Monday, April 22, 2013

නිදහස්‌ අධ්‍යාපනය සුරකින රාජ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාව

නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තිය යනු පළල් වූත්, දුර දැක්‌මකින් යුක්‌ත වූත්, අධ්‍යාපන, ආර්ථික, සමාජයීය ආදී සමස්‌ත ක්‍ෂේත්‍රයන් ආවරණය වූ දැවැන්ත ප්‍රතිපත්තිමය ඓතිහාසික හැරවුම් ලක්‍ෂයකි. එවකට පැවැති අධ්‍යාපන, සමාජ, ආර්ථික පසුබිම අනුවත්, රටේ අනාගත ගමන් මඟ පිළිබඳවත් අධ්‍යයනයකින් අනතුරුව ඉදිරිපත් කරන ලද නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තිය අධ්‍යාපනයේ බොහෝ ගැටලුවලට, ප්‍රශ්නවලට විසඳුම් සහිත ප්‍රායෝගික යෝජනා මාලාවක්‌ විය. අතීතයේ පැවැති තත්ත්වය එසේ වුවද, නිදහස්‌ අධ්‍යාපනයේ වර්තමාන තත්ත්වය හා අනාගත අභියෝග සම්බන්ධයෙන් ශාස්‌ත්‍රීය වූත්, කාලීන වූත්, සංගායනාවක්‌, කතිකාවතක්‌ වර්තමානයේ පවත්වනු දැකීම උගටය.
 විශේෂයෙන් වර්තමාන සමාජ, ආර්ථික හා අධ්‍යාපන සංදර්භයන් තුළ වර්තමාන නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්ති බරපතළ අභියෝගයන් රාශියකට මුහුණ දී ඇති බවට වර්තමාන අධ්‍යාපනය පිළිබඳව මධ්‍යස්‌ථ විමසුමට ලක්‌ කරන්නෙකුට පෙනී යන කරුණකි. විශේෂයෙන් නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තිය හඳුන්වා දුන් යුගයේ මෙරට පැවැති සමාජ - ආර්ථික, අධ්‍යාපන තත්ත්වයට සම්පූර්ණයෙන් ම වෙනස්‌ සමාජ - ආර්ථික, අධ්‍යාපන පරිසරයක්‌ වර්තමානයේ දී දැකිය හැකිය. එබැවින් නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡා කරනු ලබන මෙම යුගයේ ශ්‍රී ලංකාවේ නිදහස්‌ අධ්‍යාපනයේ වර්තමාන හා අනාගත අභියෝගයන්, සංරෝධකයන් පිළිබඳව විචාරශිලී බැලීමක්‌ සිදුවීම කාලීන අවශ්‍යතාවයකි.


නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්ති අනුගමනය කිරීමට හා එම ප්‍රතිපත්ති අඛණ්‌ඩව ඉදිරියට පවත්වා ගෙන යැමට බලයට පත් වූ සෑම රජයක්‌ විසින් ම අඩු - වැඩි වශයෙන් ක්‍රියාමාර්ග ගනු ලැබීම නිසා හා අනෙකුත් සාධකවල බලපෑම නිසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය ලබා ඇති අත්පත් කර ගැනීම් ප්‍රශස්‌ත මට්‌ටමකින් පවතී. එසේ වුවද, වර්තමාන අධ්‍යාපන ක්‍ෂේත්‍රය අභියෝගයන් රැසකට මුහුණ දී ඇති බැව් අවිවාදිතව පිළිගත යුතුය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන විවෘත ආර්ථික ප්‍රතිපත්තිය (1977 සිට) හරහා රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය ඇතුළු සෑම ක්‍ෂේත්‍රයකම විවිධ වෙනස්‌වීම් ඇති විය. ඇතැම් විට ධනාත්මක ලක්‍ෂණ අඩු වශයෙන් ද, සෘණාත්මක ලක්‍ෂණ වැඩි වශයෙන් ද, රට තුළ උත්තරාරෝපණය විය. ඒ හරහා අද අධ්‍යාපන ක්‍ෂේත්‍රය මුහුණ දී ඇති අභියෝගයන් මෙන්ම. අනාගතයේදී මුහුණ දීමට සිදු විය හැකි අභියෝගයන් පිළිබඳව විමසා බැලීම කාලෝචිතය. මක්‌නිසාද, මෙසේ ගැටලු, ප්‍රශ්න විසඳීමට අද මේ මොහොතේ සිටින වගකිවයුතු පිරිස්‌ මැදිහත්වීම ඔවුන්ගේ සදාචාරාත්මක වගකීමක්‌ වන හෙයිනි. එසේ නොකොට එම ප්‍රශ්න හා ගැටලු අනාගත පරපුරට ඉතිරි කර තබා කටයුතු කිරීම ජාතියක්‌, රටක්‌ වශයෙන් නොකළ යුත්තක්‌ බැවින්, ශ්‍රී ලංකාවේ නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හමුවේ ඇති අභියෝග හා අනාගත ප්‍රවණතා පිළිබඳ අවබෝධයක්‌ ඇති කිරීම හා විමර්ෂණාත්මක චින්තනයකට යොමු කිරීම මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වේ.

වර්තමාන නිදහස්‌ අධ්‍යාපනය තවදුරටත් නිදහස්‌ අධ්‍යාපනයක්‌ ද?

පසුගිය කාලය පුරා විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය හාරහා මෙන්ම විවිධ කතිකාවත් හරහා, විශ්වවිද්‍යාල සිසුන් ඇතැම් බුද්ධිමතුන්, උගතුන් ප්‍රකාශ කරනුයේ ශ්‍රී ලංකාවේ අද ක්‍රියාත්මක වන්නේ සැබෑ යථාර්ථවාදී නිදහස්‌ අධ්‍යාපනයක්‌ නොවන බවයි. ඊට පක්‍ෂ හා විපCක්‍ෂ මතවාදයන් පවතී. සාපේක්‍ෂව ප්‍රමාණාත්මක නොවුණ ද, නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තිය තහවුරු කරනු වස්‌ විශාල ආර්ථික වැය බරක්‌ රජය විසින් දරනු ලබයි. එම ආයෝජන ප්‍රමාණාත්මක ද නැද්ද යන්න සුවිශේෂීව විමසා බැලිය යුත්තකි. කෙසේ වුවද රජය විසින් සමාජ - ආර්ථික තත්ත්වය නොසලකා පාසල් සිසුන් සඳහා නොමිලයේ පෙළපොත්, නිල ඇඳුම්, ශිෂ්‍යත්ව හා ශිෂ්‍යාධාර සහ දිවා ආහාර වැනි අධ්‍යාපන සුබසාධකමය කාර්යයන් රැසක්‌ ක්‍රියාත්මක කරනු ලබන අතර, කිසිදු ශිෂ්‍යයකුගෙන් පාසල් අධ්‍යාපනය සඳහා හෝ විශ්වවිද්‍යාල ප්‍රථම උපාධිය දක්‌වා පාඨමාලා ගාස්‌තු අය කරනු නොලබයි. රජය විසින් පාසල් අධ්‍යාපනය සඳහා වාර්ෂිකව වෙන් කරනු ලබන පුනරාවර්තන වියදම්වලින් 90% කට ආසන්න ප්‍රමාණයක්‌ වැය වනුයේ කාර්ය මණ්‌ඩල වැටුප් සඳහා ය. මීට අමතරව රජය විසින් අධ්‍යාපන සුබසාධකමය කාර්යයන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ වාර්ෂික පුනරාවර්තන වියදම්වලින් 28.6% ක්‌ දරනු ලබයි.

ප්‍රවේශය සම්බන්ධ අභියෝගයන් හා ගැටලු

නිදහස්‌ අධ්‍යාපනය හඳුන්වා දුන් යුගයේ මෙරට පැවැති ප්‍රබල ගැටලුවක්‌ වූයේ අධ්‍යාපන ප්‍රවේශ අවස්‌ථාවන් විරල වීමය. එකල සීමා සහිත වූ ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය සඳහා වූ ප්‍රවේශ අවස්‌ථා ඇති කරලීමට නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තිය හරහා දැවැන්ත වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරන ලදී.

පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේදී කිසිදු මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ආධාර ලබාගත නොහැකි බවට රජය විසින් නීතිමය රෙගුලාසි පනවා ඇතත්, බොහෝ දෙමාපියන් ප්‍රකාශ කරනුයේ මාධ්‍ය වාර්තා කරනුයේ විශේෂයෙන් විවාදිත ජනප්‍රිය යෑයි කියාගනු ලබන පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර නොනිල වශයෙන් ලබා ගන්නා බවයි. ඇතැමුන් ප්‍රකාශ කරන්නේ මෙම තත්ත්වය නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තිය බරපතළ ලෙස උල්ලංඝනය වීමට හේතු වන බවයි. එබැවින් නිදහස්‌ අධ්‍යාපනයේ සැබෑ අරුත යථාර්ථයක්‌ බවට පත් නොවීම හරහා සමාජයේ පහළ ආදායම් ස්‌ථරයන්හි පවුල්වල දරුවන්ට දැඩි අසාධාරණයක්‌ සිදු වේ. අධ්‍යාපනය සමාජ, පංති අනුව ලබා නොදෙන්නක්‌ වියයුතුවා සේ ම, සමාජ, පංති විෂමතා ආදී නොයෙකුත් සමාජ - ආර්ථික විෂමතා නොසලකා අධ්‍යාපනය ලබා දීමට රජයක්‌ වශයෙන් කටයුතු කළ යුතු වේ. එය ජාත්‍යන්තර වශයෙන් ද පිළිගත් හා එකඟ වූ අධ්‍යාපන ප්‍රතිපත්තියකි.

නමුත් සමාජ - ආර්ථික, දේශපාලනමය හා නිලධාරීමය වශයෙන් සම්බන්ධතා හා හැකියාවන් ඇති, දෙමාපියන්ගේ දරුවන්ට කුමන හෝ ක්‍රමයකින් පද්ධතිය තුළ ගුණාත්මක බව ඉහළ මට්‌ටමකින් පවත්වා ගෙන යනු ලබන පාසල්වලට තම දරුවන් ඇතුළත් කර ගැනීමට හැකියාව හා ශක්‌තිය ලැබී ඇත. නමුත් එවන් සබඳතා හා හැකියා නොමැති සමාජයේ අති බහුතරයකගේ පවුල්වල දරුවන්ට ග්‍රාමීය පාසල්වලට ඇතුළත් වීමට සිදු වී ඇත.

අධ්‍යාපන ඉතිහාසයට අනුව කන්නන්ගර ශූරීන් අඩිතාලම දැමූ නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තියේ මීළඟ දැවැන්තමය ප්‍රගතිශීලී ඉදිරි පියවර වූයේ 1962 දී සියලු පාසල් රජයට පවරා ගැනීමය. ඒ හරහා අධ්‍යාපනය රාජ්‍ය ව්‍යවසායකත්වය යටතේ ක්‍රියාත්මක වීම තුළින් සෑම දරුවෙකුටම රජයේ පාසලකට ඇතුළත් වීමට නෛතිකමය අවස්‌ථාව හා වරප්‍රසාදය හිමි වුණි. පසුකාලීන මෙරට ඇති වූ ජනප්‍රිය පාසල් මිථ්‍යාව හරහා ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය පිළිබඳ ප්‍රවේශ අවස්‌ථා ගැටලු මතුවිය. 1981 ධවල පත්‍රිකා යෝජනා හරහා හඳුන්වා දුන් 'ඒකීය පාසල්' නිසා සීමිත පාසල් සංඛ්‍යාවකට සුවිශේෂී වරප්‍රසාදලාභී තත්ත්වයක්‌ හිමි විය. එසේම 'ජාතික පාසල්' හරහා එම තත්ත්වය තවදුරටත් පද්ධතිය තුළ ස්‌ථාවර වී සුවිශේෂී පාසල් උපපද්ධතියක්‌ නිර්මාණයවිය. එම පාසල් අතුරින් ද 'ජනප්‍රිය' ලේබලය සහිත පාසල් සඳහා දැඩි කෘත්‍රිම අර්ධ - වෙළෙඳපළ (quasi - market) ලක්‍ෂණ සහිත තරගකාරිත්වයක්‌ නිර්මාණය විය. එම පාසල් සඳහා ඇති වූ එම අතිශය කෘත්‍රිම වෙළෙඳපල මුහුණුවර ගත් තරගකාරිත්වය නිසා අධ්‍යාපන ප්‍රවේශය සම්බන්ධයෙන් ගැටලු නිර්මාණය වී, එය සමාජ - දේශපාලන - ආර්ථික ප්‍රශ්නයක්‌ බවට පත් වී ඇත. මෙහි තවත් ප්‍රතිඵලයක්‌ වී ඇත්තේ සිසුන් රජයේ පාසල්වලට ඇතුළත් වීමට කරනු ලබන ඉල්ලීමයි.



මේ අනුව බලන කල කිසිදු ශිෂ්‍යයෙකු ඇතුළත්වීමට ඉල්ලුම් නොකළ පාසල් සංඛ්‍යාව 2010 ට සාපේක්‍ෂව 2011 දී ඉහළ ගොස්‌ ඇත. විශේෂයෙන් අධ්‍යාපන යෙදවුම් පැත්තෙන් බලන කල එය බරපතළ තත්ත්වයක්‌ මෙන්ම සම්පත් නාස්‌තියකි. අනෙක්‌ අතට මෙම ගැටලුවට විසඳුමක්‌ නොසැපයුවහොත් අනාගතයේ මෙම පාසල් ස්‌වභාවිකව වැසී යැමට ලක්‌වනු ඇත. විශේෂයෙන් මෙම පාසල් බොහෝමයක්‌ ග්‍රාමීය ප්‍රදේශවල පිහිටා ඇති අතර, මෙම තත්ත්වය ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ හිමි වී ඇති වරප්‍රසාදයන් කඩවීමකි. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමකි.

විශේෂයෙන් 1977 දී හඳුන්වා දුන් 'නිදහස්‌ වාත්තීය වෙළෙඳ ප්‍රතිපත්තිය' සෘජුවම අධ්‍යාපනයට වාණිජමය මුහුණුවරක්‌ දීමට බලපාන ලද ප්‍රබල සාධකයකි. මේ හරහා පාසල් පද්ධතිය තුළ ද තරගකාරීත්වය දැඩි ලෙස ක්‍රියාත්මක විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාවකට පද්ධතිය ක්‍රමිකව යොමු විය. මීට බලපෑ සාධක එමටය. පළමු ශ්‍රේණියේ සිට අ.පො.ස. උසස්‌ පෙළ විභාගය සඳහා දැඩි තරගකාරිත්වයක්‌ සහිත අධ්‍යාපන පරිසරයක්‌ නිර්මාණය විය. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට ඇති තරගකාරිත්වය සේම, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ද දැඩි තරගකාරිත්වයක්‌ ඇති අනෙක්‌ කඩඉම වේ. මෙම තත්ත්වය ඇති වීමට සෘජුව හා වක්‍රව බලපා ඇත්තේ 'ජනප්‍රිය' යෑයි කියාගන්නා පාසල්වලට තම දරුවන් ඇතුළත් කර ගැනීමට උත්සාහ දැරීමයි. දෙමාපියන්ගේ පැත්තෙන් මෙය යුක්‌ති සහගත, සාධාරණය. විශේෂයෙන් ම තම දරුවන්ට වඩා යහපත් අධ්‍යාපනයක්‌ කුමන හෝ ක්‍රමයකින් ලබා දීමට කටයුතු කිරීම ඔවුන්ගේ අපේක්‍ෂාවයි. මක්‌නිසාද විශේෂයෙන් මධ්‍යම පාංතික දෙමාපියන් මෙන්, සමාජයේ පහළ ආදායම් ස්‌ථරයන්හි දෙමාපියන්. තමන්ගේ නොවිසඳුණු සමාජ - ආර්ථික ප්‍රශ්න රැසකට විසඳුම ලෙස තම දරුවන්ට උපරිම අධ්‍යාපනයක්‌ ලබාදීමට පෙළඹී සිටිති. ඒ හරහා තමන්ට අත්පත් කර ගැනීමට නොහැකි වූ සමාජ - ආර්ථික තත්ත්වයන් තම දරුවන්ට හෝ ලබා දීමට වෙර දැරීම විවේචනයට ලක්‌ නොවිය යුත්තකි. අනෙක්‌ අතට ශ්‍රී ලාංකිකයන් අධ්‍යාපනය, සමාජ සචලතා කාරකයක්‌ ලෙස පිළිගනු ලැබීම ප්‍රබලව දැකිය හැකි ලක්‍ෂණයකි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති සීමිත ඉඩකඩ නිසා විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධයෙන් අතිශය තරගකාරිත්වයක්‌ ඇති වී ඇත. මෙම තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ අ.පො.ස. උ. පෙළ විභාගය ලෝකයේ ඇති අතිශය දරුණු තරගකාරී විභාගය බවට පත්වී ඇත. එම නිසා නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රථම උපාධි මට්‌ටමට ද ගාස්‌තු අයකිරීමකින් තොරව නිදහස්‌ව ලැබීමට ඇති ප්‍රවේශ අයිතිය සම්බන්ධයෙන් ගැටලුවක්‌ මතු වී ඇත. නමුත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධයෙන් මතුවී ඇති තරගකාරිත්වය හරහා දරුවන්ගේ අනාගතය තීරණය වනුයේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සම්බන්ධයෙන් තෝරා ගැනීම උදෙසා භාවිත කරනු ලබන සංඛ්‍යා ලේඛනාත්මක ක්‍රමවේදයේ දශම ගණනකි. මෙම තත්ත්වය මත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වීමට සුදුසුකම් ලබන, එහෙත් තමන් අපේක්‍ෂා කරන, පාඨමාලාවන් හැදැරීමට අවස්‌ථාවන් අහිමි වන දරුවන්ගේ අයිතිය කඩවීමකි. මේ අතර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මූලික සුදුසුකම් සපුරාලන සිසුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ විදේශ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යති. අද අධ්‍යාපනය ජාත්‍යන්තර වශයෙන් සක්‍රීය වී ඇත. එම තත්ත්වය හමුවේ උසස්‌ අධ්‍යාපන අවස්‌ථාවන් එමටය. මෙම පසුබිම එක්‌තරා අන්දමකට ශ්‍රී ලංකාවේ නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තිය අභියෝගයට ලක්‌ වන්නකි. සෑම දරුවෙකුටම විශ්වවිද්‍යාල ප්‍රථම උපාධිය නිදහසේ ලැබීමට ඇති නෛතිකමය අයිතිය පිරිසකට අහිමි වීම හරහා සිදුවන්නේ අසාධාරණයකි. මෙම තත්ත්වයට බලපානු ලබන විවිධ සාධක තිබිය හැක. නමුත් සරලව බැලූ බැල්මට මෙය එක්‌තරා අන්දමකට නව අභියෝගයක්‌ බැවින් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු විය යුතු වේ.

අනාගත නිදහස්‌ අධ්‍යාපනය රජයේ පාසල් හරහා සමාජයේ එක්‌තරා පංතියකටත්, සීමිත පිරිසකටත් සීමාසහිත වනු ඇත. එසේ වුවහොත් අනාගතයේ නැවතත් කන්නන්ගරවරුන් සිය දහස්‌ ගණනක්‌ බිහිවිය යුතුමය. එසේ නොවන්නේ නම් අපේ අධ්‍යාපනය හසුරුවනු ලබන්නේ ජාතික හා ජාත්‍යන්තර ව්‍යාපාරිකයන් වීම වැළැක්‌විය නොහැක. අද නිදහස්‌ සෞඛ්‍යයට ඇති වී ඇති තත්ත්වය අනාගතයේදී අධ්‍යාපනයට ද අත්වනු ඇත. අද සෞඛ්‍ය පහසුකම් ලැබීම මුදල මත පදනම් වී ඇත. මුදල් ඇති අයට රජයේ හෝ පෞද්ගලික කියා වෙනසකින් තොරව සෞඛ්‍ය පහසුකම් ලැබීමට හැකියාව ඇත. එහෙත් පහළ ආදායම්ලාභීන්ට රජයේ රෝහල්වල වෛද්‍ය පහසුකම් ලබාගත හැකි වුවද, බොහෝ විට අවශ්‍ය ඖෂධ වෛද්‍යවරයාගේ තුණ්‌ඩුව හරහා ෆාමසිවලින් ලබා ගැනීමට සිදු වී ඇත. අධ්‍යාපනයේ තත්ත්වය ද මීට සමාන වේ. අනාගතයේ මෙම තත්ත්වය නිදහස්‌ අධ්‍යාපනයට අභියෝගයක්‌ වනු ඇත. එබැවින් මේ සම්බන්ධයෙන් සක්‍රීය රාජ්‍යමය මැදිහත්වීමක්‌ අතිශයින් ම අවශ්‍ය වේ.

අධ්‍යාපනය සඳහා කෙරෙන රාජ්‍ය ආයෝජන සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් විමසා බැලීමේදී පොදු ඒකාග්‍රතාවයක්‌ දැකීම උගහටය. විශේෂයෙන් දියුණු හා දියුණු වෙමින් පවත්නා රටවල් අධ්‍යාපනය සඳහා කෙරෙන ආයෝජනය වාර්ෂිකව උච්චාවචනයට ලක්‌වී ඇත. මෙම සෑම රටක්‌ම අධ්‍යාපනය සඳහා කෙරෙන ආයෝජනය දිගුකාලීන මානව සංවර්ධන ආයෝජනයක්‌ ලෙස සලකති. විශේෂයෙන් දියුණු වෙමින් පවත්නා රටවල් තම රටවල් අනාගත ජාතික හා ජාත්‍යන්තර අවශ්‍යතා හා අභියෝගයන්ට මුහුණ දීමට හැකි ලෙස තම සමාජයන් පරිණාමනය (transform) සඳහා අධ්‍යාපන කාරකයක්‌ ලෙස යොදා ගනිති. එම නිසා තම රටවල දිළිඳුභාවය නැති කිරීමට ප්‍රබල ලෙස දායක වන සාධකය ලෙස අධ්‍යාපනය සලකති. එබැවින් Sri Arthur Lewis ප්‍රකාශ කළ පරිදි දිළිඳුභාවයට මූලික පිළියම වනුයේ මුදල් නොව අධ්‍යාපනය බවයි. එබැවින් තනි තනි පුද්ගලයන් වශයෙන් ද සාමූහික වශයෙන් ද රටක්‌ ලෙස ද, අධ්‍යාපනය හරහා දිළිඳුභාවය තුරන් කිරීමට පිළියම් යෙදිය යුතුය. අධ්‍යාපනය හරහා ජන ජීවිතයේ සෑම ක්‍ෂේත්‍රයක්‌ම ආවරණය වන පරිදි සංවර්ධනාත්මක ප්‍රවේශයකින් යුක්‌ත වැඩසටහන් සම්පාදනය කොට ක්‍රියාත්මක කළ යුතුය. විශේෂයෙන් ආර්ථික දරිද්‍රතාවය ඇතිවීමට පාදක වනුයේ අධ්‍යාපනික දරිද්‍රතාවයයි. එම නිසා අධ්‍යාපනය ප්‍රමුඛ කාර්යක්‌ ලෙස සැලකීමට බොහෝ රටවල් පෙළඹී සිටී. එබැවින් රටක ආර්ථික සංවර්ධනය හා සමස්‌ත සංවර්ධනය උදෙසා අධ්‍යාපනය ප්‍රමුඛ සාධකයක්‌ වී හමාරය. ඒ අනුව රටක මූල්‍ය අර්බුදයන් මත පටවා අධ්‍යාපනයට කෙරෙන ආයෝජනයන් කප්පාදු නොවිය යුතු අතරම, කෙරෙන ආයෝජනය වඩාත් සංවිධිත, ආර්ථික විද්‍යාත්මක සමසාධාරණත්වයකින් හා කාර්යක්‍ෂමතාවකින් යුක්‌තව සම්පත්කරණය හා උපයෝජනය සිදුවිය යුතුය. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට ද පොදු තත්ත්වයකි.

දියුණු යෑයි සම්මත බොහෝ රටවල් ලෝකයේ ඕනෑම රටක සිටින නිර්මාණශීලී පිරිස්‌ තම රටේ සංවර්ධනය උදෙසා දායක කර ගැනීමට විවිධ ක්‍රමෝපායයන් යොදා ගනියි. ඒ හරහා ජාතිවාදී හා වර්ගවාදී බෙදීමකින් තොරව දැනුම සහිත පිරිස්‌ උකහා ගැනීමට ඔවුන් පෙළඹී සිටී. ඒ අනුව දියුණු යෑයි සම්මත රටවල සංවර්ධනය යන්න ඔවුන්ගේ තනි නිර්මාණයක්‌ හෝ හැකියාවක්‌ නොවේ. එම සංවර්ධනය උදෙසා දියුණු වෙමින් පවත්නා රටවල, නොදියුණු රටවල හා මැදි මට්‌ටමේ සංවර්ධනයක්‌ සහිත රටවල උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ හා නිර්මාණශීලී පිරිස්‌වල සෘජු හා වක්‍ර දායකත්වයක්‌ ලබා ගෙන ඇත. මෙම තත්ත්වය අනාගතයේ තවත් ප්‍රසාරණය වනු ඇත. එබැවින් 2015 න් ඔබ්බට රටවල් ක්‍රියා කළ යුත්තේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු කිරීමටය. එහිලා අනාගත මානව ප්‍රාග්ධනය උසස්‌ මට්‌ටමේ කුසලතාවලින් පිරිපුන් පිරිසක්‌ බවට පත්කළ යුතුය. එම පසුබිමෙහි සිට ශ්‍රී ලංකාවේ නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තිය වඩාත් තහවුරු කොට ජාතියක්‌ හා රටක්‌ වශයෙන් කල්පනා කොට ඇතැම් ක්‍ෂේත්‍රයන් යම් යම් කැප කිරීම් කොට හෝ සම සාධාරණත්වය, කාර්යක්‍ෂමතාව තහවුරු වන පරිදි අධ්‍යාපනය ශක්‌තිමත් කළ යුතුය. එහිලා පටු මතවාදීමය හා අරමුණුවලින් ඔබ්බට ගොස්‌ අධ්‍යාපනය පරිණාමනය (transforming) ක්‍ෂේත්‍රයක්‌ ලෙස සලකා වැඩි බරක්‌ අධ්‍යාපනයට ලබා දිය යුතුය. එහි කෙටිකාලීන ප්‍රතිදානයන් සමාජයට හා ආර්ථීකයට ලැබෙනු ඇත. එබැවින්ම සම-සාධාරණත්ව මූලධර්මයන් මෙන්ම ප්‍රමාණාත්මක (adequacy) මූලධර්මයන් ද අධ්‍යාපනය ලබා දීමේදී සැලකිල්ලට ගත යුතු නිර්ණායකයන් බවට පත්විය යුතුය. අධ්‍යාපනය තාක්‍ෂනික අභිමුඛ විය යුතු අතරම, අදාළත්වය පිළිබඳව ද සැලකිල්ලක්‌ දැක්‌විය යුතුය. දැනුම සීඝ්‍රයෙන් පැතිරෙන අද වැනි දිනෙක අනාගත පරපුර සතුව චින්තනමය නිර්මාණශීලීත්වය අත්‍යාවශ්‍ය සාධකයක්‌ වනු ඇත. අනාගත ලෝකය මැනෙනුයේ භූමි ප්‍රමාණයේ හෝ ජනගහනයේ විශාලත්වයෙන් නොව දැනුමේ විශාලත්වයෙනි. වෘත්තියේ ස්‌වභාවය කුමක්‌ වුවද දැනුම එම සෑම ක්‍ෂේත්‍රයකටම අදාළය. එබැවින් නිදහස්‌ අධ්‍යාපනයෙන් කර ඇරීමක්‌ සිදුකළ නොහැක. අධ්‍යාපනය ලබා දීමට මූල්‍යමය අගයක්‌ එක්‌ නොවිය යුතුය. අධ්‍යාපනය ප්‍රමාණනය කළ නොහැකි පරිණාමනය සහිත බලයකින් යුත් සාධකයක්‌ බවට අද ජාත්‍යන්තරය පිළිගත් මතය වී ඇත. එබැවින් නිදහස්‌ අධ්‍යාපනයෙන් නිදහස්‌ වීමට බලපාන කිසිදු සාධකයකට, බලවේගයකට අනුබල නොදී දිගුකාලීන අරමුණු කරා ළඟා විය හැකි ජාතික නිදහස්‌ අධ්‍යාපනයක්‌ කරා අනාගත පරපුර යොමු කිරීම වර්තමානයේ සියලු බලධාරීන්ගේ ජාතික වගකීම බවට පත්විය යුතුය.

ආචාර්ය ජයන්ත බාලසූරිය
උපුටා ගැනීම :http://www.divaina.com/2013/04/22/feature01.html

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...