Wednesday, November 21, 2012

පරමාදර්ශී පාසලේ ළමයින්‍ට වතුරත් නැහැ - සුනිල් හඳුන්නෙත්ති හෙළිකරයි

Sunil hadunnetti
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නියෝජනය කරන හෝමාගම ආසනයේ ඇති හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉගෙනුම ලබන ළමයින් සඳහා බීමට ජලය හෝ නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (20) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කර සිටියේය.

මේ වනවිට විවෘත කර බෙහෝ කළක් ගත වන බවත් ළමුන්ද බොහෝ පිරිසක් එම පාසලට යන නමුත් තවමත් එහි ළමයින්ට බීමට වතුර නැතැයි එහිදී ජවිපෙ මන්ත්‍රීවරයා පැවසීය.

එහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා සහ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා අතර ඇතිවූ සංවාදය පහත පළවේ.

මන්ත්‍රීවරයා

"හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාල‍ බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ පරමාදර්ශී පාසල හැටියට කියන්නේ. රෝයල්එකේ ඉන්න ළමයින්ටත් මේකට එන්න කියලා තමයි කියන්නේ. හැබැයි ඒකේ ළමයින්ට බොන්න වතුර නැහැ. වැසිකිලි යන්නවත් වතුර නැහැ. ළමයින්ට බොන්න වතුර ගෙනියන්නේ ගෙවල්වලින්.

ඇමතිවරයා

"ඒක වැරදියි. දැනටමත් ජලසම්පාදන ඇමතිතුමා ජලය සැපයීමට අවශ්‍ය මුදල් වෙන්කරලයි තියෙන්නෙ."

මන්ත්‍රීවරයා

"වෙන් කරනවා කියන එකයි ළමයි ඉස්කොලේ ගිහින් බොනවයි කියන එකයි දෙකක් නේ ඇමතිතුමා. වෙන් කරලා තියෙනවයි කියන එකෙන් ඔයාල පිළිගන්නවා මේ පාසලේ ළමයින්ට තවමත් බීමට වතුර සපයලා නැහැ කියන එක."

Tuesday, November 20, 2012

යලි සරසවි වැසෙන ලකුණු?

දින 100 ක් මුලුල්ලේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආචාර්යවරු අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වුවද මෙවර අයවැයෙන් ඒ සඳහා සැලකිල්ලක් දක්වා නොමැති බවත් අදාළ ඉල්ලිම් දිනාගැනීම සඳහා සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව අරගලයක් දියත් කළ යුතු බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වෙත ඇරයුමක් කර ඇතැයි වාර්තා වේ.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ අත්සනින් යුතු එම ඇරයුම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා වෙත යවා ඇත.

එම ඇරයුම සහිත ලිපියේ සඳහන්ව ඇත්තේ, අයවැයෙන් ලබානොදුන් වැටුප් වැඩිකර ගැනීමේ අරගලය සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද සම්බන්ධ කරගැනීමට තීරණය කර ඇති බවත් ඒ සඳහා සකච්ඡා කිරීමට දිනයක් හා වේලාවක් ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් යලි සරසවි අධ්‍යාපන අඩාලවීමට ඉඩනොදී ගැටලු වලට අදාල විසදුම් ලබාදීමට පාලකයන් යුහුසුලු විය යුතුය.

විභාග දෙපාර්තමේන්තුව අදත් ළමුන් අතරමං කරයි

මෙවර (2012) උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන අතර අද (20) නාට්‍ය හා රංගකරණය සඳහාත් නැටුම් සඳහාත් එම පරීක්ෂණ පැවැත්වේ.

කෙසේ නමුත් කුරුණෑගල මාවතගම ජාතික පාසලේ එම විෂයන් හදාරණ සිසු සිසුවියන්ට එම විෂයන් දෙක සඳහාම එකම වෙලාවක පාසල් දෙකක ප්‍රායෝගීක පරීක්ෂණ සඳහා කැඳවා තිබේ.

ඒ අනුව නැටුම් විෂය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ අද (20) පෙරවරු 09.00ට ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේදී පැවැත්වෙන අතර නාට්‍ය හා රංගකරණය විෂය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ අද එම වේලාවටම ගැට්ටුවාන ප්‍රාථමික පාසලේදී පැවැත්වේ.

මෙම විෂයන් සඳහා ළමුන් විශාල පිරිසක් පෙනී සිටින අතර ඔවුන් මහත් උභතෝකෝටියකට ලක්ව සිටී.

විභාගය ආරම්භවීමට තවත් ඇත්තේ විනාඩි 30ක පමණ කාලයකි. මේ වන තුරුත් මොවුන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසිඳු නිලධාරියේකු හෝ බලධාරියෙකු පෙනී සිට නැති අතර මාවතගම ජාතික පාසලේ එම විෂයන් භාර ආචාර්යවරු ඇතුළු සිසු සිසුවියන් මහත් අසරණතාවයකට පත්ව සිටී.