Monday, September 24, 2012

දේශපේ‍්‍රමී විශ්වවිද්‍යාල ආචාර්යවරුනි, නුඹලා මේ පාවාදෙන්නෙ නුඹලාගේම ආත්මයයි!

දේශපේ‍්‍රමී විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන්ගේ සංගමයේ රූකඩ සංදර්ශනයත් සමගම ඇමතිවරයාගේ අලූත් න්‍යාය පත‍්‍රය කරලියට පැමිනීය. ඌරන් කැකුණ තලන විට හබන් කුකුලන්ට රජ මගුල් කියන්නාක් සේ රජය සහ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති අතර ඇති අර්බුදය අස්සේ තම පෞද්ගලික වාසි තකා තම ඇඳිවත උනාදැමීමට මේ උදවියට හැකිවිය. තමන්ගේ වෘත්තීය සමිතියේ නමවත් හරියට කියාගන්න බැරි මේ පුද්ගලයින් තම සගයින්ගේ අයිතිවාසිකම් පාවාදෙමින් කරන මෙම නරිනාඩගම දෙස අපි උපේක්ෂාවෙන් බලා සිටිමු.

කොරහ තුලත් කිඹුල්ලෝ දකින මෙම පුද්ගලයින් කියන්නේ මෙම වෘත්තීය සමිති ක‍්‍රීයාවලිය පසුපස ඇත්තේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයකි. එය එසේ මෙසේ කුමන්ත‍්‍රණයක් නොව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමේ කුමන්ත‍්‍රණයකි. 2005 දී වත්මන් ජනාධිපතිවරයා බලයට පත්කරන්න තම දහඩියහෙලූ, උගුර ලේ රස වෙනකම් වේදිකාවල කෑගැසු, පත්තර පිටු පිරෙන්න අත්සන්කල ආචාර්්‍යවරු දහස් ගණනක් මෙම වෘත්තීය සමිති අරගලයත් සමග සිටින බව එම උදවියට අමතක වී ඇත. 2005 ජනාධිපතිවරණයේදී මේ කෑ ගසන සමහර උදවිය පමනක් නොව වර්ථමාන උසස් අධ්‍යාපන ඇමතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයාද සිටියේ මහින්ද රාජපක්ෂට විරුද්ධව රනිල් වික‍්‍රමසිංහගේ වේදිකාවේය. එමනිසා මෙම පැරෂූට්වාදී දේශපේ‍්‍රමීන්ගෙන් මට ඉල්ලන්න ඇත්තේ එකදෙයකි, ඔබට ඔබගේ ඇඳුම් උනාදමන්න අවශ්‍යනම් කාටවත් නොපෙනෙන සේ එය කරන ලෙසය. එසේ නොමැතිව රූපවාහිනි සාකච්ඡාවලට පැමින අනාගෙන ඇමතිවරයාද අපහසුතාවයකට පත්කිරීම මගින් සිදුවන්නේ නුඹලා නුඹලාගේම ආත්මය පාවාදීමකි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මෙම අරගලය මෙරටේ නිදහස් අධ්‍යාපනය සුරැකීමටයි. ඔවුන්ගේ ඉල්ලීම් අතර ප‍්‍රධානතම ඉල්ලීම වන්නේද අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල ඉහල දමන ලෙසයි. වර්ථමානයේ සමස්ථ වියදමෙන් 1.86% ක් පමන වන එම වෙන් කිරීම සියයට 6% ක් දක්වා ක‍්‍රමිකව ඉහල නැංවීමට රජය එකඟවිය යුතු බව ඔවුන් දැඩි මතයක සිටී. නමුත් රජය, විශේෂයෙන්ම විෂයභාර ඇමතිවරයා සහ ඔහුගේ පරිපාලන නිලධාරීන් මෙහිදි දැඩි හිතුවක්කාරී මතවාදයක එල්බ දිනෙන් දිනම මෙරට නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් සිටී. දැනට මෙරට විශ්වවිද්‍යාල 15 තුල අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් 74,000 කගේ පමන ජීවිතත්, මේ වසරේදි නවකයින් ලෙස විශ්වවිද්‍යාල වලට ඇතලූවීමට පෙරුම් පුරන 25,000 ක පමන සිසු සිසුවියන්ගේ අනාගතයත් සමග ඔවුන් සෙල්ලම් කරමින් සිටී. මෙම යථාර්ය මෙම දේශපේ‍්‍රමීන්ට නොතේරෙන්නේ මන්ද?

අවසන් වශයෙන් මෙයද ඔබලාට පැවසිය යුතුය. මේ ලිපිය ලියන මම මෙම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සාමාජිකයෙකු නොවෙමි. ඔබ වැනි ලේබල් දේශපේ‍්‍රමියෙකුද නොවෙමි. නමුත් දුප්පත් දෙමව්පියන්ට දාව මෙරටේ ඉපැදි නිදහස් අධ්‍යාපනයට පින්සිදු වෙන්න ඉගෙනගත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකි. ඒ නිසා නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් මම ඔබලාට විරුද්ධ වෙමි.
 

අමින්ද මෙත්සිල පෙරේරා
ජ්‍යෙෂඨ කථිකාචාර්ය, කළමනාකරණ සහ මූල්‍යපීඨය,
වයඹ විශ්වවිද්‍යාලය

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...