Wednesday, October 3, 2012

අධ්‍යාපනයේ අර්බුදය කුමක්ද? සටන කොතැනද?

Duminda Nagamuwa
"අධ්‍යාපනයේ අර්බුදය කුමක්ද? සටන කොතැනද?" යන තේමාව යටතේ දුමින්ද නාගමුව මහතා විසින් කොළඹ මහජන පුස්තකාලයේදී පසුගිය 01 දින පවත්වන ලද සම්මන්ත්‍රණය ඇසුරිනි. 

අධ්‍යාපනය මානව සමාජයේ ප‍්‍රගමනයට අත්‍යවශ්‍ය කරුණක්. පරිණාමය සැලකුවොත් සතුන් ජීවත් වෙන පරිසරයට අනුවර්තනය වෙනවා. එහෙම අනුවර්තනය වෙන්න බැරි සතුන් වඳ වෙලා යනවා. නමුත් මිනිසා සොයා දහමට අනුවර්තනය නොවී සොබා දහම වෙනස් කර ගන්නවා. උත්තර ධ‍්‍රැවයේ ඉන්න වලස්සුන්ට, හිම වලස්සුන්ට විශාල ලොම් තට්ටුවක් තිබෙනවා. ඒ ප‍්‍රදේශයේ ඉන්න මිනිසුන්ට එහෙම නැහැ. නමුත් මිනිස්සු ඒකට උපක‍්‍රමයක් තනා ගෙන තිබෙනවා, ලොම් තිබෙන සතුන්ගෙන් ඇඳුමක් හදා ගෙන තිබෙනවා.

සතුන් යම් දෙයකට ප‍්‍රතිචාර දක්වන ආකාර දෙකක් තිබෙනවා. එකක් සහජයෙන් ලැබෙන හැකියාව. බොහෝ සතුන්ට තිබෙන්නේ සහජයෙන් දක්වන ප‍්‍රතිචාර. අනෙක් එක තමයි අත්පත් කර ගත් හැකියාවන්ගෙන් දක්වන ප‍්‍රතිචාර. මිනිසා ගත්තොත් බහුලවම තිබෙන්නේ සහජයෙන් දක්වන ප‍්‍රතිචාරවලට වඩා, අත්පත් කර ගත් හැකියාවන්ගෙන් දක්වන ප‍්‍රතිචාර. කාලගුණය වෙනස්වීම දැන ගන්න මිනිසාට ඉවක් නැහැ. නමුත් වැහිලිහිණියාට ඒ ඉව තිබෙනවා. මිනිසා වැහිලිහිනියාගේ හැසිරීම අධ්‍යයනය කරලා කාලගුණය වෙනස්වීම දැන ගන්නවා. ඒක සහජයෙන් ලැබුණු හැකියාවක් නොවෙයි. අත්පත් කර ගත් හැකියාවක්.

මේ අත්පත් කර ගත් හැකියාව, දැනුම ඊළඟ පරපුරට ලබා දිය යුතුයි. ඔබ දන්නවා, සෙවනගල ඉන්න අලි විදුලි වැටවල් කඩන හැටි. ලොකු ගස් උස්සගෙන ඇවිත් විදුලි වැට උඩට දාලා, ඒක කඩලා උක් වතුවලට පනිනවා. ඒක අත්පත් කර ගත් හැකියාවක්. වෙන කැළැවල්වල ඉන්න අලි ඒක දන්නේ නැහැ. නමුත් අලින්ට බැහැ, උන්ගේ පැටවුන්ට ඒක උගන්වන්න. ඒ දැනුම ඊළඟ පරපුරට දෙන්න බැහැ. දැනුම රඳවා ගන්නේ පෞද්ගලිකව නොවෙයි. සමාජයක් ලෙසයි. අධ්‍යාපනයේ පදනම එයයි. ඒ නිසා අධ්‍යාපනය අහිමි කිරීම කියන්නේ ශිෂ්ඨාචාරය අහිමි කිරීම. එක පරපුරක් ලබා ගත් දැනුම ඊළඟ පරපුරට දීම නතර වුනොත් එතනින් එහාට මානව සමාජයට යන්න බැහැ.

අධ්‍යාපනය ශික්ෂණ ක‍්‍රම වේදයක්. එහි පැති තුනක් තිබෙනවා. පළමු එක ප‍්‍රජානනය. ප‍්‍රජානනය කියන්නේ ලෝකය ගැන දැන ගැනීම. දැනුම ලබා ගැනීම. දෙවැන්නන ආවේදන ක්ෂේත‍්‍රය. ඒ කියන්නේ වටිනාකම්, සදාචාරයන්, සාරධර්ම පද්ධතිය. තුන්වැනි ක්ෂේත‍්‍රය මනෝ චාලක ක්ෂේත‍්‍රය. මනෝ චාලක ක්ෂේත‍්‍රය කියන්නේ ප‍්‍රජානනය සහ ආවේදන ක්ෂේත‍්‍ර සමග එක්ව ඒ දැනුම නිර්මාණාත්මකව භාවිත කිරීම. පසුව සඳහන් කළ ක්ෂේත‍්‍ර දෙක කෙරෙහි අවධානය ගිලිහිලා තිබෙනවා. දැනුම පුළුවන් තරම් ලබා ගන්න උත්සාහ කරනවා. එහෙම අය ඉන්නවා. ඇතැම් ආචාර්යවරු ඉන්නවා විශාල දැනුමක් තිබෙන. නමුත් සමාජයේ යහපත වෙනුවෙන් කිසිවක් කරන්නේ නැහැ. ඔවුන් ඒ දැනුම යොදා ගන්නේ තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් පමණයි. ධනවාදී සමාජයේ දෙවැනි පියවරේදී උගන්වන්නේ මේ දැනුම ඔබේ පෞද්ගලික ප‍්‍රයෝජනය සඳහා පමණක් යොදා ගන්න කියලා.

මොනවටද ඉගෙන ගන්න ඕන. ඉගෙන ගැනීමට ඉගෙන ගන්න ඕන. යම් දෙයක් ඉගෙන ගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕන. දිවි පැවැත්මට ඉගෙන ගන්න ඕන. අද අධ්‍යාපනයෙන් ජීවිතය ඈත් කරලා. ඒ නිසා හිතෙනවා මේවා මොනවටද ඉගෙන ගන්නේ කියලා. දරුවන් අධ්‍යාපනයට වෛර කරන්නේ ඒ නිසා. ඊළඟට ක‍්‍රියාත්මක වීමට ඉගෙන ගන්න ඕන. අද උපාධිධාරීන් බඳවාගෙන තිබෙනවා, ඔවුන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට වෙලා කකුල් පද්ද පද්ද ඉන්නවා. ඔවුන්ට වැඩ කරන්න ඉඩකුත් නැහැ. එහෙම ප‍්‍රශ්නෙකුත් තියෙනවා. ඒ වගේම ඔවුන්ට ක‍්‍රියාත්මක වෙන්න උගන්වලා නැහැ. ඒක ඔවුන්ගේ ප‍්‍රශ්නයක් නොවෙයි. අධ්‍යාපනයේ ප‍්‍රශ්නයක්. ඊළඟට සහජීවනයට ඉගැන්වීම. අද අපේ රටේ එහෙම ප‍්‍රශ්නයක් තිබෙනවා. මේ අධ්‍යාපනය තුළ උගන්වන්නේ සහජීවනයෙන් ජීවත් වෙන්න නොවෙයි, අනෙක් කෙනාට කකුල් මාට්ටුවක් දාලා හරි දිනන්න.අධ්‍යාපනයේ මේ පදනම් හතර ලංකාවේ ක‍්‍රියාත්මක වෙනවාද කියලා බලන්න.

අපි වත්මන් සමාජයට ඇවිත් බලමු. ධනවාදී සමාජය තුළ අධ්‍යාපනය වුවමනා වෙලා තිබෙන්නේ ඇයි? මේ ප‍්‍රශ්නය අමතක කරලා මොන සටන කළත් වැඩක් නැහැ. සමහර අරගල භූමිවල අපි මේ ප‍්‍රශ්නය දැක්කා.
ධනපතියන්ට ප‍්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් ශ‍්‍රමිකයා කොහොමද ඊළඟ දවසේ වැඩට ගෙන්වා ගන්නේ කියලා. ඒ සඳහා වැටුපක් ගෙවනවා. අනෙක් ප‍්‍රශ්නය තමයි, දැන් ඉන්න ශ‍්‍රමිකයාගෙන් පසුව වැඩ කරන්න තවත් කෙනෙක් හදා ගන්න ඕන. ධනපති ක‍්‍රමය තුළ අධ්‍යාපනය වුවමනා වෙන්නේ ඒකට.

ශිෂ්‍ය සටන්වලදී අපි දැක්කා, අධ්‍යාපනය අහිමි කිරීම ගැන කතා කරනවා. ඇත්තටම අධ්‍යාපනය මුළුමනින්ම අහිමි කරන්නේ නැහැ. ධනපති ක‍්‍රමයේ මේ තියෙන සංවර්ධනය පවත්වාගෙන යන්න අධ්‍යාපනය අවශ්‍යයි. ශ‍්‍රමිකයින් නිර්මාණය කර ගන්න අධ්‍යාපනය අවශ්‍යයි. පරිගණක ක‍්‍රියාත්මක කරන්න පරිගණක ශිල්පීන් ඕන. ඒ සඳහා පරිගණක දැනුම දෙන්න වෙනවා. දෙවැනි කරුණ, පාලකයාට නැත්නම් මේ ධනවාදි සමාජ ක‍්‍රමයට අවශ්‍ය ලෙස මිනිසුන් ශික්ෂණය කරන්න, හික්මවා තබා ගන්න. ඔය අරමුණු දෙක තමයි අධ්‍යාපනයේ තියෙන්නේ.

පරාක‍්‍රම සමුද්‍රය හැදුවේ පරාක‍්‍රම බාහු රජතුමා කියලා අපි ඉගෙන ගන්නවා. මෙතන තියෙනවා ලොකු බොරුවක්. පරාක‍්‍රම සමුද්‍රය හැදුවේ ඒ කාලේ හිටපු මිනිස්සු. ඒ මිනිස්සු ගැන, ඒ මිනිසුන්ගේ ශ‍්‍රමය ගැන කතාව හංගලා තියෙන්නේ. එහෙම තමයි ඉතිහාසය උගන්වන්නේ. පාලකයා තමයි සියල්ල කරන්නේ. ඉතිං මහින්ද රාජපක්ෂ ඇවිත් කිව්වාම, අපි ගුවන් පාලම් හැදුවා, ගල් තියෙන වරායවල් හැදුවා කියලා. ඒවා හැදුවේ ණය වෙලාද වගේ ප‍්‍රශ්න අදාළ නැහැ. එහෙම ශික්ෂණය කරන්නේ මේ අධ්‍යාපනයෙන්.

නව ලිබරල් ධනවාදයේදී මේක තවත් ඉදිරියට ගෙන ගිහින් තිබෙනවා. ඔබ අහලා ඇති දෙකේ පන්තියේ පොතේ තිබුණු කතාවක්, අර වලහාගේ කතාව. වලහා පස්සෙන් එළවාගෙන එන කොට එක්කෙනෙක් ගහකට නගිනවා, අනෙක් කෙනා බිම දිගා වෙලා මැරුණා වගේ ඉන්නවා. වලහා ඇවිත් ඉව කරලා යන්න යනවා. ගහේ හිටපු යාලූවා ඇවිත් ඇහුවාම වලහා මොකද කිව්වේ කියලා, මිතුරා කියෙන්නේ විපතේදී දාලා යන ඔයා වගේ අය ආශ‍්‍රය කරන්න එපා කියලා වලහා කිව්වා කියලා. මේ කතාව ඇහුවාම පොඩි දරුවා ඉගෙන ගන්නේ මොකක්ද? විපතේදී මිතුරාට උදව් කරන්න ඕන කියලා. දැන් කොහොමද උගන්වන්නේ? දැන් උගන්වන්නේ වලහා මොකක්ද කිව්වේ ඇහුවාම මිතුරා කියනවා, දෙන්නම උපක‍්‍රමශීලියි කියලා කිව්වා කියලා. මෙතන තියෙනවා තක්කඩිකමක්. මේ කතාව ඉගෙන ගන්න දරුවා වැඩිහිටියෙක් වුණාම ඒක තමයි කරන්නේ.

ඉස්සර උසස් පෙළ විභාගයට ජ්‍යාමිතියෙන් ප‍්‍රශ්න 12 ක් තිබුණා. දැන් කපලා, කපලා, කපලා ප‍්‍රශ්න එකහමාරයි එන්නේ. ඇයි ඒ? ජාතික අධ්‍යාපන ආයතනය කියනවා ළමයින්ට විභාග අමාරු නිසා ඉවත් කළා කියලා. ජාතික අධ්‍යාපන ආයතනය තියෙන්නේ ළමයින්ට විභාග ලේසි කරන්න නොවෙයි. ඒක නෙවෙයි ඇත්ත කතාව, ජ්‍යාමිතිය ඉගෙන ගන්න ශිෂ්‍යයා තර්ක කිරිමේ හැකියාව වර්ධනය කර ගන්නවා. ඒ නිසා තමයි ඉවත් කරන්නේ. එක පැත්තකින් වැටුප් ශ‍්‍රමිකයෙක් හදන අතරේ අනෙක් පැත්තේ තර්ක කරන්නේ නැති, ප‍්‍රශ්න කරන්නේ නැති කීකරු සේවකයෙක් හදනවා. පාලකයා මැදිහත් වෙන්නේ ඒ අරමුණෙන්.

දැන් නිර්ධන පන්තියේ අරමුණ මොකක්ද? නිර්ධන පන්තියේ අරමුණ පළල් එකක්ද? නැහැ. නිර්ධන පන්තිය අධ්‍යාපනය පේන්නේ ඉහළ යන්න ඉනිමඟක් වගේ. තමන් ජීවත් වෙන පරිභෝජන මට්ටමට වඩා ඉහළ පරිභෝජන මට්ටමකට යන්න තියෙන ඉනිමගක් වගේ.

මොකක්ද දැන් අධ්‍යාපනයේ තිබෙන ප‍්‍රශ්නය. එක ප‍්‍රශ්නයක් තමයි රජය අධ්‍යාපනයේ වගකීමෙන් ඉවත්වීම. අධ්‍යාපනයේ වගකීම දෙමාපියන් මත පැටවීම. කබීර් හෂීම් මහත්තයා අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඉද්දී කිව්වා, රැකියාවට සරිලන අධ්‍යාපනයක් තමයි ඉලක්කය කියලා. අපේ රටේ කරන්නේ පිට රට දේවල් ගෙනත් විකුණන එක. ඒකට ඔය මොන පාඨමාලාවක්වත් ඕන නැහැ.

අනෙක් එක ධනපති පන්තියට අවශ්‍යයි අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කර ගන්න. ලාබ ලබන මාර්ගයක් කර ගන්න. මීට විරුද්ධ සටන් පාඨය ගැන සංවාදය ආචාර්යවරුන් අතරේ තවමත් විසඳිලා නැහැ. ඒ නිසා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ වීමේ සටන් පාඨය සාකච්ඡාවට අරගෙන නැහැ. තුන්වෙනි එක, අඩුවෙන් සාකච්ඡා වෙන නමුත් බරපතළ ප‍්‍රශ්නයක්. අධ්‍යාපනයෙන් සිසුන් සහ ගුරුවරුන්, ආචාර්යවරුන් පිටමං කිරීම.

ලොකු සංවාදයක් ආවා රාජ්‍ය ආධ්‍යාපනයද නිදහස් අධ්‍යාපනයද කියලා. රාජ්‍ය අධ්‍යාපනය කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ රජයේ අධ්‍යාපන ආයතන ටික ආරක්ෂා කිරීම. දෙවැනි කරුණු දෙක ගැන සාකච්ඡා වෙන්නේ නැහැ. ශිෂ්‍යයින්ගේ සටන් පාඨය නිදහස් අධ්‍යාපනය. ඒක රාජ්‍ය අධ්‍යාපනය සුරකිමු කියනවාට වඩා සාපේක්ෂව පුළුල්. නමුත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප විශ්වාස කරන්නේ සැබෑ සටන් පාඨය විය යුත්තේ අධ්‍යාපනයේ සම අයිතිය සුරකිමු කියන එක.

දැන් රාජ්‍ය අධ්‍යාපනය සුරකිමු කියලා ආචාර්යවරුන් යන පාගමනේ එක්සත් ජාතික පක්ෂයත් යනවා. ආචාර්යවරු කියද්දී රාජ්‍ය අධ්‍යාපනය සුරකිමු කියලා, රෝසි සේනානායකලා කියනවා නිදහස් අධ්‍යාපනය සුරකිමු කියලා. මේ කියන්නේ එක්සත් ජාතික පක්ෂය නිදහස් අධ්‍යාපනය සුරකිමු කියන සටන් පාඨය වටා පෙළ ගැහිලාද? එහෙම නැහැ. දැන් දේශපාලනයේ ප‍්‍රතිපත්ති කියලා ජාතියක් නැහැ. කලින් තිබුණා. දැන් බලය ගන්න ඕන දෙයක් කියනවා. එක්සත් ජාතික පක්ෂයට, සරත් ෆොන්සේකාට අපි කියනවා, විවෘතව තමන්ගේ ප‍්‍රතිපත්තිය රටට කියන්න. අධ්‍යාපනය සම්බන්ධ ප‍්‍රතිපත්තිය නිරවුල්ව කියන්න.

සටන් කොතරම් ප‍්‍රගතිශීලි වුණත් ඒවා නිර්ධන පන්තියේ වුවමනාවට අනුව හැසිරෙන්නේ නැත්නම් අවසානයේදී සේවය කරන්නේ ප‍්‍රතිගාමීත්වයට. මේ අරගලවලට විශාල ජන සහභාගිත්වයක් ඕන. නැත්නම් වැරදි අතට ගමන් කරන්න පුළුවන්. පීඩිතයාට අධ්‍යාපනය අහිමිවීම වළක්වන්න පුළුවන් අධ්‍යාපනයේ සම අයිතිය රැකීමෙන් පමණයි. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් නොවන සමාජයක් බිහි කිරීමෙන් පමණයි. මේ සංවාදය එතනට ගෙන යා යුතුයි.’’

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...