Saturday, December 8, 2012

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය විකිණීමේ සූදානමක්


''අපි විරුද්ධ මාලඹේ කියන වචනෙට නෙවෙයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මාලඹේ දාලා තියෙන හින්ද නෙවෙයි. උපාධිය ලක්ෂ 65 ක් හින්ද නෙවෙයි. ඒක නෙවිල් ප්‍රනාන්දු මහත්මයා දාල තියෙන හින්ද නෙවෙයි.අපි පෞදගලිකරණයට විරුද්ධ පැහැදිලි පදනමක ඉඳලා. ඒක නිසා නෙවිල් ප්‍රනාන්දු ඒක කලත් අපි විරුද්ධයි. ගොඨභය රාජපක්ෂ ඒක කලත් අපි විරුද්ධයි. අපි ඊට විරුද්ධව සටන් කරනවා''

යි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා පැවසුවේය. ඒ මරදාන සමාජ හා සාමුහික කේන්ද්‍රයේ දී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා :-

"වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වශයෙන් අපි මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව පසුගිය කාලය මුළුල්ලේ අරගල කළා.මේ වන විටත් අරගල කරමින් ඉන්නවා. ඒ පැහැදිලි පදනමක් මත ඉඳගෙන. ආණ්ඩුව උත්සහ කරනවා පෞද්ගලික විශ්ව විද්‍යාල ඉදිකරමින්, ප්‍රතිපාදන කප්පාදු කරමින් , පාසල් වසා දමමින් රටේ අධ්‍යාපන ක්‍රමය බවට පෞද්ගලික අධ්‍යාපනය පත්කිරීමට. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය එහි නියමු ව්‍යාපෘතිය ලෙසිනුයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තමයි මාලඹේ උපාධි කඩය වසා දැමිය යුතුයි කියන දැඩි අධිෂ්ඨානශීලි අරගලයකට වෛද්‍ය ශිෂ්‍යන් අවතීර්ණ වෙලා ඉන්නේ.

දැන් තවත් ගැටළුවක් මතුවෙලා තියෙනවා. ඒ තමයි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය නම් ආයතනය පිළිබඳව ගැටලුව. මීට වසර 03 කට පෙර එහි වෛද්‍ය උපාධි පාඨමාලාවක් ආරම්භ කළා. එහි තර්කානුකුල පදනම ලෙස ඔවුන් ඉදිරිපත් කලේ ආරක්ෂක අංශ වලට වෛද්‍යවරු අවශ්‍යයි කියන ඒක. නමුත් රට තුල ඒ සඳහා ක්‍රමවේදයක් තිබුනා. රටේ දරුණු යුද්ධයක් පවති කාලෙකවත් එහෙම ආයතනයක් ඉදිරිපත් නොකර,ආරක්ෂක අංශවලට වෛද්‍යවරු ගැන අමුතුවෙන් කතා කිරීමේ ගැටළුවක් තිබුනා. තවත් කාරණයක් තමයි මෙහි කණ්ඩායමක සිසුන් 25 දෙනයි බඳවා ගන්නේ. සිසුන් 25 කට මොකටද වෙනම වෛද්‍ය පීඨයක් කියල ගැටළුවකුත් තියෙනවා. ඔවුන් ඇතුලත් කරගන්නේ සම්මුඛ පරීක්ෂණ 5 කින් අනතුරුව, සැම ශිෂ්‍යයෙක්ම රුපියල් ලක්ෂ 186 ක වත්කම් සහතික පෙන්නුවට පස්සේ'

ඒ වගේම තමයි සිසුන් හා ආයතනය අතර ගිවිසුම උනේ වසර 10 ක් ආරක්ෂක අංශ වල පමණක් සේවය කල යුතුයි කියන කාරණය. බරපතල ගැටලුව තමයි ඔවුන් ක්‍රමවේදයක් හදලා තියෙනවා රුපියල් ලක්ෂ 31 ක් ගෙවලා එම ගිවිසුමෙන් නිදහස් වෙන්න.

දැන් අපි විශේෂයෙන් ඒ ගැන කතා කරන්නේ මේ වෙද්දී නොනිල තොරතුරු ලැබිල තියෙනවා ඉදිරි වසර වල මෙයට සාමාන්‍ය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලෙස සිසුන් බඳවා ගන්න බවටත් වෛද්‍ය උපාධිය විකිණීම ආරම්භ කරන බවටත්. මේ වන විටත් මෙමගින් රාජ්‍ය සරසවි වලට තර්ජනයන් එල්ල වෙලා තියෙනවා. රුහුණ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පමණක් ආචාර්ය වරු 8 දෙනෙක් මෙහි සේවය කරනවා.ආචාර්ය වරයෙක් මුළුමනින්ම ඉවත්වෙමින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙලා.කොළඹ ජාතික රෝහලේ සායනික පුහුණුවටත් මෙහි සිසුන් පැමිණෙනවා. ඒ හරහා ගැටළු මතුවෙලා තියෙනවා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට.

තවත් දෙයක් තමයි පසුගිය සිකුරාදා 30/11/2012 වෙනිදා වෛද්‍ය පීඨධිපති හා ආරක්ෂක ලේකම් වරයා අතර සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. අපි අහනවා මොකද්ද ආරක්ෂක ලේකම්ට වෛද්‍ය පීඨ වල විතරක් විසඳන්න තියෙන ආරක්ෂක ගැටලුව. හරි පැහැදිලියි. මේ හදන්නේ PMC ආරම්භ කරන්න. මාලඹේ ව්‍යාපෘතියෙන් පස්සේ කොකටත් තෛලය වෙච්ච ආරක්ෂක අංශ පාවිච්චි කරලා අධ්‍යාපන පෞද්ගලික කරගන්න. අපි එකට ඉඩදෙන්නේ නැ.

අපි විරුද්ධ මාලඹේ කියන වචනෙට නෙවෙයි. නෙවිල් ප්‍රනාන්දුට අපි විරුද්ධ වෙනවා.ගොඨභය රාජපක්ෂ ටත් අපි විරුද්ධ වෙනවා.

ඉදිරියේදී වරක් පරාජය කරපු පෞද්ගලික විශ්ව විද්‍යාල පනතත් ආයේ ඉදිරිපත් කරන්න ආණ්ඩුව සුදානම් වෙනවා. අධ්‍යාපනයට වෙන්කළ මුදල 1.5% දක්වා අඩු කරලා.ආණ්ඩුවට අධ්‍යාපන පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ තමයි අධ්‍යාපනය විකිණිම. වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම.

ඉදිරියේ දී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විදියට දැවැන්ත ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙනවා. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මෙන්ම අනෙක් අධ්‍යාපන සංහාරයට එරෙහිව සියලු බලවේග ගෙන දැවැන්ත ක්‍රියාමාර්ග රාශියක් ගන්නවා.

ඉතිහාසය දැවැන්ත කැපකිරීමක් කරලා අධ්‍යාපනය රැකගන්න අපි සිටිනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා."

මෙම අවස්ථාවට කොළඹ හා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලන්හි වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම් සභාපතිවරුන් ඇතුළු පිරිසක් සම්බන්ධ විය.

1 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...