Saturday, October 6, 2012

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටන

Victor Ivan
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටන ගැන උනන්දුවෙන් බලා සිටින ප‍්‍රතිපත්තියක පිහිටා ඉන්නට මිස ඒ ගැන ලියන්නට මම බලාපොරොත්තු නොවූයෙමි. එහෙත් එය රටේ සිදුවන ලොකු අරගලයක් නිසා ඒ ගැන මා දරන අදහස් මොනවා වුවත් එය පළකිරීමේ යුතුකමක් මට ඇති බව විටින් විට මා සමග කතා කළ ආචාර්යවරු තිදෙනෙක් විවිධ ආකාරවලින් මට කීවෝය. ඒ ගැන ලියන මෙම විවරණය එම පෙළඹවීම නිසා ලියන ලද්දක් ලෙස සැලකිය හැකිය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටන මට පෙනෙන්නේ රටේ පවතින දේශපාලන ක‍්‍රමයේ අර්බුදයේම තවත් සංවේදී හා බලවත් ප‍්‍රකාශනයක් ලෙසය. ඓතිහාසික අර්ථයෙන් බිඳ වැටීමක් කරා ගමන් කරමින් තිබෙන දේශපාලන ක‍්‍රමය තිබෙන්නේ විශාල අවුලකය. පාලක පක්ෂයට බලවත් මහජන මතයක් තිබීම හෝ පාලක පක්ෂයට අභියෝග කළ හැකි ශක්තිමත් විරුද්ධ පක්ෂ ව්‍යාපාරයක් නොතිබීමද යන කාරණා දේශපාලන ක‍්‍රමයේ අර්බුදය සමනය කරන වැදගත් සාධක වන්නේ නැත. ආණ්ඩුවට මහජන

බලයක් තිබියදී හා බලවත් විරුද්ධ පක්ෂ ව්‍යාපාරයක් නොතිබියදීත් ක‍්‍රමයේ බිඳවැටීමක් ඇතිවිය හැකිය. දේශපාලන ක‍්‍රමය තුළ තිබෙන හැම දෙයක්මත් දැන් තිබෙන්නේ අර්බුදකාරී තත්ත්වයකය. අධ්‍යාපන ක‍්‍රමය තිබෙන්නේද සමනය කළ නොහැකි අර්බුදකාරී තත්ත්වයකය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටන ඒ අර්බුදයේ වැදගත් එක් පැතිකඩක් ලෙස සැලකිය හැකිය.

එහෙත් රටේ තිබෙන අර්බුදයේ ස්වභාවය අනුව ඒ අර්බුදය දැන් තිබෙන්නේ මොනම අංශයකටවත් සීමාවූ පිරිසකට කොතරම් හොඳ අරමුණකින් වුවත් සටන් කොට අවසන් ජයග‍්‍රහණයක් ලැබිය නොහැකි හා පාලක පක්ෂයටද එසේ සිදුවන පැනනැගීම් අවසාන වශයෙන් පරාජය කළ නොහැකි තත්ත්වයකය. ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඔවුන්ගේ සටන ජයග‍්‍රාහී අවසානයක් කරා ගෙනයෑමේ හැකියාවක් නොපවතී. ආණ්ඩුවටද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප‍්‍රශ්නයට සාධාරණ විසඳුමක් දීමේ හැකියාවක් නොපවතී. ආචාර්යවරුන්ට සටන අල්ලාගෙන සිටීමේ හැකියාවක් නැතිකම නිසා ඔවුන් නැවත වැඩ කරන තත්ත්වයකට ගියද එය ප‍්‍රශ්නය තාවකාලික වශයෙන් යටපත්වීමක් මිස ප‍්‍රශ්නය අවසන් කිරීමක් වන්නේ නැත. ඔවුන්ට තම ඉල්ලීම් ලබා නොදෙන ආණ්ඩුව අවසාන වශයෙන් පරාජය කළ නොහැකිවා සේ ම ආණ්ඩුවටද ඔවුන් අවසාන වශයෙන් පරාජය කළ නොහැකිය. එක් අර්බුදයක් යටපත් වන විට වඩා විශාල වෙනත් අර්බුදයක් ඉස්මතුවීම මෙම අර්බුදයේ දයලෙක්තික ස්වභාවය ලෙස සැලකිය හැකිය. එය එක අවස්ථාවකදී පාලනය කළ නොහැකි දාම ක‍්‍රියාවලියක් බවට පත්වනු ඇතැයි කිව හැකිය.

ඒ නිසා දැනට රටේ සිදුවන මෙවැනි සටන්වලින් සේ ම එවැනි සටන් ව්‍යර්ථ කිරීම සඳහා ආණ්ඩුව දරන විවිධ උත්සාහයන්ගෙන්ද සිදුවිය හැක්කේ ඒ සියලූදෙනා අතින් රටේ පවතින දූෂිත හා අක‍්‍රමවත් දේශපාලන ක‍්‍රමය නමැති මහා කුලූන සිටුවා තිබෙන බිමේ පස් බුරුල් කිරීමය. ඒ නිසා ඒ සියලූදෙනා එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් කරන ක‍්‍රියාවලින් අවසාන වශයෙන් සිදුවිය හැක්කේ කඩා වැටෙන්නට නියමිත තත්ත්වයක තිබෙන ඉතාමත් දූෂිත හා අක‍්‍රමවත් දේශපාලන ක‍්‍රමය කඩාවැටීමේ ක‍්‍රියාවලිය ප‍්‍රවේගවත්වීමය.

දේශපාලන ක‍්‍රමයේ අර්බුදය තිබෙන්නේ අර්බුදයට ලක්ව තිබෙන තෝරාගත් විශේෂ අංශයක් තනිව ගෙන එය විසඳිය හැකි තත්ත්වයක නොවේ. ඒ ආකාරයට අවුල් විසඳීමට දරන ඕනෑම උත්සාහයක් තිබෙන අවුල් උග‍්‍ර කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය. තිබෙන අවුල් විසඳා ගැනීමට අවශ්‍ය නම් අවුල් ඇති කිරීමට හේතුවී තිබෙන ක‍්‍රමය මුළුමනින් ඉවත් කොට ප‍්‍රශ්න විසඳාගත හැකි නව ක‍්‍රමයක් ඇති කරගත යුතුය. ඒ සඳහා වන අවබෝධයක් හෝ උනන්දුවක් රටේ ශාස්ත‍්‍රාලයීය තලයේ හෝ සමාජ දේශපාලන තලයේ තිබෙන බවක් පෙනෙන්නට නැත. ඒ නිසා විය හැකිව තිබෙන්නේ ස්වාභාවික බිඳ වැටීමකි. ඒ සමග තාවකාලික අරාජික තත්ත්වයක් ඇති වුවද දේශපාලන ක‍්‍රමයක් ඇති කරගැනීමෙන් තොරව සමාජයට තවදුරටත් ඉදිරියට යා නොහැකි නිසා වඩා හොඳ හෝ නරක දේශපාලන ක‍්‍රමයක් ඇතිකර ගැනීමට සමාජයට සිදුවනු ඇතැයි කිව හැකිය.

තිබෙන අර්බුදයට අධ්‍යාපන ක‍්‍රමයේ ඇති දායකත්වය

මෙම අර්බුදය හා දේශපාලකයන් අතර තිබෙන සහසම්බන්ධය හා දේශපාලකයන්ගේ සැබෑ ස්වභාවය අඩු වැඩි වශයෙන් සමාජය දන්නෙහිය. මෙම දූෂිත දේශපාලන ක‍්‍රමය ගොඩනගන ලද හා ඒ ආශ‍්‍රයෙන් ගොඩනැගෙන දේශපාලන පරපුර ඉදිරි දැක්මකින් තොරය. ඉතාමත් ආත්මාර්ථකාමීය. අන්ත දූෂිතය. ප‍්‍රචණ්ඩය. කොල්ලකාරීය. ලබාගත හැකි විවිධ ලාභ ප‍්‍රයෝජන සලකා මහජනයා ඔවුන් සමග කල්ලි ගැසී ක‍්‍රියාකරන ප‍්‍රතිපත්තියක පිහිටි ක‍්‍රියා කළද මහජනයා තුළ ඔවුන් කෙරෙහි විශ්වාසයක් හෝ ගෞරවයක් ඇත්තේම නැත. ඒ පිරිස කාගේ නිර්මාණයක්ද? මාගේ මතය ඔවුන් අපේ රටේ පාසල් අධ්‍යාපන ක‍්‍රමයේත් විශ්වවිද්‍යාල අධ්‍යාපන ක‍්‍රමයේත් විකාරරූපී නිර්මාණයක් බවය. ඒ තත්්ත්වයට අපේ රටේ පාසල් අධ්‍යාපන ක‍්‍රමයත් විශ්වවිද්‍යාල අධ්‍යාපන ක‍්‍රමයත් වගකිව යුතුය. පාසල් අධ්‍යාපනයට සම්බන්ධවීමේදීත්, සාක්ෂරතාවේදීත්, සාමාන්‍ය උගත්කමේදීත් සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කිරීමට ශ‍්‍රී ලංකාව සමත් වී ඇතත් විචාර බුද්ධියෙන් යුතු සමාජයක් ඇති කිරීමට අපේ රටේ අධ්‍යාපන ක‍්‍රමය සමත් වී නැත. අපේ සමාජය ඉතාමත් පසුගාමී ආකල්පවලින් යුතුය. වර්ගවාදීය. ආගම්වාදී හා කුලවාදීය. වෙනස් මත නොඉවසනසුලූය. ආත්මාර්ථකාමී හා දූෂිතය. පහසුවෙන් රැවටිය හැකිය. උසිගැන්වීමට පහසුය. වීර වන්දනාවට කැමතිය. අපේ සමාජයේ පොදුවේ දක්නට ලැබෙන එම නරක ලක්ෂණ පාසල් අධ්‍යාපන ක‍්‍රමය හා විශ්වවිද්‍යාල අධ්‍යාපන ක‍්‍රමය විසින් සමාජයට උරුමකරදී තිබෙන නපුරු දායාදයක් ලෙස සැලකිය හැකිය. මෙම අධ්‍යාපන ක‍්‍රමය විසින් ගොඩනැගීමට සමත්ව තිබෙන්නේ විෂය දැනුම ඇති එහෙත් හොඳ පුරුෂාර්ථ නැති සමාජයකි. ඉහවහාගිය දූෂණය, නීතියේ පාලනයක් නැතිකම, කෙළවරක් නැති ලේ වැගිරීම්, අපරාධ වර්ධනය ඒ තත්ත්වයෙහි තර්කානුකූල ඵලයක් ලෙස සැලකිය හැකිය. අපේ රටේ අවලස්සන දේශපාලකයන්ගේ සිට, වෘත්තීයවේදීන්, බුද්ධිමතුන්, ජනමාධ්‍යවේදීන්, කලාකරුවන් යන සියලූදෙනා අපේ අධ්‍යාපන ක‍්‍රමයේ නිර්මාණයක් ලෙස සැලකිය හැකිය. අවලස්සන බව දේශපාලන තලයට සීමාවී නැත. වෘත්තීය බුද්ධිමතුන් අයත් වන ශාස්ත‍්‍රීය තලයද අවලස්සනය. අපිරිසිදුය.

මෙම අධ්‍යාපන ක‍්‍රමය විසින් බිහිකර තිබෙන උගතුන් ඔවුන්ගේ ප‍්‍රමාණයට සරිලන තරමින් රටේ භෞතික හෝ ආධ්‍යාත්මික දියුණුවට හේතුවන නව නිපැයුම් හා නිර්මාණ බිහිකිරීමට සමත් වී නැත. සමාජ සිතුම් පැතුම් හා ආකල්ප කෙරෙහි ගැඹුරු බලපෑමක් ඇති කිරීමට හේතුවන ආකාරයේ බුද්ධිමතුන් බිහිකිරීමට මෙම අධ්‍යාපන ක‍්‍රමය සමත් වී නැත. කිසියම් ප‍්‍රමාණයකට හෝ සමාජ ආකල්ප කෙරෙහි යහපත් බලපෑමක් ඇති කිරීමට සමත්ව තිබෙන්නේ මාර්ටින් වික‍්‍රමසිංහ හා ඊ.ඩබ්ලිව්. අදිකාරම් පමණය. ජනතාවගේ විචාර බුද්ධිය හා බහුත්වවාදී ආකල්ප පෝෂණය කිරීමට විශාල ප‍්‍රමාණයකට දායක වූ වෙනත් උගතුන් ඇත්තේම නැති තරම්ය.

රටක බුද්ධිමය සාරය ලෙස සැලකිය හැක්කේ වෘත්තීයවේදීන් ලෙස සැලකෙන බුද්ධිමතුන්ය. ඒ ගණයට වැටෙන අයගේ සංඛ්‍යාව විශාල වුවත් සමාජ ප‍්‍රගතිය පිණිස ඔවුන් ලබාදී තිබෙන දායකත්වයේ තරම ඉතාමත් කුඩාය.

වෘත්තීයවේදීන් අතර තිබෙන වෘත්තීය ආත්මාර්ථකාමීත්වය සමාජ දියුණුව අඩාල කරන ප‍්‍රධාන සම්බාධකයක් බවට පත්ව තිබේයැයි කිව හැකිය. පුද්ගලික වෛද්‍ය විද්‍යාල ක‍්‍රමයක් ඇති කරනවාට වෛද්‍යවරුන් සේ ම වෛද්‍ය ශිෂ්‍යයන්ද තරයේ විරුද්ධය. නිසි ප‍්‍රමිතියක් නැති වෛද්‍ය කඩවලට ඉඩ නොදිය යුතු බව සැබෑවකි. එහෙත් ඔවුන් විරුද්ධවන්නේ එවැනි ආයතනවලට පමණක් නොවේ. නිසි ප‍්‍රමිතියක් ඇති ආයතනවලටද ඔවුන් විරුද්ධය. පරිපූරක සෞඛ්‍ය අංශ සඳහා උපාධි අධ්‍යාපනයක් ඇති කරනවාටද වෛද්‍යවරු විරුද්ධය. ඔවුන් එසේ කරන්නේ නූතන ලෝකය ඒ අංශ සඳහා උපාධි අධ්‍යාපනයක් අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකෙන යුගයකදීය. හෙද විද්‍යාලවල යල් පැනගිය පාඨමාලා නවීන කරනවාට හෙද සංගම් විරුද්ධය. NDT පාඨමාලාවට ඉංජිනේරු ශිෂ්‍යයෝ විරුද්ධය. ඉඩම් ආරාවුල් උසාවි ක‍්‍රමයෙන් පිටත බේරුම් කරදෙන විකල්ප ක‍්‍රමයක් ඇති කරනවාට නීතිඥයෝ තරයේ විරුද්ධය.

හැම අංශයකම වෘත්තීයවේදීන් සඳහා ආචාර ධර්ම ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වේ. ඒ මගින් අපේක්ෂා කරන්නේ එම වෘත්තීය අංශවලදී වෘත්තීයවේදීන්ට ලැබී තිබෙන අතිවිශාල බලය අයුතු වාසි ලබාගැනීමට හෝ අන්‍යයන් පීඩාවට පත් කිරීමට තිබෙන ඉඩ වළකා එම වෘත්තීන්ට ගෞරවයක් හා අභිමානයක් ලබාදීමය. සිදුවන වෘත්තීය ආචාරධර්ම උල්ලංඝනයන් සොයා බලා බරපතළ වැරදි කරන පුද්ගලයන් එම වෘත්තීන්ගෙන් පහකිරීමේ බලය තිබෙන්නේ ආණ්ඩුවට හෝ අධිකරණයට නොව ඔවුන්ගේ වෘත්තීයවේදී සංගම්වලටය. වෘත්තීයවේදීන් ගණයට වැටෙන හැම අංශයකම පාහේ ඔවුන්ගේ ආචාර ධර්මවලට අනුකූලව ක‍්‍රියාකරන මනා ලෙස සිය සමාජ වගකීම් ඉටු කරන කිසියම් පිරිසක් සිටියද වැඩි පිරිස සමන්විත වන්නේ වෘත්තීය ආචාර්ධර්ම නොසලකා ක‍්‍රියාකරන්නන්ගෙනි. මෙය හැම වෘත්තීය අංශයකම හොඳින් පෙනෙන්නට තිබෙන තත්ත්වයක් වුවද වෘත්තීය ආචාරධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ වෘත්තීයවේදීන් ඔවුන්ගේ වෘත්තීන්ගෙන් පහකරනු ලැබූ අවස්ථා අසන්නට ලැබෙන්නේම නැති තරම්ය. එංගලන්තය වැනි රටක පවා නීතිඥ වෘත්තිය තාවකාලිකව තහනම් කෙරුණු හෝ මුළුමනින් වෘත්තියෙන් පහකෙරුණු අවස්ථා සිය ගණනක් හැම වසරකම වාර්තා වන්නේය. එහෙත් අපේ රටේ වෘත්තීයවේදීන් විසින් වෘත්තීය ආචාරධර්ම උල්ලංඝනය කෙරෙන අවස්ථා ඉතා බහුලව පෙනෙන්නට ඇතත් වෘත්තියෙන් පහකිරීම් ගැන නම් අසන්නට ලැබෙන්නේම නැති තරම්ය. දියුණු රටවල ඇති සියලූ වෘත්තීයවේදී සංවිධාන ආචාර ධර්ම උල්ලංඝනය කිරීම්වලට අදාළව තමන්ට ලැබෙන පැමිණිලි ප‍්‍රසිද්ධියට පත් කරයි. ඉන්පසු එම පැමිණිලි සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප‍්‍රතිපත්තීන්ද ප‍්‍රසිද්ධියට පත් කරයි. අපේ රටේ නීතිඥ සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වරලත් ගණකාධිකාරිවරුන්ගේ සංගමය වැනි විද්වත් වෘත්තිකයන්ගේ සංගම් වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය වැදගත් කොට සැලකිය යුතු මාතෘකාවක් ලෙස සලකන්නේ නැත.

රටේ නාමධාරි වරලත් ගණකාධිකාරී සමාගම් කිහිපයකට එරෙහිව කරුණු විකෘති කෙරෙන ආකාරයට හෝ වසන් කෙරෙන ආකාරයට වාර්තා ඉදිරිපත් කිරීම ගැන චෝදනා එල්ල වී ඇතත්, වරලත් ගණකාධිකාරී සංගමය අද දක්වා එම සමාගම්වලට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා නැත. මෙය එක වෘත්තීයවේදී අංශයක පමණක් නොව හැම වෘත්තීයවේදී අංශයකමත් දක්නට තිබෙන සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. ඕස්ටේ‍්‍රලියාව විසින් මේ මෑතකදී පළකර තිබෙන අධ්‍යයනයකට අනුව ශ‍්‍රී ලංකා ආර්ථිකයෙන් 50%ක් තරම් පංගුවක් අයත්වන්නේ කළු ආර්ථික ගණයටය. ලංකාවේ කළු ආර්ථිකය සමන්විත වන්නේ හොර ජාවාරම්කරුවන්ගේ කළු සල්ලිවලින් පමණක් නොවේ. ඊට වෘත්තීයවේදීන්ගෙන් ලැබී තිබෙන දායකත්වයද කැපීපෙනෙන තරම් විශාලය. නීතිඥයෝ්, වෛද්‍යවරු ඇතුළු විද්වත් වෘත්තීයවේදීහු කිසියම් විශාල පිරිසක් තමන් උපයන සැබෑ ආදායම් සඟවති. සමහරෙක් ආදායම් බදු ගෙවන්නේම නැත. තවත් සමහරෙක් ආදායම් බදු ගෙවන්නෝ නාමිකවය.

ඉන් පෙනෙන්නේ පිරිහීම ඇත්තේ දේශපාලන තලයේ පමණක් නොවන බවය. ඉතා උගත් හා ශුද්ධ වූ බව මතුපිටින් පෙනෙන්නට තිබෙන හැම තැනකටමත් ඒ තත්ත්වය පොදු බවය. එම පරිහානිය හා අධ්‍යාපනය අතර ආත්මීය සම්බන්ධයක් තිබෙන බවය. නීතිය හා ප‍්‍රතිපත්ති සම්පාදනය කරන දේශපාලකයන්ද, ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නගන රාජ්‍ය නිලධාරීන් ද, නීතිය පසිඳලන විනිශ්චයකාරවරුන්ද, වෘත්තීයවේදීන්, ජනමාධ්‍යකරුවන්, කලාකරුවන් යන සියලූදෙනා අපේ අධ්‍යාපන ක‍්‍රමය විසින් තනනු ලැබූ නිර්මාණයක් ලෙස සැලකිය හැකිය. මෙම විශේෂිත පුද්ගලයන්ගේ ප‍්‍රවීණත්වයේ ලොකු අඩුවක් ඇති නම් ඒ වරදේ වගකීමේ කිසියම් ලොකු පංගුවක් අධ්‍යාපන ක‍්‍රමයට බැරවිය යුතුය. පාසල් අධ්‍යාපන ක‍්‍රමය හා විශ්වවිද්‍යාල අධ්‍යාපන ක‍්‍රමය සිය ශිෂ්‍යයන්ට විෂය දැනුම ලබාදීමට සමත් වී ඇතත් ඔවුන් තුළ හොඳ පුරාෂාර්ථ ඇති කිරීමට සමත් වී නැත. අධ්‍යාපන ක‍්‍රමය බිහිකිරීමට සමත් වී ඇත්තේ විෂය දැනුම ඇති, පුරුෂාර්ථ නැති හරසුන් උගත් පරපුරකි. එය ශ‍්‍රී ලංකාවේ ඇතිවී තිබෙන පරිහානිය කෙරෙහි බලපා තිබෙන වැදගත් හේතුවකි. දේශපාලන තලයේ පවතින අවලස්සන බව සැලකිය යුත්තේද එහි ප‍්‍රතිබිම්බයක් ලෙසය.

ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

අධ්‍යාපන සඳහා කරන වියදමේදී ශ‍්‍රී ලංකාව ඉන්නේ ඉතාමත් පහත් තැනක බවට ආචාර්යවරුන් කරන චෝදනාව ඉතාමත්ම නිවැරදිය. 2012 වසර සඳහා වන මහ බැංකුවේ ඇස්තමේන්තු අනුව දළ දේශීය නිෂ්පාදිතයේ වටිනකම රුපියල් බිලියන 6542.66කි. අධ්‍යාපනය සඳහා වෙන්කර තිබෙන වියදම රුපියල් බිලියන 107.98කි. එවිට දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් අධ්‍යාපන වියදම 1.65%කි. 2011 වසර සඳහා ඉන්දියාවේ අධ්‍යාපන වියදම දළ ජාතික නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් 4%කි. මැලේසියාවේ 5.8%කි. දකුණු කොරියාවේ 5%කි.

මීට අතිරේකව උසස් අධ්‍යාපනය සඳහා කරන වියදමේදී ශ‍්‍රී ලංකාව සිටින්නේ ඉතාමත් පහත් තැනකය. මුළු අධ්‍යාපන වියදමෙන් උසස් අධ්‍යාපනය සඳහා කරන වියදම තිබෙන්නේ 8.6%ක මට්ටමකය. ඉන්දියාවේ එය 13.2%කි. මැලේසියාවේ 20.9%කි. දකුණු කොරියාවේ 15.1%කි.

ජාතික ආදායමේ වටිනාකමෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉල්ලා සිටිති. ලොකු ඉලක්කයක් නරක නැතත් ප‍්‍රායෝගික නැත. අවසානයේදී ඉතාමත් දියුණු කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබෙන දකුණු කොරියාව පවා අධ්‍යාපනය සඳහා වැය කරන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමින් 5%කි. 1.65%ක සිටින රටක් වන දකුණු කොරියාවද ඉක්මවා 6%ක් ගැන සිහින දැකීම විස්තර කළහැක්කේ සීමාව ඉක්මවා ඉදිරියට යන්නට දරන උත්සාහයක් ලෙසය. ලෝක බැංකු දත්ත අනුව පහළ මැද ආදායම් ගණයට වැටෙන රටවල් අධ්‍යාපනයට වැය කරන වියදමේ සාමාන්‍යය දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමින් 4.3%කි. ඉහළ මැද ආදායම් ගණයට වැටෙන රටවල් සඳහා එය 4.6%කි. ආචාර්යවරුන් කරන ඉල්ලීම ඉතා යහපත් වුවත් රටේ පවතින දූෂිත දේශපාලන ක‍්‍රමය තුළ එය දිනාගත හැකි ඉල්ලීමක් ලෙස සැලකිය නොහැකිය. ශ‍්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා පමණක් නොව මොනම ක්ෂේත‍්‍රයක් සඳහා වුවද පිළිගත් ජාතික ප‍්‍රතිපත්තියක් නැතිව බලයට පත්වන ආණ්ඩුවල මනාපය අනුව අයාලේ යන රටකි. හැම වැදගත් අංශයක් සඳහා පිළිගත් ජාතික ප‍්‍රතිපත්ති රාමුවක් ඇති කරගැනීමේ වැදගත්කම දේශපාලන න්‍යාය පත‍්‍රයට අලූතෙන් එකතු කරගත හැකිවනු ඇත්තේ ක‍්‍රමයේ බිඳ වැටීමක් ඇතිවී නව ක‍්‍රමයක් ගැන බැරෑරුම් සමාජ අවධානය යොමුවන අවස්ථාවකදී පමණය.

ආචාර්යවරුන්ගේ වැටුප් වර්ධනය කරගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම්ද මෙම දේශපාලන ක‍්‍රමය තුළ දිනාගත නොහැකි දෙයක් ලෙස සැලකිය හැකිය. රජයේ සේවකයන්ගේ වැටුප් ක‍්‍රමය සකස් කර තිබෙන්නේ සමාජවාදී ක‍්‍රමයකටය. අවම වැටුප් හා උපරිම වැටුප් අතර වැටුප් පරිමාණය 1:4කි. අවම වැටුප රු. 11730ක් වන විට උපරිම වැටුප රුපියල් 47515කි. එහෙත් රජයේ සේවකයන් ගණයට නොවැටෙන මහ බැංකුව, රාජ්‍ය බැංකු, සංස්ථා හා මණ්ඩල ගණයට වැටෙන රාජ්‍ය ආයතනවල සේවකයන්ට ලැබෙන වැටුප් හා රාජ්‍ය සේවක වැටුප් අතර මහා පරතරයක් පවතී. සමහරවිට මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායකයකුගේ වැටුප රජයේ වෛද්‍යවරයකුගේ වැටුපට වැඩිවිය හැකිය. රජයේ සේවකයන්ගේ වැටුප් එකට ගැට ගසා ඇති බැවින් තෝරාගත් එක පිරිසක් පමණක් ගෙන ඔවුන්ට පමණක් බලපාන පරිදි වැටුප් වැඩි කිරීම් කළ නොහැකිය. මුලදී මැති ඇමතිවරුන් වැනි දේශපාලකයන්ද, විනිශ්චයකාරවරුන්ටද, රජයේ සේවකයන් සඳහා පැවති වැටුප් ක‍්‍රමය බලපෑවේය. ඉතා සටකපට ලෙස දේශපාලකයන් පමණක් ඒ ක‍්‍රමයෙන් පිටමං වූයේ අධිකරණ සේවය ආවරණයක් කරගනිමිනි. ඔවුහු පළමු වටයේදී විනිශ්චයකාරවරුන්ට වැටුප් විෂමතාවත් ඇති බව ප‍්‍රකාශ කොට තිබුණු ක‍්‍රමය නොසලකා ඔවුන්ට පමණක් බලපාන පරිදි ඔවුන්ගේ වැටුප් වැඩි කළෝය. ඉන්පසු ටික කලක් යන්නට ඉඩහැර විනිශ්චයකාරවරුන්ගේ වැටුප් තමන්ට විෂමතාවක් ඇති කිරීමට හේතුවී ඇති බව ප‍්‍රකාශ කරමින් පාර්ලිමේන්තුවේ නීති සම්පාදකයෝ්ද ඔවුන්ගේ වැටුප් වැඩිකර ගත්තෝය. එහි ඇති සදාචාර විරෝධී බව ප‍්‍රකාශ කරන්නට පාර්ලිමේන්තුවේ කිසිවෙකුත් නොවීය. හිටපු අගවිනිසුරුවරයා ප‍්‍රකාශ කර තිබෙන ආකාරයට දැන් ඔහු ලබාගන්නා මාසික විශ‍්‍රාම වැටුපේ ප‍්‍රමාණය රුපියල් 150,000කි. හැන්ද අත ඇති පිරිස තමන්ට බෙදාගෙන ඇති ප‍්‍රමාණයේ තරම ඉන් පෙන්නුම් කරයි.

විශ්වවිද්‍යාල නිර්දේශපාලනය කිරීම හා ඒවාට ස්වාධීනත්වයක් ලබාදීම පිළිබඳ අදහසද යහපත් ඉල්ලීමක් ලෙස සැලකිය හැකි වුවද එයද මෙවැනි දේශපාලන ක‍්‍රමයක් තුළ දිනාගත හැකි ඉල්ලීමක් ලෙස සැලකිය නොහැකිය. විශ්වවිද්‍යාලවලට තබා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම ස්වාධීනත්වයක් ලබාදී ඇති ශ්‍රේෂ්ඨාධිකරණයට හා විගණකාධිපතිටත් ස්වාධීනව ක‍්‍රියාකිරීමේ ඉඩක් මෙම දේශපාලන ක‍්‍රමයෙන් ලැබී නැත. දේශපාලනකරණය හැම ආයතනයකටම බලපා තිබෙන අතර පාලන බලයක් ඇති සියලූ ආයතනවල අරක්ගෙන සිටින්නෝ දේශපාලන හෙංචයියෝය. විධායක ජනාධිපති ක‍්‍රමය ගොඩනගා තිබෙන්නේ නොවැදගත් අහුමුළු කෙරෙහි පවා විධායක ජනාධිපතිගේ අනුහස හා ආධිපත්‍යය ක‍්‍රියාත්මක වන ආකාරයටය.

ආචාර්යවරු කිසියම් ප‍්‍රමාණයකට මනෝරාජික වුවත් යහපත් අරමුණක් වෙනුවෙන් මාස තුනක්ම පඩි නැතිව සටන් කළෝය. ඔවුන් මුලදී සටන් කළේ දේශපාලන පක්ෂවල සහාය නැතිවය. ඒ නිසා ඔවුන්ගේ අරගලයට ජාතික පෙනුමක්ද ලැබී තිබුණේය. ඉන්පසු එම අරගලය ආණ්ඩු පක්ෂයේ සහභාගිත්වයක් නැතිව විරුද්ධ පක්ෂවල සහභාගිත්වය පමණක් සීමාවීම නිසා ඊට එතෙක් තිබුණු ජාතික පෙනුම යම් පමණකට නැතිවීයැයි කිව හැකිය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඔවුන් කරන ලද එම සටනින් උගත යුතුව තිබෙන ලොකුම පාඩම වනුයේ මෙම දූෂිත දේශපාලන ක‍්‍රමයේ මූලික වෙනසක් ඇති කරගැනීමෙන් තොරව ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට නොහැකි බවය.

දැන් තිබෙන තත්ත්වය අනුව සරසවි ආචාර්යවරුන්ගේ සටන ජය පරාජයකින් තොරව අවසන්වීමත් සමග ඊළඟට කරළියට එන්නට නියමිතව තිබෙන්නේ විධායකය හා අධිකරණය අතර කෙරෙන අරගලයකි. ඒ අරගලයද දෙපැත්තටම විශාල හානියක් ඇති කරමින් ක‍්‍රමයේ අවුල තීව‍්‍ර කිරීමට හේතුවනු ඇත. 


වික්ටර් අයිවන් [Sunday, October 7, 2012]

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...