Saturday, October 27, 2012

ෆූටාවෙන් පසු නිදහස් අධ්‍යාපන සටන නිමි ද?

මේදින වල අන්තර්ජාල සංවාදයන්ගේද, මග තොටදී හමුවන දේශපාලන මිතුරන්ගේද, සන්ධ්‍යාවේ මධුපාන මිත්‍රසමාගම්හීද මාතෘකාව බවට පත්ව ඇත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය සහ එය නිමාවූ ආකාරයයි.අයෙක් පවසා සිටින්නේ "නිර්මල් වැඩේ පාවාදුන්නා"

තවත් අයෙක් කියන්නේ "වෘත්තීය සමිතියකට යන්න පුළුවන් උපරිම දුරතමයි ඒ පෙන්නුවේ. "තවත් අපගේ දේශපාලන මිත්‍රයන් කියන්නේ "80 වර්ජනේට වඩා දරුණු වෙනවා මේ පරාජය."
අපගේ I Hate politics මිත්‍රයන් පවසන්නේ "අපි කිව්වනේ ඕක වෙනවා කියලා. උඹලට පිස්සු."

තවක් වටින්ගොඩින් ඉදින් සංවාදයන්ට ලුණු ඇඹුල් දමන අය කියන්නේ ෆූටා එක ඇතුලේ වළි ලු. කීපදෙනක් අයින්වෙන්න යනවලු. ධම්ම නිර්මල් එක්ක ඩීල් එකක් දාලලු. බැසිල් නිර්මාල් එක්ක ඩීල් දාගෙනලු.
 
ඇත්තටම සටන අවසන්ද?

මේ සියලු සංවාදයන්ගේ කථා නොකරන එකම කරුණ අධ්‍යාපන සටන ෆුටාවෙන් පසු ගොඩනගන්නේ කෙසේද යන්නයි. ආචාර්යවරුන්ගේ සටන් වැටුප් සටනින් උත්කර්ෂයට පැමිණ ආරාබි වසන්තයක් දක්වා දිගුකරන දේශපාලාන බලවේග නිර්මාණය කරන්නට පෙළගැසුනු බොහෝ කණ්ඩායම් ෆූටාව අවසන්වීමෙන් පසු උකඨලී වී ඇත. නැතිනම් සියල්ල අවසන් වූවාක් මෙන් හැඟීම් බරවී ඇත.

"සමහර ආචාර්යවරු පවා ""සිරකරුවෝද මනුෂ්‍යයෝය" , ඒමෙන්ම ""කථිකාචාර්‍යයෝද මනුෂ්‍යයෝය". ජීවිත යථාර්ථය ඔවුනටද මඟ හැර යා නොහැක්කකි " යනුවෙන් අන්තර්ජාල සමාජ වෙබ් අඩවිතුළ සටහන් තබන තත්ත්වයටම මානසික පරාජයන්ට පත්ව සිටිති.

ලිපියට ප්‍රවේශය එතැනින්ම සපයා ගත හැකිය. සැමට සමාන අධ්‍යාපනය නැතිනම් අධ්‍යාපනයේ සම අයිතිය එහෙමත් නැතිනම් නිදහස් අධ්‍යාපනය සුරකීමේ වගකීම තිබෙන්නේ ෆූටාවට හෝ වෙනත් කණ්ඩායමකටද ?

ආසියාතික පසුගාමීත්වයෙන් අගතැන්පත්ව සිටින ලංකා සමාජය සැමවිටම තමන්ගේ වගකීමෙන් මිදී එම වගකීම අනෙකෙකු මත පටවයි.

එමනිසාම විවිධ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීමට සෑමවිටම අනෙකෙකු යෝජනා කරති. නිදහස් අධ්‍යාපන සුරකීමේ වෙනුවෙන් අතීතයේ සිට මේ දක්වා ඉතා අඩුපාඩු සහිතවද නොනවත්වා අරගලයේ යෙදෙන්නේ විශ්වවිද්‍යාප ශිෂ්‍ය ප්‍රජාව පමණි.
ඒ ලෙසම මානව හිමිකම් කඩවූ විට ඒ වෙනුවෙන් පෙනීසිටය යුත්තේ මානව හිමිකම් සංවිධාන සහ මානව හිමිකම් ආරක්ෂකයෝය. මාධ්‍ය මර්ධනයට එරෙහිව පෙනීසිටින්නේ මාධ්‍යවේදීන් පමණි. ගොවීන්ගේ ප්‍රශ්ණවලට ගොවීන් පමනී.

මේ ලෙස දකුණේ සමාජය ඉතා ගැඹුරුලෙස වෙන්වී තිබේ. නැතිනම් සමාජයේ පැවැත්ම සඳහා එකිනෙකා අතර වන මහා සම්මුතිය අවසන් වී ඇත. එය අවසන් වී ඇති නිසාම එය පාලකයන් මැනවින් විග්‍රහකරගෙන සිටිති. ඔවුන් විවිධ කණ්ඩායම් වෙනවෙනම ගෙන විසදුම් ලබාදෙන්නේ ඒ නිසාවෙනි.

අවසන්වූ ෆුටා අරගලයටද පාලකයන් ඒ ලෙසම තම උපක්‍රමය ක්‍රියාවට නැංවීය.ඔවුන් අවසානයේ එම අරගලය වැටුප් අරගලයක් දක්වා විතැන් කිරීමට ක්‍රියාත්මක වූයේ මන්ද 6% වැනි සටන් පාඨයකට සමස්ථ සමාජයටම ආමන්ත්‍රණය කළ හැකි නිසාවෙනි. ආචාර්යවරුන්ගේ සංගමය සුපුරුදු ආසියාතික ලක්ෂණ පෙන්නුම් කරමින් අවසානයේ දී සිය සීමාවේදී පමණක් කටයුතු කළහ.

නමුත් මෙහි ධනාත්මක කාරණය වන්නේ අධ්‍යාපනයේ සම අයිතිය සඳහා වන අරගලය නැවත වටයකින් ආරම්භකිරීමට ඉතා හොඳ කථාකාවක් මේවන විට ආරම්භ වී තිබීමයි. එම සංවාදය තවදුටත් පුළුල් කිරීමේ අවශ්‍යතාවය පැණනැගී ඇත.ෆූටා නිසා නොව ජනයා තමන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් වීදියට කැඳවන්නේ කෙසේද යන්න අප හමුවට මේ නිශ්චිත මොහොතේදී අභිමුඛ වී ඇති ප්‍රධාන අභියෝගයයි.
 
what's next ? ඉතිං, ඊට පස්සේ?

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂ මෙතැනින් පසු අධ්‍යාපනය වෙනුවෙන් කරන මැදිහත් වීම මත ඔවුන් ඉහත අරගලය දැක්වූ සහය සහ කළ මැදිහත් වීම කෙතරම් අවංකද යන්න නිර්ණය කළ හැක්කේ පශ්චාත් ෆුටා කාලසීමාවේදීය.

ආචාර්ය දේවසිරි හයිඩ් පාක් පිටියේදී පැවති අවසන් රැළියේදී ප්‍රකාශ කළ අධ්‍යාපනයේ අයිතිය සුරක්ෂිත කරන බවට ප්‍රතිඥාවක් එක්සත් ජාතික පක්ෂයෙන් තවමත් ලැබී නැත. (ලැබෙන්නේද නැත - අවධාරණය මගෙනි) මන්ද පසුගිය සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේද 6% දෙන්නට ඇත්ත වශයෙන්ම අපහසු බවයි. එමණක් නොව ඔහු පවසා සිටින්නේ කිසියම් ආදායම් මට්ටමෙන් පහළ පිරිසකට පමණක් නිදහස් අධ්‍යාපන ලබාදුන්නාම ඇති යනුවෙනි.

එම ප්‍රකාශය අප විටහා ගත යුත්තේ ආචාර්ය හර්ෂගේ පුද්ගලික මතයක් ලෙස නොව එක්සත් ජාතික පක්ෂය නිදහස් අධ්‍යාපන සම්බන්ධව දරණ ස්ථාවරය ලෙසය.

ජනාතා විමුක්ති පෙරමුණ තමන්ගේ නිදහස් අධ්‍යාපනය සුරකිමු යන සටන් පාඨය අවස්ථාවට උචිත පරිදි වෙනස් කරගෙන ඇති බව නීර්ක්ෂණය වෙයි. දඹර අමිල හිමි පවසා සිටියේ නිදහස් අධ්‍යපනය සුරකීමට නිදහස් අධ්‍යාපනය රාජ්‍ය අධ්‍යාපනයෙන් තෙම්පරාදු කරගත යුත් බවයි. එය එක් අතකින් ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ පටන්ම සිදුකරන සිය අවස්ථාවාදී දේශපාලනයේ කඩපතක් වැනිය.

රෝසමල මෙතැන. එන්න මැතන නටන්නට කියා මෙතැනට ජනතාවට හඩගසනා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අභිමුඛ වී ඇති අභියෝගය සුළුපටු නොවේ.බොහෝවිට මෙම අභියෝගය ඔවුන්ගේ භූමිය තුළ කටයුතු කිරීමේ ශක්තිය මැනබැලීමේ පරීක්ෂණයක් වෙනවා නොඅනුමානය. එක් පැත්තකින් ශිෂ්‍ය ව්‍යාපාරය මෙතැන් පසු මෙහෙයන්නේ කොතැනට අනෙක් පැත්තෙක් දේශපාලන පක්ෂයන් ලෙස නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටනට ජනයා ඒකරාශී කරන්නේ කෙසෙද යන්නයි.

ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂයන් දෙපළකගේ ජීවිත ෆුටාව වෙනුවෙන් පරිත්‍යාග කෙරුනි. එම නිසාම ශිෂ්‍යයන්ගේ නිදහස් අධ්‍යාපන සටන ෆුටාවේ අවසානයෙන් දියාරු කරනොගෙන මෙහෙයවීමේ වගකීම ඔවුන්ගේ කරමතට වැටී ඇත.
 
ජනයා අරගලය කැඳවීම

නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටන එක් පක්ෂයටකට හෝ කණ්ඩායමකට අයත් කාර්යක් පමණක් නොවන බව ලියමනේ මුලින්ම සඳහන් කලෙමි. එම නිසාම අධ්‍යාපනයේ සම අයිතිය රැකගැනීමේ සටනේ ප්‍රමුඛ කාරණාව බවට ජනයා පත්වෙති.

විශේෂයෙන්ම ලංකා සමාජයේ සියලු වෘත්තිකයන් තමන් උපයන මුදලින් වැඩිම ප්‍රතිශතයක් වියදම් කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි. ඉතා පහළ මට්ටමේ ආදායම් ලබන්නන් පවා තම ජීවිත කාලයම කැපකරන්නේ බොහෝවිට තම දුවාදරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි. ඒ ඔවුන්ගේ ජීවිත සුවපත් කිරීමට ඇති එකම මාර්ගය දරුවන්ට හොදින් ඉගැන්වීම බව ලංකා සමාජයම විශ්වාස කරයි. ලංකාව වැනිරටවල ආර්ථික සාමාජීය සහ දේශපාලනික තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී ඔවුන්ගේ විශ්වාසයෙහි සත්‍යතාවයක්ද පවතී.

මේ නිසාම නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටනේ පෙරමුණු සටන්කරුවන් බවට දෙමාපියන් පත්කරගත යුතුය. ලංකාවේ නිදහස් අධ්‍යාපනය සුරකීමේ සටන තවමත් ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස් ආකර්ෂණය කරනවා විනා සමස්ථ ජනයට ආමන්ත්‍රණය කර නැත. ශිෂ්‍ය ව්‍යාපාරය වේවා අවසන් වූ ෆූටා අරගලය වේවා ඔවුන් දෙපිරිසම කටයුතු කලේ ප්‍රධාන බලවේගයට අමන්ත්‍රණය නොකරය. අප නිදහස් අධ්‍යාපනයේ ප්‍රධාන බලවේගය කරගත යුත්තේ ලංකාවේ සමස්ථ ශිෂ්‍ය පරපුරේ දෙමාපියන් වේ. මන්ද යම් හෙයකින් නිදහස් අධ්‍යාපනය අවසන් වී මුදල් ගෙවා ඉගෙනගැනීමට සිදුවුවහොත් එහි බර පැටවෙන පිරිස ඔවුන් බැවිනි. ඔවුන් මේ සටනේ ගාමක බලවේගය වන්නේ සරලව එම ආර්තික කාරණය ඔස්සේය. දේශපාලන කණ්ඩායම අනෙතුත් වෘත්තීය සමිති,සිවිල් සංවිධාන මේ සියල්ලම ද්විතීක බලවේගවන්ය වේ.

නමුත් මේ දක්වා සිදුව ඇති සියලු අරගල දෙස වඩාත් පුළුල්ව නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ නිදහස් අධ්‍යාපනය සුරකීමේ සටන ගොනූ වී ඇත්තේ පාලකයන්ගේ ඉල්ලීම් ඉල්ලනවා හෝ පාලකයන් වෙනස් කරනවා මිස අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් ජනතාව වෙනස් කිරීමට නොවේ. එම නිසා පශ්චාත් ෆුටාවෙන් පසු නිදහස් අධ්‍යාපනය සටන් ජනතාව ඒ වෙනුවෙන් පෙළගස්සවන,ජනතාව සමග එක්ව කරන සටනක් බවට පරිවර්තනය කර ගැනීමේ අභියෝගය අපහමුවේ පවතී.

එවිට අප විසින් විග්‍රහකරගත යුත්තේ ෆූටාවෙන් පසු නිදහස් අධ්‍යාපනයේ සටන කිසිලෙසකින්වත් අවසන් නොවන බවයි. එය තවත් එක් අත්දැකීමක් පමණ් වන අතර එය අවසන් වූ ආකාරය සම්බන්ධයෙන් තැවීමට හෝ උකඨලී වීමේ අවශ්‍යතාවයක් නැත.

අවශ්‍යවන්නේ නිදහස් අධ්‍යාපන සුරකීමේ වැදගත් කර සමාජය ඒත්තු ගන්වා ජනතාව අරගලය වෙත කැඳවීමයි. නිදහස් අධ්‍යාපන වළපල්ලට යවන්නට සුබ සිහින දකින පාලකයන් එම සිහිනෙන් අවධිකළ යුත්තේ එම ජනතාවගේ හඩනි.

ජනතාව අරගලය වෙත කැදවන්නේ නොමැතිව පාලකයන්ට ගෙදරට යන්නට කීවට පළක් නැත. ඒ සියලු සටන් නිමාවීමට ඇත්තේ ෆූටාව අවසන් වූවා වැනි අනාගත පෙරොන්දුවලින් පමණි.

අප ඒ ශ්‍රද්ධවූ පෙරොන්දුව අත්සන් කළයුත්තේ ජනතාව සමගය. ඒ නිදහස් අධ්‍යාපන අනාගත පරපුරට ලබාදීමට සුරකිනවා කියන පොරොන්දුවයි.

එම නිසාම " ෆූටාවෙන් පසු නිදහස් අධ්‍යාපන සටන නිමද?" නැත, අලුත් සටන අරම්භකළ යුතුව ඇත.
පසන් ජයතිලක \[Pasan Jayathilake]
(කැළණිය විශ්වවිද්‍යාලය )

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...