Monday, December 17, 2012

සාපෙළ ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවීම අධ්‍යාපනයේ සමස්ත අර්බුදයේම ප‍්‍රකාශනයක්

Duminda Nagamuwa - FLSF
සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමස්ත අර්බුදයේම ප්‍රකාශනයක් බවත් ආණ්ඩුවට බලය සම්බන්ධ කරුණුවලදී වරදින්නේ නැති නමුත් ජනතාවගේ ජීවිත සම්බන්ධ ගැටලුවලදී නිතරම වැරදීම් සිදු වන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිටවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ අධ්‍යාපනය හා අධ්‍යාපන සඳහාත් අධ්‍යාපනය මුදලට විකිණීම සඳහාත් නිර්මාණය වී ඇති තරගය නිසා මෙවැනි තත්වයක් ඇති වන බවයි.

දුමින්ද නාගමුව මහතා නිකුත් කළ නිවේදනය‍ මෙසේය.

"දෙසැම්බර් 15වැනිදා පැවැත් වුණු අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රය පිටවී ඇති බවට තොරතුරු වාර්තා වෙමින් තිබේ. ඒ අනුව විද්‍යාව බහුවරණ ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න 19ක් පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයකු විසින් විභාගයට පෙර ආදර්ශ ප‍්‍රශ්න පත‍්‍රයක් හරහා සිසුන්ට ලබා දී ඇතැයි වාර්තා වී තිබේ. ඒ අනුව, විභාගයට පෙනී සිටි ඇතැම් සිසුන්ට විභාගයේ ප‍්‍රශ්න කලින් ලැබී තිබූ බවද අති බහුතරයක් සිසුන් ඒ හේතුවෙන් අසමානතාවට හා අසාධාරණයට ලක්ව ඇති බවද පැහැදිලිය.

අධ්‍යාපනයට හා විභාග ක‍්‍රියාවලියට අදාළව මෙවැනි සිදුවීම් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙරද ගුරු අත්පොත්වල වැරදි, පෙළපොත්වල වැරදි, විෂය නිර්දේශ සකස් කිරීමේ ව්‍යාකූලතා ආදිය වාර්තා වූ අතර ජයේ විභාග පැවැත්වීමේදී විභාග ප‍්‍රශ්නපත‍්‍රවල හා විභාග ප‍්‍රතිඵලවල ගැටලුකාරී තත්වයන් නිරන්තරයෙන් උද්ගත විය. නිදසුනක් ලෙස 2012අගෝස්තු මස පැවැත් වූ උසස් පෙළ විභාගයේ ප‍්‍රශ්න පත‍්‍රවල බරපතළ දෝෂ පැවති අතර 2011උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් ඇති වූ ව්‍යාකූලතා නිසා සිසුහු පීඩාවට පත් වූහ. 2012අගෝස්තු මස පැවති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර පිට වූ බව වාර්තා වූ නමුත් ආණ්ඩුව විධිමත් පරීක්ෂණයක් නොපවත්වාම එය ප‍්‍රතික්ෂේප කළේය. දැන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළවද ප‍්‍රශ්න පත‍්‍ර පිටවීම පිළිබඳ චෝදනා එල්ල වී තිබේ. මේ තත්වය තුළ පාසල් අධ්‍යාපනයත් විභාග ක‍්‍රියාවලියත් පිළිබඳ විශ්වාසය බරපතළ ලෙස බිඳ වැටී තිබෙන අතර සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට එය සැලකිය යුතු බාධාවක් සිදු කර ඇත.

ලංකාවේ පාලකයින්ට අසමත්වීම්, අකාර්යක්ෂමතා සහ අත්වැරදීම් බහුලවම සිදු වන ක්ෂේත‍්‍ර ලෙස අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය වැනි ජනතාවගේ ජීවිතවලට බලපාන ක්ෂේත‍්‍ර ඉදිරියෙන් තිබේ. තමන්ගේ බලය රැක ගැනීම පිළිබඳ ප‍්‍රශ්නයේදී ඊට අදාළ ක්ෂේත‍්‍රවල පාලකයින්ට වැරදීම් සිදු වන්නේ නැත. ආණ්ඩුවේ පාලන කටයුතුවලට අදාළ ක්ෂේත‍්‍රවලදී හෝ එවැනි අනෙකුත් කටයුතුවලදී වංචා සිදුවීමට ඇති ඉඩකඩ අවම කර ඇති අතර ඒවා වහාම අනාවරණය කර ගැනේ. නිදසුනක් ලෙස අවසර නොමැති ගිනි අවි හෝ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම වැනි වංචාවන්ට ආණ්ඩුව ඉඩ තබන්නේ නැත. ඒ එය ඔවුන්ගේ බලය සමග සම්බන්ධිත නිසාය. ආණ්ඩුව නිතරම පාහේ අත්වැරදීම් හා මගහැරීම් පිළිබඳ මැසිවිලි නගන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය වැනි ජනතාවගේ ජීවිතවලට අදාළ ක්ෂේත‍්‍රයන්හිදීය. මෙම පාලකයින් ප‍්‍රමුඛතාවයේ ලා සලකන්නේ සමාජයේ යහපැවැත්ම නොව සිය බලය රැක ගැනීම පමණක් බව මෙවැනි උදාහරණවලින් තව දුරටත් පැහැදලි වේ.

අනෙකුත් ක්ෂේත‍්‍ර මෙන්ම අධ්‍යාපන ක්ෂේත‍්‍රයද බරපතළ ලෙස දේශපාලනීකරණයට ලක් කර ඇත. විශේෂයෙන් විභාග දෙපාර්තමේන්තුව ගත් කල සුදුස්සන් පසෙක සිටියදී සිය දේශපාලන හිතවතුන් එහි මුල් පුටුවලට පත් කිරීම විසින් ක‍්‍රියාවලිය තවදුරටත් දුර්වල කර ඇත. ලංකාවේ පාලකයින්ගේ මෙම පසුගාමී ස්වභාවයද අධ්‍යාපනයේ බිඳ වැටීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. එපමණක් නොව, පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් විසින් විභාග ප‍්‍රශ්න පත‍්‍ර සොරකම් කිරීම පිළිබඳ සිදුවීම් දෛනිකව වාර්තා වන්නේ අධ්‍යාපනය සඳහාත් අධ්‍යාපනය මුදලට විකිණීම සඳහාත් නිර්මාණය කර ඇති තරගය හේතුවෙනි. වත්මන් නව ලිබරල් ධනවාදී ක‍්‍රමය තුළ අධ්‍යාපනය අධ්‍යාපනික අරමුණුවලින් විතැන් කොට වෙළඳ අරමුණු හා ලාභ අරමුණු වෙත යොමු කොට ඇත. මෙවැනි ප‍්‍රශ්න උද්ගත වන්නේ සිසුන්ට අධ්‍යාපනය ලබා දීමේ අරමුණට වඩා වැඩිපුර ලාභ ලැබීමේ අරමුණු ප‍්‍රමුඛත්වයට පැමිණීම හේතුවෙනි. එබැවින් ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන මෙම අර්බුදකාරී තත්වය සමස්ත සමාජ අර්බුදයකම කොටසක් බව අපගේ අදහසයි.

දැනටමත් පාසල් පද්ධතියේ සම්පත් හා ගුරුවරු සම්බන්ධයෙන් පවතින විෂමතාව නිසා අසාධාරණයට ලක්ව සිටින සිසුන් විභාග ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවීම නිසා තවදුරටත් අසමානතාවට ලක්වීම වළක්වන ලෙසද විභාග ක‍්‍රියාවලියේ සිදු වන අක‍්‍රමිකතාවන්ට වහා විසඳුම් සොයන ලෙසද ආණ්ඩුවට බල කරන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින අපි අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කරන වත්මන් සමාජ ආර්ථික උපාය මාර්ගය වෙනස් කර අධ්‍යාපනය සමාජ දායාදයක් කිරීමේ හා සියල්ලන්ගේම මූලික මිනිස් අයිතියක් බවට පත් කිරීමේ අරගලයකට ප‍්‍රවේශ වන ලෙසද ඉල්ලා සිටිමු. "

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...