මේ කතාව මතක් වුණේ පසුගිය දවසක අනාවරණය වුණු පුවතක් නිසා. මේ පුවත තමයි උතුරේ පාසල්වල දරුවන්ට සිංහල භාෂාව උගන්වන්න හමුදා නිලධාරීන් යොදවන්න තීරණය කර තිබීම.
උතුරේ දරුවන්ට සිංහල භාෂාව උගන්වන්න හමුදා නිලධාරීන් !
ඔව්! කාරණය ඇත්තක්. කිලිනොච්චිය, තුනුක්කායි, මුලතිව් කියන ප්‍රදේශවල පාසල් එකසිය තුනක් ඒ සඳහා දැනටමත් තෝරාගෙන අවසන්. මේ වෙද්දි කලාප අධ්යක්ෂවරුන් ලිඛිතවම දැනුවත් කරලයි තියෙන්නෙ. අදාළ හමුදා නිලධාරීන්ට කාලසටහන් ලබා දෙන ලෙස. ගුරු ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරල මේ දිනවල සිද්ධ වෙන්නෙ හමුදා නිලධාරීන් ගුරු වෘත්තියට ඇතුළත් කරන එකයි.
දැන් ඔබට ප්‍රශ්න කරන්න පුළුවන් ඇයි හමුදා නිලධාරියෙක්ට ගුරුවරයෙක් වෙන්න බැරිද කියල. නමුත් අප ඉදිරියේ ඇති ප්රශ්නය වනුයේ හමුදා නිලධාරියාගේ මෙම ගුරු භූමිකාව කුමක් අරබයාද යන්නයි.
යුද්ධය අවසන් කළ බව කියා වසර තුනකට අධික කාලයක් ඉක්මවා ගොස් තිබුණත් උතුරට නිදහස හිමි වෙලා තියෙනවද? දෙමළ ජනතාව ඒ නිදහස භුක්ති විඳිනවද? හමුදා මුරපොළවල් , කඳවුරු වෙනුවට සිවිල් පරිපාලනයක් වෙනුවෙන් උතුර නිදහස් කර තියෙනවද? ඒ 9මාර්ගය අලුත් වුණාට උතුරු ජනතාවගෙ හද ගැස්මේ තිගැස්ම වෙනස් වෙලා තියෙනවද?
දකුණට අනුව උතුර නිදහස්ය. ඒත් ඒ නිදහස් උතුර නිදහස් නම් තවමත් පැහැර ගැනීම් සිදු වෙන්නෙ ඇයි? සාක්ෂි මකාදැමුණු ඝාතන සිදු වෙන්නෙ ඇයි? එල්ටීටීඊ සාමාජිකයන් යැයි ලේබල් කරමින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කඳවුරු තුළට ගාල් කරන්නෙ ඇයි? නම් ලැයිස්තු හදමින් තරුණයන් ලුහුබඳින්නෙ ඇයි? නිවෙස් ඉදිරිපිට නිවැසියන්ගෙ ඡායාරූප ප්‍රදර්ශනය කර තබන ලෙස අණ කරන්නෙ ඇයි? කඳවුරු එකින් එක ඉවත් කරනවා වෙනුවට දිනෙන් දින හන්දියක් හන්දියක් ගාණේ කඳවුරු, මුරපොළවල් ඇති කරන්නෙ ඇයි? පහනක් දැල්වීමක් වරදක් ලෙස සලකමින් විලංගු දමන්නෙ ඇයි?
තත්වය මෙසේ පවතිද්දී තමයි උතුරේ පාසල් වෙත ‘සිංහල’ උගන්වන්නට යැයි කියමින් හමුදා නිලධාරීන් ගුරු පුටුවේ හිදුවන්නෙ. අදටත් හමුදා නිලධාරීන් ඉදිරියේ උතුරේ මිනිස්සුන්ගෙ සියලඟ වෙවුලවන තත්වයක් තුළ ගුරුවරුන් ලෙස හමුදාව?
හමුදා විනයට අනුගත සොල්දාදුවන් ඉගැන්වීමට යෙදවීමෙන් සිදුවන්නේ උතුරේ දරුවන් අධ්‍යාපන විනයට යොමු කිරීම නොව හමුදා විනයට බලහත්කාරයෙන් යටත් කිරීමය. විචාරවත් නිර්මාණශීලී මිනිසුන් හමුදා විනය තුළ බිහි වන්නේ නැති බව පැහැදිලිය. නමෝ විත්තියෙන්ම ‘Yes sir’ ‘OK sir’ ලා විනා ‘No sir’ කියන අභියෝගාත්මක මිනිසා හමුදා විනයක් තුළ කිසි කලෙක බිහි වන්නේ නැහැ. ඇත්ත ඒකයි.
අනෙක් පසින් පසුගිය කාලය තුළ හමුදා නිලධාරීන් වෙත එල්ල වූ අපරාධ, අපචාර චෝදනා ද සුළුපටු ඒවා නොවන බව ඔබ දන්නවා. අයෙක් ස්ත්‍රී අපචාරයකට චෝදනා ලබද්දී තවත් අයෙක් ළමා අපචාරයකට චෝදනා ලබනවා. හමුදා භටයන් යොදවාගෙන කැලෑ කැපුවාට, වැව් හෑරුවාට, නගර මධ්‍යයේ උද්‍යාන හැදුවාට, ඒවායේ මල් හිටෙව්වාට වසර තිහක මිලිටරි මානසිකත්වය ඇති ජීවිත සාමාන්‍ය ජීවිතය වෙත නැවත කැඳවීම පහසු නැහැ. ආරක්ෂක බලධාරීන් ඔවුන්ගේ එම ජීවන ගැටලුවට පිළියම් ලබාදෙනු වෙනුවට කරන්නේ එම මානසිකත්වයෙන් වැඩ ගැනීමට සැලැසුම් කිරීමයි. එනම් විරුද්ධවාදීන් මර්දනයට යෙදවීමයි. එහිදී සොල්දාදුවන් හා ජනතාව යන දෙගොල්ලම මර්දනකාරී යාන්ත්‍රණයේ ගොදුරු බවට පත් වෙනවා.
යුද්ධයක් පැවැති සමයේත් ඉන් පසුවත් මිලිටරි සපත්තුවට පෑගී, පොඩි වී සිටින මිනිසුන්ට නැවත නැවතත් දල්වන්නෙ රතු එළිම නෙවෙයිද?
මෙහිදී තවත් විශේෂ කරුණක් වන්නේ මේ මිලිටරි ආඥාදායකත්වය උතුරට පමණක්ද යන්නයි. මේ වන විට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා සිටින ශිෂ්‍යයන්ට හමුදා කඳවුරු තුළ පුහුණුවක් ආරම්භ කර අවසන්. නමට ‘නායකත්ව පුහුණුව’ වුණාට වැඬේ ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියන්න දැන් රටම දන්නවා. ශිෂ්‍යයො අත-පය කඩාගෙන ආබාධිත වෙනවා විතරක් නෙවෙයි මරණයේ ගොදුරක් බවටම පත් වුණා. මේ විදියට හමුදා කඳවුරු තුළ කෙරෙන නායකත්ව පුහුණුව, පෞරුෂ වර්ධනය කුමක්ද?
විදුහල්පතිවරුන් වෙත ‘කර්නල්’ තනතුරු ප්රදානය කිරීමත් මේ හා බැඳුණු තවත් විශේෂ කාරණයක්. එහිදීත් විදුහල්පතිවරුන්ටත් හමුදා පුහුණුවකට යටත් වෙන්න සිද්ධ වුණා. අන්තිමට විදුහලට ආවේ කර්නල් නිල ඇඳුමෙන් සැරසුණු ‘කර්නල් විදුහල්පතිතුමා.’ විදුහල්පතිවරයාගේ සිට ශිෂ්‍යයා දක්වාම මොකක්ද මේ කරන්න හදන මිලිටරි බලපෑම.
එපමණක් නොවෙයි විශ්වවිද්‍යාල වෙත හමුදාව මැදිහත් වීම දිනෙන් දින ඉහළ යමින් තියෙනවා. එක පැත්තකින් ශිෂ්‍යයන් ත්රස්තවාදීන් විදිහට ලේබල් කරනවා. අත්අඩංගුවට ගන්නවා. ඔළු පළනවා. මේ හැම මොහොතකම මිලිටරි සපත්තුව එල්ල වෙන්නෙත් අධ්‍යාපන අයිතිය විතරක් නෙමෙයි මිනිස්සුන්ගෙ ජීවත් වීමේ අයිතීන් වෙනුවෙන් හඬ නඟපු ශිෂ්‍යයන්ගෙ පපුවට. අනෙක් කාරණය තමයි උපාධිධාරීන් දහස් ගාණක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලයි, අමාත්‍යාංශවලයි ඇගමැළි කඩද්දි, ඇයි ඉගැන්වීමේ කාර්යය සඳහා හමුදා නිලධාරීන්ම අවශ්‍ය වුණේ කියන එක. ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව උපාධිධාරීන්ව ගුරු සේවයට අනුයුක්ත කිරීමේ වරදක් ඇත්තේම නෑ.
දැනුමින් සමන්විත මානව සම්පතක් සිටිය දී ඔවුන් පසෙකට දමා ලෙෆ්ටිනන්ට්ලා, කර්නල්ලා, බි්රගේඩියර්ලා ගුරුවරුන් ලෙස වෙස් ගන්වන්නට හදන්නෙ බලය වෙනුවෙන් මුළු මහත් සමාජයම මිලිටරිකරණය කිරීම මිස වෙන කුමක් වෙනුවෙන්ද?
ආශිකා බ්‍රාහ්මණ