Thursday, December 27, 2012

වදක පුහුණව අද සිට

නවක සරසවි සිසුන්ට ලබාදෙන බලහත්කාරී හමුදා පුහුණුව අද සිට ආරම්භ වේ. මෙම පුහුණුව දිවයින පුරා හමුදා කඳවුරු 24 කදී පැවැත්වීමට නියමිතව ඇති අතර සිසුන් 10000 ක් මුල් වටය සඳහා සහභාගී වෙති. ඒ සඳහා රජය විසින් දරනු ලබන මුළුවියදම රු. මි. 350 ලෙස ඇස්තමේන්තු ගතකර ඇති අතර අවශ්‍ය නිර්දේශිත ද්‍රව්‍ය මිලදී ගැනීමට හා ප‍්‍රවාහන වියදම් සඳහා එක් එක් ශිෂ්‍යාට දරන්නට සිදුවන වියදම රු. 20000 ද ඉක්මවයි.

උසස් අධ්‍යාපනයේ ප‍්‍රතිමාණයන්ට හා අරමුණුවලට පටහැනිව පවත්වනු ලබන මෙම පුහුණුවවට එරෙහිව උසස් අධ්‍යාපනයට සම්බන්ධ සියළුම පාර්ශව සිය විරෝධය පලකර ඇති අතර සරසවි ආචාර්යයවරුන්, පාසල් ගුරුවරුන්, අධ්‍යාපන වෘත්තීය වේදීන්, සිසුන් ආදී බලවේගයන්ද, සිසුන් හා දෙමවුපියන්ද ඒ අතර වෙති.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අත්‍යාවශ්‍ය මූලික දැනුමක්වන ඉංග‍්‍රීසි හා පරිගණක දැනුම ලබාදීමට මෙතෙක් නොමිලේ සිසුන්ට ලබාදුන් පාඨමාලා පවා අහෝසිකරමින්, එදිනෙදා නඩත්තුව පවා කරගැනීමට නොහැකි තරම් බරපතල මූල්‍ය අර්බුධයකින් සරසවි පෙළෙන තත්ත්වයක් තුළ මිලියන ගණනක මුදල් විනාශ කරමින් ජනතා විරෝධය මධ්‍යයේ බලහත්කාරායෙන්, මෙම පුහුණුව ලබාදීම තුළ එය කොතරම් දේශපාලනිකව ආණ්ඩුවට වැදගත්ද යන්න පෙන්නුම් කරන බව අපගේ විශවාසයයි. මේ පිළිබඳව අදහස් දක්වමින් සංජීව සහෝදරයා පැවසුයේ මෙම පුහුණුව සිසුන්ට විශාල කායික හා මානසික වදයක්වන අතර ආණ්ඩුවේ අරමුණ වී ඇත්තේ හමුදාකඳවුරු තුළ යොදන කායික හා මානසික බලහත්කාරය තුළ සිය දේශපාලන මතය සිසුන් තුළ කා වැද්දීමත්, හමුදා පන්නයේ විනයක් සිසුන් තුළ ඇති කිරීමත් බවයි.

ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ආදී කතෲවරයකුවන වැලිවිටියේ ශී‍්‍ර සෝරත හිමි සරසවි ශිෂ්‍යා නිර්මාණශීලී, විචාරශීලී, විචක්ෂණශීලී හා විප්ලවවාදී වියයුතුයැයි පැවසූ අතර ඉන් දශක කිහිපයකට පසු සරසවි ශිෂ්‍යා හමුදා පන්නයේ ආකෘතියකට අනුව හැඩගැස්සවීමට බලධාරීන් තීරණය කිරීම තුළ උසස් අධ්‍යාපනයේ බිඳවැටීම කොතරම් බරපතලද යන්න විද්‍යාමාන වේ. වෙලාවට නැගිටින, දත්්මදින, මුහුණ සෝදන, වෙලාවට කන, කාලරාමුවකට අනුව වැඩකරන, ඉහළින් එන නියෝග අකුරටම පිළිපදින හුමුදා විනයක් සහිත ශිෂ්‍යයකු නිර්මාණය කිරීම හමුදා පුහුණුවේ ප‍්‍රකාශිත අරමුණ වන අතර එයින් සිදුවන්නේ නිර්මාණශීලීත්වයක්, විචාරබුද්ධියක් සහිත විප්ලවවාදී එනම් ලෝකය හා එහි පැවැත්ව කොරෙහි වෙනස් විදියට හිතන හා එය වෙනස්කීරීමට උස්සාහ කරන ශිෂ්‍යයකු වෙනුවට මුළුමනින්ම සම්මුතිකාමී නිවටයකු වන් උපාධිධාරියකු බිහිවීමයි.

එක් පැත්තකින් මෙම පුහුණුව රටේ අධ්‍යාපනයේ ඉදිරිගමනට බරපතල බාධාවක් වන අතර අනෙක් පසින් රට ක‍්‍රමිකව ගමන්කරමින් සිටින මිලිටරි රාජ්‍යයක් සඳහාවන භයානක ගමනෙහි එක් පැතිකඩක් නියෝජනය කරයි. මෙම රෝගය ලෝකයේ ඕනෑම මිලිටරිනායකයකුට වැලදෙන ජාතියේ රෝගයක් වන අතර මින් නොනැවතී මුළුරටම මිලිටරියට දනගැස්සවීම දක්වාම ගමන් කරනු ඇත. එමෙන්ම අර්බුධකාරී මෙම ක‍්‍රමය තුළ බංකොලොත් ආණ්ඩුවට සිය පැවැත්ම වෙනුවෙන් මිලිටරියෙහි සරන පැතීම හැර අන් විකල්පයක් ද නැත.

උපුටා ගැනීම: iusfsl.org

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...