Sunday, November 10, 2013

අධ්‍යාපනය කියන්නේ සමාජ ආයෝජනයක්‌.

 ශිෂ්‍යත්ව විභාගය පහෙන් හතටද? වෙනස්‌ විය යුත්තේ විභාගයේ ව්‍යහයයි  වසර නොවේ 


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ මහාචාර්ය දයා අමරසේකර
 මේ අධ්‍යාපනයෙන් දෙමවුපියන්ට  දරුවො නැති වෙනවා!






අධ්‍යාපනය සමාජ විද්‍යාත්මකව ඔබ දකින්නෙ කොහොමද?

දැනුම, රැකියා කුසලතා සංස්‌කෘතික අගයන්, සම්ප්‍රේෂණය කිරීම නැත්නම් බෙදා හැරීමට මඟ පෙන්වන සමාජ ආයතනය අධ්‍යාපනයයි. ඉංග්‍රීසි භාෂාවේ education කියන පදය හැදිල තියෙන්නේ ලතින් භාෂාවේ educare යන වචනයෙන්. ඒකෙ තේරුම පිටතට මතු කර ගැනීම' කියන එකයි. මේ මතුකර ගන්නේ මොනවද, දක්‍ෂතා, ආකල්ප, වටිනාකම් සහ උරුමයන්. ඒ නිසා තමයි ටැන්සානියාවේ හිටපු ජනාධිපතිවරයෙක්‌ වන ජුලියස්‌ නියරේරේ කීවේ 'සමාජයේ රාශිභූතව පවතින ප්‍රඥාව හා ඥානය එක පරම්පරාවක සිට ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීමෙන් සමාජයේ අනාගත පුරවැසියන් වනු පිණිස හා සමාජය පවත්වා ගෙන යැමට සුදුසු පරිදි ළමා පරපුර සකස්‌ කිරීමේ ක්‍රියාවලිය අධ්‍යාපනයයි කියල.
මේ ක්‍රියාවලිය සමාජය තුළ ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද

c අධ්‍යාපනය වෙනුවෙන් පුද්ගලයා කරන කාලය, ශ්‍රමය, ධනය, ආයෝජනය සමාජයට දිගු කාලීනව ප්‍රතිඵල ලැබෙන ආයෝජනයක්‌. අධ්‍යාපනය, පවතින සමාජයේ සංස්‌කෘතික උරුමය බාල පරපුරට පවරා දෙමින් සමාජය සමඟ බැඳෙනවා. එවිල් ඩුර්කයිම් කියන ප්‍රංශ සමාජ විද්‍යාඥයා මේ ගැන බොහෝ පර්යේෂණ කළ කෙනෙක්‌. අධ්‍යාපනය සමාජයට සම්බන්ධ වෙන්නේ පුද්ගලයා හා සමාජ විපර්යකාරකයක්‌ හැටියට. ඉගැන්වීමෙන් ශිෂ්‍යයන් තුළ අංශ තුනක සංවර්ධනයක්‌ ඇති කළ හැකියි. පළමුවැන්න තමා මොළේ ඇති බුද්ධිමත් බව. දෙවැන්න ප්‍රියමනාප හැසිරීම. තුන්වැනි එක තමා මානව බැඳීම. මේ අදහසම මහත්මා ගාන්ධි හිස, කඳ හා කය කියන ත්‍රිත්ව සංකල්පයෙන් පෙන්වා දුන්නා. සමාජයක්‌ හැටියට විශාල වෙනස්‌කම් රාශියක්‌ ඇති කරන්න පුළුවන් අධ්‍යාපනය කියන මාධ්‍යයට. විශාල පිරිසකට සාමූහිකව ඉහළට යැමට අධ්‍යාපනය උපකාරී වනවා නම් ඒ සමාජය වෙනස්‌ කරන ප්‍රධාන ධාවක බලවේගයක්‌ වන්නෙත් අධ්‍යාපනයයි.

අධ්‍යාපනය පුළුල් පරාසයක විහිද යන සමාජ ආයතනයක්‌. එහි ප්‍රධානම ආයතනය පාසලයි. අද අපේ රටේ ප්‍රාථමික පාසල් වැසී යැම ප්‍රබල සමාජ ප්‍රශ්නයක්‌ බවට පත්වෙලා. ගමට ගමේ පාසල අහිමි වෙලා යනවා. මේක සමාජයට දැනෙන ප්‍රශ්නයක්‌ විදිහට හඳුනා ගන්නේ කොහොමද?

විශේෂයෙන් ග්‍රාමීය සමාජයට ලොකු ධනාත්මක බලපෑමක්‌ එල්ල කරන ප්‍රබලම රාජ්‍ය ආයතනය පාසල බවයි මා කියන්නේ. එහෙම නම් එවැනි පාසල් සිය දහස්‌ ගණනක්‌ අවුරුද්දෙන් අවුරුද්ද අපේ පාසල් පද්ධතියට අහිමි වෙලා යනව කියන්නෙ මොකක්‌ද. යම් සමාජ අවශ්‍යතාවක්‌ වෙනුවෙන් බිහිකර ගන්න ආයතනයක්‌ නැති වෙනව කියන එකයි. එහෙම නම් ඒ සමාජ අවශ්‍යතාව ඉටු කර ගන්නෙ කොහොමද? දෙවනුව අපේ රට අපි හඳුන ගන්නෙ ගැමි සමාජයක්‌ ඇති රටක්‌ විදිහට. මේ රටේ මුළු ජනගහනය වන මිලියන විස්‌සෙන් මිලියන දහහතකට කිට්‌ටු ජනතාවක්‌ ඉන්නේ ගම්වල. දුප්පතුන් ලෙස හඳුනාගත්ත මිලියන දහතුනක්‌ තරම් විශාල පිරිසක්‌ ගමේ මිනිස්‌සු බවයි, පර්යේෂණ වාර්තා කියන්නේ. මේ වැසී ගෙන යන්නේ මේ විශාල පිරිසගේ දරුවන් ඉගෙන ගත්ත පාසල්. මේ පිරිසට ඒ නිසාම දැඩි පීඩනයක්‌ ඇති වීම ස්‌වාභාවිකයි. නගරයට දරුවන් යවන්න බැරි පිරිසක්‌ ඉන්න ගම් අපේ රටේ තියෙනවා. ඒ වගේම ගමක පන්සල වගේම පාසලත් ප්‍රජා සංවර්ධනය සම්බන්ධයෙන් හරිම වැදගත් ආයතන දෙකක්‌. ගමකට පාසලක්‌ නැත්නම්, ඒක ගමට තදින්ම දැනෙන්න ඕන. ගමේ නායකයො, ගුරුවරු විදුහල්පතිවරු, ඔක්‌කොම ගමට දුන්න පාසල අද මියගිහින්. ඒකෙ ප්‍රතිඵලය ගම නගරයේ ඉන්න පිරිසකගේ අණසකට යටත් වෙලා පාලනය වෙන එක. අද ගම්වල අපරාධ, මත්පැන්, අපචාර වැඩිවෙලා. ගමට හොඳ නරක කියා දෙන, ගමේ හිටි නායකයො අද ගමෙන් බිහි නොවීම ඊට හේතුවක්‌. පාසල් එකින් එක වැහිල යැමයි ඒකට හේතුව.

අපේ රටේ පාසල් වැසී යැමට බලපා ඇති හේතු මොනවද?

පාසලක වැසී යැම ආරම්භ වන්නේ දිගු කාලීනව. පළමු වසර සඳහා කිසිම ශිෂ්‍යයකු ඇතුළු නොවීමයි මෙහි මූලික අවස්‌ථාව. ඉන් පසුව දිගින් දිගටම එම පාසලේ සිසුන් නැතිවී යැම සිදු වනවා. එතකොට මෙතන තියෙනවා තවත් පැත්තක්‌. ගමේ පාසලට දරුවන් එවීමට අකැමැති විශාල පිරිසකුත් ගම තුළ සිටින බව. එම පිරිස ක්‍රමානුකූලව වර්ධනය වන බව. එහෙම නම් පාසල් වැසී යැම කියන සමාජ ගැටලුවෙ පැති දෙකක්‌ අපිට හඳුනාගන්න පුළුවන්. එකක්‌ ගමේ මිනිස්‌සුන්ට ගමේ පාසල එපා වීම. දෙවනුව ගමේ සිටින නගරයට යා ගන්න බැරි පිරිසකට ගමේ පාසල නැති වී යැම. මේ පැති දෙකම අපිට පෙන්වා දෙන්නේ එකම සමාජීය තත්ත්වයක්‌. ඒක තමා ගම්බද - පිටිසර පාසල් අභාවයට යමින් තියෙනවා කියක එක. මේ නිසා තවත් ගැටලුවක්‌ ඉබේම හටගන්නවා. ඒක තමයි නගරයට යන්න බැරි, ඉගෙනුමට උනන්දුවක්‌ නැති, නූගත් මවුපියන් සිටින තේරුණු දරුවන් ටිකක්‌ ගමේ පාසලේ ඉතිරි වෙනව කියන එක. ඒ පිරිස ගැන කවුරුත් උනන්දු වන්නේ නැහැ. මේ අය ටික කලකින් පාසල හැර යනවා. නුපුහුණු ශ්‍රමිකයක්‌ බවට පත්වෙලා ගම්වල ඉන්නෙ බොහෝ දුරට මේ අයයි.

අද අපේ රටේ තියෙන්නේ නවීකරණය වන වෙළෙඳපොළ ක්‍රමය මගින් හසුරුවන සමාජයක්‌. මේක තවත් පැත්තකින් 'දුවන' සමාජයක්‌. මෙතන හැම දෙයකටම මුදල්මය වටිනාකමක්‌ දෙනවා. අද අධ්‍යාපනයත් එහෙමයි. ඒක මිල අධික භාණ්‌ඩයක්‌. ඒ නිසාම ඒකට ලොකු තරගයක්‌ තියෙනවා. ඒ තරගය ජය ගන්න විශාල පිරිසකට අමාරුයි. ඒක ජය ගන්න අවශ්‍ය මානව භෞතික සම්පත් ඒ අයට නෑ. ගම්බද පාසල්වල තත්ත්වය ඒකයි. නගර සහ උප නගරවල පාසල් සමඟÊබලන කොට ගමේ පිටිසර පාසල්වල විශාල වශයෙන් ගුරු සහ භෞතික සම්පත්වල හිඟයක්‌ පවතිනවා. ශිෂ්‍ය පුටු, මේස, විද්‍යා උපකරණ, කළු ලෑලි, සංගීත උපකරණ, බාල්දි, වතුර, භාජන ආදී මූලික අවශ්‍යතාවන් නොමැති පාසල් රාශියක්‌ අපට හඳුනාගන්න පුළුවන්. ඒ වගේම පරිපාලන ව්‍යqහය තුළින් ග්‍රාමීය පාසල්වලට දක්‌වන අඩු අවධානයත් කැපී පේනවා. ඉතා දුර බැහැර පිටිසර පාසල් ගැන කරන අධීක්‍ෂණය, සොයා බැලීම් ඉතාම අඩුයි. භෞතික සම්පත්, මානව සම්පත්, බෙදාහරිනකොට ඒවා සාධාරණව ඉටු කිරීමේ වගකීම කලාප කොට්‌ඨාස අධ්‍යාපන කාර්යාලවලට තිබෙනවා. ඒත් ඒ වගකීම හරියට ඉටු වන බවක්‌ පේන්නෙ නැහැ. ඒ වගේම මේ ගැටලුවත් එක්‌ක බැඳුණු තවත් දෙයක්‌ තමයි, අපේ රටේ පාසල් යන වයසේ ළමා ජනගහනයේ විශාල අඩුවක්‌ තිබීම. අපේ රටේ ජනප්‍රිය වුණු උපත් පාලන වැඩසටහන් හා පෞද්ගලික පාසල් කරා ආකර්ෂණය වීම මෙයට බලපාන්න ඇති.

අද අධ්‍යාපනයේ කඩාවැටීම ගැන දෙමවුපියන්ගෙ පැත්තෙන් කළ යුතු දේවල් හැටියට ඔබට පෙනෙන්නෙ මොනවාද?

අද ඇත්තෙන්ම පාසලෙන් සිදුවන සමාජානුයෝජනය හරි හැටි සිදු නොවීම පිළිබඳව දෙමවුපියනුත් වගකියන්න ඕන. මීට දශක දෙක තුනකට පෙරත් දෙමාපියන් පාසලෙන් බලාපොරොත්තු වුණ දේ අද සිටින දෙමවුපියන් ඒ විධියටම බලාපොරොත්තු වන්නේ නෑ. තමාගේ දරුවා ඉගෙනුම වගේම බාහිර ක්‍රියාකාරකම්වලිනුත් පිරිපුන් දරුවෙක්‌ කරන්න අද දෙමාපියන් හිතනව අඩුයි. දරුවන්ට වඩා මවුපියන් අද දරුවන්ගේ අධ්‍යාපන තරගයේ කොටස්‌කරුවන් වෙලා. පාසල කියන ආයතනයට වඩා උපකාරක පන්ති බලවත් කියන විශ්වාසය ඇති වෙලා. අනික දරුවන් හුඟක්‌ දුරට පරිගණකය අන්තර්ජාලය වැනි මාධ්‍යවල හිරවෙන්න පටන් ගෙන. මවුපියන් ඒ ගැන දන්නෙ නැතිකම තම දරුවන්ට තේරෙන්නෙ ජීවිතය ගැන තමන් තරම් මවුපියන් දන්නෙ නැති විදියටයි. ඒ නිසාම දරුවන් සහ මවුපියන් අතර සංවාදයත් නැති වෙලා. මේ තත්ත්වය වෙනස්‌ කරන්න පාසලට අද හැකිවෙලා නෑ. දෙමවුපියන් පාසල දිහා බලන විදිහ වෙනස්‌ වන්න ඕන. පාසල සම්පත් මධ්‍යස්‌ථානයක්‌ විදියටයි, එදා අපි දැක්‌කෙ. අද තියෙන්නේ දුවන සමාජයක්‌. ඒකෙ දුවන මිනිසුන්ට පාසල ගැන හිතන්න වෙලාවක්‌ නෑ. හැම දේම සල්ලි දීල කරගන්න පුළුවන්. විභාග පාස්‌ වෙන්නත් සල්ලි වියදම් කරල පුළුවන්. ඒ විදියට විභාග පාස්‌ කරල දරුවො ලොකු මිනිස්‌සු කරන්න දුක්‌ විඳින දෙමවුපියන්ට අන්තිමට ඒ දරුවොත් නැති වෙනවා. මේක තමයි අද අධ්‍යාපනයෙන් කරන්නේ. රටක්‌ හැටියට අපි ඒ ගැන කනගාටු වෙන්න ඕන.

පාසල තුළ ශිෂ්‍යයකු මුල්වරට මුහුණ දෙන තීරණාත්මක පරීක්‍ෂණය 5 වසර ශිෂ්‍යත්වයයි. බොහෝ දෙනෙක්‌ අද මේ විභාගය හඳුන්වන්නෙ ශිෂ්‍යයන්ට තම ළමා කාලය අහිමි වන ප්‍රධාන හේතුවක්‌ ලෙසයි. මේ නිසා 5 වසරේ ශිෂ්‍යත්වය 7 වසරේ පැවැත්වීමට දැන් අවධානය යොමු වී තිබෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

ශිෂ්‍යයකු සිය ජීවිතයේ මුල් වරට මුහුණ දෙන තරගකාරී විභාගය 5 වසර ශිෂ්‍යත්වයයි. වයස අවුරුදු 10 ක දරුවෙක්‌ කෙටි කාලයක්‌ තුළ විශාල දැනුම් සම්භාරයක්‌ එකතු කර ගන්නට යොමු කරවන මේ පරීක්‍ෂණය නිසා දරුවන්ගේ පෞරුෂයට හානිදායක තත්ත්වයක්‌ උදාවෙලා තියෙනවා. මේ ශිෂ්‍යත්ව විභාගය නිසා දරුවන්ට තම ළමා කාලය ගත කරන්න සිදුවෙලා තියෙන්නේ වැඩිහිටියන්ට ඕන විදිහට.

මේ නිසා 5 වසර ශිෂ්‍යත්ව පරීක්‍ෂණය 7 වසරේ පැවැත්වීමට තීරණය කිරීම සාර්ථක විසඳුමක්‌ නෙමෙයි. ළමයකුගේ අධ්‍යාපන කාල පරාසය දෙස බලන විට අද 5 වසර තීරණාත්මක කඩඉමක්‌. 10 - 11 වසර උසස්‌ අධ්‍යාපනයට පිවිසුම් කඩඉම. ඒ අනුව 7 වසර කියන්නෙ අන්තර් මාධ්‍ය තත්ත්වයක්‌. අද 5 වසර ශිෂ්‍යත්වයෙන් අසමත් වන දරුවා ඉහළ අධ්‍යාපන පිවිසුමට ඔසවා තබන්න යාන්ත්‍රණයක්‌ නෑ. පරාජිත දරුවාගේ මානසිකත්වය වෙනස්‌ කරන ක්‍රියාදාමයක්‌ අද නෑ.

මේ ශිෂ්‍යත්ව විභාග රටාවත් දරුවන්ට විශාල මානසික පීඩනයක්‌. ඇතැම් පාසල් 5 ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් සවස්‌ වරුවේත් පංති පවත්වනවා. මේ අතර බොහෝ සිසු සිසුවියන්ට පෞද්ගලික පංතිවලටත් සහභාගි වීමට සිදුවෙනවා. පහ ශිෂ්‍යත්ව විභාගයට ටියුෂන් ලබාදීමේ ක්‍රමයත් පෞද්ගලික ටියුෂන් ලබා දීමේ ක්‍රමයත් විභාගයේ ව්‍යqහයත් වෙනස්‌ නොකර 5 වසරේ ශිෂ්‍යත්වය 7 වසරේදී පැවැත්වූවාට කිසිදු ප්‍රයෝජනයක්‌ නෑ.

1 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...