Tuesday, October 16, 2012

අපි එකම රටක වැසියෝ හෙවත් ශ්‍රී ලාංකිකයෝ වෙමු.

“මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ....“

සිය අසහාය හැකියාවෙන් ගීත කලාව පෝෂණය කළ මොහු, චිත්‍රපට කේෂ්ත්‍රයේත් බෞදධ ගීත කේෂ්ත්‍රයේත් සිය මධුර හඩ අවදි කරමින් අප ඇමතූ අල්හාජ් මොහිදින් බෙග් හෙවත් බෙග් මාස්ටර් අපෙන් සමුගෙන දැනට දශක දෙකක් පමණ වේ. ඔහුගේ බොහෝ ගීත ආගමික සහජීවනයකට මනා පසුබිම සකස් කරනු ලැබීය. සත්තකින්ම මෙකී මෙහෙවර ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප අගය කළ යුතුය. 

උපතින්ම මුස්ලිම් ජාතික වූ බෙග් මාස්ටර් දැයෙන් සමුගන්නා තෙක්ම මුස්ලිම් විය. චිත්
රපට පසුබිම් ගායකයෙකු ලෙස ගීත ක්ෂේත්‍රයට පිවිස
 50-80 දශකවල තම මධුර ස්වරය හැගීම් වලට නොව බුද්ධියට විවර කරමින් බෞද්ධ ගීතාවලියට බෙග් මාස්ටර්ගේ කරනු ලැබූ දායාකත්වය අද්විතීයයි. ඔහු අන්‍යාගමිකයෙකුව සිට කිසිදු ප්‍රතීගාමී භවකින් තොරව බුදු දහමේ යතාර්ථය පසක් කරනු පිණිස කරනා ලද අප්‍රමිත උස්සාහය මෙම ගීත වලින් නොපෙනේ ද?

බුද්ධං සරණං ගජ්ඡාමි...
සලක සතම බොදු බැතියෙන්...
බුදුන්ගේ අමා ධර්මේ...
සුවදේ මට සීතල සුලග පවා...
ඔබ සිතනුයේ, ඔහු ආගම පාවා දුන් බවද, නැතිනම් අන්‍යාගමික බව මුදල් ඉපයීමට පාදක කර ගත් බවද? නැතිනම් ඔහුට එන් ජී ඕ මුදල් පොම්ප කළ බවද? ඔබට එවැන්නක් වැරැදීමකින් හෝ සිතෙනුයේ නම් ඔහු වසර ගණනාවක් ගී ගයා මනස අවදි කිරීමට උත්සාහ කර ඇත්තේ කවදාවත් නොහැදෙනා කුහක සමාජයකටය. එසේ නම් ඔහු දැනගෙන සිටියා විය යුතුය ගිරිහෙල් මුදුනේ මහනෙල් නොපිපේ යි කියා. තවද, ඔහුගේ ගායනයෙන් යම් තාක් දුරට හෝ පැලැස්තර වැටීමට තිබුණ ආගමික සහජීවනය දෙදෙරා යාමකි. 

වර්තමානයේ අපේ සමාජය තුල සිදුවවී තිබෙනුයේ කුමක් ද? මිනිස් විඥ්ඥානය තල්ලු වෙමින් පවතිනුයේ කොතෙනට ද? අළු යට ගිනි මෙන් විටින් විට මතුවන ආගමික ගැටලු තල්ලු වනුයේ කුමන දිශාවක් කරාද යන්න තම බුද්ධිය තුල විමසීමක් කර ගන්නා හිස් කබල තුල මොළ ගෙඩියක් ඇති ඕනම මන්ද බුද්ධික නොවන අයෙකුටම පසක් කර ගත හැකිය. ආගමික සහජීවනය විනාශ වන, මිනිස් මනසේ ක්‍රෝධය වඩවන, මනස දූෂණය වන, ඊනියා ආගමික ආලය වඩවන, ඊනියා ජාතියානුරාගය ඔප කරන පරිදි මනා ලෙස සැලසුම් සහගතව කළ නිර්මාණය අද ඔබේත්, මගේත් ෆේස්බුක් ගොනුවට ගාලා ගෙන එයි.

මා බෞද්ධ වේ. ඔබද එසේ විය හැකිය, නැතහොත් මුස්ලිම්, ක්‍රස්තියානී, හින්දු හෝ වෙනත් ආගමක විය හැකිය. අපේ ඉතිහාසය අප රටේ විවිධ ආගම් බිහි වීමට මං පෙත් සැකසුනා. නමුත් එහි පාපය අද සමාජය නොගෙවිය යුතුය. නමුත් අද වන විට විදේශ පලපෑම්, විවිධ දේශපාලන සහ සමාජීය හේතු නිසා එකී ආගම් අතර විරසක භාවය වර්ධනය වෙමින් පවතිනවා. නමුත් පාලකයෝ තම ඡන්ද කුඩුම්බිය රැකගනු වස් එකී විරසක භාවය දැක නොදැක්කා වාගේ සිටිනවා. තමන්ගේ බඩගොස්තරවාදය පෝෂණය කර ගන්නවා විනා සමාජ ගැටලු දෙස ඇසක් ඇර බැලීමට හෝ ඔවුහු කම්මැළි වෙති. පැවැත්ම උදෙසා දශක 03 පැවති යුද්ධය අපේ පාලකයන් පෝෂණය කළා සේම, අද සිදුවෙමින් පවතිනුයේ ද තවත් ඊනියා ජාතිකානුරාගය පෝෂණය කිරීමක් නොවේ ද. ජාතීන් එකමුතු කළ නොහැකි හෝ නොකරන එකී පාලකයන්ද අපේ පාලකයෝ නෙවෙති.

එහෙත් මිතුරනේ, ඔබ නූතන මිනිසා නොහොත් හෝමෝ සේපියන්ස් සේපියන් ලෙස බුද්ධිය විවර කර මනසට ඉඩ දී මෙකී කාරණා විග්‍රහ කර ගන්න. අපි වර්ගවාදීයෝ නොවෙමු. අපි ජාති වාදියෝ නොවෙමු. අපි එකම රටක වැසියෝ හෙවත් ශ්‍රී ලාංකිකයෝ වෙමු. නමුත්, ඔබත් මමත් සිටිනා මෙම සමාජ පංතිය සහ පරිසරය එකී සිතුවිල්ල පහළ වීමට ඉඩ හසර සකසා දේවිදෝ කියන සැකය මා මනස තුල පවතිනවා.
ඔබටත්, මටත් බෙග් මාස්ටර් මෙසේ ද ගයයි,

“මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ....“
අදහස - නිර්මලා මධුශානි ගෙනි 

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...