ධීන් වාර්තා වූ පාසල්වලින් ලබාගත් ජලය පස්‌ සහ දූවිලි සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ පරපෝෂිත විද්‍යා අංශයේ දී පරීක්‍ෂාවට ලක්‌ කළ අතර, එහි කිසිදු අයුරකින් අසාත්මිකතාවකට හෝ වෙනත් රෝගයකට හේතු විය හැකි විෂබීජ හෝ ක්‌ෂුද්‍ර ජීවීන් කිසිවක්‌ හමු වී නැත. මෙය බොහෝ විට සුළු සිදුවීමක්‌ හරහා ළමුන් විසින් ක්‍ෂණික ප්‍රතිචාර දක්‌වන ආතතිය හෝ චකිතය නිසා ඇතිවීමට බෙහෙවින් ඉඩකඩ තිබෙන පොදු ස්‌වභාවයක්‌ බව ද, වෛද්‍යවරු පෙන්වා දුන්හ.
 

සරසවි ආචාර්යවරයාට 50000 යි, ආරක්‍ෂක ස්ථානාධිපතිට 93,000 යි

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප වැඩි නොකරන රජය විශ්ව විද්‍යාලයේ ආරක්‍ෂාව වෙනුවෙන් යොදා ඇති ආරක්‍ෂක ස්ථානාධිපතිවරයකුට රුපියල් 93,000 ක් ගෙවන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

එම පක්‍ෂ කෑගල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රි කබීර් හෂීම් මහතා අද පාර්ලිමෙන්තුවේදී උසස් අධ්‍යාපන ආමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එක් වෙමින් පැවසුවේ ආචාර්යවරයකුට රුපියල් 50,000 ක මුදලක් ගෙවන අතරතුර පුද්ගලික ආරක්‍ෂක සමාගමක ආරක්‍ෂකයකුට රුපියල් 93,000 මුදලක් ගෙවීම විහිළුවක් බවයි.

විශ්ව විද්‍යාල සඳහා ආරක්‍ෂක අංශයක් තිබියදී බාහිර ආරක්‍ෂක අංශයක නිලධාරින් එහි යොමු කර ඇත්තේ තවත් විශාල මුදලක් අපතේ යවමින් බවද සඳහන් කළ මන්ත‍්‍රිවරයා රජය රටේ අනාගතය ගැන සිතන්නේ නම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ඉහළ දැමිය යුතු බවද කීවේය.

Wednesday, November 21, 2012

පරමාදර්ශී පාසලේ ළමයින්‍ට වතුරත් නැහැ - සුනිල් හඳුන්නෙත්ති හෙළිකරයි

Sunil hadunnetti
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නියෝජනය කරන හෝමාගම ආසනයේ ඇති හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉගෙනුම ලබන ළමයින් සඳහා බීමට ජලය හෝ නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (20) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කර සිටියේය.

මේ වනවිට විවෘත කර බෙහෝ කළක් ගත වන බවත් ළමුන්ද බොහෝ පිරිසක් එම පාසලට යන නමුත් තවමත් එහි ළමයින්ට බීමට වතුර නැතැයි එහිදී ජවිපෙ මන්ත්‍රීවරයා පැවසීය.

එහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා සහ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා අතර ඇතිවූ සංවාදය පහත පළවේ.

මන්ත්‍රීවරයා

"හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාල‍ බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ පරමාදර්ශී පාසල හැටියට කියන්නේ. රෝයල්එකේ ඉන්න ළමයින්ටත් මේකට එන්න කියලා තමයි කියන්නේ. හැබැයි ඒකේ ළමයින්ට බොන්න වතුර නැහැ. වැසිකිලි යන්නවත් වතුර නැහැ. ළමයින්ට බොන්න වතුර ගෙනියන්නේ ගෙවල්වලින්.

ඇමතිවරයා

"ඒක වැරදියි. දැනටමත් ජලසම්පාදන ඇමතිතුමා ජලය සැපයීමට අවශ්‍ය මුදල් වෙන්කරලයි තියෙන්නෙ."

මන්ත්‍රීවරයා

"වෙන් කරනවා කියන එකයි ළමයි ඉස්කොලේ ගිහින් බොනවයි කියන එකයි දෙකක් නේ ඇමතිතුමා. වෙන් කරලා තියෙනවයි කියන එකෙන් ඔයාල පිළිගන්නවා මේ පාසලේ ළමයින්ට තවමත් බීමට වතුර සපයලා නැහැ කියන එක."