Thursday, October 11, 2012

ආචාර්යවරුන් සමඟ ඒකාබද්ධ නිවේදනයට රජයේ එකඟතා

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය අවසන් කරමින් රජය සහ ආචාර්යවරුන් අතර අවසන් එකඟතා වන් ලෙස ඒකාබද්ධ නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ යුතු එකගතා ලෙස රජය පාර්ශ්වයෙන් ‍ඉදිරිපත් කළ එකඟතාවයන් මේවන විට අප වෙත ලැබී තිබේ.

මෙම එකඟතාවන් සම්බන්ධයෙන් අවසන් තීරණය මේවන විට පැවැත්වෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක සභාවේදී ගැනීමට නියමිතය.

රජය පාර්ශ්වයෙන් යොමුකළ ඒකාබද්ධ නිවේදනය සදහා සැකිල්ල මෙසේය.

මාස තුනකට අධික කාලයක් තිස්සේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් පවත්වාගෙන යනු ලබන වෘත්තීය ක‍්‍රියාමාර්ගය අවසන් කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හා රජය යන දෙපාර්ශවය අතර සාධනීය එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා, අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත හා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමාගේ ඉල්ලීම මත, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීමෙන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා ඇතුලූ නිලධාරීන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිදු කළ දිගු හා ඵලදායී සාකච්ඡා වල ප‍්‍රතිඵලයක් ලෙස වර්ජන ක‍්‍රියාමාර්ගය අතහැරීම සඳහා වන පහත සඳහන් එකඟතා ගොඩනඟා ගැනීමට දෙපාර්ශවයට හැකි විය.

මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය විසඳා ගැනීම සඳහා අදාළ පාර්ශව යොමු කරවීම කෙරෙහි උනන්දු වූ අනෙකුත් පාර්ශව වන අතිගරු මහානායක ස්වාමීන් වහන්සේලා, සියලූම පූජක උතුමන්ලා, වෘත්තීය සමිති, බුද්ධිමතුන්, මහජන නියෝජිතයින්, විශ්වවිද්‍යාල ප‍්‍රජාව සහ සිවිල් සමාජ සංවිධාන දැක්වූ සහයෝගය පිළිබඳව රජයත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයත් යන දෙපාර්ශවයම ප‍්‍රසාදය පළකර සිටී.

මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන්ව ඇති පරිදි ශ‍්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ගය ශක්තිමත් කිරීමටත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉදිරිපත් කළ ජාත්‍යන්තර නිර්නායකවලට අනුකුලවන ලෙස අධ්‍යාපනය පිළිබඳව වූ රාජ්‍ය වියදම් වැඩි කිරීමේ යෝජනාව පිළිබදව සැලකිලිමත් වෙමින් සහ අනෙකුත් යෝජනා ඇතුලත්වන ආකාරයටත් වූ කැබිනට් පත‍්‍රිකාවක් සාකච්ඡා ක‍්‍රියාවලියේ එක් පියවරක් ලෙස රජය විසින් අනුමත කරන ලදී.

එම කැබිනට් පත‍්‍රිකාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩලය විශේෂ වෘත්තීය කණ්ඩායමක් ලෙස සැලකීම, ඒ සඳහා කටයුතු කිරීමට විශේෂිත කමිටුවක් පිහිටුවීම, පශ්්චාත් උපාධි විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම, උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට අදාළ ප‍්‍රතිසංස්කරණ හා විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය පිළිබඳව වන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීම, උසස් අධ්‍යාපනය සම්බන්ධ ප‍්‍රතිසංස්කරණ කටයුතු වලදී විශ්වවිද්‍යාල ප‍්‍රජාව සමඟ ඵලදායී සංවාදයක යෙදීමේ අවශ්‍යතාව පිළිගැනීම යන කරුණු ද ඇතුලත්විය.

එසේම විශ්වවිද්‍යාලවල ශාස්ත‍්‍රීය නිදහස හා ස්වාධීනත්වය සුරැකෙන පරිදි කටයුතු කිරීමට අවශ්‍ය එකඟතා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, උපකුලපතිවරුන් හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අතර ගොඩ නඟා ගැනීමට මෙම සාකච්ඡා තුල දී හැකි විය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, උපකුලපතිවරුන් හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සමඟ ගරු බැසිල් රාජපක්ෂ ඇමතිතුමා විසින් පවත්වන ලද සාකච්ඡා මාලාවේදී වර්ජන ක‍්‍රියා මාර්ගය අවසන් වූ පසු එකිනෙක විශ්ව විද්‍යාලවල සමස්ත අධ්‍යයන කාර්ය මණ්ඩලය හා උපකුලපතිවරු අතර රැස්වීමක් මෙන්ම විශේෂ සෙනෙට් සභා රැස්වීමක් ද පැවැත්වීමට එකග විය. එමගින් එකිනෙක විශ්වවිද්‍යාල වල යහපත් අධ්‍යයන පරිසරයක් ගොඩනඟා ගැනීම සඳහා වූ සංවාදයක් ගොඩනැංවිමට අපේක්‍ෂා කෙරේ. ඒවගේම මෙම සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සදහා වර්ෂයකට දෙවරක් උප කුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව සහ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනය අතර රැස්වීම් පැවැත්වීමට ද එකග විය.

එසේම විශ්වවිද්‍යාල ආචාර්ය ප‍්‍රජාවේ සාධනීය කටයුතු වලට බාධාකාරීවන, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් නම්කරනු ලැබ ඇති චක‍්‍රලේඛ අහෝසි කිරීමට ද එකඟතාවක් ඇතිවිය.

විශ්වවිද්‍යාලවලට බඳවාගන්නා නවක සිසුන් සඳහා වන නායකත්ව පුහුණු වැඩසටහනේ ස්වරූපය තීරණය කිරීම සඳහා පීඨමණ්ඩල හා සනාතන සභාවල සහය ලබා ගැනීම එලඹි තවත් එකඟතාවකි.

එසේම පෞද්ගලික ආයතනවලට විශ්ව විද්‍යාලවල සම්පත් භාවිත කිරීමට ඉඩදෙමින් එවන් ආයතන සමග උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඇතිකර ගත් එකගතා ක‍්‍රියාත්මක කල හැකිවන්නේ පීිඨමණ්ඩල සහ සනාතන සභාවල අනුමැතිය යටතේ බව දෙපාර්ශවයම පිළිගනි. දෙපාර්ශ්වය අතර සාකච්ඡා සුහදත්වයෙන් හා අවබෝධයෙන් යුතුව සිදුකෙරුණු අතර අදාළ එකඟතා ක‍්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියටත් සුහදව කටයුතු කිරීමට දෙපාර්ශවය එකඟ වී සිටී.

උපුටාගැනීම-lankaviews.com

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...