Saturday, November 3, 2012

නිදහස්‌ අධ්‍යාපන අරගලය, වල්පොළ රාහුල හාමුදුරුවෝ සහ අපි

Walpola Rahula Thero
සරසවි ඇදුරු අරගලයට පසුවදනක්‌

පසුගිය මාස කීපය මුළුල්ලේ ම නිදහස්‌ අධ්‍යාපනය, ඒ සම්බන්ධ රජයේ වගකීම ආදිය පිළිබඳ සැලකිය යුතු සාකච්ඡාවක්‌ ඇති වීම විශේෂයෙන් කැපී පෙනුණු තත්ත්වයකි. එවැනි සාකච්ඡාවක්‌ ඇති වූයේ වෙන කිසිවක්‌ නිසා නොව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් මාස තුනකට වැඩි කාලයක්‌ තිස්‌සේ මෙහෙය වූ වැඩවර්ජනය තුළ තම වෘත්තීය ඉල්ලීම්වලට අමතරව ඉතා බැරෑරුම් ලෙස අධ්‍යාපනය සඳහා දල ජාතික නිෂ්පාදනයෙන් සැලකියයුතු ප්‍රමාණයක්‌ (6% ක්‌) වෙන්කළ යුතු බවට මතුකරන ලද ඉල්ලීම නිසාය. විවිධ හේතූන් මත කලින් කලට මතුවන ප්‍රමුඛතා සඳහා වැඩි අවධානය යොමුවෙද්දී රටක ඉදිරිගමනට තීරණාත්මක ලෙස බලපාන "අධ්‍යාපනය" සඳහා යොමුවිය යුතු අවධානය ශීඝ්‍රයෙන් පහල ගොස්‌ ඇති බව අප හැමට බරපතල ලෙස මතක්‌ කරදුන්නේත් එකී පිරිහීම වැළැක්‌වීමට වහ වහා මැදිහත්විය යුතු බව පෙන්වා දුන්නේත් මෙම විශ්වවිද්‍යාල ආචාර්ය අරගලයයි. මෙම ලිපියේ අරමුණ නිදහස්‌ අධ්‍යාපන අරගලය ගැන සාකච්ඡාවන්හි දී එතරම් මතු නොවන එහෙත් වැඩි අවධානයකින් සාකච්ඡා කළ යුතු අංශ කිහිපයක්‌ වෙත අවධානය යොමු කිරීම සහ එකී අංශයන් කෙරෙහි අවධානය යොමු කිරීම පෙර කී සරසවි ඇදුරන් මතු කරන ලද ප්‍රශ්නය සම්බන්ධයෙන් අදාළ වන ආකාරය සාකච්ඡා කිරීමයි.

1947 නිදහස්‌ අධ්‍යාපන පනත සම්මතවීමට පෙර ලංකාවේ තිබූ තත්ත්වය වූයේ අධ්‍යාපන අවස්‌ථාව සම්පූර්ණයෙන්ම පාහේ ධනවත් පංතියට පමණක්‌ සීමා වී පැවතීමයි. සාමාන්‍ය පංතියේ ජනයාට තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට තිබූ එකම අවස්‌ථාව වූයේ ගමේ පංසලේ භික්‌ෂූන් වහන්සේ යටතේ ලබන අධ්‍යාපනයයි. (මීට අමතරව මිෂනාරී පාසල් තුළ අධ්‍යාපනය ලැබීමේ අවස්‌ථාව සාමාන්‍ය පවුල්වල දරුවන්ට විවරව පැවතුනත් එය ජාතික වශයෙන් සැලකීමට තරම් රට පුරා ව්‍යාප්තව පැවැති තත්ත්වයක්‌ නොවේ.) පංසල තුළ ලැබූ අධ්‍යාපනය අකුරු කියවීම, ලිවීම වැනි අධ්‍යාපනයේ මූලික දැනුම් ලැබීමට පමණක්‌ සීමා විය. මේ අනුව උසස්‌ රැකියා ලැබීමේ අවස්‌ථාව සමාජයේ විශේෂ පංතියක දරුවන්ට පමණක්‌ කලින්ම වෙන් කොට තිබුණු අතර සාමාන්‍ය පංතියේ ජනයාට උරුමව පැවතියේ ගොවිතැන හා ප්‍රදේශයේ ඇති හැකි අයට ශ්‍රමයෙන් සේවය සැපයීමේ අවස්‌ථාවයි. මේ තත්ත්වය වෙනස්‌ කරමින් දැවැන්ත සමාජ විප්ලවයක්‌ කරනු ලැබූයේ නිදහස්‌ අධ්‍යාපන පනත මගිනි. එය අනුමත වීමත් සමග උපත හෝ ධනවත්කම නොව හැකියාව හා කැපවීම ඔස්‌සේ ඉදිරියට පැමිණීමේ අවස්‌ථාව ලංකාවාසීන්ගේ දරුවන්ට උදාවිය. එහෙයින් උපතින් ධනවත් පංතියට අයත් නොවන එහෙත් අද වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, අධිකරණ නිලධාරීන්, පරිපාලන නිලධාරීන්, විදේශ සේවා නිලධාරීන් ඈ තනතුරු හොබවන හැම අයෙකුම ඒ තත්ත්වයට ළඟාවී ඇත්තේ නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙනි.

ඊට අමතරව පංසලෙන් පමණක්‌ යම් අධ්‍යාපනයක්‌ ලැබීමේ අවස්‌ථාව පැවැති කාලයේ ප්‍රායෝගික කාරණා මත ඒ අවස්‌ථාව හිමි වූයේ ද පිරිමි දරුවන්ට පමණි. ගජමන් නෝනාට පිරිමි දරුවෙකු සේ වෙස්‌වලාගෙන කරතොට තෙරුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට සිදු වුණා යෑයි කියන තත්ත්වය විසි වැනි සියවස ඇරඹෙන විටත් ඒ ආකාරයෙන්ම පැවතින. අධ්‍යාපනය ලැබීමේ දී පොදුවේ කාන්තාවන් මුහුණ දුන් මේ මහා බාධකය බිඳ දමමින් සමාජයේ ප්‍රමුඛ සාමාජික පිරිසක්‌ ලෙස ඉදිරියට පැමිණීමට ඔවුනට අවස්‌ථාව ලබාදෙන්නේ ද නිදහස්‌ අධ්‍යාපනයයි. පසුගියදා ලංකාවෙන්ම පළමු වැනියා වෙමින් ශිෂ්‍යත්ව විභාගය සමත් වූ තලාතුඔය දැරිය වැනි උපතින් ධනවත් පංතියට අයත් නොවූ දරුවන්ට ඉදිරියට ඒමට දොර විවර කළේ මේ නිදහස්‌ අධ්‍යාපනයයි. ඒ අනුව නිදහස්‌ අධ්‍යාපන පනත සම්මත වීම යනු ලංකා සමාජයේ සිදුවූ දැවැන්තම විප්ලවීය අවස්‌ථාව ලෙස සැලකිය හැකිය.

මේ මහා විප්ලවය නිසි දින ගණන පිරුණු දරුවෙකු මව් කුසයෙන් ලොවට බිහිවන්නා සේ කිසිත් බාධාවකින් තොරව පනත ඉදිරිපත් කළ සැනින් සැමගේ ආශිර්වාද මැද අනුමත වී ක්‍රියාත්මක තලයට පැමිණියේද? පිළිතුරු නැත යන්නයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන ආ අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු මුදල ඉහල නැංවිය යුතුය යන ඉල්ලීම මාස තුනක්‌ ගතවීත් ජයග්‍රහණය නොකිsරීම ගැන මහත් කලබල වී ඇති සෑම දෙන මතක තබාගතයුතු කරුණක්‌ වන්නේ නිදහස්‌ අධ්‍යාපන අරගලය ජය ගෙන පනතක්‌ ලෙස සම්මත වී ක්‍රියාත්මක තලයට පැමිණීමට ගත වූ කාලය වසර හතරක්‌ තරම් දීර්ඝ වූ එකක්‌ බවයි. කන්නන්ගර මහතා නිදහස්‌ අධ්‍යාපන පනත යෝජනාවක්‌ හැටියට ගෙන ආවේ 1943 වසරේ දීය. එහෙත් 1947 වනතුරුම එය සාකච්ඡාවට ගැනීම සඳහා න්‍යාය පුස්‌ථකයට ඇතුළත් කිරීම පවා වළකන ලදී. නිදහස්‌ අධ්‍යාපන පනත සම්මත වුවහොත් අපගේ වතුවල පොල්කඩන්නට වත් කොල්ලෙකු හොයාගන්නට නැතිව යනවා ඇතැයි පවසමින් ප්‍රභූ දේශපාලකයන් විසින් එකී පනත සම්මත වීම වළකා ස්‌වභාවික මරණයකට යොමුකොට තිබිය දී එය ඉදිරියට ගෙන සාකච්ඡාවට යොමු කොට අනුමත කෙරෙන තත්ත්වයක්‌ රට තුළ නිර්මාණය කළෝ කවරහුද? අපවත් වී වදාළ මහාචාර්ය වල්පොළ රාහුල හිමියන්ගේ ඓතිහාසික මැදහත් වීම අදාළ වන්නේ මෙතැනදීය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ පළමු ලාංකීය බෞද්ධ භික්‌ෂුව වල්පොළ රාහුල හිමියෝ යි. නමුත් ඒ මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය යුතු වූ යුගයේ දී එනම් 1930 දශකයේ දීයි. ඒ. පී. ද සොයිසා, ඒ. එµa. සී. ලුඩොවයික්‌ හා එස්‌. තංගරාජා යන මහතුන්ගේ ද මගපෙන්වීම යටතේ ලන්ඩන් යුනිවර්සිටි කොලීජියට ඇතුළත්වීමේ විභාගයට පෙනී සිට සුදුසුකම් ලබන රාහුල හිමියන්ට පෙරදිග භාෂා සම්බන්ධ උපාධිය පංති සාමාර්ථයක්‌ ද සහිතව සම්පූර්ණ කිරීමට හැකිවන්නේ එවක සාන්ත තෝමස්‌ විද්‍යාලයේ විද්‍යා හා ගණිත ගුරුවරයෙකු වූ සරවනමුත්තු තංගරාජා මහතා විසින් සියලුÊපංති ගාස්‌තු ගෙවීම නිසා පමණක්‌ නොව අධ්‍යාපනය ලැබූ කාලය පුරාම උඩහමුල්ලේ තිබූ තම කුළී නිවසේ නැවතී සිටීමට ද උන්වහන්සේට අවකාශය ලබා දුන් බැවිණි. මෙම විශ්වවිද්‍යාල අධ්‍යාපන කාලය තුළ තම උපාධිය සඳහා හදාල විෂයයනට අමතරව දේශපාලන දර්ශන, සමකාලීන ලෝක ප්‍රවනතා ගැන ද හදාල රාහුල හිමියෝ 1936 දී පමණ පැතිරිනු මැලේරියා වංසගතයෙන් පීඩිත ජනයා සුවපත් කිරීම සඳහා ද අන් සිසුන් සමග එක්‌ව මහත් වෙහෙසක්‌ ගෙන කටයුතු කළහ. ධර්මදූත සභාවට සම්බන්ධව කටයුතු කරමින් රටපුරා යමින් කුළහීන ලෙස සලකා සමාජයෙන් කොන්කර තිබූ ජනසමාජ නගා සිටුවීමටද කාලයක්‌ වැඩකර අත්දැකීම් සහිතව සිsටි රාහුල හිමියන්ගේ පොදු ජනයා සම්බන්ධ ආකල්ප මෙන්ම දේශපාලනික අදහස්‌ ද වඩාත් පෝෂණය වූයේ මෙකී විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් සමගය.

කන්නන්ගර මහතාට යථාර්ථයක්‌ බවට පත්කරගන්නට නොහැකිව තිබුණු නිදහස්‌ අධ්‍යාපන පනත සම්බන්ධ අරගලය හුදෙක්‌ රාජ්‍ය සභාවට සීමා වූ අරගලයකින් සමාජ අරගලයක්‌ දක්‌වා පුළුල් කිරීම සිදුවන්නේ මෙකී රාහුල හිමියන්ගේ බරපතල මැදිහත් වීමෙනි. මුදල් ගෙවා තමන් ද ලද අධ්‍යාපනය සාමාන්‍ය පංතියේ හැකියාවන් සහිත දරුවන් වෙත ද ලබාදීමේ ඇති වැදගත්කම වෙනුවෙන් පෙනී සිටි රාහුල හිමියෝ ගම් නියම් ගම් හි ඇවිදිමින් රැස්‌වීම් පවත්වමින් නිදහස්‌ අධ්‍යාපන පනත සම්මත කරගැනීම සඳහා ජනයා පෙළගස්‌සන්නට විය. මේ මැදිහත්වීම ප්‍රභූන්ගේ ආධිපත්‍යයට එරෙහිවීමක්‌ සේ වටහා ගත් බැවින් ඇතැම් තැනක දී ප්‍රභූන්ගේ මෙහෙයවීම මත සිදුකෙරුණු තර්ජනයන්ට ද උන්වහන්සේ මුහුණ දුන්හ. කළල්ඇල්ලේ ආනන්දසාගර තෙරුන් ද එදා විද්‍යාලංකාර පිරිවෙනේ වැඩහුන් යක්‌කඩුවේ හිමි ඇතුළු ධෛර්ය සම්පන්න භික්‌ෂූන් වහන්සේ කිහිප නම ද ඩී. බී. ධනපාල වැනි මාධ්‍ය දැවැන්තයින්ද වාමවාදී දේශපාලන නායකයින් ද හරිහරියට මේ මහජන අරගලයට සහයෝගය ලබා දුන්හ. එතෙක්‌ ඉතිහාසයේ අත්සන් කෙරුණු දිගම මහජන පෙත්සම නිදහස්‌ අධ්‍යාපනයට පක්‌ෂව අත්සන් කිරීම ඇරඹිණ. එහි මුල්පිටපත ලියන ලද්දේ ද රාහුල හිමියන් විසිනි.

"නිදහස්‌ අධ්‍යාපනය" යන්න ජන තුඩග රැව්දෙන මාතෘකාව බවට ක්‍රමයෙන් පත්විය. වසර හතරක්‌ තිස්‌සේ ඉදිරියට පැමිණීම වළකා දමා තිබුණු නිදහස්‌ අධ්‍යාපන පනත සාකච්ඡා නොකර සිටිය නොහැකි තත්ත්වයට පැමිණ ඇති බව දුටු එදා සිටි ප්‍රභු දේශපාලකයෝ පළමු වතාවට පනත සාකච්ඡාවට ගැනීමට දිනයක්‌ නියම කිරීමට එකඟ වූහ. බලාපොරොත්තු වූ දිනය එළැඹිණ. පෙත්සම රැගත් රටේ විවිධ පෙදෙස්‌වලින් පැමිණි භික්‍ෂූන්, සාමාන්‍ය ජනයා විද්‍යාලංකාර පිssssssssssssරිවෙනේ සිට දැවැන්ත පාගමනකින් ගාලුමුවදොර පිහිටි රාජ්‍ය සභා ගොඩනැගිල්ල වෙත ගමන් කළහ. ගාලුමුවදොර පිටිය සාමාන්‍ය ජනයාගෙන් පිරී තිබිණ. ඩබ්. දහනායක මහතා මහජන පෙත්සම සභාවට ඉදිරිපත් කළේය. රාහුල හිමි අමුත්තන්ගේ ගැලරියේ සිට සභාගැබෙහි සිදුවන දැ නිරීක්‍ෂණය කරමින් සිටි අතර ආනන්ද සාගර තෙරුන් වරින් වර පිටත සිටි මහජනයා අතරට පැමිණෙමින් සභාගැබෙහි සිදුවන දැ ගැන ජනතාව දැනුවත් කිරීම සිදු කළහ. පනතට එරෙහි වුවහොත් තමනට පැවැත්මක්‌ නැති බව ප්‍රභූ දේශපාලකයන්ට ප්‍රකට වන ආකාරයට සියල්ල සිදුවෙමින් පැවතිණි. අවසානයේ පනතට එරෙහිව සිටි අයගේද සහාය ඇතිව ඓතිහාසික නිදහස්‌ අධ්‍යාපන පනත සම්මත වීම සිදුවිය.

මේ සමස්‌ත සිදුවීම අධ්‍යයනය කරන විට වඩාත් කැපී පෙනෙන කාරණයක්‌ වන්නේ නිදහස්‌ අධ්‍යාපන අවස්‌ථාව පොදු ජනයාට හිමිවන්නේ එකී ඉල්ලීම මහජන අරගලයක්‌ දක්‌වා වර්ධනය කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මිස හුදෙක්‌ තනි පුද්ගල උත්සාහයකින් පමණක්‌ නොවේ ය යන්නයි. කන්නන්ගර මහතාට නිදහස්‌ අධ්‍යාපන පනත ගෙන ඒමේ ගෞරවය කිසිත් අඩුවක්‌ නැතිව හිමිවිය යුතු නමුත් එය සමාජ ව්‍යාපාරයක්‌ බවට පත් කොට කන්නන්ගර මහතාගේ උත්සාහය පළ දරන තත්ත්වයක්‌ නිර්මානය කරන ලද්දේ වෙනත් පිරිසකි. මේ ආකාරයට ම පසු ගිය රජයන් ගණනාවක්‌ තුළ පිරිහීමට ඉඩ හැර තිබෙන මුල සිට අග දක්‌වා දේශපාලනීකරණයට නතුකොට ඇති ලංකාවේ අධ්‍යාපන ක්‌ෂේත්‍රය උසස්‌ තැනකට ගෙන ඒමේ අරගලය ජයග්‍රාහී එකක්‌ බවට පත් කළ හැකි වනු ඇත්තේ ද එය ජනතා අරගලයක්‌ දක්‌වා හැකි තරම් පුළුල් කළහොත් පමණි. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මාස තුනක්‌ තිස්‌සේ මහත් වෙහෙසක්‌ ගෙන කරන ලද කාර්යභාරය බෙහෙවින් ප්‍රශංසනීය වන්නේ ඒ අර්ථයෙනි. එය ඉතාම ප්‍රශංසනීය ඇරඹුමකි. මෙතැනින් ඉදිරියට එය රැගෙන යාමේ වගකීම සමාජයේ අනෙකුත් වගකිවයුතු සෑම අංශයකටම පැවරේ.

දෙවැනි වැදගත් කරුණ ලෙස පෙනෙන්නේ නිදහස්‌ අධ්‍යාපන අරගලය මහජන අරගලයක්‌ දක්‌වා ගෙනයාමට රාහුල හිමියන් ඇතුළු පිරිසෙන් ලැබුණු විදග්ධ නායකත්වයයි. රාහුල හිමි හුදෙක්‌ පංසලකට සීමාවූ මානසිකත්වයකින් යුතු සිංහල ජාතිය සහ බුද්ධාගමේ ආරක්‍ෂාව ගැන පමණක්‌ කතා කරන සුළු චරිතයක්‌ නොවී වඩා පුළුල් ලෝක දැක්‌මක්‌ සහිත පුද්ගලයකු වීම මෙහි දී කැපී පෙනෙන කරුණකි. සත්‍යවශයෙන්ම උන්වහන්සේ භික්‌ෂුවක්‌ ලෙස පාලි සංස්‌කෘත ආදී භාෂා ද, තදනුබද්ධ සාහිත්‍යය ද පිළිබඳ ගැඹුරු දැනුමක්‌ ලබාගෙන තිබුණු අතර ඉංග්‍රීසි මාධ්‍යයෙන් තම උපාධි හැදෑරීම කරන අතර ඉංග්‍රීසි සම්භාව්‍ය සාහිත්‍ය හා නාට්‍ය සම්බන්ධව උසස්‌ හැදෑරීමක්‌ කළ බව පවසන්නේ උන්වන්සේගේ ආචාර්යවරයෙකු වූ ඒ. එµa. සී. ලුඩොවයික්‌ මහතාය. පෙර සඳහන් කරන ලද මැලේරියාවෙන් පීඩිත ජනයාට සහාය වෙමින් ද තවත් විටෙක කුළ පීඩිත ජනයා නගා සිටුවීම වශයෙන් ද උන්වහන්සේ ගේ සමාජ අත්දැකීම් සහ දැනුම ද ප්‍රශස්‌ථ මට්‌ටමක විය. මහත්මා ගාන්ධි, රබීන්ද්‍රනාත් තාගෝර්, ජවහර් ලාල් නේරු, සර්වේපල්ලි රාධාක්‍රිෂ්ණන් හා රාඡේන්ද්‍ර ප්‍රසාද් වැනි සමකාලීන විශිෂ්ට ඉන්දීය නායකයන් සමග ද උන්වහන්සේ සම්බන්ධතා ගොඩනගාගෙන තිබුණි. එහෙයින් නිදහස්‌ අධ්‍යාපන සටනෙහි දී රාහුල හිමියන් තු ළින් මතුව ආ නායකත්වය අතිශය විශිෂ්ට හා පුළුල් මට්‌ටමක පැවතිනි. උන්වහන්සේ හා එක්‌ව කටයුතු කළ වාමවාදී නායකයෝ ද ඩී. බී. ධනපාල වැනි අය ද මෙබඳුම ඉහළ, පුළුල් දැක්‌මක්‌ ප්‍රකට කළ නායකයෝම වූහ. නූතන අරගලයෙහි දී ද මෙබඳුම පුළුල් දැක්‌මක්‌ ඇති විදග්ධ නායකත්වයක මගපෙන්වීම අත්‍යාවශ්‍යය. විශේෂයෙන්ම භාෂාව මත ද ආගම මත ඉතා දරුණු ලෙස සමාජය බෙදී ඇති තත්ත්වයක්‌ තුළ හා එකී බෙදීම තව තවත් තීව්‍ර කෙරෙමින් පවත්නා තත්ත්වයක්‌ තුළ එබඳු නායකත්වයක්‌ අත්‍යවශ්‍ය වේ. මෙම කටයුත්තේ දී නම් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට බරපතල වගකීමක්‌ පැවරේ. තමන්ගේම වූ පුළුල් දේශපාලන දැක්‌මක්‌ ද වැඩපිළිවෙලක්‌ ද නැති බංකොළොත් වූ දේශපාලන නායක ප්‍රතිරූපකයන්ට මෙන්ම වාර්ගික හා ආගමික අතින් අන්ධ වූ බලවේග ද මෙකී අරගලය තම අභිමතාර්ථ සඳහා භාවිතා කිරීම වැළැක්‌වීමට නම් එය අත්‍යවශ්‍යය. එමෙන්ම මෙකී අරගලය ළඟාවිය යුතු උසස්‌ තලය දක්‌වා ගෙන යාමටත් එය අත්‍යාවශ්‍යය.

දළ ජාතික නිෂ්පාදනයෙන් 6% ඉල්ලා සිටීම යනු හුදෙක්‌ මුදල් ප්‍රමාණයක්‌ සම්බන්ධ ඉල්ලීමක්‌ නොවේ. ඒ තුළ ඇත්තේ ජාතික අධ්‍යාපනය සඳහා රජය දැක්‌විය යුතු බරපතල හා වගකීම් සහගත අවධානය ඉල්ලා සිටීමකි. එය පසුගිය රජයන් හැම එකක්‌ අතින්ම පාහේ ගිලිහී ගිය අවධානයකි. ඒ අවධානය ඉල්ලා සිටීම රාජෙද්‍රdaහී හෝ දේශෙද්‍රdaහී ඉල්ලීමක්‌ නොවේය. 1940 දශකයේ රාහුල තෙරුන් ඇතුළු විද්‍යාලංකාර භික්‌ෂූන් ඉල්ලා සිටි ඉල්ලීමය. උපතින් ධනවත් නොවූ එහෙත් හැකියාවෙන් ඉතා ධනවත් වූ 5 වසර ශිෂ්‍යත්වයෙන් පළමුවැනියා වූ තලාතුඔය දැරිය වැනි දරුවන් කුස්‌සි මුල්ලට තල්ලු කර දැමීමට එරෙහි ඉල්ලීමය. ඒ සඳහා වන සටන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පමණක්‌ වූ සටනක්‌ නොවේ. එය අප සැමගේ ද සටනයි.

ගල්කන්දේ ධම්මානන්ද හිමි
සභාපති - වල්පොළ රාහුල පදනම් භාරය
(From Divaina newspaper)

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...