Friday, September 21, 2012

අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල‍යේ කැඳවුම්කරු වහා නිදහස් කරනු! – SSU

කොළඹ අපරාධ විමර්ශන ‍කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල‍යේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා වහා නිදහස් කරන ‍ලෙස සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් නි‍වේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

එහි ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා‍ගේ අත්සනින් නිකුත්කර ඇති එම නි‍වේදනය පහත පළ‍වේ.

‘‘අද (19) සවස කොළඹ ලිප්ටන් වටරවුම ප‍්‍රදේශයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සොයුරා කොළඹ අපරාධ විමර්ශන
කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ, ඔහු කොළඹ කොටුවේදී විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධානය කළ සත්‍යග‍්‍රහයකට සම්බන්ධවී යමින් සිටියදීය.

ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දෙමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සටන් කළේත් සටන් කරන්නේත් නිදහස් අධ්‍යාපන අයිතිය රැකගැනීම වෙනුවෙනි. මේ වනවිට සමස්ත විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් විසින් අරඹා ඇති අඛණ්ඩ වැඩවර්ජනයට සහය පළකරමින් රටපුරා විශ්වවිද්‍යාල සිසුහු වීදිබැස සිටිති.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය එම සිසුන්ට නායකත්වය දෙමින් සිටියේ නිදහස් අධ්‍යාපනය විනාශ කිරීම සිය ප‍්‍රමුඛ අරමුණ කරගත් මේ ආණ්ඩුව රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන වෘත්තීය සමිති ක‍්‍රියාකාරිකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා ශිෂ්‍ය නායකයින් සිය සතුරන් සේ සලකා කටයුතු කරමින් සිටින මොහොතකය. පොලීසිය යොදාගෙන නිල වශයෙනුත් සුදුවෑන් හා මැර කණ්ඩායම් යොදාගෙන නොනිල වශයෙනුත් ආණ්ඩුව මතුව ඇති ජනතා සටන් මර්දනය කරමින් සිටී. 80 දශකයේදී එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ශිෂ්‍ය සංගම් තහනම් කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකයින් ඝාතනය කරමින් ඉදිරියට ගෙන ගියේද මෙම ප‍්‍රයත්නයමය. එවැනි මර්දනයකින්ද මර්දනය කළ නොහැකි වූ ශිෂ්‍ය ව්‍යාපාරය එස්.බී. දිසානායක ඇතුළු මේ ආණ්ඩුවට මර්දනය කළ නොහැකි බවටද අපි තරයේ කියා සිටිමු.

අත්අඩංගුවට ගෙන ඇති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා වහා නිදහස් කරන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු. එසේම සිය ශිෂ්‍ය ජුන්ටාවන් යොදාගෙන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ලය තහනම් කිරීමට ආණ්ඩුව ගෙනයන ක‍්‍රියාමාර්ග වහා හකුළා ගන්නා ලෙස ආණ්ඩුවට බලකර සිටිමු. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සිසුන් සහ වෘත්තීය සමිති ඒකාබද්ධව නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් මේ වනවිට ගෙනයන අරගලයට දායක වන ලෙසත් අපි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිමු

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...