Saturday, November 24, 2012

නරුම ක‍්‍රමයට ගොදුරුලෙස අධ්‍යාපනය බිලි නොදෙමු!

යුගයේ ඛේදවාචකය වන්නේ නරක මිනිසුන්ගේ නරක කි‍්‍රයා නොව හොඳ මිනිසුන්ගේ නිහඬතාවයයි
- මාටින් ලූතර් කිං

අද අපි රටක් විදිහට මුහුණ දෙන බොහෝ අර්බුදවලට හේතුවත් මේකම තමයි. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ගත්තොත් අද ප‍්‍රශ්න කන්දක් තියෙනවා. බඩුමිල අඛණ්ඩව ඉහළ යනවා. ජීවන බර අහස උසට. වැටුප් වැඩිකරලා නෑ. ආදායම් වැඩිවෙලා නෑ. කෘෂිකර්මාන්තය ඉවරයි. මොකද? ආණ්ඩුව වැව් හින්දලා නිදන් හොයනවා. කෘෂිවිද්‍යාල වහලා, ගොවිපලවල් වහලා, ගුවන් තොටුපලවල් හදනවා. රක්‍ෂිත වනාන්තර, අභයභූමි ඉවරයි. මොකද ආණ්ඩුව සංචාරකයන්ට හෝටල් හදනවා.

අධ්‍යාපනය, සෞඛ්‍ය සහන කපනවා. සල්ලි නෑ. මොකද ඇමති නඩය හොරාකනවා, රට සවාරි යනවා. රාජ්‍ය ආයතන පාඩු ලබනවා. බාල තෙල් ගේනවා නැව් පිටින් හලනවා. මොනවා උනත් ආරක්‍ෂක වියදම් වැඩි කරනවා. හැබැයි රටේ ආරක්‍ෂාව යකාට ගිහිං. කිරි දරුවෙකුට පාරේ යන්න බෑ. දවසකට ස්තී‍්‍ර දූෂණ 06 ක් 07 ක් වාර්තා වෙනවා. පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, පුද්ගල ඝාතන වලින් තොරව ගෙවෙන දවසක් නෑ.

නීතිය වල්වැදිලා, කැලෑ නීතිය රජයනවා. හොරු, දූෂකයෝ, කුඩුකාරයෝ, අපරාධකාරයෝ චෝදනා නෑ. නිදහස් වෙලා යනවා. මේවා වැරදියි කියල කිව්වොත්, අයිතීන් ඉල්ලලා සටන් කලොත් කුදලගෙන ගිහිල්ල හිරේ විලංගුවෙ දානවා. මේකට කියනවා ආසියාවේ අශ්චර්යය කියලා.
අධ්‍යාපන අයිතියට වැට.

නිදහස් අධ්‍යාපනයට වෙලා තියෙන නස්පැත්තිය ඔබ දන්නවා. උසස් පෙළ ප‍්‍රශ්නපත‍්‍ර වැරදි, 2011 විභාග ප‍්‍රතිඵල වැරැුද්දුවා. ඒකේ ප‍්‍රතිඵල තවමත් නිකුත් කරලා නෑ. ශිෂ්‍යත්ව විභාග ප‍්‍රශ්නපත‍්‍ර පැන්නුවා. මෙවර උසස්පෙළ ප‍්‍රතිඵල දෙන්න විදිහක් නෑ. මොකද? ආචාර්යවරු, ගුරුවරු ප‍්‍රශ්න පත‍්‍ර බැලීම වර්ජනය කරලා.

විශ්වවිද්‍යාල මාස ගණනක් වෙනවා වහලා. ආචාර්යවරුන් පාරට බැහැලැ උද්ඝෝෂණය කරනවා ගුරුවරුන්ට හරිහමන් වැටුපක් ගෙවන්නෙ නෑ. අධ්‍යාපන ප‍්‍රතිපාදන කැපුවා. සියයට 06 ක් අධ්‍යාපනයට වෙන් කළ යුතුයි. හැබැයි, ලංකාව දැනුමේ කේන්ද්‍රය කරනවා කියකියා රාජපක්‍ෂලා අධ්‍යාපන වියදම් 1.8% දක්වාම පල්ලම් බැස්සුවා. නඩත්තුවට මුදල් නැතුව පාසල් වැහෙනවා. 2005 ඉදලා ඉස්කොල 350 ක් වැහුණා. අනෙක් පැත්තෙන් පාසල් වලින් දාස් ගණන් ගාස්තු අයකරනවා. ඒක දෙමාපියන්ට දරාගන්න බෑ. අධ්‍යාපනය මාෆියාවක් වෙලා ඉවරයි. මොකද අපි දන්නවා පාසල් වලට ගෙවන්න තියා සමහර දෙමවුපියන්ට අද උපයන සොච්චමෙන් දරුවන්ට තුන්වේල කන්න දෙන්න වත් මදි.

ඔබේ දරුවන්ව යවන්න ඉස්කෝලයක් නෑ. සරසවියක් නෑ. A 3 ක් ගත්තත් විශ්වවිද්‍යාලයට යන්න බෑ. විශ්වවිද්‍යාලවල ඉඩ නෑ. පහසුකම් පුලූල් කරන්න අරමුදල් දෙන්නෙ නෑ. රජයට මුදල් නෑ කියලා කියනවා. හැබැයි 2011 දැයට කිරුළට රු. මි. 22,000 වියදම් කරලා තියෙනවා. අපි අහනවා ඔබට ඕන මේ වගේ පොඩි පොඩි චූන්ද නැත්නම් දරුවන්ට අනාගතයක් ද කියලා. මේ නාස්ති කරන මුදල් අධ්‍යාපනයට වෙන්කළා නම් ඔබට පාසල්වලට ගෙවන්න වෙන්නෙ නෑ. තව දාහක් දෙදාහක් විශ්වවිද්‍යාලවලට බඳව ගන්න තිබුණා.

හතුපිපෙන්න වගේ උපාධි කඩ රටපුරා අරිනවා. දැන් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය විකුණනවා ලක්‍ෂ 65 යි. ඒ ගාන ගෙවන්න පුළුවන් නම් සුදුසුකම් ඕනත් නෑ. දැනටමත් උසස් පෙළ අසමත් ශිෂ්‍යයෝ වෛද්‍යවරු වෙන්න ඉගෙන ගන්නවා. හැබැයි මේ ආණ්ඩුව නඩත්තු කරන්න බදු ගෙවන 99%ක් ම ජනතාවගේ දරුවන්ට ් 3 ගත්තත් යන්න වෛද්‍ය පීඨයක් නෑ. ඒ ශිෂ්‍යයින්ය ‘‘සරසවියක් දියව්’’ කියලා උද්ඝෝෂණ කරන්න වෙලා.

මේක තමයි ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කරන්න යනවා. එතකොට අධ්‍යාපනය අයිතියක් නෙවෙයි. කෝටිපති අතලොස්සකගේ වරප‍්‍රසාදයක් විතරයි. ජනාධිපතිතුමාගේ පෝඩි පුතා අභ්‍යාවකාශ විද්‍යාව ඉගෙන ගන්න රුසියාවට යවනවා. ලෝක බැංකුවේ කොන්දේශිවලට අනුව අධ්‍යාපන ප‍්‍රතිපාදන කපලා ඔබේ දරුවන්ට යන්න තියෙන පාසල, සරසවිය වැහෙන්න අරිනවා. ඒ තමයි රටේම දරුවන්ට සුභ අනාගතයක් හදනවා කියලා පාරම්බාපු ආඩම්බරකාර තාත්තගෙ හැටි.
විසඳුම කුමක්ද?

මේවට විසඳුමක් නැද්ද? තියෙනවා. ඒත් ඒක සරල නෑ. ඒක තීරණය වෙන්නේ ඔබේ ක‍්‍රියාකාරීක්වය උඩ. අපි දන්නවා සමහරවිට පුද්ගලිකව ඔබට තවමත් මේ ප‍්‍රශ්නය මුණ ගැහිලා නැතුව ඇති. ‘‘ ඕවා අපිට වැඩක් නෑ. අපේ එකාට ඉස්කෝලයක් ලැබුණා. විශ්වවිද්‍යාලයට තේරුණා’’ කියලා සමහර දෙමවුපියෝ හිතනවා. මේ අය හිතනවනම් වෙන කාට කෙල වුනත් කමක් නෑ අපේ එකාට අනාගතයක් තියෙනවා කියලා, ඒක හරියට යකඩ ගිනිගත්ත තැන පුළුන් හොයනවා වගේ නිශ්ඵල වැඩක් විතරයි.

අද නැත්නම් හෙට ඔබටත් මේ ප‍්‍රශ්න මුණ ගැහෙනවා. එතකොට ප‍්‍රමාද වැඩිවෙන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා අධ්‍යාපන අයිතිය රැුක ගන්න නොපමාව පෙරට ආ යුතුයි. සමහරු සටන් කරලා දේවල් දිනා ගන්නවා වෙනුවට බහුබූත යෝජනා ගේනවා. ඇමති මාරු කරාම හරි, ආණ්ඩු මාරු කරාම හරි. අපල වෙන්නැති. ඒ හින්දා බෝධි පූජාවක් තියනවා. නැත්නම් මුන්ව හැඳිගෑවිලා යන්න පොල් ගහනවා කියලා හිතනවා. අපි කියනවා මේ වගේ මනස්ගාතවලින් ප‍්‍රශ්න විසඳන්න බෑ. මේ මොනව කලත් තමන්ගේ ප‍්‍රතිපත්ති මේ මජර පාලකයෝ වෙනස් කරන්නේ නෑ. වෙනස් කරන්න නම් ඔවුන්ගෙ බලය අභියෝගයකට ලක් වෙන්න ඕන.

ඒ නිසා අධ්‍යාපන අයිතීන් රැක ගන්න පුළුල් ජනබලයක් ගොඩනැගිය යුතුයි. පෙරට විත් සටන් වැදිය යුතුයි. නිවට නැති ධෛර්ය තියෙන හැමෝටම අපි කියනවා ඔබ ඔබේ හෘද සාක්ෂියට සවන් දෙන්න. යුතුකම වගකීම වෙනුවෙන් පෙරට එන්න කියලා. එහෙම නැති නිවටුන්ට පුළුවන් අර්බුදයේ ගිලෙන්න. ගිලිලා විනාශවෙන්න. අපෙන් බාධාවක් නෑ.

අවසාන වශයෙන් ප‍්‍රශ්නේ තියෙන්නේ පාලකයෝ කරන මේ විනාශයේ නෙවෙයි. මොකද මොන ආණ්ඩුව ආවත්, මොන ඇමති හිටියත් ප‍්‍රතිඵලය එකයි. 1981 ඹභඡු ය ගෙනාව ධවල පත‍්‍රිකාවෙ ඉදලා පත්වෙච්ච හැම ආණ්ඩුවක්ම අධ්‍යාපනය වනසන්න හැදුවා. වෙනස රාජපක්ෂලා ඒක කාටත් වඩා ඉස්සරහින් ඉදල කරන එක විතරයි. ඒ තමයි පාලකයන්්ගේ දේශපාලන වුවමනාව. ප‍්‍රශ්නය ඒක නෙවෙයි මේ තරම් මේව වෙද්දි ජනතාව නිහඩව ඉන්න එකයි.

ඒ නිහඩතාවය බිඳලා දැන් ඉහළට ඔසවලා, අභියෝග කළ යුතුයි. කම්හලෙන්, ගොවිබිමෙන්, කාර්යාලයෙන්, නිවසින් එලියට බැහැල සටන් වැදිය යුතුයි. සෑම සියලූ දෙනෙක්ම එකාවන්ව එක්ව බලකර සිටිය යුතුයි. ඒ තාක්කල් මේ විනාශය නවතින්නෙ නෑ. ඒ නිසා දෙමවුපියනි ! අපි කියනවා. ඔබේ දරුවන්ගෙ දෑස් පාදන්න තියෙන අධ්‍යාපනය රැකලා, ඔවුන්ට අනාගතයක් හදන්න, ගෞරවයක්, අභිමානයක් තියෙන මිනිස්සු කරන්න පෙරට එන්න. අපි ඔබට නැවත නැවතත් කියනවා ඒ වෙනුවෙන් සටන් වදින්න, හෙට දවසෙ වීදියෙ ඇවිලෙන සටනට එකතුවෙන්න කියලා.

නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිවි හිමියෙන් සුරකිමු!


අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

4 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...