Saturday, October 20, 2012

කර්නල් විදුහල්පතිලා

පන්නිපිටිය ධර්මපාලය ඉදිරිපිටම විශාල ඩිජිටල් කටවුට් එකකි. එහි විමලසේන විදුහල්පතිතුමා කර්නල් විදුහල්පති වෙලාය. කර්නල් තොප්පිය සහිත හමුදා නිල ඇඳුමින් සැරසී ඉන්න එතුමාගේ ඡායාරූපය දැක්කාම දුකේ බැරිය. විදුහල්පතිතුමාගේ සුදු ඇඳුම ඇඳලා පාසලේ ටයිපටය බැඳලා වෙනදාට තියෙන විදුහල්පති තේජස කර්නල් ඇඳුමේ අහලකවත් නැතිය. කර්නල්කමට ඇඳලාට වඩා අන්දලා වගේය. කැමැත්තෙන් කර්නල් වුණ පෙණුමක්නම් විමලසේන විදුහල්පතිතුමාගේ මූණේ නැතිය. කැමැත්තට වඩා බයට කර්නල් වෙලා වගේය. බයට කර්නල් වුණ මුහුනක හැටි හිතා ගත හැකිය. ඇති විදුහල්පතිකම වෙනුවට නැති කර්නල්කමකට ඇන්ඳාම එහෙමය. ඇඳුම කර්නල් වුණාට මුහුණ විමලසේනමය. අනේ පවුය. අපේ රටේ හැම හෙණේම අධ්‍යාපනයටමය. හැම එකාම අධ්‍යාපනයටම මූත‍්‍රා කරන්නේ ඇයිදැයි සොයා බැලිය යුතුමය.

ආණ්ඩුව තෝරාගත් විදුහල්පතිවරු පිරිසක් කර්නල්කමට ඇන්දුවාය. පසුගියදා පදක්කම්ද පැළැන්දුවාය. ඒ බොහෝ දෙනා කොළඹ හා ප‍්‍රධාන නගර ආශ‍්‍රිත ජාතික පාසල්වල විදුහල්පතිවරු හා වරියන්ය. විදුහල්පති නම ඉදිරියට කර්නල් දුන්නේ ඇයිදැයි ජනතාවට දැනගැනීමට අයිතියක් තිබේය. ආණ්ඩුව කියන්නේ, විනය පිරිහිලා නිසා විනය තකා කර්නල් කළා කියලාය. විනයනම් පිරිහී ඇත්තේ පාසලේ විතරක් නොවේය. පාසල එක තැනක් විතරය. එතනත් කර්නල් පට්ටම දී තියෙන්නේ, විනය රකින අයටම දැයි වෙනම සොයා බැලිය යුතුය. පාසල්වලට ළමුන් ඇතුළත් කරද්දී ලක්ෂ ගණනින් පගාව ඉල්ලන්නෙත් ඔය ඇතැම් විනය රකින ලොකු තැන්වලින්මය. දැන් ළමුන් ඇතුළත් කරද්දී විදුහල්පතිලා වෙනුවට කර්නල් විදුහල්පතිලා ඒ වැඩේ කරන්න ගියාම මරේ මරුය. එතකොට ඒ අය ගෙනියන්න වෙන්නේ සාමාන්‍ය උසාවියට නොව හමුදා අධිකරණයටදැයි දන්නේ නැතිය.

විනය පිරිහීම කර්නල් පැළඳීමෙන් විසඳිය හැකිද යන්නත් ගැටලුවක්ය. ඒ, පිරිහීම ඇත්තේ, පාසලේ විතරක් නොවන නිසාය. පිරිහීම රට පුරාය. සමාජය තුළමය. එහෙමනම් උත්තරය මුළු රටම හමුදාකරණය කිරීම දැයි වෙලාවකට හිතෙනවාය. පාඩුවේ හිටපු විදුහල්පතිවරු හදිස්සියේම කර්නල් තනතුරුවලට කැඳවූයේ රටම හමුදාකරණය කිරීමේ ආරම්භයක් ලෙසටදැයි හිතෙනකොටත් බයය. ඒත් හිතෙන එක නවත්තාගන්නට බැරිය.

විදුහල්පතිලා කර්නල් විදුහල්පතිලා වන විට අධ්‍යාපන ඇමති බෑයෝ අඳින්නේ, කාටදැයි හිතා ගත හැකිද? ඔවුන් නිල ඇඳුම නොඇන්දත් දැනටමත් හමුදාපතිවරුන් වගේමය. පාසලේ ගුරුවරුන්ටත් හමුදා තනතුරක් දුන්නාම සියල්ල ඉවරය. කලින් ළමුන්ගේ කණ පලන්නේ ගුරුතුමාය. දැන් කෝප‍්‍රල්ය. ලුතිනන්ය. කර්නල්ය. දේශපාලන පත්වීමෙන් ඉහළ ආ අධ්‍යාපන අධ්‍යක්ෂකලාද බි‍්‍රගේඩියර්ලාට ඇන්දත් අපටනම් පුදුමයක් නැතිය.

ඉතිහාසයේදී කර්නල්කමට අන්දපු නැති හැබෑම කර්නල්ලා විදුහල්පතිවරු ලෙස සිටියාය. ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් විදුහල්පතිවරයෙකු වූ කර්නල් කුඩලිගම මහතා එවැන්නෙක්ට හොඳම උදාහරණයක්ය. ඒ කර්නල්කමට ඇඳලා හෝ අන්දවලා නොවේය. පාසලේ ශිෂ්‍ය භට බලකායේ සිටම ඉහළට පැමිණි සැබෑම කර්නල්වරුය. දවස් පහක පුහුණුව සහිත බ්‍රොයිලර් කර්නල්ලා නොවේය. නූතන කර්නල්ලා කුඩලිගමලාට අලගු තියන්නවත් මදිය. ගෝඨාභය මහතාගේ කර්නල්ලා බී කර්නල්ලාය. බී කිව්වේ බ‍්‍රාවෝ කර්නල්ලා නිසා නොවේය. ‍බ්‍රොයිලර් කර්නල්ලා නිසාය.

ලංකාවේ අධ්‍යාපනයට ඇති එකම ප‍්‍රශ්නය විදුහල්පතිලාට කර්නල්කම නොතිබීම නොවේය. විවෘත ආර්ථිකය බෝකළ සියලු විෂබීජ පාසලට පැමිණීම විදුහල්පතිලා කර්නල් කිරීමෙන් නතර කළ නොහැකිය. අද පාසල් ළමුන්ගේ ‘වින්දනය’ පිරිමැසීමට මදන මෝදක, කැහි බොහෙත් ප‍්‍රමාණවත් නැතිය. ෆාමසිවල ඇති මානසික රෝගීන්ට දෙන බෙහෙත් ගිලින තරමට තත්වය බරපතළය. දරුවෙකුට ජංගම දුරකථනයක් නැතිනම් ඒක දෙමව්පියන්ගේ තත්වයට හොඳ මදිය. ඒ නිසා අන්තර් ජාල පහසුකමද ඇති දුරකථනය දරුවාට දෙන තාත්තා හොඳම තාත්තාය. ඒ දරුවෝ දරුවෝ නිල් චිත‍්‍රපටි බලනවා විතරක් නොවේය. විදුහල්පති කර්නල්ලා නොදන්නා බොහෝ දේ දැන් ළමයි දන්නවාය. ඒ ධනවාදයේ නූතනත්වයට හා දෙමව්පියන්ගේ අදට ගැලපෙනකමට පින් සිදු වෙන්නටය.

විදුහල්පති කර්නල් වූ පලියට ජල පහසුක්ම් නැති පාසලට ඒ පහසුකම ලැබෙන්නේ නැතිය. ගමට තාමත් කැකිරිමය. ඒ අසාධාරණකම් නොඉවසන දරුවෝ සහ දෙමව්පියෝ එරෙහිව නැගී සිටින විට ඒවාට මුහුණදීමට දින පහේ පුහුණව නම් බොයිලර් කර්නල්ලාට හොඳටම ප‍්‍රමාණවත් මදිය. යුද්ධය පැවති කාලයේත් විමලසේන විදුහල්පතිතුමා පන්නිපිටිය ධර්මපාල විදුහලේ විදුහල්පතිමය. දැන් යුද්ධය ඉවරය. විදුහල්පති විමලසේන දැන් කර්නල් විදුහල්පතිය. මේ විදිහටම කර්නල් දොස්තරලාද හැදිය හැකිය. ඒ රෝහල්වල බෙහෙත් හිඟට උත්තර හොයන්නට නොව රෝහලේ පාලනයටය. කර්නල් ප‍්‍රාදේශීය ලේකම්ලා හා කෝප‍්‍රල් ග‍්‍රාමසේවකලාද නරකම නැතිය. නීති හදන තැන පාර්ලිමේන්තුවය. එතන නිකම්ම මන්ත‍්‍රීලා ඉඳලා වැඩක් නැතිය. කර්නල් මන්ත‍්‍රීලා පත්කළ හැකිය මරේ මරුය. නැවතත් කරුණාට කර්නල් කරුණා අම්මාන්ම විය හැකිය. මර්වින් සිල්වාත් එවිට ආචාර්ය කර්නල් මර්වින්ය. අන්තිමට ජනතාව හැර අන් සියල්ලෝම කර්නල්ලාය. ඒකට කියන්නේ හමුදා පාලනයක් කියලාය. දැන් නොකියා කරන්නට මුලපුරා තියෙන්නේ ඒකය. විමලසේන විදුහල්පතිතුමා කර්නල් විමලසේන කළේ ඒකටය. ජනතාව සීරුවෙන් සිටිල්ලාය. ගොඨාභය ඇතුළු කර්නල්ලා පහසුවේන් සිටිනු ඇතිය.

සුනිල් හඳුන්නෙත්ති
උපුටා ගැනීම - ලක්බිම

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...