Monday, October 22, 2012

වඳ වී ගිය ගුරු පරපුරක හංස ගීතය හෙවත් ගුරු ගීතය


ගුරුවරයා වූ කලි උත්තම පුරුෂයෙකි. ඔහු පහනෙන් පහනක් දල්වන්නෙකි. පරපුරක් ගොඩනඟන්නෙකි. සමාජයට වගකිව යුත්තෙකි. අතීතයේ සිට දේවත්වයෙන් පිදුම් ලැබූවෙකි. එහෙත් ලාංකීය සමාජය ගතහොත් ගුරුවරයාගේ භූමිකාව වූ කලී කාලානුරූපී ව වෙනස් වූවකි.

නිදහස් අධ්‍යාපනය ලැබීමත් සමඟ ම ඈත පිටිසර ගම්මානවල පවා පාසල් බිහිවන්නට විය. දුර බැහැර පාසලකට එකල ගුරුවරයකු පැමිණීම යනු පහන් පැලට දෙවියකු වැඩම කිරීම හා සමාන ය. ගුරුවරයා පැමිණෙන දිනයේ ගැමියෝ මඟට වී බලා සිටිති. ඔහු ගෙනා බඩු මුට්ටු කරෙන් ගෙන යති. ගමේ හොඳ ම නිවසේ ඔහුට නවාතැන් ලැබෙයි. කොයි දෙසින් පැමිණිය ද ඔහු ටිකින් ටික ගමේ සාමාජිකයකු බවට පත්වෙයි. ඇතැම් විට එකල ගුරුවරයා ඒ ගමෙන් ම විවාහයක් කරගෙන ගමේ ම පදිංචි වෙයි.

පැරණි සමාජය වූ කලී අල්පේච්ඡ සමාජයකි. එය බරපතළ පාරිභෝගික සමාජයක් නොවේ. ඒ නිසා ලද දෙයින් සතුටුවීමේ හැකියාව එකල සමාජයේ පැවතිණි. එසේම ලබන වැටුපෙන් ජීවත්වීමේ හැකියාව ඔවුනට පැවතිණි. ඒ නිසා ම ඔවුහු තම වෘත්තියට ආදරය කළෝ ය. ගෞරව කළෝ ය. අප්‍රමාණ වූ කැපකිරීම් කළෝ ය. මේ ගීතය මඟින් ද චන්ද්‍රසේකරයන් තේමා කරගන්නේ එබඳු දෙවිවරුන් බඳු ගුරු පරපුරකට මෙන්ම ඔවුන්ගෙන් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය පරපුරකට මුහුණ දෙන්නට සිදුවූ ඛේදවාචකයයි. රචකයා ඉතාම සංයමශීලී ව සියුම් ගෙත්තමක් ලෙසින් මේ අනුභූතිය ඉදිරිපත් කරනු ලබයි.

පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ

පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ

දරුවන්ට ශිල්පදානය දීම පිණිස දුෂ්කර ක්‍රියා කරමින් තම රාජකාරිය ඉටු කරනු වස් පිය නැඟූ අතීත ගුරු පරපුර මෙහිදී රසිකයාට සිහිපත් වේ. අන් අයට මඟ පෙන්වූ ඔවුහු නොමඟ ගිය පිරිසක් නොවූහ. එහෙත් සමාජය ක්‍රමයෙන් සංකීර්ණ වන්නට විය. 


සුනිල් එදිරිසිංහ

ක්‍රමයෙන් පාරිභෝගික සමාජයක් බිහිවන්නට විය. ගුරු දෙවියන්ගෙන් ශිල්ප ලැබූ පරපුර මේ පාරිභෝගික සමාජයේ ගොදුරු බවට පත්විය. තමා ඉහළ යාමේ නිරන්තර අරගලයක ඔවුහු නිරතවන්නට පටන්ගත්හ. රචකයා මූසිලයන් ලෙස හඳුන්වනු ලබන්නේ ආධ්‍යාත්මික ගුණ වගාව අමතක කොට ධනවාදයේ ගොදුරු බවට පත්වූ පරපුරයි. පැරණි ගුරුවරයා කියාදුන් සාරධර්මවලට එරෙහි පරපුරයි.

”සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ”

මේ අයුරින් මූසිලයන් සියල්ල අමතක කොට ඉහළ නැඟීමට වෙර දරද්දී අධ්‍යාපනයේ වටිනාකම් හෑල්ලු වෙයි.

”උගත මනා ශිල්පය මයි මතු රැකෙනා” නැමැති ප්‍රකාශය “මතු රැකෙනා ශිල්පයමයි උගතමනා” බවට පරිවර්තනය වෙයි. පාසල් යාමට වඩා “රටකජු” විකුණා හෝ මුදලක් අතට ගැනීමට ඊළඟ පරපුර පෙලඹෙන්නේ එබැවිනි.


රෝහණ වීරසිංහ

සාමා සහ අමරලා යනු බාල පරපුරයි. ඔවුහු පෙළපොත් පිටු ඉරා ඒවායෙන් රටකජු ගොටු සදන්නට පෙලඹීම ප්‍රබල උපහාසයක් ජනිත කරවයි. මෙහි දී රචකයා උගත මනා ශිල්පයට, ප්‍රාණවාචී අරුතක් සපයයි. තමා පිල්කඩට විසිවීයාම පිළිබඳ ව සන්තාපයට පත්වූ උගත මනා ශිල්පය, තමාට දඬුවම් කරන ලෙසට වේවැලෙන් ඉල්ලා සිටී. රචකයා මේ සමාජ සංස්කෘතික ඛේදවාචකය සියුම් උපහාසයකින් ඉදිරිපත් කර තිබේ.

නැවතත් රචකයා තම දැක්ම යොමු කරන්නේ, පැරණි ගුරුවරයා ගේ ඛේදවාචකය දෙසටයි. මේ සමාජ පරිවර්තනයට ඔහුට ගොදුරුවිය නොහැකි ය. ඔහුගේ මුල් ශක්තිමත් වී ඇත්තේ තරගකාරී අවස්ථාවාදී චින්තනයක් මත නොවේ. මේ නිසා ඔහු ද ඔහුගෙන් යැපෙන්නන් ද මේ සමාජ පරිවර්තනය ඉදිරියේ අතරමං වෙයි. අසරණ වෙයි.

රන් මසු පට පිළී අබරණ උරණ වෙලා

සමන් පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා

ගුරු නිවහනම කඳුළට උල්පතක් වෙලා

ලොකු හාමිනේ ඇත බිතුසිතුවමක් වෙලා

මේ ගුරුතුමා ගේ බැංකු ගිණුම් තර වී නොමැත. තම ඇස් දෙක බඳු දියණිය විවාහ කර දීමේ අර්බුදයට එතුමෝ ගොදුරු වෙති. ඇය ගෙදරට ම නාකි වෙයි. අලුත්, ඇඳුම්, ස්වර්ණාභරණ, දෑවැද්ද ඇයගෙන් දුරස් වී ගොසිනි. වෙනදා මහා දෙවොලක් බඳු වූ ගුරු නිවස අද කඳුළේ උල්පත වී තිබේ. ගුරුතුමා ගේ බිරිය අජීවී බිතුසිතුවමකි. මේ අතීත දිසාපාමොක්ලාට නූතන අර්ථ රටාව තිළිණ කළ ඉරණමයි.

අතීත ගුරුවරයාට නමස්කාර කරන රචකයා වර්තමාන ගුරුවරයා කෙරෙහි වෛරීය දෘෂ්ටියක් යොමු නොකරයි. සමාජ ක්‍රමය විසින්, ආර්ථික වාදියකුª බවට පත්වූ වර්තමාන ගුරුවරයා දෙස රචකයා යොමු කරන්නේ සානුකම්පික දෘෂ්ටියකි. ගුරුවරයකු ලෙස ජීවිතයේ වැඩි කාලයක් කැප කළ මහින්ද චන්ද්‍රසේකරයන් මේ දෙස උපේක්ෂාවෙන් බලන්නේ මේ සියලු ම අනුභූ®තීන් ඔහු ද පෞද්ගලික ව විඳ ඇති බැවිනි.

මට මගේ පියා සහ මව සිහිවෙයි. ඔවුන් රජයේ ගුරුවරු ය. පාසල නිමාවීමෙන් පසුව ද ඔවුහු කොට්ටම්බා ගස් යට වාඩිකරවා, විභාගවලට පෙනී සිටින සිසුන්ට ඉගැන්වූහ. ඔවුහු ඒ වෙනුවෙන් මුදල් අය නොකළ හ. 

මම ටියුෂන් ගුරුවරයෙක් මි. මම ශිෂ්‍යයන්ගෙන් මුදල් අය කරමි. එසේ නොකළොත් මට අද සමාජයේ දෙපයින් සිට ගැනීමට නොහැකි ය. මම පාරිභෝගික සමාජයක සාමාජිකයෙක්මි. මගේ දෙමාපියන්ට වඩා මගේ අවශ්‍යතා වැඩි ය. මා අවට සමාජය මට බලකර සිටින්නේ මගේ ශිල්පය විකුණා ජීවත්වන්නටය. 

ඒ නිසා, මම මගේ ශිල්පය විකුණමි. නිකම් නොව දැන්වීම්, පත්‍රිකා බෙදමින් අඬබෙර ගසමින් විකුණමි. එහෙත් මගේ දෙමාපියන් සිහිවෙද්දී මා තුළ ද සියුම් ලජ්ජාවක් ඇතිවෙයි. එහෙත් ඒ ලජ්ජාව යටපත් කරගෙන මම විකුණමි. විකිණෙමි. එහෙත් මූසිලයකු වීමට හෝ මූසිලයන් බිහිකිරීමෙන් වැළකීමට මම දිවා රෑ උත්සාහ කරමි.


මහින්ද චන්ද්‍රසේකර ඇතැම් විට එය ද අසාර්ථක වනු ඇත. මේ ගීතය කනවැකෙන හැම මොහොතකම මට මගේ දෙමාපියන් සිහිවේ. එවිට සියුම් වේදනාවක් මගේ ශරීරය පුරා දිවයයි.

රෝහණ වීරසිංහයන් ගේ සංගීතය ගැන හෝ සුනිල් එදිරිසිංහයන් ගේ් ගායනා විලාසය ගැන අටුවා ටීකා ටිප්පණි අනවශ්‍ය ය. ඔවුහු ඔවුන්ගේ කාර්යභාරය මනාව ඉටු කරති.

මගේ ඇස මත මේ මොහොතේ මැවෙන්නේ පැරණි දුෂ්කර වැඩවසම් ගම්මානයකි. අකල් වැස්සකින් මඟ දෙපස මඩ වී තිබේ. ජාතික ඇඳුම ඇඳගත් මැදිවියේ ගුරුතුමකු මඩ කඩිති මැදින් පැනගෙන මේ දුෂ්කර මඟෙහි ගමන් කරයි. 

“චිංගීස් අයිත්මාටව්” නැමැති රුසියානු ලේඛකයාගේ ‘ගුරු ගීතය” නවකතාවේ ‘දුයිෂෙන්’ නැමැති ගුරුවරයාට වඩා පෞරුෂයක් මේ ගුරුවරයා සතුය. ඔහු එනතුරු සරම්, බැනියම් ඇඳගත් ළමෝ බලා සිටිති. 

වැව් තාවුල්ල පසු කරන විට පාසල දුරට පෙනෙයි. ළමයින් කෑකෝ ගසන හඬ ඇසෙද්දී ගුරුතුමා ගේ මුවඟට සිනහවක් නැඟෙයි. මම පෑන පසෙක තබා ඒ ගුරුතුමාගේ දෙපතුල ළඟ වැඳ වැටෙමි.

~~ධම්මික බණ්ඩාර~~

(සිළුමිණ)

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...