Monday, February 4, 2013

උසස් පෙළ සමත් සියලූ දෙනා සරසවි වරම් වෙනුවෙන් අරගල කළ යුතුයි - දුමින්ද නාගමුව


උසස් පෙළ විභාගයෙන් සමත් වූ සියලූ දෙනාටම සරසවි වරම් හිමි විය යුතු බවත් එය ඔවුන්ගේ අයිතියක් බවත පෙන්වා දුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩ සභික දුමින්ද නාගමුව මහතා, එම අයිතිය දිනා ගැනීම වෙනුවෙන් අරගල කළ යුතු යැයි අවධාරණය කළේය. දෙමාපියන් තම දරුවන්ට ඉගැන්වීම සඳහා විශාල වෙහෙසක් ගන්නා බවත් එහෙත් ඉන් නතර නොවී එම වෙහෙසෙහි ප‍්‍රතිඵල ලැබීමට නම් තවත් අරගලයක් ඇති බවත් ඔහු පැවසුවේය.
දුමින්ද නාගමුව මහතා මෙම අදහස් පළ කළේ අද එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමිනි. මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා මෙසේ දපැවසීය.
"පසුගිය අවුරුද්දේ උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල වැරදිලා ලොකු අවුලක් වුණා. ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න ශිෂ්‍යයින්ට සිදු වුණා. තවත් එවැනි වරදක් සිදුනොවන බවට ආණ්ඩුව පම්පෝරි ගැහුවා. ඒත් මෙවර විභාගයේත් ඒ වරද ඒ විදියටම සිද්ධ වෙලා තිබෙනවා.
මොනරාගල දිස්ත‍්‍රික්කයේ විභාග අංකය 6004849වුණු ශිෂ්‍යාවකගේ ප‍්‍රතිඵලය සී, එස්, බී ලෙස තිබෙන්නේ. ඇගේ එසෙඞ් අගය ඍණ 0.1068යි. ඇගේ දිස්ත‍්‍රික් රෑන්ක් එක 9. ජාතික මට්ටම 460. ඒ දිස්ත‍්‍රික්කයේම විභාග අංකය 6014780වුණු ශිෂ්‍යයකුගේ විභාගය ප‍්‍රතිඵලය ඒ දෙකයි බී එකක් ලෙස තිබෙනවා. ඔහුගේ දිස්ත‍්‍රික් මට්ටම 278. ජාතික මට්ටම 9734.
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේත් එවැනිම ප‍්‍රතිඵලයක් තිබෙනවා. සී දෙකයි එස් එකක් ගත් සිසුවියකගේ ඉසෙඞ් අගය ඍණ 0.3373. ඇගේ දිස්ත‍්‍රික් මට්ටම 9. ජාතික මට්ටම 534. ඒ දිස්ත‍්‍රික්කයේම තවත් සිසුවියක් ඉන්නවා බී දෙකයි සී එකක් ලබා ගෙන, ඉසෙඞ් අගය ධන 0.7353ලබා ගත්. ඇගේ දිස්ත‍්‍රික් අගය 320. ජාතික මට්ටම 20771. මේක කිසිසේත්ම විය නොහැකි තත්වයක්.
ඒ නිසා මෙවර විභාග ප‍්‍රතිඵලවලත් බරපතළ අවුලක් තිබෙනවා.
ඒ වගේම අනෙක් කරුණ තමයි, පසුගිය විභාග ප‍්‍රතිඵලය ආණ්ඩුව වරද්දලා, අධිකරණයෙන් නියෝගයක් දුන්නා වැඩිපුර සිසුන් බඳවා ගන්න. ඒ අනුව බඳවා ගත යුතු සිසුන් ගණන 28,109ක්. නමුත් දැන් ආණ්ඩුව නැවත අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් කියනවා ඒ ප‍්‍රමාණය බඳවා ගන්න බැහැ, බඳවා ගන්න පුළුවන් 26,000ක් විතරයි කියලා. නඩු තීන්දුව තමන්ට  ඕන විදියට වෙනස් කර ගන්න අධිකරණයට ගිහින් ඉන්නවා. ඒ නඩුව අධිකරණයේ විභාග වෙමින් තිබියදී උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක ඇමතිවරයා කියනවා මේ සැරේ බඳවා ගන්නේ සිසුන් 26,000යි කියලා. ඒ වගේම ලබන අවුරුද්දේ බඳවා ගන්නේ තවත් 1500ක් අඩුවෙන් කියලා ආණ්ඩුව කියනවා.
සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම විශ්වවිද්‍යාලයට බඳවා ගන්නවා කියන ප‍්‍රමාණය බඳවා ගන්නේ නැහැ. හැම බැජ් එකකම පුරප්පාඩු තියෙනවා. ඒවා පුරවන්නේ ශිෂ්‍ය සංගම් පීඨාධිපතිවරුන් එක්ක සාකච්ඡුා කරලා. එහෙම එන අය ගැන තමයි විශ්වවිද්‍යාල භාෂාවෙන් කියන්නේ බෝට්ටුවෙන් එනවා, පීල්ලෙන් එනවා කියලා.
එහෙම තියෙද්දී එස්.බී. දිසානායක ඇමතිවරයා කියනවා බඳවා ගන්නා ප‍්‍රමාණයෙන් සියයට පහක් විදෙස් සිසුන් වෙනුවෙන් වෙන් කරනවා, ලබන අවුරුද්දේ එය සියයට දහයක් කරනවා කියලා. ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල අවස්ථා 2200ක් වෙන් කර තිබෙනවා. ඒ සඳහා මෙරට සිසුන් බඳවා ගන්නේ නැහැ. ඔය එනවා කියන ඉන්දියාවේ, මැඩගස්කරයේ ළමයි මෙච්චර කාලෙකට ආවේත් නැහැ. මෙහේ විභාගවල තියෙන අවුල මුළු ලෝකෙම දන්නවා. ඒ නිසා එන්නේ නැහැ.
ඊළඟ කරුණ තමයි මෙවර වාණිජ්‍ය විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් ඒ තුන සාමාර්ථය ගත් සිසුන් ප‍්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ ගාස් තිබෙනවා. සාමාන්‍යයෙන් ඒ තුනක් සහ ඒ දෙකයි බී එකක් ගත් සිසුන් දස දහසකට ආසන්න පිරිසක් ඉන්නවා. 2010අවුරුද්දේ වාණිජ්‍ය අංශයෙන් විශ්වවිද්‍යාලයට ගත්තේ 4900යි. ඒ නිසා ඒ තුන සාමාර්ථය ගත්තු විශාල පිරිසකට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවා. මේ ගැන සැකයක් තිබෙනවා, මේ විදියට ප‍්‍රතිඵල ඉහළ දැම්මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට පාර කැපීම සඳහාද කියලා. දැන් කියන්න ඉඩ තියෙනවා, විශ්වවිද්‍යාල යන්න බැරි වුණු අය පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන්න ආණ්ඩුවෙන් ශිෂ්‍යත්ව දෙන්නම්, ණය දෙන්නම් කියලා.
ඒ කොහොම වුණත් සාමාන්‍යයෙන් එක් විභාගයකින් සමත් වුණාට පස්සේ ඊළඟ අදියරේ ඉගෙන ගන්න අවස්ථාව තිබිය යුතුයි. ඒ නිසා උසස් පෙළ සමත් වුණු සියලූ දෙනාට සරසවි වරම් හිමි විය යුතුයි. ඒ අයිතිය දිනා ගැනීමේ අරගලයට එක් වෙන්න කියා අපි සියලූ දෙනාට ආරාධනා කරනවා.

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...