Thursday, February 28, 2013

සුදු රෙදි හොරු


පසුගිය වසරේ පාසල් සිසුන්ගේ නිල ඇඳුම් රෙදි ආනයනයකිරීමේදී රජයට රුපියල් දහතුන්කෝටි පනස් ලක්ෂයකට (135,000,000) අධික පාඩුවක්‌ සිදු වී තිබෙන බව එම වසරට අදාළව නිල ඇඳුම් රෙදි ආනයනය කිරීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ නිරීක්‍ෂණයන්ගෙන් තහවුරුවී තිබේ. චීනයෙන් රෙදි ආනයනය කිරීම නිසා එවැනි පාඩුවක් සිදු වී ඇති බව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවද පසුගිය වසරේ ඔක්‌තෝබර් මාසයේදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇත.


අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් මෙම රෙදි චීනයෙන් ආනයනය කිරීමේ සේවා ගාස්‌තු ලෙස පමණක්‌ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්‌ථාවට ගෙවා ඇති මුදල් රුපියල් දෙකෝටි හැත්තෑඅටලක්‍ෂ අසූදහස (රු. 27,880,000) ඉක්‌මවා ඇත.


නිල ඇඳුම් රෙදිවල තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා තාක්‍ෂණික ඇගයීම් කමිටු නිලධාරින් රුපියල් විසිඅටලක්‍ෂ විසිහයදහසක්‌ (රු. 2,820,000) වැය කරමින් තෙවරක්‌ම චීනයේ සංචාරය කිරීම ද විශේෂත්වයකි.


කැබිනට්‌ මණ්‌ඩල තීරණයට පටහැනිව රෙදි මිටර් 15,580ක්‌ මිලදී ගැනීම නිසා රුපියල් විසිඑක්‌ලක්‍ෂ තිස්‌හයදහසකට (රු. 2,130,000) අධික වටිනාකමක්‌ සහිත රෙදි තොගයක්‌ අනවශ්‍ය රෙදි තොග වශයෙන් ගොඩගසා ඇතැයි ද එම ලිපියේ සඳහන්ව තිබේ.


එපමණක්‌ නොව රෙදි ආනයනය සඳහා දීර්ඝ කාලයක්‌ ගත වීම නිසා රජයට රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක්‌ අහිමි වී ඇතැයිද සුදු කලිසම් රෙදි මීටර් නවලක්ෂ අසූදාහක් (9,80,000)‌ මිලදී ගැනීමේදී අවම මිල ගණන් ඉදිරිපත් කර තිබූ ආයතනයට ටෙන්ඩරය ලබා නොදී වෙනත් ආයතනයකට ටෙන්ඩරය පිරිනැමීම නිසා රුපියල් එක්‌කෝටි තිස්‌ලක්‍ෂයකට (13,000,000) අධික පාඩුවක්‌ සිදු වී ඇතැයිද රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව ලේකම්වරයාට යවා තිබෙන ලිපියේ සඳහන් කර තිබේ.


කැබිනට්‌ මණ්‌ඩල තීරණයට අනුව රෙදි මීටර් හැත්තෑපන්ලක්ෂ පනස් නවදහස් නවසිය විසිහයක (7,559,926) මිලට ගැනීමට නියමිත වුවද, මිලට ගෙන ඇති ප්‍රමාණය මීටර් හැත්තෑ පන්ලක්ෂ හැත්තෑපන්සහස් පන්සිය හය (7,575,506)කි. මෙම ප්‍රමාණයෙන් ද මීටර් එකොලොස් ලක්ෂ දහදහස් අනූහයක් (1,110,096) එනම් රුපියල් පහළොස්‌කෝටි අසූහත්දහසකට (150,084,000) අධික වටිනාකමින් යුත් රෙදි තොග පසුගිය වසරේ සැප්තැම්බර් මාසය අවසානය වනවිටත් ගබඩාවට ලැබී නොතිබූ බවද විගණන නිරීක්‍ෂණයෙන් හෙළිවී ඇත. එහි විශේෂත්වය නම් මෙම රෙදි තොග කුමන ස්‌ථානයක ගබඩා කර තිබුණේද යන්න විගණනයට අනාවරණය කර ගැනීමට නොහැකි වීමය.


කැබිනට්‌ තීරණයට අනුව නිල ඇඳුම් රෙදි ආනයනය කිරීමට අදාළ සියලු කාර්යයන් එනම් ටෙන්ඩර් කැඳවීම,ලිපි ලේඛන සැකසීම ආදිය රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්‌ථාව කළ යුතු වූ අතර එම සංස්‌ථාවේ වගකීම වූයේ අදාළ සියලු ක්‍රියාමාර්ග ගෙන අමාත්‍යාංශයට රෙදි සැපයීමය. ඒ අනුව තාක්‍ෂණ නිලධාරීන්ගේ චීන සංචාරය සඳහා වැය වූ රුපියල් විසිඅටලක්‍ෂයකට (2,800,000) අධික මුදල සංස්‌ථාව දැරිය යුතු නමුත්, එම මුදල අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංස්‌ථාවට ගෙවීම ද සැලකිය යුත්තකි.


පසුගිය වසරට අදාළ නිල ඇඳුම් රෙදි ගෙන්වීමේදී මෙතරම් අක්‍රමිකතා හා පාඩු සිදු වී තිබියදීත්, මෙම වසරට (2013) අදාළවද නිල ඇඳුම් රෙදි චීනයෙන් ආනයනය කිරීම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්‌ථාව විසින්ම කරන ලද අතර එහිදී ද රජයට සිදු වූ පාඩුව රුපියල් කෝටි හයහමාරකි (රු. 65,000,000).

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...