Friday, March 15, 2013

බන්දුලගේ චක‍්‍රලේඛය අමු බොරුවක් - මහින්ද ජයසිංහ

පසුගිය මාර්තු 13 වන දින අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක‍්‍රලේඛය මගින් පාසල් නඩත්තුව දෙමව්පියන් මත පැටවීම කිසිදු ආකාරයකින් නවතා නැති බවත් එම චක‍්‍රලේඛය රටේ ජනතාව රැවටීම සඳහා කරන ලද බොරුවක් බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි. අද (15) කොළඹ ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් මෙසේද පැවසීය.

‘‘ පසුගිය කාලය පුරාම දරුවන්ගෙන්, දෙමව්පියන්ගෙන් පාසල්වලට මුදල් එකතු කිරීම් බොහෝ සේ සිදු කළා. හොරණ ප‍්‍රදේශයේ ශිෂ්‍යාවක් පාසලට මුදල් හොයාගන්න පොල් ගෙඩි 8 ක් හොරකම් කිරීම නිසා උසාවි යාම හේතුවෙන් තමයි මේ පිළිබඳව රට පුරා කතා බහක් සිදුවුනේ. මුදල් එකතු කිරීම තහනම් කරමින් චක‍්‍රලේඛයක් නිකුත් කරන බවට ප‍්‍රකාශයක් කරා මේ සිදුවීම් එක්ක සති 2 ක් ඇතුළත අධ්‍යාපන ඇමතිවරයා විසින්. හැබැයි මාසයක් ඉකුත් වන විට පසුගිය මාර්තු 13 වන දින චක‍්‍රලේඛයක් නිකුත් කරා 2013/11 නමින්. මේක රාජකීය විහිළුවක් වගේම බරපතල ප්‍රෝඩාවක්. දැන් මේ අධ්‍යාපනය තුල ඇතිවෙලා තියෙන අර්බුදයට මේ ගෙනැල්ල තියෙන චක‍්‍රලේඛයෙන් කිසිදු පිළිතුරක් නැහැ. මුදල් එකතු කිරීම නතර කරන්න කටයුතු කරල නැහැ. අපි ලංකා ගුරු සේවා සංගමය විදියට පසුගිය පෙබ. 28 දින අධ්‍යාපන ඇමතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා 2008/35 චක‍්‍රලේඛය අහෝසි කරන ලෙස. මොකද එම චක‍්‍රලේඛයෙන් තමයි පාසල් වලට මුදල් එකතු කිරීමට අවසර ලබා දීල තියෙන්නෙ. මේ චක‍්‍රලේඛ හරහා පාසල් සංවර්ධනය, නඩත්තුව, මේ සියල්ල දෙමව්පියන් මත පටවල තියෙනවා. එම චක‍්‍රලේඛයේ 10.6 වගන්තියේ තියෙන විදියට ප‍්‍රධාන මුදල් ආදායම් තිබෙන්නෙ දෙමව්පිය පරිත්‍යාග හරහා.

දැන් මේ චක‍්‍රලේඛය තියෙද්දී පසුගියදා ඉදිරිපත් කරපු චක‍්‍රලේඛයේ තියෙන්නේ නීත්‍යානුකූල ගාස්තු පමණක් අයකිරීමට කටයුතු කළ යුතුයි යනුවෙන්. මේ චක‍්‍රලේකය කියන්නෙ කිසිදු වැදගැම්මක් නැති කොළ කෑල්ලක් විතරයි. මේකෙ මුදල් ලබාගැනීම් කිසිදු තැනක තහනම් කරල නෑ. පංති කව, ආදි ශිෂ්‍ය සංගම් හරහා මුදල් එකතු කරන්න බැහැ කියල කියනවා. හැබැයි දෙමව්පියන් සමග පාසල් සංවර්ධන සමිතියෙ අනුමත කරපු මුදලක් එකතු කරන්න කිසිදු තහනමක් නෑ මේ චක‍්‍රලේඛයෙ. මේක අමුම අමු ප්‍රෝඩාවක්. ආපහු මේ චක‍්‍රලේඛයෙන් කියනවා මේ නීත්‍යානුකූල ගාස්තු ගෙවීමට දෙමව්පියන්ට අනිවාර්ය කිරීමක් හෝ බල කිරීමක් නොකළ යුතුයි කියල. මේ ගාස්තු ගෙවන්න අපහසු නම් ග‍්‍රාම සේවක සහතික ගෙන ආ යුතුයි හා මේ ගාස්තු නොගෙවන සිසුන්ට මානසික හා කායික පීඩාවකට ලක් කරන්න බැහැ කියලත් මේ චක‍්‍රලේඛයේ කියල තියෙනවා. අපි අහනව මේ මුදල් ගෙවල ලබන අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය වෙන්නෙ කොහොමද කියල. මේ කියල තියෙන විදියට කිසිම දෙමව්පියෙක් ග‍්‍රාමසේවක ගාවට ගිහිල්ල ලියුම් අරගෙන එන්න යන්නෙ නෑ. ඒ නිසා අර එක තාත්ත කෙනෙක් ඔරුව විකුණල පාසලට සල්ලි හොයල දුන්න වගේ මේ සල්ලි හොයල දෙනවා. ඒ නිසා මේ චක‍්‍රලේඛයෙන් ඇමති කියන එකක් ක‍්‍රියාත්මක කරන්න බැහැ. ඒක බොරු චක‍්‍රලේඛයක්. මේක කිසිදු අයුරකින් පාසල් නඩත්තුව දෙමව්පියන් මත පැටවීම නවත්වන්න කිසිදු සටහනක් නැහැ. ඒ නිසා ඉදිරියටත් විදුහල්පතිවරුන්ට සිදුවේවි පාසලේ නඩත්තුවට දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන්න. මොකද පාසල් නඩත්තුවට රජයෙන් මුදල් ලැබෙන්නෙ නැති නිසා.

මේ රටේ ජනතාව බත් නොකන, රවට්ටන්න පුළුවන් කියල හිතාගෙන තමයි බන්දුල ඇමතිවරයා මේ චක‍්‍රලේඛය නිකුත් කරන්නෙ. ඒ නිසා අපි කියනවා 2008/35 චක‍්‍රලේඛය අහෝසි කරපු චක‍්‍රලේඛයක් නිකුත් කරන්න. නැතුව 2008/35 චක‍්‍රලේඛය බලාත්මක කරපු චක‍්‍රලේඛ ගේන්න එපා.

ආණ්ඩුව මගින් මේ රට තුල කරමින් සිටින අධ්‍යාපනයේ විනාශයට එරෙහිව මේ වෙනකොටත් අපි පසුගිය 12 වැනි දින සිට විරෝධතා සතියක් නම් කරල පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය විදියට රටපුරා ගුරුවරුන්, සිසුන් හා දෙමව්පියන් සියළු දෙනා එක්ව අඩි 1000 ක බැනරයක් අත්සන් කරමින් ඉන්නවා. ඒ වගේම අපි ඉදිරියේදී දෙමව්පියන් හා එක්ව විරෝධතා පවත්වන්න කටයුතු සූදානම් කරමින් තිබෙනවා."

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...