Monday, March 24, 2014

අරගල කරන සිසුවන් නොම වෙද අපගෙ දරුවන්!

ආශ්චර්යයේ වාගාලාප නහුතයකින් රටම වැසෙමින් පවතින මොහොතක විශ්වවිද්‍යාල සිසුහු දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ මහමගට බැස සිටිති. ක්‍ෂිතිජයෙන් එපිට ලෝකය දකින ශිෂ්‍යයකු බිහි කිරීමේ තේමා පාඨය මතින් ගමන් කරන උසස්‌ අධ්‍යාපන බලධාරීන්ට මේ මහමගට බැස සිටින ශිෂ්‍ය ප්‍රජාවේ අරමුණ දේශපාලන වර්ණනාලේපයකින් වැසියහැකි යෑයි නොසිතමු.

රජරට විශ්වවිද්‍යාලයේ පවතින ශිෂ්‍ය මර්දනයට එරෙහිව හා ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිසුන් විසින් ආරම්භ කරනු ලැබ ඇති සත්‍යග්‍රහය දින සියය පසු කළේ නොබෝදාය. සිසුන්ගේ සත්‍යග්‍රහයට පදනමක්‌ තිබේ. මේ වන විට එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසි හත් දෙනකු දඬුවමට ලක්‌ කර තිබේ. ඇතැම් සිසුන්ට දඬුවම් පමුණුවීමට හේතුව වශයෙන් දැක්‌වෙන්නේ එහි කළමනාකරණ උපාධිය රුපියල් එක්‌ ලක්‍ෂ හතළිස්‌ දහසකට විකිණීමට සූදානම් වන බවට චෝදනා කරමින් ඒ බව දැනුවත් කිරීම සඳහා සකසන ලද අත් පත්‍රිකාවක්‌ බෙදාහැරීමය. අත් පත්‍රිකාව බෙදීමේ චෝදනාවට ලක්‌වූ එක්‌ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක්‌ වසර පහක කාලයක්‌ ශිෂ්‍ය භාවය අත්හිටුවීමේ දඬුවමට ලක්‌ව සිsටින්නේය.

මෙලෙස සිදු කෙරෙන ශිෂ්‍ය මර්දනයට එරෙහිව හා පානීය ජල ප්‍රශ්නය වැනි සුබසාධන ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා විශ්වවිද්‍යාලය ඉදිරිපිට ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට තෙවරක්‌ම පොලිස්‌ ප්‍රහාර එල්ල කෙරිණි. අධිකරණ නියෝග ගැනිණි. අධිකරණ නියෝගය හමුවේ සත්‍යග්‍රහ අට්‌ටාල සුණු විසුණු කෙරිණි. පොලිසිය උපරිම බලය යොදා සත්‍යග්‍රහයේ යෙදී සිටි සිසුන් විසුරුවා හරිනු ලැබිණි. තෙවරක්‌ම එල්ල වූ පොලිස්‌ ප්‍රහාර හමුවේ වුවද ඔවුහු යළිත් විශ්වවිද්‍යාලය ඉදිරිපිට ම සත්‍යග්‍රහයේ යෙදී සිටිති. ඔවුන්ගේ මූලික ඉල්ලීම වනුයේ ශිෂ්‍ය මර්දනය නවතාලීමය. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තුච්ඡ නවකවධ සිද්ධීන් හා ඒ නිසාම නිශාන්තලා වැනි සිසුන්ට ජීවිතය හැරදා යැමට මග පෑදූ ශිෂ්‍ය ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් වන අපගේ විවේචනය තවමත් එසේමය. නිශාන්තලා ජීවිතයෙන් පලා ගිය ද ඊට හේතු කාරක වූ විෂබීජවලට තවමත් විශ්වවිද්‍යාලයේ නිදැල්ලේ සැරිසැරීමට ඉඩදීම සම්බන්ධයෙන් අපි විරෝධය පළ කරමු. ඊට අදාළ පරිපාලන අංශවල නිවට ක්‍රියාකාරිත්වය වෙනම කතා කළ යුත්තකි.

සිසුන්ගේ සාධනීය ඉල්ලීම් සම්බන්ධයෙන් ද පරිපාලන අංශ පමණක්‌ නොව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද දක්‌වමින් සිටින්නේ ඇල්මැරුණු ප්‍රතිපත්තියකි. සම සෞඛ්‍ය විද්‍යාපීඨය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්‌ථාපිත කෙරෙන්නේ 2006 වසරේදීය. සිව් වසරක උපාධි පාඨමාලාවක්‌ වූ සම සෞඛ්‍ය පාඨමාලාව සාර්ථකව හදාරා උපාධිධාරීන් වශයෙන් ශිෂ්‍ය කණ්‌ඩායම් හතරක්‌ මේ වන විට විශ්වවිද්‍යාලයෙන් ඉවත්ව සිටිති. එහෙත් පස්‌වැනි ශිෂ්‍ය කණ්‌ඩායමට එම අවස්‌ථාව නොලැබිණි. හදිසියේම එම සිව් අවුරුදු පාඨමාලාව අවුරුදු තුනකට අඩු කෙරිණි. එලෙස එක්‌ අවුරුද්දක්‌ කපා හරින ලද්දේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසිනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විරෝධය මත එම පාඨමාලාවේ කාලසීමාව අඩු කිරීමට සිදුවූ බව උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය සේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද ප්‍රකාශ කරන අතර ඒ හා සම්බන්ධ අධිකරණ තීන්දුවක්‌ ද පවතියි. අධිකරණ තීන්දුවෙන් ගම්‍ය වන්නේ සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කර විසඳුමකට එළඹිය යුතු බවය. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පමණක්‌ සාකච්ඡා කර පාඨමාලා කාලය දීර්ඝ නොකිරීමට තීරණය කර ඇති අතර මේ වන විට එම තීරණය ක්‍රියාත්මක වෙයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨ සිසුන් එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට ද රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් ගාල්ල බස්‌ නැවතුම්පළ අසල ද සත්‍යග්‍රහයේ යෙදී සිටින්නේ එම තීරණය ක්‍රියාත්මක කිරීමට එරෙහිවය. එනම් පෙර පැවැති අයුරින්ම සම සෞඛ්‍ය පාඨමාලාව සිව් වසරක්‌ දක්‌වා දීර්ඝ කිරීම ඔවුන්ගේ ඉල්ලීම වෙයි. සම සෞඛ්‍ය විද්‍යා පාඨමාලා කාලය කප්පාදු කිරීමට එරෙහිව සිසුන් හඬනඟන විට එම විශ්වවිද්‍යාලයේම කළමනාකරණ පීඨ සිසුන් උද්ඝෝෂණය කරමින් සිටින්නේ ශිෂ්‍ය කප්පාදුවට එරෙහිවය. සාමාන්‍යයෙන් වාර්ෂිකව එකසිය පනහක පමණ ශිෂ්‍ය කණ්‌ඩායමක්‌ කළමනාකරණ පීඨයට ඇතුළත් කෙරෙන නමුත් මෙවර එම ශිෂ්‍ය සංඛ්‍යාව හතළිස්‌ හත දක්‌වා අඩුකර ඇති බවට චෝදනා නඟමින් සිසුහු මහා හඬක්‌ නැඟූහ. නියමිත ශිෂ්‍ය කණ්‌ඩායම ලබා දෙන්නැයි පරිපාලන අංශ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්‌ කර ඇත්තේ සිසුන්ගේ බලකිරීමෙන් පසුවය. එම ඉල්ලීම ප්‍රමාද වී ලැබීම නිසා මුල් වටයේදීම නියමිත සිසුන් සංඛ්‍යාව ඇතුළත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට හැකියාවක්‌ නොලැබිණි. දෙවැනි වටයේදී නියමිත සිසුන් සංඛ්‍යාව ලබා දෙන බවට ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ වන විට පොරොන්දු වී තිබේ. සිසුන් උද්ඝෝෂණය නොකරන්නට කළමනාකරණ ශිෂ්‍ය කණ්‌ඩායම හතළිස්‌ හතකට සීමා වීමට බොහෝ දුරට ඉඩ තිබිණි.

සම සෞඛ්‍ය විද්‍යා පාඨමාලාව සිව් වසරක සිට වසර තුනකට අඩු කළා සේ සෞන්දර්ය විශ්වවිද්‍යාල උපාධියද සිව් වසරක සිට වසර තුනක්‌ දක්‌වා අඩු කිරීමට යෝජනා වී තිබිණි. ඊට එරෙහිව ද සිසුහු හඬ අවදි කළ අතර මේ වන විට එම පාඨමාලා කාලය අඩු කිරීම යටපත්ව ඇතැයි කිව හැකිය. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේද අර්බුද රැසක්‌ වෙයි. ශිෂ්‍ය භාවය අත්හිටු වූ, පන්ති තහනමට ලක්‌ කළ හා තවත් දඬුවම්වලට ලක්‌ව සිටින සිසුන් සංඛ්‍යාව හාරසියය ඉක්‌මවන බව සිසුහු සඳහන් කර සිටින්නාහ. සිසුන්ට එරෙහිව පරිපාලන අංශ පවරා ඇති නඩු සංඛ්‍යාව එකසිය හතළිහ ඉක්‌මවන බවද කියෑවෙයි. සියලුම ශිෂ්‍ය සංගම් තහනම් කර වසරක්‌ ඉක්‌ම ගොසිනි.

නේවාසිකාගාර අර්බුදය හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලය ද ශිෂ්‍ය උද්ඝෝෂණවලට මඟ විවර කර තිබේ. නේවාසිකාගාර පහසුකම් අහිමි වූ බව කියන සිසුවියෝ දෙසීයකට අධික පිරිසක්‌ බලහත්කාරයෙන් 

එහි ආපන ශාලාවක ලැගුම් ගෙන සිටින්නාහ. තමන්ට නේවාසිකාගාර පහසුකම් සලසන තෙක්‌ ඉන් ඉවත් නොවීමට ඔවුහු තීරණය කර සිටිති. 2011 වසර තෙක්‌ කැලණිය විශ්වවිද්‍යාලය නේවාසිකාගාර ගැටලුවකට මුහුණ නොපෑවේය. ඉන්පසුව එම ගැටලුව උද්ගත වූයේ පරිපලාන අංශවල අමනෝඥ තීරණනිසා බවට සිසුහු චෝදනා කරති. ඒ දක්‌වා සිසුවියන් එක්‌දහස්‌ තුන්සියයකට විශ්වවිද්‍යාලයෙන් පිටත නේවාසිකාගාර පහසුකම් සැලසුණු අතර සිසුන් හාරසියයකට අභ්‍යන්තර නේවාසිකාගාර පහසුකම් සැලසිණි. මේ වනවිට උද්ගතව ඇති ගැටලුව එකම හේතුව මෙම නේවාසිකාගාර මාරු කිරීම බව සිසුහු සඳහන් කරති. එනම් අභ්‍යන්තර නේවාසිකාගාර සිසුවියන්ටද බාහිර නේවාසිකාගාර සිසුන්ටද ලබාදීමට පියවර ගැනීමය. මේ වනවිට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුවියන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස්‌ ඇති හෙයින් අභ්‍යන්තර නේවාසිකාගාර පහසුකම් සිසුවියන්ට කිසිසේත් ප්‍රමාණවත් නොවේ. අනේක අතට සිසුවියන් එක්‌දහස්‌ තුන්සියයකට නේවාසිකාගාර පහසුකම් සලසාදී පසුව එම සංඛ්‍යාව හාරසියයකට සීමා කිරීම ගැටලු ඇති කරන්නක්‌ බව පරිපාලන අංශවලට අවබෝධ නොවූයේ ඇයිද යන්න ප්‍රශ්නයකි. නේවාසිකාගාර මාරු කර අභ්‍යන්තරව සිටි සිසුන් විශ්වවිද්‍යාලයෙන් පිටතට යෑවීමට පරිපාලන අංශ පියවර ගෙනඇත්තේ අභ්‍යන්තර නේවාසිකාගාරවල හිඳිමින් සිදු කෙරෙන ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයන් අඩපණ කිරීමේ අරමුණින් බවට සැක නැත. එහෙත් එමගින් අර්බුදයට පිළියමක්‌ ලැබී නැත. නේවාසිකාගාර පහසුකම් ඉල්ලා ආපනශාලා බලහත්කාරයෙන් අල්ලා ගැනීමේ තැනකට සිසුවියන් තල්ලු කිරීමේ වගකීමෙන් බැහැර වීමට පරිපාලනය අංශවලට නොහැකිය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ ද ශිෂ්‍ය ක්‍රියාකාරීහු විසි තුන් දෙනෙක්‌ මේ වනවිට ශිෂ්‍යභාවය අත්හිටුවීමේ දඬුවමට ලක්‌ව සිටිති. එමෙන්ම එහි පීඨ ශිෂ්‍ය සංගම් පහ මෙන්ම මහා ශිෂ්‍ය සංගමයද තහනම් කර මේ වනවිට වසරක්‌ ඉක්‌ම ගොස්‌ තිබේ. එලෙස ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට පරිපාලන අංශ කටයුතු කළේ කුමන පදනමක්‌ මතද යන්න ප්‍රශ්න කළ යුතු තැනකට තල්ලු වෙමින් තිබේ. ඊට හේතු වන්නේ ශිෂ්‍ය සංගම් යළි ස්‌ථාපිත කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කිරීමය. මානව හිමිකම් කොමිෂන් සභාව එවැනි නිර්දේශය කිරීමට පදනමක්‌ ඇතැයි සිතිය හැකි අතරම ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට පරිපාලන අංශවලට පදනමක්‌ නොතිබූ බවද සිතිය හැකිය.

විශ්වවිද්‍යාල සිසුන් පෙළන තවත් කරුණක්‌ නම් මහපොළ ශිෂ්‍යාධාරය වසර නවයකින් වැඩි නොකිරීමය. මහපොළ වශයෙන් මාසයකට රුපියල් දෙදහස්‌ පන්සියයක්‌ ලැබෙන්නේ 2005 වසරේÊසිටය. මහපොළ වාරිකය වැඩි කරන්නැයි වරින්වර සිසුන් කළ ඉල්ලීම් ඉල්ලීම් බවට පමණක්‌ සීමා වී පවතින්නෙය. 2005 වසරට සාපේක්‍ෂව අද වනවිට විශ්වවිද්‍යාල සිසුන්ගේ අවශ්‍යතාවන්ගේ මිල ඉහළ ගොස්‌ ඇති ආකාරය සලකා බැලුවහොත් සිසුන්ගේ ඉල්ලීම සාධාරණ නොව සර්ව සාධාරණය.

විශ්වවිද්‍යාලයන්හි ශිෂ්‍ය ප්‍රජාව මේ ගැටලු හමුවේ පීඩනයෙන් පීඩනයට පත්ව සිටින කල්හි උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි කර ගැනීමේ සටනක නියෑළී සිටියි. පෞද්ගලික ආයතනවලට උපාධි පිරිනැමීමේ බලය දීමේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතුව තිබූ අයිතිය දැන් අමාත්‍යාංශය පැහැර ගෙන තිබේ. පෞද්ගලික ආයතනවලට උපාධි පිරිනැමීමේ අවසරය ප්‍රදානය කිරීමේ බලධාරීත්වය හිමිවන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාටය. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලුවලට විසඳුම් දීම වෙනුවෙන් එලෙස "මරාගෙන මැරෙන" අවශ්‍යතාවක්‌ විද්‍යමාන නොවීමේ අරුමය සිසුන් අතර සැක මතු කිරීමට හේතුවනවා නිසැකය. පෞද්ගලික වෛද්‍ය උපාධි පිරිනැමීම අනුමත කිරීමේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මෙතෙක්‌ පැවැති බලතල ද උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය බලහත්කාරයෙන් පවරා ගැනීමේ ගැසට්‌ නිවේදනය තවමත් අවලංගු කිරීමට කටයුතු කර නැත. සිය බලතල අහෝසි කරන මෙම ගැසට්‌ නිවේදනය නිසා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද අමාත්‍යාංශය සමග මතභේදයක්‌ ඇති කර ගත් අතර තමන්ට සිදුවූ අසාධාරණය රටේ ඉහළම තැනට දැන්වූ නමුත් කිසිදු වෙනසක්‌ සිදුවී නැත. 

සම සෞඛ්‍ය විද්‍යා පාඨමාලාව සිව් වසරක සිට තුන් වසරක්‌ දක්‌වා අඩු කිරීමට උසස්‌ අධ්‍යාපන බලධාරීන් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කළ ද ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ එම උපාධි පාඨමාලාව සිව් වසරක්‌ පුරා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිවෙක්‌ කිසිවක්‌ නොකරන්නාහ. නොකියන්නාහ. ඒ ඇයිද යන්න සිසුන් මතු කරන ප්‍රශ්නයයි. ආරක්‍ෂක විශ්වවිද්‍යාලය එම උපාධි පාඨමාලාව මුදලට අලෙවි කිරීම ඒ නිහඬතාවට හේතුව විය හැකිය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය මෙතේක නොලැබුණු මාලබේ .SAෂඔඵ, ආයතනයට පෞද්ගලික වෛද්‍ය උපාධි පිරිනැමීමේ අවසරය ලබාදීම වෙනුවෙන් අමාත්‍යාංශය නොගත් හා නොගන්නා උත්සාහයක්‌ නැත. වෛද්‍ය සභාවේ බලතල අහෝසි කරමින් අමාත්‍යාංශය අලුතින් ගැසට්‌ නිවේදන නිකුත් කරන්නේ ද ඒ අරමුණින් බවට සැකයක්‌ නැත.

"අධ්‍යාපන කප්පාදුව, ශිෂ්‍ය මර්දනයන හා අධ්‍යාපනය විකිණීම නතර කරනු" යන සටන් පාඨය අතැතිව සිසුන්ට මහමගට බැසීමට බල කරනු ලබන්නේ මෙවැනි පීඩනයන් බව කිව යුතු නැත. කැලණිය විශ්වවිද්‍යාලයේ සිට අධිකරණ වාරණ නියෝග ද නොතකා කොළඹ කොටුව දක්‌වා පෙළපාලියකට අරගලකාරී ස්‌වරූපයකින් අති විශාල ශිෂ්‍ය ප්‍රජාවක්‌ කේන්ද්‍ර ගත වූයේ ඇයිද යන්න සොයා බැලීම උසස්‌ අධ්‍යාපන බලධාරීන්ගේ වගකීම වන්නේය. ජල ප්‍රහාර, කඳුළු ගෑස්‌ මැද ශිෂ්‍ය ව්‍යාපාරයේ ජවය ප්‍රදර්ශනය කළ ඔවුහු අතට අහු වන දෙයින් පොලිසියට පහර නොදීමේ සංයමය ප්‍රකට කළහ. එය අගය කළ යුක්‌තකි. බලධාරීන් ඔවුන්ගේ ඉල්ලීම් කෙරෙහි සංවේදී නොවන්නේ නම් ඉදිරියේදී ඇති විය හැකි අරගල ප්‍රචණ්‌ඩකාරී නොවනු ඇතැයි කිව නොහේ.

නිලන්ත මදුරාවල
Divaina - 2014/03/23/

Friday, March 21, 2014

වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට විරුද්ධ අජිත් පමණයි

ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට අවශ්‍ය නීති සංශෝධනය කෙරෙන පනත් සංශෝධනය ඊයේ පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ලක් විය. එහිදී ඊට පක්ෂව ඡන්ද 15ක් හා විපක්ෂව එක් ඡන්දයක් ප්‍රකාශ විය. පනතට විරුද්ධව ඡන්දය භාවිත කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා පමණි. ශ්‍රී රංගා මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

මෙම ඡන්ද විමසීමේ අනෙක් විශේෂත්වය වන්නේ පාර්ලිමේන්තුවේ ඝනපූර්ණය 20ක් වුවත් ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ සභාවේ සිට ඇත්තේ 17 දෙනකු පමණක් වීමයි. ඒ අනුව එය ඝනපූර්ණයක් නොමැතිව පනත් සංශෝධනයක් සම්මත කළ අවස්ථාවක් බවත් එය නීත්‍යනුකූල නොවන බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.

Tuesday, March 18, 2014

පොරොන්දු ඉටු නොකළහොත් අප්‍රේල් 10 වැනිදායින් පසු සරසවි ඇදුරන් නැවතත් වර්ජනයේ

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය නවතා දැමීමට අදාළව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර ඇතිකරගත් ගිවිසුම අමාත්‍යාංශය විසින් වසර එකහමාරක කාලයක් තුළදී අවස්ථා ගණනාවකදී කඩකර තිබෙන බවත් දැනට සිදුවන සියලුම ගිවිසුම් උල්ලංඝනය කිරීම් නවතා දමා විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු විසඳීමට ගිවිසුමෙන් ඇතිකරගත් කරුණු ඉෂ්ට කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් අප්‍රේල්10 වැනිදායින් පසු, 2012 වසරේ නොවැම්බර් මාසයේදී තාවකාලිකව නවතා දැමූ වෘත්තීය ක්‍රියාමාර්ගය යළි ආරම්භ කරන බව දැනුවත් කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකර ඇති බව විශ්වවිද්‍යාල ආචාර්වනරු‍න්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි.

ආචාර්යවරුන්හා උසස් අධ්‍යාපන ඇමතිවරයා අතර ඇතිකරගත් එකඟතාවයට අනුව විශ්වවිද්‍යාලවලට ස්ථාපිතව කටයුකු කිරීමට අවස්ථාව ලබාදීම හා විශ්වවිද්‍යාල තුළ ‍යම් වෙනසක් සිදුවෙනවා නම් ඒ පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග සාකච්ඡා කිරීම හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ගැටලු විසඳීමට කමිටුවක් පත්කිරීම, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයකට අනුව අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන් කිරීම ඇතුළුව කරුණු 12ක් මෙම ගිවිසුමට අයත් බවද තේනුවර මහතා සඳහන් කරයි.

වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ වූ පසු විශ්වවිද්‍යාල දරුවන් අපහසුතාවයට පත්වන බව සඳහන් කරමින් අනුකම්පාව ලබාගැනීමට පැමිණියත් මෙවර කුමන හේතුවක් නිසාවත් දෙන්නම් පොරොන්දුවලට ඇහුම්කන් නොදෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටී.

Sunday, March 16, 2014

ඖෂධ පනත ප‍්‍රසිද්ධ නොකරන්නේ ඇයි ? - ජයන්ත බණ්ඩාර

ඉදිරියේදී සම්මත කරගන්නා බවට ප‍්‍රචාරය කර ඇති ඖෂධ පනත ප‍්‍රසිද්ධ නොකිරීම තුළින් බරපතල සැකයක් පවතින බවත් ආණ්ඩුව වහා එය ජනතාවට හෙළිකළ යුතු බවත් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානයේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි.

ඖෂධ ප‍්‍රතිපත්තියකින් අපේක්ෂිත අරමුණු ඉටුවන ආකාරයට පනත සකස්වී ඇතිද? එය ක‍්‍රියාත්මක තලයට ගෙන ඒම සඳහා නිශ්චිත කාල වකවානු සහිත ප‍්‍රායෝගික වැඩපිලිවෙලක් සකස් කර ඇතිද? ඒ සඳහා මූලික වශයෙන් වැය කළ යුතු මූල්‍ය ප‍්‍රතිපාදන වෙන් කර ඇතිද? යන කාරණා ගැන කිසිදු පැහැදිලි කිරීමක් මෙතෙක් සිදුකර නොමැතිවීම තුළින් මෙම පනත සැකයකට ලක්වීම සාධාරණ බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර පෙන්වා දෙයි.

මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය මගින් අද (16) දින පුංචි බොරැල්ලේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා...

"ශ්‍රී ලංකාවට ඖෂධ ප‍්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ ඇයි ?ඉතිහාසයේ කවර කාලයකදී හෝ වාර්තා නොවූ ආකාරයට දියවැඩියාව, අධිරුධිර පීඩනය, පිළිකා, වකූගඩු රෝගය වැනි කල්පවතින රෝග මෙන්ම ඩෙංගු, විෂවීම්, අනතුරු ඇතුලු රෝගාබාධ රැසක් වසංගත මට්ටමින් පැතිර යමින් තිබේ. ඒවා මැඩපැවැත්වීමට විධිමත් රෝග නිවාරණ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක නොවීම හේතුවෙන් මහජනතාව ලක්ෂ ගණනින් රෝගී වන වටපිටාවක ප‍්‍රතිකාර කිරීම සඳහා ඖෂධ මත යැපීමට සිදුව තිබේ.

අද වනවිට ඖෂධ අවශ්‍යතාවෙන් 80%ක් සපුරා ගන්නේ පෞද්ගලික ආනයනයෙනි. දැනට ඖෂධ මිළ තීරණය කරන්නේ ඖෂධ නිපදවීම, බෙදාහැරීම සහ වෙළඳාමේ නිරතවන සමාගම් සහ ව්‍යාපාර විසිනි. ආණ්ඩුවේ බලධාරින් පිලිගන්නා ආකාරයට ඖෂධ සඳහා 200% සිට 800% දක්වා වූ ලාභයක් ඖෂධ ව්‍යාපාරය විසින් උපයා ගනී. 2010 වසරේදී රුපියල් බිලියන 24.5ක් වූ ඖෂධ ආනයන වියදම ඊට දෙවසරකට පසු 2012 දී රුපියල් බිලියන 47.5ක් දක්වා දෙගුණයකින් පමණ ඉහළ යාමෙන් පැහැදිලි වන්නේ ඖෂධ ආනයනය සඳහා අප රටේ මහජනතාව දරන වියදමේ වැඩිවීමයි.

සෞඛ්‍ය සඳහා රජය දරන වියදම දල දේශීය නිශ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස අඩු කිරීමේ ප‍්‍රථිපලයක් ලෙස අවශ්‍යතාවයේ තරමට රජයේ රෝහල්වලින් ඖෂධ නිකුත් නොකෙරෙන බැවින් මහජනතාවට පෞද්ගලිකව ඖෂධ මිළදී ගැනීමට සිදුවේ.

ආනයනික ඖෂධ වලින් 80-90%ක් පමණ ගෙන්වන්නේ ප‍්‍රමිතියෙන් තොර ඖෂධ සඳහා ලෝක ප‍්‍රසිද්ධ අසල්වැසි රටවලිනි. භාවිතා කරන අතරතුර ප‍්‍රමිතියෙන් තොර බවට සොයාගෙන භාවිතයෙන් ඉවත් කර ගන්නා ඖෂධ වර්ග (drugs recall) සංඛ්‍යව ඕස්ටේ‍්‍රලියාව වැනි රටක පසුගිය අවුරුදු තුනටම 6ක් පමණ වනවිට ශ්‍රී ලංකාවේ එක් මාසයකට 6 සිට 18 දක්වා ඉතාමත් ඉහළ අගයක පැවතීමෙන් පෙන්නුම් කරන්නේ ඖෂධ ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ඇතිව තිබෙන බරපතල තත්ත්වයයි. මෙවැනි ඖෂධ අතර හිදිසි අවස්ථාවල භාවිතා කරන ජීවිතාරක්ෂක ඖෂධ, ප‍්‍රබල ප‍්‍රතිජීවක, මානසික ආබාධයන්ට දෙන ඖෂධ සහ නිර්වින්දනය සඳහා භාවිතා කරන ඖෂධද ඇතුලත් වේ.

අධික මිළ, හිඟය, අත්තනෝමතික භාවිතය සහ ප‍්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් ඖෂධවලින් ප‍්‍රජාවට ලැබිය යුතු ප‍්‍රයෝජනය අහිමි වේ. මෙම තත්ත්වය හේතුවෙන් දිනපතා මිනිස් ජීවිතවලට සිදුවන හානිය (human cost) කොපමන විය හැකිද?ඖෂධ සම්බන්ධයෙන් පවතින මෙම අර්බුදයෙන් ආරක්ෂාවීමට රෝගාබාධයකදී මුදල් යහමින් වියදම් කිරීමේ සහ විදෙස් ගත වීමේ හැකියාව ඇති ඉහළ දේශපාලනඥයින්ට සහ ප‍්‍රමුඛ පෙලේ ව්‍යපාරිකයින්ට හැර වෛද්‍යවරුන්, පහළ මට්ටමේ දේශපාලනඥයින් ඇතුළු කිසිදු පුද්ගලයකුට නොහැක. හදිසි අවස්ථාවක භාවිතාවන ඖෂධවල ප‍්‍රමිතිය බාල වීමෙන් හෝ හිඟ වීමෙන් ඇතිවන අනතුරට මෙරට තුල ස්ථිරව හෝ තාවකාලිකව රැඳි සිටින කුඩා දරුවන් ඇතුළු ඕනෑම තරාතිරමක පුද්ගලයකුට මුහුණ දීමට සිදුවේ. ඒ හදිසියකදී හොඳ ඖෂධ සෙවීමට හෝ විදෙස් ගත වීමට හෝ කාලයක් ඉතිරි නොවන බැවිනි.

ඖෂධ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ලෝකයේ පවතින තත්ත්වය ගත්විට මානව ප‍්‍රජාවේ සුභසිද්ධිය වෙනුවෙන් ආරම්භවූ ඖෂධ කර්මාන්තය ගෝලීය ලිබරල් ආර්ථික ක‍්‍රමය තුල බහුජාතික සමාගම් සහ ඒවා ආරක්ෂාකරන රාජ්‍යයන් හි ඒකාධිකාරි ග‍්‍රහණයට නතුවීමෙන් ඇතිවන අනතුරෙන් ජනතාව ආරක්ෂා කිරීම පිණිස රටවල් රාශියක් ඖෂධ ප‍්‍රතිපත්ති සකස් කරගෙන ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට එම සංඛ්‍යව 2007වන විට රටවල් 130ක් පමණ විය. අසල්වැසි ඉන්දියාව සහ බංග්ලාදේශයද මේ අතර වේ මේ ආකාරයට විවිධ රටවල් ජාතික ඖෂධ ප‍්‍රතිපත්්ති ඇතුළු ආරක්ෂක උපක‍්‍රම තරකරද්දී එවැනි ප‍්‍රතිපත්තියක් නොමැති ශ්‍රී ලංකාව වැනි රටවල සිය වෙළඳාම් වැඩි කිරීමට ඖෂධ සමාගම් වඩාත් උත්සුක වන ආකාරය ඉතා පැහැදිලිව නිරීක්ෂණය කල හැක.

ඖෂධ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගත්විට...

1. 1971දී එවක පැවති ආර්ථිකයට දරා ගැනීමට නොහැකි ලෙස බහුජාතික සමාගම් විසින් ඖෂධ මිළ ඉහල දමා තිබූ අතර රටේ ඖෂධ බලාධිකාරිය ඖෂධ සමාගම් විසින් අත්පත්කර ගෙන තිබුනි. ඒ අතර එවක රජයට උග‍්‍ර විදෙස් විනිමය අර්බුධයකට මුහුණ දීමට සිදුවූ අතර මේ ගැටළු සියල්ලට පිළිතුරු අපේක්ෂාවෙන් ප‍්‍රගතිශීලී විද්වතකු වූ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ සහාය ඉල්ලා සිටියේය.

ඖෂධ මිළ පාලනය, දේශීය ඖෂධ නිශ්පාදනය, ඖෂධ ප‍්‍රසම්පාදනය, ප‍්‍රමිති පාලනය යන සියල්ල ආවරණය වනසේ යෝජනාවලියක් සකස් කර ඔහුගේ ප‍්‍රධානත්වයෙන් වහාම ක‍්‍රියාත්මක තලයට ගෙන එන ලදී. අද දක්වා පවතින ඖෂධ සංස්ථාව, ඖෂධ නිශ්පාදන සංස්ථාව සහ ජාතික ඖෂධ තත්ත්ව පර්යේෂණාගාරය ආරම්භ වූයේ එහි ප‍්‍රතිපලයක් ලෙසය.

2. 1977 බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඖෂධ ප‍්‍රතිපත්තිය අත්හැරි අතර පසුව ඖෂධ මිළ පාලනයද ලිබරල් ආර්ථික ප‍්‍රතිප්ති ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් විවෘත වෙළඳපලට භාරදුනි.

3. 2005 වසරේ ප‍්‍රකාශිත මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නඟන බවට සඳහන් කර ඇත.

4. 2006 වසරේදී National Medicinal Drug Policyනමින් ප‍්‍රකාශනයක් එළි දැක්වූනි. මහාචාර්ය සේනක බිබිලේ මහතා පෙන්වා දුන්නේ ඖෂධ පිළිබඳ සියළු වගකීම් රජය මගින් දැරිය යුතු බවට වුවද මෙම ප‍්‍රතිපත්තියේ දක්වා ඇත්තේ එය රජය සහ පෞද්ගලික දෙඅංශයේ් වගකීමක් බවය. එම ලියවිල්ල සමග කිසිදු ප‍්‍රායෝගික වැඩපිලිවෙලක් ඉදිරිපත්වූයේ නැත.

5. 2010 වසරේ ප‍්‍රකාශිත මහින්ද චින්තන ඉදිරි දැක්ම ප‍්‍රකාශනයෙන්ද ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කරන බවත් ඖෂධීය නාමයෙන් පමණක් ඖෂධ නියම කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කර ඇත.

6. 2011 දී ආණ්ඩුව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරින් පවසා සිටියේ ඖෂධ ප‍්‍රතිපත්තියකට අදාල පනත් කෙටුම්පතක් සැකසූ බවත් එය නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ගේ වරදින් අස්ථාන ගතවී ඇති බවත්ය. එහෙත් එම අස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් පැවැත්වූ බවක් දැන ගන්නට නැත.

7. 2012 දෙසැම්බර් 05වන දින පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අංක 1787/22 දරණ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් ඖෂධ ඇසුරුමේ උපරිම සිල්ලර මිළ ලකුණු කිරීමට පියවර ගන්නා බව පැවසීය. ඒ සඳහා අද මෙන් පුළුල් මාධ්‍ය ප‍්‍රචාරයක් ලබා දුනි.

8. ඖෂධ මිළ පාලනය පියවර ගන්නා බවට අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා 2014.03.12 පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප‍්‍රකාශකල අතර එවැනිම ප‍්‍රකාශයක් 2013 ජනවාරි මාසයේදී ඉහත ගැසට් නිවේදනයට අදාලව පැවති මාධ්‍ය සාකච්ඡුාවේදීද ප‍්‍රකාශ කලේය.

පාර්ශව ගණනාවකින් එල්ලවන බලපෑම් හමුවේ ආණ්ඩුවේ බලධාරින් මාධ්‍ය හරහා පොරොන්දු දීම්, සමාවට කාරණා ඉදිරිපත් කිරීම්, ඖෂධ සමාගම්වලට බැනවැදීම් සහ ගැසට් නිවේදන නිකුත් කිරීම කාලයක් පුරා සිදුකලද බිම් මට්ටමේ ඵලදායී කිසිවක් ක‍්‍රියාත්මක වූයේ නැත.

දැනට තිබෙන නීතිරිති සහ ආයතන ව්‍යූහයන් කාර්යක්ෂමව යොදා ගැනීමෙන් වුවද ඖෂධ අත්තනෝමතික භාවිතය නතර කිරීම, ප‍්‍රමිතිය පාලනය, ඖෂධ හිඟය මැඩපැවැත්වීම සහ මිළ පාලනය සඳහා ඵලදායී පියවර රැුසක් ගත හැකි වුවද එවැනි උත්සාහයක් පෙනෙන්නට නැත.

ඒ අනුව ඉදිරියේදී සම්මත කරගන්නා බවට ප‍්‍රචාරයක් දියත් කර ඇති පනත සම්බන්ධයෙන්ද පවතින්නේ සාධාරන සැකයකි. ඖෂධ ප‍්‍රතිපත්තියකින් අපේක්ෂිත අරමුණු ඉටුවන ආකාරයට පනත සකස්වී ඇතිද? එය ක‍්‍රියාත්මක තලයට ගෙන ඒම සඳහා නිශ්චිත කාල වකවානු සහිත ප‍්‍රායෝගික වැඩපිලිවෙලක් සකස් කර ඇතිද? ඒ සඳහා මූලික වශයෙන් වැය කල යුතු මූල්‍ය ප‍්‍රතිපාදන වෙන් කර ඇතිද? යන කාරණා ගැන කිසිදු පැහැදිලි කිරීමක් මෙතෙක් සිදුකර නොමැත. පනත මහජන අදහස් සඳහා ඉදිරිපත්කර නැත.

එබැවින් ජනතාවාදී දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන ඇතුලූ සියලූ පාර්ශව මේ පිළිබඳව දැඩි අවධානයකින් සිටිය යුතු බව අවධාරණය කරමු.

මෙම මාධ්‍ය හමුව සඳහා වෛද්‍ය සුනිල් ආර් ජයකොඩි, සමස්ත ලංකා සුව සේවා සංගමයේ සභාපති ඩී. ජයලාල් සමස්ත ලංකා හෙද සංගමයේ සංවිධායක ලේකම් එස්. පී. මැදිවත්ත යන මහත්වරුන්ද සහභාගී වූහ.

දෙවැනි පුද්ගලික වෛද්‍ය විද්‍යාලය මහනුවර අරඹන්න මල්වතු මහනාහිමිගෙන් ඉඩමක්

මෙරට දෙවන පුද්ලික වෛද්‍ය විද්‍යාලය මහනුවර දී ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

මහනුවර වෛද්‍ය නිලධාරීන්ගේ සමුළුව අමතිමන් ඔහු කියා සිටියේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොපමණ විරුද්ධ වුවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් මහනුවර කේන්ද්‍ර කරගනිමින් අනිවාර්යයෙන්ම ආරම්භ කරන බවයි.

මල්වතු මහනායක හිමියන් විසින් දැනටමත් ඒ සදහා ඉඩමක් පවා ලබා දී ඇතැයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.