Saturday, December 1, 2012

ලෝකය දකිනු වස් මතුපරපුර උදෙසා පිදෙන බුද්ධි මෙහෙවර

Rajarata University OL Semina
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සහ මහා ශිෂ්‍ය සංගමය එක්ව වාර්ෂිකව සංවිධානය කෙරෙන "ලෝකය දකිනු වස් මතුපරපුර උදෙසා පිදෙන බුද්ධි මෙහෙවර" යන්න තේමාව කොටගත් සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව මෙවරත් ඉතා සාර්ථක ලෙස පැවැත්වින. උතුරු මැද පළාතේ දුෂ්කර පාසල් වල දරුවන් ඉලක්ක කර ගනිමින් මෙම සම්මන්ත්‍රණ වාර්ෂිකව මාලාව පවත්වනු ලබයි

ඔක්තෝම්බර් මස 13 වන දා ආරම්භ වූ මෙමෙ සම්මන්ත්‍රණ මාලාව නොවැම්බර් මස 18 වන දින දකවා පැවැත්වින. මෙහි පළමු සම්මන්ත්‍රණය අනුරාධපුර SOS ළමා ගම්මානයේදී පැවැත්වුණු අතර එයට ළමාගම්මානයේ ජීවත් වන ළමුන් ඇතුළු SOS ළමා ගම්මානයේ ආධාර මත ඉගෙනුම ලබන අනුරාධපුර ප්‍රදේශයේ ළමුන්ද 50කට ආසන්න පිරිසක් සහභාගී විය.

අනතුරුව හොරොවුපතාන රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලයේදී මෙම සම්මන්ත්‍රණ මාලාව දියත් කෙරුණු අතර ඒ සඳහා කහටගස්දිගිලිය, ගලෙන්බිඳුනුවැව, හොරොවුපතාන ආදී දුෂ්කර ප්‍රදේශ වල සිසු සිසුවියන් 200කට ආසන්න පිරිසක් සහභාගී විය. ගණිතය, විද්‍යාව හා ඉංග්‍රීසි යන ප්‍රධාන විෂයන් සඳහා ඉලක්ක ප්‍රශ්න පත්‍ර යොදාගනිමින් දියත් කල මෙමෙ සම්මන්ත්‍රණ මාලාව ශ්‍රීලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසු සිසුවියන් විසින් මෙහෙයවනු ලැබීය. 

 

Friday, November 30, 2012

‘නිවහල් අධ්‍යාපනයක්’ උදෙසා ගුරුතරුව නාට්‍යයේ මග පෙන්වීම.

ජයලත් මනෝරත්න නම් අපේ යුගයේ විශිෂ්ඨ කලාකරුවාගේ  ගුරුතරුව නාට්‍යයේ ‘නිවහල් අධ්‍යාපනයක්’ වෙනුවෙන් කෙරෙන මේ කතිකාව අප සියලු දෙනාට තම තමන් නියෝජනය කරන අන්තයන් පිළිබඳ නැවත සිතන්නට හොඳ අවස්ථාවක් යැයි සිතේ. ගුරු තරුව වේදිකා නාට්‍යයෙන් ජයලත් මනෝරත්නයන් විසින් මිනිසා නොහදා රටක් සදීමෙන් ඇති  පලය කුමක්දැයි සමාජයෙන් ප්‍රශ්ණ කරයි.......!! 
සම්පූර්න නාට්‍ය නැරබීම සදහා මෙතනින්
           
සංවාද සටහන උපුටා ගැනීම ගුරුතරුව නාට්‍යයෙන් :

මුල් ගුරුතුමා : 
ඔන්න ඔය නිසයි මම කියන්නේ .අපි මේ ගත කරන්නේ සංක්‍රාන්ති කාල සීමාවක් කියල.ඒ කියන්නේ යුග දෙකක් අතර.එක යුගයක් මැරෙනව .තව යුගයක් උපදිනව.ඒක තමයි යථාර්තය.නිදහස් අධ්‍යාපනය කියන එක ශ්‍රී ලංකාවේ අපට අමුතුවෙන් හඳුන්වාදිය යුතු විලාසිතාවක් නෙවෙයි.මහාවිහාරය ජේතවනය අභයගිරිය වගේ තක්සලාවලින් ඇරඹි , උතුරු මුල , දකුණු මුල , කපුරු මුල , වාද මුල , ගල්කුළු මුල , විල්ගමුව , මහනෙත්පාමුළ වැනි නිකායානුබද්ධ විද්‍යාතනය ඔස්සේ විකාශනය වෙලා  පැපිළියානේ සුනේත්‍රාදේවී , කෑරගල පද්මාවතී , තොටගමුවේ විජයභා , රයිගම ගණානන්ද වැනි මහා පිරිවෙන් දක්වා පරිනාමය වෙච්චි නිදහස් අධ්‍යාපන රටාවක් හෙළයේ තිබුණා.ඒ විතරක්ද. මේවායින් කලා කෞෂල්‍ය , විද්‍යා විශාරදත්වය , දියදම්වේදය , මානව හිතවාදීත්වය ඈ නන්වන් සිප් සතර හදාරන්නත් අවස්ථාව තිබුනා.

නැටුම් ගුරුතුමා :
මුල් ගුරුතුමා කීවා වාගේ ඒ නිදහස් අධ්‍යාපනය අපෙන් ගිලිහෙන්න පටන් ගත්තේ විදේශීය ආක්‍රමණ ලංකාවට ආවට පස්සේ.අපේ හෙළ හැදියාව , ආගන්තුක සත්කාරය ,  මානව දයාව දඩමීමා කරගෙන හෙල දන මන පරගැති කිරීමේ නිකේතන විදියට මිෂනාරී අධ්‍යාපනික සිප් කරුවන් බිහිවෙන්නට පටන් ගත්තා.

මුල් ගුරුතුමා :
අන්න ඒ ආත්මාර්ථකාමී අධිරදවාදී ආක්‍රමණිකයො තමන්ගේ ආර්ථික සමාජ කළමනාකරණයට අවශ්‍ය කරන මානසික කුලීකාරයො බිහි කරන්න තමයි උන්ගේ භාෂාවෙන් උන්ගේ අධ්‍යාපනය හදාරන්න පුළුවන් සුළු පිරිසකට අවස්ථාව ලබා දුන්නේ

ඉංග්‍රීසි ගුරුතුමා

 එහෙමවත් අවස්ථාවක් ලබා නොදුන්න නම් ද ඉතුරු වෙයි මේ විදියටවත් අධ්‍යාපනය.

මුල් ගුරුතුමා :
ඉතුරු උනා තමයි. අනේ අපේ අර සරණ හෙළයාගෙන් නිදහස් අධ්‍යාපනය ගිලිහිලා .දත් – නොදත් , ඇති- නැති ,හැකි-බැරි ,දග්ධ-විදග්ධ පරතරය තවත් වැඩි වුනා.ගැතිවාදී සුළුතරය වරප්‍රසාදලාබීන් උනා.අපේ ගමේ කොල්ලන්ට නිදහස් අධ්‍යාපනය කනා පල්ලම් ගහන විජ්ජාවක් උනා.

ඉතිහාස ගුරුතුමා

විජ්ජාවක්.විජ්ජාවක්කියනකොට ඉතිහාස ගුරුවරය හැටියට මට මතක් වෙන්නේ සමකාලීනව ඔය විජ්ජාවම පෙන්නපු ඉන්දියාව.1935 දී භාරතයේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ ඊනියා කමිටුවේ සභාපති ඉංග්‍රීසි ජාතික තෝමස් ග්‍රවියෙල් මැකොල් සාමිවරය කිව්වේ මොකක්ද ? පාලකයන් වන අප සහ ලක්ෂ සංඛ්‍යාත වූ රට වැසියන් යා කරන අතරමැදි තෝල්කයන් විය හැකි පිරිසක් , ඒ කිව්වේ ලෙයින් සහ පාටින් භාරතීයන් වූ සංකල්ප , ආකල්ප හා සදාචාරය අතින් ඉංග්‍රීසීන් වන පන්තියක් අප විසින් සැකසිය යුතුය කියල.අපේ පුංචි ලංකාවේ කලු සුද්දො බිහි වුනේ ඔය ආකාරයට නොවේද ?

නැටුම් ගුරුතුමා :

ගැල් කරුවා ගොනා හික්මවන්නේ ගමන යා ගන්න මිසක්කා ගෙරියාසනසන්න නෙවෙයිනේ.ඉතිහාසෙත් ඕව සිද්ධ වෙනවා.

ඉතිහාස ගුරුතුමා

ඉතිහාසය.ආන්න.ඒ ඓතිහාසික පසුබිමේ ඉඳගෙන තමයි ඩොනමෝර් ආණ්ඩු ක්‍රම විවස්ථාව යටතේ ස්ථාපිත රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ගරු අධ්‍යාපන ඇමති වශයෙන් පත් වුනු ආචාර්‍ය ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර ශ්‍රීමතානෝ

මුල් ගුරුතුමා :

ඒ කිව්වේ අපේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහත්තය

ඉතිහාස ගුරුතුමා

සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහත්තය අධ්‍යාපන වරම් පියවරෙන් පියවර කෙමෙන් පීඩිත පන්තිය අතරට විහිදිමේ මහා විප්ලවය ආරම්භ කලේ.

මුල් ගුරුතුමා :

එදා 1944 මැයි තිස් වෙනිදා අධ්‍යාපන සංශෝෂන ආඥ්ඥා පනත මගින් නිදහස් අධ්‍යාපන යෝජනා රාජ්‍ය මන්ත්‍රණ සභාවට අපේ කන්නන්ගර මැතිතුමා ඉදිරිපත් කලේ මෙහෙමයි.තෝම්ස් ග්‍රේ කියන කවියගේ පද හතරකුත් ගායකා කරමින්.මෙන්න මෙහෙම

සංගීත ගුරුතුමිය :

නොයනා හිරු රැස් සිතු ගැබ පතුලට
අගනා මිණි රැස් අඳුරෙම සැඟවෙත
පිපෙනා කුසුමන් වනයෙහි නිම නැත
හමනා සුළඟින් වනයෙම පරවෙත
විකසිත කුසුම් වියළි කතරේ වාතයෙන් මැලවී සුවඳ අහිමි වී යන නයින් ඈත පිටිසරයේ දිළිඳු ගොවි පවුලක පොල් අතු සෙවනේ ඉපදී බුද්ධියේ සහ භාග්‍යයේ එළිය නොලබා නිවී මිලිනවන අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් බිහිකල යුතුය.

නැටුම් ගුරුතුමා :

හැබැයි සී.ඩබ්ලිව්.ඩබ්ලිව් එදා එහෙම කිව්වට මොකද ගස් බැලයන්ට අධ්‍යාපනය දුන්නම ගමේ පොල් කඩන්නේ කවුද කියපු ජාතික වීරයොත් එදා හිටිය.

මුල් ගුරුතුමා :

ඒ ගඩොල් වීරයො.

ඉතිහාස ගුරුතුමා

ගඩොල් කියනකොට එදා කන්නන්ගර උන්නැහේ මෙහෙමත් කියල තියෙනව. “ගරු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකවරුනි.එදා ඔගස්ටස් නිරිඳු පුරසාරම් දෙඩුව .මා එනවිට තිබූ ගඩොලින් බැඳි රෝමය වෙනුවට ඉතිරි කර ආවේ කිරි ගරුඬ රෝමයකි කියල.අන්න ඒ වගේ අපි යන විටත් මිල අධික අධ්‍යාපනයේ මිල බැස්සුවාය, වසා මුද්‍රා තමන ලද පොතක් මෙන් තිබූ අධ්‍යාපනය විවෘත ලිපියක් බවට පත් කලාය,ධනවතුන්ගේ වරප්‍රසාධයක් වූ අධ්‍යාපනය දිළින්දන්ගේ දායාදයක් බවට පත් කලාය කියල උදම් අනන්න පුළුවන් නම් මෙම රාජ්‍ය මන්ත්‍රණ සභව,ඒක කොයි තරම් අගේද  ” කියල

ඉංග්‍රීසි ගුරුතුමා

ඔව් එදා ඒ හිතපු දේ අද ඉෂ්ඨ වෙලා තියවනද කියන එකයි ප්‍රශ්නේ ඉස්කෝලෙ මහත්තයෝ.

නැටුම් ගුරුතුමා :

ඉෂ්ඨ වෙලා නැත්නම් අපි ඒක ඉෂ්ඨ කරගන්න ඕන

මුල් ගුරුතුමා :

කොහොමටත් කන්නන්ගර මහත්තයගේ යෝජනා නිකන්ම සම්මත උනෙත් නෑ.බාධක වැට කඩොළු බොහොමයක් තිබුනා.යන්තම් හරි අත හිත දුන්නේ එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවෙ හිටපු හේරත්නායක , ඊ.ඒ නුගවෙල , එස්.ඒ වික්‍රමසිංහ ආචාර්ය එන් එම් පෙරේරා යන මහත්වරුන් කියන වග මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි….
අපේ මේ උදා රැස්වීම දේශපාලන රැස්වීමක් වුනාදෝ කියල මට හිතෙනව.
කොහොමටත් ඉතින් දේශපාලනයෙන් තොර අධ්‍යාපනයකුත් නෑනේ.

ඉතිහාස ගුරුතුමා

හැබයි අධ්‍යාපනයෙන් තොර දේශපාලනඥ්ඥයො නම් ඉන්නව.
නෑ මම කිව්වේ ඉඳල තියෙනව.

එහි අලංකාර ගීතයක්

යාපනයේ සරසවි සිසුන්ට එල්ල කළ ප‍්‍රහාරයට අන්තරේ විරෝධය

ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට එරෙහිව රජ්‍ය ත‍්‍රස්ත‍්‍රවාදය මුදාහරිමින් සිටින අතර, එම ප‍්‍රචණ්ඩත්වයේ ගොදුරුබිම බවට යාපනය සරසවිය පත්වතිබේ. මේ පිලිබඳ අදහස් දැක්වීමේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (30) දින මරදාන CSR ශාලාවේ පැවැත්වින.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා,

‘‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදියට අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න හේතුව තමයි යාපනය විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂක අංශ මැදිහත්ව සිසුන්ට කරන ලද පහරදීම නිසා මතුව ඇති තත්ත්වය පිළිබඳව තොරතුරු හා ඒ පිළිබදව අපගේ ස්ථාවරය පැහැදිලි කරන්න 28 වෙනිද පෙ.ව. 10.00 ට පමණ යාපනය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් ඉතාමත් සාමකාමී උද්ඝෝෂණයක් සංවිධානය කරලා තිබුණා. ශිෂ්‍යයෝ උද්ඝෝෂණය සඳහා විශ්වවිද්‍යාලය ඉදිරිපිටට පැමිණෙද්දි කල්තියා සූදානම්ව සිටි ආරක්ෂක හමුදා ඉතාමත් සාහසික ප‍්‍රහාරයක් සිසුන්ට එල්ල කළා. එම ප‍්‍රහාරයෙන් සිසුන් 50 කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූ අතර බරපතල තුවාල ලැබූ සිසුන් 10 කට අධික සංඛ්‍යාවක් රෝහල් ගත කළා. මේ වන විටත් සිසුන් තිදෙනෙක් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. එමෙන්ම මෙම පහරදීමෙන් අනතුරුව ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් 4 ක් අත්අඩංගුවට ගෙන පහරදී තර්ජනය කර පසුව නිදහස් කරලා තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට එරෙහිව ආරක්ෂක හමුදා විසින් එල්ල කරන ලද මෙම සාහසික ප‍්‍රහාරය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා විතරක් නෙවෙයි අපි අපේ බලවත් විරෝධය මේ අවස්ථාවෙදී ප‍්‍රකාශ කර සිටිනවා.

යාපනය විශ්ව විද්‍යාලයට අදාළව ආරක්ෂක අංශ මෙවැනි පහරදීමක් කරපු පළමු අවස්ථාව මෙය නෙවෙයි. පහුගිය අවුරුදු කිහිපය ඇතුළෙ දිගින් දිගටම මෙවැනි සිදුවීම් විශාල ප‍්‍රමාණයක් වාර්තා වෙලා තිබෙනවා. අපි දන්නවා උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල දෙමළ පුරවැසියන්ට එරෙහිව විවිධ මැර තර්ජන, පහරදීම්, අතුරුදහන් කිරීම්, ඝාතන විශාල වශයෙන් අඛණ්ඩව සිදුවෙමින් තියෙනවා. පසුගිය වසර 2 ක පමණ කාලයක සිට ආරක්ෂක හමුදාවල ප‍්‍රධාන ගොදුරුබිමක් බවට යාපනය විශ්වවිද්‍යාලය පත්වෙලා. විශ්වවිද්‍යාලය තුළ සිසුන්ට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න තිබෙන අයිතිය මෙන්ම ඒ වෙනුවෙන් පෙනී සිටින්න තිබෙන අයිතිය උල්ලංඝනය කරමින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට සිදුවන අසාධාරණයට අයුක්තියට එරෙහිව කතාකරන්න තිබෙන අයිතිය නැතිකරමිනුයි ආණ්ඩුව මෙවැනි මර්දනකාරී තත්වයක් නිර්මාණය කරමින් තියෙන්නෙ. ආණ්ඩුවේ මෙම මැදිහත්වීම පසුගිය කාලයේ අපි අඛණ්ඩව අත්වින්දා. ගිය අවුරුද්දෙ අග මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයාට පහර දුන්නා. ලේකම් සහෝදරයා ඇතුළු සහෝදරවරු ගණනාවකට අමානුෂික ලෙස පහරදීල තිබුණා. ඔවුන් දින ගණනාවක් රෝහල් ගතවී ප‍්‍රතිකාර ලැබුවා. ඉන් අනතුරුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් ආරක්ෂාව තහවුරු කරන්න කියලා, හමුදා ප‍්‍රහාර නතර කරන්න කියලා. කරන ලද ඉල්ලීම් කිසිවක් තුට්ටුවකටවත් මායිම් නොකළ ආණ්ඩුව දිගින් දිගටම ප‍්‍රචණ්ඩත්වය මුදාහැරියා. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වෙන්නේ සිවිල් හා මානව අයිතීන් යටපත් කිරීමේ පාගාදැමීමේ දේශපාලනයක්. ඒ රාජ්‍ය ත‍්‍රස්තවාදය මිසක වෙන කිසිවක් නෙවෙයි.

ආණ්ඩුවේ මෙම මනුෂ්‍යත්වයට එරෙහි ප‍්‍රජාත‍්‍රන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාර දකුණේ ජනතාව තුළ සාධාරණීකරණය කරන්න රාජ්‍ය මාධ්‍ය යොදාගෙන විශාල උත්සාහයක යෙදෙනවා. ආණ්ඩුව විවිධ පදනම් විරහිත චෝදනා එල්ල කරනවා. මෙම පහරදීම සිදුවූ උද්ඝෝෂණයට පෙර දා රාත‍්‍රියේ ආයුධ සන්නද්ධව ආරක්ෂක හමුදාව විසින් හදිසියේම නේවාසිකාගාර වැටලීමක් සිදුකළා. ඒ මොහොතේ නේවාසිකාගාරවල සිටි ශිෂ්‍යයෝ බලහත්කාරයෙන් නේවාසිකාගාරයෙන් එලියට ඇදලා දාලා පහර දීලා යකා නැටුවා. කාන්තා නේවාසිකාගාරවලටත් හමුදාව බලහත්කාරයෙන් ඇතුළුවුණා. දොරවල් කඩලා ශිෂ්‍යාවන්ගේ කාමරවලට පවා කඩා පැන්නා. ශිෂ්‍යාවන්ගේ හිසට තුවක්කු එල්ල කරලා මරණ තර්ජන කළා. මේකට විරුද්ධව තමයි ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ සාමකාමී උද්ඝෝෂණයක් කරන්න පාරට බහින්නේ. ආණ්ඩුවේ මෙම මැදිහත්වීම ඇතුළේ පේන්නේ ඔවුන් දෙමළ පුරවැසියා, පුරවැසියන් ලෙස නොව වහලූන් ලෙස සලකන බවයි.

ශිෂ්‍යයෝ මහා විරු දිනයට පහන් පත්තු කළා කියලා ඒක ත‍්‍රස්තවාදය යළි ආරම්භ වීමක් කියලා ඒක වලක්වන්න කරපු ත‍්‍රස්ත විරෝධී මෙහෙයුමක් කියාලා මෙම කඩා පැනීම සාධාරණීකරණය කරනවා. අපිට අහන්න තියෙන්නේ පහනක් පත්තු කිරීමද ත‍්‍රස්තවාදය කියන්නේ එහෙම නැත්නම්, ආයුධ සන්නද්ධව නේවාසිකාගාරවලට කඩා පැනලා නිරායුධ ශිෂ්‍යයන්ට පහර දීලා, ඔලූ පලල අත පය කඩල මරණ තර්ජන එල්ල කරපු එකද, සාමකාමී උද්ඝෝෂණ වලට පහර දෙන එකද ත‍්‍රස්තවාදය කියන්නේ කියලා. මේකට තමයි රාජ්‍ය ත‍්‍රස්තවාදය කියල කියන්නේ. මේවා මුලින්ම උතුරෙදී අත්හදා බලනවා. පස්සේ දකුණටත් ගේනවා. ඒ තමයි මේ ආණ්ඩුවේ හැටි ත‍්‍රස්තවාදී ලේබලය අලවලා ආණ්ඩුව විසින් සිදුකරන ඕනෑම ජාතියක ප‍්‍රචණ්ඩත්වයක් සමාජය ඉදිරියේ සාධාරණීකරණය කරන්න ආණ්ඩුව දක්ෂයි. අද මේ වෙන්නෙත් ඒකම තමයි.

අපි අහනවා හමුදාවට මොකක්ද තියෙන අයිතිය නේවාසිකාගාරවලට ඇතුල්වෙලා මේ ජාතියේ පහරදීම් කරන්න. දෙමළ සහෝදර සිසුන්ගෙ කෙහෙවලූ වලින් ඇදගෙන ගිහිල්ලා පහර දෙන්න ඔලූ පලන්න, අතපය කඩන්න. උතුරට ගෙනාවයි කියපු නිදහස මේකද? ආණ්ඩුවට පුලූවන්ද ඔවුන්ගේ මිය ගිය ඥාතීන් පිළිබඳ සැමරීම හෝ මතකයන් නැතිකරලා දාන්න. ආණ්ඩුවට පහන් පත්තුකරන එක නවත්තන්න පුළුවන් වෙයි. ඒත් මිනිසෙක් තවත් මිනිසෙක්ව සැමරීම නවත්වන්න පුළුවන්ද? ඒ නිසා දෙමළ ජනතාවට යුද්ධයෙදි මිය ගිය තමන්ගේ මිනිස්සු සමරන්න අයිතියක් තියෙනවා. ඒ මැරිලා තියෙන්නේ දෙමළ ජනතාවට, දෙමළ ශිෂ්‍යයාට කොහෙන් හෝ ඥාතීත්වයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ හිතවතෙක්, සහෝදරයෙක් මැරුණට පස්සේ සමරන්න තියෙන අයිතිය උල්ලංඝනය කරන්න කාටවත් පුළුවන්ද? සොහොන් කොත් විනාශ කරලා, සැමරුම් නවත්තලා සටන් කරන එක නතර කරන්න පුළුවන්ද? ඒකද ත‍්‍රස්තවාදය නවත්වන්න ආණ්ඩුවේ ක‍්‍රියා පිළිවෙත. සාමයේ මාවත මේකද? ආණ්ඩුව අද රටේ හදන්නේ ජනතාවට සාමයෙන්, සහජීවනයෙන් ජීවත්වෙන්න පුළුවන් වට පිටාවක් නෙමෙයි. තවදුරටත් පීඩිත ජනතාව ප‍්‍රපාතයට ඇද දමන ආකාරයට තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. ත‍්‍රස්තවාදය කියන එක අහම්බෙන් පැනනැගුනේ නෑ. දෙමළ ජනතාව මුහුණ දීපු ප‍්‍රශ්න තිබුණා. ඒ ප‍්‍රශ්න අදත් විසඳිලා නෑ.

ඕනෑම ආකාරයක ප‍්‍රචණ්ඩත්වයක්, බලපෑමක්, පහරදීමක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදියට අපි ප‍්‍රතික්ෂේප කරනවා. අපි ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නත් සටන් කරන්නත් සූදානම්. ප‍්‍රචණ්ඩත්වය මුදාහරින්නේ සිංහල ජනතාවටද, දමිළ ජනතාවටද, මුස්ලිම් ජනතාවට කියන එක අදාල නෑ. ප‍්‍රචණ්ඩත්වය නම් මුදාහරන්නේ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාද නම් දියත් වෙන්නේ ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව අරගල කරන්න අපි සූදානම්. එතකොට කොටි සංවිධානය ප‍්‍රචණ්ඩත්වය මුදාහරිද්දී ඒක වැරදියි, ආණ්ඩුව ප‍්‍රචණ්ඩත්වය මුදා හරිද්දී ඒක හරි කියල පිළිගන්න කියලද අපට කියන්නේ. කවුරු කළත් එය ත‍්‍රස්තවාදය නම් ඒක වැරදියි. දැන් ක‍්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුවේ ත‍්‍රස්තවාදය. එය නැවත දෙමළ ජනතාව ත‍්‍රස්තවාදය වෙතයි තල්ලූ කරන්නේ.

ජනතාවගේ ප‍්‍රශ්නවලට පිළිතුරු නැති වෙද්දි ජනතාව ආණ්ඩුවට එරෙහිව නැගී සිටිද්දී එම ජනතා පීඩනය සමහන් කරන්න ජනතාවගේ අවධානය වෙනතක හරවන්න තමයි මෙවැනි පොදු සතුරෙක් ගොඩනගන්න උත්සාහ කරන්නෙ. දෙමළ ජනතාවට තිබෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතික සහ දේශපාලන ප‍්‍රශ්නවලට පිළිතුරු සොයන්නේ නැතිව ඒවා හමුදාවේ තුවක්කු බටේ ඔලූවට තියලා විසදන්න පුළුවන් කියලා හිතනවානම්, ඒක කවදාවත් සිද්ධවෙන දෙයක් නෙමෙයි. ඒක නැවතත් ජන ඝාතක යුද්ධයකට අත වැනීමක්. ඔබ හිතන්න ඔබ බිත්තියට හේත්තු කරලා ඔබේ පපුවට තුවක්කුව එල්ල කළොත්, ඔබට ඉතිරි වන විකල්පය මොකද්ද මරාගෙන මැරීම හැර වෙන විකල්පයක් තියෙයිද අද ආණ්ඩුව දෙමළ ජනතාව එතනට ඇදල දාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? තවත් ජන ඝාතක යුද්ධයක් නේද? මෙවැනි ඒකාධිපති, ජන ඝාතක ආණ්ඩුවලට පැවැත්මක් තියෙන්නේ ආගම්වාදය ඇතුළේ, ජාතිවාදය ඇතළේ විතරයි. පීඩිත ජනතාව එකිනෙකා මරා ගන්නා තත්වයට ඇද දැමීම ඇතුළේ පමණයි. අද බොදුබල සේනා වැනි ආගමික මූලධර්මවාදී කල්ලි පිටුපස ඉදගෙන ආණ්ඩුව ක‍්‍රියාත්මක කරන්නෙත් ඒකම තමයි. මෙම තත්වය පරාජය කරන්න සමස්ත සමාජයම පෙළ ගැසිය යුතුයි.

එනිසා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපි සියලූම ආකාරයේ ජාතිවාදී, ආගම්වාදී තත්වයන්ට එරෙහි වන අතරම ඕනෑම ආකාරයක ප‍්‍රචණ්ඩත්වයක් මනුෂ්‍යත්වයේ නාමයෙන් ප‍්‍රතික්ෂේප කරනවා. ඒ වගේම යාපනය විශ්වවිද්‍යාලයට හා දෙමළ ජනතාවට එල්ල වන හමුදාවේ මැර ප‍්‍රහාර, රාජ්‍ය ත‍්‍රස්ත‍්‍රවාදය නවත්වන්න කියල අපි ආණ්ඩුවට බලකරනවා.