Monday, October 22, 2012

හිසට පරාල ඇණ ගසා තී‍්‍රමා ඝාතනය කර වසර 24 යි.

Padmasiri thrima withana

2012 ඔක්තෝම්බර් 22 වැනිදාට, එනම් අදට පද්මසිරි ති‍්‍රමා විතාන සොයුරා ඝාතනය කර වසර 24 ක් සම්පූර්ණ වේ. ලක්ෂ ගණනින් සංහාරයට ලක්වූ සමාජයක, පද්මසිරි ති‍්‍රමාවිතාන සොයුරාගේ ඝාතනය සුවිශේෂී වන්නේ ඔහු ජීවිතය පූජා කළේ මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීම උදෙසා වන බැවිනි. 1981 දී රාගම දී ආරම්භ කරන ලද උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ නියමුවකු වූ තී‍්‍රමා අංකුර කවියෙකි. චිත‍්‍ර ශිල්පියෙකි. ඒ හැමටම වඩා ඔහු සැබෑ මිනිසෙක් විය.

     ති‍්‍රමා දකුණේ අම්බලන්ගොඩ කහව ගල්දූව ගමේ දී 1964 මාර්තු මස 01 දින උපත ලැබීය. ඔහුගේ පියා ගාල්ල උසාවියේ භාෂා පරිවර්ථකයෙකු ලෙස සේවය කළේය. මලනුවන් තිදෙනෙකුට හා එක් නැගනියකට වැඩිමහල් සොහොයුරා වූ පද්මසිරි ත‍්‍රීමාවිතාන අහිංසක පවුලක, මවගේ පියාගේ හා සොයුරු සොයුරියන් සිවු දෙනෙකුගේ දහසක් පැතුම් ඉටු කරන්නට සිටි එකම බලාපොරොත්තුව විය. මූලික අධ්‍යාපනය අම්බලන්ගොඩ කහව විද්‍යාලයෙන් හැදෑරූ ඔහු උසස් අධ්‍යාපනය සදහා 1985 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයට තේරීපත් විය. ඔහු බ්ලොම් ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සිටියේය.

වඳ වී ගිය ගුරු පරපුරක හංස ගීතය හෙවත් ගුරු ගීතය


ගුරුවරයා වූ කලි උත්තම පුරුෂයෙකි. ඔහු පහනෙන් පහනක් දල්වන්නෙකි. පරපුරක් ගොඩනඟන්නෙකි. සමාජයට වගකිව යුත්තෙකි. අතීතයේ සිට දේවත්වයෙන් පිදුම් ලැබූවෙකි. එහෙත් ලාංකීය සමාජය ගතහොත් ගුරුවරයාගේ භූමිකාව වූ කලී කාලානුරූපී ව වෙනස් වූවකි.

නිදහස් අධ්‍යාපනය ලැබීමත් සමඟ ම ඈත පිටිසර ගම්මානවල පවා පාසල් බිහිවන්නට විය. දුර බැහැර පාසලකට එකල ගුරුවරයකු පැමිණීම යනු පහන් පැලට දෙවියකු වැඩම කිරීම හා සමාන ය. ගුරුවරයා පැමිණෙන දිනයේ ගැමියෝ මඟට වී බලා සිටිති. ඔහු ගෙනා බඩු මුට්ටු කරෙන් ගෙන යති. ගමේ හොඳ ම නිවසේ ඔහුට නවාතැන් ලැබෙයි. කොයි දෙසින් පැමිණිය ද ඔහු ටිකින් ටික ගමේ සාමාජිකයකු බවට පත්වෙයි. ඇතැම් විට එකල ගුරුවරයා ඒ ගමෙන් ම විවාහයක් කරගෙන ගමේ ම පදිංචි වෙයි.

පැරණි සමාජය වූ කලී අල්පේච්ඡ සමාජයකි. එය බරපතළ පාරිභෝගික සමාජයක් නොවේ. ඒ නිසා ලද දෙයින් සතුටුවීමේ හැකියාව එකල සමාජයේ පැවතිණි. එසේම ලබන වැටුපෙන් ජීවත්වීමේ හැකියාව ඔවුනට පැවතිණි. ඒ නිසා ම ඔවුහු තම වෘත්තියට ආදරය කළෝ ය. ගෞරව කළෝ ය. අප්‍රමාණ වූ කැපකිරීම් කළෝ ය. මේ ගීතය මඟින් ද චන්ද්‍රසේකරයන් තේමා කරගන්නේ එබඳු දෙවිවරුන් බඳු ගුරු පරපුරකට මෙන්ම ඔවුන්ගෙන් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය පරපුරකට මුහුණ දෙන්නට සිදුවූ ඛේදවාචකයයි. රචකයා ඉතාම සංයමශීලී ව සියුම් ගෙත්තමක් ලෙසින් මේ අනුභූතිය ඉදිරිපත් කරනු ලබයි.

පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ

පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ

දරුවන්ට ශිල්පදානය දීම පිණිස දුෂ්කර ක්‍රියා කරමින් තම රාජකාරිය ඉටු කරනු වස් පිය නැඟූ අතීත ගුරු පරපුර මෙහිදී රසිකයාට සිහිපත් වේ. අන් අයට මඟ පෙන්වූ ඔවුහු නොමඟ ගිය පිරිසක් නොවූහ. එහෙත් සමාජය ක්‍රමයෙන් සංකීර්ණ වන්නට විය. 


සුනිල් එදිරිසිංහ

ක්‍රමයෙන් පාරිභෝගික සමාජයක් බිහිවන්නට විය. ගුරු දෙවියන්ගෙන් ශිල්ප ලැබූ පරපුර මේ පාරිභෝගික සමාජයේ ගොදුරු බවට පත්විය. තමා ඉහළ යාමේ නිරන්තර අරගලයක ඔවුහු නිරතවන්නට පටන්ගත්හ. රචකයා මූසිලයන් ලෙස හඳුන්වනු ලබන්නේ ආධ්‍යාත්මික ගුණ වගාව අමතක කොට ධනවාදයේ ගොදුරු බවට පත්වූ පරපුරයි. පැරණි ගුරුවරයා කියාදුන් සාරධර්මවලට එරෙහි පරපුරයි.

”සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ”

මේ අයුරින් මූසිලයන් සියල්ල අමතක කොට ඉහළ නැඟීමට වෙර දරද්දී අධ්‍යාපනයේ වටිනාකම් හෑල්ලු වෙයි.

”උගත මනා ශිල්පය මයි මතු රැකෙනා” නැමැති ප්‍රකාශය “මතු රැකෙනා ශිල්පයමයි උගතමනා” බවට පරිවර්තනය වෙයි. පාසල් යාමට වඩා “රටකජු” විකුණා හෝ මුදලක් අතට ගැනීමට ඊළඟ පරපුර පෙලඹෙන්නේ එබැවිනි.


රෝහණ වීරසිංහ

සාමා සහ අමරලා යනු බාල පරපුරයි. ඔවුහු පෙළපොත් පිටු ඉරා ඒවායෙන් රටකජු ගොටු සදන්නට පෙලඹීම ප්‍රබල උපහාසයක් ජනිත කරවයි. මෙහි දී රචකයා උගත මනා ශිල්පයට, ප්‍රාණවාචී අරුතක් සපයයි. තමා පිල්කඩට විසිවීයාම පිළිබඳ ව සන්තාපයට පත්වූ උගත මනා ශිල්පය, තමාට දඬුවම් කරන ලෙසට වේවැලෙන් ඉල්ලා සිටී. රචකයා මේ සමාජ සංස්කෘතික ඛේදවාචකය සියුම් උපහාසයකින් ඉදිරිපත් කර තිබේ.

නැවතත් රචකයා තම දැක්ම යොමු කරන්නේ, පැරණි ගුරුවරයා ගේ ඛේදවාචකය දෙසටයි. මේ සමාජ පරිවර්තනයට ඔහුට ගොදුරුවිය නොහැකි ය. ඔහුගේ මුල් ශක්තිමත් වී ඇත්තේ තරගකාරී අවස්ථාවාදී චින්තනයක් මත නොවේ. මේ නිසා ඔහු ද ඔහුගෙන් යැපෙන්නන් ද මේ සමාජ පරිවර්තනය ඉදිරියේ අතරමං වෙයි. අසරණ වෙයි.

රන් මසු පට පිළී අබරණ උරණ වෙලා

සමන් පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා

ගුරු නිවහනම කඳුළට උල්පතක් වෙලා

ලොකු හාමිනේ ඇත බිතුසිතුවමක් වෙලා

මේ ගුරුතුමා ගේ බැංකු ගිණුම් තර වී නොමැත. තම ඇස් දෙක බඳු දියණිය විවාහ කර දීමේ අර්බුදයට එතුමෝ ගොදුරු වෙති. ඇය ගෙදරට ම නාකි වෙයි. අලුත්, ඇඳුම්, ස්වර්ණාභරණ, දෑවැද්ද ඇයගෙන් දුරස් වී ගොසිනි. වෙනදා මහා දෙවොලක් බඳු වූ ගුරු නිවස අද කඳුළේ උල්පත වී තිබේ. ගුරුතුමා ගේ බිරිය අජීවී බිතුසිතුවමකි. මේ අතීත දිසාපාමොක්ලාට නූතන අර්ථ රටාව තිළිණ කළ ඉරණමයි.

අතීත ගුරුවරයාට නමස්කාර කරන රචකයා වර්තමාන ගුරුවරයා කෙරෙහි වෛරීය දෘෂ්ටියක් යොමු නොකරයි. සමාජ ක්‍රමය විසින්, ආර්ථික වාදියකුª බවට පත්වූ වර්තමාන ගුරුවරයා දෙස රචකයා යොමු කරන්නේ සානුකම්පික දෘෂ්ටියකි. ගුරුවරයකු ලෙස ජීවිතයේ වැඩි කාලයක් කැප කළ මහින්ද චන්ද්‍රසේකරයන් මේ දෙස උපේක්ෂාවෙන් බලන්නේ මේ සියලු ම අනුභූ®තීන් ඔහු ද පෞද්ගලික ව විඳ ඇති බැවිනි.

මට මගේ පියා සහ මව සිහිවෙයි. ඔවුන් රජයේ ගුරුවරු ය. පාසල නිමාවීමෙන් පසුව ද ඔවුහු කොට්ටම්බා ගස් යට වාඩිකරවා, විභාගවලට පෙනී සිටින සිසුන්ට ඉගැන්වූහ. ඔවුහු ඒ වෙනුවෙන් මුදල් අය නොකළ හ. 

මම ටියුෂන් ගුරුවරයෙක් මි. මම ශිෂ්‍යයන්ගෙන් මුදල් අය කරමි. එසේ නොකළොත් මට අද සමාජයේ දෙපයින් සිට ගැනීමට නොහැකි ය. මම පාරිභෝගික සමාජයක සාමාජිකයෙක්මි. මගේ දෙමාපියන්ට වඩා මගේ අවශ්‍යතා වැඩි ය. මා අවට සමාජය මට බලකර සිටින්නේ මගේ ශිල්පය විකුණා ජීවත්වන්නටය. 

ඒ නිසා, මම මගේ ශිල්පය විකුණමි. නිකම් නොව දැන්වීම්, පත්‍රිකා බෙදමින් අඬබෙර ගසමින් විකුණමි. එහෙත් මගේ දෙමාපියන් සිහිවෙද්දී මා තුළ ද සියුම් ලජ්ජාවක් ඇතිවෙයි. එහෙත් ඒ ලජ්ජාව යටපත් කරගෙන මම විකුණමි. විකිණෙමි. එහෙත් මූසිලයකු වීමට හෝ මූසිලයන් බිහිකිරීමෙන් වැළකීමට මම දිවා රෑ උත්සාහ කරමි.


මහින්ද චන්ද්‍රසේකර ඇතැම් විට එය ද අසාර්ථක වනු ඇත. මේ ගීතය කනවැකෙන හැම මොහොතකම මට මගේ දෙමාපියන් සිහිවේ. එවිට සියුම් වේදනාවක් මගේ ශරීරය පුරා දිවයයි.

රෝහණ වීරසිංහයන් ගේ සංගීතය ගැන හෝ සුනිල් එදිරිසිංහයන් ගේ් ගායනා විලාසය ගැන අටුවා ටීකා ටිප්පණි අනවශ්‍ය ය. ඔවුහු ඔවුන්ගේ කාර්යභාරය මනාව ඉටු කරති.

මගේ ඇස මත මේ මොහොතේ මැවෙන්නේ පැරණි දුෂ්කර වැඩවසම් ගම්මානයකි. අකල් වැස්සකින් මඟ දෙපස මඩ වී තිබේ. ජාතික ඇඳුම ඇඳගත් මැදිවියේ ගුරුතුමකු මඩ කඩිති මැදින් පැනගෙන මේ දුෂ්කර මඟෙහි ගමන් කරයි. 

“චිංගීස් අයිත්මාටව්” නැමැති රුසියානු ලේඛකයාගේ ‘ගුරු ගීතය” නවකතාවේ ‘දුයිෂෙන්’ නැමැති ගුරුවරයාට වඩා පෞරුෂයක් මේ ගුරුවරයා සතුය. ඔහු එනතුරු සරම්, බැනියම් ඇඳගත් ළමෝ බලා සිටිති. 

වැව් තාවුල්ල පසු කරන විට පාසල දුරට පෙනෙයි. ළමයින් කෑකෝ ගසන හඬ ඇසෙද්දී ගුරුතුමා ගේ මුවඟට සිනහවක් නැඟෙයි. මම පෑන පසෙක තබා ඒ ගුරුතුමාගේ දෙපතුල ළඟ වැඳ වැටෙමි.

~~ධම්මික බණ්ඩාර~~

(සිළුමිණ)

Saturday, October 20, 2012

කර්නල් විදුහල්පතිලා

පන්නිපිටිය ධර්මපාලය ඉදිරිපිටම විශාල ඩිජිටල් කටවුට් එකකි. එහි විමලසේන විදුහල්පතිතුමා කර්නල් විදුහල්පති වෙලාය. කර්නල් තොප්පිය සහිත හමුදා නිල ඇඳුමින් සැරසී ඉන්න එතුමාගේ ඡායාරූපය දැක්කාම දුකේ බැරිය. විදුහල්පතිතුමාගේ සුදු ඇඳුම ඇඳලා පාසලේ ටයිපටය බැඳලා වෙනදාට තියෙන විදුහල්පති තේජස කර්නල් ඇඳුමේ අහලකවත් නැතිය. කර්නල්කමට ඇඳලාට වඩා අන්දලා වගේය. කැමැත්තෙන් කර්නල් වුණ පෙණුමක්නම් විමලසේන විදුහල්පතිතුමාගේ මූණේ නැතිය. කැමැත්තට වඩා බයට කර්නල් වෙලා වගේය. බයට කර්නල් වුණ මුහුනක හැටි හිතා ගත හැකිය. ඇති විදුහල්පතිකම වෙනුවට නැති කර්නල්කමකට ඇන්ඳාම එහෙමය. ඇඳුම කර්නල් වුණාට මුහුණ විමලසේනමය. අනේ පවුය. අපේ රටේ හැම හෙණේම අධ්‍යාපනයටමය. හැම එකාම අධ්‍යාපනයටම මූත‍්‍රා කරන්නේ ඇයිදැයි සොයා බැලිය යුතුමය.

ආණ්ඩුව තෝරාගත් විදුහල්පතිවරු පිරිසක් කර්නල්කමට ඇන්දුවාය. පසුගියදා පදක්කම්ද පැළැන්දුවාය. ඒ බොහෝ දෙනා කොළඹ හා ප‍්‍රධාන නගර ආශ‍්‍රිත ජාතික පාසල්වල විදුහල්පතිවරු හා වරියන්ය. විදුහල්පති නම ඉදිරියට කර්නල් දුන්නේ ඇයිදැයි ජනතාවට දැනගැනීමට අයිතියක් තිබේය. ආණ්ඩුව කියන්නේ, විනය පිරිහිලා නිසා විනය තකා කර්නල් කළා කියලාය. විනයනම් පිරිහී ඇත්තේ පාසලේ විතරක් නොවේය. පාසල එක තැනක් විතරය. එතනත් කර්නල් පට්ටම දී තියෙන්නේ, විනය රකින අයටම දැයි වෙනම සොයා බැලිය යුතුය. පාසල්වලට ළමුන් ඇතුළත් කරද්දී ලක්ෂ ගණනින් පගාව ඉල්ලන්නෙත් ඔය ඇතැම් විනය රකින ලොකු තැන්වලින්මය. දැන් ළමුන් ඇතුළත් කරද්දී විදුහල්පතිලා වෙනුවට කර්නල් විදුහල්පතිලා ඒ වැඩේ කරන්න ගියාම මරේ මරුය. එතකොට ඒ අය ගෙනියන්න වෙන්නේ සාමාන්‍ය උසාවියට නොව හමුදා අධිකරණයටදැයි දන්නේ නැතිය.

විනය පිරිහීම කර්නල් පැළඳීමෙන් විසඳිය හැකිද යන්නත් ගැටලුවක්ය. ඒ, පිරිහීම ඇත්තේ, පාසලේ විතරක් නොවන නිසාය. පිරිහීම රට පුරාය. සමාජය තුළමය. එහෙමනම් උත්තරය මුළු රටම හමුදාකරණය කිරීම දැයි වෙලාවකට හිතෙනවාය. පාඩුවේ හිටපු විදුහල්පතිවරු හදිස්සියේම කර්නල් තනතුරුවලට කැඳවූයේ රටම හමුදාකරණය කිරීමේ ආරම්භයක් ලෙසටදැයි හිතෙනකොටත් බයය. ඒත් හිතෙන එක නවත්තාගන්නට බැරිය.

විදුහල්පතිලා කර්නල් විදුහල්පතිලා වන විට අධ්‍යාපන ඇමති බෑයෝ අඳින්නේ, කාටදැයි හිතා ගත හැකිද? ඔවුන් නිල ඇඳුම නොඇන්දත් දැනටමත් හමුදාපතිවරුන් වගේමය. පාසලේ ගුරුවරුන්ටත් හමුදා තනතුරක් දුන්නාම සියල්ල ඉවරය. කලින් ළමුන්ගේ කණ පලන්නේ ගුරුතුමාය. දැන් කෝප‍්‍රල්ය. ලුතිනන්ය. කර්නල්ය. දේශපාලන පත්වීමෙන් ඉහළ ආ අධ්‍යාපන අධ්‍යක්ෂකලාද බි‍්‍රගේඩියර්ලාට ඇන්දත් අපටනම් පුදුමයක් නැතිය.

ඉතිහාසයේදී කර්නල්කමට අන්දපු නැති හැබෑම කර්නල්ලා විදුහල්පතිවරු ලෙස සිටියාය. ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් විදුහල්පතිවරයෙකු වූ කර්නල් කුඩලිගම මහතා එවැන්නෙක්ට හොඳම උදාහරණයක්ය. ඒ කර්නල්කමට ඇඳලා හෝ අන්දවලා නොවේය. පාසලේ ශිෂ්‍ය භට බලකායේ සිටම ඉහළට පැමිණි සැබෑම කර්නල්වරුය. දවස් පහක පුහුණුව සහිත බ්‍රොයිලර් කර්නල්ලා නොවේය. නූතන කර්නල්ලා කුඩලිගමලාට අලගු තියන්නවත් මදිය. ගෝඨාභය මහතාගේ කර්නල්ලා බී කර්නල්ලාය. බී කිව්වේ බ‍්‍රාවෝ කර්නල්ලා නිසා නොවේය. ‍බ්‍රොයිලර් කර්නල්ලා නිසාය.

ලංකාවේ අධ්‍යාපනයට ඇති එකම ප‍්‍රශ්නය විදුහල්පතිලාට කර්නල්කම නොතිබීම නොවේය. විවෘත ආර්ථිකය බෝකළ සියලු විෂබීජ පාසලට පැමිණීම විදුහල්පතිලා කර්නල් කිරීමෙන් නතර කළ නොහැකිය. අද පාසල් ළමුන්ගේ ‘වින්දනය’ පිරිමැසීමට මදන මෝදක, කැහි බොහෙත් ප‍්‍රමාණවත් නැතිය. ෆාමසිවල ඇති මානසික රෝගීන්ට දෙන බෙහෙත් ගිලින තරමට තත්වය බරපතළය. දරුවෙකුට ජංගම දුරකථනයක් නැතිනම් ඒක දෙමව්පියන්ගේ තත්වයට හොඳ මදිය. ඒ නිසා අන්තර් ජාල පහසුකමද ඇති දුරකථනය දරුවාට දෙන තාත්තා හොඳම තාත්තාය. ඒ දරුවෝ දරුවෝ නිල් චිත‍්‍රපටි බලනවා විතරක් නොවේය. විදුහල්පති කර්නල්ලා නොදන්නා බොහෝ දේ දැන් ළමයි දන්නවාය. ඒ ධනවාදයේ නූතනත්වයට හා දෙමව්පියන්ගේ අදට ගැලපෙනකමට පින් සිදු වෙන්නටය.

විදුහල්පති කර්නල් වූ පලියට ජල පහසුක්ම් නැති පාසලට ඒ පහසුකම ලැබෙන්නේ නැතිය. ගමට තාමත් කැකිරිමය. ඒ අසාධාරණකම් නොඉවසන දරුවෝ සහ දෙමව්පියෝ එරෙහිව නැගී සිටින විට ඒවාට මුහුණදීමට දින පහේ පුහුණව නම් බොයිලර් කර්නල්ලාට හොඳටම ප‍්‍රමාණවත් මදිය. යුද්ධය පැවති කාලයේත් විමලසේන විදුහල්පතිතුමා පන්නිපිටිය ධර්මපාල විදුහලේ විදුහල්පතිමය. දැන් යුද්ධය ඉවරය. විදුහල්පති විමලසේන දැන් කර්නල් විදුහල්පතිය. මේ විදිහටම කර්නල් දොස්තරලාද හැදිය හැකිය. ඒ රෝහල්වල බෙහෙත් හිඟට උත්තර හොයන්නට නොව රෝහලේ පාලනයටය. කර්නල් ප‍්‍රාදේශීය ලේකම්ලා හා කෝප‍්‍රල් ග‍්‍රාමසේවකලාද නරකම නැතිය. නීති හදන තැන පාර්ලිමේන්තුවය. එතන නිකම්ම මන්ත‍්‍රීලා ඉඳලා වැඩක් නැතිය. කර්නල් මන්ත‍්‍රීලා පත්කළ හැකිය මරේ මරුය. නැවතත් කරුණාට කර්නල් කරුණා අම්මාන්ම විය හැකිය. මර්වින් සිල්වාත් එවිට ආචාර්ය කර්නල් මර්වින්ය. අන්තිමට ජනතාව හැර අන් සියල්ලෝම කර්නල්ලාය. ඒකට කියන්නේ හමුදා පාලනයක් කියලාය. දැන් නොකියා කරන්නට මුලපුරා තියෙන්නේ ඒකය. විමලසේන විදුහල්පතිතුමා කර්නල් විමලසේන කළේ ඒකටය. ජනතාව සීරුවෙන් සිටිල්ලාය. ගොඨාභය ඇතුළු කර්නල්ලා පහසුවේන් සිටිනු ඇතිය.

සුනිල් හඳුන්නෙත්ති
උපුටා ගැනීම - ලක්බිම