Thursday, February 28, 2013

අධ්‍යාපනය නංවනවා වෙනුවට පාසල් මිලිටරීකරණය කිරීම වහාම නවතනු - SSU

අධ්‍යාපනය නංවනවා වෙනුවට පාසල් මිලිටරීකරණය කිරීම වහාම නවත්වන්නයැයි ආණ්ඩුවට බලකරනබව සඳහන් කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය පහතින් පළ වේ.
"මාර්තු මාසයේදී පාසල් විදුහල්පතිවරුන් 4,000කට හමුදා තනතුරු පිරිනැමීමට ආණ්ඩුව විසින් කටයුතු සූදානම් කර ඇත. පාසල් පද්ධතිය මිලිටරීකරණය කිරීම සඳහා මෙවැනි ක‍්‍රියාවක් ආණ්ඩුව විසින් සිදුකළ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර අවස්ථාවකදීද ප‍්‍රධාන පාසල් ඉලක්ක කරගනිමින් පළමු පංතියේ සේවයේ නියුතු තෝරාගත් විදුහල්පතිවරුන් 23කට කර්නල් තනතුරු පිරිනමා තිබිණි. එයට පෙර හමුදා සේවයේ නියුතු වූ නිළධාරීන් යම් යම් අවස්ථාවලදී පාසල් විදුහල්පතිවරුන් ලෙස යොදා තිබුණද, සෘජුවම පාසල් පද්ධතිය මිලිටරීකරණය කිරීමේ අරමුණින් ආණ්ඩුව සිදුකල පළමු මැදිහත්වීම එය විය.
අප මෙය හඳුනාගත යුත්තේ ආණ්ඩුව මුළු රටම මිලිටරීකරණය 

කරගනිමින් යන ගමනේ තවත් එක් පියවරක් ලෙසටය. අද වන විට ජනතා ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් හඬනඟන උද්ඝෝෂණ මර්දනය කිරීමේ සිට රාජ්‍ය පරිපාලන සේවය දක්වාම සිදුකරන මෙවැනි හමුදා මැදිහත්වීම් සිදුවන්නේ ඒ වැඩපිලිවෙල අනුවය. ජනතාව බියගන්වා තබාගැනීමේ වුවමනාව අනුවය. අද වන විට එය රටේ අධ්‍යාපනයද ඉලක්ක කරගනිමින් ක‍්‍රියාත්මකව ඇත.සරසවි ප‍්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ට හමුදා පුහුණුව ලබාදීම ඇරඹියේද ඒ අනුවමය. කෝටි ගණනක මුදල් වියදම් කරමින් සිදුකරන එම ක‍්‍රියාවලින් මෙතෙක් ලැබි ඇති කිසිඳු වටිනාකමක් ඇත්ද? එම කාලසීමාව තුල එම වියදමින්ම සිසුන් පරිගණක හෝ ඉංග‍්‍රීසි වැනි පාඨමාලා වෙනුවෙන් යෙදවූවානම් එය සරසවියේදී වඩා ප‍්‍රයෝජනවත් විය හැකිව තිබිණි. නැතහොත් උසස්පෙළ සමත්වන සිසුන්ගෙන් සරසවි සඳහා බඳවාගන්නා සිසුන් ප‍්‍රමාණය ඉහළ නැංවිය හැකිව තිබිණි. එසේත් නැතහොත් එස්.බී. දිසානායක ඇමතිවරයා නොමිලේ ලබාදෙනවා යැයි සඳහන් කළ, එහෙත් ලබා නොදුන් ලැප් ටොප් යන්ත‍්‍ර හෝ සිසුන්ට ලබාදිය හැකිව තිබිණි. එහෙත් එසේ නොකර සිසුන් හමුදා කඳවුරු තුළට යැවීමටම සැළසුම් කලේ ඉහත අප සඳහන් කළ ආණ්ඩුවේ පහත් වුවමනාව සපුරාගැනීමටය. සිසුන් මිලිටරීකරණය කිරීමට එසේ ඇරඹි අතර අද එය හය හතර නොදත් 1 වසරේ පාසල් දරුවා පවා ඉලක්ක කරගනිමින් ක‍්‍රියාත්මක කිරීම මුළු මහත් ජනතාවක් ලෙස අප හෙළාදැකිය යුතුය.
අධ්‍යාපනය නගා සිටුවනවානම් ආණ්ඩුව මේ මොහොතේදී අනිවාර්යයෙන් කලයුතු වැඩසටහන් රාශියක්ම පවතී. ඇතුලත්වීමට පාසලක් නොමැතිව සිටින එක වසරේ දරුවාට පාසලක් ලබාදීමේ පටන් වඩා ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා වූ භෞතික හා මානව සම්පත් පාසල් වෙත ලබාදීම ඉන් පළමු වැන්නයි. එවැනි ක‍්‍රියාවලියක් හරහා සිසුන් අධ්‍යාපනයෙන් පිටමං කිරීම වලක්වනු වෙනුවට අද මේ කරමින් සිටින්නේ කුඩා ළමයාගේ පටන් බයගැන්වීමේ ක‍්‍රියාවලියකි.
ආණ්ඩුව විසින් සිදුකරන මෙම මිලිටරීකරණ ක‍්‍රියාවලිය සිසුන් දෙමාපියන් ඇතුළු රටේ ජනතාව තේරුම්ගත යුතුය. එසේම ඊට එරෙහි විය යුතුය. එමෙන්ම පාසල් අධ්‍යාපනය විනාශ කිරීමේ නොයෙක් අණපණත් සමගින්ම ගෙන එන සිසුන් මිලිටරීකරණය කිරීමේ මෙම වැඩපිළිවෙලත් වහා හකුළා ගන්නා ලෙස අප ආණ්ඩුවට බලකර සිටිමු."

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...