Sunday, August 18, 2013

අපේ ප‍්‍රශ්ණ විසඳන තෙක් අපි සටන් කරන්න ලෑස්තියි - චන්දන සූරියආරච්චි

ප‍්‍රශ්ණය: රාජ්‍ය සේවයේ ඉන්න උපාධිධරීන් නිරන්තරයෙන්ම ආණ්ඩුවට චෝදනා කරනවා අපි දකිනවා. රැකියාත් ලබාදීත් තිබෙනවා. ඇයි එහෙම චෝදනාවන් මතුවෙන්නෙ?
උත්තරය: රාජ්‍ය සේවාව තුළ රාජකාරී ඉටුකරන උපාධිධාරීන් විවිධ වූ සේවා අතෘප්තියකින් තමයි සිය වගකීම් ඉටුකරන්නෙ. ඒකට හේතුව රාජ්‍ය සේවය තුළත් පළාත් රාජ්‍ය සේවය තුළත් ඉන්න උපාධිධාරීන් වෘත්තීය අයිතීන් කප්පාදුවකට මුහුණ දීල. උපාධිධාරීන්ට රාජ්‍ය සේවය තුළ වෘත්තීය මට්ටමක් හිමිවෙලා නැහැ. පවතින අධ්‍යාපනයේ ඉහළම සුදුසුකම ලබාගත්තත් උපාධිධාරියකු ලෙස රාජ්‍ය සේවයට එක් වුණාට ඒ සඳහා වූ කිසිදු වෘත්තීය තත්වයක් සහිත පරිසරයක් රාජ්‍ය සේවය තුළ නිර්මාණය වෙලා නැහැ. එවැන්නක් නිර්මාණය කරන්න ආණ්ඩුවටවත් රාජ්‍ය බලධාරීන්ටවත් අවශ්‍යතාවයක් තියෙන බවක් පෙන්නත් නැහැ. උපාධිධාරීන් උපාධියට සුදුසු වෘත්තීය තත්වයක් ඉල්ලා හඬ නගනවා. බලධාරීන් මෙන්ම ආණ්ඩුවේ වගකිවයුත්තන් ඒ සාධාරණ ඉල්ලීම් නොසලකමින් තියෙනවා. ඒ ප‍්‍රතිවිරෝධය තමයි සමාජයට පේන්න ගන්නෙ.
ප‍්‍රශ්ණය: රාජ්‍ය සේවයේ විවිධ මට්ටමේ උපාධිධාරීන් ඉන්නවා. ඔබ ඔය කියන විදිහට රාජ්‍ය සේවයේ ඉන්න සෑම උපාධිධාරියකුටම ඔය කියන සේවා අතෘප්තිය තියෙනවද?
පිළිතුර: අපි උපාධිධාරී සංගමය වශයෙන් පෙනී සිටින්නේ 06/2006 වැටුප් චක‍්‍රලේඛයට අනුව MN 04 2006 A වැටුප් ඛාණ්ඩයට අයත් උපාධිධාරීන් සම්බන්ධයෙන්. මේ වැටුප් තලයට අදාලව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා දෙකේම උපාධිධාරීන් ඉන්නවා.මේ වන විට මෙම වැටුප් ඛාණ්ඩයට අදාලව සමස්ත රාජ්‍ය සේවය තුළම උපාධිධාරීන් 110,000 කට ආසන්න පිරිසක් ඉන්නවා. 06 /2006 ට අනුව MN 04 වැටුප් ඛාණ්ඩය තුල 1993199920052008 බඳවාගත් හා 2013 ස්ථිර කිරීමට නියමිත සියළුම උපාධිධාරීන් මීට අදාල වෙනවා. ඉහත උපාධිධාරීන්ට තමයි රාජ්‍ය සේවය තුල පිළිගත හැකි හා සාධාරණ වෘත්තීය තත්වයක් නිර්මාණය නොවී තියෙන්නෙ.

ප‍්‍රශ්ණය: මොනවද ඒ අහිමි වී ඇති අයිතිවාසිකම්
පිළිතුර: ප‍්‍රධාන වශයෙන්ම මතු කර ගත යුතු කරුණු කීපයක් තිබෙනවා. එක තමයි 06/2006 වැටුප් චක‍්‍රලේඛය මගින් ඇති කළ උපාධිධාරී වැටුප් විෂමතාවය. 2006 වනතුරු උපාධිධාරීන්ගේ හා ශ‍්‍රී. ලං. ප. සේ. ආරම්භක නිලධාරියකුගේ මූලික වැටුප් තල දෙක අතර පැවති වැටුප් වර්ධක 11 පරතරයකි. 06/2006 මගින් එම පරතරය වැටුප් වර්ධක 23 ක් දක්වා වැඩිකළා. ඒ කියන්නේ විෂමතාවය පුළුල් කළා ඉතාම අසාධාරණ ලෙස. එතැනදී රාජ්‍ය සේවයේ උපාධිධාරීන්ට පයින් ඇනලා පහළට දැම්මා.
දෙවනුව සමස්ත රාජ්‍ය සේවය පුරාම උපාධිධාරීන්ට රාජකාරීමය වශයෙන් ආයතනයක කාර්යාල කාර්ය සහායකුගේ රාජකාරියේ සිට ආයතන ප‍්‍රධානී දක්වා වූ සියළුම වැඩ කිරීමේ වගකීමක් පවරා තිබෙනවා. බහුතරයක් උපාධිධාරීන්ට අද කරන්න සිදුවෙලා තියෙන්නේ ලිපිකරු හා සමාන්තර රාජකාරී. එම රාජකාරී සඳහා ඉතිහාසයේ සිට මේ දක්වා බඳවාගන්නේ සා/පෙළ හෝ උ/පෙළ සමතුන්ය. ඒ සියළු දෙනාටම එකම රාජකාරිය කරන්න සිදුවෙලා තියෙනවා. ඔවුනුත් සිටින්නේ අතෘප්තියෙන්. පුංචි උදාහරණයක් කිව්වොත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන සහකාර කියල තනතුරක් තියෙනවා. ඒ අය කරන්නෙ කාඞ් ලියන එක. ඔය තනතුරට බඳවාගෙන තියෙන්නේ විශේෂ සුදුසුකමක් මත නොවෙයි. එවකට සිටි ආයතන බලධාරීන්ගේ වාචික පරීක්‍ෂණවලින්. නමුත් අද වන විට ඒ කටයුත්ත කරන්නෙ උපාධිධාරීන්. අවුරුදු 3 ක් 4 ක් විශ්ව විද්‍යාලවල ඉඳල උපාධියකුත් අරගෙන ඇවිත් හැඳුනුම්පත්වල නම් ලියන්න උපාධිධාරියව කොටු කරහම රටේ දැන උගත් පරපුරට මොකද වෙන්නෙ. ඇතැම් තැන්වල පුස්තකාලාධිපති උසස්පෙළ හෝ සා/පෙළ සමත් කෙනෙක්. පුස්තකාල සහායක උපාධිධාරියෙක්. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ රෝහල්වලට දාල ඉන්න ඇතැම් උපාධිධාරීන්ට පැවරී ඇති රාජකාරී ඉතාම කණගාටුදායකයි. එක තැනක වාර්තා වුණා දිනපතා රෝහලේ කුස්සියට වෙළඳසැල් මගින් ගෙන එන බඩු පරීක්‍ෂා කිරීම රාජකාරීයක් ලෙස පවරා තිබුණා.
මේ ප‍්‍රශ්ණය නිසා තමයි මම හිතන්නෙ රාජ්‍ය පරිපාලන ලේකම් 14/2013 චක‍්‍රලේඛය පවා නිකුත් කළේ.  ඒකෙන් පිළිඅරගෙන තිබෙනවා උපාධිධාරීන්ට පැවරී තියෙන්නෙ ලිපිකරුපොත් තැබීම්,ගබඩා භාරකරු වැනි රාජකාරී කියන එක.
අනෙක් අසාධාරණය තමයි උපාධිධාරීන්ට ශ‍්‍රී ලංකා පරිපාලන සේවා (සීමිත) තරඟ විභාගයට ඉදිරිපත් වෙන්න ඉඩක් නොමැතිකම. රාජ්‍ය සේවයට සා/පෙළඋ/පෙළ8 සමත් වැනි අධ්‍යාපන සුදුසුකම්වලින් පැමිණ රාජකාරී කරන උදවියට ඒ හිමිකම වෙනුවෙන් සුදුසුකම තිබෙනවා. නමුත් 1993 සිට මේ දක්වා රාජ්‍ය සේවයේ ඉන්න උපාධිධාරීන්ට ඒ හිමිකම නෑ. අපේ ඉල්ලීම තමයි වසර 5 ක සේවා කාලය සහිත වයස් සීමාවකින් තොවර සියළු උපාධිධාරීන්ට එම සීමිත තරඟ විභාග හිකිම ලැබී යුතුය යන්න.
ඊට අමතරව නියමිත කාල රාමූන් තුළ අදාල කාර්යක්‍ෂමතා විභාග පවත්වා වැටුප් තලයට අයත් ශ්‍රේණිවල ශ්‍රේණිගත කළ යුතු වුවත් එවැනි ශ්‍රේණිගත වීමක් සිදු නොවී තිබීම.
ඒ අතර තිබෙන තවත් ගැටළුවක් තමයි උපාධිධාරීන්ට උසස්වීම් පටිපාටියක් සකස් නොවීම. උදාහරණයක් ගතහොත් උ/පෙළ සමත්ව කළමණාකරන සේවයට එක්වන නිලධාරියා මුලින්ම සේවයට එක්වෙන්නේ  MN 03 වැටුප් තලයටය. එම වැටුප් තලය යටතේ වසර 8 ක සේවයෙවන් පසු එම සේවයේ අධි පන්තිය සඳහා විභාගයට පෙනී සිටිය හැකිය. එය සමත් වූ පසු ඔහු හෝ ඇය අදාල වන්නේ  ඵභ 07 වැටුප් තලයටය. ඒක මාණ්ඩලික වැටුප් තලයක්. එම  සේවාවෙම අවුරුදු 10 ක සේවා කාලයකින් පසු SLAS (limited) ලියන්න පුළුවන්. එය සමත් වුනහම ීඛ්ී වැටුප් ඛාණ්ඩයට අයත් වෙනවා. අපේ රටේ ගුරුවරයෙක් පොලිස් කොස්තාපල්වරයෙක් සෞඛ්‍ය සේවයේ නිලධාරියෙක් මේ සෑම තනතුරකම සේවාවකම තනතුරෙන් තනතුරට උසස්වීම් පටිපාටියක් තියෙනවා. ඒත් උපාධිධාරියෙක් සංවර්ධන සහකාර ලෙස ඵභ 04 2006 ් වැටුප් ඛාණ්ඩයට බැඳුනහම වසර 25 කින් හෝ 30 කින් පසු විශ‍්‍රාම යන විටත් එම උපාධිධාරියට හිමි වන්නේ එම වැටුප් තලයම හා එම තනතුරම පමණි. මේ ආකාරයේ අසාධාරණයක් උපාධිධාරීන්ට තියෙනවා. ලිපිකරු හා සමාන්තර රාජකාරී වගේම ක්‍ෂේත‍්‍ර රාජකාරී උපාධිධාරීන් ඉටු කළ යුතුයි. නමුත් ඒ සඳහා වූ වෘත්තීය වගකීමක් උපාධිධාරියට පැවරී නැහැ. අදාල රාජකාරී ඉටු කිරීම සඳහා වන සාධාරණ පරිවර්තිත ගමන් වියදම් දීමනාවක් පවා උපාධිධාරීන්ට අහිමි වෙලා තිබෙනවා.
ප‍්‍රශ්ණය: ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ. මේ තත්වය නිවැරදි කරගන්න ඔබ අදාල පාර්ශව සමග සාකච්ඡා කළේ නැද්ද?
පිළිතුර: මෙහෙම වෙන්න බලපාන ප‍්‍රධාන කාරණය විදිහට අපි දකින්නෙ උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට හා අපේක්‍ෂිත සංවර්ධන සැලැස්මක් සහිතව ජාතික ප‍්‍රතිපත්තියක් රජයකට නොමැතිකමයි. අදාල සුදුසුකම් මත තරඟ විභාග මගින් බඳවාගෙන අදාල තනතුරුවල තබා විධිමත් වගකීමක් සහිත රාජකාරියක් සටහන් කළ ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍ය වෙනවා. ඒකට වඩා විද්‍යාත්මක හා සාධාරණ යෝජනාවක් අපි ආණ්ඩුවට භාර දීල තියෙනවා. ‘‘ශ‍්‍රී ලංකා සංවර්ධන සේවය’’සේවා ව්‍යවස්ථාව කියල අපි ඒක නම් කළා. ඒකෙදි අපි යෝජනා කරේ දැනට සිටින 2013 ත් ඇතුළත් ව සියළුම උපාධිධාරීන් MN 05 වැටුප් තලයට අන්තර්ග‍්‍රහණය කිරීම. ඒ සමගම දැනට තියෙන සහකාර තනතුරු නිලධාරී තනතුරු බවට පත් කිරීම. වැටුප් වර්ධක 17 ක් උපයාගත් පසු SL 1 , 13 වන වැටුප් පියවරට සමාන විශේෂ ශ්‍රේණියක් හා දරණ තනතුරට අදාල ජ්‍යෙෂ්ඨ තනතුරක් යෝජනා කිරීම. 2013 න් පසු බඳවාගන්නා සෑම උපාධිධාරියකුම විවෘත තරඟ විභාගයකින් බඳවා ගැනීම ඇතුළු විද්‍යාත්මක හා සාධාරණ වැඩපිළිවෙලක් යෝජනා කළා. එම යෝජනාවලින් සංවර්ධන සේවා නාමය පමණක් අපි දිනාගෙන තිබෙනවා. උපාධිධාරීන් මුහුණ දෙන මෙම ගැටළුවලට විසඳුමක් ලබාගන්න නම් ඉතිරි යෝජනාත් අපි දිනාගත යුතුයි.
උපාධිධාරීන්ට උපාධියකුත් තියාගෙන අද දේශපාලඥයින්ගේ එහෙයියන් බවට පත්වෙන්න සිද්ධවෙලා. රැකියාව ස්ථිර වීමේ ඉඩ දේශපාලන වැඩවලට නියලීම හරහා සිද්ධ කරන බවට භීතිකාවක් නිර්මාණය කරලා. ආණ්ඩුවේ ප‍්‍රධාන පක්‍ෂයට හෝ පක්‍ෂවලට වැඩකළේ නැතිනම් රැකියාව නෑ කියන තත්වයක් උදාවෙලා. උපාධිධාරීන්ට මෙවැනි අර්බුදයකට මුහුණ දෙන්න වුනේ ජාතික ප‍්‍රතිපත්තියක් නැති නිසා. උපාධිධාරීන් රැකියාවකට ආවට පස්සේ වැටුප් ගෙවන්නේ ආණ්ඩුවේ සල්ලිවලින් නෙමෙයි. ජනතාව රජයට ගෙවන බදු මුදල්වලින්. උපාධිධාරීන් ඉගෙන ගත්තෙත් ජනතාවගේ බදු මුදල්වලින්. ඒ නිසා උපාධිධාරීන් සේවය කළ යුත්තේ ජනතාව වෙනුවෙන්. ඒ ස්වාධීනත්වය ඒ අධීනත්වය ගොඩනගාගත යුතුයි. ජාතික ප‍්‍රතිපත්තියක් පැවතීම තුළින් එවැනි ස්වාධීනත්වයකුත් උපාධිධාරීන්ට හිමිවෙනවා.
ප‍්‍රශ්ණය : මේ වන විට රජය උපාධිධාරීන් 50,000 ක් බඳවා ගනිමින් තිබෙනවා. ඒ වැඩපිළිවෙලට මොකද වෙලා තියෙන්නෙ.
පිළිතුර: ඇත්ත. උපාධිධාරීන් බඳවා ගන්නවා. ඒ බඳවා ගන්නෙත් අපි මේ කථා කරන විවිධ අයිතීන් අහිමි කරපු සේවාවටමයි. ප‍්‍රශ්ණය තියෙන්නෙ ඒක නෙමෙයි. 2012 පෙබරවාරි සිට මාස කිහිපයක සිටම පුහුුණුවට ඇතුලත් වුණු උපාධිධාරීන්ට තවමත් ස්ථිර පත්වීම් ලබා දී අවසන් නැහැ. මුලින්ම මාස 6 ක පුහුණුවකින් පසු ස්ථිර කරන බව කිව්වා. ඒක මාස 12 ක් වුණා. දැන් මාස 18 කුත් ගෙවුණා. ඒත් බහුතරයක් ස්ථිර කරල නැහැ. ඇයි මෙහෙම වුනේ. ආණ්ඩුව 2006 අයවැයේ සිට උපාධිධාරීන් බඳවා ගන්නා බවට වසරක් පාසා ඉලක්කම් කිව්වට අදාල අමාත්‍යාංශ මගින් ඒ සඳහා වැඩපිළිවෙලක් හදල තිබුනෙ නැහැ. 2012 දී උපාධිධාරීන් ගන්න වුණා. ඒත් ගන්න ගියේ ශ‍්‍රී.ල.නි.ප යේ ශාඛා සමිති මට්ටමේ යම් සීමිත පිරිසක්. අපි ඇතුළු බලවේග ගණනාවක් ඒ ප‍්‍රමිතියට එරෙහි වුණා. සියළුම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දෙන ලෙස හඬ නැගුවා. සියළු දෙනාම ගන්න සිද්ධ වුණා. මුල් කාල වකවානු තුල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට සිය වගකීම් ධූරාවලිය ඉටු කරන්න ඉඩක් තිබුනෙ නැහැ. ප‍්‍රාදේශීය දේශපාලඥයින් තම හිතු මතේට වැඩ කරන්න පටන් ගත්තා. අවසානයේ විධිමත් කර ගත හැකිව තිබූ කටයුත්තක් දේශපාලඥයින්ගේ ඔඩොක්කුවලට උපාධිධාරීන්ව දා ගැනීමේ තිබූ තරඟය නිසා තවමත් මේක ඇදෙනවා. අපි අරගල කරමින් සිටිනවා සියළුම අභ්‍යාසලාභී උපාධිධාරීන් කඩිනමින් ස්ථිර කරන ලෙස. අභ්‍යාසලාභී උපාධිධාරීන්ගෙන් කොටසක් ස්ථිර කිරීම පිළිබඳව තවම තීරණයක් නැහැ. ඒ කියන්නෙ අවුරුදු 35 වයස් සීමාව ඉක්මවූ අභ්‍යාසලාභී උපාධිධාරීන්. අපි මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්ණ කරද්දී ස්ථිර කළ බවට මාධ්‍ය මගින් ප‍්‍රචාරයක් ගෙන ගියා. නමුත් ස්ථිර තීරණයක් තවම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ලැබිල නැති බවයි වාර්තා වෙන්නෙ. 2013 වර්ෂයේ ස්ථිර වෙන උපාධිධාරීන්ගේ පත්වීම් ලිපි තුළත් යම් අවධානාත්මක කොන්දේසි ඇතුළත් කරල තියෙනවා. වසර 3 ක් ඇතුළත කාර්යක්‍ෂමතා පරීක්‍ෂණය අසමත් වුවහොත් සේවයෙන් ඉවත් කිරීමේ කොන්දේසිය මේ ආදී වූ ගැටළු ගණනාවක් නව බඳවා ගැනීම් තුළ මතු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අප සංගමය විශාල මැදිහත්වීමක් කරමින් තිබෙනවා.
ප‍්‍රශ්ණය: අභ්‍යාසලාභී උපාධිධාරීන්ව දේශපාලන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම සම්බන්ධයෙන් වරින්වර චෝදනා මතුවුණා.
උත්තරය: විශේෂයෙන්ම 2012/2013 රාජ්‍ය සේවයට එක්වෙමින් සිටින උපාධිධාරීන් එලෙස යොදා ගනිමින් තියෙනවා. උපාධිධාරීන්ද රැකියාව ස්ථිර කර ගැනීමේ තිබෙන උවමනාව හා භීතිකාව නිසාම  ඕනෑම දැනුම්දීමකට අනුව ක‍්‍රියාකරනවා. අපි දැක්කා 2012 පැවති උතුරු මැද/සබරගමුව/නැගෙනහිර ඡුන්ද සඳහා ආණ්ඩුව උපාධිධාරීන්ව කැන්වසින් ඇතුළුව ඡුන්ද වැඩට යොදා ගත්තා. නිල් රැල්ල වැඩසටහනට උපාධිධාරීන්ව යොදා ගත්තා. අධිකරණය සම්බන්ධයෙන් මතු වූ ගැටළුවලදී ආණ්ඩුවේ පාර්ශවයේ විරෝධතාවලට උපාධිධාරීන්ව එක් කර ගත්තා. මේ ආකාරයේ ආණ්ඩුවේ ඍජු දේශපාලන කටයුතු වෙනුවෙන් උපාධිධාරීන් යොදා ගැනීමේ ප‍්‍රවණතාවයක් මතුවෙමින් තිබෙනවා. දෙපාර්ශවයේම වැරැද්දක් තිබෙනවා. උපාධිධාරීනුත් රාජ්‍ය සේවයේ පත්වීමක් ලැබුණු පසු වගකිවයුත්තේ රජයේ කටයුතු වෙනුවෙන්. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනුව ඔහු බැඳී සිටින්නේ රජයේ කටයුතු සඳහා මිස ආණ්ඩුවේ කටයුතු සඳහා නොවේ. ඔහුට වැටුප් ගෙවන්නේ ජනතා මුදලින්ය. ඒ නිසා ජනතා මුදලින් නැතිනම් රජයේ වැටුප් ලබමින් රාජකාරී කාල සීමාවේ හෝ තනතුර යොදා ගනිමින් පක්‍ෂග‍්‍රාහීව කටයුතු කරන්න රජයේ සේවකයකු ලෙස උපාධිධාරියකුට ඉඩක් නැහැ. එමෙන්ම රජයේ වැටුප් ලබන නිලධාරීන් ඍජු දේශපාලනික කටයුතු වෙනුවෙන් යොදා ගැනීම වෙනුවෙන් දේශපාලඥයින්ට අයිතියක් මෙන්ම වගකීමක් ද නැහැ. කෙසේ වෙතත් අපාධිධාරියට තමයි වගකීම පැවරී තියෙන්නෙ රාජ්‍ය සේවය තුළ ස්වාධීනවඅපක්‍ෂපාතීව කටයුතු කරන්න. කුමන හෝ රැුකියාවක් අනෙක් අතට තමන්ට හිමිව තිබෙන්නේ තමන්ගෙ දැනුමෙන්උගත්කමෙන් ලබාගත් උපාධිය නිසා මිස වෙන හේතුවක් නිසා නොවන බව පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය.
ප‍්‍රශ්ණය: උපාධිධාරීන්ට චෝදනාවක් තියෙනවා. ඉල්ලීම් වෙනුවෙන් කෑ ගහනව වගකීම් ඉටු කරන්නෙ නෑ කියල. එහෙම චෝදනාවක් නැගෙන්නෙ ඇයි?
උත්තරය: නෑ. ඒක පිළිගන්නෙ නෑ. අපි කිසිවිටෙක ෂයිලොක්ලා වගේ මස් රාත්තලම ඉල්ලල සටන් කළේ නෑ. අපේ යෝජනාවල අදහස්වල කිසිදු තැනක එහෙම අරමුණක් තිබුනෙ නැහැ. අපි මතු කරන්නෙ උපාධිධාරියකුට සුදුසු සාධාරණ දේ පමණයි. අපි අනෙක් සෑම වෘත්තියකම නියලෙන්නන්ගේ අයිතීන්වලට ගරු කරන ව්‍යාපාරයක්. ඒ වගේම සෙසු සේවාවන්වල රාජකාරී කරන්නන්ටද තමන්ගේ අයිතිවාසිකම් නිසි විදියට ලැබිල නෑ කියල පිළිගන්න ව්‍යාපාරයක්. ඔවුන්ටත් ඇතිවන අසාධාරණකම්ද අපි දකිනවා. මෙතැනදී අපි අපේ කාර්යභාරය ඉටු කරනවා පමණයි. අවශ්‍ය  ඕනෑම මොහොතක සමස්ත වැඩකරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්න ක‍්‍රියාකරන්න අපට බාධාවක් නැහැ.
අපි කියන්නෙ ආණ්ඩුවට ඒක තමයි. අපි ඉල්ලීමක් ඉල්ලල බැරිම තැන පාරට බැහැල උද්ඝෝෂණයක් කරනකම් ඉඳල ඒකට ඇඟිල්ල දිගු කරන්න බලා නොසිට ගැටළුවලට ඇහුම්කන් දී සාකච්ඡ කරල ගැටළු විසඳන්න ක‍්‍රමවේදයන්වලට අවතීර්ණ විය යුතුයි. 06/2006 චක‍්‍රලේඛය අනුව MN 04 උපාධිධාරීන්ගේ සේවය නිර්වචනය කරල තියෙන්නෙ රජයේ සංවර්ධන ක‍්‍රියාවලිය අපේක්‍ෂිත අරමුණ සම්පූර්ණ කිරීමට ක‍්‍රියාත්මක විය යුතු පිරිසක් ලෙස. නමුත් ප‍්‍රායෝගිකව සිදුවන්නෙ කුමක්දසාධාරණ වැටුපක් නැතුව ගමන් වියදම් දීමනාවක් නැතුව උසස්වීම් ක‍්‍රමවේදයක් නැතුව තරඟ විභාග හිමිකමක් නැතුව ලිපිකරු හා සමාන්තර රාජකාරී කරමින් ඉඳීම පමණි. මේ තත්වය වෙනස් වන විට අපි ඉටු කරමින් තියෙන වගකීමත් රටට සමාජයට නිවැරදිව දැනේවියැයි අපි හිතනවා.
ප‍්‍රශ්ණය: උපාධිධාරීන් මුහුණ පාන විශාල ගැටළු ප‍්‍රමාණයක් ඔබ ඉදිරිපත් කළා. ඒවා විසඳා ගැනීම සඳහා ඔබගේ සංගමය දරණ උත්සාහයන් මොනවාද?
පිළිතුර: අපි වෘත්තීය සමිතියක් ලෙස සාමකාමීව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කළ හැකි සෑම ක‍්‍රියාමාර්ගයක් වෙනුවෙන්ම විශ්වාසය තබමින් කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව දැනට මතු වී ඇති හා මතු විය හැකි සෑම ගැටළුවක් සම්බන්ධයෙන්ම ආණ්ඩුවේ විෂය භාර ඇමතිවරුන්ට රජයේ නිලධාරීන්ට ලිපි දහස් ගණනින් ලිඛිතව ගැටළු ඉදිරිපත් කර තිබෙනවා. සාකච්ඡ ඉල්ලා තිබෙනවා. ඇතැම් ගැටළු සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමාට ලිඛිතව දන්වා තියෙනවා. නමුත් කිසිදු පාර්ශවයක් අදාල ගැටළු සඳහා විසඳුම් ලබාදීම වෙනුවෙන් විධිමත්ව සාකච්ඡුා කර නැහැ. ඒ සඳහා ප‍්‍රවේශයක් පේන්න නැහැ. අපට දැනෙනවා ඇතැම් පාර්ශවයන් ඇතැම් බලධාරීන් තමන්ගේ ස්ථාවරයන් වෙනස් නොකර යම් දරදඩු මුරණ්ඩු ස්වභාවයකින් කටයුතු කරනවා. එහෙම වෙලා ගැටළු විසඳන්න බෑ. ඒ අය අයගේ ස්ථාවරවල ඉඳීම අපි හැමදාම ඉල්ලීම් ඉල්ලා සටන් කරාවි. ඉල්ලීම් ඉල්ලීම අසාධාරණයට පෙනී සිටීම අයුක්තිය වෙනුවෙන් කටයුතු කිරීම අපේ වගකීමයි. ඒ සඳහා සාධාරණ විසඳුම් ලබාදීම ආණ්ඩුවක,රජයක වගකිවයුතු පාර්ශවයන්වල වගකීමයි. ඒ නිසා රාජ්‍ය සේවයේ උපාධිධාරීන්ට සාධාරණ හා සුදුසු පිළිගත හැකි වෘත්තීය මට්ටමක් නිර්මාණය වන තුරු අපි අපේ මැදිහත්වීම අඛණ්ඩව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. උපාධිධාරීන්ද ඒ සඳහා අවබෝධයකින් ක‍්‍රියා කළ යුතු වෙනවා.
උපුටා ගැනීම නිල වෙබ් අඩවිය: Ceylon Trade Union Federation

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...