Saturday, December 22, 2012

මිශ්‍ර අධ්‍යාපනයේ නූතන වැදගත්කම


මිශ්‍ර අධ්‍යාපනය අප රටේ අධ්‍යාපනයේ මුල් යුගයේ දක්‌නට ලැබුණත් ක්‍රමයෙන් එය අද විවිධ බලපෑම් නිසා ඈත් වන්නට විය. මේ ඈත්වීම නිසා අද සමාජයේ විවිධ අසම්මත පීඩාවන්ට රට වැසියන් ගොදුරුවී ඇති බව ජනමාධ්‍යය හරහා අප සැමට දැක ගන්නට ඇත. මෙම තත්ත්වයන් නිවැරැදි කර ගැනීමට රජයන් විවිධ උත්සාහයන් ගෙන ආවත් ඒ කිසිවක්‌ විසඳුම් නොවීය. මේ නිසාම සමාජයේ සමතුලිත බවට මිශ්‍ර අධ්‍යාපනය අත්‍යවශ්‍ය බව අද මතයක්‌ ඇති කර එය ක්‍රියාවට නැඟිය යුතුව ඇත.

ඉංග්‍රීසි අධ්‍යාපනයටත්, තොරතුරු තාක්‍ෂණයටත්, පෞද්ගලික පාසල් සහ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භයත් සමග ශ්‍රී ලංකාවේ සියලු ගම් නියම් ගම්වල රජයේ පාසල්වලද විශාල පෙරළියකටත්, දැනුමේ පිපාසයටත් සිසු පරපුර යුග පෙරළියකට ලක්‌ විය. මෙම යුග පෙරළිය කවුරුන් ආරම්භ කළත් අද අධ්‍යාපන ක්‍ෂේත්‍රයම මෙම පෙරළිය සුබවාදීව භාරගෙන ඇත. අලුත් යමක්‌ කිරීම අසීරුය. නමුත් නිවැරැදි දේ කළ යුතුය.

රජය වර්තමානයේදී පිරිමි පාසල් සහ ගැහැනු පාසල් ලෙස වෙන්කර ඉගැන්වීම කාලෝචිතද යන්න විද්වතුන් සාකච්ඡාවට ගත යුතු මේ රටේ ප්‍රධාන කාලීන මාතෘකාවන් විය යුතුව ඇත. එදා සිට අද දක්‌වා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ස්‌ත්‍රි පුරුෂ භේදයකින් තොරව ඉගෙන ගැනීම හා ඉගැන්වීම හොඳනම් පාසල් අධ්‍යාපනය මිශ්‍රව ඉගෙන ගැනීම වරද කුමක්‌ද ? ධර්ම දේශනා පැවැත්වීමේදී ස්‌ත්‍රීන්ට පුරුෂයන්ට වෙන් වෙන්ව ධර්මය දේශනා කරන්නේ නැත. අදටත් දහම්පාසල් අධ්‍යාපනය පවා ස්‌ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඉගැන්වීම මෙම කාලෝචිත යෝජනාව ක්‍රියාත්මක කිරීමට විශාල සහායක්‌ වී ඇත.

මේ නිසාම මිශ්‍ර අධ්‍යාපනය අප රටට අලුත් දෙයක්‌ නොව අදටත් මෙවැනි මිශ්‍ර පාසල් සමහරක්‌ සුරැකිව දැක ගැනීමට තිබීමද සතුටට කරුණකි.

මිශ්‍ර අධ්‍යාපනය නොලද වරදට දරුවන් උසස්‌ අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන්නේ සත්තු වත්තට ඇතුළු වන්නා සේ නොවේද? තමා මීට පෙර හුරුපුරුදු නැති අත්දැකීම්වලට මේ නිසා මුහුණ දීමට සිදුවීම ප්‍රශ්නයකි. මිශ්‍ර පාසල්වල අධ්‍යාපනය ලද සිසුවන් තමන්ම ස්‌වයං සංවරයකට පාලනය වීම පුරුදු පුහුණු වී ඇති බව සමාජ විද්‍යාඥයන්ගේ මතයයි.

අද බිහිවන ජාත්‍යන්තර පාසල් නැවත මේ සමාජ විප්ලවය කිරීමට සූදානම්ව මිශ්‍ර පාසල් දිගින් දිගටම ආරම්භ කරමින් සිටී. මේ නිසා රටේ කොටසක්‌ පමණක්‌ මිශ්‍ර පාසල් අධ්‍යාපනයේ උරුමය උරුමකර දෙමින් තවත් රජයේ පාසල්වල මෙම අත්දැකීම අහිමි කිරීම අසාධාරණ තත්ත්වයකි. දරුවන්ගේ අධ්‍යාපනයත්, විශේෂයෙන්ම විනයත් බාහිර ක්‍රියාකාරකම් දියුණු කිරීමට රජය සියලුම පාසල් මිශ්‍ර පාසල් ලෙස වෙනස්‌ විය යුතු කාලය අද පැමිණ ඇත.

අද එදා මෙන් පවුලක දරුවන් පස්‌ හය දෙනා නොමැත. මේ නිසා සමහර පාසල් සිසුන් නොමැතිව වසා දැමීමට පවා හේතුවී ඇත. සමහර පාසල්වල සිසුන් ඇත්තේද කුඩා පිරිසකි. ගුරු හිඟයටත් සම්පත් නාස්‌තියටත්, අධ්‍යාපනයේ විෂමතාවන්ටත් සම්පත් හිඟයටත් විවිධ දුර්වලතාවන් බොහෝමයකටත් විසඳුම මිශ්‍ර පාසල් බිහිකිරීම වන අතර රටේ යහපත් පුරවැසියන් බිහි කිරීම ස්‌වයං පාලනය නිතැතින්ම උරුම වන බව වත්මන් පාලකයන් හා දෙමව්පියන් දැනගත යුතුව ඇත.

මිශ්‍ර අධ්‍යාපනයේදී අප කතා කළ යුතු තවත් පැතිකඩක්‌ ඇත. ඒ ගැන කතා නොකරම බැරිය. අද රජයේ දෙමළ පාසල්, රජයේ සිංහල පාසල්, රජයේ මුස්‌ලිම් පාසල් වශයෙන් වර්ග කර රජය විසින්ම ජාතිවාදයේ පැටවුන් බෝකිරීම පාසලෙන් ආරම්භ කර ඇත. නැවත යුද්ධයක්‌ ඇති නොවන්නට මොනදේ කළත් වැඩක්‌ නොමැත. පාසලෙන් නැවත නැවත පරපුරෙන් පරපුරට ජාතිවාදයේ පැටවුන් වගා කිරීම පාසලෙන් සිදුවනවා නම් නැවත යුද්ධයක්‌ ඇති කිරීමට රජයම කටයුතු කර ඇත. කොළඹ නගරය තුළම සිංහල පාසල්, දෙමළ පාසල් සහ මුස්‌ලිම් පාසල් ලෙස බෙදීමක්‌ දැකීමට ලැබීම කනගාටුවට කරුණකි. ජාතිවාදය ප්‍රාථමික අධ්‍යාපනයෙන් ඇති කොට උසස්‌ අධ්‍යාපනයේදී එය මර්දනය කිරීමට රජය උත්සාහ ගැනීම අද විහිළුවක්‌ බවට පත්වී ඇත.

අද බිහිවන ජාත්‍යන්තර පාසල්වල මෙම ජාතිවාදී වර්ගීකරණය බොහෝවිට නොමැත. කුඩා කල සිටම ජාතිවාදය අසමගිය පරතරය ඇති කරන්නේ රජයේ බොහෝ තීන්දු තීරණවලින් බව පැහැදිලි විය යුතුය.

මේ නිසාම ශ්‍රී ලංකාවේ අපි කුඩා කල සිට එකට හැදීවැඩී ස්‌ත්‍රී පුරුෂ සහ සිංහල, දෙමළ, මුස්‌ලිම් භේදයෙන් තොරව විනයගරුකව ජාතිවාදී හැඟීම්වලින් තොරව ශ්‍රී ලංකාවේ අපි ලෙස ජාතික සමගිය පාසලෙන්ම ආරම්භ කළ යුතු යුගය අද උදාවී ඇත. මෙම යෝජනා කල් දැමීම නැවත යුද්ධයකට රජයක්‌ වශයෙන් ආධාර අනුබල දීමකි. ස්‌ත්‍රි පුරුෂ මිශ්‍ර පාසල්වල අධ්‍යාපනය ලද දරුවන් අද සමාජයේ වැරැදි වැඩවලට පෙළඹීම ඉතා අල්ප බව මේ ගැන විමර්ශනය කිරීමේදී පැහැදිලිව දැක ගත හැක. සමස්‌ත දෙමළ සහ සිංහල මිශ්‍ර පාසල්වල අධ්‍යාපනය ලද බොහෝ සිසුන් කිසි දිනක ජාතිවාදය අනුමත කිරීමක්‌ කර නොමැති බවද විමර්ශනය කිරීමේදී පැහැදිලි වනු ඇත. මේ නිසා ජාතිවාදයටත් සමාජයේ පිරිහීමටත් එකවිට ලබාදිය හැකි එකම ප්‍රතිකර්මය මිශ්‍ර පාසල් හැර වෙන විකල්පයක්‌ නොමැති බව අද සමාජය බුද්ධියෙන් විමර්ශණය කළ යුතුව ඇත.

ගුණ ගරුක රටක්‌, හික්‌මීමෙන් පිරුණු සමාජයක්‌. ජාතිවාදයෙන් තොර පරපුරක්‌ ශ්‍රී ලංකාවට උරුම කර දීමට මිශ්‍ර අධ්‍යාපනය සඳහා අප පෙළ ගැසිය යුතුව ඇත. මෙම යෝජනාව සමාජයේ බුද්ධිමතුන්ගේ කතිකාවකට ආරම්භයක්‌ විය යුතුය. මේ රටේ ජනමාධ්‍ය දීර්ඝකාලීනව අත්නොහරින ප්‍රසිද්ධියක්‌ මෙම යෝජනාව ක්‍රියාවට නැඟීමට සහාය දිය යුතුව ඇත. දිනකින් හෝ මෙම යෝජනාව කල් දමන්නේ නම් රජය එක්‌ දිනකින් නැවත ජාතිවාද බීජ වැපිරීමකි. යහපත් සමාජයක්‌ බිහිකිරීමටත් ජාතිවාදයෙන් තොර ගුණගරුක සමාජයක්‌ පාසලෙන් බිහි කිරීමට දෙමව්පියන්, බුද්ධිමතුන් හා සෑම පුරවැසියකු අද පෙරමුණ ගත යුතු කාලය උදාවී ඇත. ඒ සඳහා පෙළගැසෙමු. සමාජයේ කතාවක්‌ ආරම්භ කරමු.
 


 සුනිල් ද සිල්වා

1 comments:

ඇත්තෙන්ම හොඳයි 💕

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...