Sunday, December 9, 2012

ටියුෂන් කුමට මෙලෙසේ!

මේ නම් මහා විපරීතයකි. අඩියෙන් අඩිය බිහිවන පෞද්ගලික උපකාරක පන්ති ඉදිරිපිට පෙළගැසෙන දරුවන් ශීඝ්‍රයෙන් ඉහළ යන අයුරු කියාපාන්නේ මහා අරුමයකි. ඉවක්‌ බවක්‌ නොමැතිව පෞද්ගලික උපකාරක පන්ති කරා හතිලමින් දිවයැම හැර ඉන් පරිබාහිර කටයුතුවලට ඉඩහසරක්‌ දරුවන්ට නැතැයි කිවහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ. ඒ තරමටම මේ ව්‍යාපාරය විසින් දෙමාපියන් මෙන්ම දරුවෝද ආක්‍රමණය කරනු ලැබ සිටිති. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ඊට අනුගත වීම හැර වෙනත් විකල්පයක්‌ නොමැති තත්ත්වයක්‌ නිර්මාණය කරනු ලැබ තිබේ. විභාගයම හැර වෙනත් අත්දැකීමක්‌ දරුවන්ට නැත. විභාගයම සිහිකරනු විනා ඉන් මෙපිට නිදහසක්‌ දරුවන්ට නැත.

උපකාරක පන්තිවලට සහභාගි වීම නිසා සිසුන් ශාරීරික හා මානසික ගැටලුවලට මුහුණ පාන බව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අනාවරණය කළේ පසුගිය 2010 වසරේ කරන ලද සමීක්‍ෂණයකිනි. සිසුන් උපකාරක පන්තිවලට සහභාගි වීම පිළිබඳ තත්ත්වය, ඒවාට යොමු වීමට බලපාන හේතු සාධක සොයා බැලීම හා ඒ ආශ්‍රීතව ඇති වන සමාජ ගැටලු හඳුනා ගැනීම වැනිs අරමුණු හයක්‌ ඉලක්‌ක කරගනිමින් කරන ලද එම සමීක්‍ෂණයේ ප්‍රතිඵල එතරම් සමාජය උකහාගත් බවත් නොපෙනේ.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මෙම සමීක්‍ෂණය සඳහා පළාත් හතක දිස්‌ත්‍රික්‌ක පහළොවක්‌ පුරා විහිදුණු පාසල් අසූවක සිසුසිසුවියන් යොදාගෙන තිබිණි. මෙම පාසල් අසූවට ජාතික පාසල් තිහක්‌ ද ඇතුළත් විය.

10 වැනි ශ්‍රේණියේ සිසුහු 2578 ක්‌ද, 12 වැනි ශ්‍රේණියේ සිසුන් 884 ක්‌ද සමීක්‍ෂණයට ඇතුළත් වූහ. මීට අමතරව උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි ඉන් සමත් වූ සිසුන් 310 ක්‌ පාසල් 135 ක්‌ නියෝජනය වන පරිදි සමීක්‍ෂණයට යොදා ගැනිණි. එමෙන්ම 10 වැනි ශ්‍රේණියේ හා උසස්‌ පෙළ පන්තිවල උගන්වන ගුරුවරුන් 513 ක්‌ හා දෙමව්පියන් 220 ක්‌ ද ඒ සඳහා ඇතුළත් කරන ලදී.

සමීක්‍ෂණයට අනුව දහවැනි ශ්‍රේණියේ විෂයයන් සඳහා වැඩියෙන්ම උපකාරක පන්ති පවත්වා ඇත්තේ රජයේ පාසලක ඉගැන්වීමේ යෙදී සිටින ගුරුවරුන් වන අතර එම ප්‍රතිශතය දළ වශයෙන් සියයට 65 ඉක්‌මවා ඇත. උසස්‌ පෙළ පන්ති පිළිබඳ අවධානය යොමු කිරීමේදී උපකාරක පන්ති පවත්වන රජයේ ගුරු ප්‍රතිශතය සියයට 40 ක්‌ පමණය.

මීට දෙවසරකට පෙර පැවැත් වූ මෙම සමීක්‍ෂණය අනුව දහවැනි ශ්‍රේණියේ සිසුන් මාසයකට එක්‌ විෂයක්‌ සඳහා රුපියල් 325 ක්‌ පමණද උසස්‌ පෙළ වාණිජ විෂයධාරාවේ සිසුන් එක්‌ විෂයකට රුපියල් 425 ක්‌ පමණද විද්‍යා විෂයධාරවල සිසුන් එක්‌ විෂයකට රුපියල් 775 ක්‌ පමණ ද වැය කරන බව අනාවරණය විය. කෙසේ වුවද තනි තනිව හෝ අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක්‌ වෙනුවෙන් ගුරුවරුන්ගෙන් ඉගෙන ගැනීමේදී ශිෂ්‍යයකු වැය කළ යුතු මුදල මීට වඩා බෙහෙවින් වැඩි බව සමීක්‍ෂණ වාර්තාව පෙන්වා දුන්නේය. එපමණක්‌ නොව 10 වැනි ශ්‍රේණියේ සියලුම සිසුන් විෂයයන් දහයක්‌ සඳහා මාසයකට රුපියල් දශ ලක්‍ෂ 255 ක්‌ අවම වශයෙන් උපකාරක පන්ති සඳහා වැය කරන අතර උසස්‌ පෙළ වානිජ විෂය ධාරාවේ සිසුන් මාසයකට වැය කරන මුදල රුපියල් දශලක්‍ෂ 74 කි. කලා විෂය ධාරාවේ සිසුන් මාසයකට රුපියල් දශලක්‍ෂ 98 ක්‌ හා ජීවවිද්‍යා විෂයධාරාවේ සිසුන් මාසයකට රුපියල් දශ ලක්‍ෂ 89 ක්‌ද වැය කරන බව එම වාර්තාවේ සඳහන්ව ඇත. තවද උසස්‌ පෙළ ගණිතය විෂය ධාරාවේ සිසුන් මාසයකට වැය කරන මුදල රුපියල් දශ ලක්‍ෂ 68 ක්‌ වේ. රුපියල් දශලක්‍ෂ ගණනින් වැය කරන මේ මුදල් උපකාරක පන්ති ගාස්‌තු පමණි. 

උපකාරක පන්තිවලට සහභාගි වීමේදී සිසුන්ට ඇතිවන ගැටලු සම්බන්ධයෙන්ද කරුණු රැසක්‌ මෙම සමීක්‍ෂණ වාර්තාව අනාවරණය කර තිබිණි.

එනම්, උපකාරක පන්තිවලට සහභාගි වීමේ අතුරු ප්‍රතිඵල ලෙස ප්‍රේම සබඳතා අපචාර ක්‍රියා, මත්ද්‍රව්‍ය භාවිතය වැනි සමාජ සංස්‌කෘතික විරෝධී ක්‍රියාවන් සඳහා සිසුන්ට ඉඩ ලැබීම, අතවරවලට තර්ජනයන්ට ගොදුරු වීම මෙන්ම සිසුන් ශාරීරික හා මානසික ගැටලුවලට මුහුණ පෑම වැනි කරුණු ඒ අතර වෙයි. නිසි වෙලාවට ආහාර නොගැනීම, සමබල ආහාර නොගැනීම හා ක්‍ෂණික ආහාරපානවලට යොමු වීම නිසා සිසුන් ශාරීරික රෝගවලට ගොදුරු වන බවද විවේකය හා විනෝදය අඩුවීම, අධික තෙහෙට්‌ටුව මෙන්ම දැඩි මානසික පීඩනයකින් කල්ගත කිරීම නිසා සිසුන් මානසික රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩි වෙමින් පවතින බවද අනාවරණය කළ කොමිෂන් සභා වාර්තාව මෙම සියලු ව්‍යසනයන්ට හේතුව විභාග උන්මාදය හා ඒ සඳහා උපකාරක පන්තිවලට සහභාගි වීම බව පැහැදිලිව පෙන්වා දුන්නේය.

සමීක්‍ෂණයෙන් පසුව කොමිෂන් සභාව එළඹි අතිශය වැදගත් නිගමන රැසක්‌ද වෙයි. සමස්‌ත අධ්‍යාපන ක්‍රියාවලියම විභාග කේන්ද්‍රීය වූ රටාවකට යොමු වීම උපකාරක පන්තිවලට සහභාගි වූ පමණින්ම විභාගවලින් සමත් නොවන බව තහවුරු වීම ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක නොවීම නිසා පාසල්වල ගුරු විෂමතාව වර්ධනය වීම ඒ අතරින් ප්‍රධාන වෙයි.

සියලුම පාසල් අධීක්‍ෂණය හා නියාමනය සඳහා ශක්‌තිමත් ව්‍යqහයක්‌ ඇති කර පාසල් අධීක්‍ෂණය සඳහා වැඩපිළිවෙළක්‌ සකස්‌ කළ යුතු බවට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා කරන්නේ ඉහත සියලු කරුණු සැලකිල්ලට ගනිමිනි. අධීක්‍ෂණ ක්‍රියාවලියට සම්බන්ධ වන සියලුම නිලධාරීන්ට විධිමත් අධ්‍යාපන නායකත්වයක්‌ ලබාදීමට කටයුතු කිරීම මෙන්ම සාමාන්‍ය පෙළ සිසුන් බහුතරයක්‌ උපකාරක පන්තිවල සහාය අපේක්‍ෂා කරන ගණිතය විද්‍යාව හා ඉංග්‍රීසි විෂයයන්හි ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය අධීක්‍ෂණය සඳහා වැඩි අවධානයක්‌ යොමු කිරීමද තවත් යෝජනාවක්‌ ලෙස ඉදිරිපත් කර ඇත. ගුරුවරුන්ගේ සේම සියලු අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ගේ කාර්ය සාධන ඇගයීමට අදාළ ක්‍රමවේද සකස්‌ කිරීම හා ඇගයීම ක්‍රියාත්මක කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමද අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා කළ කොමිෂන් සභාව විධිමත් ලෙස පාසල්වල ගුරු තුලනය කළ යුතු යෑයිද කීවේය.

තවද විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයට විකල්පය වශයෙන් දැනට යෝජිත පාසල් පාදක ඇගයීම් වැඩපිළිවෙළ ක්‍රියාවට නැගීම ද එහි තවත් යෝජනාවකි.

මීට අමතරව පාසල, දෙමාපියන්, පළාත් සභා හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය, ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුව හා උපකාරක පන්ති ගුරුවරුන් ඉටුකළ යුතු කාර්යන් ද වෙන් වෙන් වශයෙන් සඳහන් කර තිබේ.

2010 වසරේදී සමීක්‍ෂණය කර පසුගිය වසරේදී (2011) එළිදක්‌වන ලද ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ මෙම වාර්තාව පිළිබඳ යළිත් ලියා තබන්නට සිදුවූයේ කලිsන් සඳහන් කළා සේ ශීඝ්‍රයෙන් බිහිවන උපකාරක පන්ති ක්‍රියාවලියේ අවිචාරවත්භාවය කදිමට දිස්‌වෙමින් පවතින නිසා ය. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ද, සාමාන්‍ය පෙළ හා උසස්‌ පෙළ විභාග තරමට ම තරගකාරීය. සාමාන්‍ය පෙළ හා උසස්‌ පෙළ විභාග සඳහා පවතින උපකාරක පන්ති ක්‍රියාවලිය 6, 7 හා 8 දක්‌වා ද, ශිෂ්‍යත්වය ඉලක්‌ක කර ක්‍රියාත්මක උපකාරක පන්ති ඉන් ඔබ්බට ගොස්‌ මේ වන විට 2, 3 හා 4 වැනි ශ්‍රේණිවල ඉංග්‍රීසි හා ගණිතය වැනි විෂයයන් කරා ද නැඹුරු වී ඇති අයුරු පුදුම එළවන සුළුය.

මෙම වසරේ අවසාන වාරයේ නිවාඩුව දැන් ආරම්භ වී තිබේ. ලබන වසරේ (2013) හය වැනි පන්තියට ඇතුළත් වන දරුවන් සඳහා මේ මොහොතේ සිටම ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව පමණක්‌ නොව සිංහල, විෂයය සඳහා ද උපකාරක පන්ති ආරම්භ කර ඇත. ලබන වසරේ තුන්වැනි පන්තියට පා තැබීමට අපේක්‍ෂා කරන දරුවන් සඳහා ද ඉංග්‍රීසි හා ගණිතය විෂයයන් වෙනුවෙන් උපකාරක පන්ති ආරම්භ කර තිබේ. එක්‌ දෙමවුපියෙක්‌ සිය දරුවා මේ උපකාරක පන්තියකට ඇතුළත් කළ විට සෙසු දෙමවුපියෝ ද සිය දරුවන් ඇදගෙන ඒ කරා ඇදෙති. මෙලෙස පන්ති ආරම්භ කරන බහුතරයක්‌ ප්‍රාථමික ශ්‍රේණිවලට උගන්වන රජයේ පාසල්වල ගුරුවරු ය. පවතින ක්‍රමය හමුවේ උපකාරක පන්ති රැල්ලට හසුනොවන දෙමවුපියෙක්‌ දරුවෙක්‌ වෙත්නම් ඒ ඉතා අල්ප පිරිසකි. ඒ සුළු පිරිසට වුව ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇත. ඇතැම් ගුරුවරු පන්ති කාමරයේදී ඉගැන්වීම් නොකරති. එමගින් ඔවුන් අපේක්‍ෂා කරන්නේ තමන්ගේ උපකාරක පන්තියට දරුවන් ගෙන්වා ගැනීමය. උපකාරක පන්තියේදී සිය හැකියාව, දක්‍ෂතාව මුදලට අලෙවි කරන එවැනි ගුරුවරු පාසල් පන්ති කාමරයේදී නිදි කිරමින් මාසය අවසානයේ ජනතාවගේ බදු මුදලින් වැටුප් ද ලබති. උපකාරක පන්තියට නොපැමිණෙන දරුවා කෙතරම් දක්‍ෂයකු වුවත් පන්ති කාමරයේදී කිසිදු සැලකිල්ලකට භාජන නොකෙරේ. සිදුවන්නේ කොන් කිරීමය. දරුවන්ගේ මනස කඩා ඉහිරවන්නේ මනස හැදිය යුතු ගුරුවරයාම වීමේ අභාග්‍යයට මුහුණ දීමට දෙමවුපියන්ට සිදුවී ඇත. එවැනි අවස්‌ථාවන්හිදී දෙමවුපියන් අපේක්‍ෂා කරන්නේ දරුවා මානසිකව ඇද වැටීම වැළැක්‌වීම සඳහා උපකාරක පන්තියට අකැමැත්තෙන් හෝ යොමු කරවීමය. මේ තත්ත්වය සාමාන්‍යකරණය වී තිබෙන බවට දෙමවුපියෝ සාක්‍ෂි දරන්නාහ.

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් වසර කිහිපයක්‌ උපකාරක පන්ති කරා දරුවන් යෑවීමේ අරමුණ වන්නේ ජනප්‍රිය පාසලකට ඇතුළත් කර ගැනීමය. ඒ වෙනුවෙන් නමක්‌ දිනූ රජයේ පාසල්වල ගුරුවරු ඕනෑ තරම් සිටිති. ද්විතීයික පාසල් දහසේ සංවර්ධනයෙන් පසු ශිෂ්‍යත්ව විභාගයට ඇති තරගය අඩු වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය වරින් වර ප්‍රකාශ කළේය. එහෙත් ඒ සංවර්ධනය පිළිබඳව ද එතරම් විශ්වාසයක්‌ තැබිය නොහැකි වන්නේ 'මහින්දෝදය' විද්‍යාගාරයට පමණක්‌ මුල්ගල් තබමින් යන ඉබි ගමන නිසාය. මේ වාතාවරණය හමුවේ දෙමවුපියන්ට ද කළ හැකි යමක්‌ නැත. එහෙයින් ශිෂ්‍යත්ව උපකාරක පන්ති කරා දරුවන් යොමු කිරීමට දෙමවුපියන්ට සිදු වී තිබේ. ඒ අතර දෙවැනි, තුන්වැනි, හතරවැනි ශ්‍රේණියේ දරුවන්ට ඉංග්‍රීසි හා ගණිතය යන විෂයයන් සඳහා උපකාරක පන්ති ආරම්භ කරන ගුරුවරයාගේ අරමුණ කුමක්‌ ද? එහි ඇත්තේ 'බිස්‌නස්‌' ඉලක්‌කයකි. මේ 'බිස්‌නස්‌' මානසිකත්වය විසින් දෙමවුපියන් වෙත එල්ල කරනු ලබන පෙළඹවීම අවසානයේ කරකැවෙන්නේ දරුවන් දෙසට ය. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ 'පොතට පමණක්‌ සීමා වෙයව්' යන විධානය දරුවන් මත පටවනු ලැබේ. විභාගය පමණක්‌ ඔවුන්ගේ මනසට කාවැදීමට ඉඩ හරිනු ලැබීමේ කනගාටුදායක ඉරණම හමුවේ දරුවෝ අසරණ වෙති. නිවාඩු කාලයක්‌ උන්ට නැත. කෙළිදෙළෙන් ගත කළ යුතු ඒ වටිනා කාලය උපකාරක පන්තියේ දිය කර හැරීමට ඔවුන්ට සිදුවෙයි. එමෙන්ම 6. 7, 8, ශ්‍රේණිවල දරුවන් ද උපකාරක පන්ති සඳහා යොමු කිරීමේදී දෙමවුපියන් දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය. පවතින රැල්ලට ගසාගෙන නොයන දෙමවුපියන්ට සිය දරුවන්ගේ වටිනා ජීවිත කාලය පොත පතටම පමණක්‌ නොව ජීවිතයට අත්‍යවශ්‍ය වෙනත් ගුණාංගයන් උකහා ගැනීම වෙනුවෙන් යොමු කිරීමට හැකි වනු ඇත.

මීට දෙවසරකට පෙර ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව කළ සමීක්‍ෂණය අනුව උපකාරක පන්ති සඳහා දෙමවුපියන් ගෙවමින් සිටි රුපියල් දශලක්‍ෂ ගණන අද වන විට දෙගුණ වී ඇතිවාට සැක නැත. එසේ නම් දෙමවුපියන්ට දැරීමට සිදුව ඇති බර සුළුපටු නොවේ. කොමිෂන් සභාවේ යෝජනා ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මැළි වන තාක්‌ උපකාරක පන්ති දඬුඅඬුවේ සිර වීමට දරුවන්ට සිදු වෙයි. උසස්‌ පෙළ විෂයයන් හි කොටස්‌ සාමාන්‍ය පෙළ විෂය මාලාවට ඇතුළත් කරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මීට පෙර කිහිප වරක්‌ ම ප්‍රකාශ කර තිබිණි. උසස්‌ පෙළ විෂය කොටස්‌ සාමාන්‍ය පෙළ විෂය මාලාවට ඇතුළත් කරන ලෙස යෝජනා කර තිබුණේ ද උපකාර පන්ති ඔස්‌තාර්ලා පිරිසකි. ජාතික අධ්‍යාපන ආයතනයේ ද මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක්‌ ම පැවැත්විණි. එහෙත් ජාතියේ වාසනාවට එය ක්‍රියාත්මක නොවීය. ක්‍රියාත්මක වූයේ නම් සාමාන්‍ය පෙළ සිසුන් දැනට යන උපකාරක පන්තිවලට අමතරව තවත් විෂයයන් තුනක්‌ සඳහා උපකාරක පන්ති සොයා ගත යුතුව තිබිණි. උපකාරක පන්ති ඔස්‌තාර්ලා පිරිසකගේ වුවමනාව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක්‌ අධ්‍යාපන අමාත්‍යාංශයට තිබූ බව නම් පැහැදිලිය. එම අවශ්‍යතාව පසෙකලා කොමිෂන් සභාවේ යෝජනා ක්‍රියාවට නැගීම සඳහා අමාත්‍යාංශය දැන්වත් අවධානය යොමු කළ යුතුය.

හිඟ වැටුප්, උසස්‌ වීම්, විටුප් විෂමතා ඉවත් කිරීම වැනි ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් ප්‍රධාන පෙළේ ගුරු වෘත්තීය සංගම් මේ වන විට සටනක්‌ ආරම්භ කර තිබේ. පසුගිය 4 වැනිදා සංකේත වැඩ වර්ජනයක නිරත වූ ඔවුහු ලබන වසරේ නව පාසල් වාරයේදී සිය සටන තීව්‍ර කිරීමට සූදානමින් සිටිති. එම ඉල්ලීම් සම්බන්ධයෙන් අපට ගැටලුවක්‌ නැත. හිමි විය යුතු දේ හිමි කර දීම බලධාරීන්ගේ වගකීමක්‌ හා යුතුකමක්‌ ද වෙයි. එමෙන්ම උපකාරක පන්ති ව්‍යාපාරයේ රජයමින් දෙමවුපියන් දරුවන් අසරණ කරන සිය සගයන් පාලනය කිරීමේ වගකීමක්‌ ද ගුරු සංගම්වලට තිබිය යුතුය. දෙලක්‍ෂ විසිදහසකට අධික ගුරුවරුන් අතරින් උපකාරක පන්ති මෙහෙයවන්නේ සුළු පිරිසක්‌ බව අපි දනිමු. වගකීම විසිකර මුදල් පසුපසම පමණක්‌ හඹා යන ඒ පිරිස පාලනය කිරීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව කර ඇති යෝජනා ක්‍රියාත්මක කරන්නැයි බලකිරීමට ගුරු සංගම් සූදානම් ද යන ප්‍රශ්නය අප සතුව පවතී.

සිය කාලය, ශ්‍රමය කැප කරමින් මුදල් පසෙකලා මේ රටේ දුවා දරුවන්ට සිප් සතර දෙන අත්‍යන්තයෙන් ම දෙවිවරුන් වන් ගුරුවරු දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ පාසල් පද්ධතියේ වෙත්. ඔවුන් වෙනුවෙන් අපේ ගෞරවය පුද කරමු. උපකාරක පන්ති මෙහෙයවන සුළු පිරිසක්‌ නිසා ඒ ගෞරවය ද කෙළෙසී යනු දැකීමට රිසි නොවෙමු.


නිලන්ත මදුරාවල-divaina

2 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...