Saturday, January 19, 2013

යාපනය සරසවි සිසුන් වහා නිදහස් කරනු!

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් වහාම නිදහස් කිරීමටත් උතුරේ මිලිටරි පාලනය ඉවත් කොට සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමටත් උතුරේ ඉඩම් කොල්ලය වහාම නතර කිරීමටත් ආණ්ඩුව පියවර ගත යුතු යැයි සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පැවසීය. 

ඔහු මේ බව පැවසුවේ අත්අඩංගුවේ සිටින යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් සිව් දෙනා වහා නිදහස් කරන්නැයි ආණ්ඩුවට බල කිරීමේ අන්තර්ජාල පෙත්සමකට අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කරමිනි. සම අයිතිය ව්‍යාපාරය විසින් රාජගිරිය ‘සිංහ’ සමාජ ශාලාවේදී මෙම අන්තර්ජාල පෙත්සම විවෘත කරනු ලැබීය. http://www.ipetitions.com/petition/free-jaffna-students-leadersවෙබ් ලිපිනය ඔස්සේ මෙම අන්තර්ජාල පෙත්සමට අත්සන් කළ හැකිය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා 

‘‘අපි ආණ්ඩුවෙන් අහනවා, තමන්ගේ මිය ගිය ඥාතීන් සිහිපත් කර පහනක් දැල්වීමද ත‍්‍රස්තවාදය? එහෙමත් නැතනම්, ආයුද සන්නද්ධව විශ්වවිද්‍යාලය තුළට කඩා වැදිලා නිරායුද සිසුන්ට පහර දීලා තර්ජනය කිරීමද ත‍්‍රස්තවාදය? දැන් ආණ්ඩුව කියනවා, අත්අඩංගුවට ගත් යාපනයේ සිසුන් පුනරුත්ථාපනය කරන්න ඕන කියලා. පුනරුත්ථාපනය කරන්න ඕන ශිෂ්‍යයින් නොවෙයි. පුනරුත්ථාපනය කරන්න ඕන අය ඉන්නේ ආණ්ඩුවේ. ඝාතකයන්, ත‍්‍රස්තවාදීන්, ස්ත‍්‍රී දූෂකයින්, අපරාධකාරයින්, කුඩුකාරයින්, හොරු, සමාජ විරෝධී යැයි සම්මත සියලු ආකාරයේ විශමාචාර සිදු කරන්නන් ඉන්නේ පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ. ඒ අයයි පුනරුත්ථාපනය කරන්න ඕන.’’

රවීන්ද්‍ර මුදලිගේ මහතා. 

යුද්ධය අවසන් වෙලා වසර හතරක් ගත වෙලා තිබෙනවා. නමුත් ජාතික ප‍්‍රජාවන් අතර විරසකභාවය දුරු කරලා, සමගිය, සහජීවනය ඇති කරන්න කිසිදු පියවරක් අරගෙන නැහැ. 

ආණ්ඩුව තමන්ගේ නව ලිබරල් ධනවාදී ආර්ථික වුවමනාවන් ක‍්‍රියාත්මක කරන්න ජනතාව වසඟ කිරීමේ දේශපාලනයක් පවත්වාගෙන යනවා. ඒ වගේම, ගොඩනගා ගත් මිලිටරි ආධිපත්‍ය මගින් මුළු රටම යටපත් කර තිබෙනවා. උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවලට එය විශේෂ ප‍්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. 

දෙමළ ජනතාවට සැබෑ මනුෂ්‍ය ජීවිතයක් ගත කරන්න අවශ්‍ය අවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියත් අහිමි කර තිබෙනවා. ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ උතුරේ ජනතාව, යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට ඔළුවට තුවක්කුව තියලා පාලනය කරන්නයි. උතුරේ නිවාස නැති ජනතාවට නිවසක් ලබා ගන්න, රැකියාවක් නැති තරුණ තරුණියන්ට රැකියාවක් ලබා ගන්න, කෘෂිකර්මාන්තය අහිමි කර තිබෙන ගොවි ජනතාවට ඒ අයිතිය ලබා ගන්න, මුහුදට යන්න නොදෙන ධීවරයාට ඒ අයිතිය ලබා ගන්න අරගලයක් අවශ්‍යයි. දැන් ආණ්ඩුව උත්සාහ කරනවා, පීඩිතයා ජාතිවාදී, ආගම්වාදී පදනමින් බෙදන්න. එක් ජාතිවාදයක් වෙනුවට තවත් ජාතිවාදයක් තෝරා ගැනීම මේ ප‍්‍රශ්නයට උත්තරය නොවෙයි. ඒ නිසා අපි යෝජනා කරනවා, සිංහල, දෙමළ මුස්ලිම් සියලු පීඩිත ජනතාව ඒකාබද්ධ අරගලයකට පැමිණිය යුතුයි කියා. 

ඒ වගේම අපි ආණ්ඩුවට බල කරනවා, අත්අඩංගුවට ගෙන රඳවා සිටින යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් වහාම නිදහස් කරන්න, පැහැර ගැනීමේ අතුරුදහන් කිරීමේ සංස්කෘතිය වහාම නතර කරන්න, උතුරේ හමුදා කඳවුරු හදන්න සහ ආණ්ඩුවේ පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් කරන ඉඩම් කොල්ලය වහාම නතර කරන්න. ඒ විතරක් නොවෙයි, කිසිදු නීති විභාගයකින් තොරව රඳවාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන්න. 

සම අයිතිය ව්‍යාපාරයේ සම ලේකම් පලනිවේල් රිචඩ් මහතා 

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් හතර දෙනා දින 45කට වඩා වැඩි ගණනක් තිස්සේ රඳවාගෙන සිටිනවා. පසුගිය නොවැම්බර් මාසයේ දී සිසුන් පැවැත්වූ උද්ඝෝෂණයට හමුදාව හා පොලිසිය පහර දුන්නාට පස්සේ, සිසුන් 40දෙනකුට වැඩි පිරිසක් හමුදාව විසින් පරීක්ෂණයට ලක් කළා. සිසුන් 13දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ අතරින් සිසුන් සිව් දෙනකු තවමත් රඳවාගෙන සිටිනවා. 

ජනතාවගේ අයිතීන් දෙන්න බැරි ආණ්ඩු අවුරුදු තිහක් තිස්සේ එල්.ටී.ටී.ඊ. සංවිධානය පෙන්වලා ජනතාවගේ ප‍්‍රශ්න යටපත් කළා. දැන් ඒ වෙනුවෙන් ජාතික ප‍්‍රජාවන් අතර විරසකභාවය වර්ධනය කරන්න උත්සාහ කරනවා. සතුරුභාවය ඇති කරන්න උත්සාහ කරනවා. මේ ජාතිවාදී දේශපාලනය පරාජය කළ යුතුයි. එහෙම නොකළොත් මහා ඛේදවාචකයකට මුහුණ දෙන්නයි සිදු වෙන්නේ. 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා 

ජනතාවගේ අදහස් පළ කිරීමට ඇති අයිතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේදී ඉතාම වැදගත්. පහනක් දැල්වීම කියන්නේත් අදහස් පළ කිරීමක්. එය අධිකරණය පවා පිළිගෙන තිබෙනවා. ඒ අයිතිය පිළිගත් අවස්ථාවක් තමයි, වත්මන් ජනාධිපතිවරයා ජනඝෝෂා නමින් කළ උද්ඝෝෂණයේදී බෙර නාද කළ පුද්ගලයකුට පොලිසියෙන් කළ පහරදීම පිළිබඳ පැවති නඩු විභාගය. මේ සිසුන් අත්අඩංගුවට ගෙන සිටින්නේ පහනක් දැල්වීම මගින් තමන්ගේ හැඟීම් ප‍්‍රකාශ කිරීමට උත්සාහ කළ නිසා. තුවක්කු නිහඬ වූ පමණින් සාමය ඇති වන්නේ නැහැ. සාමය සහ සහජීවනය ඇති වන්න නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍යයි. 

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...