Monday, October 22, 2012

හිසට පරාල ඇණ ගසා තී‍්‍රමා ඝාතනය කර වසර 24 යි.

Padmasiri thrima withana

2012 ඔක්තෝම්බර් 22 වැනිදාට, එනම් අදට පද්මසිරි ති‍්‍රමා විතාන සොයුරා ඝාතනය කර වසර 24 ක් සම්පූර්ණ වේ. ලක්ෂ ගණනින් සංහාරයට ලක්වූ සමාජයක, පද්මසිරි ති‍්‍රමාවිතාන සොයුරාගේ ඝාතනය සුවිශේෂී වන්නේ ඔහු ජීවිතය පූජා කළේ මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීම උදෙසා වන බැවිනි. 1981 දී රාගම දී ආරම්භ කරන ලද උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ නියමුවකු වූ තී‍්‍රමා අංකුර කවියෙකි. චිත‍්‍ර ශිල්පියෙකි. ඒ හැමටම වඩා ඔහු සැබෑ මිනිසෙක් විය.

     ති‍්‍රමා දකුණේ අම්බලන්ගොඩ කහව ගල්දූව ගමේ දී 1964 මාර්තු මස 01 දින උපත ලැබීය. ඔහුගේ පියා ගාල්ල උසාවියේ භාෂා පරිවර්ථකයෙකු ලෙස සේවය කළේය. මලනුවන් තිදෙනෙකුට හා එක් නැගනියකට වැඩිමහල් සොහොයුරා වූ පද්මසිරි ත‍්‍රීමාවිතාන අහිංසක පවුලක, මවගේ පියාගේ හා සොයුරු සොයුරියන් සිවු දෙනෙකුගේ දහසක් පැතුම් ඉටු කරන්නට සිටි එකම බලාපොරොත්තුව විය. මූලික අධ්‍යාපනය අම්බලන්ගොඩ කහව විද්‍යාලයෙන් හැදෑරූ ඔහු උසස් අධ්‍යාපනය සදහා 1985 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයට තේරීපත් විය. ඔහු බ්ලොම් ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සිටියේය.
    
      ජීවිතයේ දිගුගමන් මඟ වසනාවන්ත සාර්ථක එකක් කර ගන්නට වසර 15 කට ආසන්න කාලයක ප‍්‍රාථමික අධ්‍යාපනය ජයගෙන ජීවිතයේ ප‍්‍රාර්ථනා ඉටු කරගන්නට පා තැබූ බුද්ධියේ තෝතැන්න අවසනාවන්ත ලෙස ජීවිතයේ අවසන් භාගය තීන්දු කරාවි යැයි ඔහු නොසිතන්නට ඇත.

     වර්ෂ 1977 දී බලයට පත් ජයවර්ධන රජය එතෙක් පැවති රාජ්‍ය ඒකාධිකාරී ධනවාදී ආර්ථික ක‍්‍රමය වෙනස් කර විවෘත ආර්ථික ක‍්‍රමය හදුන්වා දෙමින් පොදු මහජන සේවාවන් ක‍්‍රමයන් පෞද්ගලීකරණය කිරීම ඇරඹීය. ඉනික්බිති අධ්‍යාපනය පෞද්ගලීකරණය කරවීමේ අරමුණ ඇතිව 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල සංශෝධන පනත ගෙන එන ලදි. මෙම පනත සම්මත කරගෙන 1978 මාර්තු 29 වන දින උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස තනි අමාත්‍යාංශයක් වශයෙන් තිබූ අමාත්‍යාංශය එතැන් සිට අමාත්‍යාංශ දෙකක් බවට පත් විය. මෙම පනතෙහි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම පිළිබඳ සඳහන් කර තිබුණේ මෙසේය විශ්වවිද්‍යාල කොමිසම් සභාව සභාපතිවරයෙකු හා වෙනත් සාමාජිකයන් හතර දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් සියළු දෙනාම ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය.” මේ අනුව සෘජු ලෙසම විශ්වවිද්‍යාල පද්ධතියට ජනාධිපතිවරයාගේ බලපෑම් අති වී තිබේ.      
මෙලෙස 1978 අංක16 දරණ විශ්වවිද්‍යාල පනත මඟින් නව ප‍්‍රතිසංස්කරණ ඇති කළ පසු එහි 25 වන වගන්තිය යටතේ සැකසූ විශේෂ විධිවිධාන මඟින් අධ්‍යාපන පාඨමාලා පැවැත්වීමේ පිළිගත් ආයතන නිර්වචනය කරන ලදි. මේ අනුව එම ආයතන ලියාපදිංචි කරන ආකාරය, එම ආයතනයන්හී අධ්‍යාපනය සඳහා වන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල, ඒවායේ භෞතික සම්පත්වල පහසුකම් සහ අදාල විභාග, පාඨමාලා ගාස්තු පාඨමාලා වෙනත් ආයතන සහ අනුබද්ධ කිරීම් ආදී සියලූ කොන්දේසි එම විධිවිධාන වල අඩංගු විය. මේ අනුව විශ්වවිද්‍යාල පනතේ පිළිගත් ආයතන ලෙස අර්ථ දක්වා තිබුණේ පෞද්ගලික විශ්වවිද්‍යාල බව සිසුන් සහ ජනතාව තේරුම් ගන්නට විය.

       ඒඅනුව රාගම තලගොල්ලේ පිහිටි රජයේ රෝහලක්, එහි හෙක්ටයාර් 14 ක ඉඩම සමඟ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පවරා දෙන ලදි. තලගොල්ල රෝහල ද වසා දමන ලද අතර රාගම උතුරු කොළඹ මහ රෝහලේ වාට්ටු, රසායනාගාර සහ සේවක මණ්ඩල පහසුකම් මෙම පෞද්ලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ ඉගෙනීම් කටයුතු සඳහා පවරා දෙන ලදි. ඒ 1981 සැප්තැම්බර් 09 වැනදාදාය. මුදලට අධ්‍යාපනය විකිණීම තුළින් නිදහස් අධ්‍යාපනයට මළගම කැඳවීම මේ ක‍්‍රියාවලියේ අරමුණ විය. නමුත් ඊට එරෙහිව ඉමහත් කැපවීමෙන් හා ජීවිත පිරිත්‍යාගයෙන් කටයුතු කරන්නට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සමත් විය. අධ්‍යාපනය වරප‍්‍රසාද ඇති පන්තියට පමණක් සීමා කිරීමට එරෙහිව ශිෂ්‍ය විරෝධය රළ ගසමින් නැඟී ආවේය. පංති වර්ජන සහ විරෝධතා නොකඩවා දක්නට ලැබිණි. 

      මේ ක‍්‍රියාවලියෙන් නිදහස් අධ්‍යාපනයට වන හානිය මනාව තේරුම් ගත් ශිෂ්‍යයන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකත්වයෙන් යුතුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධය පළ කිරීම ආරම්භ කරන ලදි. නමුත් එය ජනතාව අතර පැතුරුණු පළල් විරෝධයක් නොවීය. 1980 වැඩ වර්ජනය පරාජය වීමෙන් පසු සමස්ථ සමාජයම එළඹ සිටි නිද්‍රාශීලීභාවය එයට ප‍්‍රධාන හේතුවක් විය. 1983 දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් තම දෙවන වසර විභාගය සඳහා කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් සමඟ එකම විභාගයකට පෙනී සිටීමට ගත් උත්සාහය වැළැක්වීමට බහුතරයක් සිසූහු පෙළ ගැසුනාහ. ඔවුන්ගේ උත්සාහය වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කොළඹ වෛද්‍ය පීඨයෙන් ස්වායක්ත කිරීම පමණි. නීතිඥ කොල්වින් ආර් ද සිල්වා හා බැටී වීරකෝන් මඟින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් කොළඹ වෛද්‍ය පීඨයේ විභාගයට වාඩිවීම උසාවි නියෝගයකින් නතර කිරීමට ඔවූහු උත්සාහ කළහ. නඩුව විසිවූ අතර අපෑලද පරාජය විය. සිසුන් පන්ති වර්ජනය කර විභාග වර්ජනය කර සිටියහ. 

       ලාංකීය ඉතිහාසයේ කලූ පැල්ලමක් වූ 1983 කළු ජූලිය එළඹියේ මේ අතරය. එමගින් පැණවූ හදිසි නීතිය මඟින් ශිෂ්‍ය සභාව තහනම් වූ අතර කළු ජූලියෙන් පසු එළඹි භීෂණය වෛද්‍ය සිසුන්ගේ අරගලයේ තිබුණු දීප්තිය නිවාලීය. මේ අතර දෙමාපිය සංගමයක් බිහිවූ අතර ප‍්‍රශ්නය විසදීම තමන්ට භාර දී විභාගයට වාඩි වන ලෙස ඉල්ලීම් කෙරිණි. එහිදී වෛද්‍ය සිසූහු ‍‍ෛඑතිහාසික අනුවණකමක් කළහ. දෙවන වසර විභාගය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් සමඟ එකට පැවැත්විණ.

     1987 වසර එළබිණි. එය තීරණාත්මක වසරක් විය. ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් පළමුවරට අවසාන වසර විභාගයට වාඩිවූ වසරයි. ඔවුනට කොළඹ වෛද්‍ය පීඨයේ විභාගයට වාඩිවීමට පීඨයේ හා රටේ පාලකයන් අවස්ථාව සලසා දී තිබුණි. ඒ අනුව අධ්‍යාපන සුදුසුකම් රහිතව මුදලට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අතුලූ වූ ඔවුනට කොළඹ වෛද්‍ය පීඨයේ උපාධිය හිමිකරදීමට ඔවූහු උත්සාහ කළහ. මේ කඩඉම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට පැහැදිළිවම අභියෝගයක් විය. මෙකී උණුසුම වඩාත් තීව‍්‍ර වූයේ 1987 දී අත්සන් කෙරුණු ඉන්දු ලංකා ගිවිසුම මඟිනි. ඊට එරෙහිව මුල්ම වෙඩි මුරය පත්තු වූයේ සරසවි තුළිනි. 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ දා පිටකොටුවේදී සරසවි සිසූහු ගණනාවක් දිවි පීදූහ.

     එම අවසාන වසර විභාගය යෙදී තිබුණේ 1987 ජූලි 30 දිනය. මෙම අභියෝගයට අභීතව මුහුණ දීමට අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව තීරණය කළ අතර ඒ අනුව කෙටි කළකින් බොහෝ දේ සංවිධානය කිරීමට ඔවුන්ට සිදු විණ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහයෝගය ලබා ගැනීමට අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවට හැකි විය. දිවයින පුරා විසිරී සිටින සියළු වෛද්‍යවරුන් හමු වී කරුණු පැහැදිළි කර වෛද්‍ය වැඩ වර්ජනයට ඔවුන් කැමති කරවා ගත හැකි විය. 1987 ජූලි මාසය විරෝධතා මාසය ලෙස නම් කෙරුණු අතර 1987 ජූලි 13 දින වෛද්‍යවරුන්ගේ වැඩ වැරුම ඇරඹිණ.

    රජය ප‍්‍රශ්නය විසදීම පසෙක තබා වෛද්‍යවරුන් මර්ධනය කර වර්ජනය නතර කිරීමට උත්සාහ කළේය. අනවශ්‍ය සේවා නියෝග පනවන ලදි. වෛද්‍යවරුන් රජයේ සේවය අතහැර ගියා සේ සළකා දේපළ රාජසන්තක කරන බවට තර්ජනය කෙරුණි. වෛද්‍ය පීඨයේ සිසුන් රටපුරා ඇවිදිමින් වෛද්‍යවරුන් දිරිමත් කරමින් කටයුතු කළ නිසා මේ තර්ජන වෛද්‍ය වැඩවැරුම නතර කිරීමට ප‍්‍රමාණවත් නොවිණි. ඉතිහාසයේ දීර්ඝතම වැඩවර්ජනය දින 27 කට පසු ජයග‍්‍රහණය පෙනි පෙනී අතහැර දැමුණි. එහෙත් එම වෛද්‍ය වැඩ වර්ජනය වෛද්‍ය ශිෂ්‍ය අරගලයට ලබා දුන් පිටුබලය අපමණය. ඉගැන්වූ පාඩම් බොහෝය. වෛද්‍ය වර්ජනය ඇරඹෙන විට වෛද්‍ය ශිෂ්‍ය අරගලය ඉතා පටු සීමාවන්ට කොටු වී තිබුණි. රජයේ අධ්‍යාපනය පෞද්ගලීකරණ ප‍්‍රතිපත්තියට එරෙහි වනු වෙනුවට කොළඹ වෛද්‍ය පීඨයේ ගෞරවණීය උපාධිය පෞද්ගලික වෛද්‍ය සිසුන්ට ලබා නොදීම එහි අරමුණ විය. සත්‍ය වශයෙන්ම අරගලය ඇරඹිය විය යුතුව තිබුණේ නිදහස් අධ්‍යාපනය රැුක දීමට නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නොතිබිය යුතුය යන්න අවධාරණය කරමිනි. හුදෙකලා වෛද්‍ය වර්ජනය පරාජය වීමෙන් පසු සියලූ දෙනාටම මෙම සත්‍ය පසක් විය ජනතාවට සැකයකින් තොරව බද්ධ විය හැකි ජනතාවාදී සටන් පාඨයක් ඉදිරිපත් වූයේ ඉන් පසුවයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්” යන්න එම සටන් පාඨය විය.

     පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ ඇතුලූ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෝ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යටතේ 40 ලක්ෂයක ශිෂ්‍ය ප‍්‍රජාවගේ අයිතිය රැක ගැනීම වෙනුවෙන් නොපැකිලිව නැගී සිටියහ.

     වසා දැමුනු වෛද්‍ය පීඨ නේවාසිකාගාරයෙන් එළියට පැමිණි තී‍්‍රමා නැවත පිටත්ව ගියේ තම පරපුර මුහුණ දෙන අභියෝගයන්ට පිළියම් සෙවීම සඳහාය. ඔහු රත්නපුර ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ ප‍්‍රධානියෙක් විය ඇතැම් විට ස්වකීය ජීවිතය අහිමි වන බව දැන දැනම ත‍්‍රීමා හිකකඩුවේ සිට රත්නපුරයේ ජනතාව දැනුවත් කිරීම සඳහා නික්ම ගොස් තිබුණි. 

     වෛද්‍ය සිසුන්ගේ අරගලය වසරක් පුරා නොකඩවා ඇදී ආවේය. අරගලය උත්සන්න කිරීම වස් වෛද්‍ය පීඨ සිසුන් වර්ෂ පූර්ණ සංවත්සරයට සූදානම් වූහ. වෛද්‍ය අධ්‍යාපනය නැවතී වසරයි, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්” යන සටන් පාඨය පොස්ටර් ලක්ෂ ගණනින් අතින් ඇද රට පුරා ඇලවීමට වෛද්‍ය සිසුන් ක‍්‍රියා කළහ. 

     කෲර මර්ධනය එළඹියේ ඉන් අනතුරුවයි. ත‍්‍රීමා විතාන සොයුරා, රංජිත් පෙරේරා, ඞී. ඞී. බන්දුවර්ධන යන සොයුරන් සමඟ රත්නපුර බස්නැවතුම් පොල අසලදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැර ගනු ලැබීය. පසුව වද බන්ධනයට ලක් කර එදින රාත‍්‍රියේ දී පුළුස්සා වැල්ලවාය කොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණ වල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් මිලේජ්ච ලෙස මරා දමා තිබුණි. 

      මෙම ඝාතනයේ චෝදනා එල්ල වූයේ සබරගමුව මහ ඇමතිගේ පුත් සුසන්ත පුංචිනිලමේ මහතාටය. මහත් ආන්ෙදාලනයකට ලක් වූ එම නඩුව රත්නපුර අංක 2 මහාධිකරණයේදී විභාග විය. සුසන්ත පුංචිනිලමේ ඇතුළු කීප දෙනෙකුට එරෙහිව අධිචොදනා 13 ක් යටතේ එම නඩුව පවරා තිබුණි. නඩුව අවසානයේ චෝදනා ඔප්පු කිරීමට නොහැකි වූ නිසා චූදිතයෝ නිදහස් වූහ.

    අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ ශක්තිය හා බලය ප‍්‍රදර්ශණය කරවූයේ මෙම ඝාතනයයි. ත‍්‍රිමාගේ මළසිරුර හොර රහසේම නිවසට භාර දී නිහඩව අවසන් කටයුතු කිරීමට රජය උත්සාහ කළහ. එහෙත් වෛද්‍ය ශිෂ්‍ය කමිටුව ඊට එකඟ නොවීය. 

     කොළඹ මහ රෝහලේ වහල මතට නැගුණු වෛද්‍ය සිසු සිසුවියන් ත‍්‍රිමාගේ මළසිරුර ඉල්ලා මාරාන්ති උපවාසයක් ඇරඹූහ. ආණ්ඩුව එයට ද ඇහුම්කන් නොදුන් විට ඔවූහූ සිරුරට පෙට්රල් වත්කර සිය දිවි හානි කර ගැනීමට තැත් කළහ. අවසානයේ දී ආණ්ඩුවට ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියේ දණ නැවීමට සිදු විය. කුඩා පෙට්ටියක බහාලූ ත‍්‍රිමාගේ මෘත දේහය සොවින් කදුළු සැලූ සටන් සඟයන්ගේ කර මතින් වෛද්‍ය පීඨයට රැුගෙන එන ලදි. එයට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත ජන සංඛ්‍යාවක් පැමිණියහ. ආදාහන පෙළහැර කොළඹ තුන්මුල්ල හරහා දිගු ගමනකින් පසු බොරැුල්ල කනත්තට ලඟා විය. අවමඟුලට සහභාගී වූ සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවීය. එය ලාංකීය ඉතිහාසයේ විශාලතම ජන සංඛ්‍යාවක් සහභාගීත්වයෙන් පැවැති අවමඟුල විය. මෙම ඝාතනය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ සංධිස්ථානයක් විය. එම අරගලයේ අනෙක් නියමුවෝ සිය ආදරණීය ශිෂ්‍ය නායකයාට ඔහු ගෙන ගිය අරගලය ජයග‍්‍රහණය දක්වා ඉදිරියට ගෙන යන බවට ශපථ කළහ. නමුත් එය ඝාතක පෙළක ඇරඹුම පමණක් විය. එම අරගලයේ මුල් පෙළ නියමුවන් වූ වෙනුර එදිරිසිංහ, සිසිර කීර්ති ජයවර්ධන, කුමාර කුලතුංග, ලීල් සමරනාත්, සරත් කොල්ලූරේ, නිශාන්ත එදිරිවික‍්‍රම අතුල සේනාරත්න, සුගත් අශෝකා ද සිල්වා යන කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් පැහැරගෙන ගොස් මරා දමන ලදි. 

     රාජ්‍ය භීෂණය වෛද්‍ය ශිෂ්‍ය අරගලයේ පළමු පෙළ නායකයන් සියල්ල අතුරුදහන් කළ ද ඔවුන් විසින් ගොඩනැගූ අරගලය රට පුරා නොනිවී දැල්විනි. ආණ්ඩුව පවත්වාගෙන යාමට නම් වෛද්‍ය ශිෂ්‍ය ප‍්‍රශ්නය විසදිය යුතු විය.

     එබැවින් ආණ්ඩුව සිය පෞද්ගලීකරණ ප‍්‍රතිපත්තිය තාවකාලිකව හකුලා ගනිමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලදි. තවත් රජයේ වෛද්‍ය පීඨයක් දේශයට උරුම කර දීමට වෛද්‍ය සිසු අරගලයට හැකි විය. ඒ කැළණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයයි. 

       ලාංකීය ඉතිහාසය තුළ ශිෂ්‍ය අරගලයක් කම්කරු පන්තිය ඇතුළු පොදු ජනතාව සමඟ බද්ධ වී ඉතාමත් සංවිධානාත්මකව සමස්ථ ශ‍්‍රී ලංකාව පුරාම පැතුරුණු දීර්ඝකාලීන බහු ජන අරගලයක් දක්වා පෙරට ගොස් ජයග‍්‍රහණය අත්පත් කර ගැනීම පිළිබඳව පළමු අත්දැකීම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලය බව සනිටුහන් කිරීමට හැකි වීම, එකී අරගලයට නායකත්වය දී දිවි පිදූ සියල්ලන්ගේත් අරගලයේදී අපරිමිත ධෛර්යෙන් යුතුව කටයුතු කළ සියල්ලන්ගේ ගෞරවය පිණිස වනු ඇත.



අසංග වික‍්‍රමසිංහ
අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවට                                                                                       උපුටා ගැනීම - අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ වෙබ් අඩවියෙනි.





7 comments:

අපගේ ගෞරවනීය ආචාරය

ඔබ අපට වීරයෙකි.

අපගේ ගෞරවණිය ආචාරය....අදත්...සදාත්...!!!

වැදගත් වන්නේ පද්මසිරි ති‍්‍රමා විතාන සහෝදරයා නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් වෙනුවෙන් තම දිවි කුසුම පුදා කල කැපකිරීමයි.

වෛද්‍යවරයෙකු ලෙස සමාජයේ වැජබීමට අවස්ථාව තිබියෙදිත් එය මග හැර ඔහු තෝරාගත් මාවතයි.

මවාපාන පරමාදර්ශ හා කාඩිබෝඩි වීරයන් උලුප්පා දක්වන සමාජයක, මරණය ඉදිරියේත් සත්‍යය වෙනුවෙන් දැඩිව පෙනී සිටි ඔබ, එයින් සමාජයටම ආදර්ශයක් දුන් ඔබ, සැබෑ විරුවෙකි.
සැබෑ පරමාදර්ශයකි.............!!!

වසා දැමුනු වෛද්‍ය පීඨ නේවාසිකාගාරයෙන් එළියට පැමිණි තී‍්‍රමා නැවත පිටත්ව ගියේ තම පරපුර මුහුණ දෙන අභියෝගයන්ට පිළියම් සෙවීම සඳහාය. ඔහු රත්නපුර ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ ප‍්‍රධානියෙක් විය ඇතැම් විට ස්වකීය ජීවිතය අහිමි වන බව දැන දැනම ත‍්‍රීමා හිකකඩුවේ සිට රත්නපුරයේ ජනතාව දැනුවත් කිරීම සඳහා නික්ම ගොස් තිබුණි. අපගේ ගෞරවනීය ආචාරය .............!!

den 2014. eth thawath siyawasak purath nuba namin comment liyawei. e nuba jiwath uneth miya giyeth apita sarasawi bim wala paya gasannata idak hadalamai. NUBEMA MAWATHA PIYA MENA YANNATA THAWATH DASA DAHASAK SARASAWI BIM WALA IPADENU ETHTHA.

මෙම සිසුන් උසි ගැන්වූ ඔවුන්ගේ ගජයන් අද සමාජයේ ඉහල තනතුරු දරති. ඔවුන් බොහෝ දෙනෙකු වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන්ය. ඔවුන් ජීවිතය ඉතා ඉහල ආකාරයට විඳිති. සමහරු ඉන්නේ පිට රටවලය. මිය ගිය සගයන් ගැන අද දුක් වෙන්නේ ගජයන්වත් , පක්ෂ සාමාජිකයන්වත් නොවේ දුප්පත් දෙමාපියන් පමණි. ඔවුන් පිළිබඳව සොයා බලන්නට මේ සහෝදරවරු කිසිවෙකු නැත. අනේ ඒ බව පද්මසිරිලා ත‍්‍රීමා විතානලා , වෙනුර එදිරිසිංහලා , අතුල සේනාරත්නලා , සරත් කොල්ලූරේලා දැන සිටියේ නම් ? ත‍්‍රීමා විතානලා ගේ පරල ඇණ ඔළුවට ගැසූ පුන්චි නිලමෙලා අද ඇමතිවරු වී යෙහෙන් වැජබෙති. සන්ධාන ඇමැතිකම් තිබියදී පවා ජවිපෙට සිසු මරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට උනන්දුවක් නොවිය. සිසුන් අරගලයට තල්ලු කල කුමාර් මහත්තයාලා ඕස්ට්‍රේලියාවෙන් වෛද්‍යවරියක කරකාර බැඳගෙන දැන් හොඳ ගෙවල් දොරවල් යන වාහන ඇතුව පවුල් ජිවිත ගත කරති. පද්මසිරිලා ත‍්‍රීමා විතානලා , වෙනුර එදිරිසිංහලා ,අරගලයට තල්ලු කල සමහරු දැන් පක්ෂයේ පළාතකවත් නැත. ඔවුන් ඒ අතීතය අමතක කොට රතු සළු උනා පිරුවට ඇඳ සිටිති. ත‍්‍රීමා විතානලාට මරණයේ දොරටුව පෙන්වූ සමහරු ධනපති ආණ්ඩුවේ ඔඩොක්කු කුක්කෝය. මෙම සිසුන් ඝාතනය කල මිනීමරුවන් නිදහස්ය. ඔවුන්ව බිලිබෝයිස්ලා කල දෙබිඩ්ඩන් අද සාර්ථක දේශපාලක වියාපාරිකයන්ය. අවසානයේ වැරදුනේ මෙම සිසුන්ට සහ ඔවුන්ගේ පවුලේ උදවියට පමණි.

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...