Friday, September 21, 2012

මේ ක‍්‍රමයට අධ්‍යාපනය උවමනා ඔවුන්ගේ වැඩ කර ගන්න සුවච කීකරු සේවකයින් නිර්මාණය කරන්නත්, විකුණන්න සහ මිලදී ගන්නත් පමණයි

ලලිත් සහ කුගන්ට එල්ල වූ මර්දනයත් ශිෂ්‍ය ව්‍යාපාරයට එල්ල වී ඇති මර්දනයත් අතර පොදු ස්වභාවයක් ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

මර්දනයෙන් තොරව නව ලිබරල් ධනවාදය ක්‍රියාත්මක කළ නොහැකි තැනට පාලකයින් පත්ව ඇති බවද එම පක්ෂය පෙන්වා දෙයි. නීති විරෝධීව අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා වහාම නිදහස් කරන ලෙසද එම පක්ෂය බල කළේය.

අද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය. ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
‘‘පසුගිය දෙසැම්බර් මාසයේ 09වැනිදා ලලිත් සහ කුගන් සහෝදරවරුන් යාපනයේදී පැහැර ගැනීමට සම්බන්ධයෙන් අප හබයාස් කෝපුස් පෙත්සමක් ගොනු කළා. ඔවුන් දෙදෙනා අත්අඩංගුවේ ඉන්නවා කියා කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල විසින් කරන ලද ප‍්‍රකාශයකුත් පදනම් කර ගෙනයි ඒ පෙත්සම ගොනු කළේ. ඒ අනුව යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයේ කාලයක සිට ඊට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත් වුණා. ඊයේ සහ අද දින දෙක, දින දෙකක සැසියක් ලෙස මෙම සිද්ධියට අදාළ සියලු සාක්ෂි විමසා අවසන් කොට අධිකරණයේ තීන්දුව දැනුම් දීමට නියමිතව තිබුණා. නමුත් පොලිසිය විසින් සිදු කළ යුතු කටයුතු පැහැර හැර තිබෙනවා. ඒ නිසා නැවත වාරයක් දින කිහිපයක් සාක්ෂි කැඳවන්න අධිකරණය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන ඔක්තෝබර් මස 18වැනිදා නැවතත් එය විභාගයට ගැනීමට නියමිතයි.

ලලිත් සහ කුගන් සහෝදරවරු පැහැර ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කළ අවස්ථාවේ සිටම පොලිසියේ හැසිරීම සැක සහිතයි. සිද්ධිය ඇසින් දුටු අය පවසනවා, සුදු වෑන් එකකින් ඇවිත් ලලිත් සහ කුගන් පැහැර ගෙන ගිය බව. ඔවුන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය එම ස්ථානයේ දමා ගියා, පසුව පොලිසිය පැමිණ එය රැගෙන ගියා කියා. නමුත් ඊට දින කිහිපයකට පස්සේ පොලිසිය පවසන්නේ කෝවිලක් අසල තිබී යතුරු පැදිය සොයා ගත්තා කියලා. ඒ නිසා ඔවුන් රජයේ ආරක්ෂක අංශ භාරයේ ඉන්නේ, ඔවුන් නීති විරෝධීව රඳවා තබා ගෙන ඉන්නවා කියා පැහැදිලියි.

ලලිත් සහ කුගන් සහෝදරවරු අත්අඩංගුවට ගැනීම වත්මන් නව ලිබරල් ක‍්‍රියාකාරීත්වයට එරෙහි දේශපාලන ක‍්‍රියාකාරිකයින්ට එරෙහි මර්දනයේ අවස්ථාවක්. උතුරේ සහ නැගෙනහිර ආණ්ඩුව විසින් දියත් කරනු ලබන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාමාර්ගවලට ඔවුන් විරෝධය දැක්වූවා. ඒ වගේම නැවත පදිංචි කිරීමේ ගැටලු, අතුරුදහන් කිරීම්, පැහැර ගෙන යාම්, ඉඩම් අහිමි ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් ඔවුන් මැදිහත් වුණා. විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනයා තුළ සිංහල සහ මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් විරෝධයක් ගොඩනැගීමෙන් එහා ගොස් උතුර සහ දකුණ යා කරන පාලමක් ගොඩනැගීමට, උතුරේ සහ දකුණේ පීඩිතයින් ඒකාබද්ධ කිරීමට මැදිහත් වුණා. ඒක තමයි ආණ්ඩුව තමන්ට තිබෙන විශාලම තර්ජනය ලෙස දැක්කේ.

දෙවැනි කාරණය, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පැහැර ගැනීම. ඔහු අත්අඩංගුවට ගන්න පොලිසියට අවශ්‍ය වුණා නම් ඒ සඳහා ඕනෑ තරම් අවස්ථාව තිබුණා, ඒ වගේම පොලිසියට ඒ සඳහා ක‍්‍රමවේදයක් තිබෙනවා.

ඊයේ දහවල් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සරසවි ආචාර්යවරුන්ගේ ගැටලු විසඳන ලෙසත් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන ලෙසත් සත්‍යග‍්‍රහයක් පැවැත් වූවා. සංජීව බණ්ඩාර එම අවස්ථාවට සහභාගි වුණා, ඔහු එතැන රැස්වීමකුත් පැවැත්වූවා. සත්‍යග‍්‍රහය නිසා මගීන්ට බාධාවක් නොවිය යුතුයි කියලා ලබා ගත් උසාවි නියෝගයක් පොලිසිය ගෙනත් පෙන්නුවා. සංජීව බණ්ඩාර අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් තිබුණා නම්, ඒ අවස්ථාවේ අත්අඩංගුවට ගත හැකිව තිබුණා. නමුත් ඔහු බස් රථයකින් ගමන් කරමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සැරසුණු පිරිසක් පැමිණ ඔහු පැහැර ගන්නේ. ඒ නිසා මේක නීති විරෝධී අත්අඩංගුවට ගැනීමක්.

සංජීව බණ්ඩාර අත්අඩංගුවට ගැනීම ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහි මර්දනයේ කොටසක්. පසුගිය කාලයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ක‍්‍රියාත්මක කළ ඉතාම සාමකාමී විරෝධය දැක්වීම්වලට පවා පොලිසිය ඉතාම බරපතළ ලෙස බාධා කළා.

අද වෙන කොට ලංකාවේ අධ්‍යාපනය විනාශයට පත් කරමින් තිබෙනවා. දිනකට පාසල් හයක් බැගින් වැසී යමින් තිබෙනවා. තවත් පාසල් තුන්දහසක් පමණ වැසී යාමේ අවදානමට ලක්ව තිබෙනවා. ඒ වගේම විෂය නිර්දේශ වෙනස් කරමින් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය විනාශ කරමින් තිබෙනවා. 2011වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ප‍්‍රතිඵල නිකුත් කිරීම ආණ්ඩුවේ වරද නිසා වසරකට වඩා ප‍්‍රමාද වුණා. 2012වසරේ උසස් පෙළ විභාගයේ ප‍්‍රශ්න පත‍්‍රවල බරපතළ ගැටලු තිබෙනවා. තවමත් එම උත්තර පත‍්‍ර ඇගැයීම් කටයුතු ආරම්භ වෙලා නැහැ. සරසවි ආචාර්යවරුන්ගේ සහ ගුරුවරුන්ගේ ඉල්ලීම් ලබා දීමට ආණ්ඩුව ක‍්‍රියා නොකරන නිසා ඔවුන් උත්තර පත‍්‍ර බැලීම වර්ජනය කර තිබෙනවා. ඒ නිසා එම ප‍්‍රතිඵල කවදා නිකුත් කරන්න ලැබේවිද කියන්න බැහැ.

සරසවි ආචාර්යවරුන්ගේ වර්ජනය ඔවුන්ගේ වැටුප් ප‍්‍රශ්නයේ සිට අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කිරීම දක්ව පුළුල් පරාසයක පැතිරී තිබෙන්නක්. දැන් ආණ්ඩුව කියන්නේ 6%ක් වෙන් කරන්න බැහැ කියලා. දළ දේශීය නිෂ්පාදනය කියන්නේ මහින්දගේ බූදලයක් නොවෙයි. මේ රටේ ජනතාව වසරක් පුරා තමන්ගේ ශ‍්‍රමය වගුරුවලා තමයි දළ දේශීය නිෂ්පාදනය හදන්නේ. ජනතාව කියන්නේ ඉන් 6%ක් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්න කියලා. 6%ක් නොවෙයි ප‍්‍රශ්නය තිබෙන්නේ, ආණ්ඩුව අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ප‍්‍රවාහනයට ප‍්‍රමණවත් තරම් මුදල් වෙන් කරනවාද කියන එකයි. ප‍්‍රමාණවත් තරම් මුදල් වෙන් කරන්නේ නැහැ.

මිනිස් සමාජයට අධ්‍යාපනය අවශ්‍ය වෙන්නේ, මිනිස් සංහතියේ දැනුම සංවර්ධනය කරන්න, එම දැනුම ඊළඟ පරම්පරාවට ලබා දෙන්න. අධ්‍යාපනයෙන් තමයි ශික්ෂණය ලැබෙන්නේ. ඒ නිසා තමයි පාසල්වල ලියලා තියෙන්නේ විද්‍යා දදාති විනයං කියලා. නමුත් මේ නව ලිබරල් ධනවාදයට අවශ්‍ය එවැනි අධ්‍යාපනයක් නොවෙයි. මේ ක‍්‍රමයට අවශ්‍ය වෙලා තිබෙන්නේ ලාබ ලබන්න පුළුවන්, විකුණන්න සහ මිලදී ගන්න පුළුවන් අධ්‍යාපනයක්. විකුණන්න සහ මිලදී ගන්න බැරි සියල්ල විනාශ කරමින් තිබෙනවා. මේ ක‍්‍රමයට අධ්‍යාපනය අවශ්‍ය වෙන්නේ ඔවුන්ගේ වැඩ කර ගන්න සුවච කීකරු සේවකයින් නිර්මාණය කරන්නත් විකුණන්න සහ මිලදී ගන්නත් පමණයි.

ආණ්ඩුවේ සටන් පාඨය වෙලා තිබෙන්නේ, රැකියාවකට සරිලන උපාධියක් කියන එක. මානව සම්පතට ගැලපෙන ලෙස රටේ ආර්ථිකය හදනවා වෙනුවට රටේ ආර්ථිකයට, පසුගාමීත්වයට සරිලන ලෙස මානව සම්පතේ හැකියාවන් කප්පාදු කරන අධ්‍යාපනයක් මේ පිහිටුවන්න හදන්නේ. මෙහේ සරසවි වහලා ජනාධිපතිවරයා දැන් ඉන්දියාවේ ගිහින් විශ්වවිද්‍යාල විවෘත කරනවා. මේක මහ විහිළුවක්.

ලලිත් සහ කුගන් සහෝදරවරුන්ට එල්ල වූ මර්දනයයි, ශිෂ්‍ය ව්‍යාපාරයට එල්ල වෙලා තිබෙන මර්දනයයි දිහා බැලුවාම ඒ දෙකේ පොදු ස්වභාවයක් පේන්න තිබෙනවා. නවලිබරල්වාදය ක‍්‍රියාත්මක කරන්න තවදුරටත් අන්දලා කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒ නිසා තමයි මර්දනය දියත් කරන්නේ. දේශපාලන ක‍්‍රියාකාරීන්ට එරෙහිව, කම්කරුවන්ට එරෙහිව, ශිෂ්‍යයින්ට එරෙහිව, ධීවරයින්ට එරෙහිව අරගල කරන සියලු බලවේගවලට එරෙහිව මර්දනය දියත් කරන්නේ ඒ නිසා.

මේ තත්වය වෙනස් කිරීම ආණ්ඩුවට එරෙහි සරල විරෝධයකින් කරන්න පුළුවන් එකක් නොවෙයි. රට පුරා ප‍්‍රතිපත්තිමය සංවාදයක් ගොඩනැගිය යුතුයි. හොඳින් හෝ නරකින් නව ලිබරල් ධනවාදය ස්ථාපිත කරන්න දරන උත්සාහයක් තිබෙන්නේ. මහින්ද හිටියත් වෙන කෙනෙක් හිටියත් මේක වෙනත් පරිමාණයකින් කරනවා. මේ වැරදි ගමන් මාර්ගය වෙනස් කර හරි පැත්තට හරවන්නේ කොහොමද? දැන් අවශ්‍ය වෙන්නේ සියලු සටන් මේ ක‍්‍රමය වෙනස් කරන සටනට ඒකාබද්ධ කිරීම. සිසුන්ට, සරසවි ආචාර්යවරුන්ට, ගුරු සංගම්වලට, කම්කරුවන්ට, ගොවීන්ට, ධීවරයින්ට ඇතුළු සියලු දෙනාට අප ඒ සඳහා ආරාධනා කරනවා. එහෙම නොකළොත් අප හැමෝටම සිද්ධ වෙන්නේ වෙන වෙන මේ මර්දනයට ගොදුරු වෙන්න. ඒ නිසා රාජපක්ෂ රෙජීමය වෙනස් කිරීමට පමණක් නොවෙයි මේ පවතින සමාජ-ආර්ථික ක‍්‍රමය වෙනස් කිරීමේ සටනට සියලු සටන් ඒකාබද්ධ කළ යුතුයි.’’

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...