Saturday, August 24, 2013

මාලඹේ නීත්‍යානුකූල කිරීමට දෙවන ගැසට් පත‍්‍රයත් ළඟදීම ! ආණ්ඩුව හොරු සමග හෙළුවෙන් !

MFSAC
‘‘මේ වන විට ඉතාමත් රහසිගත අයුරින් මාලඹේ SAITM ආයතනයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්ය කියා ගන්නා ආයතනයකට නීත්‍යානුකූලභාවයක් ලබා දීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් යනවා. දෙනෝදාහක් ඉස්සරහා, සමාජයක්ම රවට්ටමින්, මිනිසුන් නොමඟ යවපු ආයතනයක් නීත්‍යානුකූල කරන්නයි ඔවුන් කටයුතු කරමින් යන්නෙ. මේ වෑයම සාර්ථක වුවහොත් හෙට අනිද්දට මුදලට මිනී මරන්න, මංකොල්ල කන්න එහෙමත් ආණ්ඩුවෙන් නිළ වශයෙන් ලයිසන් ලබා ගන්න පුළුවන් වේවි. නිදහස් අධ්‍යාපනය අහෝසි කරලා, අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කරන්න පාලකයන් ඕනෑම ජඩ වැඩක් කරන්න පැකිලෙන්නේ නැති බවට මේක හොඳම උදාහරණයක්.’’

මේ අදහස් පල කළේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා විසින්. ඒ අද දින (අගෝස්තු 24) සවස මරදානේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ (CSR) හිදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව මඟින් සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමින්. එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ඔහු,

මාලඹේ SAITM ආයතනයේ වෛද්‍ය පීඨය ලෙස හඳුන්වමින් මෙය ආරම්භ වූයේ 2009 සැප්තැම්බර් 01 වැනිදා. මෙය ආරම්භ වන්නේම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න උත්සාහ කරලා හත්වරක් ඒ උත්සාහය ශිෂ්‍ය ව්‍යාපාරය අතුළු ප‍්‍රගතිශීලි බලවේගවල අරගල හමුවේ අකුලගන්න සිදු වුණු සමාජයක. ආරම්භයේදීම විශාල වශයෙන් පුවත්පත් දැන්වීම් පල කරමින් එහි පරිපාලකයන් එහෙමත් නැත්නම් උපාධි කඩයේ මුදලාලිලා ප‍්‍රකාශ කරපු ප‍්‍රධාන කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි මෙම ආයතනය රුසියාවේ නිෂ්නි නොව්ගොරොද් වෛද්‍ය ඇකඩමියට අනුබද්ධ ආයතනයක් බවත් එම ආයතනය මඟින් පිරිනමන උපාධිය ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව මඟින් පිළිගන්නා බවත් කියන එක.

මෙය ආරම්භ කරපු දවසේ ඉඳන් මේ හරහා සිදුවන සමාජ අසාධාරණය හේතුවෙන් ඊට එරෙහි අරගලයක අපි නිරත වෙලා ඉන්නවා. මේ වෙද්දී අපිත් එක්ක තවත් බලවේග ගණනාවක් මේ අරගලයට එකතු වෙලා ඉන්නවා. 2010 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවැනි වර පත් වීමෙන් පසු එස්.බී. දිසානායක උසස් අධ්‍යාපන ඇමැතිවරයා විසින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට දැවැන්ත රාජ්‍ය අනුග‍්‍රහයක් ලබා දෙන්න පටන් ගත්තා. ඒ මේ ආයතනය මඟින් සියලූ රාජ්‍ය ආයතන නොමඟ යවලා තිබුණු තත්වයක් ඇතුලේ.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව(ීඛඵක්‍* දිගටම පුවත්පත් දැන්වීම් පල කරමින් එම ආයතනය තමන් පිළිගන්නා බවට කරන ප‍්‍රකාශ අසත්‍ය බව සඳහන් කළා. ඒ වගේම රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති හා නිෂ්නි නොව්ගොරෝද් වෛද්‍ය ඇකඩමියේ අධ්‍යක්ෂවරයා විසින් වෙන වෙනම ලිපි පළ කර තිබෙනවා රුසියාවේ තිබෙන අදාළ විශ්වවිද්‍යාල සමඟ කිසිදු සම්බන්ධයක් නෑ කියලා. ඒ වගේම වෛද්‍ය උපාධියක් ලබා දීමට අවශ්‍ය මූලික සායනික පුහුණුවක් වත් ලබා දීමට ක‍්‍රමවේදයක් මොවුන් සතුව නොමැති තත්වයක් තුළ තමයි දිගින් දිගටම සිසුන් බඳවා ගන්නේ.

මේ වගේ අසත්‍ය ප‍්‍රචාර ගෙනියමින් වසරකට කණ්ඩායම් දෙකක් බැගින් ශිෂ්‍යයන් බඳවා ගෙන තිබෙනවා. එහෙම කරන ලෝකයේ එකම විශ්වවද්‍යාලය මොවුන්. පසුගිය කාලයේ අපි හෙළිදරවු කළා මෙහි උසස් පෙළ අසමත් ශිෂ්‍යයන් පවා වෛද්‍යවරු වෙන්න මුදලට උපාධිය හදාරණ බව. එය සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පත් කළ විශේෂ කමිටුවක් මඟින් සිදුකළ පරීක්ෂණයේ දී පිළිගත්තා. මෙහෙම තත්වයක් ඇතුළේ පවා 2011 සැප්තැම්බර් 29 වැනිදා උසස් අධ්‍යාපන ඇමැතිවරයාගේ අත්සනින් නිකුත් කළ අපූරු ගැසට් පත‍්‍රයක්. එයට අනුව මෙම ආයකනයට මාස 18ක් ඇතුලත සපුරා ගන්න කොන්දේසි 08 ක් දීලා, ඒ පදනම මත මෙය උපාධි ප‍්‍රධාන ආයතනයක් ලෙස නිළ වශයෙන් පිළිගන්නා බවට නිවේදනය කළා. ඒ වගේම රාජ්‍ය  බැංකුවකින් රුපියල් මිලියන 600ක මුදලකුත් ඒ හරහාම ලබා දුන්නා. පුදුම උනන්දුවක්. මෙය තමයි ලංකා ඉතිහාසයේ ‘‘දෙන්නම් කාසි’’ වලට නිකුත් කරපු එකම ගැසට් පත‍්‍රය. නමුත් අදාළ කාලය අවසානයේ මූලිකම දෙයක් වුණු ශික්ෂණ රෝහලක්වත් නොමැති නිසා අදාළ ගැසට් පත‍්‍රය අවලංගුයි. ඒ අනුව මේ වන විට මාලඹේ පෞද්ගලික වෛද්‍ය උපාධි කඩය තවදුරටත් උපාධි ප‍්‍රධාන ආයතනයක් නෙවෙයි.

නමුත් තවමත් මෙය ජනතාව නොමඟ යවමින් පුවත්පත් දැන්වීම් පළ කරමින් ශිෂ්‍යයන් බඳවා ගන්නවා. හංදියේ ඩිස්පෙන්සරියකට තරම්වත් රෝගීන් එන්නෙ නැති, ඔවුන් විසින් පමණක් පෞද්ගලික ශික්ෂණ රෝහලක් කියලා හඳුන්වා ගන්නා ගොඩනැඟිල්ලක් පෙන්වමින් ජනතාව මුලා කරනවා. මේ වන විට මෙම වංචාව තේරුම් ගත් ශිෂ්‍යයන් විශාල ප‍්‍රමාණයක් ඉන් ඉවත් වෙලා කඩුවෙල අධිකරණයේ ඊට එරෙහිව නඩුවක් ගොනු කරලා තියෙන්නෙ. ප‍්‍රශ්නය තමයි මුකුත්ම නැති, රටම රවට්ටපු මේ ආයතනයට ආණ්ඩුව ලබා දෙන සහයෝගය. මේ රටේ අධ්‍යාපන පද්ධතිය මුලූමනින්ම දවස ගාණේ කඩා වැටෙන්න සලස්වන ආණ්ඩුව ‘‘ මාලඹේ’’ වෙනුවෙන් මාරාන්තිකව පෙනී ඉන්නවා. මෙම ආයතනය නීති විරෝධි තත්වයක් ඇතුළේ පසුගිය අප්‍රේල් මාසයේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් ප‍්‍රසිද්ධියේ මෙයට ශිෂ්‍යයන් නම දෙනෙක් ඇතුල් කළා. කවුරු වෙනුවෙන්ද ඔවුන් එහෙම කරන්නෙ? හරිම පැහැදිලියි. අධ්‍යාපනය මුළුමනින්ම වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කරන්න යන ගමනේදී කොච්චර ‘අප්සට්’ වුණත් මෙම ආයතනය රැුක ගන්නවායැයි කියන අධිෂ්ඨානයක මේ රටේ පාලකයෝ ඉන්නවා.

නවතම තත්වය තමයි මේ වන විට ඉතාමත් රහසිගතව අදාළ ආයතනය උපාධි ප‍්‍රධාන ආයතනයක් ලෙස පිළිගැනීම සඳහා ආණ්ඩුව දෙවැනි ගැසට් පත‍්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරමින් සිටීම. මේ වන විට එය එය රහසිගතව මුද්‍රණය කිරීමත් සිදු කරලා. ‘‘අතිවිශේෂ ගැසට් පත‍්‍රයක්’’ ලෙස හඳුන්වමින් ගැසට් අංක 1824/21 යටතේ තමයි මෙය පිටවීමට නියමිත. මේ සිදු කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මුදලට උපාධි විකුණ ගන්න  ඕනෑම තක්කඩියෙකුට ඉඩ හදලා දෙන්න ඊනියා දේශප්‍රේමි ආණ්ඩුවේ තියෙන උවමනාව තමයි මේ පෙන්වන්නේ. හරිනම් මේ සිදු කරලා තිබෙන වංචා අක‍්‍රමිකතාවලට අදාළ ආයතනය සීල් තියලා එහි අධ්‍යක්ෂක මණ්ඩලය අපරාධකරුවන් කියලා නම් කළ යුතුයි. මේ තරම් වංචා, නොම`ග යැවීම් මෙමගින් සිදු කරලා තියෙන්නෙ. අපි මෙයට එරෙහිව අරගල කරනවා. මෙම ආයතනය අහෝසි කරන තුරු අරගල කරනවා. අපි මේ රටේ නිදහස් අධ්‍යාපනයක් තිබිය යුතුයි කියලා හිතන සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ අසාධාරණය තේරුම් ගන්න කියලා. මේ යන්නේ අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ කි‍්‍රයාවලියේ වැදගත්ම පියවරක්. ඊට එරෙහිව අරගලයකට එන්න කියලා, රුපියල් ලක්ෂ හැට හැත්තෑවක් වියදම් කරලා දරුවන්ට උගනවන්න සිදු වෙන ක‍්‍රමයක් එළඹෙනවා දකින්න අකමැති සියලූම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් අපි දිවයින් පුරා සිටින වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා තමන් ලබපු නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් මීට එරෙහිව ක‍්‍රියාමාර්ගවලට පැමිණෙන්න කියලා.

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...