Sunday, January 13, 2013

බඳවාගත් අභ්‍යාසලාභීන් ස්ථිර නොකර කොළඹට ගෙන්වා සංදර්ශන පැවැත්වීම ජුගුප්සාජනකයි

මාධ්‍ය නිවේදනයයි - 2013-01-10

            පසුගිය වසරේ අභ්‍යාසලාභීන් ලෙස බඳවාගන්නා ලද උපාධිධාරීන් මාස 11ක් ගතවීත් මෙතෙක් ස්ථිර කර නොමැත. වසර 7 ක් පුරා කරන ලද අඛණ්ඩ අරගලයකින් පසුව කරන ලද මෙම අවිධිමත් බඳවාගැනීම් නිසා සියලූ උපාධිධාරීන් අර්බුද රැුසකට මුහුණ පා ඇත. විශේෂයෙන් මාස 6 කින් රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් ලබාදෙන බවට ලිඛිතව පොරොන්දු වෙමින් පුහුණුවකට බඳවාගත්තද විවිධ ප‍්‍රකාශ නිකුත් කරමින් ඔවුන් අවුරුද්දක් පමණ රැුවටීමට ලක්කරන ලදී. ලබාදෙන දීමනාව වන රුපියල් 10000 ද ජීවත්වීමට කිසිසේත් ප‍්‍රමාණත් නොවන අතර එයද ඇතැම් දිස්ති‍්‍රක්කවල නිසියාකාරව ලබාදෙන්නේ නැත.
මේ අතර ආණ්ඩුව පසුගිය කාලය පුරා විවිධ මැතිවරණ ව්‍යාපාරයන් සඳහා පමණක් නොව උද්ඝෝෂණ, රැුස්වීම් සඳහාද මෙම බඳවාගත් උපාධිධාරීන් දේශපාලන බලහත්කාරය යොදවමින් සහභාගී කරවන ලදී. ඊට යම් විරෝධයක් එල්ල වන විට ‘‘මේව කරන්නෙ නැත්නම් උඹල ස්ථිර කරන්නේ නෑ’’ යනුවෙන් පවසමින් ඇතැම් විට තර්ජනය කිරීම්ද කරන ලදී.
ඉහත තත්ත්වය තුළ තවදුරටත් නිහඬව සිටීම වෙනුවට උපාධිධාරීන් නැවත සංවිධානය වෙමින් තිබුණි. විශේෂයෙන් උද්ඝෝෂණ, පාගමන්, සත්‍යග‍්‍රහ පවත්වමින් ආණ්ඩුවේ කඳුළු ගෑස්, බැටන් ප‍්‍රහාර මතින් ලබාගත් රැුකියා තුළ තවත් දුෂ්කරතා විදීමට අප සූදානම් නැත. මාස 11ක් පුරා අනේකවිද දුෂ්කරතා විඳ දරා ගත්තද තවත් බලාසිටිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.
මෙකී නාටකයේ තවත් එක් අවස්ථාවක් ජනවාරි 12 දා තිරගත කිරීමට ආණ්ඩුව පිටපතක් සකස් කර ඇත. නැග එන විරෝධය හමුවේ කුමක් හෝ කළ යුතුයැයි සිතන ආණ්ඩුව සියලූ අභ්‍යාසලාභීන් කොළඹට ගෙන්වා මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීම ඒ නාටකයයි. මෙම කැඳවීමද විවිධ බලහත්කාරී, ප්‍රෝඪාවන් යටතේ සිදුවන අතර, ස්ථිර කිරීමේ කටයුතු සිදුනොකර කරනු ලබන මෙම කටයුත්ත සඳහා බහුතරයක් දෙනා අකමැත්ත ප‍්‍රකාශ කර ඇත. නමුත් ‘‘ස්ථිර’’ කිරීමේ සිහිනය පෙන්වමින් කෙසේ හෝ ඔවුන් කොළඹට කැඳවනවා ඇත.
කෙසේ වෙතත් අප සියලූදෙනා උපාධිධාරීන් ලෙස ආණ්ඩුවෙන් ඉල්ලූවේ කුමක් හෝ රැුකියාවක් ලබාදෙන ලෙස නොවේ. එය අවධාරණය කළ යුතුමය. අප ඉල්ලා සිටියේ වෘත්තීය ගරුත්වය සහිතව ජීවත්වීමේ රැුකියාවකි. රාජපක්ෂ ආණ්ඩුවට හා මෙකී පාලන ක‍්‍රමයට එවැන්නක් ලබාදීමට නොහැකි බව අප හොඳාකාරව දැන සිටි අතර අප ඒ වෙනුවෙන් කරන අරගලය නතර කර නැත.
මේ තත්වය අභ්‍යාසලාභී උපාධිධාරින්ද අවබෝධ කරගත යුතුය. ප‍්‍රසූත නිවාඩු පවා නිසි පරිදි ලබානොදී, වෘත්තීය ගරුත්වය පමණක් නොව පෞද්ගලිකත්වයද අමුඅමුවේ නැති කරමින් ආණ්ඩුව සිදුකරන මෙම කි‍්‍රයාවන්ට දැන්වත් විරුද්ධ විය යුතුය. එය ඔබේ අයිතියකි. මතු පරම්පරාව වෙනුවෙන් ඔබේ යුතුකමකි. ඒ වෙනුවෙන් පෙරට එන මෙන් සියලූදෙනාගෙන් ඉල්ලා සිටිමු.

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...