Sunday, June 9, 2013

දැන් විශ්වවිද්‍යාලවලින් හදන්නේ ඔය ජාතියේ වාචාලයෝ - අන්තරයේ කැඳවුම්කරු සංජීව බණ්‌ඩාර

Sanjeewa Bandara
ප්‍රශ්නය - සරසවි ශිෂ්‍යයා පළමුව ඉගෙනුම වෙනුවට පළමුව දේශපාලනය හෝ අරගලය යන්න තෝරාගෙන තිබෙන බව පෙනෙනවා. සබරගමුවේ කල බැගෑනිය එහි ප්‍රතිඵලයක්‌ නොවේද?

පිළිතුර - සබරගමුවේ විශ්ව විද්‍යාලය තුළ අපි උද්ඝෝෂණ ව්‍යාපාරය පටන් ගත්තේ ඉතාම සාධාරණ ඉල්ලීම් ප්‍රමාණයක්‌ මුල්කරගෙන. විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය බඳවා ගැනීම් බරපතළ ලෙස කප්පාදු කළා. 30% ක්‌ කප්පාදු කර තිබුණා. තවමත් ව්‍යවහාරික විද්‍යා විෂයන්ගේ පුරප්පාඩු 178 ක්‌ තිබෙනවා. මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාවක්‌ සිසුන් උ.පෙළ සමත් වෙලා, යන්න විශ්වවිද්‍යාලයක්‌ නැතුව බලාගෙන ඉන්නවා. එහෙම තත්ත්වයක්‌ තුළ එක ශිෂ්‍යයකුට හරි උසස්‌ අධ්‍යාපන අවස්‌ථා අහිමි කිරීම බරපතළ අපරාධයක්‌. සබරගමුව විශ්වවිද්‍යාලයේ එක පීඨයක විතරක්‌ තත්ත්වයයි මම මේ කියන්නේ. මේ පුරප්පාඩු පුරවන්න කියන ඉල්ලීම අපි කළා. විශ්වවිද්‍යාල අර්ධ පෞද්ගලික විශ්වවිද්‍යාල කරන්න ආණ්‌ඩුව කටයුතු කරනවා. එක අතකින් පෞද්ගලික විශ්වවිද්‍යාල පටන් ගන්නවා. අනිත් පැත්තෙන් රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය විකුණනවා. විශ්වවිද්‍යාලවල ගාස්‌තු අය කිරීම් වැඩි කරන්න පටන් ගත්තා. සබරගමුව විශ්වවිද්‍යාලයේ 500% කින් ගාස්‌තු වැඩි කළා. ඇතුළත් වීමේ ගාස්‌තු, පුස්‌තකාල සේවා ගාස්‌තු, පහසුකම් ගාස්‌තු, ක්‍රීඩා වලට අදාළ ගාස්‌තු සියල්ල 500% කින් වැඩි කළා. මහපොළ වැඩි වෙලා නැහැ. දෙමවුපියන්ගේ ආදායම් හෝ වැටුප් මට්‌ටම් වැඩිවෙලා නැහැ. එවැනි තත්ත්වයක්‌ තුළ මේ වැඩිවීම දරාගන්න බැහැ. මේ ගාස්‌තු අඩු කරන්න කියන එකත් එක ඉල්ලීමක්‌. සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසික ප්‍රශ්නය, පුස්‌තකාල පහසුකම් ප්‍රශ්නය, ඉදිකිරීම් ප්‍රමාද කිරීම පිළිබඳ ප්‍රශ්නය ආදියත් මුල් කරගෙන දැවැන්ත උද්ඝෝෂණයක්‌ පටන් ගත්තා. ඒ උද්ඝෝෂණයට මුහුණ දෙන්න බැරිව තමයි ආණ්‌ඩුව මර්දනය පටන් ගත්තේ.


ප්‍රශ්නය - මෙවැනි ප්‍රශ්නයකදී පළමු පියවර විය යුත්තේ උද්ඝෝෂණයද?


පිළිතුර - අප මේ ගැන ඉහළ බලධාරීන්ට ලිපි මගින් දැනුවත් කිරීම් කළා. මාධ්‍ය තුළින් දැනුවත් කළා. නමුත් ඒවාට අවධානය යොමු කරනවා වෙනුවට ඒ ගැන කතා කරනවා. ශිෂ්‍ය මර්දනයට අත තබන්නයි ආණ්‌ඩුව කටයුතු කළේ. ආණ්‌ඩුව මුලින්ම කළේ මර්දන පත්‍රිකාවක්‌ ගෙන ඒමයි. ඒ මර්දන පත්‍රිකාව ගෙනාවේ ශිෂ්‍ය සංගම් තහනම් කරන්න, ශිෂ්‍ය නායකයන්ගේ පන්ති තහනම් කරන්න පොටක්‌ පාදගන්න. විශ්වවිද්‍යාලවල ඉන්නෙ තොත්ත බබාල නෙමෙයි. ඒක මොන්ටිසෝරියක්‌ නෙමෙයි. අපි දන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සැමදාමත් රාත්‍රි කාලයේ තමයි ශිෂ්‍ය සංගම් රැස්‌වීම් ගන්නේ. ශිෂ්‍යයාගේ දේශපාලන කරුණු, දාර්ශනික කරුණු කතා කරන්නේ, සංවාද කරන්නේ ඒ. මීටින්වල. දවල් වරුවේ දේශන තියෙන නිසා මේ වගේ කටයුතු කරන්නේ රාත්‍රි කාලයේ. හතෙන් පස්‌සෙ ශිෂ්‍ය සංගම් රැස්‌වීම් පැවැත්වීම තහනම් කරලා තියෙනවා. මහා ශිෂ්‍ය සංගමය කැඳවන්න පුළුවන් සිකුරාදා දොළහෙන් පස්‌සේ විතරයි. මාසෙකට දවස්‌ දෙකයි ශිෂ්‍යයින්ට එකතු වෙන්න පුළුවන්. පළමුවැනි අඟහරුවාදා හා දෙවැනි අඟහරුවාදා පමණයි. ශිෂ්‍යාවන්ට අටෙන් පස්‌සේ විශ්වවිද්‍යාල භූමියේ රැඳී ඉන්න බැහැ. ශිෂ්‍යයන්ට දහයෙන් පස්‌සේ විශ්වවිද්‍යාල භූමියේ රැඳී ඉන්න බැහැ. ශිෂ්‍යයන් දහයෙන් පස්‌සේ විශ්වවිද්‍යාලයේ රැඳී සිටියාට කිසිම සදාචාර විරෝධී කටයුත්තක්‌ මෙතෙක්‌ විශ්වවිද්‍යාලයේ සිදුවී නැහැ. අධ්‍යාපනික ප්‍රජාවකට මෙවැනි සීමා දමන්නේ තොත්ත බබාලා කියලා හිතාගෙනද? ශිෂ්‍යයෝ මේ නීති පිළිගත්තේ නැහැ. ඒ අනුව ශිෂ්‍යයෝ වෙනදා වගේම රැස්‌වීම් පැවැත්වූවා. ඒකට දඬුවම ලෙස ශිෂ්‍යයෝ හතර දෙනකුගේ ශිෂ්‍යභාවය අහෝසි කළා. මාස අටක පන්ති තහනමක්‌ පැනවූවා. මේවා අතිශය සදාචාර විරෝධීයි. ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. 

21 වැනිදා සත්‍යග්‍රහය පැවැත්වුණේ අසාධාරණ ලෙස පන්ති තහනම් කරපු සිසුන්ට අවම වශයෙන් විභාගයට ඉදිරිපත් වෙන්න අවස්‌ථාව ලබා ගැනීමටයි. අඩුම ගානේ ඒ සඳහාවත් සංවේදී වුණේ නැහැ. අනිකුත් විශ්වවිද්‍යාලවල අසාධාරණ ලෙස පන්ති තහනම් කර තිබියදී ශිෂ්‍යයන්ට විභාගවලට පෙනී සිටීමට අවස්‌ථාව දුන්නා. මේ සියලු තීන්දු ගත්තේ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය, ආරක්‍ෂක අමාත්‍යාංශය.


ප්‍රශ්නය - සත්‍යග්‍රහය අවසානයේ ශිෂ්‍යයන් ප්‍රචණ්‌ඩකාරී හැසිරීමක්‌ දක්‌වා වර්ධනය වූ බවයි උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා පවසන්නේ. අවම තරමින් ගිලන් රියකටවත් පාරේ ගමන් කරන්න ශිෂ්‍යයෝ ඉඩ නුදුන් බවට ඔහු චෝදනා කරනවා.


පිළිතුර -

මේ සත්‍යග්‍රහය කාලයේ පොදුවේ ශිෂ්‍ය නායකයන්ගේ ගෙවල්වලට තර්ජනය කර තිබුණා. රසිඳු ජයසිංහ ශිෂ්‍යයා තමයි මෙහි නායකත්වය අරගෙන කටයුතු කළේ. ඔහුගේ ජංගම දුරකථනයට කතා කරලා මරණ තර්ජන කරලා තිබ්බා. ඇක්‌සිඩන්ට්‌ වෙලා මැරෙන්න ඕනෙද කියලා අහල තිබුණා. දමයන්ත සහෝදරයාගේ දෙමවුපියන්ට පවා තර්ජනය කරලා තිබ්බා. ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් සන්නද්ධ රථ යවලා, 24 වැනිදා අලුයම විශ්වවිද්‍යාලය ඉස්‌සරහ වෙඩි තිබ්බා. මේ වෙන කොට සත්‍යග්‍රහය නිසා බරපතළ ලෙස අඩපණව තිබූ ශිෂ්‍යයන් හතර දෙනාට මැරෙන්න දෙන්න කියලයි එස්‌. බී. ඇමැතිවරයා කියා තිබුණේ. ශිෂ්‍යයෝ කළේ තම සහෝදරයන් හතර දෙනාට මැරෙන්න නොදී ඔවුන් රෝහල්ගත කළා. ඊට පසු ශිෂ්‍යයෝ පඹහින්න මංසන්ධියේ සාමකාමී උපවාසයකට වාඩි වුණා. ඒ වෙලාවේ තමයි මේ අමානුෂික ප්‍රහාරය එල්ල කරන්නේ. ගිලන්රථවලට විතරක්‌ නෙමෙයි, මඟුල් කාර්වලටත් යන්න දුන්නා. අසනීප වෙලා ත්‍රිරෝද රථවලින් ආපු අයට යන්න දුන්නා. මේවා වීඩියෝ දර්ශන සහිතව තියෙනවා. ඇමැතිවරයාගේ චෝදනාව අභූත චෝදනාවක්‌. ආණ්‌ඩුවයි මෙතැනදී අමානුෂික ලෙස හැසිරිලා ශිෂ්‍යයන්ට පන්න පන්න පහර දුන්නේ. ඔලු පැලුවේ. පඹහින්න රෝහලටත් කඳුළු ගෑස්‌ ගැහැව්වා. හෝටල්වලටත් කඳුළු ගෑස්‌ ගැහුවා. අනධ්‍යයන සේවකයෙක්‌ අත්අඩංගුවට අරගෙන තිබෙනවා. තිබෙන චෝදනාව තමයි පහර කෑමට ලක්‌වුණු ශිෂ්‍යයන්ට බවුසරයෙන් වතුර දීම කියන එක. මේකෙන් මොකක්‌ද ආණ්‌ඩුව කියන්නේ. ශිෂ්‍යයන්ට මැරෙන්න දෙන්න කියලද?


ප්‍රශ්නය - ඔබ චෝදනා කරන ලෙස ශිෂ්‍යයන්ට ප්‍රචණ්‌ඩත්වය මුදාහැරීම සඳහා ආණ්‌ඩුවට තිබෙන අවශ්‍යතාවය කුමක්‌ද?


පිළිතුර -

මේක ගෝලීය ප්‍රාග්ධනයේ වුවමනාවක්‌. එයට අලුත් ක්‌ෂේත්‍රවල ක්‍රියාකාරී වෙන්න අවශ්‍යයි. තවදුරටත් ප්‍රාග්ධනයට ක්‍රියාකාරී වෙන්න මුළුමනින්ම ඉඩ හසර නොලැබුණු ක්‌ෂේත්‍රයක්‌ තමයි අධ්‍යාපනය. ආයෝජනය කරන්න හොඳම ව්‍යාපාර අවස්‌ථාවක්‌ තමයි අධ්‍යාපනය. ආණ්‌ඩුවට අද අවශ්‍ය වෙලා තිබෙනවා අධ්‍යාපනය වෙළෙ¹මක්‌ බවට පත් කිරීමට. අපි ඒකට විරුද්ධයි. අධ්‍යාපනය වෙළෙඳ භාණ්‌ඩයක්‌ වුණාට පස්‌සේ ප්‍රශ්න දෙකක්‌ පැන නගිනවා. අධ්‍යාපනය සමාජ අයිතියක සිට වරප්‍රසාදයක්‌ බවට පත් වෙනවා. ඒ සඳහා පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්න කටයුතු කරනවා. අනෙක්‌ පැත්තෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල වෙළෙ¹මට යොමු කරමින් තිබෙනවා. මෙතැනයි ගැටුම තියෙන්නේ. මේ රටේ සාතිශය බහුතරයකට අධ්‍යාපනය අහිමි වෙනවා. වෙළෙඳ භාණ්‌ඩයක්‌ බවට පත් වූ අධ්‍යාපනය ගුණාත්මක වෙන්නේ නැහැ. එය ලාභය ඉලක්‌ක කරගත් දෙයක්‌ වෙනවා. 


ප්‍රශ්නය - සුළුතරයක්‌ වූ දේශපාලනයේ යෙදෙන ශිෂ්‍ය පිරිසක්‌ බහුතර ශිෂ්‍යයන්ගේ ඉගෙනීමේ අයිතියට ඉඩ දෙන්නේ නැහැ යනුවෙන් ආණ්‌ඩුව විසින් ශිෂ්‍ය ව්‍යාපාරවලට චෝදනා නගනවා. එසේ බලන විට ශිෂ්‍ය ව්‍යාපාරයේ හැසිරීමත් ප්‍රජාතන්ත්‍ර විරෝධී නේද?


පිළිතුර - අපේ අරමුණ තමයි විශ්වවිද්‍යාලවලට අහිමි වූ තමන්ගේ අයිතිය දිනා දෙන එක. ඒ තුළ ශිෂ්‍යයාට තමන්ගේ අනන්‍යතාවය අහිමි වෙලා තිබෙනවා. විශ්වවිද්‍යාලයේ කාර්ය භාරය විය යුත්තේ දැනුම ගවේෂණය, නව සම්ප්‍රදායන් ව්‍යාවහාරයන්, දැනුම සමාජයට එකතු කිරීමේ කාර්ය භාරයයි විශ්වවිද්‍යාල සතුව තිබෙන්නේ. අපි අවුරුද්දේ හැමදාම උද්ඝෝෂණ කරන්නේ නැහැ. උද්ඝෝෂණ තියෙන්නේ දවසයි දෙකයි. ඒකත් පැය දෙකක්‌ විතර තියෙන්නේ. තුන්සිය හැටපස්‌ දවසේම ශිෂ්‍යයෝ ඉන්නේ දේශනවල. සමහර විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ට පුස්‌තකාලයට යන්න වෙලාවක්‌ නැහැ. හිතවතෙකුගේ මළ ගෙදරකට යන්න වෙලාවක්‌ නැහැ. හැමදාම දේශන, හැමදාම එසයිමන්ට්‌, හැමදාම විභාග. ඒ අනුව මේ ගොල්ලෝ කියන විදිහට ගත්තොත් හොඳම අධ්‍යාපනයක්‌ විශ්වවිද්‍යාල තුළ තිබෙනවා. අද විශ්වවිද්‍යාල ඇතුලේ නැත්තේත් අධ්‍යාපනය. මේ ගොල්ලෝ ක්‍රියාත්මක කරපු ගමාසික ක්‍රමය හින්දා 80% වැනි ක්‍රමවේද හරහා දේශනවලට කොටු කරපු හින්දා අද විශ්වවිද්‍යාලවලින් බුද්ධිමතුන් බිහිවෙන්නේ නැහැ. අද විභාග ලියන අය ඉන්නවා. ක්‌ලාස්‌ දාන අය ඉන්නවා. හැබැයි අඩුම ගානේ ඉගෙන ගන්න විෂයයට අවම සාධාරණයක්‌වත් මේ ශිෂ්‍යයන්ට ඉටු කරන්න බැරි වෙලා තියෙනවා. ලංකාවේ තියෙන කාලකන්නි අර්ථික ක්‍රමය ප්‍රශ්න කරලා, ඒකට විකල්පයක්‌ බිහි කරන්න පුළුවන් ආර්ථික විද්‍යාඥයෙක්‌ මේ විශ්වවිද්‍යාලවලින් බිහිවෙලා තියෙනවද? කඩාවැටිච්ච, බිඳවැටිච්ච මේ දේශපාලන සංස්‌කෘතියට විකල්පයක්‌ ඉදිරිපත් කරන්න පුළුවන්, අලුත් දේශපාලන සංස්‌කෘතියක්‌ බිහිකරන්න පුළුවන් විචාරකයෝ හදලා තියෙනවාද? දේශපාලන විද්‍යාවට ක්‌ලාස්‌ ගහපු අය ඉන්නවා.


ප්‍රශ්නය - අවම වශයෙන් මූලික ඉගැන්වීම්වත් අද විශ්වවිද්‍යාලවල කෙරීගෙන යනවා. එම ඵලයත් ශිෂ්‍යයන්ට නෙලා ගන්න ශිෂ්‍ය දේශපාලනය ඉඩ දී නැහැ කියන චෝදනාව තිබෙනවා. අවම තරමේ ඔබවත් උපාධිය සම්පූර්ණ කර නැති බවට චෝදනා එල්ල වෙනවා.


පිළිතුර - මොකක්‌ද මේ කියන්නේ? විභාග පාස්‌ කරලා උපාධි සහතිකය ගන්න එකද අධ්‍යාපනය කියලා කියන්නේ ? ඒක නෙමෙයි අධ්‍යාපනය. ඒක වැරැදියි. විද්‍යාව හෝ කලාව හෝ සාහිත්‍යය හෝ දේශපාලනය, දර්ශනය ආදී විෂයයන් නිකම්ම, ආකාශ්මික ලෙස ද මේ ලෝකයට ආවේ නැහැ? ඒවා විද්‍යාඥයෝ, දාර්ශනිකයෝ ලොකු කැපවීම් කරලයි මානව සමාජයට දායාද කළේ. සමහර විද්‍යාඥයෝ කසාද බැඳලා නැහැ. දරුවෝ හදලා නැහැ. ඒ ගොල්ලෝ සමාජ ජීවිතයක්‌ ගත කරලා නැහැ. ඒ අය එම විෂයයන්වල සංවර්ධනය වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළා. එස්‌. බී. දිසානායකලා වගේ උපධිධාරීන් බිහි වීමයි ප්‍රශ්නෙ. එතකොට එස්‌. බී. දිසානායක වගේ ඇමැතිවරු බිහි කරන අධ්‍යාපනයක්‌ විශ්වවිද්‍යාලයෙන් නොදිය යුතුයි කියලයි අපි කියන්නේ. වාචාලයෝ නෙමෙයි, උගතුන් බුද්ධිමතුන් බිහි කරන තැනක්‌ බවට විශ්වවිද්‍යාල පත්විය යුතුයි. මේ අය කියන්නේ ඉස්‌සෙල්ලා ඔයා ගැන හිතන්න කියලා. සමහර අම්මලා තාත්තලා කියන්නෙත් එහෙමයි. සමහරු අපිටත් ඇත්ත ආදරයෙන් කියනවා ඔයා උපාධිය කරගන්න කියලා. ඇත්ත මම උපාධිය කරගන්න ඕනේ. එතකොට මම විතරද උපාධිය කරගන්න ඕනේ. මට පුළුවන්ද සාතිශයක්‌ බහුතර දරුවන්ට උපාධියක්‌ අහිමි වෙන තත්ත්වයක්‌ ඇතුළේ මගේ උපාධිය ගැන විතරක්‌ හිතන්න. මම කැමැතියි, මගේ උපාධියත් කරගෙන, අනිත් අයගේ උපාධියත් දිනා දෙන්න පුළුවන් නම්. හැබැයි මම අනිත් අයගේ උපාධිය දිනා ගැනීමේ සටනට මුහුණ දෙද්දී මට මගේ උපාධිය නැතිවුණා. මම ඒ ගැන කම්පා වෙන්නේ නැහැ. මම මගේ හෘද සාක්‍ෂියට අවංකයි. එස්‌. බී. දිසානායකලා හිතන්නේ මම, මම කියලා. ඒක මේ රටේ දේශපාලනයේ හැටි. ඒ නිරුවත් දේශපාලනය අපි කරන්නේ නැහැ. මම ගැන හිතලා රටක්‌ සමාජයක්‌ ගොඩදාන්න බැහැ. මේ රටේ සාතිශය බහුතරයක්‌ දෙමව්පියන්ගේ දරුවන්ට උපාධියක්‌ ගන්න පුළුවන් දවසට උපාධියක්‌ ගන්න මම කැමැතියි. එතුමාට අපි අභියෝගයක්‌ කරන්න කැමැතියි. අපි උපාධි කළෙත් නැහැ. ඒක අපි පිළිගන්නවා. එතුමා කියනවා නේ අපි මෝඩයෝ කියලා. ඒ කියන්නේ එතුමා බුද්ධිමත් කියලනේ. හරි අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නය කතා කරන්න එන්න ජනමාධ්‍ය ඉස්‌සරහට. අපි පෙන්වන්නම් කවුද මෝඩයා කියලා. අධ්‍යාපනය විතරක්‌ නෙමෙයි. දේශපාලනය හරි ආර්ථික විද්‍යාව හරි, සම්බන්ධව සංවාදයට එන්න කියලා අපි එස්‌. බී. දිසානායකට අභියෝග කරනවා.

සාකච්ඡා කළේ - මනෝජ් අබයදීර
Source - divaina.com

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...