Wednesday, November 14, 2012

අධ්‍යාපනයේ වත්මන් අර්බුදය - සංවාදය (පේරාදෙණිය සරසවිය)

අධ්‍යාපනයේ අරබුධය යන තේමාව යටතේ වූ විශේෂ සංවාදයක් පේරාදෙණිය සරසවියේදී ලබන 15 දින පැවැත්වීමට නියමිතය.

පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනලද මෙම සංවාදය සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීම බණ්ඩාර සහෝදරයා, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සහ මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි මහතා සහභාගීවීමට නියමිතය.

මෙය නොවැමිබර් මස 15 දින සවස 5.15 ට පේරාදෙණිය සරසවියේ කලාගාරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කොට තිබේ.

Monday, November 12, 2012

කැරකෙන අවන්හල්, පාවෙන අවන්හල්, ආසියාවේ උසම නෙළුම් කුලුන ගැන කතාකරන රටක,ජිවිත පරදුවට තබා ගුරු ගෙදරට යන පාසැල් සිසුන්.

දුවේ නුඹ කවදාක එගොඩ යයිද මේ ගඟේ ! 

හදිසියේම වාගේ නන්දා මාලනියගේ සුගායනීය වූත් හෘදයාංගමය වූත් මධුර ස්‌වරයකින් ලියුම්කරුගේ හදවත කම්පනය වූයේ පසුගිය රාත්‍රියේ දුටු සිහිනයකින් නම් නොවේය. ඒ පසුගිය 01 වැනිදා "දිවයින" පුවත්පතේ මුල්පිටුව මගින් ජනතාව හමුවේ තැබූ ජනතාවාදී රූප ප්‍රවෘත්තියකින් කියෑවුන කඳුළු කතාවක්‌ නිසාය. එම පුවතම පසුගිය දින එක්‌තරා රූපවාහිනී නාලිකාවකද දර්ශන සහිතව විකාශය විය. ඒ හද රිදවන පුවත මේසය.

වැල්ලවාය පතානයාය ගම්මානයේ ජීවත් වන පවුල් එකසියපනහකට අධික පිරිසකට ගම්මානය හරහා ගලා බසින කිරිදිඔය දායාදයකි. එහෙත් එම ගඟෙන් එගොඩ මෙගොඩ වීමට ඔවුන්ට පාළමක්‌ නැත. අවුරුදු හතළිහක්‌ පමණ තිස්‌සේ ඔවුන් ගඟෙන් එගොඩ මෙගොඩ වන්නේ හුළං පිර වූ ටියුබ්වලිනි. මේ දිනවල ඇදහැලෙන ධාරානිපතා වර්ෂාවෙන් කිරිදිඔය දෙගොඩ තලා යන්නේය. එහෙයින් පතානයාය ගම්වැසියන්ට ඔයෙන් මෙගොඩඩ ඒමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති. එහෙත් ඒ ගම්මානයේ දරුවෝ ජිවිත පරදුවට තබා ගුරු ගෙදරට යන්නෝය. 
කාල වර්ණ රුවක්‌ ඇති, කොන්ඩය කරල් දෙකකට ගොතා පොත් මිටිය ළැමට තුරුළු කොටගෙන පාසල් නිල ඇඳුමින් සැරසී හිමිදිරි උදැසනක පාසල් යන මේ දැරිය ඒ සුන්දර චමත්කාර ජනක පාසල් ගමන යන්නේ, සිය මිතුරු මිතුරියන් හා කෙලිකවට සිනහවෙන් හෝ ඔමරි කතාවෙන් යුතුව නම් නොවේ. ඉහළට ගත් හුස්‌ම පොද පහළට දැමීමට පවා බියෙන් බිහිසුණු දිය දහරා මැදින් හුළං පිරවූ ටියුබයකට මැදිවී මරබියේ ගැහෙමින් වයස අවුරුදු දොළහක්‌ පමණ වූ මේ දැරිවියගේ දැසින් රූරා ගලන්නේ අපේ රටට දැන් ඇති එකම ප්‍රශ්නය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් 13 ඉවත්කිරීම පමණකැයි කෑ මොරදෙන දේශපාලන ගෙම්බන්ගේ දැස නොදකින කඳුළුය. දැසට නොපෙනෙන කඳුළුය. මේ අවිහිංසක දියණිය හැඬුවේ ඇයට දින ගණනාවකින් කුසට අහරක්‌ නොවැටුනේ කියා හෝ, පාසල් යැමට අවැසි ඇඳුම් පැළඳුම් පොත පත නොලැබුනේය කියා හෝ, එසේත් නැතිනම් පොඩ්ඩන්ට පුළුවං කියා පෙන්නූ වැඩ කිඩ වලින් තරුවක්‌ වීමට අවශ්‍ය SMS නොලැබීම නිසා හෝ නොවේ. තමන් ජීවත්වන මුළු ගමේම මිනිසුන්ට මේ ප්‍රචණ්‌ඩ ජල ධාරාවෙන් එගොඩ මෙගොඩ වීමට අඩුතරමේ වැල් පාලමක්‌ හෝ ලබා දෙන්නැයි රට කරවන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමිනි. ගමේ අහිංසක මිනිසුන් වෙනුවෙන් ඉකිබිඳ හඬා වැටුන මේ දියණියගේ කඳුළු අපව රාත්‍රියේදී ලැඡ්ජාවට පත් කළේය. කම්පාවට පත් කළේය.

නාගරික හා අර්ධ නාගරික පාසල්වල අකුරු කරනා අපේ දූ දරුවෝ බොහොමයක්‌ එදින රාත්‍රි ප්‍රවෘත්ති විකාශය දුටුවේ නම් (බොහෝ පාසල් දරුවෝ ප්‍රවෘත්ති බලන්නේ නැත.) ඔවුන් විශ්මයෙන් ගල් ගැසීයනු ඇත. මන්ද එක්‌කෝ ගේ දොරකඩටම එන පාසල් වෑන් රථයෙන් හෝ පාසල් බසයෙන් හෝ කිසිම අපහසුවක්‌ නැතිව පාසලේ ප්‍රධාන ගේට්‌ටුව අසලට යැමේ වාසනාව ඇති මේ දරුවෝ කිසිදාක මේ දුක දන්නේ නැත. ඒ දුක දන්නවා නම් සිය ගණනින් ගොස්‌ අල්ලපු වැටේ පාසලේ සිටින තම සගයන්ට ගල්මුල් වලින් පහර දෙන්නේ නැත. විදුහලට අලුතින් පත්ව ආ විදුහල්පතිවරයාගේ මෝටර් රථය පොඩිකර විදුහල්පතිවරයාටද පහර දී මැරයින් සේ හැසිරෙන්නේද නැත.

රටේ අග නගරයට යන අපි 'කොලොම්පුරේ ශ්‍රියාවෙන්" මන් මත්වී මහා සම්භාෂණ මන්දිරයක්‌ අසලින් දිවෙන අලංකාර ඇවිදීමේ, ශරීර සුවතා මංතීරු ඔස්‌සේ ඇවිද යන කල රෙදි ගැළවෙන තරම් ලඡ්ජාවක්‌ දැනුනානම් ඒ දැනුනේ සැබැවින්ම රත්තරං දුවේ, ඒ නුඹ එදා හෙලූ ඒ කඳුළු නිසාය. නොකඩවා නුඹේ දැසින් ගැලූ කඳුළු වැල් නිසාය.

හුළං පිරවූ වාහන ටියුබයකට ගොඩවී නුඹට ඔරවමින් ගොරවමින් වේගයෙන් ගලා බසිනා දිය දහරාවට බියේ පණ ගැහි ගැහී සුදු ඇඳුම තෙමාගෙන, නුඹ ගිය ඒ පාසල් ගමන මුළු රටේම හිස්‌බව අපට ප්‍රත්‍යක්‍ෂ කළේය. පැයට කිලෝමීටර් සියයක වේගයෙන් ඉගිල යාහැකි සුපිරි මාවත් අපට තිබේ. දින 65 න් ඉදිකළ ගුවන් පාලම්ද අපට තියේ. එහෙත් දුවේ නුඹ හඬන්නේ ගමට වැල් පාලමක්‌වත් දෙන්න කියාය.

අනාගත ආසියාවේ ආශ්චර්යය වීමට සිහින මවන රටක, වාර්ෂිකව රුපියල් බිලියන සිය ගණනක මහජන මුදලින් නඩත්තු වන දැවැන්ත ඇමැති මණ්‌ඩලයක්‌ සිටින රටක නුඹ හෙලූ ඒ කඳුළ, බොල් කඳුළක්‌ වන්නේ කෙසේද?

කැරකෙන අවන්හල්, පාවෙන අවන්හල්, ආසියාවේ උසම නෙළුම් කුලුන ගැන කතාකරන අපි, ළඟදීම ඒක පුද්ගල ආදායම ඇ.ඩො. හාරදහස ඉක්‌මවන මිනිසුන් සිටින රටක පුරවැසියන් වෙන සැටි සිහිනයෙන් දකිනා කල, රත්තරං දුවේ ඊයේ රාත්‍රියේදී මා දැස දුටු නුඹේ ඒ කඳුළු බිඳු මහ මෙරක්‌ සේම බර කළේ කිමද? මා දුබල හදවත.

නුඹ හැඬුවේ, නුඹ වෙනුවෙන්ම නොවේය. නුඹ වැනිම නංගිලා මල්ලිලා සේම අක්‌කලා සහ අයියලා ද වෙනුවෙනි. ඡන්ද කාලයට ගඟ හරහා පිහිනාගෙන සරම තෙමාගෙන, නුඹලාගේ අම්මාවරුන්, අප්පාවරුන් වෙතට පැමිණ උන්ගේ දුප්පත් ඡන්දය කොල්ලකාගෙන පලාගිය දේශපාලන ගෙම්බන්ගේ කෙලෙහි ගුණ නොදත්කම වෙනුවෙන් නුඹ හෙලූ කඳුළුය ඒ.

නුඹේ වෙව්ලන කටහඬ තවමත් මා දෙසවන දොaංකාර දේ. නුඹේ කාලවර්ණ කොපුල්තල දිගේ පහළට රූරා ගලා බසින රිදීවන් කඳුළු කැට මගේ ආත්මයට දියකර හරින්නා සේ මට දැනේ. ලෝකයම නොපෙනෙන්නට මම දැස වසාගත්තෙමි. ඈතින් ඇසෙන්නේ නන්දා මාලනියගේ මධුර ස්‌වරයයි. සමාජ හෘද සාක්‍ෂියේ ෙදනීය දොaංකාරයයි. මම ඇයට සවන් දෙමි.

"මිරිවැඩි සඟලක්‌ ඉල්ලා හැඬුවෙමි

පායුග නැති ඔබ දකින තුරා

කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි

නෙත් යුග නැති ඔබ දකින තුරා..."

ජයන්ත විඡේසිංහ දිවයින පුවත් පතට ලිවූ ලිපියක් ඇසුරෙන්

Sunday, November 11, 2012

ඔහුන්ගේ අය - අපගේ වැය 2013

කන්නන්ගර දරුවෝ කාටූන්
අය වැය 2013 ට පසු වදනක් සටහන් කිරීමට මා හට සිත් විය. ඊට ප්‍රධානම හේතුව වනුයේ මෙම අය-වැයට පෙර අප නිරත වූ මහත් වූ උස්සාහයක ප්‍රතිඵල රහිත වීම ය. නැතහොත් එය ව්‍යර්ත කිරීමට මෙම ඊනියා සමාජවාදී හෝ ජනතාවාදී හෝ තමාම සංවේදී යැයි කියාගන්නා ආණ්ඩුව ඉතා පිළිකුල් සහගත අන්දමින් කටයුතු කිරීම යි. ඒ වෙනෙකක් සඳහා නොව ‘අධ්‍යාපනය‘ සදහා දළ ජාතික නිශ්පාධිතනේ 6% ප්‍රමාණයක් හෝ හැකි උපරිම ප්‍රමාණයක් හෝ වෙන් කර ගැනීම සඳහා කරන ලද අරගලයට දැක්වූ ප්‍රතිචාරය යි.

අය-වැය (නැතිනම් ණය-වැය) පසුගිය දා කියවීය. නැතිනම් ආණුඩුවේ කැරැට් මල්ල ලිහා දැමීය. මට දැනුනාවූ ආකාරයට එතන ඇත්තේ වැස්සට හසුවී නරක් වී ගිය කැරැට් ඵලදාවකි. නැතිනම් ජොන්ස්ටන් ගේ ආරක්ෂිත කූඩ සංස්කෘතියට හසු නො වූ වක් විය යුතු ය. එනම් අවසාන වශයෙන් කිව හැක්කේ කැරැට් ද ගෙනත් නැත. සත්ත්‍යවශයෙන් ම එක් මන්ත්‍රීවරයෙක් කියනා පරිදි ඔහුන්ගේ අයත්, අපගේ වැයත් එහි තිබුණි. එය වෙනදා මෙන් සරදියල් ක්‍රමයේ අය-වැයක් ද නොවීය. වචන සියල්ල හමාර විය. සියල්ල සතුටින් විසිර ගියහ. (''සියල්ල" යන වචනයෙන් මා මෙහිදී ආවර්ණය කරනු ලැබුවේ අණ්ඩු පක්ෂයේ මැති ඇමති පිරිස පමණකි) සුපුරුදු පරිදි ජනතාවාදී අය-වැයක් ලෙස ආණ්ඩුවෙනුත්, ප්‍රෝඩාකාරී අය-වැයක් ලෙස විපක්ෂ වලිනුත් අසන්න ලැබිණ. එය තෙවන වර කියවා හමාර කරනතුරු ම මෙය අපට අසන්න ලැබේ වි.නමුත් බහුතරයකින් සැදුම්ලත් මෙම ආණ්ඩුවෙන් මෙන්ම, වර්තමානයේ ඔහුන් විසින් දිගින් දිගටම අනුගමනය කරන ලද පාලන ප්‍රතිපත්ති ගැන විමසිලිමත්ව බැලුවහොත් කිසිම සහනයක් නොලැබෙන බව අප කණගාටුවෙන් හෝ පිළිගත යුතු ය. තවද, අයවැය අවසන් කරමින් ජනපති තම පරම්පරාව (මැදමුලන වලව්ව) ගැන ආඩම්බරයෙන් කතා කිරීය. නමුත් එකී වංශයට එය තමාගේ ද පවුල් උරුමයක් සේ සලකා ඡන්දය දුන් බොහො දෙනෙක් ද අද වංශය කබල්ගානු නො අනුමාන ය.

සභා ගැබේ උණුසුම මැද, ආණ්ඩුවේ අනුමත කිරීමේ නාදය මැද, වික්ෂයේ විරෝධතාවය මැද ගෙන ආ එක සහනයක් මට මෙන්ම බොහෝ දෙනෙකුට හොඳින් මතක සිටිනු නොඅනුමානය.එය අය-වැය හාස්‍යයට ලක් කරනු වස් ජනතාවගේ ලැම්බෝ (Lambo) බඩගින්න හඳුනා ගැනීමකි. ඒ අනුව ඔහුන් රේසිං කාර් සඳහා බදු රහිතව ගෙන්වීමේ නිදහස ලබා දුනි. සභා ගැබෙන් පිටවන විට මධ්‍යෙව්දීන් ට පිළිතුරු දුන් නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ, “දැන් විපක්ෂයට ඇති එකම ප්‍රශ්නය රේසින් කාර් බදු සහනය ද? “ඇත්තෙන්ම විපක්ෂයෙන් පිළිතුරු දුන්නත් නැතත් අප එයට පිළිතුරු දිය යුතු ආකාරයක් ඇත. එනම් ''ආණ්ඩුවට ඇති එකම ප්‍රශ්ණය එය ද යන්නයි'' සංවේදී තාත්තාට, ඔහුගේ පුතාලාට හෝ අනුගාමික ඇමතිවරුන්ට හෝ 'අධ්‍යාපනය' යන වචනය අදාල නොවේ. හුදෙක් එය අපේ ම වචනයක් පමණකි. අප විසින් මනෝරාජිත ලොවක මවා ගත් විද්වතුන්ගෙන් පිරි රටක පැතුම විය. යතාර්ථය එය වුව ද සිදුවන්නේ වෙනකකි. අද රේස් කාර්. තව කලකින් අභ්‍යාවකාශ චාරිකා. අප කිසිදු පැකිලීමකින් තොරව මෙකී සමාජ පද්ධතිය තව දුරටත් පෝෂණය කරමුද? නැතිනම්, නො-ඇසුනාක් මෙන් සිටිමු ද? යහපත් සමාජ පද්ධතියක් ගොඩනැඟිමේ ලා වෙනසක් දැකීමට ඇවැසි නොවේ ද?

දිනෙන් දින පාසල් වැසේ, අධ්‍යාපනය වැනසේ, රෝහල් වල පහසුකම් සහ ඖෂද හිඟවේ, ඳිළින්දා ඳිළිදුමය, රාජ්‍ය ත්‍රස්තවාදය සහ පාතාලය දිනෙන් දින සක්‍රීය වේ, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් ජීවන වියදම සමඟ පොර බඳියි, රාජ්‍ය අංශ දියාරු වේ, නීතිය හොල්මන් වී ඇත, ඝාතන සහ පැහැරගිනීම් රැල්ක් හඹා යයි... මේ කිසිවක් ආණ්ඩුව දන්නේ නැත. නොදන්නේ ද නැත. ඔහුන්ට අපට මෙන් ඒ ගැන කිසිදු විශේෂත්වයක් ද නැත. ඔබට මේ ගැන සිතනවානම් තවත් බොහෝ දේ සිතේවි. ඉදිරි වසරේ මාස කිහිපයක් ගත වන විට නො තේරෙන අයට ද තේරේවි. තව බොහෝ දේ සයිබර් අවකාශයේ අප ඵල කරාවි. එහෙත් පැහැදිලි වෙනසක් නොකරනුයේ නම් හෝ නො වනුයේ නම් හෝ අප දිනෙන් දින ගමන් ගරන්නාවූ මේ ආශ්චර්ය්‍ය, අප සෞරග්‍රහමණ්ඩලය අයත් චක්‍රාවාටය හෙවත් ‘ක්ෂීරපතයේ‘ මධ්‍යයේ පිහිටි කළුකුහරයට හා සමාන වනු නො අනුමාන ය.

අය වැය කියා අවසන්, දැන් ඇත්තේ අපෙන් අය කරගෙන ඔහුන්ට රිසි සේ වියදම් කිරීමට පමණි. මේ සදහා බොහෝ සංදර්ශණ, ප්‍රසංග, චාරිකා, තුටු ප්‍රධානයන්, ප්‍රිය සාද, ඡන්ද, රේස් සහ ක්‍රීඩා ඉදිරි වර්ෂය සඳහාද පෙළ ගැසී ඇත. මේ අනුව පසුගිය කාලය පුරාවටම දිනගන්න උත්සාහ දැරූ සමාජ අයිතිවාසිකම් ද තාවකාලිකව අවසන්. වෘත්තීය සමිති ද තාවකාලිකව නිහඬ විය. නමුත් මෙම පීඩනයන් යලිඳු පැන නඟින බව අප හොඳින්ම දනි. හේතුව තවම මේ සියල්ලටම කිසිදු විසඳුමක් ලැබී නැති බැවිනි. එහෙත් ඉතිහාසය අපට එකම අවස්තාව දෙවරක් ලබා නොදෙනු ඇත. වරෙක වී. අයි. ලෙනින් මහතා අපට මෙසේ කියා ඇත.

“එක්සත් වෙනු, නැතිනම් විනාශ වී යනු. ඉතිහාසය විකල්ප දී නැත.“

අදහස - නිර්මලා මධුශානි ගෙනි